නවතම පුවත්

වගකිමෙන් කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින ඉහලයමින් පවති. මේ වනවිට එය දහසේ සීමාව ඉක්මවා ගොස් තිබේ. කොරෝනා මර්දනය සදහා වන පුර්ණ එන්නත්කරණයට ලක්වීම වෛරසයේ ව්‍යාප්තිය වැළැක්වීමට ඇති හොඳම මඟයි. එන්නත්කරණයට ලක්වුවද සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස අනුගමනය අත්‍යවශ්‍ය වෙයි. අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකි හැකිතාක් නිවෙස්වලම රැදි සිටිම, ජනතාව ඒකරාශි වන ස්ථානවලින් යාමෙන් වැළැකීමද අවශ්‍ය වෙයි.

මේ දක්වා මෙරටින් වාර්තාවේ ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 06 ලක්ෂ 21 දහස් 985 කි. ඊයේ ආසාදිතයෝ 1253 දෙනෙක් හදුනා ගනු ලැබුහ.

සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 35 ක් තහවුරු කළේය. පිරිමි 22 ක් හා කාන්තාවෝ 13 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛයාව 28 කි. වයස අවුරුදු 30 ට අඩු මරණ 02 ක් ඊයේ වාර්තා විය.

මිලියන සංඛ්‍යාත දූපුතුන්ගේ විභාග පැවැත්වීමට අදාළ පරිසරය නිර්මාණය කරගැනීමට හැකිවීම මේ බියකරු වසංගතය පරාජය කරමින් ශ්‍රී ලාංකීය ජාතියක් ලබාගත් විශිෂ්ඨතම ජයග්‍රහණයක් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේ ය.

ඊයේ දිනයේ ආරම්භවූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2438 ක දී පැවැත්වේ. වසංගත තත්වයක් මධ්‍යයේ මෙවර විභාගය සාර්ථකව පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයට, විභාග දෙපාර්තමේන්තුවට සහ රටේ සෞඛ්‍ය අංශ වෙත රජය තම ගෞරවය පුද කරන බව ද ඇමතිවරයා පැවසීය.

“ආණ්ඩුවක් විදිහට, අපි ඉතාමත්ම ඉහළ සතුටක් අපි එමගින් භුක්ති විඳිනවා. ඊයේ දවසේ ඔබ මාධ්‍ය වාර්තා කළා තුන් ලක්ෂ හතලිස් පන්දහස් දෙසිය හතලිස් දෙකක් දූපුතුන් පිරිසක් උසස් පෙළ විභාගය ආරම්භ කළා. විශේෂයෙන් කොවිඩ් ආසාදනය වූ දූපුතුන් 136 දෙනෙක් විශේෂ මධ්‍යස්ථාන 29 ක දී විභායට පෙනී සිටිනවා. අපි අධ්‍යාපන අමාත්‍යාංශයටත්, විභාග දෙපාර්තමේන්තුවටත් අපි ස්තුති වන්ත වන අතර සියළු දූපුතුන්ට අති විශිෂ්ට ජයග්‍රහණයක් මවුබිමට රැගෙන ඒමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.”

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක ඇතිවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍යවේදිනියක නැඟූ ප්‍රශ්ණයකට පිළිතුරු දුන් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා සංවාදයක් පැවතීම අත්‍යවශ්‍ය කරුණක් බැව් පෙන්වා දුන්නේ ය.

“ආණ්ඩු පක්ෂ කණ්ඩායමක් ඇතුළේ ඇතිවන තර්කනය, විසංවාදය මත ගැටුමක් ලෙස අර්ථනිරූපනය කිරීම වැරදයි. විවිධ කරුණු කාරණා සම්බන්ධව සංවාදයක් පැවතීම අපේ රටේ දේශපාලන සංස්කෘතියට නුහුරු දෙයක් බවට  පත්ව තිබෙනවා. සමාජයක නිරෝගීභවය සඳහා සංවාදය, තර්කණය, ප්‍රතිතර්කණය තිබිය යුතුයි. අපි පසුකරමින් සිටින්නේ අර්බුදකාරී මොහොතක්”.

පවතින විදුලි අර්බුදයට විසඳුම් සෙවීමෙහිලා කොටස්කරුවන් බවට පත්වීමේ වගකීමක් පුරවැසියන්ට සහ ජනමාධ්‍යයට ද පැවරී ඇති බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේ ය.

“මේ අර්බුදය කුමක්ද යන්න මනාව තේරුම් ගනිමින් එය විසඳීමේ කොටස්කරුවන් බවට පත්වීම පුරවැසියන්ගේ වගකීමක්. එම අර්බුදයට වගකිවයුත්තේ කවුද, කුමන ආණ්ඩුවක් කිනම් අවස්ථාවක සිදුකරන ලද වරදක් ද යන්න වෙනම විභාග කළ යුතු කාරණාවක්. නමුත් දැන් අවශ්‍යව පවතින්නේ එවැනි විභාගයක් නොව, එම අර්බුදය විසඳීමෙහිලා අපට කිනම් මට්ටමකින් දායකවිය හැකිද යන්න විමසා බැලීමයි. මම විදුලිබල අමාත්‍යාංශයේ කෙටි කාලයක් තුළ සිටි ප්‍රතිපත්ති සම්පාදකයෙකු ලෙස මම දන්නවා හාරලක්ෂ හැත්තෑ හතර දාහක් පමන වීථි පහන් තියෙනවා මුළු රටේම. කොළඹ නගරයේ පමනක් විදුලි පහන් 18,000 ක් පවතින බව මාධ්‍ය වාර්තාවක පළවුනා. රාත්‍රී කාලයේ එම විදුලි පහන් ක්‍රියාත්මක කිරීමට මෙගාවොට්ස් 26 ක ධාරිතාවයකින් යුත් බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වනවා. හාරලක්ෂ හැත්තෑ දහසක් වන වීථි පහන්වලට කොතරම් බලශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වනවා ද? අපේ රටේ මිලියන 7 ක් පාරිභෝගිකයන් පිරිසක් ඉන්නවා. ඒ නිසයි අපි පුරවැසි ඉල්ලීමක් කලේ වැඩිම විදුලි දහනයක් සිදුවන වේලාවන්හිදී අවම වශයෙන් වොට් විසිපහක විදුලි බල්බයක් හවස 6 ඉඳලා රෑ දහය වෙනකන් එක නිවසක නිවා දමන ලෙස. එවැනි තීන්දුවක් ගතහොත් එමගින් එක් රාත්‍රියකදී ඉතිරිවන විදුලිය ප්‍රමාණය රන්දෙනිගල ජලාශයෙන් උත්පාදනය වන විදුලිය ධාරිතාවයට වඩා වැඩියි. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක අප එවැනි කැපකිරීමක් කළ යුතුයි. මම විශේෂයෙන්ම කියන්නේ, මාධ්‍ය විදිහට මේකේ අඩුපාඩු හොයන්න, වැරැද්ද විවේචනය කරන්න, වැරැද්දට ඇඟිල්ල දිගු කරන්න, ඒ සියල්ලම කරන්න. හැබැයි පුරවැසියන්ගේ පැත්තෙන් මේ ඉල්ලීම පුරවැසියන්ට ඉදිරිපත් කරන්න පෙරමුණ ගන්න”. 

ඉන්දීය ධිවරයන්ගේ බෝට්ටු වෙන්දේසි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැණයකට පිළිතුරු දුන් ඇමතිවරයා මෙම ධීවර ගැටළුවලට අදාළ ප්‍රවෘත්ති  පළ කිරීමේදී ඊට මුහුණදුන් ජනකණ්ඩායම්වල ආවේගශීලීභාවය අවබෝධ කරගනිමින් එම ආවේගශීලීභාවයෙන් මිදී වාර්තාකරණයේ නිරතවන ලෙස සහෝදර දමිල මාධ්‍යවේදීන්ට ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස තමා ඉල්ලීමක් කරන බව පැවසීය.

“ මෙැවනි සිදුවීම් අළුත් දෙයක් නොවෙයි. මුහුදු සීමාව තුළ නිරතුරුව සිදුවන දෙයක්. මේ පිළිබඳව රාජ්‍යයන් දෙකම හොඳ අවබෝධයකින් ඉන්නවා. ඒ නිසා භූදේශපාලනික ඇති නොවන ආකාරයට සහ එම මුහුදු සීමාවන් සතු සම්පත් අදාළ රාජ්‍යයන්වල ජනතාවට ලබාගන්න පුළුවන්වන ආකාරයට මේ ගැටළුව අපි හැමදාම විසඳාගෙන තියෙනවා. හැබැයි අර්බුද මතුවනවා. කළමණාකරණය කර ගැනීමට අපහසු ප්‍රශ්ණ පැන නඟිනවා. ආවේගශීලීව පාර්ශවයන් හැසිරෙනවා. නමුත් ඉන්දියානු නාවික හමුදාවත්, ශ්‍රී ලාංකීය නාවික හමුදාවත් සාමය ආරක්ෂා වන මට්ටමින් ඉතා ඉහලින් තම රාජකාරිය ඉටුකරමින් සිටිනවා. නමුත් මන්නාරමේ සිට යාපනය දක්වා තීරය තුළ නොගැඹුරු මුහුදේ මත්ස්‍ය අස්වැන්න සම්බන්ධයෙන් මෙය දිගින් දිගට මතුවන ප්‍රශ්ණයක්. ඉතාම සීමිත අවකාශයක් තුළ විශාල ධීවර ප්‍රජාවක් ඒ සීමිත අස්වැන්න වෙනුවෙන් ඇතිකරගන්නා වූ ප්‍රශ්ණයක්. අප රටක් ලෙස ධීවර අමාත්‍යාංශයත්, විෂය භාර නිලධාරීනුත්, නාවික හමුදාවත් අපේ මුහුදු කලාපය තුළ අපේ රටේ පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කරගැනීම සඳහා ගත හැකි සෑම පියවරක්ම ගන්නවා. ඊට අපි පැකිලෙන්නේ නැහැ. ඉන්දියාවත් එහෙමයි. නමුත් රාජ්‍යයන් දෙක අතර ඇති මිත්‍රත්වය පළුදු නොවන ආකාරයට අපි ඒවා විසඳා ගන්නවා. අපේ බෝට්ටු ඉන්දීය මුහුදු සීමාවේදී අත්අඩංගුවට අරගෙන සමහරවිට රාජ්‍ය නායකයාගේ ඉල්ලීම පරිදි නඩු නැතිව නිදහස් කරපු අවස්ථාවන් ඕනේ තරම් තියෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන සමයේ එවැනි සිදුවීම් රාශියක් සිදුවුනා මට මතකයි. වතාවක් බෝට්ටු 26 ක් නිදහස් කළා. අපි අසල්වැසි, සහෝදර රාජ්‍යයන් දෙකක් විදිහට දෙරටේ සම්බන්ධතාවයන් පළුදු නොවන ආකාරයට මේ ගැටළු විසඳා ගැනීමට අප කටයුතු කරනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද මේ අවස්ථාවට එක්විය.

පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි. අද සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙයි. 2015 අංක 5 දරණ ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත යටතේ නියෝග දෙකක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන අරමුදල් පනත් කෙටුම්පත දෙවන වර කියවිම ද අද සිදුවෙයි. එහිදි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල සම්බන්ධයෙන් සංශෝධන දෙකක් ඉදිරිපත් කිරිමට නියමිතයි. එම අරමුදලේ සභාපතිවරයා ලෙස මෙතෙක් කටයුතු කළ අග විනිසුරුවරයා වෙනුවට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු හෝ විශ්‍රාමික විගණකාධිපතිවරයෙකු පත් කිරිම එම සංශෝධනවලින් සිදු වෙයි. එමෙන්ම එම අරමුදලේ සාමාජිකයෙකු ලෙස මෙතෙක් කටයුතු කළ විෂයභාර ඇමතිවරයා වෙනුවට ඔහු පත්කරන නියෝජිතයෙකු එම සාමාජික ධුරය දැරීම සදහා පත් කිරිමද ඉදිරිපත් කෙරෙන තවත් සංශෝධනයකින් සිදුවෙයි.

මෙවර මහ කන්නයේ වී වගාව ආරම්භ කරනු ලැබුවේ අභියෝග මැදිනි. ඊට කාලගුණික සහ දේශගුණික තත්ත්වයන්වල හොඳ ප්‍රතිචාර ලැබිණි. කුමන අභියෝග පැමිණිය ද හෙක්ටයාර් ලක්ෂ 8කට ආසන්න ප්‍රමාණයක් එනම්, රට තුළ මහ කන්නයක සමස්ත වගා බිම් ප්‍රමාණය උපරිමය මෙවර වගා කළ හැකි වුණි. එහි සාමාන්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 32කට අධික ප්‍රමාණයකි. එහෙත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් ප්‍රකාශයට පත් කර ඇති 2022 නවතම බෝග පුරෝකතන වාර්තාවට අනුව සාමාන්‍යයෙන් සියයට 30%ක පමණ අස්වැන්නේ පහළ යාමක් අපේක්ෂා කළ හැකි වගය. මෙවර අස්වැන්න ලැබීමට පෙර පැවති බොහෝ කාබනික විරුද්ධ මතධාරීන් දැරූ අදහස. ඒ අනුව දැනට ලැබීමට නියමිත අස්වැන්න මෙ. ටො. ලක්ෂ 23කට ආසන්නය. එය මෙට්‍රික් ටොන් ලක්ෂ 14ක් පමණ එනම්, මාස 7ක පමණ දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් නිෂ්පාදනයකි. එහෙත් ක්ෂේත්‍රයේ බිම් මට්ටමේ පවතින තත්ත්වයත් මාගේ දැනුම සහ විශ්වාසයත් අනුව එය ඊට වඩා වැඩි වනු ඇත. මෙවර වී වගාවට විවිධ වර්ගයේ රසායනික පොහොරත් කිසියම් ප්‍රමාණයක් භාවිත වීමත් ඊට බලපෑ කරුණකි.

සැබැවින්ම කෘත්‍රිමව හිඟයක් ඇතිකළහොත් මිසෙක කිසිදු සහල් හිඟයක් මෙවර ඇතිවිය නොහැකිය. මෙවර අපට ඉදිරියේදී යල කන්නයේදී ලැබීමට නියමිතයි. එහිදී 70%ක ප්‍රමාණයක අස්වැන්නක් ලැබුවත් රටට සාමාන්‍යෙයන් මාස 05කට පමණ ප්‍රමාණවත් සහල් නිෂ්පාදනයක් ලැබිය හැකිය. එසේම දේශීය වශයෙන් දැනට අලෙවි වන සහල් මහ කන්නයේ ඒවා නොවේ. 2020/21 මහ කන්නය සහ 2021 යල කන්නයේ නිෂ්පාදනය කරනු ලැබූ ඒවාය. පසුගිය වසරේ සහල් නිෂ්පාදනය රටේ දේශීය පරිභෝජන අවශ්‍යතාවයෙන් මාස 16කට පමණ ප්‍රමාණවත්විය. කාබනික නිෂ්පාදනයෙන් අස්වැන්නක් නොලැබේ යැයි ඇතිවූ තත්ත්වය නිසා ඇති වූ අවිශ්වාසය මතය වී සහ සහල් දෙකම එකවර මිල ඉහළ ගියේ. මෙවැනි නිෂ්පාදනයත් නොලැබේ යැයි ඇතිවූ අවිනිශ්චිතතාව මිල ඉහළ යෑමට හේතු වුණි. එසේ මිලෙහි ඇතිවූ ඉහළ යාම මිස කිසිදු දේශීය සහල් හිඟයක් තිබෙනවදැයි අප විමසා බැලිය යුතුය. මේ වන විට කිසිම ප්‍රදේශයක සහල් හිඟයක් නොමැත. සහල් අලෙවිය ද අඩු වී ඇත. මේ අනුව දැනට තිබෙනවාට වඩා උත්සව සමය වන විට සහල් මිලේ පහළ යාමක් අනිවාර්යයෙන් සිදු වේ.

සෞභාග්‍යයේ මාවත

ඉඳින් මෙවර මහ කන්නයට ලැබෙන මාස 7ක නිෂ්පාදනය අපට පෙබරවාරි මස සිට ඉදිරියට රට තුළ ප්‍රමාණවත් වනු ඇත. එවැනි පසුබිමක් තුළ මෙවර යල කන්නයේ අපට 70%කින් කාබනික වගාවට යෙදීම තුළින් සාර්ථක කරගතහොත් අපට කිසිඳු සහල් හිඟයක් ඇති නොවේ. එවැනි සුළුවෙන් සහල් හිඟ තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීමට දැනටමත් කිසියම් සහල් ප්‍රමාණයක් ආනයනය කර ඇත. එමනිසා කිසිදු ආකාරයක හිඟයක් පවතින දත්ත සහ තොරතුරු අනුව ඇතිවිය නොහැකිය. අවශ්‍යතාවය මත සහල් මෙ. ටො. ලක්ෂ 02ක පමණ ආරක්ෂිත තොගයක් තබාගැනීම ද මෙහිදී වැදගත්ය. එහෙත් එයින් කිසිදු ආකාරයකට වී ගොවියාට හානියක් නොවීමට වී අලෙවි මණ්ඩලය වගබලා ගනු ලබයි.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව මෙරට සහතික මිල එක්වරම රුපියල් 50 සීමාවට ඉහළ නැංවිණි. එසේම ගොවියෙකුගෙන් වී කිලෝ 2000ක් පමණයි කලින් මිලදී ගැනුණේ. එකල ගොවියාට ඉතිරිය අලෙවි කිරීමට සිදුවූයේ පුද්ගලික අංශයටයි. දැන් එසේ නොවේ. වී ඕනෑම ප්‍රමාණයක් වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් මිලදී ගැනේ.

අනෙක ගොවි ජනතාව වී අලෙවි මණ්ඩලයට රැගෙන එන වී සඳහා මෙයට පෙර ප්‍රවාහන මුදල් ලබා නොදුණි. එහෙත් සෑම වී කිලෝවකටම පසුගිය කන්නයේ රුපියල් 1.50කුත් දැනට රුපියල් 2.00කුත් ඒ සඳහා ගෙවනු ලැබේ. තවද ගොවිබිම්වලටම ගොස් රජය වී මිලදී ගැනීමට තීරණය කර තිබේ. ඊට ජංගම ක්‍රමවේද ආරම්භ කර ඇත. එමෙන්ම නියෝජිතයන් මාර්ගයෙන් වී මිලදී ගැනීමේ වැඩසටහනක් ද ආරම්භ කර තිබේ.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් ද සහල් කර්මාන්තයට විශාල කාර්යභාරයක් ඉටු කරන්නෝය. ඔවුන් ද සම්බන්ධ කර ගනිමින් ඉහළ තෙතමනයක් සහිත වී සඳහා ද ගොවි ජනතාවට ඉහළ මිලක් ලබා දී තිබේ. තවද එකල හොඳ තත්ත්වයේ ගබඩා 50ක් වත් අපට නොවීය. වර්තමානය වන විට යුද හමුදාවේ ද සියලු ශක්තිය යොදවා ඉතාමත් හොඳ තත්ත්වයේ ගබඩා 325ක් දිවයින පුරා ඉදිකර තිබේ. එම ධාරිතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ½ක් පමණය. අනෙක කලින් වී අලෙවි මණ්ඩලයට වී ලබාගැනීමේදී මුදල් ලබාදීමට සති ගණන් වැය වුණි. එහෙත් දැන් අත්පිට මුදලට මිලදී ගැනේ. ඒ, වී ලබා දුන් දිනයේම ජනතාවට මුදල් ලබා දෙමිනි. තවද, තදබදය අවම කිරීමට සෑම වී බෑගයක්ම වෙන වෙනම කිරා මැන මිලදී ගැනේ. පෞද්ගලික අංශයේ මිලදී ගන්නා ආකාරයටම සියලු තොග එකවර පාලම් තරාදි මඟින් කිරා මිලදී ගනු ලැබේ. වෙනදා වී අලෙවි මණ්ඩලයට වී මිලදී ගැනීමට මුදල් ලැබුණේ පෞද්ගලික අංශයට වී මිලදී ගැනීමට මුදල් නිකුත් කිරීමෙන් පසුවය. එහෙත් අද ප්‍රථමයෙන්ම වාණිජ බැංකු හරහා මුදල් ලැබෙන්නේ වී අලෙවි මණ්ඩලයටය. එය ද සතුටකි. ඒ, මා හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ ආයතනයෙන් වසර 20කට අධික කාලයක් තුළ වෘත්තීය පර්යේෂකයකු ලෙස ලබාගත් නව දැනුම අනුවය.

එසේම අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ඉතා හොඳ මිලකට, විශේෂයෙන් නාඩු වී කිලෝවකට රුපියල් 90කුත්, සම්බා වී කිලෝවක් රුපියල් 92ක මිලකටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 95ක් ලෙසත් ඉතා හොඳ මිලක් ගොවියාට දැන් ලැබේ. ඊට අමතරව සෑම වී කිලෝවක් සඳහා ම රු. 2 ක ප්‍රවාහන වියදම ද ගෙවනු ලබයි. කාබනික වගාවට යොමු වූ ගොවි ජනතාවට මේ අභියෝගාත්මක අවස්ථාවේදී ඉතා හොඳ ජයග්‍රහණයක් ඒ අනුව ලබා දී ඇත. ගොවි ජනතාවගේ වී මිල ගැන පැවති බලාපොරොත්තු ඉටු වී තිබේ. එහිදී කලින් සඳහන් ක්‍රමවේද කිහිපයම භාවිත කර තිබේ. ඍජු මිලදී ගැනීම්, නියෝජිත මාර්ගයෙන් මිලදී ගැනීම්, සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් හරහා මිලදී ගැනීම්, තෙත වී මිලදී ගැනීම් ආදියෙන් වී නිෂ්පාදකයා ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක් ම ගෙන ඇත.

පාරිභෝගිකයාටත් සහල් වෙනුවෙන් සහනාධාරයකට යා යුතුය යන්න මාගේ විශ්වාසයයි. මෙරට එක් පුද්ගලයකු මසකට සහල් කිලෝ 10කට ආසන්න ප්‍රමාණයක් පරිභෝජනය කරයි. දිනකට රටට සහල් මෙට්‍රික් ටොන් 6500ක් අවශ්‍යය. මසකට සහල් මෙට්‍රික්ටොන් ලක්ෂ 2ක් මෙන්ම වසරකට මෙට්‍රික් ටොන් 24ක් ද අවශ්‍යය. ඒ අනුව ප්‍රධාන ආහාර භෝග‍ෙය් මිල පාලනය කළ නොහැකි ලෙස ඉහළ යන්නේ නම් මිල පාලනයකට ලක්කළ යුතුමය. සාමාන්‍යයෙන් සහල් මිල ඉහළ යෑමක් වන්නේ වසර අවසාන කාලයේදීය. ඒ කාලසීමාව වන විට මිල පාලනයට ලක්කිරීම වැදගත්ය.

නිෂ්පාදන වාසි

මෙරට ජනතාවගේ ජීවන වියදම් දත්ත පිළිබඳත් අවධානය යොමු කළහොත් මාසික ආදායමෙන් 35%ක් තරම් කොටසක් පුද්ගලයෙකු වැය කරන්නේ ආහාරපාන සඳහාය. වතුකරයේ මෙන්ම ග්‍රාමීය අංශයේ ජීවත්වන ජනතාව ආදායමෙන් 50%ක් පමණ ඊට වියදම් කරයි. සහල්, පොල් සහ එළවළු මිල ඉහළ යෑම උද්ධමනයට බලපායි. ආදායමෙන් ආහාරපානවලට වෙන්කෙරෙන 35%ක් පමණ කොටසින් 13.7%ක් පමණ සහල්වලටයි ජනතාව වියදම් කරන්නේ. එය එළවළුවලට 10%ක් හා පොල්වලට 3.7%ක් තරම් වන බවට පර්යේෂණ වාර්තා හෙළි කරයි. මෙවැනි තත්ත්වයක් තුළ පාරිභෝගික ආරක්ෂණයටත්, ජීවන වියදම පාලනයටත් මිල පාලනයක් අවශ්‍යයය.

 

සැබැවින්ම අස්වනු නොලැබෙන කාලසීමා තුළ වෙළෙඳපොළට ලැබෙන්නේ ගබඩා කර රැස්කර තබාගන්නා ලද වී තොගය. මෙරට සමස්ත නිෂ්පාදනයෙන් 65%ක පමණ අස්වැන්නක් ලැබෙන්නේ මහ කන්නයෙනි. (ජනවාරි 15 සිට අප්‍රේල් 15 පමණ වන තෙක්) ඉතිරි 35% යල කන්නයෙන් (අගෝස්තු සිට සැප්තැම්බර්) ලැබේ. සෑම වසරකම අවසාන මාස කිහිපය තුළ අනෙකුත් මාසවලට සාපේක්ෂව වී සහ සහල් මිල ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයකි.

තවදුරටත් විස්තර කළහොත් වී අලෙවි මණ්ඩලය වී මිල ඉහළ දැමීම තුළින් සිදුවන්නේ නිෂ්පාදකයාට විශාල වාසියකි. අප වී මිලට සාපේක්ෂව කිසිසේත්ම සහල් මිල ඉහළ නොදමමු. අපේ මිල ගොවි ජනතාවට ලොකු සහනයකි. අපගේ ප්‍රධාන අරමුණ ලාභ ලබාගැනීමට වඩා සමාජ සුබසාධනයයි. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම අවශ්‍යමය. ඒ නිසා අලාභයක් ලබා හෝ සාධාරණ මිලකට අප සහල් ලබා දෙන්නෙමු. එයින් මූල්‍යමය වශයෙන් සිදුවන අලාභයට වඩා විශාල ආර්ථික වාසියක් මේ රටේ ආර්ථිකයට, ජනතාවට සිදු වේ. ඒ බලපෑම අපේ මූල්‍යමය වශයෙන් සිදුවන පාඩුවට වඩා අති විශාලය. පසුගිය කාලසීමාව තුළ අප සතු වී තොග අවසන් වීමත් සමඟම මෙරට පැවැති සහල් මිල කිසිදු හේතුවක් නැතිව අසාමාන්‍ය අයුරින් ඉහළ නැංවුණි. දෙසතියක් තුළ සහල් කිලෝවක් රුපියල් 65කින් ඉහළ යනු පෙනිණි. එවැනි අවස්ථාවකදී සතියකට සහල් මෙට්‍රික් ටොන් 50,000ක් පරිභෝජනය කරන මෙරට ජනතාවට සිදුවූ බලපෑම දැඩිය. මේ තත්ත්වය මාස ගණනාවක් පැවතුණි. ඉඳින්, අප සතුව සංචිතයක් පවත්වාගැනීම තුළ අපට වෙළෙඳපොළ හැසිරවීමට පුළුවන. එවිට රටේ සමස්ත ආර්ථිකයට වන බලපෑම ඉතා විශාලය. පසුගිය වසරේ අප සතුව සහල් තොග තිබෙන තෙක් ලංකා සතොස ආයතනයේ සහල් ටෙන්ඩර් මිල නියම වූයේ වී අලෙවි මණ්ඩලයේ මිලට අඩුවෙනි. එහෙත් අපගේ තොග අවසන් වූ විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වුණි.

රජය මෙරට ගොවි ජනතාවට ජලය ලබා දෙයි. පොහොර සපයයි. එසේම අනෙකුත් යටිතල පහසුකම් ද ලබා දෙයි. ඉහළ මිලකට වී අස්වනු මිලදී ගනු ලබයි. තවද, අස්වනු හානි වූ විට වගා රක්ෂණයක් ද ලබා දෙයි. සහනාධාර පිරිනමයි.

