මෙරට තැපැල් කාර්යාල සඳහා නව ගොඩ­නැ­ඟිලි 18ක් සහ පව­තින ගොඩ­නැ­ඟිලි 211ක් අලු­ත්වැ­ඩියා කිරී­මට පිය­වර ගෙන ඇති අතර ඒ සඳහා රුපි­යල් මිලි­යන 1,200ක මුද­ලක් වැය­කර ඇති බවත් සෞඛ්‍ය හා ජන­මාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරි­ය­රත්න මෙනවිය ඊයේ (08) ප්‍රකාශ කළාය. මෙරට තැපැල් පද්ධ­තිය ශක්ති­මත් කිරී­මට අවශ්‍ය තීන්දු තීරණ ගන්නා බවද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රිය පෙන්වා දුන්නාය.

නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රිය මේ බව සඳ­හන් කළේ, පාර්ලි­මේන්තු මන්ත්‍රී තුරෙ­යි­රාසා රවි­ක­රන් මහතා මතු කරන ලද ප්‍රශ්න­ය­කට පිළි­තුරු දෙමිනි. මන්ත්‍රී­ව­රයා මතු කරන ලද ප්‍රශ්න­යට පිළි­තුරු දුන් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රිය සඳ­හන් කළේ මුල්ලි­ය­ව­ලෙයි තැපැල් කාර්යා­ල­යට වෙන්ක­රන ලද ඉඩම මේ වන විට යුද හමු­දාවේ 23 වන බළ­ඇ­ණිය විසින් පරි­හ­ර­ණය කරන බවයි.

එම ඉඩම මෙම වසරේ ජූලි මාසය වන විට ලබා­දෙන බවට යුද හමු­දාව විසින් වාචික තහ­වු­රු­වක් ලබාදී ඇති අතර එම ඉඩම ලබා­දී­මෙන් පසුව තැපැල් කාර්යා­ලය ඉදි­කි­රීමේ කට­යුතු ආරම්භ කරන බවද සඳ­හන් කළාය.