නවතම පුවත්

 2022 වර්ෂයේ මැයි මස 2-5 යන දිනවල කොළඹදී පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) වාර්ෂික රැස්වීමේ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 2022 ජනවාරි 11 වැනි දින විදේශ අමාත්‍යාංශයේ දී රැස්වීමක් පවත්වන ලදි.

ආසියානු සංවර්ධන බැංකුවේ ලේකම් මුහම්මද් එහ්සාන් ඛාන් මහතා ප්‍රමුඛ ආසියානු සංවර්ධන බැංකුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්, කොළඹ පිහිටි ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික කාර්යාලයේ අනෙකුත් ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක්, ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික රැස්වීමේ ලේකම් කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය දොන් එස්. ජයවීර මහතා, මෙම වාර්ෂික සමුළුවේ වෘත්තීය සම්මේලන සංවිධායකයින්ගේ නියෝජිතයින් (PCO) සහ මුදල් අමාත්‍යංශයේ සහ විදේශ අමාත්‍යංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම හමුවට සහභාගී වූහ.

ආසියානු සංවර්ධන බැංකුවේ ආරම්භක සාමාජිකයෙකු වන ශ්‍රී ලංකාව, ආසියානු සංවර්ධන බැංකුව පවත්වන මෙම සුවිශේෂී වාර්ෂික රැස්වීමට සත්කාරකත්වය දක්වන දකුණු ආසියානු කලාපයේ පිහිටි දෙවැනි රට යි. ආසියානු සංවර්ධන බැංකුවේ සාමාජිකයින් 68 නියෝජනය කරන මුදල් අමාත්‍යවරුන් සහ මහ බැංකු අධිපතිවරුන් ඇතුළු 3000කට අධික පිරිසක් කොළඹ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන මෙම රැස්වීම සඳහා සහභාගී වීමට නියමිතය.

විදේශ අමාත්‍යංශය මෙම වාර්ෂික රැස්වීමේ සමස්ත සන්ධානකටයුතුවලට නායකත්වය දෙන අතර ඊට සහභාගී වන ප්‍රභූවරුන්ගේ ද්විපාර්ශ්වික කටයුතු ද සම්බන්ධීකරණය කරයි. මෙම රැස්වීම සාර්ථකව පැවැත්වීම සඳහා විදේශ අමාත්‍යාංශයේ පූර්ණ සහයෝගය ලබා දෙන බවට විදේශ ලේකම්වරයා සහතික විය.

ඉදිරි තෙවසර පිළිබඳ බලාපොරොත්තු තබා ගන්න - අග්‍රාමාත්‍යවරයා කියයි.

 කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ ඉදිකිරීම් (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

පර්යන්තයේ වැඩ ඇරඹීම සනිටුහන් කරමින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ඵලකය නිරාවරණය කළහ.

අදියර තුනක් යටතේ සිදු කෙරෙන පර්යන්තයේ ඉදිකිරීම් 2024 වසරේ දී අවසන් කිරීමට නියමිතය. හෙක්ටයාර 75ක භූමි ප්‍රමාණයක විහිදී ඇති මෙහි දිග මීටර් 1,320කි. වැඩ නිම වීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන දොඹකර (STC) 12ක් සහ රේල් පීලි මත දිවෙන ග්‍රැන්ටි දොඹකර (RMG) 40ක් සමග අංගසම්පූර්ණ පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමි වේ. මේ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුළු මුදල ඇමරිකානු ඩොලර් මිලියන 510ක් වන අතර වරාය අධිකාරිය ඇමරිකානු ඩොලර් මිලියන 200ක මුදලක් වැය කරයි.

ඇක්සස් ඉංජිනේරු පී.එල්.සී. (Access Engineering PLC) සහ චයිනා හාබර් ඉංජිනේරු (China Harbour Engineering Company LTD) සමාගම් එක්ව ඉදිකිරීම් සිදු කරයි.

කොරෝනා වංසගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තෙවසර පිළිබඳ අපේක්ෂා තබාගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා උත්සව සභාව අමතමින් සඳහන් කළේය. ගෙවීගිය කාලය වැදගත් වන්නේ විපක්ෂයටයි. අප සෑමවිටම භාරගත යුත්තේ අතීතය නොව අනාගතය යි.

රට පිළිබඳ තිබෙන සුබවාදී බලාපොරොත්තු කිසිවෙකු අතහැරිය යුතු නොවන අතර ගෙවුණු වසර දෙක කරගසාගෙන යාමට විවේචකයන්ට භාරදී, අප අනාගතය භාරගනිමු යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

ලෝකයේ වරාය ශ්‍රේණිගත කිරීමේ ඇල්ෆලයිනර් නිර්නායකයට අනුව මේ වන විට කොළඹ වරාය 23 වන ස්ථානයේ පසුවේ. නව සංවර්ධන කටයුතු නිමා වීමෙන් පසු එය 13 වන ස්ථානයට පත්වනු ඇති බව අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේය.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, ආණ්ඩුකාරවරු, තානාපතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, මහජන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරිහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම, ශ්‍රි ලංකාවේ ජීවත්වන අපේ ජනතාවට, ආර්ථික වශයෙන් අපේ රටේ ආර්ථික මරුමස්ථානයක ආරම්භයක් ඉතිහාසයට එකතු වන දිනයක් වන බව වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය .

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ජනවාරි (12) කොළඹ වරාය නැගෙනහිර පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන්  (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

නැගෙනහිර පර්යන්යේ වැඩ ජනවාරි (12) ආරම්භ වන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් බව අමාත්‍යවරයා පැවසීය.

නැගෙනහිර පර්යන්තයේ දිග මීටර 1320ක් වන අතර මුළු භුමි ප්‍රමාණය හෙක්ටයාර් 75ක් වේ. මෙම පර්යන්යේ වැඩ 2024/07/04 වනවිට අවසන් කිරීමට නියමිත බව පැවසු අමාත්‍යවරයා, පර්යන්යේ පළමු මීටර 600යේ වැඩ නිමකිරීම 2023/07/04 වනවිට සිදු කරන අතර ඒ වනවිට SGS දොබකර 06ක් සහ RMG දොබකර 20ක් මෙම පර්යන්යේ ස්ථාන ගත කරන බවත් ,මෙහි දෙවන අදියරේ වැඩ නිමකිරිම 2024/01/04 වනවිට සිදුකර තවත් SGS දොබකර 03ක් සහ RMG දොබකර 20ක් ස්ථාන ගත කරන බවත් ,අවසන් අදියර 2024/07/04 වනවිට නිමකර තවත් SGS දොබකර 12ක් සහ RMG දොබකර 40ක් ස්ථාන ගතකර අංග සම්පූර්ණ පර්යන්තයක් ලෙස නැගෙනහිර පර්යන්තය නිමකරන බව අමාත්‍යවරයා පැවසීය.

මේ වන විට ලෝකයේ ප්‍රබල වරායන් අතරින් අප 23වන ස්ථානයේ සිටින බව පැවසු අමාත්‍යවරයා , නැගෙනහිර පර්යන්තයේ වැඩ නිම කිරීමෙන් පසුව මිලියන 10.5 ධාරිතාවකින් බහාලුම් මෙහෙයවීමට හැකියාව ලැබෙන බවද අමත්‍යවරයා කීය.

කොරෝනා වසංගතය හේතුවෙන් අහිමිව ගිය දෙවසර අමතක කර ඉදිරි තෙවසර පිළිබඳව අපේක්ෂා තබා ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි. ගෙවි ගිය කාලය වැදගත් වන්නේ විපක්ෂයටයි. අප සැමවිටම භාරගත යුත්තේ අතීතය නොව අනාගතයයි. රට පිළිබඳ තිබෙන සුබවාදි බලාපොරොත්තු කිසිවෙකු අත්හැරිය යුතු නොවන අතර ගෙවුනු වසර දෙකක කරගසාගෙන යාමට විවේචකයන්ට භාරදී අනාගතය භාර ගනිමු යැයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයේ දෙවන අදියර විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ රට පිළිබඳව තිබෙන සුබවාදි බලාපොරොත්තු කිසිවෙකු අත්හැරිය යුතු නොවන බවයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් එහි ඉදිකිරීම් අද පෙරවරුවේ ආරම්භ කෙරින. අදියර තුනක් යටතේ ක්‍රියාත්මක එහි ඉදිකිරීම් 2024 දී අවසන් කිරීමට නියමිතය. එහි වැඩ නිම කිරීමෙන් පසු නෞකාවේ සිට ගොඩබිම දක්වා මෙහෙයුම් සිදුකරන දොඹකර 12 ක් සහ ගැන්ටි දොඹකර 40 ක් සමග අංගසම්පුර්ණ පර්යන්තයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවේ. වැය කිරීමට අපේක්ෂිත මුදල ඩොලර් කෝටි 51 කි. ඉන් ඩොලර් කෝටි 20 ක් වරාය අධිකාරිය සපයයි.

ලෝකයේ වරාය ශ්‍රේණිගත කිරීමේ නිර්නායකයට අනුව කොළඹ වරාය 23 වන ස්ථානයේ පසුවෙයි. නව සංවර්ධන කටයුතු අවසන්වීමෙන් පසු එය 13 වන ස්ථානයට පත්වනු ඇතැයි අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එහිදී සදහන් කළේය.

  • ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සම්මේලනය මෙරට දී පැවැත්වීමට තීරණය කෙරේ …

 උප සභාපති ජනපතිට පවසයි.

 මෙරට ආර්ථික ප්‍රවර්ධනය වෙනුවෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ලබාදෙන බව එහි උප සභාපති ෂික්සිත් චෙන්  (Shixin Chen) මහතා පවසයි.

ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූ අවස්ථාවේ දී උප සභාපතිවරයා මේ බව දැන්වීය.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව දැනට මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘතිවල සාර්ථකත්වය ෂික්සිත් චෙන් මහතා ඇගයීමට ලක් කෙරිණ. රාජ්‍ය සංස්ථා කිහිපයක් ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව අපේක්ෂා කරන බව ෂික්සිත් චෙන් මහතා සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුව මෙම වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 786ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙන් කර තිබේ. දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සංඛ්‍යාව 27කි. ආසියානු සංවර්ධන බැංකුවෙහි වාර්ෂික සම්මේලනය රටවල් 68ක නියෝජනයෙන් ලබන මැයි මස 02 සිට 05 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර ඇත. මීට සමගාමීව ව්‍යාපාරික සමුළු ඇතුළු ක්‍රියාකාරකම් කිහිපයක් පැවැත්වීමට ද සැලසුම් කර තිබේ. දේශීය සහ විදේශීය නියෝජිතයන් 5,000ක පමණ පිරිසක් ඊට සහභාගී වෙතැයි අපේක්ෂා කෙරේ. සමුළුව
“පශ්චාත් කොවිඩ් – 19 ලෝකය සඳහා කාලගුණ විපර්යාසයන්ට ඔරොත්තු දෙන හරිත ආර්ථිකයක්” යන තේමාව ඔස්සේ පැවැත්වේ.

ශ්‍රී ලංකාව කොවිඩ් – 19 එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගැනීම, රජයේ සෞඛ්‍ය යාන්ත්‍රණයෙහි සංවිධානාත්මක බව ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපතිවරයාගේ ඇගයීමට ලක් විය. එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථක කරගැනීමට ආසියානු සංවර්ධන බැංකුව ලබාදුන් සහාය වෙනුවෙන් රජයේත් ජනතාවගේත් කෘතවේදීත්වය හිමි වන බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

ආසියානු සංවර්ධන බැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක එයිමින් සෝව් (Aiming Zhou), නේවාසික අධ්‍යක්ෂ චෙන් චෙන් (Chen Chen), ලේකම් මුහමඩ් එෂාන් ඛාන් (Muhammad Eshan Khan), නේවාසික නියෝජ්‍ය අධ්‍යක්ෂ උත්සාව් කුමාර් (Utsav Kumar), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක, විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය ඩී.එස්. ජයවීර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

ශ්‍රී ලංකාව සහ චීනය අවබෝධතා ගිවිසුම් 4 කට එළඹෙයි. ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම, කොළඹ අඩු ආදායම්ලාභීන් සඳහා සහනාධාර නිවාස ව්‍යාපෘතිය පිළිබඳ හුවමාරු ලිපිය, බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තාක්ෂණික සහයෝගීතා ව්‍යපෘතිය භාරදීමේ සහතිකය සහ වකුගඩු රෝග ජංගම පරීක්ෂණ ගිලන් රථ වාහන සඳහා තාක්ෂණික සහයෝගීතාවට අදාල ව්‍යාපෘතිය භාර දීමේ ලිපිය යන ගිවිසුම් ඒවා වේ. දිවයිනට පැමිණ සිටින චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ඊයේ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම ගිවිසුම්වලට අත්සන් තැබිණි. සිය අධ්‍යයන කටයුතු අවසන් කිරීම පිණිස යළි චීනය බලා පැමිණීමට අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුන්ට ඊට අවශ්‍ය පහසුකම් සලසන්නැයි රාජපක්ෂ මහතා එහිදී විශේෂ ඉල්ලීමක් කළේය. ශ්‍රී ලාංකික සිසුන්ට ඉහළම ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කළ චීන විදේශ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය හා සමීපව කටයුතු කරන ලෙසට මෙරට චීන තානාපතිවරයාට උපදෙස් දුන්නේ ය. එන්නත්කරණ වැඩසටහනට තව දුරටත් සහාය දීම. වරාය නගරයට සහ හම්බන්තොට කර්මාන්ත කලාපයට ආයෝජන ආකර්ශනය කර ගැනීම, දෙරට අතර සංචාරක කර්මාන්තය දියුණු කරගැනීම සහ මෙරට අපනයන ඉහළ නැංවීම ආදී කරුණු රැසක් පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
මේ අතර කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය ඉදිරිපස පිහිටි පදික මංතීරුව මහජනතාව සදහා විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරිණි. මෙම පදික මංතීරුව වෙත පාගමනින් පැමිණිමට ජනතාවට දැන් අවස්ථාව හිමි වී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ඒ සදහා තාවකාලික පිවිසුම් දොරටුවක් ඉදිකර තිබේ. වරාය නගරයේ ආරුක්කු හැඩති ලෝහමය එල්ලෙන පාලම දක්වා ජනතාවට මෙම පදික මංතීරුවේ ගමන් කල හැකිය. දිනපතා පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා එහි රැදි සිටිමට ද අවස්ථාව හිමිවේ. එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චීනය අපගේ කල්‍යාණ මිත්‍රයෙකු බවත් ඉතිහාසයේ කොතනකවත් අප අතර සිත් පලදුවීම් සිදුවී නැති බවත් සදහන් කලේය.

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ දුෂ්කරම කාලපරිච්ඡේදයකදී වුවද ජනාධිපතිතුමා රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරමින් සහ වසර 9 කට පසු උපාධිධාරී අභ්‍යාසලාභීන්ට ස්ථිර රැකියා ලබාදෙන මේ වකවානුවේ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා රාජ්‍ය නිලධාරීන්ගෙන් පවසා සිටින්නේ රට නිවැරදි දිශානතිය කරා යොමු කිරීමේ වගකීම ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස දේශපාලනඥයාටත්, රාජ්‍ය නිලධාරියාටත් එකසේ පැවරී ඇතැයි ද ඇමතිවරයා පෙන්වා දෙයි.  උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති උත්සවයේදී අදහස් දක්වමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

උත්සව සභාව ඇමතූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“මගේ ජීවිත කාලයේ අවස්ථා තුනයි විශ්ව විද්‍යාල පද්ධතියෙන් පෝෂණය වූ මෙවැනි බුද්ධිමත් තරුණ තරුණියන් විශාල පිරිසක් රාජ්‍ය සේවයට එකවර යොමු කර ගැනීම සඳහා 50,000 කට ආසන්න පිරිසක් දෙදාස් පහේ, දෙදාස් දොලහේ සහ දෙදහස් විසි එකේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලයේ අවස්ථා දෙකකදීත්, අද ‍ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ මේ අවස්ථාවේදී  විශේෂයෙන් පහුගිය ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රකාශනයේ, මට මතකයි සෞභාග්‍යයේ දැක්ම කෙටුම්පත් කරන කමිටුවට ජනාධිපතිතුමා පෞද්ගලිකව උපදෙස් දුන්නා මේක ඇතුළත් කරන්න කියලා. ඒක වගන්තියක් විදිහට සටහන් වෙලා තියෙන කාරණයක්. ඒ නිසා ජනාධිපතිතුමා මැතිවරණ පෙරොන්දුවක් ඉෂ්ට කිරීමක් විදිහටත්, අනෙත් පැත්තෙන් දේශපාලනිකවත් මෙය කියවා ගන්න පුළුවන්. සමාජමය වගකීමක් ඉෂ්ට කිරීමක් වගේම අපි ජනතා නියෝජිතයන් විදිහට 2012 ඉඳලා මේ දක්වා වසර 9 ක් ගතවෙලා තියෙනවා අවසාන අවස්ථාවේ ඉඳලා මේ දක්වා ඒ අවුරුදු 9 ඇතුළේ ඔබ ඔබේ පවුලේ සාමාජිකයන් රටේ බුද්ධිමත්ම කියල කියන විශේෂණ පදය යොදාගෙන නිවෙස් තුළ සමාජය තුළ මොනතරම් පීඩාකාරී සාධක මැද්දේ ජීවත් වෙන්න ඇතිද? කොතරම් අපේක්ෂා භංගත්වයට පත් වෙන්න ඇද්ද? පන්සල් තුළ අපේ ස්වාමීන් වහන්සේලා වුනත්, අපේ උගත්කමේ අවසන් ප්‍රතිඵලය මෙය ද? කියන සාධාරණ සැකය මතුවෙන්න ඇති. ඒ සියල්ල දුරු කරමින් මේ අවස්ථාව උදාකිරීම ගැන ජනාධිපතිතුමා පමුඛ ආණ්ඩුවට අපිත් ප්‍රතිපත්ති සම්පාදකයෝ විදිහට ස්තුති වන්ත වන්නට ඕනේ.  මට මතකයි මේ සම්බන්ධයෙන් අපේ පාර්ලිමේන්තු කණ්ඩායම ඇතුළේ සාකච්ඡා කරපු හැම වෙලාවේම කාංචන ඇමතිතුමා මෙතන ඉන්න නිසා කියනවා නෙවෙයි, කංචන ඇමතිතුමා මේ වෙනුවෙන් ලොකු බරතැබීමක් කළා. එම උද්‍යෝගයෙන් මේ වෙනුවෙන් සටන් කරපු තරුණ දේශපාලඥයන් රාශියක් හිටියා. කාංචන ඇමතිතුමා එයින් පමුඛයෙක්. මට මතකයි මම අධ්‍යාපන අමාත්‍යාංශයේ මාස නවයක් ඉන්න වෙලාවේ මෙයින් 28,000 ක් කොහොමද ගුරුසේවයට එකතු කර ගන්නේ එයින් 13000 ක පුරප්පාඩු හොයාගෙන යන වෙලාවෙත් කංචන ඇමතිතුමා අපේ අමාත්‍යාංශයට ඇවිල්ලා පවා මේ ගැන විවිධ සංවාද මගෙත් එක්ක කරලා තියෙනවා. ‍ඒ නිසා ඔබේ ලෙංගතුකම එතුමා වෙනුවෙනුත් පළවෙන්න ඕනේ කියලා මම යෝජනා කරනවා. ඒ වගේම මේ දේශපාලන අධිකාරියේ සෑම දෙනාම මේ පීඩනය අපිට ගෙනැල්ලා තියෙනවා. ඒක පළවෙනි කාරණාව.

දෙවැනි කාරණාව, ඔබ රාජ්‍ය සේවයට ඇතළත් වෙන්නේ මේ වසංගත තත්වය නිසාවෙන් රට සහ ලෝක දරුණුම ආර්ථික අවපාතයකට මුහුණ දී ඇති වෙලාවක. අපි වුනත් වික්ෂිප්ත වෙලා හිටියා මේක කරන්න පුළුවන් ද? මේ වැටුප් කොහොමද හොයා ගන්නේ ගුරු සේවයේ විදුහල්පති සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා බිලියන 30ක් හොයාගන්න සියයට 5 සිට සියයට 23 දක්වා විවිධ ප්‍රමාණයෙන් වැටුප් වර්ධනය වන අවස්ථාවේ  ඒකට බිලියන 30ක් අවශ්‍යවෙලා තිබුණා. ඒ මුදල හොයාගන්න තිබුණ අමාරුව ඇතුලේ අපේ හිත යට පොඩි සැකයක් තිබුණා කොහාමද මේකට මුදල් හොයාගන්නේ කියලා. නමුත් අපි ස්තුතිවන්න වෙනවා මුදල් ඇමතිතුමා ඇතුළු මහා භාණ්ඩාගාරයට ඒ අභියෝගය බාර ගනිමින් එය ඉෂ්ට කිරීම පිළිබදව. ප්‍රමාද වීම ගැන අපේ කනගාටුව පළකරනවා. ඔබ රාජ්‍ය සේවයට ඇතුළු වෙන්නේ මෑත කාලීන ශ්‍රී ලංකීය ජනයාගේ ජීවිතවල දුෂ්කරම පරිච්ඡේදයක බව මනසේ කොතාතැනක හෝ තැන්පත් කරගත යුතුයි. මේක පහසු වෙලාවක් නොවෙයි. පෙරේදා බිලියන 229ක සහන පැකේජයක් දෙන වෙලාවේ කැබිනට් මණඩලයේ විනාඩි 45 ක පමණ දීර්ඝ සාකච්ඡාවක් ගියපු වෙලාවේ මේ මුදල් කොහොමද හොයා ගන්නේ එය කථා වුනා. දැන් ස්ථිර කරන වෙලාවේ නොතිබුණු පන්දාහකුත් මේ මාසේ වැටුපට  එකතුවෙනවා. මේක විශාල අභියෝගයක් බව මම පැහැදිලි කළ යුතු නැහැ. මොකද ඔබ මේ රටේ බුද්ධිමත්ම තරුණ පරම්පරාව නියෝජනය කරන නිසා. එකම දේ, ඉතා අමාරුවෙන්, ලොකු අභියෝගයක් මැද මෙය ඉෂ්ටවුණු බව අපි මනසේ තැන්පත් කරගන්න ඕනේ.

තුන්වෙනි කාරණාව ඔබ ඇතුළත් වෙලා ඉන්නේ රාජ්‍ය සේවයට. අද 2022 ඔබ ඇතුලත් වුනාම ඔබ විශ්‍රාම යන්නේ කවදාද? අවම වශයෙන් 2050 පමණ වනවා. මම කැමතියි ඔබව 2050ට එක්කගෙන යන්න. 2050 රට කොතනද තියෙන්න ඕනේ? රාජ්‍ය සේවකයාගේ, දේශපාලනඥයාගේ වගකීම මොකක්ද 2050 ලෝකය හදාගන්න? අද වසංගත තත්වය මධ්‍යයේ අපි අවිධිමත් වසර දෙකක් පහුකරමින් ඉන්න වෙලාවේ මේ නව වසර විධිමත් කරගන්න පුළුවන් වෙයි කියල විශ්වාසයක් අපිට තියෙනවා. 2050 දී අපි අපේ පුරවැසියාට ළඟා කළ යුතු ලෝකය කුමක් ද? මේ තුන්වැනි කාරණාව ප්‍රතිපත්ති සම්පාදකයක් විදිහට අපත්, රාජ්‍ය සේවකයන් විදිහට ඔබත් ඉතා වැදගත් විදිහට අවධාරණය කර ගත යුතු කාරණාවක්. ඔබ විශ්‍රාම යන වෙලාවේ ඩලස් අලහප්පෙරුම දේශපාලන භූමියේ නෙවෙයි, සුසානභූමියේ ඉන්නේ. ඒ ගැන කිසිම සැකයක් නෑ. මෙතන ඉන්න අයගෙන් දේශපාලන භූමියේ කංචනා ඇමතිතුමා විතරක් ඉඳියි. මෙයින් කවුරු හරි එයි දික්වැල්ල පදේශීය ලේකම් කාර්යාලයේ  ප්‍රදේශීය ලේකම් වෙලා. මේ ඉන්න කෙනෙක් සම්බන්ධීකරණ කමිටුවට නායකත්වය දේවි කවදා හරි දවසක. හැබැයි මම නැති බව ස්ථිරයි. ඒ නිසා 2050 වෙනකොට අපේ වගකීම අපේ යුතුකම කුමක් ද කියලා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. අවුරුදු 30ක කාලයක් තව තියෙනවා 2050 වන්නට. ජනාධිපතිතුමා ඉලක්කයක් දීලා තියෙනවා 2050 කාබන් විමෝචනය බිංදුව කරන්නට ඕනේ  කියලා. ඒ කියන්නේ 200 ඩීසල් දුමාරයක් තියෙන්න බැහැ. ඒ ප්‍රතිපත්තිය අපි ක්‍රියාත්මක කරනවා නම් වායුගෝලයට කාබන් විමෝචනය වීමක් සිදුවන්නට බැහැ. විදුලිබල නිෂ්පාදනය 2030 වනවිට සියයට 70 ක් පුනර්ජනනීය බලශක්තිය යොදා ගනිමින් උත්පාදනය කරන්නට ඕනේ. හැබැයි 2050 දී සියයට සීයක්ම පුනර්ජනනීය බලශක්තිය විය යුතුයි. ඒ කියන්නේ 2050 වන විට මේ රටේ විදුලිය නිෂ්පාදනය විය යුත්තේ ජලයෙන්, සුළඟින් සහ හිරු එළියෙන් පමණමයි. ඒ වෙනුවෙන් දේශපාලනඥයා කළ යුතු කැපවීමක් තියෙනවා. නිකන් වෙන්නේ නෑ. කේන්දර බලල කේන්දරයෙන් වෙන එකක් නෙවෙයි. කාබන් විමෝචනය ශුන්‍ය වෙනවා කියන්නේ අහම්බෙන් සිද්ධ වන දෙයක් නෙවෙයි. ප්‍රතිපත්ති සම්පාදකයා ලෙස දේශපාලනඥයාටත්, රාජ්‍ය නිලධාරියාටත් පැවරෙන වගකීමක් තියෙනවා. පක්ෂ විපක්ෂ සමස්ථ දේශපාලන කඳවුර විදිහට, සමස්ථ රාජ්‍ය  සේවය විදිහට අප දෙපාර්ශවයට වර්ණබේදයකින් තොරව එල්ල වන චෝදනාව තමයි මේ වගකීම් ඉතිහාසය පුරා අපි ඉෂ්ට කරල නෑ කියන එක. ඒකයි මේ ප්‍රමාදය. ඒකයි එක් පුද්ගල ආදායම ඩොලර් 3800 ක හිර වුණු රටක් බවට මේ රට පත්වෙලා තියෙන්නේ.  ඒකයි අපිට වඩා පස්සේ නිදහස ලබපු අපේ අසල්වැසි සිංගප්පූරුව සංවර්ධිත රාජ්‍යයක් විදිහට ඉස්සරහට ගිහින් තියෙන්නේ. ඒ රටවල දේශපාලන අධිකාරියත්, රාජ්‍ය නිලධාරිනුත් ඒ වගකීම මැනවින් ඉෂ්ට කළ නිසා ය යන මතය අද සාකච්ඡාවට භාජනය වෙලා තියෙනවා. ඒක පුද්ගලිකව එක් අයෙකුට එල්ල වන චෝදනාවක් නෙවෙයි. දැන් මම අවුරුදු 30 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව ‍නියෝජනය කරල තියෙනවා. එතකොට මට ඒ විත්ති කූඩුවෙන් බහින්න අයිතියක් නෑ. දික්වැල්ල ප්‍රාදේශය ලේකම් තුමා අවුරුදු 16ක්. ඒ විත්ති කූඩුවෙන් බහින්න ප්‍රාදේශීය ලේකම්තුමාටත් බැහැ. සමාජයේ තියෙන ප්‍රබලම චෝදනාවක් මේක. ඒ නිසා 2050 තෙක් රාජ්‍ය සේවයේ ඉන්න ආපු ඔබට කෙතරම් වගකීමක් පැවරී තිබෙනවා ද? බලන්න තාක්ෂණය කොයිතරම් දියුණු වෙයිද?

මිනිසා සඳ මත පා තැබුවේ 1969 වසරේදී ඇපලෝ 11 යානයෙන් නීල් ආම්ස්ටෝන්ග්.  අපි අවුරුදු 9 ක පුංචි සන්ධියේ. රේඩියෝ එක වටේට ඉඳගෙන අපි මේක ඇහුවා. මට මතකයි අපේ ගෙදර හතලිහක් පනහක් හිටියා රේඩියෝ එක වටේ. ඒ අදින් අවුරුදු 52කට පෙර. අද නාසා ආයතනය කියන්නේ එදා ඇපලෝ යානයේ තිබුණු තාක්ෂණයට වඩා ඔබේ අතේ තියෙන ජංගම දුරකතනයේ තාක්ෂණය කියල. හිතන්න වෙනස් වුනු වේගය. වෙනස් වන තාක්ෂණයට අනුව අපි පරිවර්තනය වන්නට ඕනේ. තාක්ෂණයට දොස් කියලා වැඩක් නෑ. අපේ  සියොලඟම,  පංචස්කන්ධයම නූතන තාක්ෂණය විසින් වැළඳගෙන තියෙන්නේ. ඔබ විශ්‍රාම යන වෙලාව වෙන කොට ඔබේ ඇඟ ඇතුලේ චිප් එකක් සවි කරාවි. දැන් පර්යේෂන සිද්ධ වෙන්නේ ඒ පිළිබඳව. සියයට 10 යි මිනිසා මොලයෙන් වැඩ ගන්නේ, සියයට 90කින් ප්‍රයෝජනයක් ගන්නේ නැහැ කියන උපකල්පනය මත පදනම්ව ඔබ විශ්‍රාම යන වෙලාවේ ඔබේ ඇඟ ඇතුළේ චිප් එකක් සවි කලොක් ඒ ගැන පුදුම වන්න එපා. ඒ දියුණු ලෝකය අත්පත් කරගන්න ඒ දැනීම දැන් සිටම ඔබ ප්‍රගුණ කළ යුතුයි. අපේ රාජ්‍ය සේවයේ සේවකයන් සංඛ්‍යාව දැන් මිලියන 1 දශම 6 පැන්නා. ඒ කියන්නේ ජනගහණයෙන් සියයට 7ක්. එක දෙක තුන හතර කියල ගණිනකොට හැම දාහතර දෙනෙක්ගෙන් පස්සේ රාජ්‍ය සේවකයෙක් එනවා. අද නවදහස් ගණනක් ඉන්නවා දේශපාලනඥයෝ රටේ.  ඒ කියන්නේ  ජනගහණයෙන් දශම බිංදුවයි හතරක්. විධායක ජනාධිපතිවරයාගේ සිට පලාත් පාලන නියෝජිතයා දක්වා ප්‍රතිපත්ති සම්පාදකයින්. දශම බිංදුවයි හතරක් කියන්නේ සෑම පුරවැසියන් 2500 කටම එක් දේශපාලනඥයා බැගින් ඉන්නවා රටේ. කොයි තරම් ප්‍රබල අභියෝගයක් අපිට තියෙනවා ද කියලා හිතන්න. හොඳට වගේම හැම නරකටමත් අපි වග කියන්න ඕනේ. සමාජයේ සාකච්ඡා වෙන්නේ නරක විතරයි. හොඳට ප්‍රශංසා ලැබෙනවා මම නෑ කියන්නේ නෑ. නමුත් වාද අවකාශයේ තියෙන්නේ වැඩිපුර නරක පිළිබඳ සාකච්ඡාව. එය අප තේරම් ගත යුතුයි. වෙනස්වන ලෝකය තුළ අපි මේ වගකීම් අවබෝධ කරගත යුතුයි. ඔබ වසර දොලහක් බලන් හිටියා. දැන් බලන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මඟපෙන්වීම යටතේ මගේ නායකත්වයෙන් ආරම්භ කරපු හරිත විශ්ව විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලය 76 දෙනයි. මේ සැරේ 3000 ක් බඳවා ගත්තා. ඒ කියන්නේ දරුවෝ අවම වශයෙන් දහ දාහක් ඇතුලේ ඉන්නවා. එතකොට රැකියා ගත කිරීමේ ප්‍රතිශතය කීයද ? සියයට 96 යි දශම හතරයි. එන්එස්බීඑම් එකෙන් පිටවන සියයට අනූහයයි දශම හතරකට පිටවෙලා පළවෙනි වසරේ රැකියාවක් ලැබෙනවා. ලිස්ට් එක ගත්තහම එහෙමයි සීයයට අනූ හතරයි. රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය අසමත් වෙලා තියෙනවා, ඒ පරිවර්තනය විශ්ව විද්‍යාල ඇතුලේ කරගන්න. සරසවි පාඨමාලා තුළ එම වෙනස සිදුවිය යුතුයි. රාජ්‍ය සේවකයන් ලෙස ඔබ ඒ බලපෑම ඔබගේ ශිල්පස්ථාන වෙත, අධ්‍යාපන පද්ධතිය වෙත, දැනුම් පද්ධතිය වෙත ලබාදිය යුතුයි. ඒක ඔබගේ වගකීමක් ලෙස හඳුන්වාදීමට මා කැමතියි.”

අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

‘  

 

ජනමාධ්‍ය අමාත්‍යංශයේ සංවිධානත්වයෙන් මාධ්‍යවේදීන් සඳහා කොවිඩ් 19 බූස්ටර් එන්නත ලබා දීම අද ( 08) පෙරවරු 9.30ට  ජනමාධ්‍ය අමාත්‍ය ගරු ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්, ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් අනුෂ පැල්පිට මහතා හා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ  යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී  ආරම්භ විය .

එහිදී ජනමාධ්‍ය අමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් ද  ජනමාධ්‍යවේදීන් ද කොවිඩ් බූස්ටර් එන්නත ලබාගත්හ .

පසුගිය වසරේ ක්‍රියාත්මක වූ කොවිඩ් එන්නත්කරණ වැඩසටහනේ ඉදිරි පියවරක් ලෙස මෙය ක්‍රියාත්මකයි .

ඒ අනුව අද ( 08) පස්වරු 3.00 දක්වා මෙම වැඩසටහන පැවැත්වෙන අතර  හෙට ( 09)  පෙරවරු 9.30 සිට පස්වරු 3.00 දක්වා ද පැවැත්වීමට කටයුතු සලසා ඇත .

එම දිනයන්හි  බූස්ටර් එන්නත ලබා ගැනීමට නොහැකි වූ මාධ්‍යවේදීන්ට ජනවාරි 15 සහ 16 යන දෙදින තුළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් මෙම එන්නත ලබා ගත හැකියි  .

 

භාෂණයේ නිදහසට හෝ ප්‍රකාශනයේ නිදහසට හෝ කිසිදු ලෙසකින්වත් බාධා කිරීමට රජය සූදානම් නැතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. සමාජයක ප්‍රගමනයට විවේචන වැදගත් වන බව පෙන්වා දෙන ඇමතිවරයා එම විවේචන ආකල්ප මත නොව තොරතුරු සහ දත්ත මත පදනම් විය යුතු බව පෙන්වා දෙයි. ත්‍රිකුණාමල දිස්ත්‍රික් ප්‍රකාශන කාර්යාංශය විවෘත කිරීම සහ එම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සමඟ පැවති සුහද හමුවකදී ඇමතිවරයා මේ බව කියා සිටියේ ය.

වගකීම් රහිතව සිදුවන පුංචි දෙයකින් පවුලක්, ආයතනයක්, සමාජයක්, චරිතයක් මුළුමනින් විනාශ වෙන්න  පුළුවන්. ඒ නිසා තොරතුරු උපකල්පන සහ ආකල්ප මත නොව දත්ත සහ තොරතුරු මත පදනම් වෙලා අපි අපේ මාධ්‍ය කලාවේ නිරත‍ වෙමු. සම්භාවනීය මාධ්‍ය කලාවක් ගොඩනඟා ගන්න පුළුවන් එතෙන්දි. භාෂණයේ නිදහසප්‍රකාශනයේ නිදහස කිසිඳු ආකාරයකින් බාධා කරන්න ආණ්ඩුවක් හැටියට අපි සූදානම් නැහැ. මම විශේෂයෙන්ම ජනමාධ්‍ය ඇමතිවරයා විදිහට ඒ වෙනුවෙන් මුළු හදවතින්ම පෙනී ඉන්නවා. ඒක ගැන සැකයක් තියා ගන්න එපා. අපි ලෝකයේ දියුණු වෘත්තීයමයභාවය ලබා ගන්න කටයුතු කරමු. රටට ඇත්ත පෙන්නමු. විවේචන වැදගත්. විවේචන කරන්න එපා කියලා නෙවෙයි මම කියන්නේ. හැබැයි විවේචනය ආකල්ප මත පදනම් නොවී තොරතුරු මත පදනම් වූ විවේචනයක් අපි කරමු. එහෙමයි රටකට නිරෝගී ප්‍රජාතන්ත්‍රවාදයක් ළඟා කරගත හැක්කේ.. එවිට පමණක් බව මගේ විශ්වාසයයි. අපිට අපේ යුතුකම ඉෂ්ට කළා ය කියන සතුට විශ්‍රාම ජීවිතේදී ලබා ගන්න පුළුවන් මාර්ගය ඒක. ඒ වෙනුවෙන් අපි එකතු වෙමු.”

ප්‍රාදේශීය ප්‍රවෘත්ති ජාත්‍යන්තරයට රැගෙන යාමට ජනමාධ්‍ය අමාත්‍යාංශය ගෙන යන ක්‍රියාමාර්ගය පැහැදිලි කළ අමාත්‍යවරයා..............

ප්‍රාදේශීය මට්ටමේ තොරතුරු ජාතික මට්ටමට ගලා නොයන බව මෙතනදි කියවුණා. ඒකේ ඇත්තක් තියෙනවා. හොඳ තොරතුරු අපේ අතේ තියෙනවා. ඒ නිසා අපි යෝජනා කළා දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් එකතු කරගෙන යූටියබ් චැනල් එකක්, දිස්ත්‍රික්කයේ ෆේස්බුක් චැනල් එකක් පවත්වාගෙන යන්න. ඒ තොරතුරු ඔබට ගබඩා කරන්න පුළුවන්. රෑක නාලිකාවක විනාඩි 30 ක ප්‍රවෘත්ති අතර තියෙන තරඟයෙන් මිදිලා ජාතික තලයට ගෙනිහිල්ලා‍, ජාත්‍යන්තර තලයට ගෙනියන්න හොඳ මාවතක් ඒ හරහා විවෘත කරගන්න පුළුවන්. ඒ තාක්ෂණික මැදිහත්වීම අපි අමාත්‍යාංශයක් විදිහට මොහාන් සමරනායක මහතාගේ නායකත්වයෙන් ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඔබට ලබා දෙයි. ප්‍රවෘත්ති කියන එකට ප්‍රාදේශීය සීමාවන් දැන් නැහැ. අපේ රටේ ජනගහණය මිලියන 22 ක්. එයින් මිලියන 18 ක් ලංකාවේ ඉන්නේ. ඔවුන් අතරේ තියෙනවා ජංගම දුරකතන මිලියන 22 ක්. ස්මාර්ට් දුරකතනයත් එක්ක ලෝකයේ හැම පුරවැසියෙක්ම අද මාධ්‍යවේදියෙක් බවට පත්වෙලා. ඔබත් සමඟ එකතුවෙලා ප්‍රාදේශීය මට්ටමේ ප්‍රවෘත්ති ජාත්‍යන්තරයට ගෙන යන්න වැඩපිළිවෙළක් සැලසුම් කරමින් සිටිනවා. එය නුදුරේදී ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වනවාඒ සඳහා කිසිඳු බේදයකින් තොරව එකතු වෙන ලෙසට අප ඔබට ආරාධනා කරනවා. සංවර්ධන ප්‍රවෘත්ති කියල කීවම සමහරු හිතනවා ඒවා ආණ්ඩුවේ ප්‍රවෘත්ති කියලා. සංවර්ධනය ජනජීවිතයට අදාළයි. එහි ප්‍රතිලාභ හිමිවන්නේ ජනතාවටයි. ඔබ ප්‍රවෘත්ති තුළින් එය මතු කරගත යුතුයි. ප්‍රවෘත්තිය වියපත් වෙන්න ඉඩ දෙන්න එපා.”

යහපත් මාධ්‍ය කලාවක් රට තුළ ස්ථාපිත කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි කළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍යවේදියාගේ කාර්යභාරය රාජ්‍ය මට්ටමින් ඇගයීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් මේ වසරේ සිට පැවැත්වෙන බව කියා සිටියේය.

“ඔබේ වෘත්තීය මත විශිෂ්ටභාවයේ මුද්‍රාව තබන්න ජනාධිපති සම්මාන උළෙල තරම් හේතු  පාදක වෙන වෙනත් උළෙලක් ඔබ හමුවට එන එකක් නැහැ. එම සම්මාන උළෙලේ විවිධ ඉසව් අතරේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් වෙනුවෙන් වෙනම ඉසව්වක් වෙන් කරන්න පළමු සාකච්ඡාවේදීම අපි තීන්දු කළා.”

දිවයිනේ උසස් පෙළ විෂයයන් සහිත සියළු පාසැල් ඇතුළත් වන පරිදි මාධ්‍ය කව පිහිටුවීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී. ඒ පිළිබඳව පැහැදිලි කළ අමාත්‍ය ඩලස් අහලප්පෙරුම මහතා.

“අපේ පාසැල් පද්ධතියේ උසස් පෙළ සහිත පාසැල් 3042 ක් තියෙනවා. ඒ සියල්ලකගේම ජනමාධ්‍ය කවයක් ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මුළු රටම ආවරණය වන පරිදි, රාජ්‍ය භාෂා දෙක සහ ඉංග්‍රීසි භාෂාව භාවිත කරන සෑම දරුවෙකුටම මේ මාධ්‍ය කව ඇතුළේ තම හැකියාවන් වර්ධනය කරගන්න පුළුවන්. ඉදිරි මාස දෙක තුන ඇතුළත මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වනවා.

 

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට තම උපකරණ ලබාගැනීම සඳහා නූතන ආර්ථිකයට ‍ගැලපෙන අයුරින් ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටන බව ද අමාත්‍යවරයා පැවසීය.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව උදෙසා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති වැඩපිළිවෙල පිළිබඳව පැහැදිලි කළ අමාත්‍යවරයා......

“අපේ රටේ ආබාධ සහිත ප්‍රජාව මාධ්‍ය භාවිතයේ ඉතිහාසය තුළ කොන් වුණා. රටේ ජනගහණයෙන් සියයට 8.7 ක් ආබාධයක් සහිතයි. හැබැයි මාධ්‍ය භාවිතයේ දී කවමදාකවත් මේ පුරවැසියන් ගැන හිතුවේ නැහැ. නාලිකා දෙකක් පමණක් සංඥා භාෂාව භාවිත කළා. අපි අමාත්‍යාංශය තුළ ඔවුන් සඳහා වෙනම ඒකකයක් හැදුවා. අපි අළුතින් නාලිකා දෙකක සංඥා භාෂා ආරම්භ කළා. සංඥා භාෂා හැකියාව සහිත පුහුණුකරුවන් හිඟයි. අපි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව සමඟ එක්ව ඒ සදහා සුදුසු පුද්ගලයින් පුහුණු කිරීමේ කටයුතු සිදු කෙරෙමින් පවතිනවා. මම විශ්වාස කරනවා ඉතාම කෙටි කාලයකදී සියළුම මාධ්‍ය ඇතුළේ සංඥා භාෂාව යොදා ගැනීම ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රියාත්මක කරන්නට හැකිවේවි කියලා”. 

ජනමාධ්‍යවේදීන් සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කෙරන හැඳුනුම්පත වසරක් පාසා නිකුත් කිරීම වෙනුවට සෑම වසර තුනකට වරක් නිකුත් කිරීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි ද අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා කියා සිටියේ ය. එම හැඳුනුම්පත ඔන්ලයින් ක්‍රමයට අයදුම් කිරීමේ හැකියාව පවතින බව ද අමාත්‍යවරයා පැවසීය

ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීම සඳහා පිහිටුවීමට යෝජිත වරලත් ජනමාධ්‍ය ආයතනය පිළිබඳව පැහැදිලි කළ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා..........

“අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ තියෙනවා ප්‍රධාන විශ්වවිද්‍යාල 14 ක්. එයින් 8 කම ජනමාධ්‍ය සහ සන්නිවේදන විෂය උපාධි විෂයයක් විදිහට ඉගැන්වෙනවා. පසුගිය උසස් පෙළ විභාගයේ දී දරුවෝ 23 දාහක් ජනමාධ්‍ය විෂයයට පෙනී සිටියා. න්‍යායාත්මකව ජනමාධ්‍ය විෂය සඳහා පුළුල් ඉඩකඩක් වෙන් කොට තිබෙනවා. නමුත් ජනමාධ්‍ය වෘත්තියට අදාළ පුහුණුව, පර්යේෂණ, නූතන දැනුම ලබාගැනීම හා සම්බන්ධ ගැටළු රාශියක් තිබෙනවා. මහා බ්‍රිතාන්‍යය වැනි දියුණු රටවල ජනමාධ්‍යවේදීන් පුහුණු කිරීමට වරලත් ජනමාධ්‍ය ආයතන තිබෙනවා. අපි මීට මාස 2 කට පෙර ජනාධිපතිතුමාගේ, අගමැතිතුමාගේ, කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ගත්තා ශ්‍රී ලංකාවේ වරලත් ජනමාධ්‍ය ආයතනයක් පිහිටුවන්න. ජනමාධ්‍ය වෘත්තිය හා සම්බන්ධව එතෙක් මෙතෙක් අප ලබාගත් වැදගත්ම ජයග්‍රහණයක් හැටියට මෙය අවිවාදයෙන්ම හැඳින්විය  හැකියි. ආණ්ඩුවක් විදිහට අප ඒ පිළිබඳව සතුටු වන අතරේ මම විෂය භාර ඇමතිවරයා විදිහට සහ මේ රටේ ඉතාම අඳුරුතම යුගයක පෑන අතට ගත්ත පත්තරකාරයෙක් විදිහට විශේෂයෙන්ම ඒ ගැන සතුටු වනවා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් ත්‍රීකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරාල, හිටපු පළාත් සභා මන්ත්‍රිණී ආරියවතී ගලප්පත්ති, ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මොහාන් සමරනායක යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ 2022 වසර සදහා වන වැඩ සැලැස්ම ඉදිරිපත් කිරිම බත්තරමුල්ල සුහුරුපාය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදි ඊයේ සිදුකෙරිණ. කොවිඩ් 19 වසංගතය හමුවේ පවා පසුගිය වසරේදී නිවාස ඉදිකිරිම් ක්ෂේත්‍රයේ හා නාගරික සංවර්ධන ක්ෂේත්‍රයේ ඉලක්කගත අභියෝග ජයගැනිමට හැකිවු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජජපක්ෂ මහතා එහිදී පැවසීය. මෙම වසරේදි පැමිණෙන අභියෝගවලට මුහුණ දිමට ද සුදානම් බව රාජපක්ෂ මහතා අවධාරණය කළේය. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ රාජ්‍ය අමාත්‍යංශ 4 ක් ක්‍රියාත්මක වේ. අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා මෙහිදි 2021 වසරේ ප්‍රගතිය සහ 2022 වසරේ වැඩ සැලැස්ම ඉදිරිපත් කලේය. අනතුරුව රාජ්‍ය අමාත්‍යංශවල ප්‍රගතිය එම අමාත්‍යංශවල ලේකම්වරුන් විසින් පැහැදිලි කරන ලදි. ග්‍රාමිය නිවාස යෝජනා ක්‍රමය යටතේ ඉදිකල නිවාස විසිදහසකින් පහලොස් දහසක දැනටමත් අඩු ආදායම්ලාභින් පදිංචි කර ඇති බව ඒ අනුව අනාවරණය විය. සියක් නගර ව්‍යාපෘතියේ වැඩකටයුතු සියයට 70 කින් අවසන් වී තිබේ. තවත් නගර 118 ක් සංවර්ධනය කිරිමේ සැලසුම් දැන් ක්‍රියාත්මකයි. වතු නිවාස දසදහසක් ඉදිකිරිමේ වැඩසටහන සහ ඉන්දු ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ නව නිවාස 900 ක් ලබාදිමේ වැඩසටහන ද සාර්ථකව ක්‍රියාවට නැංවෙයි. වෙරළ සංරක්ෂණ කළමනාකරණ මධ්‍යස්ථානයක් අලුතින් පිහිටුවිම කෙරෙහි අවධානය යොමු වි තිබේ. කුලි, සින්න නිවාස යෝජනා ක්‍රමයක් වෙනුවෙන් රුපියල් මිලියන 2500 ක් වෙන් කර ඇත. මහල් නිවාස හිමිකම් ඔප්පු නොමැති පවුල් සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ඔප්පු දසදහසක් ලබාදිමේ වැඩසටහනක්ද කඩිනමින් ක්‍රියාවට නැංවෙයි. ඉලක්කගත අභියෝග ජයගැනිම වෙනුවෙන් කැපවු සියලු දෙනාට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සිය ප්‍රණාමය පුදකළේය.

කොළඹ නගරයේ පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

කොළඹ නගරයේ දරිද්‍රතාවයෙන් පෙළෙන පාසල් දරුවන් හඳුනාගෙන අවට ඇති පාසල් සඳහා එම දරුවන් ඇතළත් කිරීම, ඔවුන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා දීම සහ දරුවන් අඛණ්ඩව අධ්‍යාපන කටයුතුවල නිරත වීම අධීක්ෂණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.

අනාගතයේ අපරාධ වලට යොමුවීමේ ඉඩකඩ අවම කිරීම හා දිළිඳු දරුවන්ගේ ගුණාත්මකබව ඉහළ නැංවීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වේ.

ශ්‍රී ලංකා පොලීසියේ ප්‍රජා පොලිස් සේවාව මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජනරාල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී වික්‍රමරත්න, කොළඹ දිසාපති ප්‍රදීප් යසරත්න සහ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් සහභාගී විය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සම්පාදිත “ජනපති ආලෝචනය” ග්‍රන්ථය  (04) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්විණ.

ගත වූ දෙවසරක කාලය තුළ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ග්‍රන්ථය මගින් විශ්ලේෂණය කර තිබේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter