ගෝලීය හා ව්‍යූහාත්මක අභියෝග මැද කාන්තා අයිතිවාසිකම් සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී ප්‍රතිපත්තිය, ප්‍රංශයේදී පැවැති කාන්තා විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සිවුවන ඇමැති සමුළුව හමුවේ ශ්‍රී ලංකාව අවධාරණය කර තිබේ.

පැරිසියේදී පැවති ප්‍රංශයේ යුරෝපා සහ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සංවිධාන කරන ලද කාන්තාවාදී විදේශ ප්‍රතිපත්ති පිළිබඳ සිවුවන ඇමැති සමුළුවට ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනි ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සහභාගි වූ අතර එම සමුළුව අමතමින් නියෝජ්‍ය ඇමැතිනිය මේ බව ප්‍රකාශ කළේ යැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා අයිතිවාසිකම් පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගතිශීලී ස්ථාවරය සැලකිල්ලට ගනිමින්, යුරෝපා සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ ඇමැති ජීන්-නොයෙල් බැරට් විසින් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා වෙත අමාත්‍ය සමුළුවට සහභාගි වන ලෙස කරන ලද ආරාධනයක ප්‍රතිඵලයක් ලෙස නියෝජ්‍ය ඇමැතිනිය මේ අවස්ථාවට එක්ව තිබේ. ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්තියේ දස වසරක්: ප්‍රතික්‍රියා හමුවේ ප්‍රතිරෝධය දැක්වීම, එක්සත් වීම සහ ක්‍රියා කිරීම යන මාතෘකාව යටතේ පැවති අමාත්‍ය සමුළුවේ පළමු පූර්ණ සැසිවාරයට නියෝජ්‍ය ඇමැතිනිය සහභාගි වූ අතර, මෙක්සිකෝවේ නියෝජ්‍ය විදේශ ඇමැති මාරියා තෙරේසා මර්කාඩෝ පෙරෙස් සහ කැනඩාවේ ජාතික ආරක්ෂක නියෝජ්‍ය ඇමැති ස්ටෙෆානි බෙක් ඇතුළු අනෙකුත් කීර්තිමත් ඇමැතිවරුන් ද මේ අවස්ථාවට සහභාගි වී ඇත.

නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරි, ස්ත්‍රීවාදී විදේශ ප්‍රතිපත්ති සහයෝගිතා ලයිරික් තොම්සන් විසින් මෙහෙයවන ලද මේ කමිටුවට, UNFPA හි විධායක අධ්‍යක්ෂ ඩීන් කීටා, ලිංගික හා ප්‍රජනන අයිතිවාසිකම් පිළිබඳ යුරෝපීය පාර්ලිමේන්තු සංසදයේ විධායක අධ්‍යක්ෂ නීල් දත්තා සහ උගන්ඩාවේ කාන්තාවන් ප්‍රවර්ධනය සඳහා වූ ප්‍රංශ මේරියන් ත්‍යාගය ලැබූ උගන්ඩාවේ සෆිනා විරානි ද සහභාගි වී තිබේ. සංකීර්ණ භූ දේශපාලනික ලෝකයක කාන්තාවන්ගේ අයිතිවාසිකම් කිසිදා නොවූ විරූ ලෙස අභියෝගයට ලක්වන තීරණාත්මක අවස්ථාවක කාලෝචිත සමුළුව සංවිධාන කිරීම සම්බන්ධයෙන් යුරෝපා සහ විදේශ කටයුතු පිළිබඳ ප්‍රංශ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමැතිනි කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රශංසා කර ඇත.

ශ්‍රී ලංකාව දිගු කලක් ස්ත්‍රී – පුරුෂ සමානාත්මතාව සහ කාන්තා බලගැන්වීම එහි ජාතික අනන්‍යතාවයේ හදවත ලෙස තබා ඇති බව නිරීක්ෂණය කළ නියෝජ්‍ය ඇමැතිනිය, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය දෙගුණ කිරීම, පළාත් පාලන ආයතනවල කාන්තාවන් සඳහා සියයට 25ක කෝටාවක් සහ තානාපති තනතුරුවලින් සියයට 38කට කාන්තාවන් පත්කිරීම ඇතුළුව මෑත – කාලීන ප්‍රගතිය ඉස්මතු කර තිබේ. එය ගෝලීය සාමාන්‍යයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයක් බවද ඇය පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේ මෑතකදී පැවති මහ මැතිවරණයේ දී, පාර්ලිමේන්තුවේ කාන්තා සංඛ්‍යාව දෙගුණයකට ආසන්න වූ බවත්, කාන්තාවන් 22 දෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බවත් සඳහන් කර තිබෙන ඒ මහත්මිය පවුල් සබඳතා හරහා දේශපාලනයට පිවිසීමේ දිගු කලක් පැවති දකුණු ආසියානු සම්ප්‍රදාය බිඳ දැමූ බවද සඳහන් කර තිබේ.

වත්මන් රජය පාර්ලිමේන්තුවට තේරී පත් වූ වැඩිම කාන්තාවන් සංඛ්‍යාවක් සිටින අතර කාන්තා අගමැතිනියක්, කාන්තා කැබිනට් ඇමැතිවරියන් දෙදෙනකු සහ නියෝජ්‍ය ඇමැතිවරියක් ඇතුළුව කාන්තා මන්ත්‍රීවරියන් 19ක් සිටින බවද ඔවුන් ආන්තික ප්‍රජාව ඇතුළු විවිධ සමාජ හා ආර්ථික පසුබිම්වලින් පැමිණ, කුසලතා සහ කැපවීම තුළින් තම තනතුරු ලබාගෙන ඇති බවද සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ප්‍රතිපත්ති රාමුව, එනම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තා බලගැන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය, 2024 කාන්තා බලගැන්වීමේ පනත, කාන්තාවන්, සාමය සහ ආරක්ෂාව පිළිබඳ ජාතික ක්‍රියාකාරි සැලැස්ම සහ 2025 දී කාන්තාවන් පිළිබඳ ජාතික කොමිසම පිහිටුවීම, රටේ තිරසාර ප්‍රගතිය සහ වගවීම පිළිබඳ ප්‍රත්‍යක්ෂ සාක්ෂි ලෙස නියෝජ්‍ය ඇමැතිනිය උපුටා දක්වා තිබේ.