නවතම පුවත්

මිථ්‍යා මත වලින්  බැහැරව කොවිඩ් 19 එරෙහි තෙවන එන්නත ලබාගෙන  වගකීම් සහගත පුරවැසියෙකු ලෙස සමාජ යුතුකම් ඉටු කිරීම වෙනුවෙන් බුද්ධියෙන් මෙන්ම හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්නට පෙළ ගැසෙන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අවධාරණය කරයි .

ජනවාරි 29වෙනිදා කොවිඩ් 19 වසංගතයට අභියෝග කළ මනුෂ්‍යත්වයට උපහාරයක් මැයින් දිවයින පුර ක්‍රියාත්මක කෙරෙන ජාතික වැඩසටහනට සමගාමීව මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය

කොවිඩ් තෙවන මාත්‍රාව ලබා ගැනීමේ ඇති වැදගත්කම ද අමාත්‍යවරයා විසින් මෙහිදී පැහැදිලි කළේය ..

උත්සවය අමතමින් වැඩි දුරටත් අදහස් දැක් වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා ...........

" අද අපි ජාතික මට්ටමින් මේ රටේ වසංගතයට එරෙහි එන්නත්කරණයේ වර්ෂ පූර්ණය සිහිපත් කරන අවස්ථාව . මේ වේදිකාවේ රූප රාමු වලින් වගේම හඬ වලින්  අපි මේ වසරක විශිෂ්ට කැපවීම විවිධ මානයන් ගෙන් අත්වින්දා .  මං කැමතියි  ඉතාම කෙටි කාලයක් තුළ වුනත් මේ සම්බන්ධයෙන් අදියර තුනකින් ඔබත් එක්ක කතා කරන්න .  අපි දෙදාස් විසි එකේ ජනවාරි 29වෙනිදා අපේ අයි ඩී එච්  ප්‍රධාන රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට ලංකාවේ පළවෙනි එන්නත ලබාදීමෙන් මේ එන්නත්කරණය ආරම්භ වුණේ . ඊකට තමයි අපි අද අවුරුද්දක් කියලා කියන්නේ . ඒ වුනත් මම කැමතියි මේක අදියර තුනකට වෙන් කර ගන්න .   චීන ජාතික කාන්තාවක් පළවෙනි රෝගියා විදිහට මුණගැහුණේ , නමුත් ශ්‍රී ලාංකිකයෙක් මේ භුමිය තුළදී මුණ ගැහීමේ ඉඳන් දෙදාස් විසි එකේ ජනවාරි 29වෙනිදා දක්වා වූ පරිච්ඡේදය අපි අමතක කළයුතු එකක් නෙමෙයි ඒ තමයි පළවෙනි පරිච්ඡේදය , දෙවෙනි පරිච්ඡේදය තමයි දෙදාස් විසි එකේ ජනවාරි 29 සිට විසිදෙකේ ජනවාරි 29 දක්වා වූ අපි අද කතා කරන පරිච්ඡේදය . තුන්වෙනි පරිච්ඡේදය අද සිට නිශ්චිත දිනයක් නොපෙනෙන අනාගතය දක්වා වූ පරිච්ඡේදය . අද දවසේ  මේ පරිච්ඡේද තුනම සිහිපත් කළ යුතුයි ....

ඔබට මතක ඇති දෙදාස් විස්සේ මාර්තු මාසේ දොලොස්වෙනිදා  පළමු ශ්‍රී ලාංකීය රෝගොයා අපේ භූමියෙන් හමුවුණා , මේ තත්වයත් එක්ක අපි විශ්වීය මාරයෙක් විදිහට අඳුර ගත්තු මේ වසංගතය සම්බන්ධයෙන් විශාල බියක් සමාජ ගත වුණා . මං එතකොට අධ්‍යාපන ඇමතිවරයා, මේ පළවෙනි රෝගියාගේ දරුවා කොළඹ ප්‍රධාන පෙලේ  විද්‍යාලයක  ශිෂ්‍යයෙක් , 13වෙනිදා විශාල කැළඹීමක් ඇති වුණා ඒ පාසල ඇතුලේ , දෙමව්පියන් ඇවිල්ල පොර කෑවා දරුවෝ ගෙනියන්න , ඒ පුතා කොවිඩ් රෝගියෙක් කියලා , අද වගේම මිථ්‍යා මතයක් සමාජ ගතවීම නිසා , විශාල කැරැල්ලක් පටන් ගත්තා , උදේ පාන්දර  ජනාධිපතිතුමත් අගමැතිතුමාත්  එක්ක කතා කරලා 13වෙනිදා හවස දෙකට තීරණය කළා පාසල් වහන්න ඕනේ කියලා ,

ඒ වෙලාවේ එන්නත්කරණයක් ගෙන සාකච්ඡාවක් තිබ්බේ නැහැ , ලෝකේ එන්නතක් හොයාගෙන තිබ්බෙත් නැහැ , මෙවැනි වසංගතයකට පූර්ණ සූදානමක් ලෝකේ කොහෙවත් තිබ්බෙත් නැහැ , අනාරක්ෂිත බවේ හැඟීම විතරමයි ලෝකේ පුරාම තිබ්බේ ,   අපි එදා තීරණය කළා අපිට මේ මරණයෙන් බේරෙන්න බෑ අඩු තරමින් දරුවෝ ටික බේරගන්න ඕනේ කියල හිතල ඉස්කෝල ටික වැහුවා , එදා අපිට පෙනුනේ එච්චරයි දුර , නොපෙනෙන අන්දකාරයක් තිබුණේ අපේ ඉදිරියේ , හැබැයි අපේ ජනාධිපතිතුමා අපේ සෞඛ්‍ය සේවය යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ, රාජ්‍ය සේවය  ඉතා විශිෂ්ට කැපකිරීමක් කළා ,

එන්නත අරගෙන , හොයාගෙන  එන්නත දෙනකම් වුණු කාල පරිච්ඡේදය රට වහල ඇඳිරිනීති දාල ප්‍රවාහනය සීමා කරලා විශාල අර්බුදකාරී තත්වයක වුනත් රටක් විදිහට  අපි ඉදිරි පියවරක් තිබ්බා ....

මට මතකයි එක පැත්තකින් මැතිවරණ නාම යෝජනා කැඳවල, නාම යෝජනා භාර ගත්තේ මාර්තු 17වෙනිදා මට මතක විදිහට රට අර්ධ වශයෙන් වහපු තත්වයක් ඇතුලේ , හැබැයි අපි අපේ සියළු භාවිතාවන් වල ප්‍රමුඛත්වය දුන්නා , මාතර දිස්ත්‍රික්කය විදිහට අපි සතුටු වෙන්නට ඕනේ  , ඔබට ගෞරවයක් විදිහට මං කියන්නේ අපි බොහෝ පූර්වාදර්ශයන් ගත්තේ මාතරින් ,  ජාතික තලයට අපි ආදේශ කර ගත්තේ මාතර , මේ ශාලාවේ අපි එකතුවෙලා සාකච්ඡා කරලා ,ඒ නිසා ඒකට සහභාගී වුණු හිටපු දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු හැමෝටම මම කෘතවේදීව සිහිපත් කරනවා ඒ කරනු ලැබූ අවිනිශ්චිත පසු බිමක කරනු ලැබූ කැපවීම වෙනුවෙන් .... 

ඊට පස්සේ අපි ජනවාරි 29වෙනිදා පළවෙනි එන්නත ලබා ගන්නවා , එන්නත්කරණය පිළිබඳව විවිධ මත රටේ ගියා , එතකන් මතයක් තිබුණා ඇයි මේ එන්නත් දෙන්නේ නැත්තේ  කියලා , එන්නත් නිෂ්පාදනය කරන රාජ්‍යයන් වලත් එන්න නැහැ , අපේ රටේ විශාල උද්ඝෝෂණයක් මතු වුණා , සමහර දේශපාලඥයෝ ඇවිල්ලා එක එක නම් කිව්වා , ප්ලැකනිල් තමයි  හොදම එක දෙන්න බැරි කියල කිව්වා , ඊට පස්සේ අපිට ආසන්න වශයෙන් ඇස්ට්‍රා සෙනිකා ජනවාරි 29වෙනිදා ආවා , චීන එන්නත සිනෆාම් දෙන්න පටන් ගත්තා , ඊට පස්සේ චීන එන්නතේ ගුණාත්මකභාවය පිළිබඳව ප්‍රශ්න කරන්න පටන් ගත්තා , ගුණාත්මකභාවයෙන් පිරිහිච්ච එන්නත් කිව්වා මේකට , උද්ඝෝෂණය කළා ෆයිසර් ඉල්ලලා , ඔබට මතක ඇති , හමුදා මූලස්ථානය ඉදිරිපිටත් උද්ඝෝෂණයක් ගියා ශිෂ්‍ය ව්‍යාපාරයකින් ඇවිල්ලා  ෆයිසර් ඉල්ලලා ,  වැඩවසම් යුගයේ ඉතාම ප්‍රාථමික ගෝත්‍රික ලක්ෂණ තිබ්බ කුල ගෝත්‍ර විදිහට ඒ එන්නත් වලත් කුල ගෝත්‍ර හැදුවා උසස් කුලයේ එන්නත් පහත කුලයේ එන්නත් කියලා , මේ චීන එන්නත පහත්  කුලයේ කිව්වා , උසස් කුලයේ එන්නත ෆයිසර් , ඇයි ෆයිසර් දෙන්නේ නැත්තේ ඇහුවා , එකට උද්ඝෝෂණය කළා , මිථ්‍යා මත නොයෙක් දේවල් ගලාගෙන ගියා ,  පැණි ගැන කතා කළා , රූපවාහිනී නාලිකා පිරිලා තිබුණේ පැණියෙන් , මිථ්‍යාව රජ වුණා , හැබැයි අපි සියළුදෙනාම සතුටු වෙන්නට ඕනේ ලෝකේ මේ සෑම  එන්නතක්ම  සොයාගත්තු නිෂ්පාදනය කරන රටවල් වලට නොදෙවෙනිව එන්නත්කරණය අපි සාර්ථක ඉතිහාසයක් සටහන් කළා මේ අවුරුද්දේ ඇතුලේ ...

ඒ සාර්ථකත්වයේ ප්‍රධාන කුළුණු හතරක් මට පේනවා , පළවෙනි කුළුන අතිගරු ජනාධිපතිතුමා , එන්නත්කරණයේ එතුමා දීපු නායකත්වය මම හිතන්නේ කිසිවෙකුට අමතක කරන්නට බැහැ , කළයුතු නැහැ ,  අපේ ආණ්ඩුව සම්බන්ධයෙන් නොයෙක් විවේචන තියෙනවා , පොහොර කියන මාතෘකාවෙදි දැඩි විවේචනයක් තියෙනවා අපි දන්නවා අපි තේරුම් ගන්නවා , ඒ වගේම නොයෙක් අභියෝග තිබුණා , විවේචන තිබුණා ,  මේක ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් , විවේචන කරන්න අයිතිය තියෙනවා ,නිදහස තියෙනවා , හැබැයි මොන විවේචන තිබුනත්  එන්නත්කරණය සම්බන්ධයෙන් මේ ආණ්ඩුවේ කැපවීම  මං හිතනවා කිසි තැනක විවේචනය නොකළ යුතු දෙයක් .....