වී අලෙවි මණ්ඩලයේ තොග හමාර වූ කල මසක සහල් පරිභෝජනය සඳහා පමණක් රුපියල් දසලක්ෂ දහතුන්දහසකට වැඩි අමතර වියදමක් ජනතාව දැරීය. එහෙත් අලාභයක් ලබමින් හෝ රජය සතුව සහල් හෝ වී සංචිත තිබුණි නම් එවැනි මිල ඉහළ යෑමක් නොවේ. ඒ නිසා රජයට සිදු වූ අවාසියට වඩා විශාල මූල්‍ය අවාසියක් මෙරට ආර්ථිකයට සිදු විය. අප එයින් බලාපොරොත්තු වන්නේ වැඩි මිලට වී මිලදී ගෙන අඩු මිලට සහල් ලබා දීමෙන් හෝ මිල පාලනයකින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමය.

වී අලෙවි මණ්ඩලය රටට නැතුවම බැරි, වී වගා කරන ගොවි ජනතාවටත්, පාරිභෝගික ජනතාවටත් අත්‍යාවශ්‍යම ආයතනයකි. ‘සෞභාග්‍යයේ දැක්ම‘ ප්‍රතිපත්ති ප්‍රකාශනය ගොවිබිමට ගෙන යාමට අප ද හවුල් වී සිටිමු. අපගේ නව දැක්මත් සමඟ අද පෞද්ගලික මෝල් හිමියන්ට, වී ජාවාරම්කරුවන්ට වී අලෙවි මණ්ඩලය අභියෝගයකි. ඉදිරියේදී අප බලාපොරොත්තු වන්නේ වී වලට සීමා නොවුණු බඩඉරිඟු, උඳු, රටකජු, මුං ඇට, කව්පි වැනි ධාන්‍ය මිලදී ගැනීමේ ප්‍රධාන රාජ්‍ය යන්ත්‍රණය අප හරහා ක්‍රියාත්මක කිරීමටය. ඊට අවශ්‍ය සියලු ගබඩා ශක්තීන්, තාක්ෂණය අප සතුය. වී අලෙවියට සීමා නොවී ධාන්‍ය මිලදී ගැනීමේ සහ අලෙවි කිරීමේ ආයතනයක් හැටියටත් කටයුතු කිරීමට වී අලෙවි මණ්ඩලය සූදානම්ය. එවිට එක් භෝගයකට සීමා වී තිබූ මේ ආයතනයට අනෙකුත් භෝගයන්ගේ අලෙවි ගැටලුවලටත් විසඳුම් ලබාදිය හැකිය.

ගැටලුවලට විසඳුම්

සැබැවින්ම ඉකුත් මහ කන්නයේ පටන් අප පැවැති ගැටලුකාරී ක්‍රමය වෙනස් කළෙමු. වී අලෙවි මණ්ඩලය ගොවියාගෙන් වැඩි මිලට ගනු ලැබූ වී තොග එකල නැවත ජාවාරම්කාර ඇතැමුන්ටම දුන් අවස්ථා ඉකුත් ආණ්ඩු සමයේ කොතෙකුත් හඳුනාගත හැකි විය. එම වී තොග මෙන්ම ඊට ගෙවූ මුදලත් එකල වී අලෙවි මණ්ඩලයට බොහෝ විට නිසි පරිදි නැවත ලැබී නොතිබුණි. වී නිසි පරිදි මිලදී නොගත්තත් ඒ ඒ ප්‍රධානීන් තම තමන්ගේ වරදාන, වරප්‍රසාද අඩුවකින් තොරව ලබා ගනිමින් කටයුතු කළා මිසෙක මේ ආයතනයේ දියුණුවට කිසිවක් නොකළ බවට වන ලියකියවිලි ද ඕනෑ තරම්ය.

ඒ අනුව මේ ආයතනය පසුගිය කාලසීමාව තුළද මිලදී ගත් වී වලට සිදුවූයේ කුමක්ද යන්න ගැටලුවකි. මෝල් හිමියන්ට එම වී තොග ලබා දෙමින් නැවත සහල් ලබා නොගත් අවස්ථා ද විය. මේ සියල්ලට අප දැන් තිත තබා තිබේ. අප මිලදී ගන්නා වී ඉතාමත් විද්‍යානුකූල ක්‍රමවේදයන්ට අනුව බැංකු ඇපකරයක් ලබාගෙන සහල් කර අලෙවි කර තිබේ. එම සහල් සතොස, සමුපකාර සහ සුපිරි වෙළෙඳසැල් හරහා අඩුම සිල්ලර මිලකට අලෙවි කිරීමට හැකි පරිදි අප වී සහල් කර ලබා දී ඇත.

වී සහල් කිරීමේදී අප පසුගිය කාලයේ අසාදු ලේඛනගත වූ මෝල් හිමියන්ටත්, වී ලබාගෙන සහල් නොදුන් මෝල් හිමියන්ටත් වෙනත් කිසි ආකාරයකින් වංචා කළ අයත් හඳුනාගෙන ඒවා වැළැක්වූයෙමු. රුපියල් 50ට ගත් වී කිලෝවකට රුපියල් 65ක බැංකු ඇපකරයක් තබාගෙනය අප සහල් කිරීමට ලබා දුන්නේ. මේ අනුව ජනතා අපේක්ෂා ඉටුකිරීමට වී අලෙවි මණ්ඩලය කටයුතු කර ඇත. ඉදිරියටත් එය එසේමය.

රේගුව භාරයේ ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ සහිත බහාලුම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.  ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වෙළඳපලේ හිඟයකින් තොරව පවත්වාගෙන යාම එහි අරමුණයි. ආහාර ඇතුඵ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව පවත්වාගෙන යාමට ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපතිතුමා කමිටුවක් ද පත් කර තිබේ. දැනට රේගුව භාරයේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනිම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදි ඊයේ පැවැත්විණි. එළඹෙන උත්සව සමයේදි ජනතාවට හිගයකින් තොරව ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදි ගැනිමට අවස්ථාව සැලසිය යුතු බව ජනාධිපතිතුමා එහිදි අවධාරණය කළේය. ඒ සදහා අවශ්‍ය සැලසුම් දැන් සිටම සකස් කරන්නැයි එතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය. තෝරාගත් අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ඉඩකඩ සැලසේ. එහෙත් එහිදි කූට අරමුණු සහිතව ප්‍රමාණය ඉක්මවා භාණ්ඩ ආනයනය කිරිමට හා තොග සැගවිමට කිසිසේත් ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා පැවසීය. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරිම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් සකස් කරන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. ඒ පිළිබඳ නියාමනය හා අධීක්ෂණය නව කමිටුවට පැවරේ.

2016 අංක 12  දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ  පනත සම්බන්ධව කලුතර දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා සියලුම පළාත් පාලන ආයතනයන්හි තොරතුරු නිලධාන් දැනුවත් කිරීමේ වැඩසටන 2021.01.21 දින කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවනාගාරයේ දී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ) හා ජනමාධ්‍ය අමාත්‍යාශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී.සත්කුමාර මහතා හා කලුතර දිස්ත්‍රික් ලේකම් ජී.පී.ජානක කුමාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි.

ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ සංකල්පයකට අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශ අනුෂ පැල්පිට මහතාගේ උපදෙස් මත ජනමාධ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ඒකකය විසින් ඒෆල් තරුණ ජාලයේ මූල්‍ය අනුග්‍රහය යටතේ පවත්වන ලද මෙම පුහුණු වැඩසටහන සදහා සම්පත්දායකයන් ලෙස තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ  කොමිෂන් සභාවේ සාමාජික නිතිඥ ජගත් ලියනාරච්චි මහතා සහ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබද  කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ යන මහත්වරුන් විසින් සහභාගී වුහ.

ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර් මහත්මියගේ වියෝව සංගීත ක්ෂේත්‍රයට ම පිරවිය නො හැකි තරම් හිස්තැනක් බවත් එතුමියගේ අභාවයෙන් ශෝකප්‍රාප්ත පවුලේ ඥාතීන්ටත්, ඉන්දීය ජනතාවටත් සාතිශය සංවේගය ප්‍රකාශ කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ලතා මංගේෂ්කාර් මහත්මියගේ අභාවය පිළිබඳ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කර ඇත.

එම සම්පූර්ණ සටහන පහත දැක්වේ,

දශක හතකට අධික කාලයක් පුරා දෙස් විදෙස් සුවහසක් රසික හදවත් තම ළයාන්විත හඬින් මුසපත් කරමින් ගී ගැයූ ජනප්‍රිය ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර් මැතිනියගේ අභාවය සැලවීමෙන් මම ඉමහත් සංවේගයට පත් වීමි.

භාරතයේ ගීත කෝකිලාවිය ලෙස රසික හදවත්හි ලැගුම් ගනිමින් භාරතීය සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙයක් ඉටු කළ ලතා මංගේෂ්කාර් ශිල්පිනිය සැඬ සුළං චිත්‍රපටයේ එන “ශ්‍රී ලංකා.. මා ප්‍රියාදර ජය භූමී..” ගීතයට සිංහල බසින් තම හඬ ලබා දී තිබීම ද ශ්‍රී ලාංකික චිත්‍රපට ක්ෂේත්‍රය ලත් අනර්ඝතම දායාදයක් බව මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කරමි.

එතුමියගේ වියෝව සංගීත ක්ෂේත්‍රයට ම පිරවිය නො හැකි තරම් හිස්තැනක් බව ද ප්‍රකාශ කරන අතර ම එතුමියගේ අභාවයෙන් ශෝකප්‍රාප්ත පවුලේ ඥාතීන්ටත්, ඉන්දීය ජනතාවටත්, ඇගේ සියලු රසික ප්‍රජාවටත් මාගේ සාතිශය සංවේගය මෙසේ ප්‍රකාශ කරමි.

 
මාතර පුරවරයේ රණවිරුවන්ට ගෞරව පුද කිරීමේ උළෙලක් ජනමාධ්ය අමාත්ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්රධානත්වයෙන් ඊයේ (05) පස්වරුවේ වැලිගම ප්රාදේශිය සභා ප්රධාන ශ්රවණාගාරයේ දී පැවැත්විණ.
මාතොට රණවිරු බලමුළු එකතුව, හෙළ ජාතික රණවිරු බලමුළුව සහ සමස්ත ලංකා සංස්කෘතික එකමුතුව පදනම ඒ්කාබද්ධව මෙම උළෙල සංවිධානය කර තිබුණි.
වැලිගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ලේඛකාධිකාරී පුජ්ය වේපතඉර ඉන්ද්රසිරි නායක ස්වාමීන් වහන්සේ , මාතොට රණවිරු බලමුළුවේ සහ වැලිගම ප්රාදේශිය සහ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ , සමස්ත ලංකා සංස්කෘතික ඒකමුතු පදනමේ සභාපති ආචාර්ය කුසාන් ජයමින් ද සිල්වා යන මහත්වරු ඇතුළු සම්භාවනීය පිරිසක් ඊට සහභාගී වුහ

ජනමතය මෙහෙයවීමෙහිලා  මාධ්‍ය ආයතන සතු බලය දේශපාලන ආයතන සතු බලයට සාපේක්ෂව පුළුල් පරාසයක විහිදී ඇති බවත් , එකී විසල් බලයත් සමඟ  විශාල වගකීමක්  මාධ්‍ය වෙත පැවරෙන බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පෙන්වා දෙයි ...

ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පෙබරවාරි දෙවෙනිදා ජනමාධ්‍ය නීති සංසදයේ සාමාජිකයින් සමඟ පැවති සාකච්ඡාවේදී ය ....

ජනමාධ්‍ය නීති සංසදයේ සාමාජිකයින්ගේ ද අදහස් හා යෝජනා මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙලෙස කියා සිටියේය ...

ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ..

" මාධ්‍යයට අදාලව ඉතිහාසයේ ඉතා විශ්වසනීයත්වයක් සහ ගෞරවයක් තිබුණ බව අපි කවුරුත් දන්නවා. හැබැයි අද දවසේ ඒ ගෞරවය විශ්වසනීයභාවය තියෙනවා ද... මාධ්‍යයට තියෙන ගෞරවයේ ක්ෂයවීමක් එවගේම විශ්වසනීයභාවයේ පලුද්දක්  තියෙන බව මම ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහටත්, මාධ්‍ය ක්‍ෂේත්‍රයේ ඉන්න අපි කවුරත් අවිවාදයෙන් පිළිගන්නට ඕනෙ කරුණක්..එහෙම සිද්ධ වුනේ කොහොමද , ඇයි එහෙම සිද්ධ වෙලා තියෙන්නෙ..එහෙමනම් එයට තියෙන විසඳුම් මොනවාද ....මේ සාකච්ඡාවේ පදනම තමයි  ඒ විසඳුම් සඳහා හරවත් කථිකාවතක් ගොඩනඟන එක..

මම විශ්වාස කරන විදිහට ප්‍රධාන කරුණු පහක් යටතේ මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අපේ විශ්වසනීයභාවය පලුඳු වෙලා තියෙනවා.. පළවෙනි කාරණය තමයි ස්වාමියාගේ අවශ්‍යතාවයට ප්‍රමුඛත්වය දීම , පොදු මහජන උන්නතිය වෙනුවෙන් නෙමෙයි, රාජ්‍ය මාධ්‍ය නම් ආණ්ඩුව කියන ස්වාමියාට , ඒ තුළින් සමබරතාවය ගිලිහිලා තියෙනවා, එය මගේ විනිශ්චයන්ට අනුව එක් කාරණාවක් , දෙවැනි කාරණාව තමයි දැඩිලෙස දේශපාලනීකරණය වීම, අපි එය අත්විඳිනවා ...ඇතැම් වෙලාවට ප්‍රකාශිතව පමණක් නෙමෙයි අප්‍රකාශිතවත් එය සිදුවෙනවා. එවගේම ඊ ළඟ බරපතල කාරණය තමයි පුද්ගලිකත්වයේ සීමාවන් ඉතාම බරපතල විදිහට ආක්‍රමණය වෙනවා.. වින්දිතයින් රාශියක් ඉන්නවා ..

ඊළඟ කාරණය තමයි තොරතුරු මත පදනම් වෙන්නේ නැතිව ආකල්ප මත පදනම් වෙලා කරන ව්‍යාජ පුවත් මගින් මහජනයා මුලාවට පත්වෙන එක .. ඒ වගේම අපි බොහෝ වෙලාවට දකින දෙයක් අත්විඳින දෙයක් ජාතිකත්වය ආගමිකත්වය මත පදනම් වෙච්ච වෛරී ප්‍රකාශන, මම අඳුනගත්ත කරුණු අතරේ එය තවත් එක් කාරණාවක් , මෙන්න මේ නිසා ඉතිහාසයේ අත්පත් කරගත්ත ඉතිහාසය ගෞරවය පිළිබඳ ප්‍රශ්නාර්ථ ලකුණක් ඇතිවෙලා තියෙනවා.. කොහොමද අපි මේක නැති කරගන්නේ .. සමහරු යෝජනා කරන්නේ වාරණය මෙයට සුදුසු විසඳුම කියලයි ..එවැනි සාකච්ඡා තියෙන්න පුළුවන්.. හැබැයි අපි කලබල වෙන්න ඕන නැහැ..මම ජනමාධ්‍ය අමාත්‍යවරයා විදිහට විශ්වාස කරන්නේ ඒක සුදුසු විසඳුම නෙමෙයි කියලයි .. මම එය ප්‍රතික්ෂේප කරනවා.. හැබැයි අපිට යම්කිසි ආකාරයක නියාමනයක් අවශ්‍ය වෙලා තියෙනවා ..ඒක මම හිතන් නැහැ කාටවත් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියලා... “

මෙම අවස්ථාවට ජනමාධ්‍ය සංසදයේ සභාපති රංජන හේරත්,හිටපු  ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ,ජනාධිපති නීතීඥ ජගත් වික්‍රමනායක , ආචාර්ය රංග කලන්සූරිය , මාධ්‍යවේදී සහ පර්යේෂක නාලක ගුණවර්ධන විද්‍යුත් විකාශකයින්ගේ සංවිධානයේ සභාපති අසංග ජයසුන්දර , ජනමාධ්‍ය සංසදයේ සාමාජිකයින්  මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්  එක්ව සිටියහ ..

රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබඳ රැස්වීමේදී ජනමාධ්‍ය අමාත්‍යවරයා පවසයි...

ජනමාධ්‍ය අමාත්‍යාංශය  මඟින් ක්‍රියාත්මක කරන රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් වූ තවත් සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි පළමුවෙනිදා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි .

විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ පැවති මෙම සාකච්ඡාවේ දී  රූපවාහිනී ඩිජිටල්කරණ ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත මෙහෙයුම් කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර මේ සම්බන්ධයෙන් ඇතිවිය හැකි තාක්ෂණික අභියෝග මොනවද යන්න පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡාව කෙරිණි .

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක යන මහත්වරු මෙන්ම විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ නියෝජිතයින් ද එක්ව සිටියහ .

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter