ප්‍රංශ සෙනට් සභික ගරු සමන්තා කැසබෝන් මැතිනිය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න අතර වැදගත් සාකච්ඡාවක් අද (දෙසැම්බර් 16) දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
 
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය සහ රට මුහුණ දෙන අභියෝග පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමෙන් සාකච්ඡාව ආරම්භ විය.
 
ඩිජිටල් අවකාශයේ පීඩනය සහ කාන්තා නියෝජනය
මෙම හමුවේ දී, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා ජනමාධ්‍ය සම්බන්ධ කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු වූ අතර, විශේෂයෙන්ම ඩිජිටල් අවකාශයන්හි සිදුවන අන්තර්ජාල පීඩනය සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳව විස්තරාත්මකව සාකච්ඡා කරන ලදී. දෙපාර්ශවයම මෙම ක්ෂේත්‍රයේ අනාගත සහයෝගීතා අවස්ථා සලකා බැලූහ.
 
දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පිළිබඳ ගැටළු සහ ඒවා දරුවන්ට හානි නොවන පරිදි පාලනය කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අවධාරණය කෙරිණි. දරුවන්ට ඩිජිටල් තාක්ෂණය ආරක්ෂිත, ගුණාත්මක සහ ධනාත්මක ලෙස භාවිත කිරීමට හැකි වන පරිදි එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව මෙම සාකච්ඡාවේ දී පිළිගන්නා ලදී.
 
දේශපාලනයේ කාන්තා සහභාගීත්වය
සාකච්ඡාව අතරතුර, ප්‍රංශ සෙනට් සභික සමන්තා කැසබෝන් මැතිනිය විසින් පොදු කටයුතු සහ දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තා සහභාගීත්වයේ වැදගත්කම අවධාරණය කරන ලදී.
 
ඊට ප්‍රතිචාර ලෙස නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න  සඳහන් කළේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මන්ත්‍රීවරියන් 12 සිට 24 දක්වා ඉහළ ගොස් ඇති බවයි. මෙම ප්‍රගතිය සංඛ්‍යාත්මකව මෙන්ම ගුණාත්මකව ද ශක්තිමත් කළ යුතු බවත්, කාන්තාවන්ට දේශපාලනය තුළ සක්‍රීය සහ අර්ථවත් සහභාගීත්වයක් සඳහා ඔවුන්ගේ හැකියාවන් වර්ධනය කිරීමේ අවශ්‍යතාව ඇති බවත් ඇය අවධාරණය කළා ය.
 
නියෝජිත පිරිස

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ගරු රෙමි ලැම්බර්ට් මහතා (H.E. Rémi Lambert) ඇතුළු ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජිත පිරිසක් ද එක් විය. ඔවුන් අතර කොළඹ ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මැතිව් ජෝන් මහතා (Mr. Matthieu John), සහයෝගීතාව සහ සංස්කෘතිය පිළිබඳ උපදේශක ඔලිවියා බෙලෙමියර් මහත්මිය (Ms. Olivia Bellemere), දේශපාලන චාන්සලරියේ අභ්‍යාසලාභිනි මැලීන් ක්‍රෙපින් මහත්මිය (Ms. Maéline Crepin), සහ මාධ්‍ය උපදේශක සහ පරිවර්තක දිනූෂා ඉලෙයිපෙරුම මහත්මිය ද විය