නවතම පුවත්

වර්ෂාවෙන් හානියට පත් කුඹුරු නැවත වගා කිරීම සඳහා අවශ්‍ය බිත්තර වී හා කාබනික පොහොර සැපයීමට රජය තීරණය කර තිබෙ. ඒ සඳහා ඇස්තමේන්තු සකස්කර ඉදිරිපත් කරන්නැයි ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඊයේ උපදෙස් දුන්නේය. හානි තක්සේරු කර සහන සපයන්නැයි කෘෂි රක්ෂණ මණ්ඩලයට හා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවටද ඇමතිවරයා උපදෙස් දී ඇත. මහකන්නයේ වගා හානිය කුඹුරු හෙක්ටයාර 30 ස් දහස නොඉක්මවන බව දිවයින පුරා ගොවිජන සංවර්ධන නිලධාරීන් සමග සූම් තාක්ෂණය ඔස්සේ ඇමතිවරයා ඊයේ පැවැත්වු සාකච්ඡාවක දී අනාවරණ විය. ඇතැම් දිස්ත්‍රික්කවල තවමත් වැසි පවතින බැවින් හානිය නිසි ලෙස තක්සේරු කළ නොහැකි බව ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරීහු ඇමතිවරයාට දැනුම් දුන්හ.හානියට පත් කුඹුරු ඉඩම්වලට රජයෙන් බිත්තර වී හා කාබනික පොහොර නොමිලේ සපයන්නේ නම් නැවත ඒවා වගා කළ හැකි බව එම නිලධාරීහු පෙන්වා දුන්හ

ලක්හඬ ගුවන්විදුලි නාලිකාවේ ආරම්භය සිදු වූයේ 1996 වසරේ නොවැම්බර් මස 15 වැනිදාය. ඒ, නිව්ටන් ගුණරත්නයන්ගේ මූලිකත්වයෙනි. එවකට පැවැති චන්ද්‍රිකා කුමාරතුංග රජයට අවශ්‍ය වූයේ පුද්ගලික නාලිකා සමඟ තරග කළ හැකි ජනතාවට සමීප රාජ්‍ය ගුවන් විදුලි මාධ්‍යයක් ඇරැඹීමටය. මේ අවශ්‍යතාව මුල්කර ගනිමින් එදා උපත ලැබූ ලක්හඬ ගුවන්විදුලි සේවයට අදට වසර 25කි.

ලක්හඬ ආරම්භයේදී ගුවන්විදුලි සංස්ථාවේ නමක් දිනා සිටි කීර්තිමත් සහ දක්ෂ පිරිසක් එයට සම්බන්ධ විය. එය මේ ගමන තව තවත් ශක්තිමත් කරන්නට හේතුවක් විය. එමෙන්ම ඈත ගම්දනව්වල සිට පැමිණි උපාධි අපේක්ෂක නවක නිවේදක නිවේදිකාවන් පිරිසකටද ඉඩ හසර වෙන් විය. එවකට ගුවන්විදුලි මාධ්‍යයේ දැවැන්ත චරිත ලෙස නැඟී සිටි අතිදක්ෂ පිරිසකගේ මඟ පෙන්වීම සහ පුහුණුව ගුවන් විදුලි සන්නිවේදනයේ නව මුද්රාවක් තැබීමට ලක්හඬ සමත් විය. එලෙස ආ ගමන් මග එක් සන්ධිස්ථානයකදී ලක්හඬ ගුවන්විදුලිය, ස්වාධීන රූපවාහිනී සේවයට සම්බන්ධ වූයේ තව තවත් ශක්තිමත් වෙමිනි.

ඉතාමත් ශක්තිමත් සම්ප්‍රේෂණ පද්ධතියක් ලක්හඬට හිමි ය. එය ද එක්තරා අතෙකින් මෙම විකාශය වැඩි වැඩියෙන් ජනතාව අතරට යෑමට හේතුවක් විය. තවත් අතෙකින් එකී ජනතා ආකර්ෂණයට හේතුවී ඇත්තේ හුදු ව්‍යාපාරික අරමුණු අභිබවා, පුරා වසර 25ක් මුළුල්ලේ ශ්‍රවකයාට හොඳම දේ දීමට ලක්හඬ ගත් අනවරත වෑයමයි.

ලක්හඬෙහි සහෝදර දමිළ නාලිකාව වන්නේ වසන්තම් එෆ් එම් ය. මෙකී නාලිකා ද්විත්වය ඒකාබද්ධ ගමනක් යන වග ලක්හඬ සහ වසන්තම් එෆ්.එම්. නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කපිල තිලකසිරි අප හමුවේ කියා සිටියේ මහත් අභිමානයෙනි.

“ස්වාධීන රූපවාහිනිය, වසන්තම් ටීවී, ලක්හඬ, වසන්තම් එෆ්.එම්. නාලිකාවලින් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද ප්‍රේක්ෂක, ශ්‍රාවක ජනතාවට අපත් සමඟ එක්වෙන්න කියලා මා කියන්නේ බොහොම සතුටින්. අප ඉන්නේ සෑම කෙනෙකුටම ගැලපෙන අන්දමේ ගුවන් විදුලියක් ඉදිරිපත් කරනවා කියන තැන. මේ ගමන අපට ආවේණික ශෛලියක් සහ වෙනසක් සමඟයි ඉදිරියට යෑම අපේ අරමුණයි.”

රූපවාහිනියට සහ ගුවන්විදුලියටත් වඩා වැඩියෙන් නූතන පරපුර ඇලී ගැලී සිටිනුයේ සමාජ මාධ්‍යය සමඟිනි. මේ ඔස්සේ රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකාවලට යම් බලපෑමක් සිදුව ඇතැයි කීමේ වරදක් නැත. එහෙත් එයින් ජනතාව අතරට යාමේ ලක්හඬ උත්සාහයට බාධාවක් වූයේ නැත. නූතන පරපුර වෙනුවෙන් ඔවුන්ගේ රුචි අරුචිකම් හඳුනා ගනිමින්, සමාජ මාධ්‍ය ඔස්සේ ද සිය පණිවුඩය සහ වැඩසටහන් වෙනස් ආරයකින් ජනතාව අතරට ගෙන යෑමේ අභියෝගය ද ඔවුන් ජය ගෙන ඇත.

 

වෙනත් වසරවලදී ලක්හඬ සංවත්සර සැමරුම වෙනුවෙන් නොයෙක වැඩසටහන් සංවිධානය වුව ද මෙවර රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය යටතේ සංවත්සර සමැරුම යම් සීමාවක සිට දියත් කිරීමට ලක්හඬ සැරසෙමින් සිටී. එහිදී ස්වාධීන රූපවාහිනී නාලිකාවෙන් ලැබෙන්නේ විශාල ශක්තියක් බව ලක්හඬ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කපිල තිලකසිරි කියා සිටී.

“සුදත් රෝහණ සභාපතිතුමා, ප්‍රධාන විධායක නිලධාරී ලලිත් කුමාර නිශ්ශංක, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි ඇතුළු පිරිස අපට විශේෂයෙන්ම අවසරයක් දී තිබෙනවා ස්වාධීන රූපවාහිනිය, ලක්හඬ සංවත්සර සැමරුම් කටයුතු වෙනුවෙන් භාවිත කිරීමට. ඒ අනුව නොවැම්බර් 15 වැනිදා උදෑසන 9.30 සිට 11.30 ස්වාධීන රූපවාහිනී නාලිකාව ඔස්සේ ලක්හඬ සංවත්සර සැමරුම නිමිති කර ගනිමින් සජීවී වැඩ සටහනක් විකාශය වනවා. ඊට අමතරව 25 වැනි සංවත්සරය නිමිති කරගනිමින් මෙම මස ඇතුළත ‘Color Of Love’ නමින් සංගීතමය වැඩසටහනක් සංවිධානය කෙරෙනවා. ඒ සඳහා සහභාගි වන්නෙ අමරසිරි පීරිස්, වේරලියද්ද, නිරෝෂා විරාජිනී, අතුල අධිකාරී ඇතුළු කලාකරුවන් පිරිසක්. මේ දිනවල එහි ප්‍රචාරක කටයුතු සිදු කෙරෙනවා. ස්වාධීන රූපවාහිනී නාලිකාව සමග එක්ව ගෙන එන මේ වැඩසටහන සංගීත ලෝලීන්ට නවමු අත්දැකීමක් වනු ඇති බවයි අප අපේක්ෂා කරන්නේ. මින් පෙර අප විසින් වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, රෝහණ වීරසිංහ යන කලාකරුවන් සමගින් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වූ ‘සඳ රෑ සුවිසර’ ප්‍රසංගයත් මෙරට රසික ජනතාව අතර විශාල ආකර්ෂණයක් දිනාගත් වැඩසටහනක්. ‘Color Of Love’ වැඩසටහනත් ඒ තරමට ම ප්‍රේක්ෂකයන්ට සමීප වේවි. දැනට අප මේ වැඩසටහන ස්වාධීන රූපවාහිනියත් සමග මෙසේ සංවිධානය කරන්නේ ඉදිරියේදි රට යථාතත්ත්වයට පත්වූ පසු ප්‍රසංග මාලාවක් ලෙසින් දිගහැරීමේ අදහසින්.”

ලක්හඬ සංවත්සර සැමරුම් වැඩසටහන්වල පොදු ලක්ෂණයක් වන්නේ ඒ සෑම සංවත්සර සැමරුමක් තුළදී ම රටේ ජනතාවගේ ගැටලුවකට විසඳුමක් පිහිටක් ලබාදීමට කටයුතු කිරීම ය. එකී යහපත් ලක්ෂණය අනුව යමින් ඉටු කළ කොළඹ මහා රෝහලේ ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයට දැඩි සත්කාර උපකරණ ද සහිතව නව වාට්ටුවක් දීම, ස්වභාවික විපත්වලදී පීඩාවට පත් ජනතාවට සහන සැලසීම, මායිම් ගම්මානවල ජනතාවට ආධාරඋපකාර කිරීම, පුස්තකාල සේවා පහසුකම් දීම වැනි බොහෝ දේ ලක්හඬ සංවත්සර සැමරුම්වලදී කැපී පෙනිණි. මෙවර ද ඔවුන් එම සමාජ මෙහෙවර අමතක කළේ නැත.

ලක්හඬ මෙවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සමඟ එක්ව කොවිඩ් ආරක්ෂණ ක්‍රමවේද පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීමේ විශේෂ වැඩසටහනක් අරඹා ඇත. ඊට අමතරව රතුකුරුස සමාජයේ සහාය ඇතිව කොළඹ දිස්ත්‍රික්කයේ නොදියුණු පාසල් 25ක් තෝරා ගෙන කොවිඩ් ආරක්ෂණ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබීම ද විශේෂයෙන් අගය කළ යුතු ය. ලක්හඬ 25 වැනි සංවත්සරයට ඔවුන් ආදර්ශමත්ව සමරන්නේ එලෙසිනි.

රථයක නැගී යන දිගු ගමනක් අතරතුර මෙන්ම නිවසේ වැඩරාජකාරී අතරේදීත්, කඩපිළේදීත්, හේනේ පැළේදීත් ගුවන්විදුලිය යනු ජනතාවට ඉතා සමීප ව සිටින මාධ්‍යයකි. එබැවින් එකී මාධ්‍යය ඔස්සේ දිගහැරෙන නිර්මාණ සහ වැඩසටහන් ඔස්සේ දැනුම, අවබෝධය, රසවින්දනය දීම සේම මිනිසුන් අතර සැබෑ මානවීය ගුණ වගා කිරීම ද ගුවන්විදුලි නාලිකාවකින් ඉටු විය යුතු ප්‍රධාන වගකීමකි. සිය නිර්මාණ ඔස්සේ, එකිනෙකා දෙස දයාවෙන් කරුණාවෙන් බලන මිනිසුන් නිර්මාණය කිරීමේ ඉලක්කයක් ඇතිව කටයුතු කිරීමත්, කිසිවිටකත් එකී අරමුණෙන් බැහැර නොවීමත්, ලක්හඬ වටා මෙරට අති විශාල ග්‍රාහක පිරිසක් එක්රොක්ව සිටීමට බලපාන පුමුඛ හේතුවක් වග මේ අවස්ථාවේදී සඳහන් කළ යුතු ම ය.

ශ්‍රී ලංකාව කලාත්මක නිර්මාණ බිහි කිරීම අතින් සාඩම්බර මෙන්ම අනභිභවනීය ඉතිහාසයකට උරුමකම් කියන රටකි. ඒ අතීත උරුමය සාම්ප්‍රදායික ගෘහ කර්මාන්ත වශයෙන් දියුණුව කරා යමින් අභියෝග මැද වුව ද වර්තමානයට ද අයිති වී තිබේ. එය අනාගතය කරා රැගෙන යෑම මෙන්ම මතු පරම්පරාවක් උදෙසා තිළිණ කිරීම ද වර්තමානිකයන් ලෙස අපට පැවරී ඇති පැහැර හැරිය නොහැකි වගකීමකි. එසේම එකී කලාත්මක නිර්මාණ හා කර්මාන්ත ජන ජීවිත මෙන්ම රටේ ආර්ථිකය ඔසොවා තැබීම සම්බන්ධයෙන් ද සිය දායකත්වය එක් කරමින් තිබේ. පිත්තල භාණ්ඩ, දුම්බර පැදුරු, ලාක්ෂා, වේවැල් ආදී කර්මාන්ත මෙන්ම අත්යන්ත්‍ර රෙදිපිළි, බීරළු, බතික් වැනි කර්මාන්ත ද එලෙස අන්තර්ජාතික වශයෙන් ද ප්‍රසිද්ධියට ලක්ව ඇත. එම කර්මාන්ත සඳහාම වෙන් වූ ගම්මාන ද තිබේ. සමාජ විපර්යාසයන්වල බලපෑම් හමුවේ වුව ද එකී ගම් බිම්වල තවමත් මෙවැනි සාම්ප්‍රදායික කර්මාන්ත ව්‍යාප්තව පවතී.

නිෂ්පාදන ආර්ථිකය

සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනයත් සමඟ මෙවැනි සාම්ප්‍රදායික කර්මාන්තකරුවන්ගේ ජීවනෝපාය ඉහළට පැමිණිය ද කොවිඩ් - 19 ගෝලීය වසංගත තත්ත්වයත් සමඟ අන් සෑම ක්ෂේත්‍රයක් මෙන්ම මේ ක්ෂේත්‍රය ද විශාල බලපෑමකට ලක්ව තිබේ. එවැනි පසුබිමක නිෂ්පාදන ආර්ථිකයන් කරා රට යොමු කරන අය-වැයක් ලෙස හැඳින්විය හැකි 2022 වසර සඳහා වන අය-වැය මඟින් පාරම්පරික ගෘහ කර්මාන්ත ක්ෂේත්‍රය මෙන්ම අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂකර්මාන්ත ක්ෂේත්‍රය සඳහා ද අගය කළ හැකි පරිද්දෙන් අවධානය යොමු කර තිබීම වැදගත්ය. කොවිඩ් වසංගතයේ බලපෑම් හේතුවෙන් සිය ජීවනෝපාය හා ව්‍යාපාරවලට ඇති වූ බලපෑම ගැන එම ක්ෂේත්‍රවල නියැළෙන ශිල්පීන් මෙන්ම ව්‍යවසායකයන් ද පසුගිය කාලයේ තම දුක්ගැනවිලි ඉදිරිපත් කරනු දැකිය හැකි විය. 2022 අය-වැයෙන් ඔවුන් කෙරෙහි සංවේදීව බලමින් ඔවුන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ අවධානය යොමු කර ඇති අයුරු දිස් වේ.

පාරම්පරික ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් වෙන් කර ඇති ප්‍රතිපාදනය රුපියල් කෝටි 100කි. අත්යන්ත්‍ර බතික් ඇතුළු පේෂ කර්මාන්ත සංවර්ධනය සඳහා ද තවත් කෝටි 100ක් වෙන් කර තිබේ. ඒ, දැනටමත් වෙන්කර ඇති ප්‍රතිපාදනවලට අමතරවය.

කෘෂි සංස්කෘතියෙන් පෝෂණය වූ රටක වැසියන් ලෙස අපි විවේකයක් ලද සෑම විටකම පාහේ කලාත්මක නිර්මාණ කිරීමේ යෙදී ඇත්තෙමු. කලාත්මක නිර්මාණ සාම්ප්‍රදායික ගෘහ කර්මාන්තයක් ලෙස දියුණු වූයේ, එහි ප්‍රතිඵලයක් වශයෙන් යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිය අය - වැය කතාවේ දී ද සඳහන් කළේ ය. හන්දෙස්ස, තලගුණේ, තිත්තගල්ල, පරදුව, බඹගහදෙණිය ආදී ගම්මාන 273ක් පමණ එවැනි සාම්ප්‍රදායික කර්මාන්ත සඳහා විශේෂිත මෙන්ම වෙන් වූ ගම්මාන වශයෙන් හඳුනාගෙන ඇත. එම ගම්මාන සමස්ත දිවයින පුරාම විහිදී පවතින බව ද දැනටමත් හඳුනාගෙන ඇත.

බාධා ඉවත් කිරීම

ශ්‍රී ලාංකේය අභිමානය සහ අනන්‍යතාව ගැබ්ව ඇති එම නිර්මාණ හා නිෂ්පාදන සඳහා පවතින ගැටලු අතරින් අමුද්‍රව්‍ය හිඟය ප්‍රමුඛ ගැටලුවක් වශයෙන් අය - වැය මඟින් ද පිළිගෙන තිබේ. එම නිර්මාණවල කලාත්මක උසස් බව හා සාම්ප්‍රදායික ලක්ෂණ රැක ගනිමින්ම නූතන තාක්ෂණය හා ගුණාත්මකභාවය ඒවාට එකතු කිරීම අවැසිය. එසේම තම නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළෙඳපොළට යොමු කිරීමේදී පවතින බාධා ඉවත් කිරීම රජයේ වගකීමක් බව ද, මුදල් ඇමැතිවරයා පිළිගැනීම වැදගත් ය. එසේ පිළිගන්නා බැවින් දේශීය පාරම්පරික ගෘහ කර්මාන්ත ආරක්ෂා කර සංවර්ධනය කිරීම පිණිස වෙනමම අමාත්‍යාංශයක් ද ඇති කර වගකීම් පවරා තිබේ. ඒ යටතේ වේවැල්, මැටි, පිත්තල, ලාක්ෂා, වෙස්මුහුණු, පොල්කටු, ස්වර්ණාභරණ, ගල් කැටයම්, හණ හා දුම්බර රටා ආදී පාරම්පරික ගෘහ කර්මාන්ත දියුණු කිරීම පිණිස පියවර ගෙන ඇත. අමතර ප්‍රතිපාදන වෙන් කිරීම මඟින් එම ක්‍රියාමාර්ග ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට හැකියාව ලැබේ.

මෙම පාරම්පරික කර්මාන්ත ඉදිරියට පවත්වා ගැනීම සම්බන්ධයෙන් එම පරම්පරාවල වර්තමාන තරුණ ප්‍රජාව ඒවායේ නියැළීම ද විය යුතුය. ඊට උනන්දුවක් දක්වන අයට අවශ්‍ය පුහුණුව දීම ඇතුළු දිරිගැන්වීමේ ක්‍රියාමාර්ග ද ගත යුතුය. අමතර ප්‍රතිපාදන වෙන්වීම මඟින් එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට හැකි වනු ඇත. නව පරපුර මෙවැනි ක්ෂේත්‍ර කරා ආකර්ෂණය කර ගැනීම සම්බන්ධයෙන් හොඳ ජීවනෝපාය මාර්ගයක් ලෙස එය පෙනී යෑම ද විය යුතුය. ඒ සඳහා එම නිෂ්පාදන වෙනුවෙන් ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද වෙළෙඳපොළ ඉල්ලුම ඉහළ යෑම බලපාන බව පැහැදිලි කාරණයකි. ඇතැම් විට වෙළෙඳපොළ සම්බන්ධයෙන් ගැටලු මතු නොවුණ ද තවත් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තවමත් එය මුළුමනින් විසඳී නැති ගැටලුවකි. එය විසඳා ගැනීම මඟින් අපනයනය හරහා රටට වැඩියෙන් විදේශ විනිමය රැගෙන ඒමට ද හැකියාව තිබේ. කලාත්මකව මෙන්ම ගුණාත්මකව උසස් නිර්මාණවලට අන්තර්ජාතික වෙළෙඳපොළේ ද හොඳ ඉල්ලුමක් ඇත. එම වෙළෙඳපොළ අවස්ථා පාරම්පරික ගෘහ කර්මාන්තවල නියැළෙන ගම්මාන කරා යොමු කළ යුතුය. සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ කරමින් ද සංචාරකයන් එම ගම්මාන කරා ආකර්ෂණය කර ගැනීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ හැකිය. එමඟින් නව වෙළෙඳපොළ අවස්ථා ද නිර්මාණය වනු ඇත.

