එක්සත් රාජධානියේ මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක්, මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතාගේ නායකත්වයෙන්, පසුගිය (27) වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය සමඟ වැදගත් සාකච්ඡාවක් පැවැත්වී ය.
මෙම හමුව අතරතුර, මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා ශ්‍රී ලංකාවේ මාධ්‍ය සම්බන්ධයෙන් රජය ගෙන යන මුලපිරීම්, ප්‍රතිසංස්කරණ සහ නියාමන ක්‍රියාමාර්ග පිළිබඳව අවබෝධයක් ලබා ගත්තේ ය.
එමෙන් ම, ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා ධාරිතා වර්ධනය සහ පුහුණුව ලබා දීමේ අවශ්‍යතාව ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙනවිය විසින් මහ කොමසාරිස්වරයා වෙත විශේෂයෙන් අවධාරණය කරන ලදී.
සාකච්ඡාවේදී, මාධ්‍යවල ක්‍රියාකාරීත්වය, සමාජ මාධ්‍ය නියාමනය සහ තාක්‍ෂණ සමාගම්වල නියාමන වගකීම් වැනි කරුණු සම්බන්ධයෙන් මහ කොමසාරිස්වරයා විසින් එක්සත් රාජධානියේ ප්‍රශස්ත භාවිතයන් (Best Practices) හුවමාරු කර ගන්නා ලදී. මෙහිදී එක්සත් රාජධානියේ සන්නිවේදන නියාමකයා වන ඔෆ්කොම් (Ofcom) මෙන්ම මෙටා (Meta) සහ එක්ස් (X) වැනි සමාගම් සම්බන්ධ නියාමන අත්දැකීම් පිළිබඳව ද අවධානය යොමු විය.
එක්සත් රාජධානියේ නියෝජිත පිරිසට මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතාට අමතරව, දේශපාලනය පිළිබඳ ප්‍රධාන ලේකම් ටොම් සෝපර් මහතා සහ දේශපාලන උපදේශක ඉන්සාෆ් බකීර් මාකර් මහතා ද ඇතුළත් වූහ.



