එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල භාර නිලධාරි ලෙස සේවය කරනු ලබන ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් (Phuntsho Wangyel) මහතා පසුගියදා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා හමු වී මෙරට වත්මන් සෞඛ්‍ය සේවාව පිළිබඳ සාකච්ඡාවක නිරත වෙන ලදි.

මෙම හමුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු වූ අතර, ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් මහතා 2025 සැප්තැම්බර් 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදලේ (UNFPA) ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය කාර්යාල භාර නිලධාරි ලෙස සේවය කරනු ලබයි.

සංවර්ධන සැලසුම්කරණය, සම්බන්ධීකරණය සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මෙන්ම ප්‍රතිපත්ති විශ්ලේෂණය පිළිබඳ විශේෂඥ දැනුමක් සහ පුළුල් අත්දැකීම් ඇති වැන්ග්යෙල් මහතා මෙරට ක්‍රියාත්මක සෞඛ්‍ය සේවා පද්ධතියේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි සැළසුම් සහ අභියෝගයන් පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග මෙහිදී  දීර්ඝව අදහස් හුවමාරු කර ගන්නා ලදි.

එහිදී මෙරට ළමා හා මාතෘ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහාය දැක්වීම මෙන්ම එම සේවා සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම, මෙරට ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සාර්ථකත්වයට පත් කිරීම උදෙසා දැනුම හා අත්දැකීම් හුවමාරු කර ගැනීම මෙන්ම ලිංගික අධ්‍යාපනය සඳහා වන වැඩපිළිවෙල ශක්තිමත් කිරීම හා දැනුම හුවමාරු කර ගැනීම පිළිබඳව ද දීර්ඝව සාකච්ඡා සිදු කරන ලදි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට ජීවත්වන ජනතාවට ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව ‌සෞඛ්‍ය සේවා රැකවරණ පද්ධතියේ ප්‍රශස්ත ප්‍රතිලාභ වඩාත් සමීපව භුක්ති විදීමේ අයිතිය තහවුරු කිරීම උදෙසා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය යටතේ දිවයින පුරා ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර මධ්‍යස්ථාන දහසක් පිහිටුවීමේ වැඩපිළිවෙල පිළිබඳව ද ෆුන්ට්ෂෝ වැන්ග්යෙල් මහතාව මෙහිදී දැනුවත් කරන ලදි.