ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සහභාගි වී සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ජපානයේ නිපෝන් පදනමේ (The Nippon Foundation) පදනමේ සභාපති යෝහෙයි සසකාවා (Yohei Sasakawa) මහතා හමුවී විශේෂ ද්විපාර්ශ්වීය සාකච්ඡාවක නිරත විය. නිපෝන් පදනම විසින් අරමුදල් යොදවා මෙරට ක්‍රියාත්මක කරන විවිධ ව්‍යාපෘති පිළිබඳවත්, රෝහල් සංවර්ධන ව්‍යාපෘති කෙරෙහිත් විශේෂ අවධානයක් යොමු කරමින් මේ සාකච්ඡාව සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආබාධිත ප්‍රජාවගේ සුභසාධනය වැඩිදියුණු කිරීම සඳහා දායක වීම සහ මෙරට සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛතාවක් වන ග්‍රාමීය දරිද්‍රතාවට පිළියම් යෙදීම අරමුණු කරගත් විශේෂ ව්‍යාපෘති පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය සෞඛ්‍ය සමුළුවේ සභාපති, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කලාපයේ ප්‍රමුඛ රටවල ක්‍රියාත්මක ප්‍රාථමික, ද්විතීයික හා තෘතීයික සෞඛ්‍ය සේවා සහ ක්‍රමවේද පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් මේ සාකච්ඡාව පැවැත්වීම ද විශේෂත්වයකි.

නිපෝන් පදනම (The Nippon Foundation) යනු සමාජ සුබසාධනය, ගෝලීය සාගර සංරක්ෂණය සහ මානුෂීය ආධාර වෙනුවෙන් ක්‍රියාකරන ජපානයේ පිහිටි ලොව ප්‍රමුඛතම පෞද්ගලික පදනමකි. ලාදුරු රෝගය තුරන් කිරීම, ආබාධිත ප්‍රජාවට සහය වීම, ගෝලීය අධ්‍යාපන සහ කෘෂිකාර්මික ව්‍යාපෘති ආදී මානුෂීය සහ සමාජ සුබසාධන සේවා නිපෝන් පදනම විසින් ක්‍රියාවට නංවනු ලබයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිව සිටින සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම නිපෝන් පදනමේ නියෝජිතයන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.