‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවිහිංසාවාදය හා සාමයේ පණිවිඩය ලොවට ගෙනයෑමේ වෑයමක් බව වියට්නාමයේ පඤ්ඤාකර හිමියෝ පැවසූහ.
‘Walk for Peace’ සාම පා ගමන සම්බන්ධයෙන් අත්තනගල්ල රජ මහා විහාරස්ථානයේ ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කීහ.
‘Walk for Peace Program in Sri Lanka’ සාම පා ගමන වෙනුවෙන් අමෙරිකානු සාම පා ගමන සඳහා නායකත්වය දුන් පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ සිවු නමක් ඊයේ (21) උදෑසන දිවයිනට වැඩම කළහ. මෙම සාම පා ගමනට එක්ව ලොව පුරා ආදරයට පත්‘ආලෝකා’ (Aloka) සුනඛයා ද ඔවුන් සමඟ මෙරටට පැමිණ සිටී.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුෙපාළ වෙත වැඩම කළ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ භික්ෂූන් වහන්සේ බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහත්වරුන් විසින් පිළිගනු ලැබිණි. පසුව අනුරාධපුරයට පැමිණි සාම පා ගමන ඓතිහාසික ජය ශ්‍රී මහා බොධින් වහන්සේ සහ රුවන්වැලි මහ සෑ රදුන් වැඳ පුදා ගනු ලැබිය. මෙහිදී ජය ශ්‍රී මහා බෝධි අංකුරයක් ද වැඩමවන ලදි. උන්වහන්සේලා පසුව අත්තනගල්ල රජමහා විහාරස්ථානයට පැමිණියහ.
අත්තනගල්ලේදී පැවති මාධ්‍ය හමුවේදී අනුශාසනාවක් කළ වියට්නාමයේ පඤ්ඤාකර හිමි,
“ආලෝකා සාම සුනඛයා මේ තරම් දුරක් ඇවිදපු එක ගැන ලෝකය පුරා සිටින ආදරේ කරන පිරිස් විශාල සැලකිල්ලක් දැක්වූවා. වාසනාවකට වගේ විශාල පිරිසකගේ උදවු උපකාර ලැබුණා. පශු වෛද්‍යවරුන්ගෙන් පවා හොඳ රැකවරණයක් ලැබුණා. මට හිතෙන්නේ අපිට වගේම මේ සතාටත් මේ ගමනේදී ලොකු මෙහෙවරක් තිබෙනවා.
භික්ෂූන් වහන්සේ එක්ක එයත් ඒ මෙහෙවර ඉටුකරමින් සිටිනවා. ඇවිදින අතරතුර මට කකුල් රිදෙනකොට, මහන්සි දැනෙනකොට එයා දිහා බලනවා. අපිට තියෙන්නේ කකුල් දෙකයි. ඒත් එයාට කකුල් හතරක් තියෙනවා. අපිට දැනෙන වේදනාව වගේ දෙගුණයක් එයාට දැනෙනවා ඇති. හැබැයි කොයි වෙලාවකවත් මේ ගමන අතහරින්නේ නැහැ. ඒක දකිනකොට අපිටත් ඉදිරියට යන්න ලොකු හයියක් ලැබෙනවා.
සාමය කියන්නේ කවුරු හරි පිටින් ගෙනත් දෙන දෙයක් නෙවෙයි. ඒක තමන්ගේ ඇතුළාන්තයෙන්ම පටන් ගන්න ඕනෑ දෙයක්. මිනිස්සු සාමය හොයන්න පිටතින් ලොකු සටනක් කරනවා. ඒකෙන් ලැබෙන්නේ තාවකාලික සැනසීමක් විතරයි. අපේ ගෞරවනීය භික්ෂූන් වහන්සේලාට වුණත් මුළු ලෝකයටම එකපාර සාමය දෙන්න බැහැ. ඒත් අපිට පුළුවන් එක පණිවුඩයක් දෙන්න. ඒ තමයි පොඩ්ඩක් නතර වෙලා තමන්ගේ හදවත දිහා බලන්න කියන එක.
අපි හැමෝම ඉන්නේ බාහිර ලෝකය පස්සේ දුවන ලොකු හදිස්සියක. අපිට අපේ හුස්ම ගැන හදගැස්ම ගැන හිතන්නවත් වෙලාවක් නෑ. ඒ නිසාම අපි ඕනෑම දේකට ඉක්මනින් කේන්ති ගන්නවා. ප්‍රතිචාර දක්වනවා. ඒකෙන් වෙන්නේ අපි තවත් දුක් විඳින එකයි. ලෝකයට වෛරය පතුරවන එකයි විතරයි.
ලෝකයට වෛරය දුන්නොත් සොබාදහමෙන් අපිට ලැබෙන්නේ විනාශයම තමයි. ඒ නිසා අපි හැමෝම මීට වඩා ටිකක් තැන්පත් වෙලා තමන්ගේ ඇතුළාන්තය ගැන හිතනවා නම් ලෝකය මීට වඩා ගොඩක් ලස්සන තැනක් වේවි. ඒක හරිම සරල දෙයක්. අපි හැමෝම එකතු වෙලා ඒ දේ කරමු.
අමෙරිකාව, වියට්නාමය, තායිලන්තය, ප්‍රංශය වැනි රටවලින් පැමිණි අපගේ විශාල කණ්ඩායම පිළිගැනීම සහ මෙම සාම පා ගමනට අවස්ථාව සලසා දීම පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට මගේ කෘතඥතාව පිරිනමන්න කැමැතියි.
ඒ වගේම ශ්‍රී ලංකාව හා අමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට සර්වඥ ධාතූන් වහන්සේලා සහ බෝධි අංකුරයක් අමෙරිකාව වෙත වැඩම කරවීමේ මෙහෙවරට දායක වීමට ලැබීම අපට ලොකු ආශීර්වාදයක්. මෙම පින්බිමේ දින හයක කෙටි පා ගමනක යෙදීමට ඉඩ ලැබීම ගැනත් අප ඉතාමත් කෘතඥ වෙනවා.”
මෙහිදී අනුශාසනා කළ ආචාර්ය මේල්පිටියේ විමලකිත්ති හිමි,
“අමෙරිකාවේ මේ සාම පා ගමනත් එක්ක විශාල ප්රබෝධයක් ඇති වුණා. සංස්කෘතික වශයෙන් ශ්‍රී ලංකාව වෙනස්. ඒ වෙනස් ස්වභාවය අනුව අපි මේ සාම පා ගමන ඉතාම වැදගත් කටයුත්තක් ලෙස සිදු කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ පා ගමනට සහභාගි වීමත් එක්ක පඤ්ඤාකර හාමුදුරුවන්ට ලොකු රැල්ලක් අමෙරිකාවේ ඇති කරන්න පුළුවන් වුණා.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාවටත් යම්කිසි සුබවාදී පණිවුඩයක් ලබාදෙන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. මේක නිකම්ම නිකන් පා ගමනක් නෙවෙයි. විශේෂ පණිවුඩයක් දීගෙන යන ගමනක්. ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවත් අමෙරිකාවත් බුදු දහමත් එක්ක සම්බන්ධ වෙන අවස්ථාවක්.
මේ ගමනේදී අපි සුවිශේෂ පණිවිඩයක් දෙනවා. සාමය හා සතිමත් බව කෙටි කරලා, තප්පර ගණන්වලින් විනාඩියකින් අපි කොහොමද සාමයයි සතිමත් බවයි දෙකම තියාගන්නේ කියන පණිවිඩයත් අරන් යනවා. ඒක හොඳට අහන්න. අද අපි ගමන ආරම්භ කළා.
පා ගමනේදී කරුණාකරලා හාමුදුරුවරුන්ගේ ඉදිරිපසින් ගමන් කරන්න එපා. එතකොට හාමුදුරුවරු නතර වෙනවා.
හුඟක් අය මේ පා ගමනට සහභාගි වෙන්න අවස්ථාව ඉල්ලනවා. මේ භික්ෂූන් වහන්සේලා කැමතියි පටන් ගත්ත භික්ෂූන් වහන්සේලාගෙන්ම මේක ඉවර වෙනවා නම්. ඒක නිසා ඒක කරන්න දෙන්න බැහැ. විනය කියන එක අගට වෙනකම්ම තිෙයනවා නම් අපේ හාමුදුරුවරු කැමැතියි. එතකොට තමයි ලස්සන. අපේ හාමුදුරුවරුන්ට පිටුපසින් ගමන් කරන්න පුළුවන්. නමුත් බාධාවක් වෙන්න බැහැ.
ඔබට සහභාගි වෙන්න පුළුවන්. මේ දවස්වල පාර රත් වෙලා ඒක වළක්වගෙන හාමුදුරුවරුන්ට ඉදිරියට ගමන් කරන්න කෙහෙල් පතුරු එළන්න. කෙහෙල් කොළ අතුරන්න. ඒක නිරෝගී සම්පත්තිය ලැබෙන උතුම් පින්කමක්.” යැයිද කීහ.