අපි කියනවා සක්සස් ස්ටෝරි එකක් සාර්ථකත්වයේ කතාවක් අපේ  ඉතිහාසයේ මේ අවුරුද්දේ එන්නත්කරණය , ඒක අපේ ඉතිහාසයේ සාර්ථක කතාවක් විදිහට තැන්පත් වෙලා තියෙනවා , ඒකයි කුළුණු හතරක් තියෙනවා කිව්වේ , ජනාධිපතිතුමා කියන්නේ එක කුළුණක් ,   සෞඛ්‍ය සේවයේ ව්‍යුහය ඇති විශිෂ්ටයි , වෛද්‍යවරයාගේ සිට සනීපාරක්ෂක කම්කරුවා දක්වා වූ කැපවීම නොවෙන්නට අපිට අත්වෙන්නට තිබුණ ඉරණම ලෝකේ දියුණු රාජ්‍යන් පවා රෝහල් වෙන් කලේ  අසාධ්‍ය රෝගීන්ට විතරයි , හැබැයි අපි එහෙම නෙමෙයි , ඒ දෙවැනි කුළුණ ,තුන්වෙනි කුළුණ යුද හමුදාව ප්‍රමුඛ ආරක්ෂක  අංශ , තමන්ගේ සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා කරපු කැපකිරීම , හතරවෙනි කුළුණ රාජ්‍ය සේවය , ගමේ පුංචි කමිටුව හැදිලා ග්‍රාම නිලධාරීවරයා ඇතුළු මේ හැමදෙනාම එකතු වෙලා සමෘද්ධි නිලධාරියා , පවුල් සෞඛ්‍ය සේවිකාවගේ ඉදල ගම ආරක්ෂා කරගත්ත විදිහ , ගරුත්වයක් විදිහට අපි මේ කුළුණු හතර සිහිපත් කරන්නට ඕනේ ...

ඊළඟ පරිච්ඡේදය 2022 ජනවාරි 29න්  ඔබ්බට නොපෙනෙන , කාටද  කියන්න පුළුවන් මේ වසංගත තත්වය නිමා වෙනවා කියල , පළවෙනි එන්නත ලබා ගත්තු අපේ ආනන්ද විජේවික්‍රම වෛද්යතුමම මේ මෑතකදී මාධ්‍යට කියනවා මේ යන විදිහට ගියොත් තත්වය බභයානකයි  කියලා , මිනිස්සු බය කරන්න නෙමෙයි  මිනිස්සුන්ට තමන්ගේ වගකීම සිහිපත් කරන්න , වගකීම් රහිත අපේ හැසිරීම සිහිපත් කරන්න , අද සියයට තිස් හයට අමාරුවෙන් ආවේ තුන්වෙනි එන්නත ජාතික ප්‍රතිශතය , දැන් ෆයිසර් එන්නත ඕනේ තරම් තියෙනවා  , වරප්‍රසදයක් නෙමෙයි , පළවෙනි එන්නත වරප්‍රසාදයක් , දැන් මේ සිල්ලරට තියෙනවා ,  ලෝකේ හොදම එන්නතයි කියල කියන එක , ඇයි මේක ගන්නේ නැත්තේ , මිථ්‍යාව , අවිද්‍යාත්මක මත , වෛරී සහගත දේශපාලන ප්‍රකාශන , අන්තවාදී ආගමික විශ්වාසයන් ,  නිසා තුන්වෙනි එන්නත්කරණය ඒ කියන්නේ පූර්ණ එන්නත්කරණයට බාධාවක් ඇති වෙලා තියෙනවා , ඒ නිසා මිථ්‍යාව නෙමෙයි  අවිද්‍යාව නෙමෙයි එන්නත්කරණය පමණමයි අපේ අනාගතය තීන්දු කරන්නේ , එයින් පරිභාහිරව ඔබ මොහොතක් හිතන්න , පාලනය කරන්න  බැරිවෙලා අපිට නැවත පාසල් වහන්න වුණොත් මොකද වෙන්නේ , අවුරුදු එක හමාරක් වහපු පාසල්  තව දුරටත් වහන්න වුනොත් මොකද වෙන්නේ , පාසලක් වහනවා කියල කියන්නේ ඉස්කෝලේ තාප්පෙත්  එක්ක තියෙන ගේට්ටුව වාහන එක විතරක් නෙමෙයි , ඉස්කෝලයක් වහනවා කියන්නේ ශිෂ්ටාචාරයක් වහනවා කියල කියන එක , සංස්කෘතියක් වහනවා කියල කියන එක ,  අපිට පුළුවන්ද  ජාතියක් විදිහට නැවත පාසල් ටික වහගන්න , විශ්වවිද්‍යාල විද්‍යාපීඨ ටික වහගන්න , සමාජේ අපි එක මිටට ඉඳල කියන්නට ඕනේ  මෙන්න විසඳුම තියෙනවා එන්නත්කරණය තුන්වෙනි එන්නත,මේ තුන්වෙනි පරිච්ඡේදේ අපේ වගකීම වෙන්න ඕනේ ඒක.....

අද දවසේ  ස්තුතිය ගෞරවය කෘතවේදීභාවය වගේම මෙන්න මේ අධිෂ්ඨානය අපි ඇති කරගන්නට ඕනේ , පූර්ණ එන්නත්කරණයකට රට ගෙනියන්නට ඕනේ කියල කියන වගකීම අපි ඉෂ්ටකරන්නට ඕනේ , පුරවැසි වගකීම , එන්නත්කරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ වගකීම ඉෂ්ට කරලා තියෙනවා , පුරවැසියාගේ වගකීම ඉෂ්ටකිරීමේ අධිෂ්ඨාන සහගත දිනය විදිහට අද දිනය අපේ හෘද සාක්ෂියේ  තැන්පත් කරගන්නට ඕනේ කියල කියන එකයි මගේ යෝජනාව “

මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය සනත් කරුණාරත්න, ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තාරක ලොකුමාරඹගේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ එන්.වයි. සමරවීර යන මහත්වරුන් ඇතුළු සෞඛ්‍ය සේවා නිලධාරීන් හා සේවක මණ්ඩල සාමාජිකයන් එක්ව සිටියහ.

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ පුරනැගුම ව්‍යාපෘතියේ ආධාර මත මේ වන විට ප්‍රාදේශීය සභා ගොඩනැගිලි 6ක් ඉදිකර අවසන් කර ඇතැයි ඇතැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ කාර්යාලය පවසයි.

ඒ සඳහා වැයකල මුදල රුපියල් මිලියන 300.85 කි. මෙම මුදලට අමතරව සභා අරමුදල් ද යොදවා තිබේ.

මදුරන්කුලිය නව පුස්තකාල ගොඩනැගිල්ල, දුන්කන්නාව නව පුස්තකාල ගොඩනැගිල්ල, පොල්ගහවෙල පොදු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ල, කුරුණෑගල නව බහුකාර්ය ගොඩනැගිල්ල, නාරම්මල ප්‍රාදේශීය සභා කාර්යාලය හා පුස්තකාල ගොඩනැගිල්ල, පොල්ගොල්ල මාතෘ හා ළමා සායනය, පුස්තකාලය හා ප්‍රජා ශාලාව පුර නැගුම ව්‍යාපෘතිය යටතේ ඉඳිකල ගොඩනැගිලි අතර වේ.

මෙරට එන්නත්කරණ වැඩසටහන ආරම්භ කර හෙටට වසරක් සපිරෙයි. ඒ නිමිත්තෙන් 1050 ක් වන මෙරට රෝහල් පද්ධතිය තුළ හෙට ආගමික වතාවත් පැවැත්වීමට විධිවිධාන යොදා තිබේ. ඊට සමගාමීව ජනතාවට කොරෝනා මර්දන 3 වන හෙවත් බුස්ටර් මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මකයි.

ගෙවී ගිය වසර තුළ එන්නත් මාත්‍රා කෝටි 50 කට අධික සංඛ්‍යාවක් මෙරටට ගෙනැවිත් තිබේ. මේ වනවිට ලක්ෂ 80 ක එන්නත් සංචිතයක් රට තුළ පවතින බව ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියයි. එන්නත්කරණය පිළිබඳව ගෝලීය මට්ටමින් සලකා බැලීමේ දී ශ්‍රීි ලංකාව සාධනීය මට්ටමක පසුවන බවද ඔහු සදහන් කරයි.

කොරෝනා මර්දන 3 වන මාත්‍රාව හෙවත් බුස්ටර් මාත්‍රාව එන්නත් කළ සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 50 ඉකමවයි. පළමු මාත්‍රාව මෙරට ජනගහනයෙන් එක්කෝටි 65 න් ලක්ෂ 50 දහස් 296 දෙනෙකුටද ,දෙවන මාත්‍රාව එක්කෝටි 38 ලක්ෂ 91දහස් 828 දෙනෙකුටද එන්නත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි. මේ වනවිට සයිනොෆාම් හා ෆයිසර් මාත්‍රා පමණක් එන්නත් කෙරේ. මෙතෙක් එන්නත්කරණයට ලක් නොවු අය ළගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ රජයේ ප්‍රධාන රෝහලකට ගොස් එන්නත්කරණයට ලක් වන්නැයි එම අංශය ඉල්ලීමක් කරයි.

මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6 ලක්ෂ 7 දහස් 104 කි. ඊයේ ආසාදිතයෝ 942 ක් හඳුනා ගනු ලැබුහ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 23 ක් තහවුරු කළේය. පිරිමි 12 දෙනෙක් හා කාන්තාවෝ 11 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 20 කි. වයස අවුරුදු 30 ට අඩු එක් මරණයක් වාර්තා වී තිබේ.

තැපැල් දෙපාර්තමේන්තුව,  සණස සමාන්‍ය රක්ෂණ සමාගම සමග එක්ව තෙවන පාර්ශව රථවාහන රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ සමාරම්භක අවස්ථාව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ අද (27) පැවැත්වුණි.

මෙම අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා, තැපැල්පති රංජිත් ආරියරත්න මහතා, සණස සමාන්‍ය රක්ෂණ සමාගමේ සභාපති ටිෂාන් සුභසිංහ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සමගාමීව තැපැල් නාමාවලියේ සංශෝධිත II මුද්‍රණය එළි දැක්වීමද සිදුවිය.

රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පසුගියදා කොළඹ වරායේ බටහිර බහලූ පර්යන්තය සඳහා ගිවිසුම් ගත වීම සිදු කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2020-2050 ජාතික වරාය සැලැස්ම ඔස්සේ ඉදිරි වසර 30 ක සාරථකත්වයේ ගමන් මඟ සැලසුම් කර තිබේ. ඒ අනුව කොළඹ වරායේ දැනට පවතින බහලූ හැසිරවීමේ ධාරිතාව අඩි 20 සම ඒකක බහලු මිලියන 35 දක්වා ඉහළ නැංවීමට ද සැලසුම් කර තිබේ.

පෙරදිග සේද මාවත ඔස්සේ ජාත්‍යන්තර වෙළඳ ගනු දෙනු කටයුතුවල නිරත වූ වෙළඳුන්ගේ ප්‍රධාන නැවතුම්පොළ වූයේ ශ්‍රී ලංකාවයි. එය මෑතක පටන් සිදු වූවක් නොවේ. ඉතා දිගු ඉතිහාසයක් ඊට ඇත.පූර්ව බුද්ධ යුගයේ පටන් පෙරදිග නැවියන් අතර චිර ප්‍රසිද්ධ වූයේ තම්බපණ්ණි යන නමිනි. ටොලමිගේ ප්‍රථම ලෝක සිතියමේ ද මේ නාවික නැවතුම්පොළ ගැන සඳහන් වේ. ඒ අනුව බලන විට වසර දස දහස් ගණනක් පුරා නාවිකයන්ගේ පහස ලද ක්ෂේම භූමියක් ද වෙයි.

අලි ඇතුන්, ඇත් දළ, අශ්වයන් පමණක් නොව යටත් විජිත යුගයන්හි මෙරටේ තිබූ සියලු වාණිජ දේවල් පමණක් නොව සේවාවන් ද සිදු වූ චිර ප්‍රසිද්ධ නැව් තොටවල් මෙහි විය. එසේම ඈත අතීතයේ නැව් පවා නිපද වූ බවට ද සාක්ෂි ඇත.

1905 දී මෙරටට පැමිණි පෘතුග්‍රීසි, 1640 පැමිණි ලන්දේසී, 1796 දී පැමිණි ඉංග්‍රීසීන් ද මෙරට ආක්‍රමණය කොට එතෙක් පැවති සාම්ප්‍රදායික වෙළඳ නාවුක යුගය ක්‍රමානුකූලව වෙනස් කරමින් යුරෝපයේ කාර්මික විප්ලවයට සමගාමීව වෙනස් විය. ඊට නව සොයා ගැනීම් ඇතුළත් විය.

" සුදු හම ඇති මිනිසුන් සමූහයක් අපගේ වරායට පැමිණ සිටි. ඔවුහු යකඩ ඇඳුම් ඇඟලා යකඩ තොප්පි පැලඳ මොහොතක් වත් එක තැනක නොසිට එහා මෙහා ඇවිදිති. තිරුවාන ගල් ( පාන්) කන මොවුන් පානය කරන්නේ ලේ (වයින්) ය. මාළු කූරියකුට හෝ දෙහි ගෙඩියකට මොවුහු රන් කාසි කිහිපයක් දෙති. මොවුන්ගේ කාලතුවක්කුවකින් නිකුත් වන ශබ්දය යුගන්ධර පර්වතය මත පතිත වන හෙණ සැරයනට වඩා බිහිසුණු ය. ගව් ගණන් ගමන් කරන මෙම වෙඩි උණ්ඩ කළු ගලෙන් තැනූ මහා ප්‍රාකාරයන් වුවද සුනු විසුනු කර දමන්නේය."

මේ හෙළ රජ දවස අපේ වරායට සේන්දු වූ විදේශිකයන් පිළිබඳ එකල විසූවෝ රජුට සැල කළ අයුරුය. පෙර රජ දවස පවා මෙරට හා විදෙස් රාජ්‍යයන් අතර සහසම්බන්ධය ඇති වූ වරායක් බවට මෙය කදිමට සාක්ෂි සපයයි. ඉතිහාසඥයකු වූ ඇස්. ජී පෙරේරා පියතුමා සඳහන් කරන ආකාරයට " කොළඹට බස්නාහිරින් කුඩා කඳු පන්තියක් විය. මේ කඳු මුදුන් හැඳින්වූයේ ආදුරුප්පු, අලුත්කඩේ හා සෙන්සෙබැස්තියන් යන නම් වලිනි. කඳු දෙපැත්තේම පහත් බිම් තීරුය. කැලණි ගඟට හා මෙම කඳු මුදුන්වලට මැදි වූ ප්‍රදේශයෙන් වගුරු බිම් තිබිණි. වගුරු බිම් මැදින් ගලා ගිය ගඟ කොළඹ වරාය හරි මැදින් බෙදමින් මෝයට වැටිණි. මේ කුඩා ගංගාව කැලණි ගඟින් පිටාර යන ගංවතුර වරායට ගෙන ගියේය."

වාණිජ මෙහෙයුම්

රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවේ සඟරාවකට ලිපියක් සපයන ජූලියස් ද ලැනරෝල් විසින් කොළඹ යන සිංහල වචනයේ තේරුම "වරාය" නොහොත් තොටුපොළ යනුවෙන් විග්‍රහ කර ඇත. මේ අනුව සලකා බැලීමේදී කොළඹ හා තොට යන්න සමාන බව පෙනේ. එසේම කාලයාගේ ඇවෑමෙන් කොළඹ ශ්‍රී ලංකාවේ බටහිර මුහුදු දිග් භාගයේ ඇති ප්‍රධානතම වරාය බවට පත් විය.

"විශාල නැව් නවතා තැබීමට ආරක්ෂා සහිතව බඩු පැටවීම, ඉක්මනට කරවීමට අවශ්‍ය හැම උපකරණයක්ම සහිත වරායක් සෑදීම දිවයිනේ සංවර්ධනය උදෙසා වන බව මගේ හේතු සහගත අදහසයි. එසේම, කොළඹ සුවිසල් වාණිජ නගරයක් වනු දැකීමට මෙහි පැමිණ ඇති වැඩි දෙනෙකුට ඉඩ ලැබෙන බව මාගේ විශ්වාසයයි'' මේ 1877 මැයි 17 දා ව්‍යවස්ථාදායක සභාවේ සැසිවාර දේශනය පවත්වමින් සර් විලියම් ගැග්‍රරි විසින් පැවසූවකි.

මේ කාල වකවානුව වන විට කොළඹ තිබූ බළකොටු ආදිය කඩා බිද දමා කොළඹ ප්‍රදේශයේ නව වෙළෙඳ නගරයක් ඉදි වෙමින් පැවැතිණි. විදේශීය වෙළෙඳ සමාගම් බොහොමයක්ම මේ වන විටත් කොළඹ අවට ස්ථාපිත විය. මෙරටින් පිට රටට යැවෙන භාණ්ඩ හා නොයෙක් ද්‍රව්‍ය ප්‍රමාණය ද වැඩිවෙමින් පැවැතිණි. එබැවින් වරායක අවශ්‍යතාවය ද එන්න එන්නම වැඩි විය. ඒ අනුව මූලික සැලසුම් තනා පවුම් 7,05,000ක් වියදම් දරා මුළු දිග අඩි 4,212 ක් වූ අතර අඩි 1,350 ක් අඩි 50 ක් පළලකින් ද ඉතිරි අඩි 2862 අඩි 40 පළලකින් ද යුක්ත විය. ටොන් 21 ක් බරැති කොන්ක්‍රීට් කුට්ටි, කළුගල් ඇතිරූ ගල් ගොඩක් මත තැන්පත් කරන ලදි. මේ අයුරින් 1885 දී දියකඩනය සාදා නිමවීමෙන් කලින් පැවති විවෘත මූදු බොක්ක, නිරිත දෙසින් මනාසේ ආවරණය වූ වරායක් බවට පෙරළිණි.

ඉන් කලකට පසු ශ්‍රී ලංකාවේ වරාය පද්ධතියේ වාණිජ මෙහෙයුම් වඩාත් විධිමත් කිරීම සහ ලාභදායි ව්‍යාපාරයක් කිරීමේ අරමුණින් 1882 දී වරාය මණ්ඩලයත්, 1913 දී වරාය කොමිෂන් සභාවත්, 1958 දී වරාය සංයුක්ත මණ්ඩලයත් 1967 දී වරාය සැසඳුම් හා ආරක්ෂක සංස්ථාවත් ස්ථාපිත කරන ලදි. 1948 ශ්‍රී ලංකාවට නිදහස ලැබීමත් සමඟ ක්‍රමයෙන් මෙරටේ සමාජ, ආර්ථික හා දේශපාලන අංශයන්ගේ නවමු පෙරළියක් සිදු විය.

1958 දී වරාය ජනසතු කරන ලදි. 1979 අගෝස්තු 01 දා ශ්‍රී ලංකා වරාය අදිකාරිය පිහිටුවන ලදී. එය ශ්‍රී ලංකාවේ වරිය පද්ධතියේ ආනයන, අපනයන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම සහ ඵලදායි ලෙස ඉහළ දැමීමේ පියවරක් විය. එපමණක් ද නොවේ, භෞතික සම්පත් සංවර්ධනයේ පුරෝගාමී අඩිතාලමක් ද විය. ඒ අනුව 1985 දී ජය බහලූ පර්යන්තයේ පළමු අදියර ද 1987 දී දෙවැනි අදියර ද 1995 දී තෙවැනි අදියර ද 1996 දී සිවි වැනි අදියර ද වශයෙන් ඉදිකිරීම් නිමා කොට මෙහෙයුම් ක්‍රියාවලියට එක් විය.

මූල්‍ය නගරය

කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය ශ්‍රී ලංකාවේ කොළඹ ගාලු මුවදොර පිටියට ආසන්න මුහුදේ හෙක්ටයාර 269 පමණ භූමි භාගයක ඉදි කළ නව වරාය නගරයක් ලෙස ඉදිකළ ප්‍රථම නගරය ලෙස ඉතිහාසයට එක්ව ඇත.

පෝට්සිටි කලම්බෝ CHEC සමාගම මෙම ව්‍යාපෘතිය සඳහා සිදුකර ඇති ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියන 1.5කි. වරාය නගරය සතු හෙක්ටයාර 269ක භූමි ප්‍රමාණයෙන් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා යෝග්‍ය ඉඩම් ප්‍රමාණය වන්නේ හෙක්ටයාර 178කි. ගිවිසුමට අනුව මෙම ප්‍රමාණයෙන් හෙක්ටයාර 116ක ප්‍රමාණයක් අනූනව අවුරුදු බදු පදනමට චීන සමාගමට හිමිවන අතර ශ්‍රී ලංකා රජයට හිමිවන්නේ හෙක්ටයාර 62ක භූමි ප්‍රදේශයකි.

කොළඹ සුන්දරත්වයේ කේන්ද්‍රස්ථානයක් වන ගාලු මුවදොර එළිපත්තේ පිහිටි වරාය නගරය ඉදිකිරීම සඳහා සකසා ඇති දියකඩනයෙහි දිග කිලෝමීටර් 3.2කි. වරාය නගරය සඳහා කළු ගල් භාවිත කර ඇත්තේ මෙම දියකඩනය සඳහා පමණක් වන අතර මීට අමතරව කොන්ක්‍රීට් කුට්ටි ද භාවිතකර තිබේ. ‍‍මුහුද ගොඩකර හෙක්ටයාර 269ක භූමිය ගොඩනැගීම සඳහා වැලි කියුබි මීටර මිලියන 65ක් යොදා ගෙන තිබේ.

 

2014 සැප්තැම්බර් මස 17 දා මීට මුල් ගල් තැබිණි. යහපාලන රජය පත් වීමෙන් අනතුරුව කාලයක් යන තුරු එහි ඉදිකිරීම් කටයුතු අත්හිටුවා තිබිණි. පසුව නැවත එය 2016 වසරේදී ආරම්භ විය.

එහි භූමිය සකස් කිරීමේ වැඩ කටයුතු 2019 වසරෙහි මුල් භාගය වන විට අවසන් කෙරිණි. 2019 වසරේ අගෝස්තු 19 නිකුත් කෙරුණු විශේෂ ගැසට් පත්‍රයක් මඟින් කොළඹ වරාය නගරයට අයත් හෙක්ටයාර 269 ක භූමියේ අයිතිය කොළඹ දිස්ත්‍රික්කයට පැවරිණි. මෙම ව්‍යාපෘති භූමියේ පූර්ණ අයිතිය ශ්‍රී ලංකා රජය සතු වේ.

ශ්‍රී ලංකාවේ වාණිජ හා සේවා අංශය මුල් කරගෙන පිහිටුවන පළමුවන විශේෂ ආර්ථික කලාපය වන්නේ මේ කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාපයයි. මෙය ලොව පුරා ඉතා සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ආර්ථික සංකල්පයකි. ආයෝජකයින් දිරිගැන්වීම වෙනුවෙන් සුවිශේෂී බදු සහන දීම වැනි ක්‍රමවේද හරහා විදේශීය ආයෝජකයින් ආකර්ෂණය කර ගනිමින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට විදෙස් විනිමය රටට ලබා ගැනීමට හැකි වීම මෙහි ඇති විශේෂත්වයයි. මෙහි ‘වරාය නගර ආර්ථික කොමිෂන් සභාව’ පිහිටුවා තිබේ. එමඟින් වරාය නගරය තුළ ව්‍යාපාර හා සේවා සැපයීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමේ සිට සියලුම ක්‍රියාකාරකම් පරිපාලනය, කළමනාකරණය හා නියාමනය සිදු කරීම ආදිය සිදු කෙරේ. එම කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කරන්නේ ජනාධිපතිවරයා විසිනි. කොළඹ වරාය නගරය වෙත පැමිණෙන දේශීය හා විදේශීය ආයෝජකයින්ට ආයෝජන කටයුතුවලදී අවශ්‍ය පහසුකම් සැලසීම මෙම කොමිෂන් සභාවේ මූලිකම අරමුණකි.

තිරසර නගර සංකල්පය

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, මූල්‍ය කලාපය, මධ්‍යම උද්‍යාන වාසය, ජාත්‍යන්තර දිවයින, යත්‍රාංගණය හා දුපත් වාසය ලෙස අනුකලාප පහකින් නිර්මිතය. මෙහි ඉදිකිරීම් අවසන් වූ විට කොළඹ වරාය නගරය විශාල භෞතික අවකාශයක නිර්මාණය වුණු ලොව උසස්ම මට්ටමේ ශ්‍රේණිගත කාර්යාල සංකීර්ණ, අති නවීන සෞඛ්‍ය සේවා, ප්‍රමිතිගත අධ්‍යාපන සේවා පහසුකම්, බහුවිධ සේවා පහසුකම්, සැහැල්ලූ යාත්‍රාංගණ, සුපිරි සාප්පු සංකීර්ණ, හෝටල් සහ විනෝදාස්වාදය සැපයීම සඳහා වෙන්වුණු විශේෂිත පහසුකම්වලින් ද සමන්විත වනු ඇත. නූතන තිරසර නගර සංකල්පය සහ සුහුරු නගර සංකල්පය අනුව ද ඉදි කෙරේ.

"නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් නොපමාව ආරම්භ කර, එහි ඉතිරි කොටස නොපමාව ඉදිකරනු ඇත." යන්න සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන්ය. එය දැන් ඒ අයුරින්ම ක්‍රියාවට නංවා ඇත. පසුගියදා මෙහි දෙවැනි අදියරේ ඉඳිකිරීම් කටයුතු ආරම්භ විය. ඒ අනුව ඉඳිකිරීම් ක්‍රියාවලිය මෙසේ වෙයි.

*ජැටි බැම්මේ මුල් මීටර් 600 සහ Quary apron ප්‍රදේශය සහ නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන දොඹකර ( sts) 06 ක් සවි කිරීම හා රේල් පීලි මත දිවෙන ගැන්ට්‍රි දොඹකර (RMG) 20 ක් හැසිරවීම සඳහා බහාලූ අංගණය නිම කිරීම හා එම දොඹකර සවි කිරීම. මෙය අවසන් වීමට නියමිත දිනය වන්නේ 2023- 07 -04 දාය. අපේක්ෂිත කාලය වන්නේ මාස 18 කි.

*ජැටි බැම්මේ දිග මීටර් 900 දක්වා නිම කිරීම සහ නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන (STS) 03 ක් සවි කිරීම හා රේල් පීලි මත දිවෙන ගැන්ට්‍රි දොඹකර (RMG) 40 ක් මෙහෙයවීම සඳහා බහලු අංගනය නිම කිරීම හා RMG 20 ක් සවි කිරීම. මෙය අවසන් වීමට නියමිත දිනය වන්නේ 2024- 01 -04 දාය. අපේක්ෂිත කාලය වන්නේ මාස 24 කි.

*මීටර් 1320 ක් වන ජැටි බැම්ම සහ Quary apron ප්‍රදේශය නිම කිරීම සහ නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදු කරන (STS) 03 ක් සවි කිරීම. මෙය අවසන් වීමට නියමිත දිනය වන්නේ 2024- 07 -04 දාය. අපේක්ෂිත කාලය වන්නේ මාස 30 කි.

දෙවැනි අදියරේ ඉදිකිරීම්

රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ පසුගියදා කොළඹ වරායේ බටහිර බහලූ පර්යන්තය සඳහා ගිවිසුම් ගත වීම සිදු කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2020-2050 ජාතික වරාය සැලැස්ම ඔස්සේ ඉදිරි වසර 30 ක සාර්ථකත්වයේ ගමන් මඟ සැලසුම් කර තිබේ. ඒ අනුව කොළඹ වරායේ දැනට පවතින බහලූ හැසිරවීමේ ධාරිතාව අඩි 20 සම ඒකක බහලු මිලියන 35 දක්වා ඉහළ නැංවීමට ද සැලසුම් කර තිබේ.

තවද කොළඹ වරාය උතුරු දියකඩනය ස්ථාපිත කිරීමත් සමඟ කොළඹ උතුරු වරාය ලෙස නව වරායක් නිර්මාණය වනු ඇත.

මේ වන විට ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නාවික කේන්ද්‍රය ලෙස අභිසෙස් ලබා ඇත. කෙසේ වෙතත් මේ නවමු ඉදිකිරිම් නිම වූ දා ලෝකයේම අවධානය ශ්‍රී ලංකාවට ලැබෙනු ඇත. ඇතමුන් මේ දෙස කුමන කෝණයකින් බැලුවද ඉදිකිරීම් නිම වූ දිනයක මෙය සාදරයෙන් වැලඳ ගත යුත්තක් බව අවබෝධ කර ගනු ඇත. මෙහි පිහිටි උද්‍යාන තුළ ඇවිද යන්නටත්, සුපිරි සාප්පු සංකීර්ණවලින් භාණ්ඩ මිලදී ගැනීමටත්, සිනමා ශාලා සහ සමාජ ශාලා තුළ විනෝද වීමටත් ශ්‍රී ලාංකික අපට ද මතුදා ඉඩ ලැබෙනු ඇත. ඒ අනුව කොළඹ වරාය නගරය දකුණු ආසියාවේම සෞභාග්‍යයේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය ද වනු ඇත. එයම මතු දිනෙක ශ්‍රී ලංකාව අභියෝග මැදින් ඉහළට ඔසවා තබනු ඇත.

රටට සහ ජනතාවට සෙත්පතා ආරක්ෂක අමාත්‍යංශය වාර්ෂිකව සංවිධාන කරන ජයපිරිත් සජ්ඡායනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධනත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ. මහානායක, අනුනායක හිමිවරු ඇතුඵ දිවයිනේ නන්දෙසින් වැඩම කළ සංඝයා වහන්සේ දහස් නමක් ඊට සහභාගි වුහ. මියගිය රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට ආබාධිත රණවිරුවන්ට සහ ත්‍රිවිධ හමුදාවට ආශිර්වාද කිරීම මෙහි තවත් අරමුණකි. ජනාධිපතිතුමා සදාතුක කරඩුව පිරිත් මණ්ඩපයෙහි තැන්පත් කර මහා සංඝරත්නයට පිරිත සදහා ආරාධනා කළේය. අනුශාසනා සිදුකළ මහ සංඝරත්නය කොවිඩ් වසංගතය මර්දනයට සෞඛ්‍ය අංශ ගෙනයන වැඩපිළිවෙලට සාර්ථකවී සමස්ත රටවැසියන්ට නිදුක් නිරෝගි සහ මානුෂික සුවය ප්‍රාර්ථනා කළහ. ගතවු දෙවසරක කාලය තුළ මුහුණදීමට සිදුවු අභියෝග නිවැරදිව වටහා ගෙන රටේ අනාගතය වෙනුවෙන් ජනාධිපතිතුමා ගෙනයන වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට සහායවීම සියලුදෙනා ඉදිරියේ පැවරි ඇති වගකිමක් බව මහ සංඝරත්නය මෙහිදී අවධාරණය කළහ. අද උදෑසන පැවති හීල්දානමය පිංකමට ද ජනාධිපතිතුමා සහභාගි විය.

අර්බුදකාරී අවස්ථාවක රට වෙනුවෙන් වැඩිම කැපකිරීම් කළ යුත්තේ ප්‍රතිපත්ති සම්පාදකයින් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා කොළඹදී ඊයේ (25) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී විදුලි අර්බුදය පිළිබඳව මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේ ය.

විදුලිය කප්පාදුවක් පිළිබඳව ඊයේ දිනයේ පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳව අදහස් දැක්වූ ඇමතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ දවස තුළ සාකච්ඡා මේසයේ දී ගනු ලැබූ තීන්දු සහ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවලින් අනතුරුව ගන්නා ලද තීන්දු ප්‍රකාරව විදුලි කප්පාදුවක් තවදුරටත් සිදු නොවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කොට ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මෙසේ පැවසීය.

“මේ පිළිබඳව අපේ පැත්තෙනුත් යම් යම් කැපකිරීම් කළ යුතුයි. උදාහරණ වශයෙන් අපිට පුළුවන් නම් වොට්ස් 25 ක බල්බ් එකක් පීක් අවර්ස් වල - ඒ කියන්නේ සවස 6 ඉදල රාත්‍රී 10 දක්වා නිවල තියන්න පුළුවන් නම් ඒ පැය පහ තුළ අපට මෙගාවොට්ස් 140 ක් ඉතිරි කරගන්න පුළුවන්. ඒ කියන්නේ විශාල විදුලි බලාගාරයක් නිර්මාණය කරගත්තා වගේ තමයි පැය පහක් අපි හැමෝම පීක් අවර්ස්වල වොට්ස් 25 ක බල්බ් එකක් නිවල තියනවා කියන්නේ. නමුත් අපි ඒක විතරක් කරල මදි. පුරවැසියන්ගේ පැත්තෙන් විතරක් ඒ කැප කිරීම කරල මදි. ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට මේ මොහොතේ අපි තමයි වැඩිම කැප කිරීම කරන්නට ඕනේ. ඇමතිවරු, මන්ත්‍රීවරු ඇතුළු ජනතා නියෝජිතයන් ප්‍රතිපත්ති සම්පාදකයන් විදිහට ඒ කැප කිරීම කරල පෙන්වන්න ඕනේ. විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම එතෙන්දි අතිශයින්ම වැදගත්. සමහර රජයේ කාර්යාලවල වායු සමීකරණය සෙල්සියස් 18 ට 19 ට අඩු කරලා තියෙනවා. බලශක්ති විශේෂඥයන් කියන්නේ සාමාන්‍යයෙන් වායු සමීකරණය 26 ට තිබ්බහම ඇති කියලා. මොකද අපි අයිස්ලන්තයේ ජීවත්වන අයි නෙවෙයිනේ”.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට විශාල දායකත්වයක් ලබාදෙන හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ කලා කුසලතා ඇගයීම රටේ සංස්කෘතිය අනාගත පරපුරට දායාද කිරීමක් බව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි. එම ශිල්පීන්ට ඇති ගැටලු හදුනාගෙන ඔවුන්ගේ නිෂ්පාදනයන්ට වෙළෙඳපොලක් හදුන්වාදීමට ක්‍රියාකර ඇතැයි ද රණවිීර මහතා පෙන්වා දෙයි. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය නිෂ්පාදනයට විශාල මුදලක් වැය කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ 2021 ශිල්ප අභිමානී ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උලෙළ අමතමිනි. ජාතික ශිල්ප සභාව සංවිධාන කළ මෙම උලෙළ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහභාගීත්වයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්විණ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කෙරේ. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී ඊයේ පස්වරුවේ පැවැත්විණ. තානාපති සබඳතාවලට අදාළව අගමැතිවරයා හා තානාපති නියෝජිතයන් අතර එහිදී සුහද සාකච්ඡාවක් පැවැත්වුනි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter