මැද පෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හමුවේ මෙරට ජනජීවිතය සහ රාජ්‍ය සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා විශේෂ කමිටු 04ක් පිහිටුවීමට රජය තීරණය කළ බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය. (16) පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
ඒ අනුව, බලශක්ති කටයුතු සම්බන්ධ කමිටුව අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්ද, අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම සම්බන්ධ කමිටුව අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්ද, සමාජ සුබසාධන කටයුතු සම්බන්ධ කමිටුව අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන්ද පිහිටුවන බව ඔහු පැවසීය. රාජ්‍ය සේවාවන් පිළිබඳ කමිටුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන බවද ඔහු සඳහන් කළේය. රට තුළ පවතින තත්ත්වය අධ්‍යයනය කරමින් ඉදිරි කටයුතු සැලසුම් කිරීම මෙම කමිටු මගින් සිදු කිරීමට බලාපොරොත්තු වන බවද ඒ මහතා පැවසීය. රජය මගින් සංවිධානය කරන උත්සව කටයුතුද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට තීරණය කර ඇති බවද ඔහු පැවසීය. දැනට රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින බවත්, ඉදිරියේදී ඇතිවිය හැකි ගැටලු සඳහා මුහුණදීමට මෙම තීරණ ගෙන ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
තවද සෑම සතියකම බදාදා දිනය නැවත දැනුම්දෙන තුරු රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර, එදින හැර ඉතිරි දිනවලදී නිලධාරීන් සේවයට කැඳවීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට ඒ ඒ ආයතනවලට බලය ලබා දෙන බවද ඔහු සඳහන් කළේය. පාසල් පැවැත්වීම සම්බන්ධයෙන්ද ඉදිරියේදී දැනුම්දෙන බවද ඒ මහතා පැවසීය.



