ශ්‍රී ලංකා තැපෑලට මෙරට සංචාරක ව්‍යාපාරයේ වර්ධනයට දායකත්වය සැපයිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඇමැතිවරයා මේ බව පැවසුවේ 151 වැනි ලෝක තැපැල් දිනයට සමගාමීව ඇල්ල තැපැල් කාර්යාලයේ සංචාරක නිවාසය සහ මුද්දර කාර්යාංශ කවුළුව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා පැවසුවේ අභියෝගාත්මක අනාගතයකට ශක්තිමත්ව මුහුණදීමට නව්‍යකරණය හා බැඳුණු ධනාත්මක පරිවර්තනයක් අවශ්‍ය බවයි.
මේ ව්‍යාපෘති ද්විත්වයම තැපැල් දෙපාර්තමේන්තුවට යම් ආදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘති වන අතර, මෙමඟින් තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් තත්ත්වය ඉහළ නංවාලීම ප්‍රමුඛ අරමුණ විය.
සංචාරක නිවහනේ නාම පුවරුව විවෘත කිරීම, විදුලි ආලෝකය ක්‍රියාත්මක කිරීම, විදේශීය සංචාරකයන් තිදෙනෙක් සහ දේශීය පාරිභෝගිකයන්ට සමරු මුද්දර අලෙවිය, සංචාරක නිවාසයේ ප්‍රථම වෙන් කිරීම සිදු කිරීම මෙහිදී සිදු විය.
2018 වසරේ විවෘත කර ඇති ඇල්ල තැපැල් කාර්යාලයේ ඉහළ මහලේ ස්ථානාධිපතිවරයා සඳහා නිල නිවෙසක් වූ අතර, එය 2024දී රුපියල් මිලියන 4.5ක වියදමින් සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබිණි. නමුත් සංචාරක නිකේතනයකට සරිලන පරිදි එම නිල නිෙවස සම්පූර්ණ අලුත්වැඩියාවක් සිදු කර අවශ්‍ය ගෘහ භාණ්ඩ ද දීමට පියවර ගනිමින්, හඳුනාගත් අඩුපාඩු සහ අවශ්‍යතා සම්පූර්ණ කිරීමට මේ වසරේ රජය රුපියල් මිලියන 02ක පමණ මුදලක් වැය කරමින් තැපෑලට ආදායම් උත්පාදන ක්‍රමවේදයක් ලෙස විවෘත කිරීමට පියවර ගැනිණි.
මේ අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති (මෙහෙයුම්) ප්‍රේමචන්ද්‍ර හේරත්, නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගමුව, නියෝජ්‍ය තැපැල්පති (පාලන) චමීෂා ද සිල්වා මහත්ම මහත්මීන්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයේ පිරිසක් එක්ව සිටියහ.



