කලාව, සංස්කෘතිය, දේශපාලනය, ආර්ථිකය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ගැන විද්වත්, සාරගර්භ ලිපිවලින් සුසැදි දෙසතිය සඟරාව යළි ආරම්භ කිරීම කාලෝචිත ක්‍රියාවක් බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති නීතිඥ කෞශල්‍යා ආරියරත්න මහත්මිය පැවසුවාය.
මෙවැනි කාල වකවානුවක මෙම සඟරාව නැවත එළිදැක්වීම අභියෝගයක් බවත් එම අභියෝගයට නොබියව මුහුණ දී සිටින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා ගැන සතුටට පත් වන බවත් නියෝජ්‍ය ඇමැතිවරිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කරන දෙසතිය පුවත් සඟරාව නව මුහුණුවරකින් “සුහුරු අතට දෙසතිය” තේමාවෙන් එළිදැක්වීමේ උත්සවයට එක්වෙමිනි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සහ ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති නීතිඥ කෞශල්‍යා ආරියරත්න මහත්මිය වෙත දෙසතිය සඟරාව පිළිගැන්වීම ද මෙහිදී සිදුකෙරිණ.
www.desathiya.lk, දෙසතිය ඇප් එක මඟින් ද මෙම සඟරාව පරිශීලනය කළ හැකිය.
එහිදී නියෝජ්‍ය ඇමැතිවරිය මෙසේද පැවසුවාය.
අපේ තාත්තා නිතර ගෙනා සඟරාවලින් එකක් තමයි දෙසතිය සඟරාව. සිව්දෙස සඟරාවත් ගෙනාවා. දෙසතිය සමඟ ආත්මීය බැඳීමකුත් මට තිබෙනවා. අපේ කියවීමේ රටාවන්, ජීවන රටාවන් වෙනස් වීමත් සමඟ අපේ කියවීමේ පුරුදු වෙනස් වුණා. ඩිජිටල් ලෝකය තුළ අපේ කියවීමේ පුරුද්ද ඈත්වෙලා තිබෙනවා. කියෙව්වා වුණත් කියවන්නේ ඩිජිටල් තිරය මඟින්. ඒ කොහොම වුණත් සඟරාවක් අතට ගත් විට එහි සුවඳ බලන්නට අපි පුරුදු වෙලා තිබෙනවා. කඩදාසියත් සමඟ අපේ ජීවිත බැඳිලා තිබෙනවා. අලුත් පරම්පරාවේ අයට නම් ඒක කොහොමද කියලා මම දන්නේ නැහැ. ශාස්ත්‍රීය ලේඛන කොතරම් බාගත කරගෙන ඩිජිටල් තිරයේ කියවීම සිදු කළත් පොතක් කියවනවා වගේ දැනීමක් නැහැ. අලුත් ජෙන් සී පරම්පරාවට නම් එහෙම වෙනවාද කියලා දන්නේ නැහැ. පොතක් සහ ඩිජිටල් තිරයේ කියවීම අත්දැකීම් දෙකක්. දෙසතිය සඟරාව නැවත එළිදක්වනවා කීවාම මම ඒ ගැන අධ්‍යයනය කළා. කලාව, සංස්කෘතිය, දේශපාලනය, ආරාධිත ලිපි යනාදිය මෙහි ඇතුළත් වෙනවා. මේක ලේසියෙන්ම වැහිලා යන්නට තිබූ සඟරාවක්. වැහුණා කියලා ගැටලුවකුත් නැහැ කාටවත්. එහෙම වෙද්දිත් ප්‍රවෘත්ති අධ්යක්ෂවරයා මෙහි වගකීම කරට ගෙන නැවත එළිදැක්වීමට ගත් නිර්භීත පියවර ගැන සතුටු වෙනවා. මේ කාලය වන විට පුවත් මාධ්‍ය අභියෝගයට ලක්ව තිබෙනවා. පුවත්පත් වැහෙමින් යනවා. පුවත්පත් ඩිජිටල් වෙනවා. ගෝලීය තත්ත්වය නිසා අපි දැන් ඩිජිටල් අවකාශයට යනවා වැඩියි. විශේෂයෙන්ම කොවිඩ් කාලයෙන් පසුව පත්තරවල මිලත් වැඩි වුණා. ජනමාධ්‍ය කලාව සහ සාහිත්‍ය කලාව අතර තිබෙන්නේ ඉතාම ළඟින් යන ආකාරයක්. එනම් ජනමාධ්‍ය වාර්තාකරණය සහ සාහිත්‍ය වාර්තාකරණය එකට යන ගතියක් තිබෙනවා. ඒ දෙක මධ්‍යයේ තමයි මේ දෙසතිය තිබෙන්නේ. ජනමාධ්‍යවේදය කර්මාන්තයක් කරන්නා සේම යහපත් මිනිසෙක් බිහි කිරීමත් රජයක් විදියට අපි භාරගෙන තිබෙනවා. අලුත් සංවාද මේ මහ පොළොවේ පැළ කරන්නට දරන වෑයම සමඟ ජනමාධ්‍ය කටයුතු සංවර්ධනයට අපි කටයුතු කරනවා. ඒ වෙනුවෙන් මාධ්‍ය ප්‍රතිපත්තිය හෙට හෝ අනිද්දා එළියට එයි. ජනමාධ්‍යවේදීන් සඳහා වන වරලත් ආයතනය කැබිනට් අනුමැතියට යොමු කරනවා. සම්මාන උෙලළක් අපි කරනවා. ඊට අලුත් මුහුණුවරක් දිය යුතුයි. යහපත් සිතුවිලි ඇති උදාර සංස්කෘතික ජීවිතයක් සැබෑවක් කරන්නට අපි කටයුතු කළ යුතුයි. ඒ සඳහා විශාල වැඩ කොටසක් අපට තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා
පරිණාමවාදයේ තිබෙන සමහර ඉගැන්වීම් මාධ්‍ය ක්ෂේත්රයට සහ අපගේ ජීවිතයටත්, රාජ්‍ය සේවාවටත් අදාළයි කියලා. සාමාන්‍යයෙන් පරිණාමයේ දී වර්ගයා බෝ කරමින් සුරක්ෂිත වන්නට සහ ඉදිරි පරපුර පවත්වා ගැනීමට තෝරා ගන්නේ වෙනස් වන පරිසර තත්ත්වයන්ට වඩාත් හොඳින් අනුවර්තනය විය හැකි ජීවීන්. උදාහරණයක් ජිරාෆ්ලා. පරිණාමයේ දී බෙල්ල දිග ජිරාෆ්ලත් හිටියා. බෙල්ල එතරම් දිග නැති ජිරාෆ්ලත් හිටියා. ආහාර ආදිය නොමැති කාලයක තම පරම්පරාව ඉදිරියට ගෙන යා හැකි බෙල්ල ජිරාෆ්ලා අවසානයේ ඉතිරි වුණා. ඒ වගේ තමයි පුවත්පතත්. රාජ්‍ය සේවාවත් එහෙමයි. අපේ කැපවීම දක්වා සාර්ථකත්වය සතුට කර ගත් රාජ්‍ය සේවාවක් අවශ්‍ය වෙනවා. එවැනි දෙයක් තිබූ විට තමයි ලස්සන පොහොසත් රටක් හැෙදන්නේ. 1978 වසරේ දෙසතිය ආරම්භ කළා. ගිය වසරේ අපි වැඩ භාර ගන්නා විට 2008 සිට 2024 දක්වා වසරවල මුද්‍රණය කළ සඟරා 80000ක් ගබඩාවල තිබුණා. දශක කිහිපයක් පුරා ජනතාව අතර තිබූ සිහිවටනයක් දෙසතිය තුළ තිබෙනවා. එයට අදාළ වටිනාකම ප්‍රශ්නාර්ථයක් විදියට තිබුණා. සියල්ල මුදල් මත යැපෙන කාලයක දෙසතිය මුද්‍රණය කරනවා. මෙම මුද්‍රණවලින් සියයට 80 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීමට අපි කටයුතු කරනවා. මේ මස සිට දෙසතිය මුද්‍රණය සියයට සියයකින් වැඩි කරනවා. අපට පසුගිය කාලයේ ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න බැරි වුණා. මිනිසුන් මේක ඉල්ලන්නේ නැතිවෙයි කියලා දෙයක් අපේ ඔළුවට ගොස් තිබෙනවා. යහපත නව තාක්ෂණයත් සමඟ බද්ධ කරලා ඉදිරියට යා යුතුයි.
ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් රංජිත් ආරියරත්න මහතා
සාමාන්‍යයෙන් ප්‍රතිපත්තියක් විදියට මම රාජකාරි කළ තැන්වලට යන්නේ නැහැ. ඊර්ෂ්‍යාවක් හෝ දුකක් හට ගන්නා නිසා තමයි යන්නේ නැත්තේ. නමුත් ආරාධනාවක් ලැබුණොත් සහභාගි වෙනවා. 1977 කියන්නේ මෙරට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් කාලය. 1832 වසරේ මෙරට මුල්ම සඟරාව ආරම්භ වුණා. එදා සිට මේ දක්වා සඟරා වර්ග 500ක් පමණ නිකුත්ව තිබෙනවා. ඒවායේ පරමාර්ථය වන්නේ තෝරා ගත් විෂය ක්ෂේත්රයක් හෝ පොදුවේ විෂයන් අරඹයා දැනුම ජනගත කිරීම. ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සංකල්පයට අනුව දෙසතිය සඟරාව එළිදැක්වුණා. ආණ්ඩුවේ හොරණෑවක් නොවී සමාජයේ වගකීම ඉටු කිරීමට දෙසතිය පියවර ගත්තා. අපේ ජීවිතවලටත් විශාල බලපෑමක් කරන්නට මේ සඟරාව හේතු වුණා. දෙසතිය සඟරාවත් සමඟ කල්පනා, ඉසුර, ආර්ථික විමසුම වැනි සඟරාත් අපිට එකල පාසලේදී කියවන්න ලැබුණා. සරල භාෂාවකින් යුක්ත දෙසතිය සඟරාව තුළ හොඳ ලේඛන රටාවක් තිබුණා. ඒ ලේඛන රටාව නිසා ගොවියාගේ සිට විද්‍යාඥයා දක්වා මේ සඟරාව කියවන්නට පෙලඹී සිටියා. 1987 දී තමයි මම මාධ්‍ය කලාවත් සමඟ එකතු වන්නේ. උපාලි පුවත්පත් සමාගම, ලේක්හවුස්, රජරට සේවාවේ සිට අවසානයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා බවට පත් වුණා. හිතන ජාතියක් සඳහා වේදිකාවක් බවට මේ සඟරාව පත් කළ යුතුයි. වර්තමානයේ සිටින්නේ හිතන ජාතියක් ද කියන ගැටලුව තිබෙනවා. නොමඟ යාමට වැඩි ඉඩක් තිබෙන තරුණ පරම්පරාව එතුළින් ගලවා ගැනීමට සඟරාවට හැකියාවක් තිබෙනවා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු බොහෝ පිරිසක් සහභාගි වූහ.



