ශ්රී ලාංකේය සංගීත ක්ෂේත්රයට දශක හතක පමණ කාලයක් ඉටු කළ අනූපමේය මෙහෙවර අගයමින් සංවිධානය කළ "ආචාර්ය සුජාතා අත්තනායක හරසර ප්රණාම උළෙල" අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්රධානත්වයෙන් ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කුමාරතුංග මුනිදාස මැදිරියේදී උත්සවාකාරයෙන් පැවැත්විණි.
මෙම අභිමානවත් උත්සවයේදී ආචාර්ය සුජාතා අත්තනායකයන්ගේ විශේෂ ඡායාරූපයක් නිරාවරණය කිරීම ද අග්රාමාත්යතුමියගේ අතින් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ජනමාධ්ය නියෝජ්ය අමාත්ය ආචාර්ය කෞශල්යා ආරියරත්න, සංස්කෘතික කටයුතු අමාත්ය ආචාර්ය හිණිඳුම සුනිල් සෙනෙවි සහ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති මහාචාර්ය උදිත ගයාශාන් ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් එක්ව සිටියහ.
රජයේ ලලිත කලායතනයෙන් සංගීතය හදාරා ගුවන් විදුලි සංස්ථාව ඔස්සේ සංගීත ක්ෂේත්රයට පිවිසි ආචාර්ය සුජාතා අත්තනායකයන් මේ වන විට ගීත 5,000කට අධික සංඛ්යාවක් පූජා කර ඇත. ඇය සිංහල, දෙමළ, හින්දි, උර්දු, බෙංගාලි, මරාටි, නේපාල, මැලේ, සංස්කෘත සහ ඉංග්රීසි යන භාෂා 11කින් ගීත ගායනා කරමින් දේශීය මෙන්ම ජාත්යන්තර වශයෙන් ද සිය අසමසම ගායන ප්රතිභාව සටහන් කර තිබේ.
දශක ගණනාවක් පුරා සුභාවිත ගීතයෙන් ප්රේක්ෂක මනස පෝෂණය කරමින් ඇය ඉටු කළ මෙම විශිෂ්ට මෙහෙවර මෙහිදී අග්රාමාත්යතුමියගේ සහ ජනමාධ්ය නියෝජ්ය අමාත්යතුමියගේ විශේෂ ඇගයීමට හා පැසසුමට ලක් විය.