අමුද්‍රව්‍ය හිඟයට විසඳුම්

මෙම සාම්ප්‍රදායික හා පාරම්පරික ගෘහ කර්මාන්ත ශිල්පීන් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් වශයෙන් අමුද්‍රව්‍ය හිඟය අය - වැය මඟින් ද හඳුනාගෙන තිබීම අගය කළ යුතුය. කාලයක් තිස්සේ මේ පිළිබඳ ව එම ශිල්පීහු මැසිවිලි නඟමින් සිටියහ. ප්‍රමාණවත් අයුරින් අමුද්‍රව්‍ය සපයා දීමට හැකි නම් එය එම කර්මාන්ත ඉදිරියට ගෙන යෑම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන බාධකයක් මඟහරවා ගැනීමකි. අමතර ප්‍රතිපාදන වෙන්ව තිබීම මඟින් ඊට අවශ්‍ය පියවර ගැනීමට අදාළ අමාත්‍යාංශවලට හැකියාව ලැබේ.

 

මුදල් අමාත්‍යවරයා අය - වැය කතාවේදී සඳහන් කළ පරිදි ද අතීතයේ පටන්ම ඉන්දියාව, චීනය වැනි රටවල් මෙන්ම ශ්‍රී ලංකාව ද රෙදිපිළි කර්මාන්තයට ප්‍රසිද්ධියක් ඉසිලීය. අත්යන්ත්‍ර රෙදිපිළි කර්මාන්තයට සාම්ප්‍රදායික කර්මාන්තයක් ලෙස දීර්ඝ ඉතිහාසයක් තිබේ. සංචාරක කර්මාන්තය පසුබෑමට ලක් වීමත් සමඟ මෙම කර්මාන්තවලට ද ඍජුවම එය බලපෑවේය. මේ වන විට යළිත් සංචාරක කර්මාන්තය හිස ඔසොවමින් තිබියදී එහි යළිත් මෙවැනි ක්ෂේත්‍ර කරා යොමු කරමින් ඒවා ශක්තිමත් කිරීමට පුළුවන. අපේ උරුමයක් ලෙස ද සැලකිය හැකි බතික් කලාවට ද දිගු ඉතිහාසයක් ඇත. එය ද සංචාරක කර්මාන්තය පසුබෑමට ලක් වීමෙන් ඇති වූ බලපෑම් අදාළය. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම, එම කලාවට යොමු වන පිරිස අඩු වීම වැනි සාධක හමුවේ වුව ද, මෑත කාලීනව බතික් කලාව කෙරෙහි ආකර්ෂණයක් මෙන්ම උනන්දුවක් ද ඇතිවී තිබේ. ඒ වෙනුවෙන් වෙනමම අමාත්‍යාංශයක් යටතට වගකීම් පවරා තිබීම ද එයට හේතු වන්නට ඇති බව පැහැදිලිය.

බතික් නිර්මාණ ශිල්පීන්ට කාලයක් තිස්සේ මුහුණදීමට සිදුව ඇති ගැටලු විසඳා ගැනීමට එමඟින් හැකියාව ලැබේ. එහිදී මෙවර අය - වැය මඟින් අමතර ප්‍රතිපාදන වෙන් කර තිබීම එම විසඳුම් ක්‍රියාමාර්ග කරා යොමු වීමට මෙන්ම බතික් කලාව හා කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම පිණිස අවස්ථාව සැලසී තිබේ. වසර 2025 දී අත්යන්ත්‍ර හා බතික් ඇතුළු නිෂ්පාදන සඳහා අමෙරිකානු ඩොලර් බිලියනයක අපනයන ආදායමක් ඉලක්ක කර ඇති බව ද අය-වැයේ සඳහන් ය. එම ඉලක්ක සපුරා ගැනීමට නම් ඊට අවශ්‍ය ආයෝජන, එම කර්මාන්ත දියුණු කිරීම ආදිය විය යුතුය.

රටේ ආර්ථිකයට ශක්තියක්

රුපියල් කෝටි 100ක ප්‍රතිපාදන වෙන් කිරීම මඟින් එම අවශ්‍යතා සතුටුදායක මට්ටමකින් පිරිමසාලීමට හැකි වනු ඇත. මෙරට බීරළු කර්මාන්තයට ද ඇත්තේ ඉහළ ඉල්ලුමකි. විදේශිකයන් අතර මෙන්ම දේශීය වශයෙන් ද එය දැකිය හැකිය. එම වෙළෙඳපොළ අවස්ථා තවදුරටත් පුළුල් කර ගැනීමට කටයුතු කිරීම මඟින් මේ කර්මාන්තයේ නියැළෙන ශිල්පීන්ට, ව්‍යවසායකයන්ට මෙන්ම රටේ ආර්ථිකයට ද ශක්තියක් වනු ඇත. අපේ සාම්ප්‍රදායික කර්මාන්ත පරිසර හිතකාමි මෙන්ම සමාජ හිතකාමි වීම ද වැදගත් කාරණයකි. වර්තමානයේ උග්‍ර වෙමින් ඇති පාරිසරික ගැටලුවලට පිළියම් වශයෙන් එම කර්මාන්ත තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගැනීම පලදායකය.

මේ ක්ෂේත්‍ර ආශ්‍රිතව ව්‍යවසායකත්ව සංස්කෘතියක් ඇති වීම මෙන්ම රැකියා අවස්ථා නිර්මාණය වීම ද රටට හිතකර මෙන්ම ආර්ථිකයට වාසිදායක කාරණාය. ඇති වන ඉල්ලුම අනුව දේශීය හා විදේශීය වශයෙන් එය පිරිමසාලීම සඳහා කුඩා පරිමාණ වශයෙන් මෙන්ම විශාල පරිමාණ වශයෙන් ද නිෂ්පාදනය ඉහළ නැංවීම විය යුතුය.

මෙම ක්‍ෂේත්‍ර ප්‍රවර්ධනය කිරීම සඳහා බදු සහන ආදිය ද හඳුන්වාදී ඇත. වෘත්තීය පුහුණු ක්ෂේත්‍ර හරහා මෙන්ම ඇඟලුම් තාක්ෂණ වැනි ක්ෂේත්‍ර ඔස්සේ විශ්වවිද්‍යාල මට්ටමින් ද වෘත්තීයමය නිපුණත්වයකින් යුතු ශිල්පීන් බිහි කිරීම සඳහා ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වී තිබේ. සාම්ප්‍රදායික හා පාරම්පරිකව උරුම වන දැනුම් සම්භාරය හා අත්දැකීම් සමඟ එම නව දැනුම හා තාක්ෂණය මුසු වීම වැදගත්ය, පලදායකය. මෙවර අය-වැයත් සමඟ ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ සන්නාමය පෙරට ගැනීම පිළිබඳ ද කතිකාවට ලක්ව ඇත. CMA ශ්‍රී ලංකා ආයතනය එම ව්‍යාපෘතිය වෙනුවෙන් මෙවර අය වැයෙන් රජ‍යේ සහාය ඉල්ලා සිටියේය. එමඟින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට (MSME) යටතේ දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් භාණ්ඩ නිෂ්පාදනය හා සේවා සැපයීම ද අපේක්ෂිතය. ග්‍රාමීය අංශයේ රැකියා 100,000 පමණ මේ යටතේ ඇති වනු ඇතැයි ද අපේක්ෂා කෙරේ. එය කෘෂිකර්මය, හස්තකර්මාන්ත, මිරිදිය මත්ස්‍ය වගාව, විසිතුරු මල් හා පැළ වගාව, කිරි කර්මාන්තය, ආහාර සැකසුම්, තොරතුරු තාක්ෂණ ආදී ක්ෂේත්‍ර රැසක් ආවරණය කෙරෙනු ඇත. ඉදිරියේ දී ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා පනතක් ද ඉදිරිපත් වීමට ද නියමිතය. මෙවර අය - වැයෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම පිණිස රුකුලක් වනු ඇති බව පැහැදිලිය.

උපරිම ප්‍රතිඵල

අපේ හස්ත කර්මාන්ත නඟාසිටුවීම සම්බන්ධයෙන් 2019 ට පසු ජාතික ශිල්ප සභාව මඟින් ද පලදායී වැඩපිළිවෙළ ගණනාවක් ක්‍රියාත්මක කෙරිණි. අදාළ අමාත්‍යාංශය මඟින් ද මැටි ඇතුළු නිෂ්පාදන දිරි ගැන්වීම සඳහා ගනු ලැබූ පියවර සමඟ සමාජයේ වැඩි අවධානයක් මෙන්ම ඉල්ලුමක් ද ඊට ඇති විය. මේ සෑම හිතකර තත්ත්වයක්ම තවදුරටත් ඉදිරියට ගෙන යමින්, ලබන වර්ෂය සඳහා අය - වැයෙන් ලැබී ඇති දිරිගැන්වීම්වලින් උපරිම ප්‍රතිඵල නෙළා ගැනීමට කටයුතු කිරීම අදාළ අංශවලට පැවරෙන වගකීමකි.

වත්මන් රජයේ ලබන වසර සඳහා වන අය වැය යෝජනා මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. වර්තමාන රජයේ දෙවන අයවැය මෙයයි. මෙහි සුවිශේෂත්වය වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉහළ අභියෝග රැසක් පවතින අවස්ථාවක 2022 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීමයි. මෙයට දෙවසරකට පෙර අප නොසිතූ ආකාරයට මතු වූ කොවිඩ් වයිරසය රටේ පැතිර යෑම නිසා අපේ ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති විය. මෙය එක් පැත්තකින් රට අභ්‍යන්තරයේ ආර්ථික කටයුතුවලට අයහපත් බලපෑමක් එල්ල කළේය. අනෙක් පසින් ලෝක ආර්ථිකයේ බිඳ වැටීම් නිසා ඇති වූ ගැටලුවලින් මිදීමට ද අපට නොහැකි විය. මේ නිසා ආයෝජන අවස්ථා පහළ වැටිණි. භාණ්ඩ මිල ගණන් ඉහළ ගියේය. විනිමය අනුපාතිකයන්ගේ දැඩි අවදානම් තත්ත්වයක් මතු විය. නිදහස් විදේශ වෙළෙඳාමට බලපෑම් එල්ල වෙද්දී සංචාරක ව්‍යාපාරය කඩා වැටිණි. විදේශ රැකියා වෙළෙඳපොළ කඩා වැටෙන විට ගුවන්, නාවික, රක්ෂණ ආදි සෑම ක්ෂේත්‍රයකම ප්‍රශ්න පැන නැගිණි. මේ වන විට ලෝකයේ සෑම ආර්ථිකයක්ම කොවිඩ් වසංගතය හමුවේ පැන නැඟුණු අභියෝගයන්ට මුහුණ දී තිබේ. මෙවර අයවැය සකස් කිරීමට සිදු වූයේ එම අභියෝග හමුවේය. මෙරට ආර්ථික දර්ශක විශ්ලේෂණය කිරීමේ දී 2012 න් පසුව දිගින් දිගටම අපේ ආර්ථිකය පැවතියේ දුර්වල වෙමිනි. ප්‍රතිපත්ති සම්පාදකයන් විසින් දිගු කාලීනව ආර්ථිකයේ පැවැති ව්‍යුහාත්මක ගැටලු හඳුනා නොගෙන කටයුතු කිරීම මෙයට හේතු විය. දේශීය ආයෝජන විවිධාංගිකරණය වීමක් රටේ සිදු නොවිණි. ආනයන අපනයන වෙළෙඳාම අපට වාසිදායක ලෙස සිදුවන බවක් පෙනෙන්න නොතිබිණි. නිෂ්පාදන සහ පරිභෝජන අංශයන් දැඩි ලෙස සහනාධාර මත යැපෙන ඒවා බවට පත් විය. රාජ්‍ය අංශය ඉහළ සේවක සංඛ්‍යාවකින් සමන්විතව පවත්වා ගෙන ගියත් ඉන් සැලකිය යුතු ඵලදායිත්වයක් නොලැබිණි. රටට යෝග්‍ය වූ බදු ප්‍රතිපත්තියක් රටේ ක්‍රියාත්මක නොවිණි. සහනාධාර මත යැපෙන ජනතාවක් ඇති කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති දිගින් දිගටම ක්‍රියාත්මක විය. මේ සියල්ල දේශීය ආර්ථිකයේ පැවැති ව්‍යුහාත්මක ගැටලු ය. කොවිඩ් බලපෑම මෙන්ම රට අභ්‍යන්තර ආර්ථිකයේ පැවැති ව්‍යුහාත්මක ගැටලු යන කාරණා දෙකම අපේ ආර්ථිකය ඉතා දුර්වල මට්ටමකට ගෙන ඒමට හේතු වූ බව මින් පැහැදිලිය.

