මෙරට මෑතකාලීන දේශපාලන ඉතිහාසය දෙස අවධානය යොමුකරනවිට 2005 යනු නිසැකවම සන්ධිස්ථානයකි. එම ජනාධිපතිවරණයෙන් එදා මහින්ද රාජපක්ෂ මහතා බලයට පත් නොවන්නට අද අපට ඒකීය රාජ්‍යයක නිදහසේ හුස්ම ගන්නට නොහැකි බව ඒ වනවිටත් නිර්මාණයවී තිබූ තත්ත්වය විසින්ම පැහැදිලි කර දේ. එය එසේ නොවිණිනම් බෙදුම්වාදී යුද්ධය හේතුවෙන් තවත් ජීවිත දස දහස් ගණනක් විනාශ වී මේ රට බෙදුනු දේශයක් වන්නට බොහෝ ඉඩ තිබිණි. මහින්ද මහතා බලයට රැගෙන ආ ජනතාව එක හඬින් ඔහුගෙන් ඉල්ලා සිටියේද එක සිතින් ප්‍රාර්ථනා කළේද ත්‍රස්තවාදී මර බියෙන් තොර රටකි. එකී අපේක්ෂාව, ප්‍රාර්ථනාව ඉහළින්ම සපුරාලීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකිවිය.
ළාබාලම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස වාර්තාවක් ද තබමින් 1970 දී සිය සක්‍රීය දේශපාලන ජීවිතය අරඹන මහින්ද රාජපක්ෂ මහතා, ඉතාමත් ඉවසිලිවන්ත මෙන්ම විචිත්‍රවත් ඒ සමඟ අභියෝගාත්මක දේශපාලන ගමනක යෙදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස, ඇමැතිවරයෙක්, විපක්ෂ නායක, අගමැති ආදී සෑම භූමිකාවක්ම පසුකර රාජ්‍ය නායකත්වයට පත්වූයේ පරිණත දේශපාලනඥයෙක් වශයෙනි. 2005 දී ඔහු බලයට පත්වීම වැලැක්වීමට කළ හැකි සියල්ල කළ බලවේග කීවේ ඔහුට රාජ්‍යතාන්ත්‍රික දැනුමක් නොමැති බවයි. ඔක්ස්ෆර්ඩ්, සෝබෝන් උපාධිධාරියකු නොවූ ඔහු උසස් අධ්‍යාපනය ලැබුවේද මෙරටදී වන අතර, ඉංගිරිසි දැනුමද ඇතැම් විචාරකයන්ගේ ප්‍රශ්න කිරීමට ලක්විය. බොහෝවිට මේ සියලු දෙනා සිතාමතා අමතක කළ හෝ ඔවුන්ට මඟහැරුණු කාරණය නම් ඔහුගේ දේශපාලන ජීවිතයේ මුල් උපතටත් පෙර අතීතයට දිගුවී තිබූ බවය. ඒ වනවිටත් ඔහු පරිණත දේශපාලනඥයෙක්ව සිටි බවය.
2005 වන විට ‘අන්තර්ජාතික ප්‍රජාව’ ලෙස තමන් හඳුන්වාගත් බලවත් රටවල් අතළොස්සක් මෙරට අභ්‍යන්තර ගැටලුවට තීරණාත්මක ලෙස මැදිහත්වෙමින් සිටි අයුරු නොරහසකි. රාජ්‍ය නොවන සංවිධාන ද ඔවුන්ගේ වුවමනාකම් වෙනුවෙන් මෙහෙයවමින් තිබූ අතර හමුදා ප්‍රධානියෙක් පත් කිරීම පවා එම බලපෑම්වලට යටනොවෙමින් කළ නොහැකි තත්ත්වයක් තිබිණි. අවි බලය අතින් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ලද සහයෝගය ද, ආධාර, අනුබල ද සමඟ එල්.ටී.ටී.ඊ. යට යම් පිළිගැනීමක් ද ලැබී තිබිණි. ඒ වන විට ශ්‍රී ලංකාව සිටියේ දශක දෙකහමාරක කාලයක් තිස්සේ ඇදෙමින් ගිය බෙදුම්වාදී, ත්‍රස්තවාදී යුද්ධයකින් බලවත් සේ පීඩාවට පත්වය. රටේ ඉදිරි ගමන දශක ගණනාවකින් ආපස්සට හැරවී තිබූ අතර, අනාගතය අවිනිශ්චිත විය. මහින්ද රාජපක්ෂ මහතා හමුවේ තිබුණේ විකල්ප දෙකකි. පළමුවැන්න, එල්. ටී. ටී. ඊ. බෙදුම්වාදීන්ගේ වුවමනාවට ඉඩදෙමින් නිහඬවීමය. දෙවැන්න, එල්.ටී.ටී.ඊ. බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මිලිටරිමය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමය. සාම වෙළෙන්දන් මෙන්ම “අන්තර්ජාතික ප්‍රජාවගේ” ද වුවමනාව වූයේ ඔහු පළමු විකල්පය තෝරාගනු දැකීමය. එසේ වුවද, ඉතාමත් නිවැරදිව ඔහු තෝරාගත්තේ වඩාත් අසීරු දෙවැනි විකල්පයයි.
මහින්ද මහතා බලයට පත්වන විට ඔහුට එරෙහිව සිටි දෙස් - විදෙස් බලවේග හඬනඟන්නට වූයේ ඔහු ‘යුදවාදියෙක්’ බව කියමිනි. එසේ වුවද, බලයට පත්වූ විගස සිය පූර්වගාමීන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද ජාතික ප්‍රශ්නය යනුවෙන් හඳුනාගත් ගැටලුව විසැඳීම සඳහා පළමුව තෝරාගත්තේ සාකච්ඡාමය මාවතයි. එහිදී ඔහු සෙසු නායකයන්ට වඩා වෙනස්වූයේ එල්.ටී.ටී.ඊ. යේ ක්‍රියාකලාපය පිළිබඳ අවබෝධයකින්ම යුතුව ඊට ප්‍රවේශ වූ බැවිනි. සාම කාක්කන් කැපූ බොරු වළවල්වල ඔහු වැටුණේ නැත. එල්. ටී. ටී.ඊ. ය ලෝකය හමුවේ සිය සුපුරුදු පිළිවෙත ප්‍රදර්ශනය කරමින් මාවිල්ආරු සොරොව්ව වසා දමා අහිංසක මිනිසුන්ට ජල අයිතිය ද අහිමිකළ විට, එල්.ටී.ටී.ඊ. යට සුපුරුදු බසින් ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු තීරණය කළේය. ඒ වන විට මරාගෙන මැරෙන බෝම්බවලට රණවිරුවන් මෙන්ම සාමාන්‍ය ජනයාද ගොදුරුවෙමින් තිබිණි. කැබිතිගොල්ලෑවේ ඛේදවාචකය හමුවේ එහි ගිය ජනාධිපතිවරයා මේ විනාශයට තිත තබන්නට අදිටන් කර ඇති සෙයක් පෙනිණි. ත්‍රස්තවාදීන්ගෙන් පළමුව නිදහස් කර ගත්තේ නැඟෙනහිරය. වන්නි මානුෂීය මෙහෙයුම පෙරට ඇදුණේ එල්.ටී.ටී.ඊ. යට සිය බළකොටු එකින් එක අහිමි කරමිනි. ඊළාම් දේශයේ සිහින අගනුවර වූ කිලිනොච්චිය ද හමුදාව අතට පත්විය. යුද්ධයේ තීරණාත්මක අවදිය වනවිට ජාත්‍යන්තර බලපෑම් ද උත්සන්න විය. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ අමාත්‍ය බර්නාඩ් කුෂ්නර් මෙරටටම පැමිණියහ. අවසන් මොහොතේ හෝ මානුෂීය මෙහෙයුම නතර කර ගැනීම ඔවුන්ගේ අභිප්‍රාය වූ බව පැහැදිළි කාරණයකි.
විදෙස් බලවතුන්ගෙන් එල්ලවූ පීඩනය රාජ්‍ය නායකයා ලෙස දරාගනිමින් සේනාධිනායකයා ලෙස ඔහු යුද්ධයට අණ දුන්නේය. ඒ පීඩනය යුද බිමේ සටන්කරමින් සිටි සෙබළාගේ හිස මතට මුදාහැරියේ නැත. සෙබළාගේ චිත්ත ධෛර්යය බිඳවැටීමට ඉඩහැරියේ ද නැත. “අපි වෙනුවෙන් අපි” වැනි ක්‍රියාන්විතයන් මඟින් රණවිරු චිත්ත ධෛර්යය මෙන්ම අභිමානය ඔසොවා තැබීම මෙන්ම ත්‍රස්තවාදය පරාජය කිරීමේ මෙහෙයුම වෙනුවෙන් ජන මනස ඒකාග්‍ර කිරීම සහ ජන බලය පෙළගැස්වීම ද සිදුවිය. සේනාධිනායකයාගේ නියෝගය ක්‍රියාත්මක කරමින් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නායකත්වය යටතේ එම රණවිරුවෝද පොලිසිය හා සිවිල් ආරක්ෂක බළකායන්වල රණවිරුවෝ ද ජීවිත පරිත්‍යාගයෙන් යුතුව රටට සාමය දිනාදීමට කැපවූහ. තිස් අවුරුද්දක් තිස්සේ ඇදෙමින් ගිය යුද්ධයත් මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්වී වසර තුනහමාරකින් අවසන් කෙරුණේ, මවුබිමට විජයග්‍රහණය අත්කර දෙමිනි. මේ රටේ සියලු ජනකොටස්වලට සාමයෙන්, සමගියෙන් යුතුව ජීවත්වීමට හැකි මරබියෙන් තොර පරිසරයක් ගොඩනැඟුණේ එතැන්සිටය.
ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණය ලොවට ආදර්ශයක් මෙන්ම පාඩමක් ද විය. එය බොහෝ රටවල ඇගයීමට ලක්වූ කාරණයක්ද විය. මෙම ජයග්‍රහණයට හේතුවූ එක් තීරණාත්මක සාධකයක් නම් ඉන්දීය සාධකය සහ අනෙකුත් ජාත්‍යන්තර සාධක නිවැරදිව හා උපායමාර්ගිකව කළමනාකරණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත්වීමය. මේ කාරණය පමණක්ම වුවද 2005 දී ඔහු බලයට පත්වනවිට රාජ්‍යතාන්ත්‍රික දැනුමක් නොමැති බවට ගොඩනැඟූ ප්‍රවාදයට පිළිතුරු ලෙස ප්‍රමාණවත් වනු ඇත. එකී යුද ජයග්‍රහණය ලැබුවේ අමෙරිකාව යුරෝපා සංගමය වැනි රටවල් ශ්‍රී ලංකාවට යුද ආධාර ලබාදීමෙන් වැළැකී සිටි, ඉන්දියාව පවා ප්‍රහාරාත්මක අවි ලබා නොදුන් පසුබිමකය. එහිදී අපට ශක්තියක් වූයේ, චීනය, රුසියාව, පාකිස්තානය වැනි සමීප මිතුරු රටවල්ය. යුද්ධය නිමා කිරීමේදී ඉතිහාසයේ අන් අවස්ථාවලට වඩා වෙනස්ව ඉන්දියාව සමඟ අන්‍යෝන්‍ය අවබෝධයකින් කටයුතු කළ හැකි විය. මේ සෑම තත්ත්වයක්ම නිවැරදිව කළමනාකරණය කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකිවීම මෙන්ම ආරක්ෂක ලේකම්වරයා තුළ තිබූ උපායමාර්ගික ඥානය ද යුද ජයග්‍රහණයේ තීරණාත්මක සාධකය.
ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා හමුදාමය ක්‍රියාදාමය ඉදිරියට ගෙනයන බව ලෝකය හමුවේ කියන්නට තරම් ප්‍රබල පෞරුෂයක් ජනාධිපතිවරයාට තිබිණි. 2009 මැයි 19 වැනිදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තීරණාත්මක ලෙස පරාජය කරමින් ලැබූ ජයග්‍රහණයත් සමඟම එය නොරිසි වූ එය හමුවේ කෝපයට පත්වූ, පෙර කී ‘අන්තර්ජාතික ප්‍රජාව’ ජනාධිපතිවරයාට, ආරක්ෂක ලේකම්වරයාට සහ රණවිරුවන්ට යුද අපරාධ චෝදනා නඟන්නට විය. ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අභූත, අසත්‍ය චෝදනා නඟමින් සත්‍ය විකෘති කරමින් ශ්‍රී ලංකාවට දඬුවම් කිරීමට ප්‍රයත්න දැරීය. යුද්ධය නිමවී 12 වසරක් ගෙවී ඇතත් අදටද ඔවුන් එම ප්‍රයත්නය අත්හැර දමා නැත. යුද්ධයක් නිමාකර සියලු මිනිසුන්ගේ ජීවිත අයිතිය සුරැකීම, මානව හිමිකම් චෝදනා ලබන්නට තරම් වරදක් වී තිබේ. ඕනෑම යුද්ධයකදී මානව හිමිකම් උල්ලංඝනය විය හැකිය. එහෙත් සිතාමතාම කළ සමූල ඝාතන, සිවිල් වැසියන් ඉලක්ක කර පහර දීම ශ්‍රී ලංකා හමුදාව අතින් සිදුවූ බවක් කිව නොහැකිය. එදා නන්දිකඩාල් කලපුවේදී දියත්වූ ප්‍රාණඇපකරුවන් බවට පත්ව සිටි දෙමළ වැසියන් දස දහස් සංඛ්‍යාත පිරිසක් නිදහස් කරගැනීමේ මානුෂීය මෙහෙයුම ලෝක යුද ඉතිහාසයට පවා එක්වන්නකි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මුහුණ දුන්නේ රට තුළ ත්‍රස්තවාදී බෙදුම්වාදී අභියෝගයට පමණක් නොවේ. ගෝලීය අර්බුද වශයෙන් ප්‍රකාශයට පත්වූ ලෝක මූල්‍ය හා ආර්ථික අර්බුදය, ලෝක ආහාර අර්බුදය, ලෝක බලශක්ති අර්බුදය වැනි අසීරු හා සංකීර්ණ අර්බුද හමුවේ විචක්ෂණශීලී ලෙස කළමනාකරණය කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට හැකිවිය.
ලෝක ආර්ථික අර්බුදය හමුවේ රටවල ආර්ථිකයන් කඩාවැටෙද්දී, දෙදරා යද්දි මෙරට ආර්ථිකය ද රැකගනිමින් සංවර්ධනය කරා රට මෙහෙයවීමට ඔහු සමත්විය. ත්‍රස්තවාදය නිමාකර වේගයෙන් පෙරට ඇදෙමින් තිබූ රට යළි ප්‍රපාතයට තල්ලු කිරීමේ කුමන්ත්‍රණකාරී වෑයම 2010 ජනාධිපතිවරණයේදී දිගහැරිණි. 2005 දී මහින්ද රාජපක්ෂ යුදවාදියෙක් බව කී ඔහුට ඒකාධිපතියෙක් යැයි චෝදනා කළ දෙස්, විදෙස් බලවේගම මෙවර හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, මහින්දගේ ප්‍රතිවාදියා ලෙස ජනාධිපතිවරණ සටන් බිමට රැගෙන ආවේය. රටේ ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කළ බැවින් එම කුමන්ත්‍රණකාරී ප්‍රයත්නය ද පරාජය කළ හැකිවූ අතර, මහින්ද මහතා දෙවැනි වරට ජනාධිපති ධුරයට පත්වූයේ 58% කට ආසන්න ජනවරමකිනි. 2010 – 2014 වකවානුවේදී තිස් අවුරුද්දක් පිටුපසට ගිය සංවර්ධනය වේගවත්ව පෙරට ගැනිණි. පහළ මැදි ආදායම් ලාභී රටක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ආවේ. ජනතාවගේ ආර්ථික හා ජීවන තත්ත්වය ද ඉහළට ඔසොවමිනි.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලය ඇරැඹී තෙවසරක් ගතවන විට 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්විණි. සාමාජික රටවල් 53 රාජ්‍ය නායකයන්ට හා එම දූත පිරිස්වලට සත්කාරකත්වය ලබාදෙමින් එවර සභාපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා එම අභියෝගාත්මක භූමිකාව සාර්ථකව ඉටුකළේය. සමුළුව මෙරට දී පැවැත්වීම කඩාකප්පල් කිරීමේ ප්‍රයත්න දියත්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි. රාජ්‍ය තාන්ත්‍රික හා උපායමාර්ගික දක්ෂතා හේතුවෙන් එම ප්‍රයත්න බිඳ වැටිණි.
මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා - පලස්තීන මිත්‍ර සංගමය ගොඩනැඟුවේ 1975 දී, තරුණ මන්ත්‍රීවරයෙක්ව සිටියදීය. තිස් අවුරුද්දකට වැඩි කාලයක් පලස්තීනයට ලබාදුන් සහාය අගය කරමින් හා ඊට ගරු කරමින් පලස්තීනය සිය ඉහළම සම්මානය වන “පලස්තීන තරුව” මහින්ද රාජපක්ෂ මහතාට පුද කළේ 2014 වසරේදීය. ඊට පෙර 2008 වසරේදී රමල්ලා නගරයේ බෙටුනියාහි මාවතක් “මහින්ද රාජපක්ෂ මාවත” යනුවෙන් නම් කරමින් ද පලස්තීනය එතුමන්ට ප්‍රතිචාර දැක්වීය. ජිනීවාහිදී ශ්‍රී ලංකාවට එල්ලවූ අභූත චෝදනා හමුවේ මෙරට අවංක මිතුරන් වන රටවල් අප වෙනුවෙන් පෙනී සිටියහ. ශ්‍රී ලංකාව අනුගමනය කරන නොබැඳි මධ්‍යස්ථ විදෙස් පිළිවෙත ඊට බලපෑ ප්‍රධාන කාරණයකි. ඇතැම් පාලනතන්ත්‍ර යටතේ එය වෙනසට ලක්විය.
2005 මෙන්ම 2010 දී පරාජය කළ බලවේග 2015 දී ජයගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රටට හිතැති කඳවුර එම ජනාධිපතිවරණයෙන් පරාජය කරමිනි. එකී බලවේග එවර ‘පොදු අපේක්ෂක’ ජවනිකාවක් දියත් කළ අතර, ‘යහපාලනයක්’ ගැන සිහිනය රට හමුවේ තැබීය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය කිරීම සඳහා දියත්වූයේ ඇමෙරිකාව ප්‍රමුඛ බලවත් රටවල ‘රෙජිම් චේන්ජ්’ වැඩපිළිවෙළයි. ඊට ඔවුන් මුදල් යොදවා ඇති ආකාරය එම මූලාශ්‍රවලින්ම පසුව අනාවරණය විය. එවක අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වැනි අය ශ්‍රී ලංකාවේ 2015 වෙනස කළ හැටි කතාකර තිබේ. ‘වෙනසත්’ සමඟ රට ප්‍රපාතයටම ගමන් කළේය. යුද්ධය නිමාවී දශකයක් මරබියෙන් තොරව ජීවත්වූ රටක පාස්කු ඉරිදා මිලේච්ඡ අන්තවාදී ත්‍රස්තවාදී ප්‍රහාරය සිදුවිය. රට යළි අඳුරු, අස්ථාවර යුගයකට ගමන් කරමින් තිබිණි
‘වෙනස’ වෙනස් කළ යුතු බව රටේ ජනතාවට අවබෝධ වී තිබුණේ වෙනස කර මසක්, දෙකක් ගතවනවිටමය. එලෙස ගොඩනැඟුණු ජනබලය 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා රැගෙන ඒමට සමත්විය. එය වැළැක්වීම සඳහා ද පෙර කී බලවේග නොගත් වෑයමක් නැත. ද්විත්ව පුරවැසිභාවයක් ගැන කතා හා චෝදනා ද මඩ අවලාද හා අසත්‍ය ප්‍රචාර ද, පළිගැනීම් ද කෙළවරක් නැතිවිය. ඒ සියල්ල ව්‍යර්ථ වන බව පෙනෙන විට 2005 දී මහින්ද රාජපක්ෂ මහතාට කී අයුරින්ම ගෝඨාභය යුදවාදියෙක් බව කීවේය. ඒකාධිපතියකු බිහිවනු ඇතැයි මත වැපිරූහ. රටට සතුරු විදෙස් බලවේග යුද අපරාධකරුවකු යැයි කියමින් රට ලබන ඊළඟ ජයග්‍රහණය වැලැක්වීමට නොගත් වෑයමක් නැත. එසේ වුවද, එවරද රටට සතුරු බලවේග පරාජය කිරීමට මේ රටේ බහුතර මිනිසුන්ට හැකියාව ලැබිණි. මැතිවරණ ඉතිහාසයේ වාර්තාගත ජයක් 69 ලක්ෂයක ජනවරමක් ලබමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වූයේ දෙවසරකට පෙරදීය.
දස වසරකට පෙර ඔහු ත්‍රස්තවාදය පරාජය කිරීමේ අභියෝගයට මුහුණ දුන්නේ සිය සොහොයුරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේය. තමන් වෙත පැවැරුණු කාර්යභාරය බිඳකුදු නොපිරිහෙළා ඉටුකිරීමට එදා ඔහු සමත්විය. මෙදා ඔහු රට තුළ පමණක් නොව ගෝලීය වශයෙන් බලපවත්නා වසංගත අභියෝගයකට මුහුණ දෙන්නේ රාජ්‍ය නායකයා වශයෙනි.
කොවිඩ් - 19 වසංගතය වාර්තා වන විට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත්වී දෙමසක් ගතවූවා පමණි. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයා හමුවේ මහා අභියෝග තබමින් රටවැසියා අපේක්ෂා කළේ ත්‍රස්තවාදයෙන් නිදහස් රටකි. අද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ රටවැසියන් අපේක්ෂා කරන්නේ දරුණු ගෝලීය වසංගතයකින් මෙන්ම ජාතික ව්‍යසනයකින් නිදහස් වූ රටකි. එය තනිකරම රට තුළ තත්ත්ව පාලනය කරමින් කළ නොහැක්කක් වීම අභියෝගාත්මකය. එසේ වුවද කළ නොහැක්කක් නොමැත යන්න සිත්හි දරාගනිමින් ඔවුහු මේ අභියෝගයට ද මුහුණ දී සිටිති. වසංගතය පාලනය කිරීමේදී ගත හැකි හොඳම මඟ ලෙස පෙනෙන එන්නත්කරණ ඉලක්ක සපුරාගැනීමේදී ශ්‍රී ලංකාව සිටින්නේ ඉතා ඉදිරියෙනි. ලෝක සෞඛ්‍ය සංවිධානය අපේක්ෂා කළ කාලයටත් පෙර ශ්‍රී ලංකාව එම ඉලක්ක සපුරා ඇත්තේ ජනගහනයෙන් 60% ඉක්මවා එන්නත්කරණය සම්පූර්ණ කරමිනි.
වසංගතය පරාජය කිරීම වෙනුවට රට පරාජය කිරීම විපක්ෂයේ සහ රටට සතුරු බලවේගවල වුවමනාව බව සුපැහැදිලිය. එම සැබෑ වුවමනාව සඟවමින් සිය න්‍යාය පත්‍රය දිගහැරිය ද එකී බලවේගවල අතීත හැසිරීම කියවා ගන්නා විට එම ප්‍රයත්නය බිඳවැටේ. වසංගතයට එරෙහිව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිටීමට ජනතාව පෙළගැස්වීම වෙනුවට ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව සිය අනුගාමිකයන් පෙළගැස්වීමට එම බලවේගවලට වුවමනාවී තිබේ. පක්ෂ - විපක්ෂ මෙන්ම රටවැසි සැවොම එකාවන්ව වසංගතය පරාජය කිරීමට පෙළගැසිය යුතු වුවද දේශපාලන උන්මත්තකභාවය, වෛරය, ද්වේෂය, ක්‍රෝධය විසින් පොදුජන අභිලාෂ දෙවැනිතැනට ඇද දැමීමට දරන ප්‍රයත්නය පැහැදිළිය.
වසංගතයේ පළමුවටය අතිශය සාර්ථකව පාලනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ රජයටත් මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශවලටත් හැකිවිය. එම දෙවැනි, තෙවැනි වට වඩාත් අභියෝගාත්මක වුවද ඒවාද පාලනය කිරීමට හැකිවූ බව මධ්‍යස්ථව කල්පනාකරන ඕනෑම අයෙකුට පෙනෙනු ඇත. එන්නත්කරණ ඉලක්ක ජය ගැනීමේදී චීනය, රුසියාව, ඉන්දියාව, අමෙරිකාව ආදී රටවලින් එම එන්නත් ලබාගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද මගපෙන්වීම හා සහාය මත ක්‍රියාකරමින් මනා රාජ්‍යතාන්ත්‍රික භාවයකින් කටයුතු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්ව සිටී.
මේ අතරවාරයේම ජිනීවා අභියෝගයට ද මුහුණදීමට ඔහුට සිදුවිය. සැබෑ චිත්‍රය ලෝකය හමුවේ පෙන්වීමට වෑයම් කරන අතරම සෞභාග්‍යයේ දැක්ම සිය ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ වත්මන් රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් කිරීමට ජනාධිපතිවරයා ද, අගමැතිවරයා ද කැපවී සිටී. මේ වන විට රට හමුවේ ඇති කොවිඩ් අභියෝගය පමණක් නොව ගෝලීය වශයෙන් දැනෙමින් ආර්ථික අභියෝගය ඇතුළු සෙසු අභියෝග ද සාර්ථකව කළමනාකරණය කිරීමට මෙකී සුසංයෝගය සමත් වනු ඇති බව නිසැකය. අසත්‍ය ප්‍රචාර, මඩගැසීම්, අවලාද, වෛරීසහගත ප්‍රයත්න වැනි සියල්ල හමුවේ වුවද, එදා ත්‍රස්තවාදය පරාජය කළ වත්මන් නායකයෝ රට පෙරට ගෙනයනු ඇත. රටට සුබ අනාගතයක් උදාකරනු ඇත. සෞභාග්‍යවත් දේශයක් නිර්මාණය කරනු ඇත. ඒ ගමනේදී රටට ආදරය කරන මිනිසුන් හෙට සිටිනු ඇත්තේ ද එකී නායකත්වය සමඟය.