ශ්‍රී ලංකා - ඉන්දීය මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA) සංවිධානය කළ "Media Fest 2026" සුවිශේෂී මාධ්‍ය උළෙල පසුගිය ජූලි 11 වනදා කොළඹදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

"වෙනස් වන ලෝකයක නොසැලී සිටීම" (Steadfast in a Changing World) යන කාලෝචිත තේමාව ඔස්සේ පැවැත්වුණු මෙම උළෙල සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා (H.E. Santosh Jha) මහතා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය ඇතුළු දේශීය හා ජාත්‍යන්තර ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, පුවත්පත් සංස්කාරකවරුන් සහ විද්වතුන් පිරිසක් එක්ව සිටියහ.

මෙහිදී ප්‍රධාන දේශනය පවත්වමින් ආචාර්ය කෞෂල්‍යා  අවධාරණය කළේ, ශීඝ්‍රයෙන් වෙනස් වන වත්මන් ඩිජිටල් මාධ්‍ය අවකාශය තුළ ජනමාධ්‍යවේදයේ විශ්වාසනීයත්වය (Credibility) සහ සත්‍යය (Truth) ආරක්ෂා කිරීමේ අතිශය වැදගත්කමයි. ව්‍යාජ තොරතුරු සහ නොමඟ යවන සුලු ප්‍රවෘත්ති සමාජගත වන වේගය හමුවේ, වගකීම් සහගත මාධ්‍ය භාවිතයක නිරත වීම වෘත්තීය මාධ්‍යවේදීන් සතු ප්‍රධානතම වගකීමක් බව ද මෙහිදී පෙන්වා දෙන ලදී.

නවීන ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence - AI) උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්විපාර්ශ්වික සන්නිවේදන සහ තාක්ෂණික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අවශ්‍යතාව ද මෙහිදී විශේෂ අවධානයට ලක් විය. දෙරටේ මාධ්‍ය ක්ෂේත්‍රයන් අතර තාක්ෂණික හා දැනුම හුවමාරු කරගැනීම තුළින් කලාපීය මාධ්‍ය කලාව නව මානයකට ඔසවා තැබිය හැකි බව ද පෙන්වා දෙන ලදී.

"ඩිජිටල් තාක්ෂණයෙන් සන්නද්ධ වන අතරම, මාධ්‍ය සදාචාරය සහ සත්‍යගරුක බව රැකගැනීම වර්තමාන මාධ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්ම තීරණය කරන ප්‍රධාන සාධකයයි."

මෙම සුවිශේෂී උළෙල දෙරටේ මාධ්‍ය සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීමටත්, අනාගත මාධ්‍ය අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීම සඳහාත් වැදගත් සන්ධිස්ථානයක් විය.