නවතම පුවත්

කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් මෙගාවොට් 105ක තාප බලාගාරයක් ඉදිකිරීමට කඩිනමින් පියවර ගන්නා බව විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

කොළඹ අවට ස්ථාපිත කොට ඇති විදුලිබලාගාරවල  වර්තමාන තත්ත්වය නිරීක්ෂණය  කිරීමේ   චාරිකාවකට ( 14 දින) එක් වෙමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

මෙම නිරීක්ෂණ චාරිකාවේදී කැළණිතිස්ස, සුජිට්සු, ඒශියා පවර්, සපුගස්කන්ද සහ කොළඹ වරායේ ස්ථාපිතකොට ඇති බාජ් විදුලි බලාගාරවල සහ බත්තරමුල්ල පිහිටි පද්ධති පාලන ඒකකයේ වර්තමාන තත්ත්වය නිරීක්ෂණය කළ අතර එම බලාගාරයන්ගේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් බලපා ඇති ගැටලු මෙන්ම කාර්ය මණ්ඩල මුහුණදී ඇති ගැටලු සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍යවරියගේ විශේෂ අවධානය යොමුවිය.

නිවාස පියසි යොදාගනිමින් සූර්ය විදුලිබල උත්පාදනය විධිමත් කිරීම සදහා ජනාධිපති කාර්ය සාධන බලකායක් පිහිටුවීමට අදහස් කර ඇති අතරම ජාතික විදුලිබල පද්ධතියට දායක වියහැකි බලාගාර කිසිවක් මෑත භාගයේ ස්ථාපිත නොවීම හේතුවෙන් මේ වනවිට බලපා ඇති විදුලි අර්බුදය මගහරවා ගැනීම වෙනුවෙන් කඩිනමින් පියවර ගන්නා බව ද අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

රජයක් වශයෙන් අපේ ප්‍රධානතම වගකීම තමයි, විදුලි පාරිභෝගික ජනතාවට අඛණ්ඩ, ගුණාත්මක මෙන්ම ලාභදායි විදුලි පහසුකමක් සැපයීම. නමුත් එන්න එන්නම විදුලිබල ඉල්ලුම වැඩිවෙමින් පවතිනවා. මෙම අභියෝගයට සාර්ථකව මුහුණ දෙන්න අපි කඩිනමින් ක්‍රියාත්මක වියයුතුයි. 2015 වසරේ මම විදුලිබල අමාත්‍ය ධූරයෙන් ඉවත්වන විට විදුලිබල මණ්ඩලය බිලියන 15ක ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා, සමස්ත දිවයින ආවරණය වන පරිද්දෙන් 98% කට විදුලිබලය ලබාදීල, විදුලි බිලත් 25% කින් අඩු කරලයි තිබුනේ. නමුත් අද වනවිට මෙම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා. විදුලිබල මණ්ඩලය විශාල ණය බරක් සහිත ආයතනක් බවට පත්වෙලා. පසුගිය වකවානුව තුළ එකම බලාගාරයක් බවත් නොහදපු නිසා, විදුලි උත්පාදනය වෙනුවෙන් අධික ඉන්ධන ප්‍රමාණයක් වැය කරන්න සිදුවෙලා. මෙම තත්ත්වයෙන් හැකිතාක් ඉක්මණින් රට ගොඩගත යුතුයි. අවම වශයෙන් මේ වසරේ මෙගාවොට් 1000ක් වත් ජාතික විදුලිබල පද්ධතියට එක්කිරීමට කඩිනමින් පියවර ගත යුතු බව පැවසුවාය.

මෙම නිරීක්ෂණ චාරිකාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි රොහාන්ත අබේසේකර, සබරගමුව පළාත්සභා සභාපති කංචන ජයරත්න යන මහත්වරුන් ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී විය

වැසී ගිය සියලු කර්මාන්තශාලා නැවත ආරම්භ කරනවා- කර්මාන්ත අමාත්‍ය එස්.බී. දිසානායක

වසා දමා තිබූ ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසර 09කට පසුව දේශීය ආයෝජකයකු සමඟ ගිවිසුම් ගතවීමෙන් අනතුරු ව නැවත ආරම්භ කිරීමට ලැබීම රටේ වාසනාවක් බවත් වසා තිබෙන සියලු ම දේශීය කර්මාන්ත නැවත ආරම්භ කිරීමට කටයුතු කරන බව ත් කර්මාන්ත අමාත්‍ය එස්.බී.දිසානායක මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ බැව් පැවසූයේ (14 දින) ඇඹිලිපිටිය කඩදාසි කම්හල වසර නවයකට පසු නැවත ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,


ලෝකයේ සමාජවාදී කඳවුරු බිඳ වැටෙද්දී චීනය ඩෙන්ෂියා ඕ පින් සහ වියට්නාමයේ මහතීර් මොහොමඩ් තමන්ගේ රටවල නායකත්වයට ඇවිත් සිදු කළේ ආයෝජකයන්ට අවස්ථාව ලබා දීම යි. අද වනවිට චීනය ඇමෙරිකාව පෙනෙන තෙක්මානයට ඇවිත්. මිලදී ගැනීම්වලින් ඉහළින් ම සිටින රට බවට පත්වෙලා. වියට්නාමය වේගයෙන් සංවර්ධනය වෙනවා. මේ රටේ වැසී තිබෙන කර්මාන්ත නැවත ආරම්භ කරන්නට අපි මුලින් ම ආරාධනා කරන්නේ දේශීය ආයෝජකයන්ට. මවුබිමේ ලේ සුවඳ දැනෙන අයට. ඊට අමතරව විදේශීය ආයෝජකයන්ට දේශීය ආයෝජකයන් සහ රජයේ මැදිහත්වීම මත සිය ආයෝජන සිදු කරමින් කර්මාන්ත නැවත ආරම්භ කිරීමට අවස්ථාව ලබා දෙනවා.


මෙම කඩදාසි කර්මාන්ත ශාලාව මඟින් වසරකට කඩදාසි මෙට්‍රික් ටොන් 75 000ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිත අතර දේශීය ව අවශ්‍ය කඩදාසි සැපයිමට බලාපොරොත්තු වන බව ද පැවසි ය.


මේ කටයුත්ත ආරම්භ කිරීම පිළිබඳ හිටපු අමාත්‍ය විමල් වීරවංස මැතිතුමාට ස්වකීය ගෞරවය පුද කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.


මෙම අවස්ථාව සඳහා අමාත්‍යංශ ලේකම් ජෙනරාල් දයා රත්නායක, සී/ස ජාතික කඩදාසි සමාගමේ භාපති විමල් රූබසිංහ, කොරියන් ස්පා පැකේජින් පුද්ගලික සමාගමේ සභාපති අනුරත් අබේරත්න, පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත ස්වාමීන්වහන්සේ, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සුරන්ත වීරසිංහ, අමාත්‍යංශ නිලධාරීන්, ප්‍රදේශවාසීන් ඇතුලු විශාල පිරිසක් ද එක් වූහ.

ඉදිරි වසර හය තුළ පුනර්ජනනිය බලශක්ති ප්‍රභව මගින් මෙගාවොට් පන්දහසක විදුලි ධාරිතාවක් උත්පාදනය කර එය ජාතික විදුලිබල පද්ධතියට එක්කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස්දී ඇතැයි පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සදහා පත් කළ ඇමති අනුකමිටුවේ සභාපති ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි. මෙරට පුනර්ජනනිය බලශක්ති උත්පාදන ව්‍යාපෘතිවලට ඉන්දිය අදානී සමාගම පලමු අදියරේදී රුපියල් කෝටි 50 ක් ආයෝජනය කර තිබේ. පුනර්ජනනිය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම සදහා පත්කළ ඇමති අනුකමිටුවේ අනුමැතිය ඒ සදහා ලැබි තිබේ. එම සමාගම ඉදිරියේදී මෙරට පුනර්ජනනිය ව්‍යාපෘති සදහා තවදුරටත් ආයෝජනය කිරීමට සුදානමින් සිටි පැමිණෙන ආයෝජන කිසිසේත් ප්‍රමාද නොකෙරේ. එම ආයෝජන පමා කිරීමට කිසියම් පිරිසක් උත්සාහ දරන්නේ ඔවුන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා අවධාරණය කරයි. නව නිවාස ඉදිකිරීම, නව කර්මාන්තශාලා ආරම්භ කිරීම ආදිය හේතුවෙන් වාර්ෂිකව සියයට 05 ත් 08 ත් අතර මට්ටමකින් විදුලි ඉල්ලුම ඉහල යයි. පුනර්ජනනිය බලශක්ති මගින් උත්පාදනය කරන විදුලිය මගින් එම අවශ්‍යතා සපුරාලීම කෙරෙහි රජයේ අවධානය යොමුවී තිබේ.

විදේශ රැකියා වෙළෙඳපොළෙහි  පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනාගන්න ...
කාර්යාංශ පනත උල්ලංඝනය කළ විදේශ රැකියා නියෝජිත ආයතනවලට වැට ...

විදේශ රැකියා වෙළෙඳපොළෙහි පුහුණු ශ්‍රමිකයන්ට ඇති අවස්ථා දිනා ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දෙයි.

විගමනික ශ්‍රමිකයන් රැකියාවට අදාළ නිපුණතාවක් සහිත වීමෙන් ඉහළ වැටුපකට සහ රැකියාවේ සුරක්ෂිතභාවයට හේතු වන බව ජනාධිපතිතුමා පැවසීය. බත්තරමුල්ල, කොස්වත්ත, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය (11) පෙරවරුවේ නිරීක්ෂණය කළ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

“දේශීය ආර්ථිකයට දායක වෙමින් හා සියලු පාර්ශ්වකරුවන්ගේ යහපත සුරක්ෂිත කරමින්, ජනතාවට තම කුසලතාවයන්ගෙන් එතෙර රැකියා වෙළෙඳපොළහි යහපත් ප්‍රතිලාභ ලැබිය හැකි කාර්යක්ෂම හා සමානත්වයෙන් යුත් මාර්ග බිහිකිරීම “ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ” මෙහෙවර වේ. රැකියා නියෝජිත ආයතන සඳහා බලපත්‍ර නිකුත් කිරීම, විදේශගතවන්නන් පුහුණුව හා ලියාපදිංචිය, සමථකරණය, සුබසාධනය, නෛතික කටයුතු, අලෙවිකරණ සහ පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යයන් අතරට ගැනේ.

කාර්යක්ෂම හා පුහුණු ශ්‍රමිකයන් සොයාගැනීම, ලොව පුරා සේවා යෝජකයන් සහ රැකියා ඒජන්තවරුන් මුහුණපා සිටින ගැටලුවකි. එවැනි පසුබිමක ශ්‍රී ලංකාව දක්ෂ, අවංක සහ පුහුණු ශ්‍රමිකයන් සැපයීමේ තෝතැන්නක් ලෙස කීර්තිනාමයක් අත්කරගෙන සිටී.

වෛද්‍ය, ඉංජිනේරු, ගණකාධිකාරී, වාස්තු විද්‍යා, ගුරු, නීතිඥ, බැංකුකරණ, හෝටල් හා ආපනශාලා, හෙද, පරිගණක ඇතුළු ක්ෂේත්‍ර රැසක පුහුණු ශ්‍රමිකයන් ශ්‍රී ලංකාව සතුය. වෘත්තීය සහ පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමේ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් කාර්යාංශය අත්කරගෙන ඇති ප්‍රගතිය ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කෙරිණ.

විදේශ රැකියා මගින් ලැබෙන ප්‍රේෂණයන්ගෙන් ජාතික ආදායමට ඉහළම විනිමය දායකත්වයක් හිමි වන බව නිලධාරීහු පෙන්වා දුන්හ. රැකියා සඳහා විදේශගත වන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව, සේවා ස්ථානවල මුහුණ දෙන ගැටලු කඩිනමින් විසඳීමට ගෙන ඇති පියවර ජනාධිපතිතුමාගේ විශේෂ අවධානයට යොමු විය.

විදේශ රැකියා බලපත්‍රලාභීන්ට ඇති වගකීම නිසි ලෙස ඉටුවන්නේ දැයි ජනාධිපතිතුමා නිලධාරීන්ගෙන් විමසීය. විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත උල්ලංඝනය කළ නියෝජිත ආයතන සහ පුද්ගලයන්ට එරෙහිව නඩු 2,832ක් පවරා ඇති බව එහිදී අනාවරණය කෙරිණ. එම පිරිස වහාම අසාදු ලේඛනගත කර නීතිය ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

විගමනික ශ්‍රමික ප්‍රජාවට සහ ජනතාවට තොරතුරු ලබාදීම හා ගැටලු පිළිබඳ විමසීමට ස්ථාපිත කර ඇති පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු සේවාව පිළිබඳ ජනාධිපතිතුමාගේ අවධානයට ලක් කෙරිණ.
තානාපති කාර්යාලවල පිහිටුවා ඇති කම්කරු සුබසාධන අංශ මගින් එම රටවල සේවය කරන විගමනික ප්‍රජාවගේ සුබසාධනය, ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඒ සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මැදිහත්ව ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපතිතුමා විශේෂ අවධානයට ලක් කළේය.

බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන සහභාගීත්වයෙන් දීප ව්‍යාප්තව රැකියා වෙළෙඳපොළ පවත්වා ජනතාව දැනුවත් කිරීමට කාර්යාංශය ගෙන යන පියවර ජනාධිපතිතුමාගේ පැසසුමට ලක් විය.
කාර්යාංශ ගොඩනැඟිල්ලේ ඇති සියලු ඒකක නිරීක්ෂණය කරමින් නිලධාරීන් දිරිමත් කළ ජනාධිපතිතුමා සේවා සපයා ගැනීමට පැමිණ සිටි ජනතාවගෙන් ද තොරතුරු විමසීය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳපොළ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම්වරු, කාර්යාංශයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මහින්ද හතුරුසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව බහු වාර්ගික, බහු ආගමික, බහු සංස්කෘතික රටක්. එහි සංහිඳියාව, සහජීවනය, සහෝදරත්වය, සහයෝගීතාව හා සමානාත්මතාවය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය දෙන දායකත්වය සුලුපටු නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කරයි.

ඇමතිවරයා මේ අදහස් ප්‍රකාශ කළේ, කොළඹ 10, අල්හිදායා මහා විද්‍යාලයේ (12) පැවති ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ 25 වන වාර්ෂික සමුළුවෙහි ප්‍රධාන ආරධිතයා ලෙස සහභාගි වෙමිනි.

වර්තමානයේ රට මුහුණ දී තිබෙන ගැටලුවට විසඳුම් සෙවීමේදී සියළු දෙනා එක්ව කටයුතු කළ යුතු බව පැමිණි සිටි පිරිස අමතමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

“අන්‍යෝන්‍ය වශයෙන් ඉවසීම, අවබෝධය, අන්‍යෝන්‍ය සහයෝගීතාවය අප පුරුදු පුහුණු කළයුතුමයි. අන්‍යෝන්‍ය සහයෝගීතාවය, ඉවසීම සඳහා වැඩිම දායකත්වයක් දැක්විය හැක්කේ මාධ්‍යයට සහ සන්නිවේදනයටයි. වර්තමානයේ මාධ්‍ය සහ සන්නිවේදනය, මිනිසාගේ ශ්‍රේෂ්ඨතම සොයාගැනීමක් වන ගින්දර හා සමානවී තිබෙනවා. ඵලාදායිලෙස භාවිතා නොකෙළහොත් වැරදි භාවිතයෙන් අප වනසා දමන්න
ගින්දරට පුළුවන්. ඒවගේම සන්නිවේදකයින් හෝ මාධ්‍ය වේදීන් ලෙස අපට විශාල වගකීමක් තිබෙනවා මෙම ගින්දර වැනි වූ මාධ්‍ය භාවිතාව මිනිසාගේ යහපත වෙනුවෙන් යොදාගැනීමට. අවාසනාවට නමුත් බහුලව සිදුවන්නේ කුමක්ද?, වැරදි දේශපාලන සහ මාධ්‍ය භාවිතයන් තුලින් සහෝදර ජනතාවන් දෙස සැකයෙන්, වෛරයෙන්, ද්වේශයෙන් බැලීමට පොලඹවන තත්වයන් මෑත ඉතිහාසය පුර ක්‍රියාත්මක වී තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස සහෝදර ජනතාවට දැඩි සිත් රිදවීම් ඇතිවූ බව කණගාටුවෙන් වුවද පිළිගන්නට සිදුවෙනවා. අපට හා රටට ඉදිරි ගමනක් යෑමට නම් එය වෙනස් විය යුතුමයි. වෙනස්කම් වෙනුවට සමානකම් ඉස්මතු කර ගැනීම මාධ්‍යයේ වගකීමක් ” බව අමාත්‍යවරයා පැවසුවේය.

“අපි බෙදන්නට වඩා එකතු කරන්නට කියන අභිප‍්‍රායෙන් අපේ පෑන මෙහෙයවිය යුතුමයි. එලෙස පෑන මෙහෙයවන්නට ඔබට අවකාශය සලසා දෙන්නේ ප‍්‍රකාශන නිදහසයි. ප‍්‍රකාශන නිදහස කියන්නේ අප
කැමති දේ ප‍්‍රකාශ කිරීමටත්, අකමැතිදේ වාරණය කිරීමටත් තිබෙන නිදහස නොවෙයි. ප‍්‍රකාශන නිදහස කියන්නේ තමන්ට පමණක් තම මතය ප‍්‍රකාශ කිරීමට ඇති නිදහසත් නෙවෙයි. එහෙනම් ප්‍රකාශන නිදහස කියන්නේ කුමක්ද? මං එහෙම කියන්නේ මේ සංකල්පය නිරන්තරයෙන් භාවිතයේ දී පැටලෙන්නට ප‍්‍රවණතාවයක් තියෙන නිසයි. ප‍්‍රකාශන නිදහස කියන්නේ අන් අය එකඟ වූවත් නොවූවත් බලපෑමකින් තොරව තම මතය ප‍්‍රකාශ කිරීමට ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතියයි. හැබැයි අපි මේ අයිතිය පාවිච්චි කරන්නට ඕනේ තොරතුරු මත, පදනම්වයි. ආකල්ප මත පදනම්ව නෙමෙයි, මේ ප්‍රකාශන අයිතිය සූරැකීම අප සැමගේ වගකීමක්” බව අලහප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසීය.

විශ්ව විද්‍යාල 8 ක මාධ්‍ය සම්බන්ධ පාඨමාලා තිබුනත් වෘත්තීය මාධ්‍යවේදියා බිහිකර ගැනීමට, පුහුණු කිරීමට, ශ්‍රිලංකාව තුල රාජ්‍ය ආයතනයක් නැහැ .මම මීට මාස තුනකට පෙර කැබිනට් අනුමැතිය ගත්‍තා ශ්‍රි ලංකාවේ ප්‍රථම වරලත් මාධ්‍යවේදී ආයතනය පිහිටුවීමට. එම ආයතනය ස්ථාපනය කිරීම සඳහා නම්කල කමිටුවට ශ්‍රි ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයටත් එක්වන ලෙස මා ආරාධනා කරනවා. මාධ්‍ය සාක්ෂරතාවය ඉහල නංවා ගැනීමේ අරමුනෙන් ශ්‍රී ලංකාවේ උසස් පෙල පංතිවල මාධ්‍ය කව ආරම්භ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. එමනිසා ශ්‍රිලංකාවේ මුස්ලිම් පාසල් තුල මාධ්‍ය කව ආරම්භ කිරීමට මුස්ලිම් මාධ්‍ය සංසදයේ උපකාරය ලබාදෙන මෙන්ද, ඇමතිතුමා ඉල්ලීමක් කළේය. ලෝක ඉතිහාසය පුරාම මානව ප්‍රගමනයට, උසස් සංස්කෘතියකට මුස්ලිම් ලෝකයෙන් දැක්වූ දායකත්වය අසම සම බවද ප්‍රකාශ කළේය.

මාධ්‍ය වෙදීන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය ඉහල නැංවීම, මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම, මධ්‍යවේදීන්ගේ සුභසාධනය ඉහල නැංවීම ප්‍රධාන අරමුණු කරගනිමින් මෙම සංසදය නිර්මාණය කර ඇත. මීට වසර 25 කට පෙර සමාජිකයින් 35 දෙනකුනේ ආරම්භ කරන ලද මුස්ලිම් මාධ්‍ය සංසදය වර්තමානය වන විට සාමාජිකයින් 890ක් දක්වා වර්ධනය වී ඇත. මෙහිදී මාධ්‍ය වේදීන් මුහුණ දෙන ගැටලු පිළිබඳ මුස්ලිම් මාධ්‍ය සංසදය විසින් සම්පාදිත පර්යේෂණ වාර්තාවක්ද අමාත්‍ය වරයා වෙත ලබාදුණි.

මෙම අවස්ථාවට ගෞරවනීය ආරාධිතයා ලෙසින් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රී නවාස් ගානි මහතා, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදයේ සභාපති එන්.එම්.අමීන් මහතා, ලේකම් සාදික් ෂිහාන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ලබන බදාදා ජාතිය ඇමතිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳව එතුමා එහිදි කරුණු දැක්විමට නියමිතයි.

''වාරණය'' වත්මන් රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය නොවන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද(11) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

''නියාමනය '' රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය බවත් ලෝකයේ සෑම රටකම තිබෙන ප්‍රජාත්‍රන්තවාදී ආකෘතිය මෙය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මාධ්‍ය සංවිධාන,සිවිල් සංවිධාන සහ ලෝකයේ දියුණු රාජ්‍ය සමඟ එක්ව නව මාධ්‍ය පිළිබඳ අධ්‍යනය කර මෙරට පුවත්පත් සංශෝධන පනත කෙටුම්පත නැවත අධ්‍යනය කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

සමාජ මාධ්‍ය පාලනය කිරීම සඳහා නව නීති පැනවීමට අදහස් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමුකළ වාචික පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යරයා මේ අඳහස් පැවසීය.

වසර 1973,එනම් මීට වසර 49කට පෙර ආරම්භ කළ පුවත්පත් පනත සංශෝධනය සඳහා 2021 වසරේ අනුමැතිය ලැබී තිබේ.දීර්ග කාලයක් ජනමාධ්‍ය විෂයෙහි අමාත්‍යධූර දැරූ අමාත්‍යවරු මේ සඳහා මූලික පියවර ගෙනඇත. භාෂණායේ නිදහස ආරක්ෂා කර පුරවැසියාගේ පුද්ගලික සීමාව ආක්‍රමණය නොකර මෙම වැඩපිළිවෙළ කිරීමට කර්තෘ සංසදය, විද්‍යුත් ප්‍රකාශකයන්ගේ සංගමය ඇතුළු සියළු දෙනාම එක්ව කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද කීය.

වසර ගණනාවක් තුළ මාධ්‍ය ක්ෂේත්‍රය විශාල වශයෙන් ප්‍රසාරණය වී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා,අද වන විට මුද්‍රිත මාධ්‍ය 20ක්,රූපවාහිනී නාලිකා 26ක් සහ ගුවන් විදුලි නාලිකා හා ප්‍රාදේශීය මාධ්‍ය ඇතුළුව සමාජ මාධ්‍ය නොවන මාධ්‍ය 140ක් පමණ මාධ්‍ය ප්‍රමාණයක් මෙරට අතැයිද කිය.

අද වන විට මාධ්‍යවේදියාට වෘත්තීය පුහුණුවක් ලබා ගැනීම සඳහා නිවැරදි ආයතනයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා වෘත්තීය මාධ්‍යවේදියෙක් බිහිකිරීමට අවශ්‍ය ආයතනයක් නොමැති බව පෙන්වා දුන්නේය.

වත්මන් රජය ඒ සඳහා කැපවෙමින් එළඹෙන සැප්තැම්බර් මාසය වන විට වරලත් ජනමාධය ආයතනය ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

 

නූතන තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ උසස් මාධ්‍ය කලාවක් මෙන්ම ගෞරවනීය මාධ්‍යවේදීන් බිහිකිරීමේ අරමුණින් ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම වරලත් වෘත්තීය ජනමාධ්‍යවේදී ආයතනය පිහිටුවීම සඳහා සකස් කළ මූලික පනත් කෙටුම්පත ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත පිළිගැන්වීම මාර්තු 09 වෙනිදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිණි.

වෘත්තීය නිපුණත්වයෙන් හෙබි මාධ්‍යවේදීන් බිහිකිරීම කිරීම සඳහා මෙතෙක් අඩුවක්ව පැවති ප්‍රමිතිගත ආයතනයක අවශ්‍යතාව මෙම ආයතනය ආරම්භ කිරීමෙන් සම්පූර්ණ වන අතර ඒ වෙනුවෙන් ඉතා කෙටි කාලයක් තුළ මෙම කෙටුම්පත සකස් කිරීම පිළිබඳව අමාත්‍යවරයා විසින්  කමිටු සාමාජිකයින් වෙත සිය කෘතඥතාවය පළ අතර කඩිනමින් මෙම ආයතනය පිහිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව මෙම ආයතනය ආරම්භ කිරීමෙන් පසු ජනමාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින තරුණ තරුණියන්ට විශ්වවිද්‍යාලයක මාධ්‍ය පාඨමාලාවකට එහා ගිය ප්‍රායෝගිකත්වයෙන් පූර්ණ වූ උපාධි පාඨමාලා, උසස් ඩිප්ලෝමා පාඨමාලා ඇතුළු පාඨමාලා ගණනාවක් මෙම ආයතනයෙන් හැදෑරීමේ අවකාශය හිමි වෙනු ඇති.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ යන මහත්වරු ඇතුළු සෙසු කමිටු සාමාජිකයින් ද සහභාගී වූහ.

 
දිවයින පුරා ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන පාසල් අතර බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ලණු පැදුරු හෙවත් ‘මැටින්’ 200 ක් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙත ලබාදීමට පියවර ගනු ලැබීය. අවුරුදු 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ වයස් කාණ්ඩවලට ක්‍රීඩා කිරීම සඳහා හැකිවන පරිදි වූ අඩි 66 ක දිගකින් මෙම මැටින් සමන්විත වේ.
 
ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, කෑඝල්ල, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, අනුරාධපුර,පොළොන්නරුව, පුත්තලම, බදුල්ල, මොණරාගල, රත්නපුර, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, වවුනියාව, වුලතිව් මන්නාරම, කිලිනොච්චි යන ප්‍රදේශවල පාසල් සඳහා මෙම මැටින් බෙදාදීම සිදුවනු ඇත.
 
ශ්‍රී ලංකාව තුළ උපත ලබන සහජ දක්ෂතාවයන්ගෙන් යුතු සෑම ක්‍රීඩකයකුටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ සමාන අවස්ථාව උදාකරලීමේ උදාරතර පරමාර්ථය ඇතිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සිදුකරගෙන යනු ලබන ‘ජාතික සංවර්ධන ගමන් මඟ’ වැඩසටහන යටතේ සිදුකරන ලද තවත් කොටසක් ලෙසින් මෙම මැටින් පරිත්‍යාගය සඳහන් කළ හැක.
 
මෙම මැටින් බෙදාදීමේ වැඩසටහන යටතේ පළමුව කළුතර දිස්ත්‍රික්කය විසින් සිදුකළ අතර එහිදී කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ප්‍රසන්න අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් එම පරිත්‍යාගය සිදුවිය.
 
මූලික අදියර යටතේ පිරිනමනු ලබන මෙම මැටින් 200 ට අමතරව ඉදිරියේදී තවත් මැටින් 200 ක් පරිත්‍යාග කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තුවෙන් පසුවෙයි. මෙම පරිත්‍යාගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකාව පුරා පාසල් 650 කට ක්‍රිකට් උපකරණ ලබාදීම සිදුකරන ලදී. මීට අමතරව  ග්‍රාමීය මට්ටමේ සිට ක්‍රිකට් ක්‍රීඩාව සිදුකරගෙන යනු ලබන සෑම පාසලටකම අවශ්‍ය යටිතල පහසුකම් සියල්ල ලබාදීමට පියවරගෙන තිබීම විශේෂත්වයකි. ඒ වෙනුවෙන් කොන්ක්‍රීට් විකට්ටු 200 ක්, පැති පුහුණු තණතීරු 50 ක්, ප්‍රධාන තණතීරු 25 ක් සහ තලන යන්ත්‍ර 300 ක් ලබාදීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විටත් පියවර ගෙන තිබේ.
 
 

නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභා වාරයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) පළමු වාර්තාව කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා විසින් ඊයේ (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

නව වැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභා වාරයේදී පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් කැඳවනු ලැබූ සහ එමගින් විමර්ශනය සිදු කරනු ලැබූ රාජ්‍ය ව්‍යාපාර 12කට අදාළ විමර්ශන මෙම වාර්තාවට ඇතුළත්ව තිබේ.


ඒ අනුව, සීමා සහිත ස්වාධින රූපවාහිනී මාධ්‍යජාලය, ශ්‍රී ලංකා ඛණිජ තෙල් ගබඩා කිරිම හා බෙදා හැරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව, පොල් සංවර්ධන අධිකාරිය, විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන තත්වය අධ්‍යයනය කිරීම සඳහා වූ විශේෂ විගණන වාර්තාව, ශ්‍රී ලංකාවේ ළමා අපචාර සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ කාර්යභාරය පිළිබඳ විශේෂ විගණන වාර්තාව, සීමාසහිත රක්ෂණ සංස්ථාව, මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නායයෑම් අධි අවධානම් කලාපවල ජීවත්වන ලවුල් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතියේ කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාව , ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය සහ පසුභාවිත කළමනාකරණය සම්බන්ධයෙන් වූ පරිසර විගණන වාර්තාව, ලංකා මිනරල් සෑන්ඩ් ලිමිටඩ්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ පශ්චාත් විද්‍ය උපාධි ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය යන ආයතන වලට අදාල විමර්ශන මෙම වාර්තාවට ඇතුළත් වේ.

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය, වාර අවසාන කිරීම හේතුවෙන් සභාගත කිරීමට නොහැකි වූ මෙම වාර්තාව, දෙවැනි සභා වාරයේදී සභාගත කිරීමට කෝප් කමිටුවේ ගරු සාමාජික මන්ත්‍රීවරුන්ගේ එකඟතාවය හිමි විය.

මියගිය නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්‍ෂණය කිරීම දැනටමත් ආරම්භ කර ඇතැයි බුද්ශ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කියයි. එම කටයුතු කඩිනම් කරන්නැයි ජනාධිපතිතුමා සහ අගමැතිතුමා උපදෙස් දී තිබේ. ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව සංරක්‍ෂණ කටයුතු සිදුකරයි. කෙසේ වෙතත් ඒ සඳහා කලක් ගතවනු ඇතැයි ලේකම්වරයා සඳහන් කළේය. නැදුන්ගමුවේ රාජා හස්තියාගේ සිරුර සංරක්‍ෂණය කිරීමෙන් අනතුරුව එය බොහොදුරට මහනුවර දළදා මාළිගා පරිශ්‍රයේ තැන්පත් කෙරෙනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි.

මෙරට ජනගහනයෙන් බහුතරය නියෝජනය කරන්නේ කාන්තා‍වන් සේම වර්තමානයේ මෙරට ආර්ථිකයට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ ද කාන්තාව බැවින් සංකේතාත්මකව නොව අර්ථාන්විතව කාන්තාව සිහිපත් කිරීම වැදගත් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි.‍ මාර්තු 08 වෙනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹ දී පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඇය මිහි මවට ජීවය ‍ගෙන ආ මාතාවයි, බිරිඳයි, දියණියයි, සොයුරියයි, යෙහෙළියයි, ඇය පණ දුන් අපේ ලෝකයේ ඇයට හිමි තැන කුමක්විය යුතු ද ?දවස් තුන්සිය හැට පහක් ගෙවිලා නැවත අපි මාර්තු 08 වෙනිදාට ප්‍රවේශ වෙලා ඉන්නවා. අද ජාත්‍යන්තර කාන්තා දිනයයි. සංකේතාත්මක සැමරුමකට එහා ගිය අර්ථාන්විත සැමරුමක් වෙනුවෙන් මේ දිනය තුළ අධිෂ්ඨානයක් ඇති කරගැනීම වැදගත් කියල මම කියනවා. රටක් විදිහට ගත්තොත් අපේ රටේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට පහක් පමණ වනවා. ඒ කියන්නේ 225න් 13දෙනෙක් කාන්තාවන්. ඒ වගේම ලෝක ජනගහනයෙන් 49.5% ක් කාන්තාවන්. අපේ රටේ ජනගහනයෙන් 51% කට වඩා වැඩියෙන් ඉන්නෙ කාන්තාවන්. ඇඟලුම් ක්ෂේත්‍රය, අපනයන ක්ෂේත්‍රය, තේ කර්මාන්තය, විදෙස් ශ්‍රමය වැනි අපේ රටේ ආර්ථිකයට වැඩිම දායකත්වය දෙන්නෙත් ඉදිරියෙන්ම ඉන්නෙත් කාන්තාවන්. රට ජයග්‍රහණය කර තිබෙන අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ‍දර්ශක අතරෙත් ඉදිරියෙන් ඉන්නෙ කාන්තාවන්. ස්ත්‍රී පුරුෂ වර්ගීකරණයේ සිට සංස්කෘතික, ආගමික, සමාජීය, දේශපාලනික ආර්ථික ආදී සාධක මත පක්ෂාග්‍රාහී නොවන සමාජ පසුබිමක් නිදහස් අවකාශයක් මානව පරිසරයක් ලෝක කාන්තා ප්‍රජාව වෙනුවෙන් නිරීමාණය කිරීම අප සැමගේ පරම යුතුකම හා වගකීමයි.

ප්‍රායෝගිකව කාන්තාව අපේ සමාජයේ දෙවැනි පන්තියේ, තුන්වෙනි පන්තියේ පුරවැසියන් නොකිරීමට වගේම සමාන අයිතිවාසිකම් සහිතව ජීවත්වීමට ඇයට ඉඩ ලබා දීමට අපි කටයුතු කරමු යැයි  මම යෝජනා කරන්න කැමතියි.

මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක, අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මිලින්ද රාජපක්ෂ යන මහත්වරුන් ද එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter