අද විශේෂ රථ වාහන සැලැස්මක්
සාමයේ පණිවිඩය ලෝකයට රැගෙන යෑම අරමුණු කරගෙන ගෞරවනීය වියට්නාමයේ පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් සිදු කරන ‘ඒහිපස්සිකෝ’ සාම පාද යාත්‍රාව අද (28) අවසන් වීමට නියමිත වන අතර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිදහස් චතුරස්රයේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළය නිල වශයෙන් භාර දීමට නියමිතව තිබේ. සාම පා ගමන යක්කල අබේසේකරාරාමයේ සිට කැලණිය රජමහා විහාරස්ථානය දක්වා ඊයේ (27) ගමන් ගත් අතර අද (28) පෙ.ව. 11.00ට කැලණි රජමහා විහාරස්ථානයේදී පාසල් ළමුන් හා විශ්වවිද්‍යාල සිසුන් සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ. අද (28) ප.ව. 4.00ට නිදහස් චතුරස්රයේදී ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් රාජ්‍ය උත්සවයක්ද පැවැත්වේ. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පඤ්ඤාකර හිමි ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළය නිල වශයෙන් භාර දීමට නියමිතව ඇත. නැවත ප.ව. 5.30ට ආරම්භ කෙරෙන පා ගමන ප.ව. 7.00ට ගංගාරාම විහාරස්ථානයෙන් අවසන් කිරීමට නියමිතව තිබේ.
ආගමික සහජීවනය හා සාමය පිළිබඳ ලෝකයට පණිවිඩයක් ලබාදෙමින් ගමන් ගන්නා සාම පා ගමන සඳහා බෞද්ධයන්ට අමතරව අනෙකුත් ආගමික සහ ජාතික කණ්ඩායම්වල පිරිස්ද අන්‍යාගමික නායකයන්ද සහභාගගි වීම විශේෂත්වයකි. සාම පා ගමනේ යෙදෙන මහා සංඝරත්නයට මල් පූජා කිරීමටත් උන් වහන්සේ ගමන් ගන්නා මාර්ගයේ මල් ඇතීරීමටත් බොහෝ බැතිමතුන් කටයුතු කටයුතු කරනු දක්නට ලැබිණි. කුඩා දරුවන්, ආබාධිත පුද්ගලයන් මාර්ගය අසලට ගෙනැවිත් හිමිවරුන්ගේ ආශීර්වාදය ලබාගැනීමට බොහෝ පිරිස් උත්සුක වූ අතර පා ගමනේ යෙදෙන භික්ෂුන් වහන්සේද එවැනි පිරිසට ආශීර්වාද කිරීමට ඉදිරිපත් වූහ.
ජනාධිපති ලේකම් කාර්යාලය, “Clean Sri Lanka” වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය,
ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ ජාතික නිර්මාණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන රැසක් මෙම වැඩසටහනට සහාය ලබාදෙයි. මැයි 01දා උදෑසන සාම පා ගමනට පැමිණි භික්ෂුන් වහන්සේ නැවත අමෙරිකාවට පිටත්වීමට නියමිතව තිබේ



