විපතට පත් ජනතාවට සහන සැලසීමේදී සියලු පාර්ශ්ව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කිරීමෙන් වඩා ප්‍රයෝජනවත් සහ ඵලදායී ලෙස එම ප්රතිලාභ ජනතාව අතට පත් කළ හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා එසේ ප්‍රකාශ කළේ, පසුගියදා (29) රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් සමඟ හමුවකට සහභාගි වෙමිනි. එය ත්‍රිවිධ හමුදා ආරක්ෂක මූලස්ථානයේදී පැවැත්විණි.
විපතට පත් ජනතාවට සහන සැලසීම වෙනුවෙන් තම සංවිධාන සහ ආයතන විසින් සැලසුම් කර ඇති වැඩසටහන් පිළිබඳ ජනාධිපතිවරයා වෙත පැමිණ සිටි නියෝජිතයෝ අදහස් ඉදිරිපත් කර සිටියහ. තම දායකත්වය අගයමින් මෙම සාකච්ඡාවට ආරාධනා කිරීම පිළිබඳව ඔවුහු ජනාධිපතිවරයා වෙත ස්තූතිය පළ කළහ.
අයහපත් කාලගුණය හේතුවෙන් ජනතාව අසීරුවට පත්ව සිටින මෙම අවස්ථාවේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත්ව සිටින සියලු දෙනා වෙත මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ මනා සම්බන්ධීකරණයකින් යුතුව කටයුතු කරමින් හෘදසාක්ෂියට අනුවම අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමට කැපවෙමුයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේය.
එමෙන්ම කිසිදු භේදයකින් තොරව විපතට පත් සියලු ජනතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසමින් සහ ඔවුන්ගේ ජීවිතවලට වටිනාකමක් ලබා දෙමින් මුදාගැනීමේ සහ සහන සේවා කටයුතු ක්‍රියාත්මක කර ඇති බව ද මෙහිදී පෙන්වා දුන්නේය. රට තුළ ජාතික සමගිය සහ සංහිඳියාව ඇති කිරීමේ වැඩපිළිවෙළ සඳහා ද මෙම අසීරු අවස්ථාවේදී පූර්වාදර්ශයක් සපයා තිබෙන බව සඳහන් කළේය.
විපතට පත්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව රජය අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබේ. අවතැන්වූවන් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම, ජන ජීවිතය යළි ස්ථාපිත කිරීම සහ තෝරාගත් යටිතල පහසුකම් සංවර්ධනය සියලු දෙනාගේ සහාය ඇතිව ඉදිරියට ක්‍රියාත්මක කළ යුතු බවත්, එහිදී සියලු දෙනා අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යමින් ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ එම කටයුතු ඉදිරියට ගෙන යෑමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
මෙවන් ජාතික අවස්ථාවලදී රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය සහාය පමණක් නොව, ඔවුන් සතු අත්දැකීම් සහ නිපුණතා උපයෝගී කරගැනීමේ හැකියාව ද මෙහිදී ඔවුහු පෙන්වා දුන්හ. මෙය ආර්ථික වශයෙන් රටට අසීරු අවස්ථාවක් වුවද ශ්‍රී ලංකාවේ පවතින ආචාරධාර්මික පිබිදීම හේතුවෙන් මෙම අභියෝගයට ශක්තිමත්ව මුහුණ දිය හැකි බවට විශ්වාසය පළ කළහ.
එමෙන්ම වත්මන් රජය ගෙන යන වංචාවෙන් සහ දූෂණයෙන් තොර වැඩපිළිවෙළ හේතුවෙන් තමන්ට නොබියව රජය සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබෙන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත්, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් ඇමැති උපාලි පන්නිලගේ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් (විශ්‍රාමික) එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහත්වරු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුළු පිරිසක් සහ දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ



