ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය වෙනුවට මාධ්‍ය ක්ෂේත්‍රයේ අභිවර්ධනය උදෙසා පිහිටුවීමට යෝජිත මාධ්‍ය කොමිෂන් සභාවක් වෙනුවෙන් සකස් කළ මූලික සංකල්ප පත්‍රිකාවක් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න වෙත පිළිගැන්වීම පසුගියදා සිදුවිය.

ප්‍රවීණ ජනමාධ්‍ය වෘත්තිකයින්, පරිපාලකයින්, සන්නිවේදන හා මාධ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන්, නීතිවේදීන්ගෙ ඇතුළු සම්පත් දායකයින් දස දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් විසින් සකස් කළ මෙම සංකල්ප පත්‍රිකාව, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පිළිගන්වන ලද්දේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර විසිනි.

මෙම අවස්ථාවට සංකල්ප පත්‍රිකාව සම්පාදක කමිටුවේ සාමාජිකයින්, අමාත්‍යංශයේ නිලධාරීන් මෙන්ම මාධ්‍ය සංවිධාන නියෝජිතයින් කිහිපදෙනකුද සම්බන්ධවී සිටියහ.

මෙම අවස්ථාවට එක්වෙමින් ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය, ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මෙසේ සඳහන් කළාය.

“ජනමාධ්‍යයට යම් නියාමනයක් අවශ්‍ය බව කාලයක් තිස්සේ මහජනයා, සිවිල් සංවිධාන ඉල්ලමින් ඉන්නවා. දේශපාලන ඇඟිලි ගැසීම්වලින් තොර කොමිෂන් සභාවක් ගැන විවිධ අවස්ථාවල විවධ අය පෙන්වා දුන්නා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත්‘ස්වාධීන මාධ්‍ය කොමිෂන් සභාවක්’ ස්ථාපිත කිරීමේ පොරොන්දුවක් දී තිබෙනවා. මීට පෙර මාධ්‍ය සංවිධාන පවා භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කරමින් යම් නියාමනයක් පවත්වාගෙන යා හැක්කේ කෙසේද යන්න පිළිබඳ යම් යම් සාකච්ඡා, ප්‍රකාශන සිදුකර තිබෙනවා. මා පවා මාධ්‍ය සංවිධානයක කටයුතු කළා. ඒ කාලෙදිත් මේ සම්බන්ධයෙන් විවිධ මැදිහත්වීම් කළා. දැන් අපට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මාධ්‍ය ක්ෂේත්‍ර යේ සියලු වෘත්තිකයින්, සංවිධාන, සිවිල් සමාජ ක්‍රියාකාරීන්, විද්වතුන්, පර්යේෂකයින්, වගේම පොදු ජනයා එක්ව මාධ්‍ය කර්මාන්තයේ උන්නතියට, අභිවර්ධනයට මේ වැඩපිළිවෙළ ඉදිරියට ගනිමු. ඒ සඳහා සහය දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා”

ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ප්‍රියාන් ආර් විජේබණ්ඩාර, තොරතුරු අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික නීතිඥ ජගත් ලියන ආරච්චි, කැලණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නි‍වේදන අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී/ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස, ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී /බාහිර කථිකාචාර්ය අසෝක ඩයස්, The Sunday Morning පුවත්පතේ උපදේශක කතෘ / ජාතික මාධ්‍ය ප්‍රතිපත්ති සම්පාදක කමිටුවේ සාමාජික මන්දනා ස්මයිල්, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ පුවත්පත් කොමසාරිස් නිරෝෂන් තඹවිට, එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නීති නිළධාරී නීතිඥ නිවන්ති තිලකරත්න, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හිල්මි මොහොමඩ්, ප්‍රවීණ ඡායාරූප මාධ්‍යවේදී කනපතිපිල්ලෙයි කුමනන්, නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්තද සිල්වා, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති ප්‍රියන්ත වෙදමුල්ල මෙම සංකල්ප පත්‍රිකාව සකස් කළ සම්පාදක කමිටුව වේ.