මෙරට ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛ සමස්ත සෞඛ්‍ය සේවාව විශිෂ්ට මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වැනි සමුළුව අමතමින් සමුළුවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැඩි කැපවීමෙන් රෝග කිහිපයක් මෙරටින් තුරන් කිරීමට හැකි වූ බවත් බෝ නොවන රෝග, වැඩිහිටි ජනගහනය ඇතුළු අංශ කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරමින් සමස්ත සෞඛ්‍ය පද්ධතියේ සංවර්ධනය කෙරෙහි විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා පැවසීය.
කොළඹ, සිනමන් ලයිෆ් හෝටලයේ පැවැත්වෙන දකුණු සහ අග්නිදිග ආසියාතික රටවලින් සමන්විත කලාපයේ 78 වැනි සමුළුව පෙරේදා (13) ආරම්භ කළ අතර එහි දෙවැනි දිනය ඊයේට (14) යෙදිණි. එහිදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
රටේ සුවපත් ජනතාවක් බිහිකිරීමේ අරමුණින් රජයේ නව්‍ය වැඩපිළිවෙළක් වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන දීපව්‍යාප්තව ස්ථාපිත කිරීමට කටයුතු කරන බවත් විශිෂ්ට සෞඛ්‍ය සේවාවක් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යෑමට සහෝදර සාමාජික රටවල අදහස්, යෝජනා බෙහෙවින් ඉවහල් වන බවත් ඇමැතිවරයා පැවසීය. කලාපයේ සෞඛ්‍ය ඇමැතිවරුන් ඇතුළු විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛ සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනයට දැනුම බෙදාගැනීම මේ සමුළුවේ දී සිදු කරයි.
බිලියන දෙකකට ආසන්න ජනතාවක් ජීවත්වන අග්නිදිග ආසියානු කලාපයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා හරහා සෞඛ්‍යසම්පන්න වයස්ගත වීම සහ දුම් රහිත දුම්කොළවලට එරෙහිව සටන් කිරීම මේ කලාපයීය කමිටු සැසියේදී කලාපීය සෞඛ්‍ය නායකයන් විසින් සාකච්ඡා කරන ලදි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් සෞඛ්‍ය සේවාවේ සංවර්ධනය ගැන දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡාවට භාජනය වූ අතර සියලු සාමාජික රටවල සෞඛ්‍ය විශේෂඥයන්ගේ දැනුම ඇතුළු එම රටවල ක්‍රියාත්මක සෞඛ්‍ය ක්‍රමවේද ගැන මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
එම රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් ඇතුළු විශේෂඥයන් තම රටවල ක්‍රියාත්මක ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ප්‍රමුඛව සෞඛ්‍ය සේවාව ගැන අත්දැකීම් ද මෙහිදී බෙදාගන්නා ලදි.
මේ විශේෂ සාකච්ඡාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ජ්‍යෙෂ්ඨ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා විසින් මෙහෙයවනු ලැබීය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියා ආයතන භාර නිලධාරි වෛද්‍ය කැතරිනා බොහ්මේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්ම මහත්මීහු ද, සාමාජික රටවල සෞඛ්‍ය විශේෂඥයන්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.



