සුපිළිපන් රාජ්ය සේවයක් ස්ථාපිත කිරීමේ ජාතික මෙහෙයුමට සමගාමීව පැවැත්වෙන "සුපිළිපන් සතියේ" සමාරම්භක වැඩසටහන අද දින ජනමාධ්ය අමාත්යාංශ පරිශ්රයේදී ගරු ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞශල්යා ආරියරත්න මැතිනියගේ ප්රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා සෞඛ්ය හා ජනමාධ්ය අමාත්යාංශයේ ජනමාධ්ය අංශයේ සහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාණ්ඩලික නිලධාරීන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සහභාගී වූහ.
ජනාධිපති ලේකම් කාර්යාලය හා 'ක්ලීන් ශ්රී ලංකා' (Clean Sri Lanka) වැඩසටහන ඒකාබද්ධව ක්රියාත්මක කරනු ලබන මෙම ජාතික මෙහෙයුමට සමගාමීව ඇරඹෙන "සුපිළිපන් සතිය" තුළ විවිධ වැඩසටහන් රාශියක් ක්රියාත්මක කිරීමට නියමිත ය.
මෙහිදී කාර්ය මණ්ඩලය ඇමතූ ගරු නියෝජ්ය අමාත්යතුමිය ප්රකාශ කළේ, රජය ජනතාවට පොරොන්දු වූ පරිදි යහපත් වූ, ජනතා සේවයට කැප වූ, දූෂණයෙන් තොර රාජ්ය සේවයක් ඇති කිරීම රජයේ ප්රධාන අපේක්ෂාව බවයි. එසේ ම රාජ්ය සේවකයා සඳහා තෘප්තිමත් වැටුපක් සහ යහපත් වැඩ පරිසරයක් නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බවත්, එම නිසා උස් පහත් භේදයකින් තොරව සියලු දෙනාම එකාවන්ව ජනතාවගේ අභිලාෂයන් උදෙසා රාජකාරී ඉටු කළ යුතු බවත් ඇය අවධාරණය කළාය. තව ද, සුපිළිපන් රාජ්ය සේවය සඳහා වූ පරමාදර්ශ 10 අතරින් වැදගත්ම පරමාදර්ශය වන්නේ "නිහතමානීකම" බව ද නියෝජ්ය අමාත්යතුමිය වැඩිදුරටත් සඳහන් කළා ය.



