ස්වාභාවික ආපදා පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ, කලාපීය සහ ගෝලීය වශයෙන් දේශගුණික සහ භු ගෝලීය පර්යේෂණ සිදු කරන ආයතන ඔස්සේ ස්වාභාවික ව්‍යසනයන් පූර්වයේ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය නිර්ණායක පවතින අතර මෙරට ජනමාධ්‍ය ඒ සමඟ ඇති සම්බන්ධතාවය අවමය. එය බරපතළ ගැටලුවකි.

ආපදාවක් යනු ස්වාභාවිකව, පූර්වයේ තක්සේරු කළ නොහැකිව අනපේක්ෂිතව හට ගනු ලබන කාලගුණික දේශගුණික තත්ත්වයකි. මෙලෙස අනපේක්ෂිතව ඇති වන උවදුරකදී ජනමාධ්‍ය ඇතුළු සන්නිවේදන මාධ්‍ය කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳ ආපදා සන්නිවේදනය තුළදී සාකච්ඡා කළ හැකියි. 1970 දශකයේදී පමණ ආපදා සන්නිවේදනය පිළිබඳ කතිකාවතක් ගොඩනැඟුණු අතර සංවර්ධනයේදී ආර්ථිකය එනම්, දළ දේශීය නිෂ්පාදනය, ඒක පුද්ගල ආදායම පමණක් නොව දේශපාලන, සමාජ පාරිසරික යන ක්ෂේත්‍ර ද එක හා සමානව වැදගත් වන බව මෙහිදී හඳුනා ගැනුණි. ආපදා සන්නිවේදනයේදී වැඩි වශයෙන් සිදු වන්නේ පාරිසරික තත්ත්වයන් පිළිබඳ සැලකිල්ලට ගෙන කටයුතු කිරීමයි. පාරිසරික තත්ත්වයන් අපට පූර්වයේ අනුමාන කළ නොහැකිය. එබැවින් අදාළ පර්යේෂණ ආයතන සහ බලධාරීන් මාධ්‍ය සමඟ එක්ව මේ පිළිබඳ පූර්වයේ හඳුනාගෙන ජනතාව දැනුම්වත් කිරීමත්, රජය සමඟ සම්බන්ධව කටයුතු කිරීමත් වැදගත්ය. ආපදා තත්ත්වයකදී මාධ්‍ය ක්ෂේත්රයට විශාල කාර්යභාරයක් පැවරී තිබේ. ආපදාවන්ට පූර්වයේ ජනතාව දැනුම්වත් කිරීම මෙන්ම ආපදා අවස්ථාවකදී ජනතාවට අවශ්‍ය තොරතුරු නිවැරැදිව සන්නිවේදනය, ඔවුන් අනාරක්ෂිත ස්ථානවලින් ඉවත් කිරීම, පශ්චාත් ව්‍යසන ආපදා කළමනාකරණ සන්නිවේදන කාර්යභාරයන් ඉටුකිරීම ඒ අතුරින් ප්‍රධාන වේ.
ජනමාධ්‍ය මඟින් දෛනිකව සිදු වන ආර්ථික, සමාජ, දේශපාලන කරුණු වාර්තා කරනවා සේම දේශීය, කලාපීය, ගෝලීය පර්යේෂණ ආයතන සමඟ සම්බන්ධව කාලගුණික තත්ත්වයන් පිළිබඳව රජය දැනුම්වත් කිරීම, රජය සහ ජනතාව අතර සම්බන්ධීකරණ කාරකයක් ලෙස කටයුතු කිරීම සිදු කළ යුතුය. ආපදා තත්ත්වයකදී වඩාත් නිවැරදි තොරතුරු කඩිනමින් ජනතාව වෙත ලබා දීම අතිශයින් වැදගත් වේ. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ජීවිත ආරක්ෂා කිරීම සහ හානි අවම කිරීම යි. වේගවත් සන්නිවේදනය මඟින් මිනිසුන්ට අනතුරුදායක ප්‍රදේශවලින් ඉවත්වීමට, ආරක්ෂිත පියවර ගැනීමට සහ අදාළ උපදෙස් පිළිපැදීමට අවස්ථාව සැලසේ. නිවැරදි හා කාලෝචිත තොරතුරු නොමැති විට ජනතාව අතර අනියත බිය හා අවුල් සහගත තත්ත්වයක් ඇතිවිය හැකි අතර එමඟින් ජීවිත හා දේපළ හානි වැඩි වීමට ඉඩ ඇත. එම නිසා විනිවිදභාවයෙන් යුත් සත්‍ය තොරතුරු ක්ෂණිකව බෙදාහැරීම ඕනෑම ආපදා කළමනාකරණ ක්‍රියාවලියක සාර්ථකත්වයට හේතු වේ.
