මාලදිවයිනේ මාලේ නුවර ඊයේ (12) දින පැවැති 21 වන ආසියානු මාධ්‍ය සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී විය.
“Maldives 2.0: From Tradition to Tech” යන තේමාව යටතේ මෙවර සමුළුව සංවිධාන කර තිබූ අතර, වේගයෙන් වෙනස් වන ගෝලීය මාධ්‍ය ප්‍රවණතා හමුවේ වෘත්තීයවේදීත්වය සහ සත්‍යගරුකභාවය සුරකිමින් ඉදිරියට යන ආකාරය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ශ්‍රී ලංකාවේ නව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීම සහ එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙහිදි සමුළුව දැනුවත් කරන ලදී.
සම්ප්‍රදායික මාධ්‍ය සහ ඩිජිටල් මාධ්‍ය යනු එකිනෙකා සමඟ තරග කරන්නන් නොවන බවත්, සත්‍ය සහ වගකීම් සහගත පුවත් ජනතාව වෙත ගෙනයාමේදී එම ක්ෂේත්‍ර ද්විත්වයම ඉතා වැදගත් බවත් ඔහු අවධාරණය කළේය.
අප හඳුන්වා දෙන නව ප්‍රතිපත්තිය ප්‍රධාන වශයෙන් මාධ්‍ය නිදහස තහවුරු කිරීම, ඩිජිටල් යුගය තුළ පෞද්ගලිකත්වය සහ ගෞරවය ආරක්ෂා කිරීම මෙන්ම මාධ්‍යවේදීන් සඳහා වරලත් ආයතනයක් පිහිටුවීම ඔස්සේ වෘත්තීයවේදීත්වය ශක්තිමත් කිරීම යන මූලික කරුණු මත පදනම් වේ.
කෘත්‍රිම බුද්ධිය (AI) ඇතුළු නවීන තාක්ෂණික මෙවලම්වල වර්ධනය පිළිබඳව අදහස් දක්වමින්, මෙම නවෝත්පාදනයන් දෙස බියෙන් නොබැලිය යුතු බවත්, මානව පරිණාමයේ ස්වාභාවික පියවරක් ලෙස ඒවා වගකීම් සහගතව වැළඳගත යුතු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම රජය මගින් පනවනු ලබන දැඩි නීතිරීතිවලට වඩා, මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සක්‍රීය මැදිහත්වීමෙන් සිදුවන ස්වයං-නියාමනය වඩාත් ප්‍රතිඵලදායක බව සිය විශ්වාසය බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අපගේ අවසන් ඉලක්කය වන්නේ මානව හිමිකම් සහ නීතිමය රාමුවට ගරු කරමින්, තාක්ෂණික දියුණුව මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා උපරිමයෙන් යොදාගැනීම බවද ඔහු කියා සිටියේය.
බංග්ලාදේශයේ තොරතුරු සහ විකාශන අමාත්‍ය මොහොමඩ් අලි අරෆත් මහතා, ටිමෝර් ලෙසතෝ රජයේ සමාජ සන්නිවේදන පිළිබඳ රාජ්‍ය ලේකම් එක්ස්පෙඩිටෝ ලෙමොස් ලයිට් මැග්නෝ මහතා සහ මාලදිවයිනේ තොරතුරු හා කලාව පිළිබඳ අමාත්‍ය ඉබ්‍රාහිම් ඉෂාම් මහතා ද මෙහිදී අදහස් දැක්වූහ.
මීට අමතරව බිම්ස්ටෙක් (BIMSTEC) මහලේකම් ඉන්ද්‍ර මණි පාන්ඩේ මහතා සහ සාර්ක් (SAARC) මහලේකම් එම්.ඩී. ගොලාම් සර්වර් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



