විවිධ මට්ටමේ මානසික සහ කායික ආබාධ සහිත ප්‍රජාව වෙනුවෙන් "නිර්බාධිත සමාජ ජීවිතයක්" උදෙසා සංවිධානය කරන ලද සුවිශේෂී මාධ්‍යවේදී සංවේදීකරණ වැඩමුළුවක් පසුගිය ජූලි 15 වනදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.

මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණේ "මාධ්‍ය වාර්තාකරණය තුළින් සමාජයේ සමාන සහ සාධාරණ ඉඩකඩක් නිර්මාණය කරමු...!" යන තේමාව යටතේ, පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත මහතාගේ සුවිශේෂී සංකල්පයකට අනුවය.

ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ ජනමාධ්‍ය වාර්තාකරණයේ ගුණාත්මකභාවය සහ සංවේදීභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් පැවැති මෙම වැඩමුළුව සඳහා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ විද්වතුන් සහ වෘත්තිකයන් රැසක් සහභාගී වූහ.

එම අවස්ථාවට එක් වූ ආරාධිතයන් අචාර්ය කෞෂල්‍යා ආරියරත්න - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,  සුගත් වසන්ත මහතා — පාර්ලිමේන්තු මන්ත්‍රී, හර්ෂ බණ්ඩාර මහතා — රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, දීපාංජලී අබේගුණවර්ධන මහත්මිය — නියෝජ්‍ය අධ්‍යක්ෂිකා, වෙරිටේ රිසර්ච් (Verité Research) ආයතනය මීට අමතරව, ආබාධ සහිත පුද්ගලයන් පිළිබඳ මාධ්‍යකරණයේ නියුතු වූවන් ඇතුළු ප්‍රධාන පෙළේ ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක් මේ සඳහා උනන්දුවෙන් සහභාගී වූහ.

මාධ්‍ය වාර්තාකරණය තුළින් ආබාධ සහිත ප්‍රජාව දෙස අනුකම්පාවෙන් බැලීම වෙනුවට, ඔවුන්ට සමාජයේ සමාන හිමිකම් සහ සාධාරණ අවස්ථා ලබා දීම සඳහා මාධ්‍යවේදියා සතු වගකීම මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡාවට බඳුන් විය.

මෙම වැඩමුළුව හරහා ඉදිරියේදී වඩාත් සාධාරණ, සංවේදී සහ අන්තර්ග්‍රහණය වූ (inclusive) මාධ්‍ය සංස්කෘතියක් ලාංකේය සමාජය තුළ නිර්මාණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.