2025 දෙසැම්බර් 10 දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණ ප්‍රකාශයට පත් කිරීම සඳහා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර, මහත්වරුන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (11) පැවති මාධ්‍ය හමුවට එක්වූයේ මෙලෙසිනි.

විදේශ අමාත්‍යාංශයට ත්‍රිකුණාමලයෙන් ඉඩමක්

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා විශ්වවිද්‍යාල විද්‍යායතනය සඳහා වෙන් කර ඇති ඉඩම සහ ඉදිකිරීම් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වෙත පැවරීමට අනුමැතිය පළ වේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලය මාලදිවයින් රජය සමඟ අවබෝධතා ගිවිසුමක්

කොළඹ විශ්වවිද්‍යාලය සහ මාලදිවයින් ජනරජයේ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ශාස්ත්‍රීය සහයෝගිතාව අරමුණු කර ගනිමින් අවබෝධතා ගිවිසුමකට එළඹීමට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමි වේ.

මහවැලි ආයෝජනයකට ADB අරමුදල්

මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන අදියර 2 ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් අරමුදල් සලසා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වේ.

එම ව්‍යාපෘතියේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 536.5ක් වන ඇස්තමේන්තුගත පිරිවැයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් ආසියානු සංවර්ධන බැංකුව හරහා මූල්‍යකරණය කර ගැනීමට යෝජනා වී ති‌බේ. ඒ අනුව, එකී ණය මුදල ලබා ගැනීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සමඟ ණය ගිවිසුමකට එළඹීමට අදාළව මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන ඇමැතිවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියකට

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ 03, කොල්ලුපිටියේ පෙරහර මාවතෙහි පිහිටි ඉඩම් කොටසක් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීමට අනුමැතිය හිමි වේ.

ඒ අනුව, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව අදාළ ඉඩම් කොටස 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා ජාත්‍යන්තර තරගකාරි ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා යෝජනා කර තිබේ.

ක්‍රීඩා සංවර්ධනයට මාලදිවයින සමඟ ගිවිසුමක්

මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා සහ තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය හිමි වේ.

තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ මහතා මේ යෝජනාව ඉදිරිපත් කර ඇත.

සමුද්‍ර පරිසරය සංවර්ධනයට සැලසුම්

ශ්‍රී ලංකාවේ වෙරළබඩ සහ සමුද්‍ර පරිසර පද්ධතිවල ස්වාභාවික ප්‍රාග්ධන වටිනාකම් තිරසර සංවර්ධන සැලසුම් හා ඒකාබද්ධ කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අනුමැතිය හිමි වේ.

එකී ව්‍යාපෘතියෙහි ක්‍රියාකාරකම් ගාල්ල, මන්නාරම, පුත්තලම සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි හඳුනාගත් වෙරළබඩ ප්‍රදේශයන්හි වසර 04ක කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරනු ලැබ තිබේ. ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 2.66ක මූල්‍ය ප්‍රදානයක් ලැබීමට නියමිතය. ගෝලීය පරිසර පහසුකම විසින් ලබා දෙනු ලබන මූල්‍ය ප්‍රදානය භාවිත කොට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා වන එකඟතා ගිවිසුම පරිසර අමාත්‍යාංශය සහ සොබාදහම සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංගමය අතර අත්සන් තැබීමටත් පරිසර ඇමැති වෛද්‍ය දම්මික පටබැඳිගේ මහතා විසින් කරන ලද යෝජනාව මෙසේ අනුමත වී තිබේ.

යාපනය-කැලණිය-කොළඹ සරසවිවල වැඩ නිම කෙරේ

07- යාපනය, කැලණිය, කොළඹ සහ වයඹ යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීම් වැඩ නිම කිරීමටත්, ඒ සඳහා යෝජිත පරිදි මුළු පිරිවැය ඇස්තමේන්තු සංශෝධනය කිරීමටත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අබලි යකඩ ටෙන්ඩරය

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින අබලි ලෝහ බැහැර කිරීමේ ටෙන්ඩරය ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, සාර්ථකව ප්‍රතිචාර දක්වන ලද වැඩිම මිලගණන් ඉදිරිපත් කරනු ලැබ ඇති ලංසුකරුවන් වන M/s. Melwire Rolling (Pvt) Ltd වෙත රුපියල් මිලියන 721.257ක (වැට් සහිත) මුදලකටත්, M/s. S R Steel (Pvt) Ltd වෙත රුපියල් මිලියන 167.507ක (වැට් සහිත) මුදලකටත් ප්‍රදානය කිරීමට අදාළව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන ඇමැති බිමල් රත්නායක මහතා කළ යෝජනාව අනුමත කර තිබේ.

පොලිඇක්සියල් එම්ආර්අයි අනුකූල මිලදී ගැනීමේ ටෙන්ඩරය

කොඳුඇටපෙළ ආශ්‍රිතව සිදු කරන සැත්කම්වලදී භාවිතයට ගනු ලබන පොලිඇක්සියල් එම්ආර්අයි අනුකූල (ටයිටේනියම්/කොබෝල්ට්-ක්‍රෝම්) ලම්බර් පෙඩිකල් ඉස්කුරුප්පු 48ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය ලංකාවේ Avenierr Pharma (Pvt) Ltd. (Manufacturer: Miraclus Orthotech (Pvt) Ltd., India) වෙත මුළු පිරිවැය ශ්‍රී ලංකා රුපියල් මිලියන 136.32ක මුදලකට පිරිනැමීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇනුමැතිය පළ වේ.

ඩෙස්ෆෙරිඔක්සමින් මෙසිලේට් වයල් මිලදී ගැනීම

රුධිර පාරවිලයනය කරන රක්තහීනතාවයෙන් පෙළෙන හෝ තැලසීමියා රෝගීන්ගේ ශරීරයෙන් අතිරික්ත යකඩ ඉවත් කිරීමට භාවිත කරනු ලබන ඩෙස්ෆෙරිඔක්සමින් මෙසිලේට් ඖෂධයෙන් වයල් 540,000ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය ශ්‍රී ලංකාවේ ABC Pharma Services (Pvt) Ltd. (Manufacturer: Gland Pharma Limited, India) වෙත මුළු පිරිවැය රුපියල් මිලියන 791.1ක මුදලකට පිරිනැමීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට ඇනුමැතිය පළ වේ.

මන්නාරමේ සුළං විදුලි බලාගාර 2ක්

මන්නාරම, මුල්ලිකුලම් ප්‍රදේශයෙහි මෙගාවොට් 50 බැගින් වන සුළං විදුලි බලාගාර 2ක් ස්ථාපිත කිරීමට අනුමැතිය හිමි වේ.

එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා ආයෝජකයන් හත් දෙනකු විසින් යෝජනා ඉදිරිපත් කර තිබූ අතර ඒ අතරින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශය මත පදනම්ව, Consortium of Vidullanka PLC & David Pieris Motor Company (Lanka) Limited වෙත සහ WindForce PLC වෙත අදාළ සුළං බලාගාර ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට නියමිතය.

බලශක්ති ඇමැති ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා මේ යෝජනාව ඉදිරිපත් කර තිබුණි.