ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ප්‍රංශ තානාපති කාර්‍යාලයේ නියෝජිත පිරිසක් හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න අතර සාකච්ඡාවක් නොවැම්බර් 21 දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි. මෙම නියෝජිත පිරිස එදින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූහ.
2000 වර්ෂයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහා ප්‍රංශයෙන් මිලදී ගෙන ඇති වර්ණ සංයෝජන යන්ත්‍රය නිරීක්ෂණය කිරීම හා ඒ පිළිබඳව සාකච්ඡා කිරීම මෙහි දී සිදු විය.
2000 වසරේ මිලදී ගැනීමෙන් පසු දශක දෙක හමාරක කාලයක් පුරා කිසි දිනක භාවිත කර නොමැති මෙම යන්ත්‍රය මිලදී ගැනීමට අදාළ ණය හා පොළී මේ වන විටත් ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු බැවින් එම ණය ප්‍රතිව්‍යුහකරණය කිරීම සඳහා ප්‍රංශ තානාපතිවරයාගේ අදහස් හා සහයෝගය ලබා ගැනීම මෙම සාකච්ඡාවන්හි ප්‍රධාන අරමුණක් විය.
තානාපතිවරයා ප්‍රමුඛ ප්‍රංශ නියෝජිත පිරිස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිදු කළ නිරීක්ෂණයේ දී ඔවුහු  මෙම වර්ණ සංයෝජන  යන්ත්‍රය පරීක්ෂා කළහ. ඉන් අනතුරුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ  අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද චිත්‍රපට සංරක්ෂණාගාර ගොඩනැගිල්ල නැරඹීමට එක් වූ නියෝජිත පිරිස පැරණි වාර්තා චිත්‍රපට,ඩිජිටල් මාධ්‍යයෙන් සංරක්ෂණය කිරිමේ කටයුතු පිළිබඳ ව ද සොයා බැලූහ.
ජනමාධ්‍ය  නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නගේ ආරාධනය පරිදි මෙම සාකච්ඡාව හා නිරීක්ෂණ චාරිකාව සිදු කරන ලදී.
ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා, ප්‍රංශ තානාපති කාර්‍යාලයේ මාධ්‍ය සහ සන්නිවේදන නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී සහ උපදේශක මැතියු ජෝන් මහතා, සහයෝගීතාව සහ සංස්කෘතිය පිළිබඳ උපදේශක ඔලිවියා බෙලෙමියර් මහත්මිය සහ නියෝජ්‍ය ආර්ථික උපදේශක යූරි ඩෙස්විග්නේ-හැන්ස්ච් මහතා මෙම නියෝජිත පිරිසට අයත් වූහ