ග්‍රාමීය ජනතාවගේ බහුමාන දරිද්‍රතාව තුරන් කිරීම අරමුණු කරගත් ‘පූජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක වන “පූජා ශක්ති – ගම් දහසක වැඩ දහසක්” වැඩසටහන අද (02) ඇරඹේ.
මෙම වැඩසටහන යටතේ හඳුනාගත් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර ඇති අතර, සමාරම්භක අදියර ලෙස ව්‍යාපෘති 1,000ක් දිවයින පුරා එකවර ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. එහි සමාරම්භක උත්සවය ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අඹගස්පිටිය ග්‍රාම නිලධාරි වසමේ පිංවල ප්‍රදේශයේදී ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව. 9ට ආරම්භ කෙරෙයි. මේ අයුරින් දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන වැඩසටහන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිතව ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක මෙම ප්‍රධාන වැඩසටහන යටතේ පිංවල අමුණ ප්‍රතිසංස්කරණය සහ එහි පැති බැමි බැඳීම සිදු කෙරෙයි. මීට අමතරව සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් ව්‍යාපෘති 3ත් 5ත් අතර සංඛ්‍යාවක වැඩ ආරම්භ කිරීමට ද කටයුතු සූදානම් කර ඇත.‘ප්‍රජා ශක්ති’ ජාතික ව්‍යාපාරය යටතේ සියලු ග්‍රාම නිලධාරි වසම්වල පිහිටුවා ඇති ප්‍රජා සංවර්ධන සභා මඟින් හඳුනාගත් නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය සංවර්ධනය ශක්තිමත් කරන ව්‍යාපෘති සඳහා අවශ්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික්ක වෙත නිදහස් කර ඇති බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කරයි. ප්‍රජා සංවර්ධන සභා සාමාජිකයන්, රාජ්‍ය නිලධාරින් සහ සහායක ආයතනවල නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරෙන අතර, ග්‍රාමීය ජනතාවගේ ආර්ථික සහ සමාජීය සවිබල ගැන්වීම සඳහා මෙය වැදගත් පියවරක් වනු ඇතැයි අමාත්‍යාංශය පෙන්වා දෙයි.



