සේවා රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් ඊයේ (28) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා වෙත පැවරී ඇති බලතල අනුව මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

විදුලි බලය සැපයීම සම්බන්ධ සියලු සේවා, ඉන්ධන, ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම හෝ බෙදාහැරීම, රෝහල්, බෙහෙත් ශාලා, මගී හෝ භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම රජයේ මුද්‍රණාලය ඇතුළු රජ්‍ය මාධ්‍ය ඇතුළත් වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත‍මේන්තුව සඳහන් කරයි.

දිට්වා සුළිකුණාටුව හේතුවෙන් ඇතිවූ පසු ආපදා තත්ත්වය සලකා සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යෑම සඳහා අත්‍යවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් පහත උපලේඛනයේ සඳහන් සේවා අත්‍යවශ්‍ය සේවා බවට මෙම නියමයෙන් ප්‍රකාශයට පත්කර ඇත.

ජනාධිපතිවරයාගේ නියෝග පරිදි ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් ඊයේ (28) රාත්‍රීයේදී මෙම අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

එම අත්‍යවශ්‍ය සේවා මෙ‍ෙස්ය.

01. විදුලි බලය සැපයීම සම්බන්ධව සියලු සේවා.

02. ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් ඇතුළුව ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම.

03. රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත්ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම හා පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා, වැඩ හෝ ශ්‍රමය.

04. මගීන් හෝ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වූ පොදු ගමනාගමන සේවා.

05. මංමාවත්, පාලම්, බෝක්කු, ගුවන් තොටුපළ, වරාය හා දුම්රිය මාර්ග ඇතුළුව, මංමාවත්, දුම්රිය මාර්ග හෝ ගුවන් මගීන් ගමනාගමන සේවා, සංචාරක සේවා සඳහා පහසුකම් සැලසීම සහ පවත්වාගෙන යෑම.

06. ජලය සැපයීම සහ ජලාපවහනය සම්බන්ධ සියලු සේවා.

07. ආහාර හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම, ආරක්ෂා කිරීම හා බෙදාහැරීම සම්බන්ධ සියලු සේවා.

08. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර, ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන්, ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ කේන්ද්‍රීය කණ්ඩායම් නිලධාරීන් ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නා වූ හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවා, වැඩ හෝ ශ්‍රම දායකත්වය.

09. ගිලන්රථ සේවා.

10. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියලුම රාජ්‍ය බැංකු හා රක්ෂණ සේවා කටයුතු.

11. ජලය සැපයීම, විදුලි බලය, ජලාපවහනය සහ කසළ කානු ක්‍රමය, ගිනි නිවීමේ හා ගිලන් රථ සේවය, (අසූචි ගෙන යෑම හා බැහැර කිරීම ඇතුළුව) කසළ ශෝධනය සහ කුණු ඉවත් කිරීම සඳහා යම් පළාත් පාලන ආයතනයක් මඟින් කරගෙන යනු ලබන යම් කාර්යභාරයක් සහ පළාත් පාලන ආයතන මඟින් සිදු කරන සියලුම සේවා.

12. වාරිමාර්ග සම්බන්ධ සියලු සේවා.

13. දුරකතන, විදුලි සංදේශ හා මාධ්‍ය සම්බන්ධ සියලු සේවා.

14. පහත්බිම් ගොඩකිරීම හා සංවර්ධනය කිරීම සම්බන්ධ සියලුම සේවා.

15. කෘෂි සහ කෘෂි රක්ෂණ සේවා සම්බන්ධ සියලු සේවා.