නවතම පුවත්

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත් වේ.

රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ලෝක ජල දිනය අදයි. එක්සත් ජාතීන්ගේ සංවිධානය 1993දී සෑම වසරකම මාර්තු 22 වැනිදා ලෝක ජල දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය.

ලෝකයේ සමස්ත භූමි ප්‍රමාණයේ තුනෙන් දෙකක් ජලයෙන් වැසී පවති. එම ප්‍රමාණයෙන් සියයට 97 ක් කරදිය වෙයි. ඉතිරි සියයට තුනෙන් සියයට දෙකක්ම උතුරු සහ දක්‍ෂීණ ධ්‍රුවවල ඝණීභවනය වු ජලය හෙවත් අයිස් කුට්ටි ලෙස පවතී. ඒ අනුව මිනිස් භාවිතයට සුදුසු වන්නේ සමස්ත ජල ප්‍රමාණයෙන් සියයට එකක් පමණි. ලෝකයේ ජල පරිභෝජනයෙන් සියයට 70 ක් කෘෂිකාර්මික කටයුතු සදහාද සියයට 20 ක් කාර්මික කටයුතු සදහාද යොදා ගැනේ. ගෘහස්ථ පරිභෝජනය සදහා යොදා ගැනෙන්නේ ඉතිරි සියයට 10 යි.

මෙවර ලෝක ජල දින උත්සවය ජනාධීපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ පැවැත්වෙයි. ජල සම්පාදන අමාත්‍යංශය එය සංවිධාන කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සංවිධාන කළ ලෝක ජලදින උත්සවය ඇමති චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බන්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙයි.

අලුත්ගම මතුගම. අගලවත්ත ජල යෝජනා ක්‍රමය ජනතා අයිතියට පැවරීම හා ගම් දහසකට සුරක්‍ෂිත පානීය ජලය සැපයීම සදහා ක්‍රියාත්මක කළ ප්‍රජා ජල ව්‍යාපෘති විවෘත කිරීමද අද සිදුවෙයි.

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උලෙළේදී ජාතික ගුවන් විදුලියට සම්මාන රැසක් හිමිවෙයි. කොළඹ මරදාන එල්ෆින්ස්ටන් රගහලේදි ඊයේ පස්වරුවේ එම සම්මාන උලෙළ පැවැත්විණි.

ප්‍රශස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශක සිංහල ලෙස හිමානන්ද රාජපක්ෂ හා ප්‍රශස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශක දමිල ලෙස ජේ යෝගරාජ් යන මහත්වරු සම්මානයෙන් පිදුම් ලැබුහ. ප්‍රශස්ථ ප්‍රවෘත්ති සංස්කාරක සදහා කුසලතා සහතික ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති සංස්කාරකවරුන් වන ආචාර්ය එදිරිවිර ගුණසේකර සහ සම්පත් විලේගොඩ යන මහත්වරු හිමිකරගත්හ. ප්‍රශස්ථ ප්‍රවෘත්ති ප්‍රකාශය වෙනුවෙන් කාන්තා අංශයේ කුසලතා සහතිකය දිනුෂා වෙත්තසිංහ මහත්මියට පිරිනැමිනි. ප්‍රශස්ථ බාහිර විස්තර කථක කුසලතා සම්මානය සහ ප්‍රශස්ථ ක්‍රිඩා වැඩසටහනට සම්මානය හිමිකර ගැනිමට ගයාන් කෞෂාල් ජයවිර මහතා සමත්විය.

ප්‍රශස්ථ ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදක ලෙස ඉදුනිල් ජයවර්ධන මහතා කුසලතා සහතිකය හිමිකරගත්තේය. ප්‍රශස්ථ පුර්ව ප්‍රචාරක කණ්ඩයට හිමි සම්මානය හිමිකර ගත්තේ හිමානන්ද රාජපක්ෂ මහතායි. ප්‍රශස්ථ සම්මුඛ සාකච්ඡා වැඩසටහනට හිමි සම්මානය ඉනුෂා වීබැද්ද මෙනවියට හිමිවිය. ප්‍රශස්ථ සංගිීත වැඩසටහනට හිමි සම්මානය හිමිකර ගත්තේ නිශාන්ති රණතුංග මහත්මියයි. ප්‍රශස්ථ ගුවන් විදුලි නාට්‍ය ශිල්පියාට හිමි සම්මානය ලාල් සරත් කුමාර මහතාට ද ප්‍රශස්ථ ගුවන්විදුලි නාට්‍ය නිෂ්පාදනයට හිමි කුසලතා සහතිකය වජිර ඉන්දික සෙනරත් කරුණාසේන මහතාට ද හිමිවිය. ප්‍රශස්ථ රේඩියෝ නාට්‍ය ශිල්පිනිය සම්මානය හිමිකරගත්තේ නීලිකා මද්දුම මහත්මියයි. ෆාතිමා රිීෂා මහත්මිය කාන්තා දින විශේෂ වැඩසටහනය වෙනුවෙන් කුසලතා සම්මානය ද රාධිකා වින්සන් මහත්මිය හොදම ගුවන් විදුලි නිවේදිකා දමිල අංශයේ සම්මානය ද හිමිකරගත්හ.

ප්‍රවිණ මාධ්‍යවේදිනි කුසුම් පිරිස් අනුස්මරණ සම්මානයෙන් ප්‍රවිණ මාධ්‍යවේදිනි නෙතලි නානයක්කාර මහත්මියට පිරිනැමිනී. ශාන් වික්‍රමසිංහ, නිව්ටන් ගුණරත්න, සුමනා ජයතිලක, නඩරාජා අයියර්, මර්ල් විලියම්, ඩි එස් දයාරත්න යන මහත්ම මහත්මිහු එහිදි ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුහ.

ගුවන් විදුලි රාජ්‍ය සම්මාන උළෙල රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ශත වර්ෂයකට ආසන්න කාලයක්, එනම් වර්ෂ 1927 සිට අද දක්වා සිංහල භාෂාව සංරක්ෂණය කරමින් සම්පාදිත සිංහල ශබ්දකෝෂය ආරම්භ කර අදට (21) වසර 95ක් සපිරේ. මෙවන් ඓතිහාසික දිනයක් සමරන අද දින සිංහල ශබ්දකෝෂයේ සංශෝධිත සප්තම භාගය ජනගත කිරීමේ උත්සවය, කොළඹ 07, ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පෙරවරු 9.00ට, මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත බළන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙහිදී තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ හර්ෂ විජේවර්ධන මහතාගේ සහ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත, ශාස්ත්‍රපති, විනයාචාර්ය තිරිකුණාමලයේ ආනන්ද මහානාහිමියන්ගේ ප්‍රධාන දේශන ද ඇතුළුව දේශන කිහිපයක් පැවැත්වීමට නියමිතය.

ශබ්දකෝෂයේ ඓතිහාසික පසුබිම

සිංහල කෝෂ ග්‍රන්ථ ඉතිහාසය භාරතීය පුරාණ සාහිත්‍යය හා බැඳී පවතින්නකි. සංස්කෘත, පාලි හා ප්‍රාකෘති ආදි භාෂාවලින් සම්පාදනය වූ නිඝණ්ඩු හෙවත් නිඝණ්ටු හෙළදිව කෝෂකරණයට මූලිකවම දායක විය. නිඝණ්ටු යනු එක් විශේෂ කෘතියක එන වචන විවරණය කිරීම සඳහා බොහෝවිට කාව්‍යයෙන් රචිත කෝෂ ග්‍රන්ථ විශේෂයකි. මෙසේ විකාශනය වූ කෝෂ ග්‍රන්ථ සාහිත්‍යයේ පරිණත අවස්ථාව ලෙස භාරතයේ සංස්කෘත පඬිවරුන් අතර සම්භාවනාවට පාත්‍ර වූ කෝෂ ග්‍රන්ථයක් වූ ක්‍රිස්තු වර්ෂ 6-8 අතර රචිත අමරසිංහයන්ගේ අමරකෝෂය හැඳින්විය හැකිය. මුල්ම කෝෂ ග්‍රන්ථය ලෙස හෙළදිව විද්‍යමාන, පාලි භාෂාවෙන් රචිත, අභිධානප්පදීපිකාව ද අමර කෝෂයෙන් ප්‍රභාව ලත් කෘතියකි. මෙය ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේදී මහා පරාක්‍රමබාහු රජ සමයේ වැඩ විසූ මොග්ගල්ලාන නම් තෙර නමක විසින් රචනා කරන ලද්දකි.

සිංහල භාෂාමය කෝෂ ග්‍රන්ථකරණයේ ආරම්භය

සිංහල භාෂාමය කෝෂ ග්‍රන්ථකරණයේ ආරම්භය සටහන් කරමින් 13 වැනි සියවසේ පමණ හෙළ බස හදාරන්නවුන්ට තිබූ අඩුපාඩුවක් සපුරමින් ‘පියුම්මල් නිඝණ්ඩුව’ රචනා විය. මෙහි කර්තෘ අඥාතය. ගද්‍යයෙන් රචනා වී ඇති මෙය ද සංස්කෘත කෝෂ ග්‍රන්ථවලින් ආභාසය ලබා ඇත. පසුව කෝට්ටේ හයවැනි සිරි පැරකුම්බා රජු විසින් ‘පියුම්මල’ ගීයට නඟා ‘නම්රුවන්මල’ නමින් කටපාඩම් කිරීමට පහසු වන ශෛලියකින් රචනා කළේය. මෙය රුවන්මල් නිඝණ්ටුව යන නමින් ද හඳුන්වයි.

මේ ආකාරයෙන් ආරම්භ වූ සිංහල කෝෂ ග්‍රන්ථ අතර පියුම්මල් නිඝණ්ටුව සිව් පද කාව්‍යයට නැඟීමෙන් ‘පුරාණ නාමාවලිය’ (ක්‍රි.ව1421) ද, නව නාමාවලිය (ක්‍රි.ව.1778) ද වනවාස නිඝණ්ටුව, සිරිමල් නිඝණ්ටුව, හෙළදිව් අබිදානවත, (19 වන සියවසේ මුල් භාගයේ), අබිදන්මල් දම (1895) යනාදී වශයෙන් පර්යාය පද හා අනේකාර්ථ පද දීමේ සම්ප්‍රදායට සීමා වූ ග්‍රන්ථ බොහොමයක්ම බිහි විය.

අකාරාදි ශබ්දකෝෂ සම්ප්‍රදාය ආරම්භ වීම

මෙතෙක්, වචනයකට පර්යාය පද හෝ අනේකාර්ථ පද සහිතව කාව්‍යයෙන් හෝ ගී විරිතෙන් හෝ ඉදිරිපත් කළ නිඝණ්ටු වෙනුවට අකාරාදී පිළිවෙළට වචනයෙන් වචනය පෙළගස්වා එම වචනයට අදාළ අර්ථය දීමේ නව ක්‍රමවේදයක් ආරම්භ වීම පෘතුගීසි පාලන සමයේ දී සිදු විය. ‘අකාරාදී’ යන නාමය ද කෝෂ සාහිත්‍යයට එක් වූයේ මින් පසුවය.

ක්‍රි.ව. 1705 දී මෙරටට ආ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා කතෝලික ආගම ප්‍රචාරය කිරීම පිණිස කෝෂ ග්‍රන්ථ කිහිපයක් සම්පාදනය කළේය. ඒ අතර පෘතුගීසි සිංහල අකාරාදිය, සිංහල පෘතුගීසි අකාරාදිය, සිංහල - දෙමළ - පෘතුගීසි අකාරාදිය යනාදියවේ. මේ ශබ්දකෝෂවල විශේෂත්වය වන්නේ අකාරාදී ක්‍රමයට වචන සකස් කර තිබීමය. එබැවින් මෙතුමා අකාරාදී ශබ්දකෝෂ සම්ප්‍රදාය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියා ද වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් අක්‍රමවත්ව සකස් වූ නිඝණ්ටු සංග්‍රහ වෙනුවට අකාරාදී ක්‍රමයට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දේශීය වශයෙන් සිදු විය.

ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමඟ සිය ආගම මෙරට ප්‍රචලිත කිරීමේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සිංහල - ඉංග්‍රීසි ද්විභාෂා ශබ්දකෝෂ බොහොමයක් බිහි විය. ඒ අතර බෙන්ජමින් ක්ලෆ් පූජකතුමන් විසින් සම්පාදනය කළ සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය (1830), 1835 දී ශ්‍රී ලංකාවට පැමිණි චාල්ස් කාටර් දේවගැතිතුමා විසින් සම්පාදිත සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය (1892) ආදි පරිපූර්ණ කෝෂ ලක්ෂණ සහිත ශබ්දකෝෂ සම්පාදනය විය. මෙතැන් සිට දේශීය කෝෂකරණය නව මඟක් ගත්තේය. පළමු දේශීය අකාරාදී ශබ්දකෝෂය වශයෙන් අත්තරගම රාජගුරු බණ්ඩාර නම් පඬිතුමන් විසින් සම්පාදිත සංස්කෘත අකාරාදිය හඳුන්වා දිය හැකිය. ශබ්දමුක්තාවලිය (1890), ශුද්ධ සිංහල අකාරාදිය (1893) වැනි අකාරාදී ද සම්පාදනය වීම පසුව සිදු විය. සිංහල කෝෂ ග්‍රන්ථකරණයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරමින් 1897 වර්ෂයේ ජර්මන් ජාතික භාෂාවේදී මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් මැතිතුමා සිංහල නිරුක්ති ග්‍රන්ථයක් ජර්මන් භාෂාවෙන් පළ කළේය. මෙය භාෂා විද්‍යාත්මකව සිංහල වචන මාලාවක් සකස් කිරීමේ ප්‍රථම ප්‍රයත්නය ද විය.

විසි වැනි ශත වර්ෂයේ ආරම්භයත් සමඟ, එනම් 1905 දී වාසලමුදලි ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර විජේසිරිවර්ධන මුදලිතුමා පිටු 916 කින් යුතු ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයක් පළ කළේය. මේ ආදී වශයෙන් 19 වැනි සියවසට සාපේක්ෂව 20 සියවසේ ශබ්දකෝෂකරණය විද්‍යාවක් වශයෙන් මෙරට තදින් මුල් බැස ගත්තේය.

සිංහල ශබ්දකෝෂයේ ආරම්භය

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ සමයේ සිංහල ශබ්දකෝෂයේ මූලාරම්භයට මඟ පෑදිණි. බ්‍රිතාන්‍ය පාලකයන්ට සිය ආගම ප්‍රචාරය කිරීම පහසු කිරීමටත්, පරිපාලනය කාර්යක්ෂමව සිදු කිරීමටත් සිංහල භාෂාවේ වැදගත්කම දැඩිව දැනෙන්නට විය. 1845 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව ආරම්භ කිරීමත් සමග සිංහල භාෂාව හා සංස්කෘතිය සම්බන්ධව හැදෑරීමට දේශීය මෙන්ම විදේශීය ජනතාව විශේෂ උනන්දුවක් දැක්වූහ. ඒ අනුව විද්‍යාත්මක සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමේ අදහස ප්‍රථම වරට ඉදිරිපත් කෙළේ ලන්ඩනයේ ඉන්දීය පුස්තකාල අංශය භාරව සිටි ප්‍රාචීනවේදී ආචාර්ය රයින්හෝල්ඩ් රෝස්ට් මැතිතුමාය. එතුමා නිරුක්තිමය විවරණ හා ප්‍රස්තාව පිරුළු ආදිය ද සහිත නව සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට අවස්ථාවක් ඉල්ලා, රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට ලියා යැවීය. එවක අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි ශ්‍රීමත් චාල්ස් බ්රූස් මැතිතුමා ද එහි අවශ්‍යතාව පෙන්වා දුන්නේය. 1884 ඔක්තෝබර් 4 දින රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ පැවති මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගත්තේය. ඒ සඳහා ආචාර්ය ආර්.එස්. කොපල්ටන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කළේය. මේ විද්වත් පිරිස සෙල්ලිපිවල සිට වැදගත් සිංහල ග්‍රන්ථ සුචිගත කොට ශබ්දමාලා සැකසීම ආරම්භ කළ ද මේ කටයුතු පසුව අක්‍රීය විය. එතැන් සිට දශක හතරක් පමණ ගත වන තුරු මෙය ක්‍රියාත්මක නොවීය.

වර්ෂ 1923 දී වාසලමුදලි ඒ.මැන්දිස් ගුණසේකරයන් විසින් මේ සම්බන්ධව නැවතත් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට කරුණු ඉදිරිපත් කළේය. 1925 මැයි මස ඉදිරිපත් කළ කමිටු යෝජනා අනුව විධිමත් සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට ආසියාතික ලංකා ශාඛාවේ පාලක මණ්ඩලය තීරණය කළේය. ඊට රජයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ද, කාර්යාලය පවත්වාගෙන යෑමට ගොඩනැඟිල්ලක් ද ලබා දුන්නේය.

වර්ෂ 1927 මාර්තු මස 21 වැනි දින මේ මහා කර්තව්‍ය ආරම්භ කෙරිණි. ඒ අනුව ශබ්දකෝෂ සම්පාදන කටයුතු මෙහෙයවීම පිණිස කළමනාකරණ මණ්ඩලයක් ද, කර්තෘ මණ්ඩලයක් ද පිහිටුවූයේය. ආචාර්ය විල්හෙල්ම් ගයිගර් අධ්‍යක්ෂ සහ ප්‍රධාන උපදේශක ( මහාචාර්ය හෙල්මන් ස්මිත් : උපදේශක කර්තෘ), ඩී.බී. ජයතිලක මහතා (ප්‍රධාන කර්තෘ), වාසලමුදලි ඒ.ඇම්. ගුණසේකර මහතා (කර්තෘ) වාසල මුදලි ඩබ්ලිව්.එෆ්. ගුණවර්ධන මහතා (කර්තෘ), ජූලියස් ද ලැනරෝල් මහතා (කර්තෘ), ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතා (උප කර්තෘ) ඇතුළු කර්තෘ සහකාරවරු හත් දෙනෙක් ද, ප්‍රථම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෝ වූහ.

ශබ්දකෝෂ ව්‍යාපෘති හා ප්‍රගතිය

දීර්ඝ ඉතිහාසයක් ඇති ශබ්දකෝෂ සම්පාදන ආයතනය ප්‍රථමයෙන්ම ව්‍යාපෘති දෙකක් ආරම්භ කළේය. ඒ, සිංහල වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් අර්ථ දීමේ සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය හා සිංහල වචනයට සිංහල භාෂාවෙන්ම අර්ථ දීමේ සිංහල ශබ්දකෝෂයයි. බෙන්ජමින් ක්ලෆ්, චාල්ස් කාටර් වැනි විද්වතුන් විසින් මේ වන විටත් ද්විභාෂික ශබ්දකෝෂ පළ කර තිබුණ ද, ඊට වඩා විද්‍යාත්මක වූ ශබ්දකෝෂ දෙකක් පළ කිරීම මෙහි මූලික පරමාර්ථය විය. දෙස් - විදෙස් සැමගේ අවශ්‍යතා සපුරාලීම හා සිංහල භාෂාවේ අනන්‍යතාව ආරක්ෂා කිරීමේ මුලික පරමාර්ථය ද ඇතිව මේ ශබ්දකෝෂ සම්පාදනය විය. ආරම්භයේ සිට අද දක්වා ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නම් මෙසේය.

 

1. සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය - මේ වන විට එහි තිස්වැනි කලාපය 2015දී මුද්‍රණයෙන් එළිදක්වා ඇත. එහි ‘ත’ අක්ෂරයේ සිට ‘ථෝමිත’ දක්වා ශීර්ෂ පද අන්තර්ගතය.

2. සිංහල ශබ්දකෝෂය - ශබ්දකෝෂය ආරම්භක අවස්ථාවේදීම ඇරැඹූ ව්‍යාපෘතියක් වන මේ ශබ්දකෝෂයේ ප්‍රථම භාගය 1937 දී ප්‍රකාශයට පත් කර ඇත. එහි සියලු කලාප 1992 දී සම්පාදනය කර මුද්‍රණයෙන් එළි දක්වා ඇත. ‘අ’ අක්ෂරයේ සිට ‘ළොසුව’ දක්වා ශීර්ෂ පද 206, 692 ප්‍රමාණයක් අන්තර්ගත මේ ශබ්දකෝෂය පිටු 13908 කින් යුතුව කාණ්ඩ 26කින් සම්පූර්ණ කර නිම කර ඇත.

3. සිංහල ශබ්දකෝෂය (සංශෝධිත සංස්කරණය) - මේ වන විට එහි කලාප හයක් ප්‍රකාශයට පත් කර ඇත. එහි හත්වැනි කලාපය වසර 95ක් සපිරෙන අද දින එළිදැක්වීමට නියමිතය.

4. සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය - 1999 වර්ෂයේදී ආරම්භ කළ මේ ව්‍යාපෘතියේ ‘අ’ අක්ෂරයේ සිට ‘න්‍යායාලය’ දක්වා ශීර්ෂ පද ඇතුළත් පළමු කලාපය 2007 වර්ෂයේදී ද, ‘ප’අක්ෂරයේ සිටි ‘ළොසුව’ දක්වා ශීර්ෂ පද ඇතුළත් එහි දෙවැනි කලාපය 2009 දී ද ප්‍රකාශයට පත් කිරීමට හැකි විය. මේ කලාපයට දැඩි ඉල්ලුමක් තිබූ බැවින් මුද්‍රිත කලාප සියල්ල විකිණී අවසන් විය. එබැවින් එහි දෙවැනි සංස්කරණයක් ආරම්භ කෙරිණි. එම දෙවැනි සංස්කරණයේ පළමු කලාපය 2018 දී ප්‍රකාශයට පත් කළේය. මේ වන විට එහි දෙවැනි කලාපයේ සංශෝධන කටයුතු සිදු වෙමින් පවතී.

5. සිංහල - දෙමළ - ඉංග්‍රීසි ත්‍රෛභාෂික සංක්ෂිප්ත ශබ්දකෝෂය - කාලීන අවශ්‍යතාවක් සපුරනු වස් 2002 දී ආරම්භ කළ මේ ව්‍යාපෘතියේ පළමු කලාපය 2013 දී ද ‘ඉ’ අක්ෂරයේ සිට ‘ඟ’ අක්ෂරය දක්වා ශීර්ෂ පද ඇතුළත් එහි දෙවැනි කලාපය 2016 දී ද ප්‍රකාශයට පත් විය. තවත් කලාප දෙකකින් එම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිතය.

6. සිංහල අක්ෂර වින්‍යාසය ශබ්දකෝෂය - විශේෂයෙන් පාසල් ශිෂ්‍යයන් හා ලේඛන කාර්යයේ යෙදෙන්නන්ට සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම මේ ශබ්දකෝෂය සම්පාදනයේ පරමාර්ථය විය. මෙහි වචන ඉදිරිපත් කිරීමේදී හුදු වචනය පමණක් නොව, අදාළ වචනයට අර්ථ සැපයීම ද, එම වචනයේ නිරුක්තිය දැක්වීම ද වැඩිමනත්ව ඇතුළත් කර ඇත. මේ ශබ්දකෝෂයේ ප්‍රථම මුද්‍රණය 2018 දී ප්‍රකාශයට පත් විය. මෙයට දැඩි ඉල්ලුමක් පැවති බැවින්, වසරක් යෑමටත් පෙර එහි සියලුම පිටපත් විකිණී අවසන් විය. ඒ අනුව එහි සංශෝධිත මුද්‍රණයක් කඩිනම්ව සකස් කර 2020 දී එය ප්‍රකාශයට පත් කිරීමට ද හැකි විය.

7. සිංහල - ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂය - ඉහත සඳහන් සවිස්තරාත්මක සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සියලුම කලාප මුද්‍රණය කර අවසන් කිරීමට කාලයක් ගත වන බැවින් සංක්ෂිප්ත ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට 1941 දී යෝජනා වීමෙන් පසු 1949දී එහි පළමු කලාපය ප්‍රකාශයට පත් කෙරිණි. එම ශබ්දකෝෂය කලාප පහකින් නිම කිරීමට අපේක්ෂා කළ ද බලාපොරොත්තු වූ පරිදි එම කටයුතු සිදු නොවීය. එබැවින් නැවතත් 2018දී කාලීන අවශ්‍යතාව පෙරදැරිව කලාප දෙකකින් යුතුව සිංහල - ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයක් සම්පාදනය කිරීම ආරම්භ කළේය. එහි පළමු කලාපය 2022 වසර මධ්‍යයේ මුද්‍රණයෙන් එළි දැක්වීමට අපේක්ෂිතය.

8. ශබ්දකෝෂ ජනගත කිරීමේ ව්‍යාපෘතිය - මේ ව්‍යාපෘතියේ මූලික පරමාර්ථය වන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සහ පාසල් ශිෂ්‍යයන් හට සුභාවිත භාෂාව භාවිත කිරීමේ වැදගත්කම ශබ්දකෝෂය ආශ්‍රයෙන් අවබෝධයක් ලබා දීමය. විශ්වවිද්‍යාලවලට හා පාසල්වලට ගොස් දේශන පැවැත්වීමෙන් ශිෂ්‍යයන් හා විද්‍යාර්ථීන්ට භාෂා දැනුම ලබා දීම මෙහිදී සිදු වේ.අනුරාධපුර, අම්පාර වැනි ප්‍රදේශවල භාවිත උපභාෂා ආශ්‍රිතව ශබ්දකෝෂයට අවශ්‍ය නව වචන සොයා යෑමේ වැඩසටහනක් ද මේ වන විට ආරම්භ කර ඇත.

9. ශබ්දකෝෂ සම්පාදනය ඩිජිටල්කරණය කිරීම - මේ ව්‍යාපෘතිය යටතේ සාම්ප්‍රදායිකව මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් මුද්‍රණය කිරීමට සීමා වූ ශබ්දකෝෂ සම්පාදන කාර්යය නවීන තාක්ෂණය හා අත් බැඳ ගනිමින් සිටී. මේ වන විට වර්තමාන ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන මැතිතුමියගේ උපදෙස් අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා විශේෂඥ හර්ෂ විජයවර්ධන මහතා ඇතුළු විද්වතුන්ගේ නොමඳ සහාය ඇතිව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අධිකරණ නඩු තීන්දුවකට අවශ්‍ය වචනයක අර්ථය පැහැදිලි කර ගැනීම සඳහා අප ආයතනයේ සම්පාදිත ශබ්දකෝෂ විශ්වාසයෙන් යුතුව පිළිගන්නා ශබ්දකෝෂ බව ද සඳහන් කළ යුතුය.

මේ සියලු ව්‍යාපෘති ශබ්දකෝෂ සම්පාදන කටයුතු වඩා කාර්යක්ෂමව හා විධිමත්ව කර ගෙන යෑමට උපකාරී වන ක්‍රමවේද බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් නිරන්තරයෙන් කාර්යාල කටයුතු සොයා බලන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමාත්, සංස්කෘතික අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මියත්, සහකාර අධ්‍යක්ෂ මන්දුලී මෙන්ඩිස් මහත්මියත්, සියලු කටයුතු සොයා බලා අවශ්‍ය තීන්දු තීරණ ගන්නා වර්තමාන ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන මැතිනියත් මේ අවස්ථාවේදී සිහිපත් කළ කෙරේ.

ශබ්දකෝෂයක අවශ්‍යතාව

ශබ්දකෝෂයක් යනු භාෂාවක අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් නිවැරැදි අර්ථ ප්‍රකාශනය සහිත, නිරන්තරයෙන් යාවත්කාලීන වන, විශ්වාසයෙන් යුතුව පොදු මහ ජනතාවට මිලදී ගත හැකි ග්‍රන්ථයකි. භාෂාවක අනන්‍යතාව ආරක්ෂා කරන ග්‍රන්ථයක් වීම, පැරැණි ග්‍රන්ථාගත වචන හා සමකාලීන ලේඛනවල වචනාර්ථ අවබෝධ කර ගැනීමට හැකි වීම, එදිනෙදා භාෂාවට එකතු වන එනම් පුවත්පත්, සඟරා, ගුවන්විදුලි, රූපවාහිනි, අන්තර්ජාල හා සමාජ ජාල ආදිය ආශ්‍රිතව එකතු වෙන වචනවල අර්ථ අවබෝධයට උපකාරී වීම, වචනවල ඇති සමානාර්ථ හා විවිධාර්ථ හඳුනා ගැනීමට හැකි වීම, ද්වි භාෂික හා බහු භාෂික ශබ්දකෝෂ මඟින් තවත් භාෂාවක් ඉගෙනීමට හෝ භාෂාන්තර දැනුම ලබා ගැනීමට හෝ හැකි වීම, උච්චාරණය, අක්ෂර වින්‍යාසය, පද බෙදීම, වාක්‍යයක වචන සංයෝජනය, ව්‍යාකරණමය විශේෂත්ව හඳුනා ගැනීම යනාදි වශයෙන් භාෂා ලක්ෂණ හඳුනා ගැනීමට හැකි වීම හා භාෂා ගවේෂණ හා පර්යේෂණ කටයුතු කිරීම සඳහා සාධක ග්‍රන්ථයක් වීම යනාදි වශයෙන් ශබ්දකෝෂයක අගය සඳහන් කළ හැකිය.

පාලන භාරය

1926 සිට මේ දක්වා සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ ශබ්දකෝෂ සම්පාදන ක්‍රියාවලියට මූල්‍ය හා භෞතික සම්පත් සපයා දෙමින් එම කටයුතු භාරව කටයුතු කළ ආයතන කිහිපයකි. එනම් 1927 සිට 1941 දක්වා රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව යටතේ ද, 1942 සිට 1971 දක්වා ලංකා විශ්වවිද්‍යාලය යටතේ ද, 1972 සිට මේ දක්වා සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ද මේ ආයතනය පවත්වාගෙන යයි.

ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත් වේ. රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුවනු ඇති බවට අපේක්ෂා කෙරේ.
මේ අතර ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මේ මස 23 වෙනිදා පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුඑවට සහභාගි නොවන බව ජාතික ජනබලවේගය කියයි. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ සර්ව පාක්ෂික සමුඑව ප්‍රෝඩාවක් බවයි. මේ අතර මෙම සමුඑවට ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක් නියෝජනය කරමින් පක්ෂ නායකයන් දෙදෙනෙකු පමණක් සහභාගිවන බව පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

2022 ගුවන්විදුලි රාජ්‍ය සම්මාන උලෙළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 3.00 ට මරදාන එල්පින්ස්ටන් රගහලේදි උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ.

ශ්‍රි ලාංකේය ගුවන්විදුලි ක්ෂේත්‍රයේ උන්නතියට මහගු සේවාවක් ඉටු කළ ගුවන්විදුලි ශිල්පින්ට ගරුබුහුමන් දැක්වීම මෙම සම්මාන උලෙළේ අරමුණයි.

සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යංශය සම්මාන උලෙළ සංවිධාන කරයි.

 

ඇසිදිසි ජනමාධ්‍යවේදී රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ හදිසි මරණයක් සඳහා ප්‍රථම වරට රක්ෂණ ප්‍රතිලාභ ලබාදීම ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අතින් මාර්තු 16වෙනිදා සිදුකෙරිණි .
කොවිඩ් උවදුරට ලක්ව පසුගියදා ජීවතයෙන් සමුගත් ප්‍රාදේශීය මාධ්‍යවේදී සුනිල් බද්දෙවිතාන මහතා නමින් ඔහුගේ බිරිඳ වන සමරවීර මුදලිගේ දෝන සෝමාවතී මහත්මිය වෙත රුපියල් පන්ලක්ෂ පනස්දහසක් වටිනා රක්ෂණ ප්‍රතිලාභය අමාත්‍යවරයා විසින් පිළිගැන්වීය .
ලංකාදීප පුවත්පතේ වසර 30 ක කාලයක් මෙන්ම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වසර 10 ක කාලයක් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ බද්දෙවිතාන මහතා කළුතර දොඩන්ගොඩ පදිංචි වී සිටි අතර මිය යන විට 63 වන වියෙහි පසුවිය .
මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට මහතා ද එක්ව සිටියේය .

අතිපූජ්‍ය මහා සංඝරත්නයෙන් අවසරයි, අන්‍යාගමික පූජකතුමනි, මව්වරුනි , පියවරුනි,සහෝදර සහෝදරියනි, ආදරණීය දූ දරුවනි, මිත්‍රවරුනි.
 
අද මා ඔබ අමතන්නේ අභියෝගාත්මක අවස්ථාවකයි. 
 
ඔබගේ එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩවල හිඟයක් සහ මිල වැඩිවීම් ගැන මට හොඳින් වැටහෙනවා. ගෑස් හිඟකම, ඒ වගේම ඉන්ධන හිඟකම, විදුලිය ඇණහිටීමේ තත්ත්වය වැනි ගැට‍ලු ගැනත් මා හොඳින් දන්නවා. පසු ගිය මාස දෙක තුළ මහජනතාව විඳි අනේකවිධ දුක් කම්කටොළු ගැනත් මා ඉතා සංවේදීයි. ඒ ගැන කළ හැකි උපරිම දේ අප කළත් අපගේ පාලනයෙන් බැහැර හේතූන් නිසා එම තත්ත්වය තවදුරටත් පවතින බව මා දන්නවා.
 
මා ගන්නා ක්‍රියාමාර්ගවලට වගවීම මා භාර ගන්නවා. මහජනතාව අත්විඳින යම් යම් කරදරකාරී ජීවන රටාවන්ට විසඳුම් සොයන්නට මා අද දැඩි තීන්දු තීරණ ගැනීමට අදිටන් කරගෙන තිබෙනවා. එයට උපකාරී වීමට ජාතික ආර්ථික කවුන්සිලයකුත්, ඒ වගේම එයට සහාය වීමට උපදේශක සභාවකුත් මා පත් කළා. ඒ තුළින් මා ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වේ දැයි නිරතුරුවම අධීක්ෂණය කරන්නටත් මා කටයුතු කරනවා. ඒ නිසා මා ජනතාව වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන විශ්වාසය තබන ලෙස මා ඔබගෙන් ප්‍රථමයෙන්ම ඉල්ලා සිටිනවා.
 
