අපහාසාත්මක, අසත්‍ය ප්‍රකාශ කිරීම සහ එම ප්‍රකාශ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශට සහ පෞද්ගලික රූපවාහිනි නාළිකාවකට එරෙහිව ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් රුපියල් බිලියනය බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යොමු කර තිබේ.
සිය නීතිඥවරයා මඟින් ඇමැතිවරයා මෙසේ එන්තරවාසි යොමු කර තිබෙන අතර, එහි සඳහන් ව ඇත්තේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා අසාධු ලේඛනගත ඖෂධ සමාගමක අයිතිකරුවකුගේ ණය කාඩ්පතක් භාවිත කරමින් ඉන්දියාවේ දී මිලියන 1ක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවට මහජනතාවට හැඟවෙන සහ ඒත්තු යන ආකාරයෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.
2026-02-06 හෝ ඒ ආසන්න දිනක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යන අය විසින් විදත්, මුද්‍රිත සහ අනෙකුත් අන්තර්ජාල මාධ්‍ය කැඳවා පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමකදී මේ බව පවසා ඇති බවත්, අදාළ පෞද්ගලික නාළිකාව විසින් 2026.02.07 වැනි දින ප.ව.6.50ට විකාශය වූ ප්‍රවෘත්ති විකාශයේ Story of the Day නමින් විශේෂ ප්‍රවෘත්තියක් ලෙස උක්ත ප්‍රකාශයට හැඳින්වීමක් ද දී ප්‍රචාරය කර ඇතැයි ද එහි දැක්වේ.
විමල් වීරවංශ යන අය විසින් සිදු කළ මේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ පදනම්විරහිත ප්‍රකාශයක් වන අතර, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැතිවරයා වශයෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කීර්තිනාමය හා මහජන විශ්වාසයට ද්වේෂසහගත ලෙස හානි කිරීමේ අරමුණින් සිදු කරන ලද්දක් බව පැහැදිලිව පෙනී යන බව ද එහි දැක්වේ.
මෙය ප්‍රචාරය කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විමසීමක් හෝ ඇමැතිවරයාගෙන් කර නැතැයි එහි දැක්වෙන අතර, මේ වන විටත් අන්තර්ජාලයේ සහ සමාජ මධ්‍ය අවකාශ මේ ප්‍රකාශ උඩුගත කර ඇතැයි ද එහි සඳහන් කර ඇත.
ඒ අනුව ඉහත කී අපහාසාත්මක ප්‍රචාරණය හේතුවෙන් සිය කීර්තිනාමයට සිදු කර ඇති හානිය වෙනුවෙන් රුපියල් බිලියනය බැගින් ගෙවීමට කටයුතු කරන ලෙස විමල් වීරවංශ යන අය සහ Ben Holdings (PVT) Ltd හා EAP Broadcasting Company Limited යන ආයතන වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සිය නීතිඥවරයා මඟින් දැනුම් දී ඇත. නොඑසේ නම් ඉදිරි නීතිමය කටයුතුවලට එළැඹෙන බව ද මෙහිදී දැනුම් දී තිබේ.