ජපානය තුළ මීට වසර තුනකට පමණ පෙර ඇති වූ ආපදා අවස්ථාවන්හිදී ඔවුන් ආපදාවන් ඇතිවීමට පෙර ඒ පිළිබඳ ජනතාව දැනුම්මත් කිරීම සිදු කළේය. නමුත්, මෙරට ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ ආපදාවක් සිදුවීමට පෙර විවිධ පාර්ශ්ව සහ ඇතැම් මාධ්‍යයන් මඟින් අතිශය දේශපාලන කර්තව්‍යයක් සිදු කිරීමයි. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ආපදා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහා රජය සහ ජනමාධ්‍ය එක්ව යුහුසුලුව කටයුතු කරන ආකාරය අපට දැකගත හැකියි. මෙම කුණාටු තත්ත්වය හේතුවෙන් අසල්වැසි රටවල් වන මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව ආදි රටවල් ද ආපදාවට ලක්ව ඇත. එකී රටවල කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් ද අවබෝධයකින් යුතුව මාධ්‍ය මඟින් තොරතුරු වාර්තා කළ යුතු අතර හුදකලා වාර්තාකරණයක් සිදු නොකළ යුතුය.
මෙම සුළි කුණාටු තත්ත්වය පිළිබඳ මාධ්‍ය මඟින් පූර්වයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එක්ව මීට පෙර සාකච්ඡා කිරීම් සිදු කළ ද මේ පිළිබඳව ක්‍රමානුකූලව ජනතාවගේ අවධානයට ලක්කර වාර්තා කිරීම් සිදු කළේ නම්, අද වන විට ඇතිව තිබෙන හානිදායක තත්ත්වය යම් ලෙසකින් අවම කර ගැනීමට ඉඩ ප්රස්ථා තිබුණි.
වැඩසටහන් කිහිපයක මේ පිළිබඳ සාකච්ඡා කෙරුණ ද එය එතරම් ඉස්මතුව නොපෙනුණ අතර රජයේ බලධාරීන් සහ එක්ව මෙම ව්‍යසනයෙන් ජනතාවට සිදු විය හැකි හානිය සහ එම හානිය අවම කර ගැනීම සඳහා ගත යුතු පියවර සම්බන්ධයෙන් ප්‍රමාණවත් සන්නිවේදනයක් සිදු නොවුණි.
ස්වාභාවික ආපදා පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ, කලාපීය සහ ගෝලීය වශයෙන් දේශගුණික සහ භු ගෝලීය පර්යේෂණ සිදු කරන ආයතන ඔස්සේ ස්වාභාවික ව්‍යසනයන් පූර්වයේ හඳුනා ගැනීම සඳහා අවශ්‍ය නිර්ණායක පවතින අතර මෙරට ජනමාධ්‍ය ඒ සමඟ ඇති සම්බන්ධතාවය අවමය. එය බරපතළ ගැටලුවකි.
දිට්වා සුළි කුණාටුවේ බලපෑමට ලක්වූ ඉන්දුනීසියාව, තායිලන්තය ආදී රටවල්හි මාධ්‍ය නාළිකා, අල් ජසීරා, ABC, CNN වැනි මාධ්‍ය සමඟ මෙරට මාධ්‍ය වාර්තාකරණයන් සංසන්ධනාත්මකව බැලූ විට දැකගත හැක්කේ ආපදා වාර්තාකරණයේදී මෙරට මාධ්‍ය භාවාතිශය ලෙස වාර්තා කිරීම් සිදු කර ඇති ආකාරයයි. නමුත්, මෙරට සමාජ මාධ්‍ය සමඟ සැසඳීමේදී ආපදා තත්ත්වය පිළිබඳ ජනමාධ්‍ය මඟින් වගකීම් සහගත ලෙස, තුලනාත්මකව වාර්තා කිරීම් සිදු කර තිබේ. සමාජ මාධ්‍ය තුළ ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් විසින් රීච් වැඩි කර ගැනීම සඳහා සාවද්‍ය පුවත් සහ භාවාතිශය පුවත් වාර්තාකරණයේ නියැළුණ ආකාරයක් දැකගත හැකි විය. මෙය මාධ්‍ය සදාචාරයට පටහැණිය. රජයේ අදාළ පාර්ශ්වයන් විසින් මෙම තොරතුරු නිවැරදිව කළමනාකරණය කර ගැනීම සඳහා ඒ පිළිබඳව ජනමාධ්‍ය වෙත පැමිණ අදහස් දැක්වීම වැදගත්ය. නිදසුන් ලෙස කැලණි ගඟෙහි ජල මට්ටම ඉහළ යෑම සම්බන්ධයෙන් සිදු කළ පූර්ව දැනුම්වත් කිරීම් දැක්විය හැකිය. අද වැදගත්ම දේ වන්නේ සන්නිවේදනයයි. ඊට හේතුව වන්නේ නිසි වේලාවට, නිවැරදි තොරතුරු සන්නිවේදනය නොවුණහොත් විශාල ගැටලු ඇතිවීම සඳහා එය හේතුවන බැවිනි. මෙවන් ආපදා අවස්ථාවකදී ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ද වගකීම් සහගත ලෙස තොරතුරු සන්නිවේදනයේ නියැළිය යුතුය. මෙම අවස්ථාවේදී ජනමාධ්‍ය මඟින් භාවාතිශය ලෙස කතාන්දර කීමේ කලාවෙන් ඔබ්බට ගොස් ක්‍රමිකව ජනතාව දැනුම්වත් කිරීම වැදගත්ය. වර්ෂාව පහව ගිය ද මධ්‍යම කඳුකරය ඇතුළු ප්‍රදේශයන්හි මෙන්ම බස්නාහිර පළාත තුළ ඇතිවිය හැකි අයහපත්, අවදානම් සහගත තත්ත්වයන් පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීම මාධ්‍ය මඟින් මේ වන විට සිදු කරන අතර මෙවැනි තත්ත්වයන් පිළිබඳ තුලනාත්මක කරුණු ඉදිරිපත් කිරීමක් විනා භාවාතිශය ලෙස තොරතුරු ඉදිරිපත් කිරීමක් සිදු නොකළ යුතුය. මිනිසුන් හැඟීම්බර කිරීම සඳහා මාධ්‍ය අවශ්‍යය නොවන අතර එය ගෝත්‍රික, ප්‍රාථමික ලක්ෂණයකි. එබැවින් මාධ්‍ය මඟින් නිවැරදි විද්‍යාත්මක තොරතුරු අවශ්‍ය වේලාවේදී සන්නිවේදනය කිරීම සිදු කළ යුතුය.
ආපදා තත්ත්වයන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේදී මෙන්ම පශ්චාත් ආපදා අවස්ථාවන්හිදී ඔවුන්ගේ මානසිකත්වය යළිත් ගොඩනැංවීම සඳහා සන්නිවේදනය භාවිත කළ හැකිය. දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙරටේ සැලකිය යුතු ජීවිත හානි හා දේපළ හානි සිදු විය. ආපදාවට ලක්වූ පිරිස් මෙන්ම සමස්ත රටවාසීන්ම මෙම ව්‍යසනයත් සමඟ පසුවන්නේ මානසික ව්‍යාකූලත්වයකිනි. නිදසුන් ලෙස ගත්විට සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් පුද්ගලයන් පස් කඳු සඳහා සිරවී මිය ගොස් ඇති ආකාරය පිළිබඳ ඡායාරූප පළවීම සිදු වේ. මෙවැනි ඡායාරූප මහජන මානසිකත්වය කෙරෙහි අයහපත් ලෙස බලපායි. එබැවින් මෙවැනි තත්ත්වයන් සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීම වැළැක්විය යුතුය. ආපදාවන්ට ලක්වූවන්ට මානසික වශයෙන් යළි යථා තත්ත්වයට පත්වීම සඳහා යම්කිසි කාලයක් ගත වේ. මාධ්‍ය මඟින් පශ්චාත් ආපදා තත්ත්වයන්ට අදාළ මනෝවිද්‍යාත්මක වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, විපතට පත්වූවන්ගේ මානසිකත්වය යළි ගොඩනැංවීම සඳහා ප්‍රාදේශීය වශයෙන් උපදේශන සේවා ලබාදීම සහ ඔවුන් දිරිගැන්වීම, පුද්ගලාන්තර සන්නිවේදනය වැඩිදියුණු කරවීම ආදි සන්නිවේදන ක්‍රියාමාර්ග ඔස්සේ විපතට පත් පුද්ගලයන්ගේ මානසිකත්වය යළි ගොඩනැංවීම සඳහා අවකාශ සැලසේ. එමෙන්ම ඔවුන්ගේ දුක්ගැනවිලිවලට සවන් දීමෙන් සහ අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලබා දීමෙන් විශ්වාසය හා සමාජ බැඳීම ශක්තිමත් වන අතර එය දීර්ඝකාලීන මානසික සුවය සඳහා අතිශයින් වැදගත් වේ.
කාලගුණික දේශගුණික විපර්යාසයන් පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය කරනු ලබන මධ්‍යස්ථාන පවති. පසුගිය කාලය තුළ අමෙරිකාව සහ ජපානය ආදී බොහෝ රටවල්ද ස්වාභාවික ව්‍යසනයන්ට මුහුණ දුණි. මෙවැනි තත්ත්වයන් තුළ විද්‍යාත්මක පර්යේෂණවලින් ආපදා පිළිබඳ කරන ලද පූර්ව දැනුම්දීම් මත ජනමාධ්‍ය කෙතරම් දුරට කටයුතු කරන්නේද යන්න බොහෝ වැදගත් වේ. මෙය දේශපාලන, ආර්ථික ආදී සෑම ක්ෂේත්රයකටම වලංගුය. කටකතා, ඕපාදූප පදනමකින් ජනමාධ්‍ය වාර්තා කිරීම් සිදු කිරීම බැහැර කළ යුතුය. අර්බුදකාරී අවස්ථාවලදී ජනමාධ්‍ය ආයතන, කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන සහ භූ විද්‍යා සමීක්ෂණ ආයතන වැනි නිලවිද්යාත්මක ආයතන මඟින් නිකුත් කරන ලද පූර්ව අනතුරු ඇඟවීම් කඩිනමින් සහ නිරවද්‍ය ලෙස ජනතාව වෙත ගෙන යායුතුය. විද්‍යාත්මක පර්යේෂණ මත පදනම් වූ දත්ත විශ්ලේෂණයකින් තොරව කටකතා හෝ ඕපාදූප ප්‍රචාරය කිරීමෙන් සිදු වන්නේ අර්බුදය තවත් උග්‍ර වීමයි. නිවැරදි දත්ත, විද්‍යාත්මක විශ්ලේෂණ, ආයතනික පර්යේෂණ සමඟින් කරුණු හඳුනාගෙන ඒ පිළිබඳව පූර්වයේ දැනුම්වත් වී පාලකයා සහ පාලිතයින් අතර සම්බන්ධීකරණ කාරකයක් ලෙස කටයුතු කිරීමටත්, තොරතුරු වාර්තාකරණය සහ ඒවා තවදුරටත් පවත්වාගෙන යෑමටත් ජනමාධ්‍ය ආයතන උත්සහ ගත යුතුය. එමඟින් නිවැරදි දත්ත, විද්‍යාත්මක තොරතුරු මත පදනම්ව තීන්දු තීරණ ගනු ලබන මාධ්‍ය කලාවක් සහ ජන සමාජයක් බිහිකළ හැකි අතර එහි අවශ්‍යතාවය මෙම ආපදා සමය තුළදී වඩාත් ඉස්මතුව පෙනේ.



