ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සහ තාක්ෂණික කුසලතා ඉහළ නැංවීම අරමුණු කරගනිමින්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ‘ඇසිදිසි ජනමාධ්‍ය’ හා ‘ඇසිදිසි - තාක්ෂණික’ ශිෂ්‍යත්ව වැඩසටහන් මෙවරද (2026) සාර්ථකව ආරම්භ කර ඇත.
ඒ අනුව, ‘ඇසිදිසි ජනමාධ්‍ය’ / ‘ඇසිදිසි - තාක්ෂණික’ ශිෂ්‍යත්ව වැඩසටහන් - 2026 සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2026 ජූලි මස 10 වන දින වේ.
වසර 02ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැලී සිටින වයස අවුරුදු 18-55 ත් අතර මාධ්‍යවේදීන් ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය. තවද, ඉල්ලුම් කරනු ලබන පාඨමාලාව ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් විය යුතු අතර, අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2025/2026 වර්ෂය සඳහා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කළ මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා තිබිය යුතුය.
ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් ආචාර්ය උපාධිය සඳහා රු. 700,000/-, දර්ශනපති, ශාස්ත්‍රපති හා සාමාන්‍ය උපාධිය වෙනුවෙන් උපරිම රු.350,000/-, පශ්චාත් උපාධි ඩිප්ලෝමා, ඩිප්ලෝමා, දිගුකාලීන හා කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා උපරිම රු. 200,000/-ක මුදලක් ගෙවනු ලැබේ. ඉහත වැඩසටහන සඳහා ඉල්ලුම් කරන මාධ්‍යවේදීන්ට ද ඇසිදිසි තාක්ෂණික ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ද ඉල්ලුම් කළ හැකි අතර වැඩසටහන් දෙක සඳහාම උපරිම මූල්‍ය සීමාව රු. 350,000/-කි. (එකම විෂය ක්ෂේත්‍රයක් ආවරණය වන පාඨමාලා දෙකක් සඳහා වැඩසටහන් දෙක මඟින්ම අයදුම් කිරීමට අවස්ථාව හිමි නොවේ).
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් මඟින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ශිෂ්‍යත්වලාභීන් තෝරාගනු ලැබේ.
මේ සඳහා යොමුකරන ‘ඇසිදිසි ජනමාධ්‍ය’ ශිෂ්‍යත්ව අයදුම්පත් අධ්‍යක්ෂ (මාධ්‍ය) වෙතත් ‘ඇසිදිසි - තාක්ෂණික’ ශිෂ්‍යත්ව අයදුම්පත් අධ්‍යක්ෂ (සංවර්ධන) වෙතත් 2026.07.10 දින හෝ එදිනට පෙර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය, අංක 163, "ඇසිදිසි මැඳුර", කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 දරන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් හෝ www.media.gov.lk අමාත්‍යාංශ නිල වෙබ් අඩවියේ සහ පුවත්පත්වල පළවන QR කේතය ස්කෑන් කර මාර්ගගත ක්‍රමය ඔස්සේ තොරතුරු ලබාගත හැකිය.
‘ඇසිදිසි ජනමාධ්‍ය’,‘ඇසිදිසි - තාක්ෂණික’ ශිෂ්‍යත්ව - 2026 වැඩසටහන් පිළිබඳ වැඩි විස්තර - 011 2513 645 /චන්දන මහතා 071 4 931 696 ඇමතීමෙන් හෝ ආදර්ශ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.