මා ජනතාවගේ අසීරුකම් හොඳින් හඳුනන කෙනෙක්. අප මුහුණ දුන් කුරිරු ත්‍රස්තවාදයට එරෙහිව යුද්ධයේ දී ඉදිරි පෙළ සිටි හමුදා සෙබළාත්, යුද්ධයට මැදි වූ අහිංසක සිවිල් ජනතාවත් මුහුණ දුන් සියලු අසීරුතාවයන් හොඳින් වටහාගෙන ඒ සියල්ල මනාව කළමනාකරණය කිරීමට මට හැකි වුණා.
 
අද තිබෙන අසීරු තත්ත්වය අපේ රටට පමණක් මුහුණ ‍දීමට සිදු වූවක් නොවෙයි. මුළු ලෝකයම නොයෙක් ආකාරයේ පීඩාවලට ගොදුරු වී සිටිනවා. කොවිඩ් වසංගතය නිසා ඉහළ නැංවුණු නැව් ගාස්තු, භාණ්ඩවල මිල ඉහළ යෑම්, යම් යම් භාණ්ඩවල හිඟයන් යන මේ සියල්ල අපේ පාලනයෙන් තොරයි. එනමුත් අපි ජනතාවගේ පැත්තෙන් බලා සහනශීලී පිළිවෙතක් අනුගමනය කරනවා.
 
මේ අර්බුදය කිසිසේත්ම මා විසින් නිර්මාණය කළ එකක් නොවෙයි. එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වූ අය, අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටිද්දී, මා උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහනයක් ලබා දෙන්නයි. 
 
මෙවැනි අර්බුදකාරී අවස්ථාවන්හීදි රටක දේශපාලකයින්ගේ හා බුද්ධිමතුන්ගේ වගකීම සාමූහික ව ප්‍රශ්නවලට විසඳුම් සෙවීමයි.
 
අද තිබෙන ගැටලුවලට මුල අපේ විදේශ විනිමය අර්බුදයයි.
 
රුපියල නම්‍යශීලී ලෙස හැසිරීමට ඉඩ සැලසීමට පෙර තිබුණු තත්ත්වයට  අනුව, මේ අවුරුද්දේ ‍අපේක්‍ෂිත අපනයන ආදායම ඩොලර් බිලියන 12ක්. පසුගිය මාස දෙකේ දත්ත අනුව මේ අවුරුද්දට ඩොලර් බිලියන 22ක ආනයන වියදමක් දරන්න වෙනවා. ඒ අනුව ඩොලර් බිලියන 10ක හිඟ වෙළඳ පරතරයක් ඇතිවෙනවා.
 
පසුගිය කාලය තුළ තිබෙන දත්ත අනුව මේ අවුරුද්දට සංචාරක ව්‍යාපාරයෙන්, ඒ වගේම තොරතුරු තාක්ෂණය වැනි සේවා අපනයනවලින් ඩොලර් බිලියන 3ක් පමණ ලැබිය හැකි අතර, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ වලින් අපට ඩොලර් බිලියන 2ක් ලැබෙනවා. ඒ අනුව හිඟ වෙළඳ පරතරය ඩොලර් බිලියන 5ක් වෙනවා.
 
මේ අතර, මේ වර්ෂය තුළ ඩොලර් බිලියන 6.9ක් ණය වාරික සහ ස්වෛරී බැඳුම් වෙනුවෙන් ගෙවන්නට‌ වෙනවා. එවිට ඩොලර් බිලියන 11.9ක හිඟයක් ඇති වෙනවා.
 
අනෙකුත් ලැබෙන ණය ආධාර සහ ආයෝජන ලෙස ඩොලර් බිලියන 2.5ක් අපේක්‍ෂා කරනවා. මේ ආකාරයට විදේශ මුදල් ප්‍රවාහයේ ඩොලර් බිලියන 9.4ක සම්පූර්ණ හිඟයක් තියෙනවා.
 
එහෙත් රුපියල නම්‍යශීලී කළාට පසුව, අපනයන ආදායම ඩොලර් බිලියන 13ක් දක්වා වැඩි වේ යැයි අපේක්‍ෂා කරනවා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 22 සිට ඩොලර් බිලියන 20 දක්වා අඩු කර ගන්නත් පුළුවන් වේවි. එසේ වුවහොත් වෙළඳ ශේෂ හිඟය ඩොලර් බිලියන 7 දක්වා අඩු කර ගන්න පුළුවන්. අපි ඉලක්ක කර ගත යුත්තේ එයයි.
 
ඒ වගේම සේවා අපනයන්ගෙන් ඩොලර් බිලියන 4කුත්, විදේශ ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ඩොලර් බිලියන 5කුත් අපේක්ෂා කරන්න පුළුවන්. මේ අනුව අපේ වෙළඳ ශේෂයේ හිඟය ඩොලර් බිලියන 2.4ක් වනවා. 
 
මේ හිඟය පියවා ගැනීමත්, අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීමටත් අප ක්‍රියා කළ යුතුයි.
 
මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන හා මිත්‍ර රටවල් සමග අපගේ ණය වාරික ගෙවීම් ගැන අප සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. අප රටට හිතකර ආකාරයට නව ක්‍රමවේදයක් තුළ මෙය ක්‍රියාත්මක කිරීමට රජය නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඊයේ පැවැත්වූ සාකච්ඡාවත් මේ අරමුණින් කළ එකක්. 
 
ඒ සාකච්ඡා තුළින් අප බලාපොරොත්තු වන්නේ වසරකට අප ගෙවිය යුතු ණය වාරික, ස්වෛරීත්ව බැඳුම්කර ආදිය ගෙවීම් සඳහා ක්‍රමවේදයක් සලසා ගැනීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මා කළ සාකච්ඡාවට පසුව වාසි අවාසි අධ්‍යනය කොට ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට මා තීරණය කළා.
 
පසුගිය කාලයේ  මා ගත් සමහර තීන්දු නිසා ආනයන වියදම බොහෝ ලෙස පාලනය කර ගන්නට හැකි වුණා. මේ ප්‍රශ්නය කලින්ම දුටු නිසා තමයි අපි මීට වසර දෙකකට පෙර වාහන ආනයනය නතර කළේ. ඊට අමතරව දේශීයව අපේ අවශ්‍යතා සපුරාලන කර්මාන්ත අපි දිරිමත් කළා. ඒ වගේම බොහෝ අත්‍යාවශ්‍යම නොවන ආහාර ද්‍රව්‍ය ආනයනය නතර කර ඒ බෝග වර්ග අපේ රටේම වවන්න අපි කටයුතු කළා. ඒවායේ සාර්ථක ප්‍රතිඵල අපට දැන් පෙනෙනවා.
 
ආනයන වියදම පාලනයේ දී අපට මතුවන බරපතලම ගැටලුව වන්නේ ලෝක වෙළඳපොළ තුළ වේගයෙන් වැඩි වෙන ඛනිජ තෙල් මිලයි. සාමාන්‍යයෙන් අපේ ආනයන වියදමෙන් සියයට 20 කට වඩා වැය වන්නේ තෙල් සඳහායි. පසුගිය මාස කිහිපය තුළ පමණක් ලෝක වෙළඳපොළේ තෙල් මිල දෙගුණයකට වඩා වැඩි වී තිබෙනවා. අපේ රට තුළත් තෙල් මිල වැඩි කිරීම නොවැළැක්විය හැකි හේතුවක් වුණේ මේ නිසායි. වාහනවලට පමණක් නොව විදුලිය ජනනය කිරීම සඳහාත් අපේ රටේ විශාල වශයෙන් තෙල් භාවිතා වෙනවා.
 
