ජගත් පරිසර දිනය (05) අදට යෙදී තිබේ. පරිසර දින ජාතික උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වේ. “දේශගුණික ක්‍රියාකාරිත්වයන් සඳහා ගෝලීය කැඳවීම” යන්න මෙවර ජාත්‍යන්තර පරිසර දින තේමාව ලෙස නම්කර ඇත.
එසේ වුවද “දලුලන්න ඉඩ දෙන්න – දේශගුණ විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් පෙළ ගැසෙමු” තේමාව යටතේ ශ්‍රී ලංකාව පරිසර දිනය සැමරීමට තීරණය කර ඇත. ජගත් පරිසර දිනයට සමගාමීව මැයි 30 වැනිදා සිට ජූනි 05 (අද) දක්වා පරිසර සතියක් ප්‍රකාශයට පත් කිරීම ද සිදු විය. ඒ අනුව පරිසර අමාත්‍යාංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් පරිසර සතිය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.
ඒ අනුව මෙවර පරිසර දිනයට සමගාමීව රිටිගල රක්ෂිතය, අලියාවැටුණු වැව රක්ෂිතය, බුලෑගල රක්ෂිතය, කෝන්කැටියාව රක්ෂිතය සහ කල්ලන්චිය වනාන්තරය යන වනාන්තර පහ රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ‘කුඩා බුබුළ’ දිය උල්පත් රක්ෂිතය ද නව රක්ෂිතයක් බවට පත් කෙරිණි. එම රක්ෂිත පහ ද ඇතුළුව ‘වනස්පති’ වැඩසටහන යටතේ 2025 වසරේ සිට මේ දක්වා වනාන්තර 81ක් රක්ෂිත බවට නම්කර ඇත. මෙවර රක්ෂිත බවට නම් කළ වනාන්තර පහම අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන අතර එම රක්ෂිත හෙක්ටයාර් 2169ක් පමණ වේ.
පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා වත්මන් රජය යටතේ පරිසර අමාත්‍යාංශය විසින් වැඩසටහන් රැසක් ආරම්භ කර තිබේ. වනාන්තර විනාශ වීම වැළැක්වීම වෙනුවෙන් වන සුරැකුම නමින් නව වැඩසටහනක් ද ඇරඹිණි. ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බළකාය ආදි ආරක්ෂක අංශද ඒකාබද්ධ කරගනිමින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. වන විනාශය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා විශේෂ දුරකතන අංකයක් ද හඳුන්වාදී ඇත.



