ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන/ තාක්ෂණික සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සේවා නිලධාරී තනතුර සඳහා නිලධාරීන් 326 දෙනෙකු හට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ගරු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2026 අප්‍රේල් 28 වන දින පෙරවරුවේ තැපැල් මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීමේ අරමුණින්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සේවා නිලධාරී තනතුරු 600ක් සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබුණි. ඒ අනුව, පසුගිය වර්ෂයේ අගභාගයෙදී පැවැත්වූ තරග විභාගයෙන් සමත් වී, සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වී නිසි සුදුසුකම් සම්පූර්ණ කරන ලද 326 දෙනෙකු හට පළමු අදියර යටතේ මෙලෙස පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සිදු කෙරිණි.
නව පත්වීම් ලැබූ මෙම නිලධාරීන් දිස්ත්‍රික් මට්ටමින් බඳවා ගැනීමට ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. පළාත් මට්ටමින් ස්ථාපිත කර ඇති තැපැල් අභ්‍යාස ආයතනවල ලබාදෙන සති දෙකක විශේෂ පුහුණුවකින් අනතුරුව අදාළ රාජකාරී කටයුතු සඳහා ඔවුන්ව දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබේ.
උත්සව සභාව අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමා අවධාරණය කර සිටියේ, වර්තමාන රජය යටතේ රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්වලදී කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවන බවයි. ඒ සඳහා අමාත්‍යවරයාගේ නාම ලේඛන හෝ බලපෑම් නොමැති බවත්, සියලුම බඳවා ගැනීම් පිරිසිදුව සුදුසුකම් මත පමණක් සිදුකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් දීපා ලියනගේ, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පතිවරුන් වන එච්.එම්. ප්‍රේමචන්ද්‍ර හේරත්, තුසිත හුලංගමුව, චමීෂා ද සිල්වා යන මහත්ම මහත්මීන් සහ පළාත් නියෝජ්‍ය තැපැල්පතිවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.