ප්‍රධාන පැති කඩ දෙකක්

මෙම කරුණු හේතුවෙන් රට ලෝක ආර්ථිකය මත රඳා පැවැත්ම ක්‍රමයෙන් ඉහළ යෑමට හේතු විය. විනිමය අනුපාතිකය දිගින් දිගටම පිරිහීමකට ලක් වීමට ද මෙය හේතු විය. රට සතු විදේශ සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් පහත බැස්සේය. අනෙක් පසින් ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඉහළ ගියේය. මේ කාරණා මත සමස්ත ආර්ථිකය කිසියම් අස්ථාවර තත්ත්වයකට පත්ව තිබිණි. රජය 2022 සඳහා අයවැය යෝජනා සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ මෙම පසුබිම තුළය. අයවැය යෝජනා සම්බන්ධව විමර්ශනාත්මකව අධ්‍යනය කිරීමේ දී ප්‍රධාන පැති කඩ දෙකක් කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවක් පෙනෙන්නට තිබේ. රටේ පවතින ප්‍රශ්නවලට යම්තාක් දුරට විසඳුම් ලබා දීම පිණිස රටේ අභ්‍යන්තර ආර්ථිකය ස්ථාවරත්වයට පත් කිරිම සඳහා රජය කටයුතු කළ යුතුය. කොවිඩ් හමුවේ පැන නඟින අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් මෙම කටයුත්ත සිදු කිරීම සඳහා වන අයවැයක් පිළියෙළ කිරීමට මෙවර රජයට සිදුව තිබිණි. අනෙක් පසින් බාහිර ආර්ථිකය ස්ථාවර කරමින් ලෝකයේ අවශේෂ රටවලින් ලංකා ආර්ථිකයට එල්ල වන බලපෑම් අවම මට්ටමකට ගෙන ඒම සඳහා ද මෙමඟින් පියවර ගැනීම ද අත්‍යවශ්‍ය කාරණයක් විය.

ඉදිරිපත් කරනු ලැබ තිබෙන අයවැය යෝජනා සැලකීමේ දී රජයේ සාර්ව ආර්ථික කළමනාකරණයට එමඟින් සිදු වන බලපෑම කුමක් ද යන්න සොයා බැලිය යුතුය. අනෙක් කාරණය වන්නේ පාරිභෝගිකයන්ගේ හා නිෂ්පාදකයන්ගේ (සූක්ෂ්ම ආර්ථිකය) සමාජ හා ආර්ථික ගැටලුවලට මෙමඟින් කවර ආකාරයක බලපෑමක් එල්ල වන්නේ ද යන්න තහවුරු කර ගැනීම ය. අයවැය තුළ සමස්තයක් ලෙස රජයේ වියදම් සහ අාදායම් හැසිරවීම මූලිකව සඳහන්ය. සාර්ව ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් රජය ගන්නා පියවර මොනවා ද යන්න සැලකීමේ දී ආදායම් හැසිරවීමට රජය ගෙන තිබෙන පියවර කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය. වසර 2021 සැලකීමේ දී රටේ සමස්ත ආදායමෙන් 85% ක් ආවරණය කර තිබුණේ බදු ආදායමෙනි. ලබන වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාවන්ට අනුව රටේ මුළු ආදායමෙන් 87% ක් ආවරණය කර ගැනීමට අපේක්ෂා කරන්නේ බදු මඟිනි. මෙම වසරේ රජයේ මුළු බදු ආදායම රුපියල් බිලියන 1325 කි. ලබන වසරේ දී එය බිලියන 1987 ක් දක්වා වැඩි කර ගැනීමට අයවැය මඟින් යෝජනා කර තිබේ. එය රජයේ බදු ආදායම රුපියල් බිලියන 662 කින් ඉහළ නංවා ගැනීමකි. 2022 දී රජයේ මුළු ආදායම වැඩි කර ගැනීමට අපේක්ෂා කරන්නේ රුපියල් බිලියන 718 කිනි. රජයේ මුළු ආදායමෙන් 87% ක් පමණම බදු ආදායම් මඟින් ආවරණය කර ගැනීමට රජය කටයුතු කරන්නේ අනෙකුත් ආදායම් මාර්ග බොහොමයක් මේ වන විට ඇහිරී තිබෙන නිසාය. රාජ්‍ය අංශ ආයතන මඟින් ලැබෙන ආදායම් වැඩි කර ගැනීමට මේ අවස්ථාවේ රජයට කටයුතු කිරීමේ හැකියාවක් නැත.

රජය බදු අාදායම් මගින් සමස්ත ආදායමෙන් වැඩි කොටසක් ආවරණය කර ගැනීමට පෙළඹීම මේ අවස්ථාවේ කළ හැකි හොඳම විසඳුම ලෙස පෙන්වා දීමට පුළුවන. රජයේ ආදායම් බදු පසුගිය වසරට සාපේක්ෂව බිලියන 201 කින් වැඩි කර ගැනීමට ලබන වසරේ දී යෝජනා කරනු ලබයි. භාණ්ඩ හා සේවා මත පනවන බදු මඟින් බිලියන 381 ක් පසුගිය වසරට සාපේක්ෂව උපයා ගැනීමට මෙම වසරේ දී රජය සැලසුම් කරයි. බාහිර වෙළෙඳාම මඟින් වැඩි කර ගැනීමට අපේක්ෂා කරන බදු ආදායම බිලියන 80 කි. රජයේ ආදායම ඉහළ නංවා ගැනීම පිණිස කරනු ලබන මේ යෝජනා ධනාත්මකය. රජයේ ආදායම ක්‍රමක්‍රමයෙන් වැඩි කර ගැනීමට සත්‍ය වශයෙන්ම කටයුතු කළ යුතුව තිබේ. කොවිඩ් හමුවේ රජයේ වියදම් ඉහළ ගොස් ඇත. අනෙක් පසින් ආදායම් පහත වැටී තිබේ. මේ නිසා අයවැය පරතරය ඉහළ යන විට එය පියවා ගැනීම පිණිස ණය ගැනීමට සිදු වෙයි. ණය ගැනීම් ඉහළ ගිය විට ණය වාරික හා පොලී ගෙවීම සඳහා වෙන් කළ යුතු මුදල ඉහළ යෑම සාමාන්‍ය තත්ත්වයකි.මේ ආකාර විෂම චක්‍රයක අපි සිටින නිසා රජයේ ආදායම් ක්‍රමක්‍රමයෙන් වැඩි කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වට පත් වේ.

වියදම් සංයුතිය

රටේ වියදම් හැසිරවීම ද අතිශයින් වැදගත් කොටසකි. එම වියදම් සැලකීමේ දී 2021 දී රජයේ මුළු වියදම රුපියල් බිලියන 3387 කි. ලබන වසර වන විට එය බිලියන 3912 ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂිතය. එමඟින් ගම්‍ය වන්නේ බිලියන 525 කින් පසුගිය වසරට සාපේක්ෂව රජයේ වියදම් 2022 වසරේ දී වැඩි වනු ඇති බවයි. මේ වියදම තුළ කොටස් දෙකක් තිබේ. එකක් නම් පුනරාවර්තන වියදම් ය. පවතින ආර්ථික මට්ටම ඒ මට්ටමින් පවත්වා ගෙන යෑමට කරනු ලබන වියදම් ඊට ඇතුළත්ය. අනෙක් වියදම් වන්නේ රාජ්‍ය අංශයේ ආයෝජන ය. පුනරාවර්තන වියදම් 2021 දී රුපියල් බිලියන 2817 ක් විය. ලබන වසරේ දී එම මුදල රුපියල් බිලියන 2996 ක් දක්වා ඉහළ දැමීමට අපේක්ෂා කරන අතර, එය ඉහළ වැඩි වීමක් ලෙස පිළිගැනීමට නුපුළුවන. රාජ්‍ය ආයෝජනය 2021 දී රුපියල් බිලියන 582 ක් වන විට ලබන වසරේ දී එය බිලියන 931 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. රුපියල් බිලියන 349 කින් 2022 දී රාජ්‍ය ආයෝජන ඉහළ නැංවීමට කරන යෝජනාව ලංකා ආර්ථිකය තුළ ධනාත්මක ලක්ෂණයක් ලෙස හඳුනා ගැනීමට පුළුවන.

වියදම් සංයුතිය දෙස අවධානය යොමු කිරීමේ දී රජයේ මුළු වියදමින් වැටුප් ගෙවීමට සමස්ත ආදායමෙන් 34% ක් වෙන් කෙරෙයි. අනිකුත් භාණ්ඩ හා සේවා වලට අදාළ ගෙවීම්වලට 7% කුත් පොලී ගෙවීම්වලට 37% කුත් සහනාධාර සඳහා 22% කුත් ලෙස වියදම් බෙදී ගොස් තිබේ. රජයේ මුළු වියදම සැලකීමේ දී 2021 වර්ෂයේ දී ආයෝජන සඳහා වැය කර තිබෙන්නේ සමස්තයෙන් 17 % කි. එහෙත් ලබන වසරේ දී එය 24% ක් දක්වා ඉහළ දැමීමට අයවැයෙන් යෝජනා කර තිබේ. රජයේ ආයෝජන ක්‍රම­ානුකූලව අයවැය මඟින් වැඩි කිරිම ආර්ථිකය පැත්තෙන් සුබදායි තත්ත්වයකි. සාර්ව ආර්ථික කළමනාකරණය පැත්තෙන් ගත් විට ආදායම් ඉහළ නැංවීමට එක් පැත්තකින් කටයුතු කරන විට අනෙක් පසින් වියදම් අවම කර ගැනීමට ක්‍රියා කිරීම රජය ප්‍රකට කරන්නා වූ හොඳ ප්‍රවණතාවකි. දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස 11.1% ක් දක්වා ඉහළ ගොස් තිබෙන අයවැය හිඟය වියදම් පාලනය තුළින් 2022 දී 8.8% ක් දක්වා පහතට ගෙන ඒමට රජය යෝජනා කර තිබේ. මෙම හිඟය 2028 වන විට 5 % කට වඩා අඩු මට්ටමකට ගෙන ඒම රජයේ අරමුණ වී තිබේ. අයවැය හිඟය 10% ට වඩා ඉහළ මට්ටමකට පැමිණියේ මේ වසරේදීය. මෙම පරතරය ඉහළ යන විට රජයට ණය ගැනීමට සිදු වෙයි. අපි විශාල ණය උගුලක පැටලී සිටින නිසා හැකි තරම් අයවැය හිඟය පියවා ගැනීමට කටයුතු කිරීම අගය කළ යුතු දෙයකි. තව දුරටත් ණය ගැනීමට යෑමෙන් සාර්ව ආර්ථිකය දැඩි අර්බුදයකට තල්ලු වීම සඳහා පවතින ඉඩ වැඩිය. ඒ නිසා අයවැය හිඟය පහතට ගෙන ඒම යහපත් ප්‍රවණතාවකි.

 

තනි තනි පුද්ගලයන් ලෙස ගත් විට ඔවුන් පාරිභෝගිකයන්, තනි තනි ව්‍යාපාරිකයන් විය හැකිය. ඒ අයට අයවැය මඟින් යෝජනා කර තිබෙන දේවල් මොනවා ද යන්න සැලකීමේ දී ත්‍රිරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීම කියන යෝජනාව ඉතා යහපත් ය. ඇඟලුම් කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය රටේම නිෂ්පාදනය කිරීම පිණිස කලාප පිහිටුවීම ද ඒ හා සමාන අගය කළ යුතු යෝජනාවකි. වගා නොකළ ඉඩම් වගාවට යොමු කිරීමට රජය යම් අවධානයක් යොමු කර තිබේ. විදේශ සේවා නියුක්තිය ඉහළ නැංවීම සඳහා රජය යම් ක්‍රියාමාර්ග ගන්නා බව පෙන්වා දී ඇත. ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු අය නොකිරීමට කර තිබෙන යෝජනාව ද ඵලදායි එකකි. මේවා අයවැය තුළ දක්නට ලැබෙන ධනාත්මක දේවල්ය. මේ යෝජනාවන්හි ප්‍රතිඵල වඩාත් හොඳින් අත්විඳීමට නම් යෝජනාවලට අමතරව ඉන් ඔබ්බට ගිය යම් යම් සංශෝධන පිළිබඳ ව අවධානය යොමු කර කටයුතු කිරීම වැදගත් ය. වගා නොකළ ඉඩම් වගාවට යොමු කිරිම සඳහා මූල්‍ය නොවන සහන බලයන් ඕනෑ තරම් තිබේ. ඒවා කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ව්‍යාපාර ලියාපදිංචියේ දී ගාස්තු අය නොකිරීමට පමණක් සීමා නොවී වඩා හොඳ ප්‍රතිඵල ලැබීමට නම් ඔවුන්ට අවශ්‍ය ව්‍යාපාරික ඥානය ලබා දීම වැනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම වැදගත්ය. අන්තර්ජාතික වෙළෙඳාමට යොමු වන ආකාරය සම්බන්ධව ඔවුන්ට අවබෝධයක් ලබා දීම තවත් කාරණයකි. අයවැය යෝජනා මඟින් අපේක්ෂා කරන ප්‍රතිඵල ලැබීමට එවැනි දේ කළ යුතුය.බොහොමයක් කුඩා පරිමාණ ව්‍යාපාරයන්හි සිදු කෙරෙන නිෂ්පාදන අපනයන වෙළෙඳාමට ඉතාමත් යෝග්‍යය. එහෙත් ඒ අය අපනයන නීති පද්ධතිය සම්බන්ධ ව දැනුම්වත් නැත. මෙම කාරණා පිළිබඳ ව රජයේ අවධානය යොමු වීම වැදගත් වේ.

මත්පැන් හා දුම්වැටි සඳහා වන බදු ඉහළ දැමීම ඔස්සේ ඒවාහි මිල ඉහළ යෑම නිසා ජනතාව විකල්ප කරා යොමු වීමට පුළුවන. රජයේ ආදායම් වැඩි කර ගැනීම එක් පැත්තකින් සිදු වන විට අනෙක් පසින් මේවා පරිභෝජනය කිරීම ද යම් ආකාරයකට පහත දැමීම අපේ අරමුණ නම් විකල්ප වෙත ජනතාව නැඹුරු වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතුය. මේවා භාවිතයෙන් සෞඛ්‍යයට සිදු වන අහිතකර බලපෑම වැනි කරුණු ඉස්මතු කරලීම මෙහිදී වැදගත් කාරණයකි. පර්පචුවල් ට්‍රෙෂරීස්හි බිලියන 8.5 වත්කම් රජයට පවරා ගැනීමට කළ යෝජනාව ඉතා සුදුසු ය. ඒ ආකාරයෙන් රජයට තවත් ආදායම් ලබා ගත හැකි මාර්ග තිබේ. උදාහරණයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපොළ රාජසන්තක කිරීම වැනි කරුණක් පෙන්වා දිය හැකිය. අයථා ලෙස මුදල් උපයන ලද වංචාකරුවන් රැසක් රටේ සිටිති. ඒවා කෙරෙහි අවධානය යොමු කිරීම ද වැදගත් ය.

බදු ඉහළ දැමීම

සමස්තයක් ලෙස රටේ අභ්‍යන්තර ආර්ථිකය ඉහළ නැංවීමට යම් ආකාරයක සුබදායි යෝජනා මෙම අයවැය ලේඛනයේ අඩංගුය. දේශිය ආර්ථිකය යම් යම් ආකාරයට කළමනාකරණය කිරීම සඳහා වන ධනාත්මක යෝජනා මේ තුළ තිබේ. රට මේ වන විට ගෙවුම් ශේෂ හිඟයකට මුහුණ දී සිටින අතර, විනිමය අනුපාතිකය ද දිගින් දිගටම පහළ යමින් තිබේ. මේවාට පිළියම් සොයන අතර විදේශ ආයෝජකයින් රටට ආකර්ෂණය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමටත් අන්තර්ජාතික වෙළෙඳාම රටට වඩාත් වාසිදායක ලෙස හැසිරවීම පිණිස පියවර ගැනීමටත් සිදුව තිබේ.

මහ බැංකුව සතු සංචිත ප්‍රමාණය පහත වැටී ඇත. රජයේ ණය වාරික පොලී ගෙවීමට සිදුව තිබේ. මේවා ගැන අවධානය යොමු කිරීම වැදගත්ය. දේශීය ආර්ථිකය තුළ දිගු කාලයක් තිස්සේ පවතින ව්‍යුහාත්මක ගැටලු තිබේ. රාජ්‍ය අංශයේ ලක්ෂ 16 ක පිරිසක් සේවය කරති. මේ අයගේ ඵලදායිතාව පවතින්නේ ඉතා අඩු මට්ටමකය. රාජ්‍ය අංශයේ වැඩි පිරිසක් සිටින බව කියමින් ඉන්නවාට වඩා ඔවුන් ගෙන් ඵලදායි සේවයක් සපයා ගැනීම සඳහා අපට වැඩපිළිවෙළක් තිබිය යුතුය. ඒ සඳහා රජය අවධානය යොමු කිරීම වැදගත් ය.බොහොමයක් රාජ්‍ය ආයතන දුෂණයෙන් පිරි පවතී. ඒවා අවම කිරීමට වැඩපිළිවෙළක් තිබිය යුතුයි. දීර්ඝ කාලයක් තිස්සේ රටට මුදල් අහිමි කරන රාජ්‍ය අංශයේ ව්‍යාපාර තිබේ. ඛනිජ තෙල් සංස්ථාව වසරකට බිලියන 60 ක පමණ පාඩුවක් ලබයි. ශ්‍රී ලංකා ගුවන් සමාගම ද එවැනිම පාඩුවක් පසුගිය වසරේ ලැබීය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය ද එලෙස පාඩු මත දුවන ආයතනයකි. මේවා මහජන බදු මුදල්වලින් නඩත්තු කිරීමට යෑමේදී පෙරළා එම බර දැරීමට සිදුවන්නේ ජනතාවටය. මේවා ලාභ ලබන ආයතන බවට පරිවර්තනය කිරීම හෝ ඒවාහි කළමනාකරණය යම් ආකාරයකට පෞද්ගලික අංශයට පැවරීමක් කළ යුතුය. මේවා රටට බරක් නොවන ආයතන බවට පත් කිරීම වැදගත්ය. එවැනි දේ ගැන මේ අයවැය තුළ අවධානය යොමු කළ බවක් පෙනෙන්නට නැත. මේ ඉදිරිපත් කර තිබෙන්නේ අයවැය යෝජනා පමණි. පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධව වාද විවාද පැවැත් වේ. අදාළ කාරණා ගැන අවධානය යොමු කිරීමක් සිදුව ප්‍රතිපත්ති සම්පාදනයේදී ඒ ගැන යම් සිතා බැලීමක් වුව හොත් එය වඩා ඵලදායි වනු ඇත.

රට තුළ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වීම වැදගත් ය. රටේ සමාජ ක්‍රමය ස්ථාවර වන්නේ නීතියේ ආධිපත්‍යය ක්‍රියාත්මක වූ තරමට ය. ආර්ථික ස්ථාවරත්වයට ද එය ප්‍රබල ලෙස බලපායි. සංස්කෘතිය හා සමාජය ස්ථාවර වන විට විදේශ ආයෝජන රටට පැමිණීම සඳහා අවශ්‍ය පසුබිම සකස් වනු ඇත.

1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම ඊයේ  (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එහි සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් වාර්තාවේ පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

ජාතික ආරක්ෂාවේ විවිධ පැතිකඩවලට අදාළව නොයෙක් පාර්ශ්වයන් අතර ඇති වී තිබෙන කතිකාවත් සැලකිල්ලට ගනිමින්  1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට ජනාධිපතිතුමා විසින් පත් කළ කැබිනට්  අනු කමිටුව වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා 2021 ජූනි 24 දින මෙම නිලධාරී කමිටුව පත් කෙරිණ.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී. කේ. මායාදුන්නේ, මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස්, පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් රුවන් කුලතුංග, නීති කෙටුම්පත් සම්පාදක දිල්රුක්ෂි සමරවීර,  අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ, විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය නීති උපදේශක තිලානි සිල්වා, විදේශ අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මහේෂා ජයවර්ධන යන මහත්ම මහත්මීහු කටයුතු කළහ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ජීවන්තී සේනානායක මෙනවිය නිලධාරී කමිටුවේ ලේකම් ලෙස කටයුතු කළාය.

 
 

පාරම්පරික ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා රුපියල් කෝටි 100ක්, අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂ කර්මාන්ත සඳහා කෝටි 100ක්, පශු සම්පත් සංවර්ධනය සඳහා කෝටි 100ක් ආදී වශයෙන් ද වෙන් කර ඇත. පරිසර සංරක්ෂණ, වන සංරක්ෂණ හා වනජීවි සංරක්ෂණ ක්ෂේත්‍ර සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනය රුපියල් කෝටි 500 කි. ග්‍රාමීය, නාගරික හා වතු නිවාස සංවර්ධනය වෙනුවෙන් කෝටි 700කට වඩා වෙන් කර තිබේ

අය-වැය පිළිබඳ කතිකාව දෙස අවධානය යොමු කරන විට විවිධ පාර්ශ්ව ඊට වැරැදි අර්ථකථන සපයමින් සිටින අයුරු දැකිය හැකිය. අය වැයක් යනු ඉදිරි වර්ෂය සඳහා රජයේ ආදායම වියදම හා හිඟයක් පවතින්නේ නම් එම හිඟය පියවා ගන්නා ආකාරය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලේඛනයයි. ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගන්නා අතරම රජයේ ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට එනම්, මෙහිදී “සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීම සිදුවේ. එසේ නොමැතිව අයවැයක් යනු පිටි මිල, පාන් මිල අඩු කිරීම වැනි කාරණා වෙනුවෙන් ඉදිරිපත් කරන දෙයක් නොවේ. මේ අය වැය නිෂ්පාදන ආර්ථිකයක් සඳහා රට යොමු කරන අයවැයකි.

එළැඹෙන 2022 වර්ෂය සඳහා රජයේ මුළු ආදායම රුපියල් බිලියන 2284ක් වන අතර, මුළු වියදම රුපියල් බිලියන 3912කි. එනම්, අයවැය හිඟය හෙවත් පරතරය රුපියල් බිලියන 1628කි. පවත්නා වර්ෂයට වඩා ඉදිරි වර්ෂයේ අයවැය හිඟය අඩුකර ගැනීමට හැකිවී තිබේ. අපේ ආර්ථිකය වාණිජ ආර්ථිකයකි. ‍ෙස්වා සහ හුවමාරු ආර්ථිකය විශාල පරාසයක විහිදී පවතී. කොවිඩ් වසංගතය මේ අංශ දෙකටම දැඩි බලපෑමක් ඇති කළ බව පැහැදිලි කාරණයකි. එය සේවා සපයන්නන් අකර්මණ්‍ය කළේය. සංචාරක ව්‍යාපාරය ද සේවාවක් වන අතර, එය මුළුමනින්ම බිඳ වැටිණි. විදේශ විනිමය පිළිබඳ ගැටලුවට මේවා හේතු කාරණා විය. මේ රටේ නිෂ්පාදන නොකර හුවමාරුව සඳහා යොමුවීම යනු භාණ්ඩ මිල ඉහළ යෑමට ද මුහුණදීමට සිදුවීමකි. යම් පමණකට හෝ අපට රැකෙන්නට හැකි වූයේ අපේ රටේ ආහාර නිෂ්පාදනය හා අනෙකුත් අපනයන නිෂ්පාදන කර්මාන්ත ගොඩනැඟී තිබූ බැවිනි. ඊට අවශ්‍ය පහසුකම් හා පසුබිම නිර්මාණය කිරීමට රජය කටයුතු කළේය. එමඟින් නිෂ්පාදන ආර්ථිකය යම් පමණකට යථාවත් කරගැනීමට හැකියාව ලැබිණි. මෙවැනි අර්බුදකාරී අවස්ථාවක තීන්දු තීරණ ගැනීමේ දුෂ්කරතාව සමඟ සේවා ආර්ථිකයක් සමඟ ඇති බැඳීම ද සංවේදී සාධකයකි. එබැවින්, දේශීයව නිෂ්පාදනය කළ හැකි දෑ සම්බන්ධයෙන් සානුබල දීම ගැන වැඩි අවධානයක් යොමු කිරීම අවැසි විය. කුඩා පරිමාණයේ ව්‍යවසායකයන්ගේ එනම්, බුලත්විට අලෙවි කරන්නාගේ පටන් මහා පරිමාණ නිෂ්පාදකයන් දක්වා මේ සෑම දෙනෙකුටම කිසියම් ආකාරයකට යළි ගොඩනැඟීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සිදුවිය. එහිදී එය ක්‍රියාත්මක කළ හැකි වන පරිදි රාජ්‍ය අංශය මෙහෙයවීම ගැන ද වගබලා ගෙන තිබේ. උප්පැන්න සහතිකය නිකුත් කිරීමේ සිට රාජ්‍ය අංශයෙන් සේවා ලබාගැනීමේ ක්‍රියාවලීන් පහසු කිරීම සිදුව ඇති අතර එය තවදුරටත් පුළුල් වෙමින් ඇත. විශාල බරක්ව ඇති රාජ්‍ය ව්‍යවසාය සිය ගණනක් නඩත්තු කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 75ක් පමණ සෑම වසරකම වැය කිරීමට සිදුව තිබේ. මෙම ව්‍යවසායන් යම් ප්‍රමාණයකට ශක්තිමත් කිරීම සඳහා ද පියවර ගෙන ඇත.

අයවැය ගැන මාධ්‍ය ඔස්සේ බොහෝ විට ප්‍රචාරය වෙමින් ඇත්තේ කඩපොළට භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි අය, භාණ්ඩ අලෙවි කරන අය වැනි පුද්ගලයන් ඉදිරිපත් කරන අදහස්ය. ඒවායින් මතු කෙරෙන්නේ අපට කිසිම සහනයක් දීලා නෑ වැනි ප්‍රකාශය. මාළු අවශ්‍ය අයට මාළු කෑල්ලක් දීම වෙනුවට බිළී පිත්තක් දීම විය යුතුය. බොහෝවිට සිදුව ඇත්තේ බිලීපිත්තක් වෙනුවට මාළු කෑල්ලක් දීමය. එසේ කිරීමෙන් මේ රට මෙතැනින් ඉහළට ඔසොවා තැබීම කළ නොහැකිය. සහන සැලසිය යුතු සමාජ කොටස්වලට සහන දීමට ද අයවැයෙන් ක්‍රියාකර තිබේ. ඉතාම අසරණ මිනිසුන් වෙනුවෙන් සහන මල්ලක් දීම, ගැබිනි මව්වරුන් සඳහා පෝෂණ මල්ලක් දැනට දෙන කාලසීමාවටත් වඩා දීර්ඝ කරමින් දීම මෙන්ම සමෘද්ධි සහනාධාර දීම ආදිය තවදුරටත් සිදු වේ. අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් කෝටි 1500 ක් වෙන් කර ඇත.

රජයේ සේවකයන් සඳහා කිසිවක් දී නැතැයි පැවසුණ ද රාජ්‍ය සේවයේ වැටුප් විසමතා විසඳීම සඳහා වැටුප් කොමිසම හරහා පියවර ගෙන ඇත. එවිට, ඊළඟ අය-වැය වනවිට එම ව්‍යාකූලතා නිරාකරණය වී තිබිය හැකිය. විශ්‍රාම ලබන වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කිරීම ද සිදු වේ. රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා ද අවශ්‍ය ක්‍රියාමාර්ග සකසා ඇත. එබැවින් අපට නම් කිසිවක් කර නැතැයි පවසන අය මෙකී සත්‍ය තේරුම් ගැනීමට වෑයම් කරන බවක් නො‍පනේ. එසේම අයවැයෙන් සීනි මිල, තව තවත් භාණ්ඩවල මිල අඩු කළ යුතු යැයි බොහෝදෙනෙකු කල්පනා කරන බව ද පෙනෙන්නට ඇත. එවැන්නක් කිරීමට අයවැයක් අවශ්‍ය නැත. එය ඊට වඩා සරලය. මිල අඩුකිරීමට නම් වෙළෙඳ පොළට භාණ්ඩ සැපයුම වැඩි කළ යුතුය. භාණ්ඩ මිල ඉහළ ගොස් ඇත්තේ අපට බලපාන පරිදි පමණක් ද නොවේ. නිදසුනක් ලෙස 1990ට පසුව එනම් වසර 30කට පසුව අමෙරිකාවේ ඉහළම භාණ්ඩ මිල පවතින්නේ වර්තමානයේය. මේ හේතුවෙන් උද්ධමනකාරී තත්වයක් ද ඇති වී තිබේ. චීනයේ ද භාණ්ඩ මිල ඉහළ ගොසිනි.

වසංගත තත්වය යටතේ ගොවියාට තම ගොවි බිමට යා නොහැකි වනවිට, කර්මාන්තශාලා හිමියන්ට තම කම්හල් විවෘත කර පවත්වා ගැනීමට නොහැකි වනවිට නිෂ්පාදනය අඩුවීම ගැන පුදුම විය යුතු නැත. මේ තත්වය ගැන අවධානය යොමුකරමින් හැකි සෑම විටම කෘෂිකර්මාන්තය මෙන්ම ඇඟලුම් වැනි කර්මාන්ත ද පවත්වාගෙන යාමට රජය වගබලා ගත්තේය. දේශීය වල්නාශක නිපැයුම් විධිමත් කිරීමට රුපියල් කෝටි 400ක් ද කෘෂිකාර්මික අංශය නවීකරණය සඳහා කෝටි 500ක් ද වෙන් කර තිබේ.

පෞද්ගලික අංශයට දුන්නේ මොනවා දැයි අසන අයගෙන් විමසීමට සිදු වන්නේ නොදුන්නේ මොනවාද යන ප්‍රශ්නයයි. වැටුපෙන් අඩක් හෝ ගෙවමින් සේවකයන්ගේ රැකියා කප්පාදු නොකර සිටීමද විශාල කාරණයකි. ආණ්ඩුව රුපියල් මිලියන 1000ක් පවා සහනයක් වශයෙන් දුන්නේය.

සංචාරක කර්මාන්තය දෙසට අවධානය යොමුකරන විට එය රුපියල් ට්‍රිලියන 365 ක් රටේ බැංකුවලට ණය වී සිටී. ණය දී ණය අයකරගත නොහැකි තත්වයකට බැංකු පත්ව ඇත. ඒ සෑම හෝටලයකටම අවශ්‍ය කාරක ප්‍රාග්ධනය අවශ්‍ය වෙලාවේ සැපයීම සිදුවිය. සංචාරක කර්මාන්තය වෙනුවෙන් ආණ්ඩුවට කළ හැකි විශාලම දෙය නම්, වසංගතයෙන් රට මුදා ගැනීමය. ඒ වෙනුවෙන් ගත් සාධනීය පියවර හේතුවෙන් යළිත් රටට සංචාරකයන් ආකර්ෂණය කරගැනීමට හැකිවී තිබේ. මේ වනවිට සංචාරක පැමිණීම් ඉහළ යමින් පවතී. ඉකුත් සතියේදී 9000ක් තරම් සංචාරකයන් පිරිසක් රුසියාව, බ්‍රිතාන්‍ය, ජර්මනිය, ඉන්දියාව වැනි රටවලින් මෙහි පැමිණියහ. වෙනදා නොපැමිණි ගුවන්යානා මේ වනවිට ලංකාවට පියාසර කරයි.

මෙවැනි වසංගත රෝග තත්ව ආදිය ආර්ථික විද්‍යාවේ සැලකෙන්නේ පොදු භාණ්ඩ වශයෙනි. ඒවාට අයිතිකරුවෙක් නොමැත. වෙළෙඳපොළ මිලක් නොමැත. අනවශ්‍ය ආකාරයෙන් බදු පැටවීම හෝ කිසිදු අංශයක් තලා දැමීමට මෙවර අයවැයෙන් කටයුතු කර නැත. විපක්ෂනායකවරයා නම් පවසන්නේ මේ අයවැය ඉතියෝපියා, ‍සෝමාලියා වැනි පන්නයේ අයවැයක් බවය. අද ඉතියෝපියාව යනු වසර ගණනාවකට පෙර තිබූ ඉතියෝපියාව නොවන බව එතුමා නොදැන සිටිනවා විය හැකිය. මෙවැනි ප්‍රකාශ කිරීමෙන් දේශපාලන වාසි ලබා ගත හැකි වෙතැයි එතුමා කල්පනා කරනවා විය යුතුය. විපක්ෂනායකවරයා අදහස් කරන අන්දමේ පහළ තැනකට අපේ රට ඇද වැටී නැති බව සඳහන් කළ යුතුය.

 

මුදල් අමාත්‍යවරයා නිතර පවසන දෙයක් නම් වෙනස්ව සිතීමට බිය නොවන්න යන්නය. මේ අයවැය එසේ වෙනස්ව සිතා ඉදිරිපත් කළ අය වැයකි. නිෂ්පාදන ආර්ථිකයකට රට යොමුකරන අයවැයකි. ආර්ථිකය යනු කුඩා රෝද රැසකින් කරකැවෙන මහා රෝදයක් බඳුය. රටක අයවැයක මූලික පරමාර්ථය විය යුතුවන්නේ එකී මහා රෝදය කරකැවීමට අවශ්‍ය ගාමක බලය කුඩා රෝද හරහා ලබාදීමයි. කුඩා රෝද නිසියාකාර කරකැවීම සිදුනොවුණහොත් මහා රෝදය කරකැවීමට හැකිවන්නේ නැත. එබැවින් රටේ ආර්ථිකය නම් මහා රෝදය කරකැවීමට අවශ්‍ය ගාමක බලය මෙවර අයවැයෙන් ලබා දී ඇත යන්න අපගේ අදහසය.

කොවිඩ් වසංගතය හේතුවෙන් අපේ රටේ පමණක් නොව ලෝක ආර්ථිකයටම බලපෑම් ඇති වී තිබේ. එකී බාධා හේතුවෙන් ඇති වන හැකිළීම පාලනය කිරීම අසීරුය. මේ තත්ත්වය එක රැයකින් වෙනස් කළ නොහැකිය. කොවිඩ් වසංගතය නිමාවන දවසක් පිළිබඳ අප කිසිවෙකුටත් තවමත් නිශ්චිතව පැවසීමට ද නොහැකිය. එබැවින් ඉදිරියටත් ඊට මුහුණදීමට හැකිවන අන්දමින් අප ක්‍රියා කළ යුතු වේ. එම බලපෑම් පිළිබඳවද සැලකිලිමත් වෙමින් 2022 වර්ෂය සඳහා වන අයවැය ඉදිරිපත්ව තිබේ.

පවතින අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණදෙන අතරම සංවර්ධන කටයුතු පෙරට ගෙන යෑම සඳහා ද පියවර ගෙන ඇත. ග්‍රාමීය සංවර්ධනය සඳහා රුපියල් කෝටි 4206ක් වෙන් කර තිබේ.

දුම්රිය හා බස් රථ ප්‍රවාහනය නැංවීමට කෝටි 200ක් වෙන් කර ඇත. වාරි සෞභාග්‍යා වැඩසටහන් වෙනුවෙන් කෝටි 2000කි. ඉතිහාසයේ ප්‍රථම වතාවට අධ්‍යාපනය සඳහා රාජ්‍ය වියදමෙන් 7.51%ක් වෙන් කර ඇත්තේ ද මෙම අයවැයෙනි. පාසල් සංවර්ධනය සඳහා කෝටි 500කට වඩා වෙන් කර ඇත. ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවට ද විසඳුම් ලබා දී ඇත. පාරම්පරික ගෘහ කර්මාන්ත සංවර්ධනය සඳහා රුපියල් කෝටි 100ක්, අත්යන්ත්‍ර, බතික් ඇතුළු පේෂ කර්මාන්ත සඳහා කෝටි 100ක්, පශු සම්පත් සංවර්ධනය සඳහා කෝටි 100ක් ආදී වශයෙන් ද වෙන් කර ඇත. පරිසර සංරක්ෂණ, වන සංරක්ෂණ හා වනජීවි සංරක්ෂණ ක්ෂේත්‍ර සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදනය රුපියල් කෝටි 500 කි. ග්‍රාමීය, නාගරික හා වතු නිවාස සංවර්ධනය වෙනුවෙන් කෝටි 700කට වඩා වෙන් කර තිබේ. “සැමට ජලය” වැඩසටහන සඳහා කෝටි 1500කි. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය වෙනුවෙන් රුපියල් කෝටි 50 කි.

වසංගත තත්වය යටතේ බලපෑම්වලට ලක් වූ ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා සහන වශයෙන් රුපියල් කෝටි 500ක් වෙන් කර ඇති අතර, පාසල් වෑන් රථහිමියන් සඳහා සහන ලෙස කෝටි 40ක්, ත්‍රිරෝද රථ හිමියන් සඳහා සහන ලෙස කෝටි 60ක් සහ පෞද්ගලික බස් හිමියන් සඳහා සහන වශයෙන් කෝටි 150ක් ද වෙන්කර තිබේ. කලා නිර්මාණ හා විනෝදාස්වාද ක්ෂේත්‍රයට ඇති වූ බලපෑම් ගැන අවධානය යොමු කරමින් කෝටි 50ක් ද සහන වශයෙන් වෙන් කර ඇත.

මෙසේ බලන කල පවත්නා වසංගත තත්වය හමුවේ ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳ සංවේදී වෙමින් ද එම අභියෝගයන්ට මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිය දෙමින් ද නිෂ්පාදන ආර්ථිකයක් කරා රට යොමු කරවමින් ආර්ථික ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ද 2022 වර්ෂය සඳහා අයවැය පිළියෙල වී ඇති බව පැහැදිලි කාරණයකි.

  • "බුදුපුත් මාපිය හරසර” ජාතික වැඩපිළිවෙළ ඇරඹේ …
  • දිවයින පුරා ගිනි වරකා පැළ ලක්ෂයක් සහ කොස් පැළ දස ලක්ෂයක් රෝපණයත් ඊට සමගාමීව …

රාජ්‍ය කඨින මහෝත්සවය සහ පඬු පෙවීමේ මහා මංගල්‍යය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පෙරවරුවේ කුරුණෑගල කොළඹගම ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරස්ථානයේ දී පැවැත්විණ.

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වුණු දෙවන අවස්ථාව මෙය යි.

කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියූ කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා; පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවස චාරිත්‍රයකි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බතික්, අත් යන්ත්‍ර රෙදි හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සංවිධාන කළ කඨින චීවර පූජා මහෝත්සවයට පැමිණි ජනාධිපතිතුමා ශ්‍රී මියුගුණාරාම රජමහා විහාරාධිකාරී පූජ්‍ය ගල්ලැහැපිටියේ පේමරතන හිමියන් බැහැ දැක උන්වහන්සේගේ සුවදුක් විමසීය.

කඨින චීවරය පඬු පෙවීම,  පඬු ගල්වනයට ඖෂධ එක් කිරීම හා පඬු බඳුන සඟ සතු කොට පූජා කිරීම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් සිදු කරනු ලැබිණ.

පඬු පෙවූ කඨින චීවරය ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමා විසින් පෙරහරින් වැඩම කරවා සඟ සතු කොට පූජා කරනු ලැබීය. දහවල් දානය පිළිගැන්වීම ජනාධිපතිතුමා ප්‍රමුඛ මැති ඇමතිවරුන් අතින් සිදු කෙරිණ.

කොළඹගම ශ්‍රී මියුගුණාරාම විහාරස්ථානයේ පූජා භූමි අක්තපත්‍රය බුද්ධශාසන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා කියවනු ලැබීමෙන් අනතුරුව ජනාධිපතිතුමා විසින් වයඹ මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ඓතිහාසික තිස්සව රාජමහා විහාරාධිපති මුගුණුවටවන සිද්ධත්ත නාහිමියන්ට පිළිගැන්විණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් “බුදුපුත් මාපිය හරසර” ජාතික වැඩපිළිවෙළේ සමාරම්භය සනිටුහන් කරමින්, සම්බුදු සසුනට කුල දරුවන් පූජා කළ දෙමව්පියන් හයදෙනෙකුට හැඳුනුම්පත් ලබාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

විහාර භූමියේ පිහිටි පුරාණ විෂ්ණු මහා දේවාලයේ වතාවත්වලට ද ජනාධිපතිතුමා එක් විය.

“බත් ගසට පණ දෙමු” මැයෙන් ගිනි වරකා පැළ ලක්ෂයක් දිවයින පුරා රෝපණය කිරීමේ වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා විහාර භූමියේ ගිනි වරකා පැළයක් රෝපණය කළේය. මෙම වැඩසටහනට සමගාමීව තෙවසරක් තුළ කොස් පැළ දස ලක්ෂයක් සිටුවීමේ වැඩසටහන ද ආරම්භ කෙරිණ.

අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ, උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා, රාජ්‍ය අමාත්‍ය ඩී.බී. හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගුණපාල රත්නසේකර, ශාන්ත බණ්ඩාර, චරිත හේරත්, ඩයනා ගමගේ, සුමිත් උඩුකුඹුර, ජයරත්න හේරත් සහ දියවඩන නිලමේ නිලංග දෑල යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජීවන වියදම පාලනය කිරීම සදහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන්කලේ මෙවර අයවැයෙන් බව ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා කියයි. 2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සදහා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඔහු පැවසුවේ ඉදිරියේදී පැනවීමට යෝජිත විශේෂ භාණ්ඩ බද්දෙන් ජනතාවගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය භාණ්ඩ සේවා හා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිසිවකට බලපැමක් එල්ල නොවන බවයි. මධ්‍යසාර හා එවැනි භාණ්ඩ සම්බන්ධයෙන් පමණක් එම බද්ද පැනවෙනු ඇත.

බදු ප්‍රතිපත්තියේ විශාල වෙනසක් සිදුකිරීමට මෙවර අයවැයේදී අපේක්ෂා නොකෙරිණි. වරින්වර බදු වෙනස් කිරිමෙන් ව්‍යවසායකයන්ට තම කටයුතු නිසිපරිදි සකස් කරගැනීමට මෙන්ම ජනතාවගේ ජීවන සැලසුම් නිසිපරිදි ගෙනයාමටද නොහැකි වෙයි. එකම බදු ප්‍රතිපත්තිය අවම වශයෙන් වසර 3 ක් වත් පවත්වාගෙන යායුතුය යන්න ජනාධිපතිතුමාගේ ස්ථාවරය බව බැසිල් රාජපක්‍ෂ ඇමතිවරයා පැවසීය. මෙරට නිපදවියහැකි භාණ්ඩ සුළභ කිරීම මගින් මිල පහත දැමීම රජයේ අරමුණයි. විදේශයන්හි ගොවීන්ට සහ සමාගම්වලට සැපයු මුදල් මෙරට ගොවීන්ට සැපයීම රජයේ ප්‍රතිපත්තියයි.

ගැබිණි මව්වරුන් වෙනුවෙන් මාස10 කට සැපයු සහනාධාරය මෙවර අයවැයෙන් වසර දෙකක් දක්වා දීර්ඝ කෙරිණි. කාන්තා ව්‍යවසායකයන් තම නිවසේම පවත්වාගෙන යන සුපිරි වෙළෙඳසැල් ජාලයක් ආරමභ කෙරේ. ඒ සදහා අයවැයෙන් රුපියල් කෝටි 1500 ක් වෙන්කර තිබෙ. සහන මල්ලක් සැපයීම සදහා වෙළෙඳ අමාත්‍යංශයට උපදෙස් දී ඇතැයිද මුදල් ඇමතිවරයා පැවසීය. ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් ඍජුව මුදල් වෙන්කළ කිසිදු අයවැයක් මීට පෙර නොතිබු බව ඔහු පෙන්වා දුන්නේය.

ගොවීන්ට රසායනික පොහොර හා කෘමිනාශක නොමැතිව වගා කිරීමට අවශ්‍ය පහසුකම් රජය සපයයි. කාබනික ගොවිතැනේ නිරත අයගේ වගා හානියක් සිදුවුවහොත් ඒ සදහා වන්දි ගෙවීමට රජය සුදානමින් සිටි. සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් එහිදී අදහස් දැක්වු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා එම කර්මාන්තය වෙනුවෙන් දියහැකි සෑම සහනයක්ම දී ඇතැයි සදහන් කළේය. සංචාරක කර්මාන්තය සදහා දියහැකි ඉහළම සහනය සංචාරකයන් ගෙන්වීමට සුදුසු රටක් ගොඩනැංවීම බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී ලබන දැනුම ක්‍රමෝපායික මානසිකත්වය නිර්මාණය කිරීමට හේතු වෙනවා

ජාතික ආරක්ෂක විද්‍යාලය මඟින් සපයනු ලබන ඇතැම් අධ්‍යයන පාඨමාලා ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය සේවා නිලධාරීන් සඳහා ද විවෘත වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ගාලුපාරේ, කොළඹ 03 පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයට අයත් දිගු ඉතිහාසයක් ඇති “මුම්ටාස් මහල්” ගොඩනැගිල්ලේ ස්ථාපිත කළ “ජාතික ආරක්ෂක විද්‍යාලය” ඊයේ (11) විවෘත කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක විද්‍යාලයේ සමාරම්භක උත්සවය පැවැත්වෙන උදෑසන ඔබලා ඇමතීමට ලැබීම මා හට ඉමහත් සතුටක්.ආරම්භයේදීම උත්සවය සඳහා සියලු කටයුතු සූදානම් කළ ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආඥාපති සහ කාර්ය මණ්ඩලයට මම සුබ පතනවා.

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය පිහිටුවීම දිගුකාලීන අවශ්‍යතාවක් ඉටු කිරීමක් වෙනවා. ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ක්‍රමෝපායික අධ්‍යාපන අවස්ථා ලබා ගැනීම සඳහා විදේශ අධ්‍යාපන ආයතනවල පවතින අවස්ථා සෙවීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට අතීතයේ දී තිබුණේ නැහැ.

සෑම වසරකම මිත්‍ර ජාතීන් විසින් පිරිනමනු ලබන පාඨමාලා නිලධාරීන් කිහිප දෙනකුට විශාල ප්‍රතිලාභයක් සැලසුවා. තවත් බොහෝ පිරිසකට මෙම අවස්ථාව අහිමි වුණා. එබැවින් මෙම විද්‍යාලය පිහිටුවීමෙන් සෑම වසරකම එවැනි අත්දැකීමක් ලැබිය හැකි ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සංඛ්‍යාව විශාල ලෙස වැඩි වෙනවා.

ජාතික ආරක්ෂක විද්‍යාලයෙහි ඉහළ මට්ටමේ ආරක්ෂක සහ ක්‍රමෝපායික පාඨමාලා හදාරන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ට ඉදිරියේ දී ජ්‍යෙෂ්ඨ ආඥාපති තනතුර දැරීමට මෙන්ම හමුදාපති තනතුර ද දැරීමට අවස්ථාව ලැබිය හැකියි.ජාතික ආරක්ෂක විද්‍යාලය මඟින් එවැනි නිලධාරීන්ට ලබාදෙන අධ්‍යාපනය, එවැනි තනතුරුවල සාර්ථකත්වය සඳහා අත්‍යාවශ්‍ය ක්‍රමෝපායික මානසිකත්වය නිර්මාණය කිරීමේදී අත්‍යාවශ්‍ය වෙනවා.

 

ජාතික ආරක්ෂක විද්‍යාලය වෙනත් රටවල ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ ආකර්ෂණය ද දිනාගනු ඇතැයි මම අපේක්ෂා කරනවා. ජාතික ආරක්ෂක විද්‍යාලය මඟින් ලබා දෙන උසස් මට්ටමේ අධ්‍යාපනයෙන් ඔවුන් ප්‍රයෝජන ලබා ගන්නා අතරම ඔවුන්ගේ සහායකයන් වෙත පුළුල් ජාත්‍යන්තර දර්ශනයක් සහ උද්දාමයක් එක් කරනු ඇති.

ඉන්දීය සාගරයේ, පෙරදිග සහ අපරදිග යා කරන ශ්‍රී ලංකාවේ භූ මූලෝපායික පිහිටීම සලකා බැලීමේදී ක්‍රමෝපාය පිළිබඳ මනා අවබෝධයක් ලබා තිබීම අතිශයින් වැදගත් වෙනවා.

මෙම ස්ථාන ගත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට බහුවිධ අවස්ථාවන්ට මෙන්ම අභියෝග වලටද මුහුණ දීමට සිදුවේවි.හමුදාවේ මෙන්ම රාජ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම ක්‍රමෝපායන් සලකා බැලීම් මෙන්ම රජයේ ප්‍රතිපත්ති සහ ඒවා සම්බන්ධයෙන් පවතින ක්‍රමෝපාය පිළිබඳව දැනුවත් විය යුතුයි.

මෙම ජාතික ආරක්ෂක විද්‍යාලයට ඇතුළත් වන අයට මෙම අංශවල ගැඹුරු පදනමක් පමණක් නොව, ඔවුන්හට උපායශීලීව සිතීමට, යම් අවස්ථාවක් දෙස සමස්තයක් ලෙස බැලීමේ හැකියාව සහ සුදුසු ලෙස නව්‍යකරණය කිරීමට ඇති හැකියාව වැඩිදියුණු කිරීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා.

මෙම සන්දර්භය තුළ, NDC හි සමාරම්භක පාඨමාලාවට සහභාගී වන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් 27 දෙනා සහ පොලිස් නිලධාරීන් 4 දෙනා වෙත මම සුබ පතනවා.

මෙම ආයතනයේ ඔබ ලබන අත්දැකීම් ඔබේ අනාගත වෘත්තීය ජීවිතයට හොඳ ස්ථාවරයක් එක්කරනු ඇති අතර, මෙම ආයතනය තුළ ඔබව අනුගමනය කරන සියලු දෙනාටම ඔබ සවිමත් ආදර්ශයක් සපයනු ඇතැයි මම විශ්වාස කරනවා.

අවසාන වශයෙන්, ජාතික ආරක්ෂක විද්‍යාලයේ ආඥාපති සහ කාර්ය මණ්ඩලය මෙන්ම මෙම ආයතනය පිහිටුවීමට මගපෙන්වීම සඳහා සම්බන්ධ වූ සියලු දෙනාගේ වෙහෙස මහන්සිය සහ උත්සාහය අගය කිරීමට නැවත වරක් මෙය අවස්ථාවක් කර ගන්නවා.”

මෙරටින් වාර්තාවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 48 දහස් 61 දක්වා ඉහල යයි. ඊයේ ආසාදිතයෝ 715 දෙනෙක් හදුනා ගනු ලැබුහ.

සෞඛ්‍ය සේවා අද්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 19 ක් තහවුරු කළේය. කාන්තාවෝ 08 දෙනෙක් හා පිරිමි පුද්ගලයෝ 11 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 15 කි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter