නේපාලයේ ත්‍රිභුවන් විශ්වවිද්‍යාලයේ (TU) මාධ්‍ය හා ජන සන්නිවේදන දෙපාර්තමේන්තුවේ (CDJMC) ප්‍රධානී මහාචාර්ය කුන්දන් ආර්යල් සහ යුනෙස්කෝ වැඩසටහන් නිලධාරී සහ සන්නිවේදන හා තොරතුරු ප්‍රධානී නිර්ජනා ෂර්මා මහත්මිය ඇතුළු නියෝජිත පිරිසක් දෙසැම්බර් 08 වන දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය හමු වූහ.

මෙම හමුවේදී, නේපාල නියෝජිත පිරිස විසින් එරට වත්මන් මාධ්‍ය භාවිතය හා එහි හැසිරීම් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරිය දැනුවත් කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් නියෝජ්‍ය අමාත්‍යවරිය විසින් මාර්ගගත සුරක්ෂිත භාවය පිළිබඳ පනත ප්‍රතිසංස්කරණයට අදාළ ක්‍රියාමාර්ග ඇතුළුව ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයේ වර්තමාන තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි.

විශේෂයෙන්ම, දුස් තොරතුරුවලට එරෙහිව සටන් කිරීම සහ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම අතර පවතින සියුම් සමතුලිතතාවය නියෝජ්‍ය අමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය.

තවද, ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ශක්තිමත් කළ හැකි විභව ක්ෂේත්‍ර පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා විය. ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් සඳහා නව තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (AI) සම්බන්ධ පුහුණු වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා නේපාලයෙන් සහාය අවශ්‍ය බව නියෝජ්‍ය අමාත්‍යවරිය අවධාරණය කළා ය.

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ චිත්‍රපට හා රූපවාහිනී නිෂ්පාදන තාක්ෂණ අංශයේ ප්‍රධානී ගයාන් මධුශංක මහතා සහ යුනෙස්කෝ ව්‍යාපෘතියේ පර්යේෂක, විශ්ලේෂක සහ වාර්තා රචක කිෂාන් අමරසිංහ මහතා ද මෙම අවස්ථාවට සහභාගී වූහ.