ශ්‍රී බුද්ධ වර්ෂ 2570 වෙනි 2026 වර්ෂයට යෙදී ඇති රාජ්‍ය වෙසක් මහෝත්සවය මැයි 27 වනදා ජනපතිගේ ප්‍රධානත්වයෙන් මාතර තිහගොඩ මිදෙල්ලවෙල පුරාණ විහාරයේදී ඇරඹෙන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රාජ්‍ය වෙසක් මහෝත්සවය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
ජුනි 02 දක්වා සතියක කාලයක් මුලු මහත් මාතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි අතිවිශාල වැඩසටහන් සම්භාරයක් සංවිධානය කර ඇතැයිද පැවසූ අමාත්‍යවරයා මෙවර වෙසක් රාජ්‍ය මහෝත්සවයේ තේමාව යහපත පිණිස වහ වහා පෙළගැසෙමු යන්න බවද අවධාරණය කළේය.
මෙවැනි පසුබිමක මෙය අපට අවශ්‍යම වන තේමාවක් බව පැවසූ අමාත්‍යවරයා වාර්ෂිකව අඛණ්ඩව රාජ්‍ය අනුග්‍රහය යටතේ බුද්ධශාසන අමාත්‍යංශයේ මෙහෙයවීම හා ශාසනාරක්ෂක මණ්ඩලයේ සංවිධානය සහිතව මෙම රාජ්‍ය වෙසක් මහෝත්සවය සිදුකෙරෙන බවද පෙන්වා දුන්නේය.
සම්බුදු තෙමඟුල පිණිස සිදුවන මෙම මහෝත්සවය තරම් වූ වෙනත් උත්සවයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ සදහා මෙවර මාතර දිස්ත්‍රික්කයේ විශාල වැඩසටහන් රැසක් සූදානම් කර ඇතැයිද ඒ සදහා රාජ්‍ය අනුග්‍රහය හිමිවන බවද පැවසුවේය.



