ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා රැගෙන යාමේ ජාතික වැඩපිළිවෙළට සමගාමීව, රාජ්ය සේවය ඩිජිටල්කරණය කිරීම සහ නිලධාරීන්ගේ තාක්ෂණික කුසලතා සංවර්ධනය කිරීම සඳහා වන විශේෂ සාකච්ඡාවක් ඊයේ (03) පැවැත්විණි.
මෙහිදී රාජ්ය සේවකයන් සඳහා ඊ-ඉගෙනුම් පද්ධතියක් හඳුන්වාදීම, ඩිජිටල් සාක්ෂරතාව අනිවාර්ය කිරීම, සයිබර් ආරක්ෂණ දැනුම වර්ධනය කිරීම සහ ජංගම දුරකථන ඔස්සේ Micro-learning ක්රමවේදයක් ක්රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.
රාජ්ය සේවය පුද්ගලයන් මත පදනම් වූ ක්රමවේදයකින් පද්ධති මත පදනම් වූ නවීන සේවා ව්යුහයක් බවට පරිවර්තනය කිරීම මෙම වැඩසටහනේ ප්රධාන අරමුණ වේ.
මෙම වැඩසටහන තෙවැදෑරුම් සැලැස්මක් යටතේ ක්රියාත්මක කිරීමට නියමිත අතර, දැනට සේවයේ නියුතු නිලධාරීන් පුහුණු කිරීම, නව බඳවා ගැනීම් සඳහා ඩිජිටල් සාක්ෂරතාව අත්යවශ්ය කිරීම සහ පාසල් හා විශ්වවිද්යාල විෂය මාලා ඩිජිටල් ආර්ථිකයට ගැළපෙන අයුරින් සංවර්ධනය කිරීම එහි ප්රධාන අරමුණු වේ.
මෙහි පළමු අදියර ලෙස සයිබර් ආරක්ෂාව පිළිබඳ මූලික දැනුවත් කිරීමේ පාඨමාලා සහ රජයේ නිල විද්යුත් තැපැල් හා සහයෝගීතා මෙවලම් භාවිතය පිළිබඳ ප්රායෝගික පුහුණුවක් රාජ්ය නිලධාරීන්ට ලබාදීමට සැලසුම් කර ඇත.
ඩිජිටල් ආර්ථික අමාත්යාංශය, රාජ්ය පරිපාලන අමාත්යාංශය සහ අනෙකුත් අදාළ ආයතන ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමට නියමිත අතර, අදාළ පාර්ශ්ව සමඟ වැඩිදුර සාකච්ඡා කර විද්යාත්මක ව්යාපෘති යෝජනාවක් සකස් කිරීමට ද තීරණය කෙරිණි.