මේ නිසයි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් හැකිතාක් යොදා ගැනීම සඳහා මා දිගින් දිගටම සාකච්ඡා කර අදාළ ආයතන උනන්දු කළේ.
 
ඒ නිසා තෙල් භාවිතය හා විදුලිය භාවිතය හැකිතාක් සීමා කිරීමෙන් ජනතාවටත් මේ  අවස්ථාවේ රට වෙනුවෙන් සහාය දිය හැකියි. මේ දුෂ්කර අවස්ථාවේ ඔබ ඒ වගකීම තේරුම් ගෙන කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.
 
කොවිඩ් වසංගතය නිසා කඩා වැටුණ සංචාරක කර්මාන්තය යළි හිස ඔසවමින් තිබෙනවා. පසුගිය මාස දෙකේ ලංකාවට සංචාරකයන් පැමිණීමේ පැහැදිලි වර්ධනයක් දක්නට ලැබුණා. 
 
ඒ වගේම මේ වන විට තොරතුරු තාක්ෂණ හා විදුලි සංදේශන ක්ෂේත්‍රවලට රජය විසින් යටිතලපහසුකම් සැපයීම වේගවත් කිරීම නිසා මේ ක්ෂේත්‍ර හරහා රටට එන ආදායමත් වැඩි වෙමින් පවතිනවා.
 
අපි ඉතිහාසයේ ඕනෑතරම් අවස්ථාවල වැටිල නැගිටපු ජාතියක්. විදේශ ආක්‍රමණවලට, මහා සාගතවලට, ස්වාභාවික විපත්වලට, ත්‍රස්තවාදී උවදුරුවලට අපි මුහුණ දීලා ආපසු නැගිටලා තියෙනවා. පසුගිය කොරෝනා වසංගතයට අපි මුහුණ දුන් ආකාරය ජාත්‍යන්තර ආයතනවල පවා ප්‍රශංසාවට ලක් වුණා.  විසඳුම් ක්‍රියාත්මක කිරීමේ දී යම් කාලයක් අපට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට වෙන බව අපි සියලු දෙනාම වටහා ගත යුතුයි. ඒ නිසා අධෛර්යවත් නොවී මේ අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ ඒමට ජාතියක් වශයෙන් එක්වන ලෙස ඔබ සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
 
ඔබ මගෙන් ඉල්ලා සිටියේ සුරක්‍ෂිත බව, විනය, නූතන දියුණු රටක්, දරුවන්ට හොඳ අධ්‍යාපනයක්. මගේ ධුර කාලයේ වසර දෙකහමාරකට ආසන්න කාලයෙන් වසර දෙකක්ම කැප කළේ වසංගතයෙන් ඔබ සහ ඔබේ දරුවා ආරක්‍ෂා කර ගන්නයි. නිරෝගී වූ මව්බිම ඇතුළේ මගේ ඉදිරි ධුර කාලසීමාවම ඒ මුල් අරමුණු වෙනුවෙන් කැප කරනවා.
 
ඇමති මණ්ඩලයෙන්, පාර්ලිමේන්තුවෙන් සහ රාජ්‍ය සේවකයන්ගෙන් මම ඉල්ලා සිටින්නේ දරුවන්ට හොඳ රටක් ලබාදීමේ අපෙන් අපේක්‍ෂිත අරමුණ වෙනුවෙන් අපි කණ්ඩායමක් ලෙස අධිෂ්ඨානගතව කැප වන්නටයි.
 
මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසි විටෙකත් කඩ නොකොට දිවි හිමියෙන් ආරක්‍ෂා කරනවා. 
 
ඔබ සැමට තෙරුවන් සරණයි.
 

එදා මේ අර්බුදය නිර්මාණය කරන්නට දායක වුන අය අද ජනතාව ඉදිරියේ රජය විවේචනය කරමින් සිටියදී මම උත්සාහ කරන්නේ මේ අර්බුදය හැකි ඉක්මනින් විසඳා ජනතාවට සහන ලබා දෙන්නයි.

 

හරිත කෘෂි කර්මාන්තයක් සදහා රජය ගෙන යන වැඩපිළිවෙල ජයගත හැකි බව දිසාලේකම්වරු පෙන්වා දෙති. මහ කන්නයේදී කාබනික පොහොර නිවැරදිව භාවිත කළ ගොවිහු ඉහළ අස්වැන්නක් ලැබීමට සමත්වුහ. ඒ සදහා යොමු නොවු ගොවීන්ද දැනුවත් කර සිදුවු අඩුපාඩු මග හරවා ගැනීමෙන් අපේක්ෂීත ඉලක්කය කරා ලගාවිය හැකි බව ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවැති සාකච්ඡාවකදී දිසාලේකම්වරු පෙන්වා දුන්හ. යල කන්නය සදහා කාබනික පොහොර බෙදා හැරීමට ඇති සුදානම පිළිබඳව එම සාකච්ඡාව පැවැත්විණි.

මහ කන්නයේ ලද අත්දැකීම් පාදක කර ගනිමින් දිස්ත්‍රික් මට්ටමින් කාබනික පොහොර නිෂ්පාදකයන් 48 දෙනෙකු හදුනාගෙන පොහොර බෙදා හැරීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා එහිදී පැවසිය. අනාගත පරපුරට වස විසෙන් තොර ආහාර වේලක් සැපයීම අරමුණු කර හරිත කෘෂිකර්මාන්ත වැඩසටහන ආරම්භ කෙරිණ.

රසායනික පොහොර හා වල් නාශකවලට හුරුවු ගොවීන් කාබනික වගාවට යොමු කිරීම සැබැවින්ම අභියෝගයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා එහිදී පැවසීය. එහෙත් සියලු මට්ටමේ නිලධාරීන් දැඩි උන්නදුවකින් විශ්වාසයකින් හා කැපවීමෙන් කටයුතු කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත් කරගත හැකිය. ගොවිීන් නිසිලෙස දැනුවත් කළයුතු වන අතර නිසිකලට ප්‍රමිතියෙන් යුත් පොහොර ඔවුන්ට සැපයිය යුතුය. පැවැති ඇතැම් ආණ්ඩුවලට කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් විශ්වාසයක් නොතිබුණ බව පැවසු ජනාධිපතිතුමා පාරම්පරික කෘෂිකාර්මික රටක් වන ශ්‍රී ලංකාව ඉන් ස්වයංපෝෂිත කර ගොවියා ශක්තිමත් කිරීම තම අපේක්ෂාව බව අවධාරණය කළේය.

කාබනික පොහොර නිෂ්පාදනයට සම්බන්ධ වී සිටින සියලු නිෂ්පාදන ආයතන දිර්ඝ කාලයක පර්යේෂණ සිදුකර වගා කටයුතු සදහා යොමුවී සාර්ථක ප්‍රතිඵල අත්කරගෙන තිබේ. ඔවුන්ගේ දැනුම හා ඉහළ ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදන ගොවි ජනතාව අතට පත් කිරීමෙන් සාර්ථක ප්‍රතිඵල අත්කර ගතහැකි බවට ජනාධිපතිතුමා විශ්වාසය පල කළේය.

සතියකට දෙවතාවක් දිසාලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පොහොර කමිටුව රැස්වන බව ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී පැවසීය. දිස්ත්‍රික්ක රැසක ගොවීහු මහකන්නයේදී කාබනික පොහොර යෙදීමන් සාර්ථක ප්‍රතිඵල අත්කරගත් බව පොහොර නිෂ්පාදන ආයතනවල පර්යේෂකයෝ පෙන්වා දුන්හ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද රාත්‍රී 08.30ට ජාතිය අමතයි. එය ගුවන්විදුලි සංස්ථාවේ සිටි එෆ්.එම්, වෙළද, ඉංග්‍රීසි හා දෙමළ සේවා ඇතුළු සියලුම ප්‍රාදේශීය සේවා ඔස්සේ සජීවීිව ප්‍රචාරය කෙරේ.

ජනාධිපතිතුමා ජාතිය අමතා කරන ප්‍රකාශය රාත්‍රී 9.00 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පසු සිංහල ස්වදේශීය සේවය ඔස්සේ ප්‍රචාරය කිරීමට විධිවිධාන යොදා තිබේ.

 
 
රට මුහුණපා සිටින වත්මන් අර්බුදය පිලිබදව සියලු දෙනාගේ එකගත්වයෙන් කිසියම් යහපත් ප්‍රවේශයකට පැමිණිය හැකිනම්, එය පීඩාවට පත් රටේ අහිංසක ජනතාවට සහණයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. නුදුරේදී පැවැත්වීමට නියමිත සර්ව පාක්ෂික සමුළුව පිළිබදව,  අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදිනියක නැගූ පැනයකට පිළිතුරු වශයෙන් ඇමතිවරයා මේ බව කියා සිටියේය.
 
ජාතික එකගතාවයක් ඇතිකරගැනීමට ජාතික මට්ටමේ සාකච්ජාවක් අවශ්‍ය බව පෙන්වා දුන් ඇමතිවරයා එය ජාතික මට්ටමින් දේශපාලනඥයන් අතර මෙන්ම බුද්ධිමතුන් අතරද සිදුවිය යුතු බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා......
 
"මේක ප්‍රමාද වූ ප්‍රවේශයක්. ඇත්තටම මීට මාස කිහිපයකට පෙර මෙවැනි සාමූහික ප්‍රයත්නයක් කරන්න තිබුණානම් හොදයි. මට මතකයි යුද්ධයේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවේ මහින්ද රාජපක්ෂ  ජනාධිපතිතුමා එවකට විපක්ෂයේ සිටි සියළුම නියෝජිතයෝ එකට මේසයකට ඉදගෙන ඔවුන්ගේ අදහස් විමසීමක් කළා. ඒක හොද පූර්වාදර්ශයක්. පාර්ලිමේන්තුවේ අද ඉන්න 225 දෙනා ව්තරක් නෙවෙයි, මෑත ඉතිහාසයේ සියළුම දේශපාලනඥයන් මේ අර්බුදයේ කොටස්කරුවන්. මම දැක්කා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා තිබුණා ජාතික එකගතාවයක් ඇතිකරගන්න ඕනේ අවස්ථාවක් කියලා. ජාතික එකගතාවයක් ඇතිකරගැනීමට ජාතික මට්ටමේ සාකච්ජාවක් අවශ්‍යයයි. ජාතික මට්ටමෙන් දේශපාලනඥයන් කතා කරන්නට ඕනේ. ජාතික මට්ටමින් බුද්ධිමතුන් කතා කරන්නට ඕනේ. ඒ නිසා මම සහෝදරාත්මකව ඔබෙන් ඉල්ලා සිටිනවා මේ දිහා සුබවාදීව බලන්න කියලා. සියලු දෙනාගේ එකගත්වයෙන් කිසියම් යහපත් ප්‍රවේශයකට එන්න පුළුවන් වුනොත්, එය පීඩාවට පත් රටේ අහිංසක ජනතාවට සහණයක්. ඒ නිසා ඒ පිළිබදව සුබවාදීව බලමු. අසුබවාදීව බැලීමෙන් වළකිමු. ඒ සාකච්ජාවෙන් පසුව ඔබට පුළුවන් ඒ පිළිබද ඔබේ මිණුම් දඩු රට ඉස්සරහා තියන්න. අසාර්ථක නම් ඒවා විවේචනය කරන්න". 
 
මාධ්‍ය හමුව ආරම්භයේදී අදහස් දැක්වූ ඇමතිවරයා බෙහෙවින් දැඩි පීඩාකාරී තත්වයන් යටතේ 5  වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදුන් දැයේ දූපුතුනට තම ශුභාෂිංසන පිරිනැමීමට ද අමතක නොකළේය.
 
"ඉතාම දුෂ්කර අභ්‍යාසයක් තුළ අපේ රටේ දුවලා පුතාලා 5 ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටියා. ඔවුන්ගේ විභාග ප්‍රතිපල ඊයේ දිනයේ නිකුත් වුනා. 5 වසරේ ශිෂ්‍යත්ව විභාගය ආරම්භවූ දා පටන් එදා මෙදාතුර පවත්වපු දුෂ්කරම සහ අභියෝගාත්මකම කාලසීමාව තුළ තමයි අපේ දුවල පුතාලා මෙවර විභාගයට පෙනී සිටියේ. සමත් අසමත් ලෙස දරුවන් බෙදන්නේ නැතිව ඊට මුහුණ දුන් දූලා පුතාලා සියළු දෙනාවම අපි අගයන්නට ඕනේ. විශේෂයෙන්ම අපි සුබ පතනවා යාපනයේ තමිල්සෙල්වම් ගජලක්ෂ්මන් පුතනුවන්ට. ඔහු තමයි මෙවර ඉහළම ලකුණු ලබගෙන තියෙන්නේ. ඒ පුංචි පුතා ප්‍රමුඛ සියළුම දූපුතුන්ට අපි සුබ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම දෙමවුපියන්ගෙන් ඉල්ලීමක් කරනවා දරුවා සමත් අසමත් කියලා දරුවන්ගේ මනස විකෘති  වන ආකාරයට කටයුතු කරන්න එපා කියලා. මාධ්‍ය වෙතිනුත් සමත් දරුවන් අසමත් දරුවන් කියලා විභේදනයක් ඇති කරන්න එපා කියන ඉල්ලීමත් මම ආරම්භයේදීම කරන්න කැමතියි".
 
මේ අවස්ථාවට සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ සහ ප්‍රවාහන අමාත්‍ය  දිලුම් අමුණුගම යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්වූහ.
 
 
 
 
 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter