නවතම පුවත්

සැබෑ හා වටිනාකමක් සහිත දත්ත හා තොරතුරු පදනම් කරගත් ධනාත්මක සමාජ පරිවර්තනයකට මාධ්‍ය ක්ෂේත්‍රය තුළින් දායකත්වය ලබාදීමට ජනමාධ්‍යවේදීන් සූදානම් විය යුතු බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

“මාතර මාධ්‍ය අභිමන්” නමින් මාතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදී සංගමය සංවිධානය කළ මාධ්‍යවේදී ඇගයුම් උලෙළට ඊයේ (30) සහභාගි වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය. මාතර දිස්ත්‍රික් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය දියුණුව හා සුභසාධනය අරමුණු කරගනිමින් පිහිටුවා ඇති මෙම සංගමය විසින් මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ කැපවීම හා මෙහෙවර වෙනුවෙන් මෙහිදී උපහාර දක්වන ලදී.

මෙම අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අද වන විට තොරතුරු ලොව වටිනාකමින් වැඩිම වෙළෙඳ භාණ්ඩය බවට පත් වී ඇති බවයි. එම තොරතුරු පිළිබඳ බලාධිකාරය සහිත සමාගම් ලෝකයේ ධනවත්ම සමාගම් ලෙස ඉදිරියට පැමිණ තිබේ. අද ආයතන මෙන්ම ජනතාවද සිය වැඩි අවධානය යොමුකරන්නේ නව තොරතුරු වෙතයි. තොරතුරු හඹා යාමේ මෙම ප්‍රවණතාව තුළින් නව සමාජ මාධ්‍ය තොරතුරු සම්පාදනයේ වේගවත්ම හා ජනප්‍රියතම මාධ්‍ය බවට පත්වෙමින් තිබේ. ඒ අනුව, සැබෑ අගයකින් යුතු නැවුම් තොරතුරු සැනෙකින් ජනතාව වෙත සන්නිවේදනය කිරීම මාධ්‍ය ක්ෂේත්‍රයේ පැවැත්මෙහිලා අත්‍යවශ්‍ය සාධකය ලෙස හඳුනාගැනීමට පිළිවන.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා,


“අමාත්‍යවරයකුට වඩා මාධ්‍ය සගයකු ලෙස මෙම අවස්ථාවට ආරාධනය කිරීම පිළිබඳව මම ඉතාමත්ම සතුටට පත් වෙනවා. මාතර දිස්ත්‍රික්කයේ රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකටම අයත් මුද්‍රිත, විද්‍යුත්, සමාජ මාධ්‍ය ආදී සියලු මාධ්‍ය සගයින් එක්ව සංවිධානය කර ඇති මෙම ඇගයුම් උළෙල ජනමාධ්‍යවේදී සමගිය සම්බන්ධ පරමාදර්ශයක් පෙන්වා තිබෙනවා. මාගේ දේශපාලන දිවිය තුල එවැනි අවස්ථාවක් දැක්කේ එක් වරක් පමණයි. ඒ සුනාමි ව්‍යසනයෙන් පසුව පක්ශ අතර ඇතිවූ දින කිහිපයක එකගතාව පමණයි. මා ජනමාධ්‍ය ඇමතිවරයා ලෙස දේශපාලනඥයින්, මාධ්‍ය වෘත්තිකයින් මෙන්ම සියලුම වෘත්තිකයින්ගෙන් ඉල්ලා සිටිනවා මාතර මාධ්‍ය එකමුතුව ආදර්ශයට ගන්නා ලෙස. මානවීය අගයන්ට බාධාවක් කර නොගෙන විසංවාදය පවත්වා ගැනීම ලෝකයේ දියුණු රටවල ලක්ෂණයක්. අද පැවැත්වෙන්නේ සුහද හමුවක් පමණක් නොවෙයි. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් පස් දෙනෙකු මාතර මාධ්‍යවේදීන්ගේ ගෞරව උපහාරයට ලක්වෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ වෘත්තීය වටිනාකම් හා මාතර පුරවරයේ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කැපකිරීම් කළ ඒ සම්මානලාභී ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට මගේ ගෞරවය පුදකිරීමට මා මෙය අවස්ථාව කර ගන්නවා.

අද වන විට තොරතුරු ලොව වටිනාකමින් වැඩිම ව‍ෙළෙඳ භාණ්ඩය බවට පත් වී තිබෙනවා. අද ආයතන මෙන්ම ජනතාවද සිය වැඩි අවධානය යොමුකරන්නේ නව තොරතුරු වෙතයි. අද මාධ්‍ය වෙනම මානයකට වෙනම තලයකට පැමිණ තිබෙනවා. මාධ්‍ය අධිපතිභාවය පසුගිය දශකයේ සිට නව මාධ්‍ය වෙත හුවමාරු වී තිබෙනවා. එම හේතුව නිසාම වර්තමානයේදී මුද්‍රිත හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යත් තමන්ගේ මාධ්‍ය භූමිකාව තුල නව මාධ්‍ය, සමාජ මාධ්‍ය වෙත වැඩි ඉඩක් වෙන් කරන අයුරු දැකිය හැකියි.

මෙම පරිවර්තනයට ඔබ අනුගත විය යුතුයි. ලෝක ඉතිහාසයේ පළමුවන වතාවට මේ වසරේ නොබෙල් සාම ත්‍යාගය රුසියාවේත් පිලිපීනයේත් මාධ්‍ය වේදියෙකුට හා මාධ්‍යවේදිනියකට හිමිවුනා. එසේ නොබෙල් සාම ත්‍යාගය ලබාදීමේදී ඔවුන් ඇගයීමට ලක්වූයේ ආකල්ප මත නොව තොරතුරු මත පදනම්ව කරුණු වාර්තා කිරීම නිසායි. ඔවුන් සැබෑ දත්ත මත තම වාර්තාකරනය සිදුකිරීම එසේ ඇගයීමට ලක්වීමට ප්‍රධාන හේතුවයි. දැනුම පාදක කරගත් තොරතුරු සැපයීම ඔබගේද මූලික වගකීමක් බව මම ප්‍රකාශ කරන්න කැමතියි.

මීට දින දෙකකට පෙර ජපානයේ ජයිකා ආයතනය හා එක්ව රූපවාහිනිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් අපි ආරම්භ කළා. 2025 වසරේදී එම ව්‍යාපෘතිය අවසන් වීමට නියමිත අතර සියලුම රූපවාහිනී සුපැහැදිලි දසුන් සහිතව
නැරඹීමේ අවස්ථාව එමගින් හිමිවෙනවා. එයින් මුද්‍රිත මාධ්‍යයන්ට අනිසි බලපෑමක් සිදුවන්නේ නැහැ. ලෝකයේ ඕනෑ තරම් උදාහරණ ඊට ලබාදිය හැකියි. ඇමරිකා එක්සත් ජනපදයේ “CNN” නාලිකාව ඉතා ප්‍රබල විද්‍යුත් නාලිකාවක් වන අතර “New York Times” පුවත්පතද ඉතා ප්‍රබල පුවත්පතක් ලෙස පවතිනවා. අපේ සමාජය තොරතුරු වලින් සන්නද්ධ කලයුතුයි. එයින් කාටද වාසි හෝ අවාසි වෙන්නේ කියන එක වැදගත් නෑ. ආකල්ප මතනොව දත්ත මත පදනම් වූ තොරතුරු වලින් ජනතාව දැනුවත් කල යුතුයි.” මාතර, කඹුරුගමුව ආසිරි උත්සව ශාලාවේ පැවති මෙම ඇගයුම් උළෙලේදී දිගු කලක් පුරා මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපවීමෙන් කටයුතු කළ උපසේන ලියනගම, ජයතිස්ස තෙන්නකෝන්, දයානන්ද ද සිල්වා, සිරිසේන ගලප්පත්ති, එඩ්මන් ලියනගේ යන මාතර දිස්ත්‍රික්කයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු උපහාර ලැබූහ.

මෙම ඇගයුම් උළෙල හා මාධ්‍යවේදී වාර්ෂික හමුවට මාතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදී සංගමයේ සභාපති ක්‍රිශාන් ජීවක ජයරුක්, ලේකම් ඩී.කේ මහින්ද, කැඳවුම්කරු කැලුම් බෝධිමාන යන මහත්වරුද වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ඇතුලු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝද මාතර දිස්ත්‍රික් ජනමාධ්‍යවේදී සංගමයේ සාමාජිකයෝද සහභාගි වී සිටියහ.

වසර ගණනාවක් තිස්සේ කිසිඳු සංවර්ධනයකට ලක් නොවූ ප්‍රදේශ හා නගර ඉලක්ක කරගෙන සියක් නගර සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ අනුව දුෂ්කර ප්‍රදේශවල ගම් සහ නගර සංවර්ධනය කිරීම සියක් නගර සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මකයි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැතිතුමා උපදෙස් ලබා දී තිබෙන්නේ ජනතා අවශ්‍යතාවයන් හඳුනාගෙන නගර සංවර්ධන කටයුතු සිදු කරන ලෙසටයි.

ඒ අනුව ජනතාවගේ අවශ්‍යතා අනුව සියක් නගර වැඩසටහන නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි. නගර සියයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ජනතාවට ලබාදුන් පොරොන්දුවකි. ඒ අනුව, නගර සියය තෝරාගත් අතර, මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ලැබුණු ජනතා ඉල්ලීම් මත තවත් නගර කිහිපයක් ද තෝරාගෙන සංවර්ධනයට ලක්කෙරෙමින් පවතී.
අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංවර්ධනය කෙරෙන සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් බව ද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සියක් නගර යනු හදුනාගත් ජන අවශ්‍යතාවන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන සංවර්ධන වැඩසටහනකි. එය නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ මෙහෙයවීමෙන් සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාවට නංවයි.

රජය ජනතාවට ලබාදෙන ප්‍රබල ප්‍රතිලාභ අතරේ එන එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වන “සියක් නගර” සංවර්ධන වැඩ සටහනට අයත්, පුත්තලම් දිස්ත්‍රික්කයේ මාදම්පේ සහ තෝප්පුව නගරත්, අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුරය නගරයත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජයන්තිපුර නගරයත් මූලික කරගනිමින් ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ අවසන් කෙරෙමින් පවතින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපෘති අතරින් හලාවත මාදම්පේ සතිපොළ ව්‍යාපෘතියේ වැඩ කටයුතු මේ වන විට අවසන් වී තිබේ. හලාවත ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමක මෙම සතිපොළ ඉදිකර තිබෙන්නේ පැවති සතිපොළ සංවර්ධනය කර නව අංග එකතුකර පුළුල් කිරීමෙන් පසුවයි.

වෙළෙදුන් 100 කට වෙළදාම් කිරීමට ඉඩකඩ සපයා තිබූ පැරණි සතිපොළ, නව සංවර්ධනයත් සමඟ වෙළෙදුන් 160 කට වෙළදාම සඳහා මෙහි පහසුකම් සැලසී තිබේ. එයට අමතරව මත්ස්‍ය වෙළඳසැල් 08 කට ද මෙහි ඉඩකඩ සපයා තිබේ.

මාදම්පේ සතිපොළ සෑම සඳුදා දිනකම පෙ.ව. 7.00 ට පමණ ඇරඹෙයි. එය මධ්‍යම රාත්‍රී 12 අළුයම 01.00 දක්වා පැවැත්වේ. මෙම සතිපොළට ස්ථාවර වෙළෙදුන් 160 දෙනාට අමතරව, විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් වෙළඳාම් කිරීම සඳහා වෙළදුන් 400 දෙනෙකු පමණ පැමිණෙයි. සතිපොළෙන් එළවළු මිලදී ගැනීම සඳහා 1,000 ත් 1,500 ත් අතර නිත්‍ය පාරිභෝගිකයින් සංඛ්‍යාවක් පැමිණෙයි. මෙම සතිපොළේ දක්නට ලැබෙන විශේෂත්වය වනුයේ එළවළු සහ පලතුරුවලට අමතරව විවිධ විසිතුරු බඩු, රෙදිපිළි සහ රස කැවිලි වර්ග වැනි දෑ අලෙවි වීමයි.

මාදම්පේ සතිපොළට හලාවත, තඹුත්තේගම, ගල්ගමුව, දළදාගම, අඹන්පොල, නිකවැරටිය, ඇහැටුවැව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශ නියෝජනය කරමින් වෙළදුන් සහ පාරිභෝගිකයින් පැමිණෙයි. එම ප්‍රදේශයන් තුළ වගා කෙරෙන එළවළු වර්ග මෙන් ම පිට පළාත්වලින් ගෙන්වනු ලබන එළවළු වර්ග ද මෙහි අලෙවි කෙරේ. මාදම්පේ සතිපොළේ ප්‍රධාන එළවළු ගැනුම්කරුවා ලෙස කටයුතු කරන්නේ කොළඹ මැනිං වෙළඳපොලයි. එයට අමතරව අලුතින් එක් වූ පහසුකම් අතරට වැසිකිලි පද්ධතිය, ආරක්ෂක කුටිය, ජල ටැංකිය, ආපනශාලාව සහ වාහන 30 ක් නවතාලිය හැකි රථගාල ද ඇතුළත්ව තිබේ. මෙම සතිපොළ ඉදිකිරීම සඳහා වැය වූ මුදල රුපියල් මිලියන 67 ක් වේ. මාස 05 ක් හෙවත් දින 150 ක කාලයකින් මෙම ව්‍යාපෘතිය අවසන් කර ඇත.

මේ අතර පුත්තලම දිස්ත්‍රික්කයේ තෝප්පුව සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ කටයුතු ද මේ වන විට අවසන් අදියරේ පවතියි. මෙම ව්‍යාපෘතිය තුළ පදික මංතීරු සැකසීම, තණ පිඩලි ඇල්ලීම, මල් පැළ සිටුවීම, පාර දෙපස පස් පිරවීම, ඔරලෝසු කණුව වර්ණ ගැන්වීම, පෙර පැවති පැරණි පුන්කලස නැවත නගරයේ ස්ථාපිත කිරීම ඇතුළු තවත් සංවර්ධන වැඩ කටයුතු රැසක් ක්‍රියාත්මක වෙයි.

මූලික ජන අවශ්‍යතාවන් සපුරාලිමේ අරමුණ පෙරදැරිව සංවර්ධනය කෙරෙන සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ පළමුව දිස්ත්‍රික් 25 තුළට ම සැලසුම් කළ ව්‍යාපෘති 30 ක වැඩ කටයුතු කඩිනමින් නිමවා ජනතා අයිතියට පත්කිරීම රජයේ අපේක්ෂාව බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ සඳහා ව්‍යාපෘති තෝරාගැනීමේදී එම නගරයන්ට මෙතෙක් ප්‍රධාන අඩුවක්ව පැවති අංග කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීම, කඩිනම් අවශ්‍යතා සහිත ව්‍යාපෘති තෝරාගැනීම මෙහිදී අවධානය යොමුකර තිබීම ගැන එම ප්‍රදේශයේ ජනතාව සිය ප්‍රසාදය පළ කරති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය,   අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙසින් නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් සියක් නගර සංවර්ධන ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි.

ඩෙල්ටා සහ ඔමික්‍රොන් කොවිඩ් වෛරස් ප්‍රභේද ලොව පුරා පැතිර යාමේ ශීඝ්‍රතාව සලකා බැලීමේ දී එය කොවිඩ් සුනාමියක් බවට පත්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.
 
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රියිසස් මේ බව සදහන් කර ඇත්තේ අමෙරිකාවේ සහ යුරෝපය පුරා රටවල්වල නව ආසාදිතයින් වාර්තාවීමත් සමඟය.
 
යුරෝපා රටවල් රැසක වාර්තාගත ඔමික්‍රොන් ආසාදිතයින් සංඛ්‍යාවක් දෛනික ව වාර්තා වන අතර, ප්‍රංශයෙන් දෛනික වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ වාර්තා වූ අතර එම ආසාදිතයින් ගණන 28,000කි.
 
එසේම ජෝන්ස් හොප්කින්ස් දත්තවලට අනුව, අමෙරිකාවේ පසුගිය සතිය තුළ දිනකට  රෝගීන් 265,427 ක් වාර්තා වී ඇත.

ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19ට එරෙහි එන්නත්කරණ වැඩසටහන සාර්ථකව අවසන් අදියර කරා එළඹෙයි.3 වන මාත්‍රාව ලබාදීම පිණීස තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්‍ෂ 140 ක් ඇනවුම් කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමණ මහතා පවසයි. එම තොගයෙන් ලක්‍ෂ 64 ක් දිවයිනට ලැබී තිබේ. ඉතිරි ලක්‍ෂ 76 ජනවාරී දෙවන සතියට පෙර ලබාදීමට ෆයිසර් සමාගම එකග වී තිබේ. එබැවින් තමන්ට හිමි 3 වන මාත්‍රාව හෙවත් බුස්ටර් එන්නත කඩිනමින් ලබාගන්නැයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමණ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමික්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි.

එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩි. ධර්මසේන මහතා පවසයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවයි.ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එම වර්ජනය අත්හිටුවා තිබෙි.එම සාකච්ඡාවේදි සිය ඉල්ලීම් 25න් 10කට සාධනීය විසදුම් ලැබුණු බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති. සුමෙිධ සෝමරත්න මහතා පැවසීය.අද සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මෙන්ම සුපුරුදු රාජකාරියේ නිරත වන බවද ඔහු සදහන් කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඉදිරිපත් කළ ඉල්ලිීම් රැසකට විසදුම් ලබාදිීමට හැකිවු බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියයි. අමාත්‍යංශයේ ලේකම්වරයාගේ සහ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ එකඟතාව මත ගැටලු කිහිපයකට විසදුම් දුන් බව ඔහු පැවසීය.
දින පහක් පුරා පැවති වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් 2 කෝටි පනස් ලක්ෂයක පමණ පාඩුවක් සිදුව තිබේ.එම කාලයේදි පාර්සල් භාරගැනිම්, ප්‍රවේශ පත්‍ර නිකුත් කිරිම් , තෙල් සහ ප්‍රිමා පිටි ප්‍රවාහනය මෙන්ම හොල්සිම් ආයතනය සදහා හුණුගල් ප්‍රවාහනයද අත්හිටුවා තිබිණි

රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය 2025 වනවිට නිම කිරිම ඉලක්කය බව ජනමාධ්‍ය ඇමති ඩලස් අලහප්පෙරුම මහතා කියයි. එම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයට ඊයේ එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළේය. මෙම ව්‍යාපෘතිය මීට දශකයකට පමණ පෙර ආරම්භ කිරිමට සැලසුම් කර තිබුණ ද විවිධ හේතු නිසා එය පමාවිය. තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ලෝකයේ ඉදිරියෙන් සිටින ජපානයෙන් මෙම ව්‍යාපෘතිය සදහා සහාය ලබාගැනිමට හැකිවීම සැබවින්ම සතුටට කරුණක් බව ඇමතිවරයා එහිදි සදහන් කළේය. ලබන වසරේදි ශ්‍රි ලංකා රූපවාහිනි සංස්ථාවට වසර 40 ක් සපිරිම හා ශ්‍රි ලංකා ජපන් මිත්‍රත්ව සහයෝගිතාවට වසර 70 ක් සපිරිම ද ඇමතිවරයා එහිදි සිහිපත් කළේය.
ජපන් අන්තර්ජාතික සහයෝගිතා ආයතනයේ මූල්‍ය හා තාක්ෂණික ආධාර ඇතිව ජනමාධ්‍ය අමාත්‍යංශය රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි. ඩිජිටල් රූපවාහිනි විකාශනයට සංක්‍රමණය වීමෙන් නරඹන්නන්. විකාශකයන් සහ රජය යන පාර්ශ්ව තුනටම ප්‍රතිලාභ අත්වෙයි. රූපවාහිනි සංඥා දුර්වලතා ඉවත් කිරිම හේතුවෙන් සුපැහැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹිමේ අවස්ථාව ජනතාවට උදාවෙයි. බහු රූපවාහිනි ඇන්ටනා ඉවත් කර එක් ඇන්ටනාවකින් සියලු රූපවාහිනි නාලිකා ග්‍රහණය කර ගැනිමට හැකිවිම ඩිජිටල්කරණයේ තවත් වාසියකි.

මේ වනවිට ඇණවුම් කරන ලද පොහොර තොග මෙරටට ලැබී තිබෙන බවත් ඉදිරියේදී තවත් පොහොර තොග ඇණවුම් කරන බවත් වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි
ඒ අනුව ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට පොහොර අර්බුදය සම්පූර්ණයෙන්ම විසඳීමට හැකිවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය. බත්තරමුල්ල,සෙත්සිරිපායේ පිහිටි වැවිලි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (27) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
තේ වගාවට පොහොර සහනාධාරයක් ලබාගැනීම සඳහා සාකච්ඡාවක් ලබාදෙන ලෙසට තේ වගා කරන දිස්ත්‍රික්කවල ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් කර තිබූ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව පැවැත්විණ.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය.
රසායනික පොහොර තහනම් කිරීමත් සමඟ ඇතිවූ අර්බුදය මේ වනවිට තරමක් දුරට විසඳිලා. දැන් පෙහොර තිබෙනවා. නමුත් විශාල මුදලකට පොහොර අළවි කිරීම නිසා තවත් අර්බුදයක් ඇති වෙලා. මේ වනවිට වෙළඳපොලේ පොහොර මිල මිනිස්සුන්ට දරාගන්න බැහැ. ඒ නිසා කිසියම් සහනදායි ක්‍රමවේදයකට පොහොර ලබාදෙන්න කියලා අපිට ඉල්ලීම් ලැබෙනවා. ඒ අනුව මේ නිසා තේ දළු කිලෝ 100 ට පොහොර කිලෝ 40ක් ලබාදෙන්න රජය තීරණය කර තිබෙනවා. එය දැනටත් ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වනවිට ඇණවුම්කරන ලද රසායනික පොහොර ලැබිල තිබෙනවා. නමුත් වෙළඳුන් තමන්ට හිතෙන හි‌තෙන මිල ගනන් වලට පොහොර අළවි කරනවා. කොහොම වුනත් ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට පොහොර අර්බුදය
සම්පූර්ණයෙන්ම විසඳේවි. පොහොර මිලත් අඩුවේවි. නමුත් මේ අන්තර් කාලයේදී මිනිසුන්ට යම් සහනයක් ලබාදිය යුතුයි. අමාත්‍යංශය විදියට අපි දැන් මැදිහත් වෙන්නේ ඒ සඳහායි.
 
 
කනක හේරත්, ජයන්ත සමරවීර යන රාජ්‍ය අමාත්‍යවරුන්ද, සම්පත් අතුකෝරළ,අනූප පැස්කුවල්,ලලිත් ඒල්ලාවල, ගාමිණි වලේබොඩ යන පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීනී මුදිතා සොයිසා මහත්මියද, වැවිලි අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති ජයම්පති මොල්ලිගොඩ මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාල නගර ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ විය. සංවර්ධනය සදහා වන සෞදි අරමුදලේ ප්‍රතිපාදන මත එය ක්‍රියාත්මකයි. ඊට ඇස්තමේන්තුගත මුදල අමෙරිකානු ඩොලර් මිලියන 28 කි. වයඹ විශ්ව විද්‍යාලයේ කුළියාපිටිය සහ මාකදුර පරිශ්‍රයන් ආශ්‍රිතව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. අග්‍රාමාත්‍යවරයා එම උත්සවයට සහභාගී වුයේ අරලිහගම මන්දිරයේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේය.

“එක රටක් එක නීතියක්” සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් විමසීම ආරම්භ කරයි.

මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා පස්වරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට (25) පෙරවරුවේ පැමිණි පළාතේ ආගමික නායකයෝ, ස්වෙච්ඡා සංවිධාන, වෘත්තීයවේදීහු මෙන්ම සාමාන්‍ය ජනතාව කමිටුව හමුවේ අදහස් පළ කළහ.

පැමිණි පිරිසට ස්තූතිය පළ කළ කමිටුවේ සභාපති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ මෙම කාර්යය පිළිබඳ ජනාධිපතිතුමාගේ ඇති උනන්දුව තේරුම් ගෙන ඇති බැවින් නියමිත කාලසීමාවට පෙර කමිටු වාර්තාව භාරදීමට අපේක්ෂා කරන බව පැවසූහ. යම් කාලයක් ගත වුවද සියලු ජන කොටස් වලට සාධාරණය ඉටු වන සහ සියලු දෙනාට එකඟ විය හැකි යෝජනා මාලාවක් ඉදිරිපත් කිරීමට කැප වන බව උන්වහන්සේ අවධාරණය කළහ.

ශ්‍රී ලංකාව තුළ “එක රටක් එක නීතියක්” යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද අධ්‍යයනය කිරීමෙන් පසු ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ සභාපතීත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකායට පැවරී ඇති වගකීමයි. මීට පෙර උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ සංචාරය කොට එම එම පළාතේ ජීවත්වන ජනතාවගේ සහ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව තුළ පිහිටා ඇති කාර්යාලයේ දී දිවයිනම නියෝජනය වන අයුරින් පැමිණි සංවිධාන සහ පුද්ගලයන්ගේ අදහස් ලබා ගත්හ.

(27) දින ද මධ්‍යම පළාතේ ජනතාවගෙන් අදහස් ලබා ගැනීම තවදුරටත් සිදු කෙරේ.

කමිටුව හමුවේ අදහස් පළ කිරීමට කැමති අයෙකුට පහත අංකයට ඇමතුමක් ලබා දීමෙන් ඒ සඳහා දිනයක් හා වේලාවක් වෙන්කර ගත හැක. පහත ලිපිනයට තැපැල් මඟින් හා විද්‍යුත් පණිවුඩ මඟින් ද අදහස් පළ කිරීමට හැකි බව කමිටුවේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්ති සේනානායක මෙනවිය පවසයි.

කමිටුවේ සාමාජිකයන් වන මහාචාර්ය ශාන්ති නන්දන විජේසිංහ, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සුමේධ වීරවර්ධන, නීතිඥ සංජය මාරඹේ සහ පානි වෑවල යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් වූහ.

දුරකථන අංකය - 011 2691775, ලිපිනය - කාමර අංක 3G-19 බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07. විද්‍යුත් තැපෑල .

 

1864 දෙසැම්බර් මස 27 දින කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ප්‍රථම දුම්රිය ගමන සිදු වී අදට වසර 157 කි.

19 වන සියවසේ මැද වන විට බ්‍රිතාන්‍යන් ලංකාව තුළ කෝපි වගාව ආරම්භ කිරීමත් සමඟ වැවිලිකරුවන්ට කෝපි අස්වැන්න වෙනත් ප්‍රදේශ වලට රැගෙන යාමට පහසු සහ වැඩි අස්වැන්නක් ප්‍රවාහනය කළ හැකි ප්‍රවාහන ක්‍රමයක අවශ්‍යතාවය මතු වීම මත මෙරට දුම්රිය මාර්ග පද්ධතියක් බිහිවිය.

ඒ අනුව 1850 වසර පමණ වන විට ලංකාවේ කෝපී වගාකරුවන් විසින් අස්වැන්න ප්‍රවාහනය කිරීමට හොඳ මාර්ග පද්ධතියක අවශ්‍යතාවය එවකට ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයාට දැනුම් දෙන ලදුව ඔහුගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලත් තැන 1855 මෙරට බලයට පත් වූ හෙන්රි වෝර්ඩ් ආණ්ඩුකාරවරයාට එම ඉල්ලීම නැවත සිදු කිරීමෙන් අනතුරුව ඔහු විසින් 1858 වසරේ දී මරදානේ දී ලංකා දුම්රිය මාර්ගයේ ප්‍රථම පස් පිඩැල්ල කපන ලදී.

හෙන්රි වෝර්ඩ් ආණ්ඩුකාරවරයාගේ සිය ධුරකාලය 1860න් අවසන් වුවද, ඉන්පසුව පත් වුණු බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරුන් එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන ලදුව, මෙරට දුම්රිය මාර්ග ඉදිකිරීම් ඇරඹුණ ද ඇස්තමේන්තුගත මුදල, මාර්ග දුෂ්කරතා යනා දී කරුණු හේතුවෙන් විවිධ ගැටළු මතු විය. මේ ආකාරයෙන් කරුණු සිදුවද්දී වෙළෙඳ සමාගම හා ඇතිකර ගත් ගිවිසුමට විරුද්ධව 1860 දී ව්‍යවස්ථාදායක සභාව විසින් යෝජනා සම්මත කර ගනිමින් නව මිල ගණන් කැඳවමින් දැන්වීම් පළකරන ලදි. ශ‍්‍රීමත් චාල්ස් ජස්ටින් මැකාර්නි ආණ්ඩුකාරවරයා විසින් එම ගිවිසුම අවලංගු කරමින් අඩුම ටෙන්ඩරය ඉදිරිපත් කළ ඩබ්. එප්. පේබියල් නමැති පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුට දුම්රිය මාර්ග තැනීම කාර්යය භාර කළේය. එමඟින් රජයට විශාල මුදලක් ද ඉතිරි වී තිබේ.

කෙසේ වුවද, 1864 දෙසැම්බර් මස 27 වන දින කොළඹ කොටුව සිට අඹේපුස්ස දක්වා ප‍්‍රථම දුම්රිය ගමන සිදු වූ අතර මෙම මංගල දුම්රිය ගමනට බෙල්ජියමේ ඔටුන්න හිමි ආදිපාදවරයා ද සහභාගි වී තිබේ. පළමු දුම්රිය ගමන සඳහා දුම්රිය ධාවනය සිදු කර ඇත්තේ ජී. එල්. මෝල්ස්වත් මහතාය. ඔහු මෙරට ප්‍රථම දුම්රිය අධ්‍යක්ෂ ජනරාල්වරයා ද වේ.

කොළඹ-මහනුවර දක්වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු සඳහා වසර කිහිපයක් ගත වී ඇති නමුත් 1867 දී කොළඹ සිට මහනුවර දක්වා දුම්රිය මාර්ගය මහජන ගමනාගමනය සඳහා විවෘත විය.
බ්‍රිතාන්‍යන් මෙරට දුම්රිය මාර්ග ඉදිකිරීමේ සැබෑ අරමුණ මෙරට බෝග ප්‍රවාහනය ඔවුන්ට් අවශ්‍ය ආකාරයෙන් සිදුකරවා ගැනීමට වුවත්, වර්තමානයේ දී දුම්රිය වනාහි මෙරට මඟී ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැවැන්තයා බවට පත් වී තිබේ. එය රැකගැනීම සහ ඉදිරියට නව්‍යකරණයට ලක් කොට ඉදිරියට පවත්වාගෙන යාම මෙරට බලධරයින්ගේ වගකීම වන අතර දුම්රිය ආරක්ෂා කිරීම මඟීන්ගේ යුතුකම ද වන්නේය.

-

පාරිභෝගික ජනතාවට අවශ්‍ය භාණ්ඩ විවිධ දුෂ්කරතා මධ්‍යයේ පවා සැපයීමට ලංකා සතොස ආයතනය පියවර ගනිමින් සිටි. එහි ප්‍රතිඵලයක් වශයෙන් පසුගිය මාසයක කාලයක් පුරා නාඩු සහල් කිලෝවක් රුපියල් 99 යි ශත 50 කට අලෙවි කල බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. උත්සව සමය වන විට සුපිරි සම්බා සහල් කිලෝවක් රුපියල් 130 බැගින් අලෙවි කෙරිණි’ මුල් අවස්ථාවේදි එක් පාරිභෝගිකයෙකුට සම්බා කිලෝ 3 බැගින් ලබාදිමට පියවර ගත් අතර පසුව කිලෝ 5 දක්වා වැඩි කිරිමට තීරණය කෙරිණ’ සතොස මගින් ලබාදුන් සහන මල්ල තුලද සම්බා සහල් කිලෝ 10 ක් අඩංගුවිය. සීනි’ තේ කොළ,සබන්, නුල්ඩ්ස්, හාල් මැස්සන් ඇතුලු සහන මල්ල අලෙවි කරන ලද්දේ රුපියල් 1998 කටය’ සුදු සීනි වෙනුවට සහන මල්ලේ අඩංගු වුයේ රතු සිනි කිලෝ 2 කි. සිනි මිලදි නොගන්නා පාරිභෝගිකයන්ට එම මිලටම සම්බා කිලෝ 2 ක් අද සිට ලබාගත හැකි බව අමාත්‍ය ගුණවර්ධන මහතා කියයි. එමෙන්ම මෙතෙක් එක් පාරිභෝගිකයෙකුට ලබාදුන් සහල් කිලෝ 5 වෙනුවට සහල් කිලෝ 10 බැගින් අද සිට ලබාගත හැකිය. මෙම අවස්ථාව දෙසැම්බර් 31 වැනිදා දක්වා පමණි. පාරිභෝගිකයාට සහන සැලසිම සදහා ලංකා සතොස ආයතනය සාර්ථක උත්සහයක යෙදි සිටින බව ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සදහන් කරයි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter