රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් ශ්‍රී ලංකා තැපැල් කූරියර් සේවාව ඔස්සේ ජාතික උප්පැන්න සහතික තැපැල් කිරීමේ නියමු ව්‍යාපෘතියක්, රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඊයේ(12) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පරිශ්‍රයේදී ආරම්භ කෙරිණි.

මෙම දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරනු ලබන ” ඉ – ජනගහන ලේඛන වැඩසටහන ” යටතේ 2021 ජනවාරි 01 දිනෙන් පසුව උපන් දරුවන්ට ජාතික උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට සිදු කෙරෙන බැවින් මෙම සහතික මහජනතාව වෙත සුරක්‍ෂිතව, නිවැරදිව සහ කඩිනමින් යොමු කිරීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමඟ එක්ව “ශ්‍රී ලංකා තැපැල් කූරියර් සේවාව” භාවිත කිරීමට පියවර ගෙන තිබේ.

මෙහිදී රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා අදහස් දක්වමින් , මෙම ව්‍යාපෘතිය ඓතිහාසික කාර්යයක් බවත් තැපැල් දෙපාර්තමේන්තුව සමග එක්ව විධිමත්ව බෙදා හැරීමේ නියමු ව්‍යාපෘතියක් ලෙස අද ආරම්භ කරන මෙම කාර්යය සඳහා තැපැල් දෙපාර්තමේන්තුව සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන බවත් සඳහන් කළේය.

අනාගත ලෝකය සඳහා අවශ්‍ය ලේඛනයක් විධිමත්ව ලබාදීම මෙමගින් කඩිනමින් සිදු වෙන බවත් දිනෙන් දින වෙනස් වන ලෝකයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට ඩිජිටල් තාක්ෂණය හා එක්ව කටයුතු කිරීමට හැකිවීම ඓතිහාසික වන බව ද මූලිකව උප්පැන්න ලබාදීම පිණිස වයස අවුරුදු 15 සම්පූර්ණ වන දරුවෙකුට උප්පැන්න සහතිකයේ අංකයම තම ජාතික හැඳුනුම්පතට ද ලැබෙන බවත් උප්පැන්න ලේඛනවල සඳහන්ව තිබූ අත්‍යාවශය නොවූ තොරතුරු ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවත් අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කර සිටියේය.

මේ අනුව දිවයිනෙහි තෝරා ගන්නා ලද ගම්පහ, අත්තනගල්ල, දෙහිවල, කඩුවෙල, කළුතර, හොරණ , පානදුර, කුරුණෑගල , රත්නපුර ,සහ වැල්ලවාය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 හි නියමු ව්‍යාපෘති මෙම මාසය තුලදී ආරම්භ කිරීමට සැලසුම් කොට ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන , පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර, රෙජිස්ට්‍රාර් ජනරාල් එස්. ජලදීපන් ,තැපැල්පති රුවන් සත්කුමාර ,ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ ඇතුළු රාජ්‍ය නිලධාරින් එක්ව සිටියහ.