නවතම පුවත්

මධ්‍යම අධිවේගි මාර්ගයේ මිරිගම සිට කුරුණෑගල දක්වා දෙවන අදියර ලබන 15 වැනිදා ජනතා අයිතියට පත් කෙරේ. මංතීරු හතරකින් සමන්විත මෙම මාර්ගයේ මුලු දුර ප්‍රමාණය කිලෝමීටර් 40 යි දශම 9 යි 1 කි. මේ සදහා රුපියල් බිලියන 137 ක් වැය කර ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය සදහන් කරයි. මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන කොටස මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 05 කින් සමන්විත වෙයි. මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගහපිටිය යන ස්ථානවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන ඉදිකර ඇත. මෙම අධිවේගී මාර්ගය නාගරික ප්‍රදේශ මග හරිමින් හිස් ඉඩම් හරහා පමණක් ඉදිකර තිබේ. මෙරට අලංකාරම අධිවේගි මාර්ග කොටස ලෙස මීරිගම, කුරුණෑගල කොටස හදුනාගෙන ඇතැයි මහාමාර්ග අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරයි.

දික්වැල්ල හා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත උපාධිධාරී අභ්‍යාසලාභීන් සඳහා ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ.

රැකියා විරහිත උපාධිධාරීන් රැකියා ගත කිරීමේ වැඩසටහන 2020 යටතේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවයට තවත් රාජ්‍ය සේවකයින් 50000 එකතුවීම සංකේතවත් කරමින් අද (05) දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී උපාධිධාරින් වෙත
පත්වීම් ප්‍රදානය සිදු කෙරිණි.

අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස පුහුණුව ලැබූ දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපාධිධාරීන් 54ක් හා දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපාධිධාරීන් 34ක් දකුණු පළාත් සභාව යටතේ සංවර්ධන නිලධාරී තනතුර සඳහා මෙහිදී පත්වීම් ලැබූහ.
පත්වීම් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන් සහභාගිවෙමින් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සියලුම උපාධිධාරීන් වෙත ස්ථීර රැකියා අවස්ථා ලබා දීම මැතිවරණ පොරොන්දුවක් ඉෂ්ඨ කිරීම හා සමාජ වගකීමක් ඉටු කිරීම ලෙස අර්ථ ගැන්විය හැකි බවයි.

තමාගේ පාර්ලිමේන්තු කාලය තුල 50000 ආසන්න උපාධිධාරීන් පිරිසකට පත්වීම් ප්‍රදානය කළ තවත් අවස්ථා 3ක් අමාත්‍යවරයා සිහිපත් කළේය. එනම් එවකට ජනාධිපතිව සිටි වර්තමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් අවස්ථා දෙකකුත් වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් 2022 වසරේ මේ රැකියාගත කිරීමේ අවස්ථාවත් වශයෙනි.

“2012 වසරෙන් පසු වසර 10ක් වැනි දීර්ඝ කාලයකින් පසුව නැවත උපාධිධාරීන් විශාල පිරිසකට රැකියා ලබාදීම පිලිබඳව මමත් ප්‍රතිපත්ති සම්පාදකයෙක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ ආණ්ඩුවට ස්තූතිවන්ත වෙනවා. කංචන විජේසේකර මැතිතුමා මෙම රැකියා ලබාදීමේ කාර්යය සාර්ථක කර ගැනීම සදහා තරුණ දේශපාලකයෙක් ලෙස විශාල කැපකිරීමක් සිදුකළා. උපාධිධාරීගෙන් කොටසක් ගුරු සේවයට ඇතුල් කරගන්නා ආකාරය පිළිබඳව කංචන විජේසේකර මැතිතුමා සහ මා අතර මා අධ්‍යාපන අමාත්‍ය ධූරය දැරූ කාලය තුල සාකච්ඡා ගණනාවක් පැවැත්වුවා” යන්න අලහප්පෙරුම මහතා පෙන්වා දුන්නේය.

