ශ්‍රී ලාංකේය මාධ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතිහාසයට නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, එම්එම්සී – අයිටීඑන් කැම්පස් සහ චීනයේ ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන ෂෙන්යැන්ග් සිටි විශ්වවිද්‍යාලය අතර නව ආකාරයේ අධ්‍යාපන සහයෝගීතාවන් සහ ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සඳහා මුල් පියවර තැබීම  07වන දා)අයිටීඑන් පරිශ්‍රයේදී සිදු විය.

මෙරට මාධ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ දිගු කාලයක් පවතින්නා වූ වෘත්තීය හා ප්‍රායෝගික පුහුණුවේ හිඩැසක් පුරවාලීමේ අරමුණින් පසුගිය වර්ෂයේ මුල් භාගයේදී ආරම්භ කරන ලද එම්එම්සී – අයිටීඑන් කැම්පස් මේ වනවිට සහතික පත්‍ර පාඨමාලා 5ක් ක්‍රියාත්මක කරමින් සිටී. වසර 47කට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන මෙරට පුරෝගාමී හා ප්‍රමුඛතම මාධ්‍ය ජාලයක් වන අයිටීඑන් මාධ්‍ය ජාලයේ අත්දැකීම් හා සම්පත් මෙහි අධ්‍යාපන කටයුතු සඳහා උපරිම ලෙස යොදා ගැනීම විශේෂත්වයකි.

මෙම වසරේ සිට එම පාඨමාලාවන් ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා සහ උපාධි මට්ටම් දක්වා ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇති අතර, ඒ අනුව ලබන මාර්තු මස අගදී නව ඩිප්ලෝමා පාඨමාලා තුනක් ආරම්භ කිරීමට නියමිත අතර මෙහිදී විෂය කරුණු න්‍යායාත්මක දැනුමට පමණක් සීමා නොව, සියයට සියයක් ම ප්‍රායෝගික පුහුණුව මගින් සිසුන් සන්නද්ධ කිරීම මෙම ආයනයෙහි මූලික දැක්ම ලෙස හැඳින්විය හැකි ය. 

එම්එම්සී – අයිටීඑන් කැම්පස්හි අධ්‍යයන කටයුතු ජාත්‍යන්තර මට්ටමට ගෙන යාමේ අරමුණින්, විදෙස් විශ්වවිද්‍යාල හා අධ්‍යාපන ආයතන සමඟ සහයෝගීතාව වර්ධනය කිරීම ද මෙහි ප්‍රධාන උපායමාර්ගයකි. එහි සමාරම්භය සනිටුහන් කරමින්, ෂෙන්යැන්ග් සිටි විශ්වවිද්‍යාලයේ නියෝජිත පිරිසක් අද අයිටීඑන් පරිශ්‍රයට පැමිණියේ ය.

එම නියෝජිත පිරිස පිළිගනු ලැබුවේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මහත්මිය සහ අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා විසින් ය. ඉන් අනතුරුව දෙරට නියෝජනය කරන පාර්ශ්වයන් අතර, එම්එම්සී – අයිටීඑන් කැම්පස් සහ ෂෙන්යැන්ග් සිටි විශ්වවිද්‍යාලය අතර අධ්‍යාපන සහයෝගීතා, ශිෂ්‍ය හුවමාරු වැඩසටහන් සහ අනාගත අධ්‍යයන සැලසුම් පිළිබඳ ව විස්තරාත්මක සාකච්ඡාවක් පැවැත්විණි.

මෙම අවස්ථාවේදී නියෝජිත පිරිස එම්එම්සී – අයිටීඑන් කැම්පස්හි අධ්‍යයන පහසුකම්, සිසුන්ගේ ප්‍රායෝගික පුහුණු ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමත්, අයිටීඑන් පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර විශේෂයෙන් ම සිසුන් ප්‍රායෝගික මාධ්‍ය නිෂ්පාදන ක්‍රියාවලියට සෘජුව සම්බන්ධ කරගන්නා ආකාරය ඔවුන්ගේ ඉහළ පැසසුමට ලක්විය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍යා ආරියරත්න, අයිටීඑන් මාධ්‍ය ජාලයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මහතා, මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා සහ ෂෙන්යැන්ග් සිටි විශ්වවිද්‍යාලයේ චිත්‍රපට හා කලා පීඨයේ සහකාර පීඨාධිපති චාඕ ෂූ මහත්මිය ඇතුළු නිලධාරීන් සහ ආරාධිත පිරිසක් එක්ව සිටිය හ.