ගෝලිය වසංගතය හේතුවෙන් ලෝකයම දරුණු ආර්ථික අර්බුදයකට ලක්වී ඇති මොහොතක හා එම ආර්ථික අර්බුදය ශ්‍රි ලංකාවටත් දැඩිව බලපා ඇති මොහොතක නව පත්වීම්ලාභීන්ගේ වැටුප් සඳහා මුදල් සොයා ගැනීම අභියෝගයක් වුනත් එම අභියෝගයට සාර්ථකව මුහුණ දීම සම්බන්ධයෙන් තමා මුදල් අමාත්‍ය තුමාටත් මහා භාණ්ඩාගාරයටත් විශේෂ ස්තූතිය පුද කරන බවත් රජය මීට පෙර ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සදහා ද රුපියල් බිලියන 30ක් වැය කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

“ඔබ රාජ්‍ය සේවයට ඇතුල් වනුයේ මෑත කාලීන ශ්‍රී ලාංකීය පුරවැසියාගේ ජීවිතයේ දුෂ්කරම කාල පරිච්ඡේදයක බව අපි මනසේ තැන්පත් කර ගත යුතුයි. මීට දින කිහිපයකට පෙර රුපියල් බිලියන 229ක ආර්ථික සහන පැකේජයක් අපි ජනතාව වෙනුවෙන් කැබිනට් මණ්ඩලයේදී අනුමත කළා. ඒ වගේම රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදීමට නියමිත රුපියල් 5000 දීමනාව ද මේ මස සිට ඔබ සඳහා ද ලැබීමට නියමිතයි. අද දිනයේ පත්වීම් ලබන ඔබ ආසන්න වශයෙන් 2050 වර්ෂයේදී පමණ විශ්‍රාම යෑමට නියමිතයි. 2050 වර්ෂයේදී අපගේ පුරවැසියාට ලඟා කළ යුතු ලෝකය කුමක්ද? එය ප්‍රතිපත්ති සම්පාදකයින් ලෙස අපිත් රාජ්‍ය සේවකයන් ලෙස ඔබත් ඉතා අවධානයට ලක්කල යුතු කාරණාවක්.

උදාහරණ ලෙස ජනාධිපතිතුමා ඉලක්කයක් දී තිබෙනවා 2050 වනවිට කාබන් විමෝචනය බින්දුව කරනලෙස. එනම් 2050 වන විට විදුලි බල නිශ්පාදනය 100% ක්ම පුනර්ජනනීය ක්‍රම මගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. මේ සියලු කාර්යයන් සදහා දේශපාලකයාටත් රාජ්‍ය නිලධාරියාටත් විශාල වගකීමක් පැවරෙනවා” යන්න අලහප්පෙරුම මහතා අවධාරණය කළේය.

තව දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සමස්ත දේශපාලකයා සහ සමස්ත රාජ්‍ය නිලධාරියා යන පාර්ශව දෙකටම ඉතිහාසය පුරා වගකීම් ඉෂ්ට නොකීරීම සම්බන්ධයෙන් විශාල චෝදනාවක් ලබා තිබෙන බවත් එය සියලු දෙනාම භාරගත යුතු බවත් ඩොලර් 3800 ක ඒක පුදගල අදායමක රට සිරවී තිබෙන්නේ තමා මේ මතුකරන කාරණාව නිසා බවත්ය. අපෙන් පසුව නිදහස ලබාගත් සිංගප්පූරුව අද සංවර්ධිත රාජ්‍යක් ලෙස පවතින්නේ එරට දේශපාලන අධිකාරියත් රාජ්‍ය සේවකයිනුත් තම වගකීම නිසි ලෙස ඉටුකිරීම නිසා බව පෙන්වාදෙන අමත්‍යවරයා වසර 30ක් පාර්ලිමේන්තුව නියෝජනය කරන තමන් හටද එම විත්ති කූඩුවෙන් බැස යාමට හැකියාවක් නැහැ යන්න තව දුරටත් සඳහන් කළේය.

හරිත විශ්වවිද්‍යාලය හෙවත් NSBM විශ්වවිද්‍යාලයේ උපාධිය ලබාගන්නා ශිෂ්‍යයන්ගෙන් පළමු වසර තුල රැකියාවක් ලැබීමේ ප්‍රතිශතය 96%ක් ( employability) පමණ වෙනවා. SLIIT ආයතනයේ එම අගය 94% ක් පමණ වෙනවා. නමුත් අපේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල පාඨමාලාවන් හැදෑරීම තුල එම පරිවර්තනය සිදුකිරීමට නොහැකි වී තිබෙනවා. ඔබ රාජ්‍ය සේවකයන් ලෙස එම ආයතනවලට පරිවර්තනය සිදුකිරීමට අවශ්‍ය බැලපෑම සිදුකළ යුතුයි යන්න
අමත්‍යවරයා නවක පත්වීම්ලාභීන් වෙත අවධාරණය කළේය.

මෙම අවස්ථාව සඳහා විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර, දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති කිත්සර මුතුකුමාරණ, දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සභාපති සුජීව වෙදගේ, දික්වැල්ල ප්‍රාදේශීය ලේකම් සුසන්ත අත්තනායක, දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් දීපා ලියනපටබැදි යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

අශිෂ්ටත්වයේ ගොදුරු බවට පත් දරුවන්ට තොටිල්ලක් මෙන් රැකවරණ සැළසීමට මැදිහත් වන්නැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටී. ‘දඬුවම් නොකොට දරුවන් හදා ගත නොහැක” යන නූතන සියවස විසින් ප්‍රතික්ෂේප කළ අශිෂ්ටත්වයේ ගති ලක්ෂණ යළි සමාජගතවීමට ඉඩ නොතබන ලෙස ද ඇමතිවරයා මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලයි.

පසුගිය සති කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ දරුවන්ට එරෙහි අමානුෂික ක්‍රියාවන් පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාව අවසානයේ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මේ බව කියා සිටියේ ය. ලොව පුරා වයස අවුරුදු 2 ත් 17 ත් අතර බිලියනයක පමෙණ ළමයින් පිරිසක් ශාරීරික, ලිංගික හෝ මානසික ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට ගොදුරුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එමගින් දරුවන්ගේ සෞඛ්‍යයට මෙන්ම සුබසාධනයට දිගුකාලීනව දැඩි බලපෑම් එල්ල වෙයි. එහෙත් දරුවන්ට එරෙහි මෙම ප්‍රචණ්ඩ ක්‍රියා නතර කළ හැකි බවට සාක්ෂ්‍ය ලොව පුරා පවතී. ජනමාධ්‍යයට එහිලා සුවිශේෂී වූ කාර්යභාරයක් පැවරී තිබේ. 

හිරිමල් වියේ පසුවන දරුවන් විවිධ හිංසා පීඩාවන්ට ගොදුරුවීමේ පුවත් කිහිපයක් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් ම පසුගියදා වාර්තා විය. මේ පිළිබඳව වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා......

“මුළුමහත් සමාජයම කම්පනයට පත් කළ ප්‍රවෘත්ති තුනක් පිළිබඳව ඉකුත් සති දෙක ඇතුළත අසන්නට ලැබුණා. රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් තම ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් ප්‍රචාරය කළා අපි දුටුවා හැටන් ප්‍රදේශයේදී බිළිඳු වයසේ දරුවන් දෙදෙනෙකුට අශිෂ්ඨ ලෙස දඬුවම් කරන ආකාරය. ඊට පෙර සතියේ අපි දුටුවා ගම්පොල දී පියාත්, පියාගේ සහෝදරයාත් එකතුවෙලා පිරිමි දරුවෙකු සමඟ ගසක නැගි වරදට දියණියකට ම්ලේච්ඡ ලෙස පහදීමෙන් එම දරුවා ඝාතනය කළ ආකාරය. අද උදෙත් මාධ්‍ය වාර්තා කරලා තිබුණා, කොටදෙනියාව ප්‍රදේශයේ අවුරුදු 14 කට අඩු පුතුන් දෙදෙනෙක් අදට දින 42 ක් අතුරුදන් වෙලා, ආගිය අතක් නෑ. මම මේක මතු කරන්න කැමතියි මාධ්‍ය තුළ වාද අවකාශයට මෙය ඇතුල් කිරීමට කැමතියි, මොකද දැන් ප්‍රවණාවයක් ලෙස මීට දශක තුන හතරකට පෙර අපේ සමාජය තුළ පැවති ‘දරුවො ගහන්නේ නැතුව හදන්න බැ” කියන අශිෂ්ට අශීලාවාර ගතානුගතික මතවාදය නැවත ඉස්මතුවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකියි. මේ ශතවර්ෂය මේ සියල්ල ප්‍රතික්ෂේප කරල තියෙන්නේ. අපිට දියුණු ශිෂ්ටාචාරයක් තුළ ඉදිරි ගමනකට යා යුතුව ඇති වෙලාවක් මේක. එබැවින් මෙවැනි ප්‍රවෘත්ති වාර්තා කරන්නේ කෙසේ ද යන්නත්, තවදුරටත් එවැනි සිදුවීම් ඇතිවීම වළක්වාගන්නේ කෙසේ ද යන්න පිළිබඳ අපගේ මාධ්‍ය භාවිතාව තුළත් මාධ්‍යකරුවන් මැදිහත් විය යුතුයි. දරුවන්ගේ අනාගතය ආරක්ෂා කරගනිමින්, ඔවුනට හිරිහැරයක් සිදුනොවන අයුරින් සමාජ මතයක් ගොඩනැගීමට මාධ්‍යකරුවන් පෙරගමන්කරුවන් බවට පත්විය යුතුයි.”

ජාතික ගුවන් විදුලිය සංස්ථාවක් බවට පත් වී හෙටට වසර 55 ක් සපිරෙයි.

ඒ නිමිත්තෙන් සංස්ථා ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී අද සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ. එය සිටි.එෆ්.එම්. හා ස්වදේශිය සේවා ඔස්සේ සජිවීව ප්‍රචාරය කිරිමට විධිවිධාන යොදා තිබේ.  සංස්ථා කුමාරතුංග මැදිරියේදි හෙට පෙරවරුවේ සර්ව ආගමික වැඩසටහනකි. එම වැඩසටහන් ද සජීවිව විකාශය වේ.

ගුවන්විදුලි 55 වන සංවත්සරය නිමිත්තෙන් හෙට පස්වරු 06.00 සිට සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදි විශේෂ ධර්මදේශනයකි.  එය ස්වදේශිය සේවය ඔස්සේ සජිවිව ප්‍රචාරය කෙරේ.
එම ධර්ම දේශනාව සඳහා ඔබට දායකත්වය ලබා ගත හැකිය. 0112-69-71-40 දුරකථන අංකය ඇමතීමෙන් ඊට අදාළ වැඩිදුර තොරතුරු ලබාගත හැකිය.

කොවිඩ් වසංගතය හමුවේ ආර්ථික ගැටඵවලින් පීඩා විදින ජනතාවට සහන ලබාදීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ රාත්‍රියේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසීිය. ඒ අනුව සියලුම ඖෂධ හා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල බදු ඉවත් කෙරේ. ජනවාරී මාසයේ සිට ක්‍රියාත්මක වනපරිදි රජයේ සේවකයන්ට ,විශ්‍රාමකයන්ට සහ ආබාධිත සෙබලුන්ට මාසිකව රුපියල් පන්දහසක විශේෂ දීමනාවක් ලබාදීමට කටයුතු කරන බවද මුදල් අමාත්‍යවරයා සදහන් කරයි. සමෘද්ධි ලාභින්ට දැනට ලබාදෙන රුපියල් 3500 ක මාසික දීමනාව රුපියල් දහසකින් ඉහළ නැංවෙයි.

පවතින පොහොර ගැටඵව හේතුවෙන් වී අස්වැන්න සියයට 20 ත් 30 ත් අතර ප්‍රමාණයකින් අඩුවිය හැකි බැවින් එම පාඩුව පියවීම සදහා ගොවීන්ට වී කිලෝවකට රුපියල් 25ක අමතර මිලක් ලබාදීමටද රජය තීරණය කර ඇත. ඒ අනුව වී කිලෝවක් සදහා රුපියල් 75ක සහතික මිලක් නියම කෙරේ. දිවිනැගුම වැඩපිළීවෙල නැවත ක්‍රියාවට නංවන අතර වගා කරන ගෙවතු සදහා දිරිදීමනාවක් ලබාදෙයි. පර්චස් 20 ට අඩු ගෙවත්තකට රුපියල් පන්දහසක් ලබාදෙන අතර පර්චස් 20 ට වැඩි අක්කරයකට අඩු ගෙවත්තකට රුපියල් දසදහසක දිරිදීමනාවක් ලබාදෙන බවද මුදල් අමාත්‍යවරයා සදහන් කරයි. වගාව සාර්ථක වු බව පෙන්නුම් කළහොත් එම දීමනාව නැවත ලබාදෙන බවද හෙතෙම පවසයි.

සෑම වතු කම්කරු පවුලකටම මසකට තිරිගු පිටි කිලෝග්‍රූම් 15ක් සහන මිලකට ලබාදීමට කටයුතු කෙරේ. එම තිරිගු පිටි කිලෝග්‍රුමයක මිල රුපියල් 80 නොඉක්මවයි. සේවක අර්ථසාධක අරමුදලේ ලියාපදිංචි සෑම වතු කම්කරුවෙකුටම එම තිරිගුපිටි සහනය හිමිවෙයි. එම සහන පැකේජය සදහා වසරකට වැයවන මුදල රුපියල් මිලියන 229 කි.

රාජ්‍ය සේවකයන්ට රුපියල් පන්දහසක දීමනාව ගෙවීමට වසරකට රුපියල් බිලියන 87 ක් වැයවේ. විශ්‍රාමිකයන් සදහා රුපියල් බිලියන 40 ක්ද ගෙවතු සහනාධාරය සදහා රුපියල් බිලියන 31ක්ද වැයවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි. සහන ලබාදීමට වැයවන මුදල් සොයාගැනීම වෙනුවෙන් බදු ඉහළ නැංවීමක් සිදු නොවන අතර ඒ සදහා වෙනත් ක්‍රම උපයෝගී කර ගන්නා බවද හෙතෙම අවධාරණය කරයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය නව වසරේ රාජකාරී ආරම්භ කිරීම අද (03)උදෑසන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු විය.

ජාතික ධජය එසවීමෙන් අනතුරුව රට දැය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්, රාජ්‍ය සේවකයින් ඇතුළු සියලු අය සිහිකරමින් විනාඩි දෙකක සිහි කිරීමක් සිදු කළේ ය.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව සභාපති ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ද වූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. 

ස්වාධීන රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු ලෙස සිය මාධ්‍ය දිවිය ඇරඹූ නිරෝෂන් ප්‍රේමරත්න මහතා, ප්‍රවෘත්ති නිෂ්පාදකවරයෙකු මෙන්ම නිවේදකයෙකු ලෙස සිය ප්‍රතිභාව විදහා දැක්වීය.

හොදම ප්‍රවෘත්ති නිවේදනය වෙනුවෙන් ඔහු සම්මානයටද පාත්‍ර විය. පසුව මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට පිවිසි ඒ මහතා එම දිස්ත්‍රික්කයෙන්ම පාර්ලිමේන්තුවටද පත් විය.

රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරියෙකු වන නිරෝෂන් ප්‍රේමරත්න මහතා, මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලනඥයෙකු යන ක්ෂේත්‍ර දෙකෙහිම ඉහළම ජනතා ප්‍රසාදයට පාත්‍ර වූ අයෙකුවීම විශේෂත්වයකි. ස්වාධීන රූපවාහිනි සේවයේ මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ අයෙකු එහි සභාපති තනතුරට පත් වූ ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වකි.

 

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම් අනූෂ පැල්පිට මහතා අද (03) කොළඹ, ජනමාධ්‍ය අමාත්‍යංශයේ දී ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණන පරීක්ෂකවරයකු ලෙස රාජ්‍ය සේවයට බැඳුනු අනුෂ පැල්පිට මහතා පසුව,ශ්‍රී ලංකා පරිපාලන සේවයට ඇතුළත් විය. පරිපාලන සේවා කාලය තුළ ඒකාබද්ධ සේවා සහකාර අධ්‍යක්ෂ, ජනාධිපති සහකාර ලේකම්, ජනාධිපති අරමුදල ගණකාධිකාරී, සංවර්ධන ලොතරැයි මණ්ඩලය අධ්‍යක්ෂ හා වැඩබලන සමාන්‍යධිකාරි , ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නියෝජ්‍ය අධ්‍යක්ෂ, අධ්‍යක්ෂ සහ පළමු අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළේ ය.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති, ලංකාපුවත් ආයතනයේ සභාපති තනතුර සැලසිනේ ආයතනයේ නිසි බලධාරී තනතුර අනූෂ පැල්පිට මහතා විසින් දරා තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කළ අනූෂ පැල්පිට මහතා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජවේදි උපාධිධාරියෙකු වන අතර 2003/ 2004 වර්ෂවල ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් වෘත්තීය ගණකාධිකරණය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා තිබේ.

2020 දෙසැම්බර් 19 වැනි දින ජනාධිපතිතුමා විසින් කර්මාන්ත අමාත්‍යාංශය ලේකම්වරයා ලෙස  පත් කළ අතර ජනමාධ්‍ය ලේකම් ධූරය ලැබීමට පෙර අනූෂ පැල්පිට මහතා,ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළේ ය.

නව ජනමාධ්‍ය ලේකම්වරයා රාජකාරි ආරම්භ කරන අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන) එස්.ආර්.ඩබ්.එම්.ආර්.පී. සත්කුමාර මහතා, අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්) එච්. හේවගේ මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල ආයතන ප්‍රධානීන් රැසක් සහභාගී වූහ.

උදා වූ නව වසර අලුත් හැඟීම් සමඟ සුබවාදීව සහ අධිෂ්ඨානශීලීව අනාගතය දෙස බැලීමට අපව නිතැතින්ම පොළඹවනු ලබයි. එබැවින්, අප 2022 වසර පිළිගනු ලබන්නේ දැඩි උද්‍යෝගයකින් සහ අපේක්ෂා සහගතව ය.

ගෙවී ගිය වසර රටටත්, ජන සමාජයටත් එල්ල කළ බලපෑම දෙස අප ආපසු හැරී බැලිය යුතුය. ඒ අනාගත සමෘද්ධිය උදෙසා වන අධිෂ්ඨානයෙන් යුතුව බව මම විශ්වාස කරමි.

අභියෝග හඹා ගොස් ඒවා ජයග්‍රහණය කරමින් ජනතා කේන්ද්‍රීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය තැබූ පියවර තවදුරටත් ඉදිරියට ගැනීමේ අවස්ථාව නව වසරේ උදාවන බව මාගේ විශ්වාසයයි. පවතින වසංගත තත්ත්වය හමුවේ අඩපණ වූ ආර්ථිකය සහ ජන ජීවිතය ඉන් වඩාත් සුරක්ෂිත වනු ඇත. ඒ සඳහා වන සැලසුම් නව සාමාන්‍යකරණය යටතේ ක්‍රියාවට නැංවීමට අපට පුළුවන. සමෘද්ධිය කරා අප පියවර තැබිය යුතු වන්නේ ආත්ම විශ්වාසය, කැපවීම සහ එකමුතුකම තුළිනි. ජයගත් අභියෝග සේම ලැබූ අත්දැකීම් නව වසරේ ඒ සඳහා අපව දිරි ගන්වනු ඇත.

ගෝලීය වසංගත තත්ත්වය ජනතා අපේක්ෂාවන් සාක්ෂාත් කර ගැනීමේ ප්‍රගතියට අහිතකර ලෙස බලපා ඇත. එසේ වුවද, වර්තමානයේදී ජාතික ආරක්ෂාව සහ සහජීවනය තවදුරටත් තහවුරු වී තිබේ. නව ප්‍රතිසංස්කරණ රාශියක් සකස් වෙමින් පවතී. අකර්මන්‍යව පැවැති රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීමටත්, ඒවා ජනතා අයිතියට පත් කිරීමටත් මෙම රජය විසින් පියවර ගෙන තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ජනතාවගේ ජීවිත කෙරෙහි එල්ල වූ හානිකර තත්ත්වයන් සම්බන්ධයෙන් රජය ගත් පියවර ගෝලීය පැසසුමට ද ලක් විය. වසංගත තහංචි මධ්‍යයේ පවා ඔබ අද භූක්ති විඳින නිදහස මෙරට ජනතාව විසින් කරන ලද අපරිමිත කැපකිරීම්වල ප්‍රතිඵලයක් බව මම සතුටින් සඳහන් කරමි.

ජනතාව පීඩාවට පත් වීමට තුඩු දුන් පදනම් විරහිත දේශපාලන අරගල රටට ආදරය කරන බහුතර ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම ජනතාව රජය කෙරෙහි තබා ඇති විශ්වාසය තහවුරු කිරීමකි.

අතීතයේ සිට මේ දක්වා පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත්ව පවත්වා ගනිමින් නව විදේශ සබඳතා ගොඩනඟා ගැනීමට අපට හැකි වීම සුවිශේෂී ආයෝජනයක් ලෙස දකිමි.

එළඹුණු නව වසර ජනතාවට “සෞභාග්‍යයේ දැක්ම” සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවන පරිවර්තනීය වසරක් බවට පත් කරන ලෙස මම ඔබ සැමට ආරාධනා කරමි.

ඔබ සැමට ලැබුවා වූ නව වසර නිදුක්, නිරෝගී, ධෛර්යය සම්පන්න වසරක් වේවා යි ප්‍රාර්ථනා කරමි.

ගෝඨාභය රාජපක්‍ෂ

ජීවිතයේ දුෂ්කර අත්දැකීම්වලින් පන්නරය ලබමින් වඩා ශක්තිමත්ව ඉදිරි අභියෝග ජයගැනීමට නව වසර උදාවේ අප සියලු දෙනා අදිටන් කර ගත යුතුය.
ගෝලීය වසංගත තත්ත්වයට මුහුණ දෙමින් ගෙවී ගිය වර්ෂය තුළ ශ්රී ලංකාව මුහුණ පෑ අභියෝග රැසකි. සමාජ හා ආර්ථික වශයෙන් පැමිණි එම අභියෝග ජය ගැනීම උදෙසා රටක් ලෙස සියලු දෙනා එක්ව ඉටු කරන කැපකිරීම් කෘතඥ පූර්වකව සිහිපත් කරමි.
රජයක් ලෙස අප පසුගිය වසරේ වඩා ප්රමුඛත්වය ලබා දුන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙනි. එන්නත්කරණය සාර්ථකව ක්රියාත්මක කිරීමෙන් ඔබේ සමීපතමයන්ගේ ජීවිත ඇතුළු රටේ දහස් ගණනක් ජීවිත ආරක්ෂා කර දීමට අපට හැකිවිය.
රට හමුවේ මෙවැනි අභියෝගයක් නොමැති කාලයක පවා අතහැර දැමූ සංවර්ධන ව්යාපෘති රැසක් අපි පසුගිය කාලය තුළ ජනතා අයිතියට පත් කළෙමු.
වසංගතය හමුවේ ඒ කිසිඳු සංවර්ධන කටයුත්තක් නවතා දැමීමට රජයක් ලෙස ක්රියා නොකළ අතර ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවමින් සංවර්ධන අරුණළු අඛණ්ඩව රටටම විහිදුවාලීම අපගේ රජයේ අනාගත අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් සමාජ ආර්ථික හා දේශපාලන වශයෙන් අප හමුවේ ඇති විවිධ බාධක ජය ගත යුතුය. එකිනෙකාට චෝදනා කිරීම වෙනුවට නිවැරදි දේ තෝරා බේරාගෙන ඒ සඳහා ක්රියාත්මකවීමෙන් දැනට පවතින බොහෝ ගැටලු ජයග්රහණයෙන් කෙළවර කළ හැකිය.
රටට අවශ්ය ගැටලු විචාරය කරන්නන් නොව ප්රායෝගික අභියෝගයන්ට මුහුණ දෙමින් ඔබට විසඳුම් ඉදිරිපත් කරන්නන්ය. ඒ සඳහා ඔබ සියලු දෙනා බලාපොරොත්තුවන නව මාවතක් අදින් පටන් ගන්නා නව වසර තුළ එළිදැක්වෙනු ඇත.
අපි සියලු දෙනා එක්ව බාධක ජයගෙන ජීවිතය දිනන වසරක් බවට නව වසර පත් කරගමු. ඒ සඳහා ජනතාවට ශක්තියක් වීමට රජයක් ලෙස නිරතුරුව කැපවෙන බව මම විශ්වාසයෙන් යුතුව ප්රකාශ කරමි.
ශ්රී ලාංකික ඔබ සැමට නැවුම් බලාපොරොත්තු සහ ප්රාර්ථනා මල්ඵල ගැන්වෙන සුබ නව වසරක් වේවා!

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter