නවතම පුවත්

ලබන වසර සඳහා වන අයවැය යෝජනා අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ. නිදහස් ශ්‍රි ලංකාවේ 76 වැනි අයවැය ලේඛණය වන එය වත්මන් රජයේ දෙවැනි අයවැය ලේඛණයයි. මුදල් ඇමතිවරයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛණය එයයි.

අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පස්වරු 2.00 ට ඇරඹෙයි. වෙළඳපල ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් බවට පරිවර්තනය කරගැනිම සඳහා වන විධිමත් වැඩපිළිවෙලක් යටතේ එය සකස්කර තිබේ. ඒ සඳහා වන ක්ෂේත්‍ර හඳුනා ගනිමින් නව තාක්ෂණය හා මුසුකර රට සංවර්ධනය කරා රැගෙන යාම ඉලක්ක කරගත් යෝජනා මෙවර අයවැයට ඇතුලත් වනු ඇත. විදේශ විනිමය ගැටඑව අවම කිරීම සඳහා වන ක්‍රියාමාර්ග ද ඊට ඇතුලත්කර තිබේ.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනයෙන් පසු ආර්ථිකය යථාවත් කිරීමේ යෝජනා රැසක් ද ඊට ඇතුළත්ය. 2022 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පසුගිය ඔක්තෝබර් මස 07 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. ලබන වසරේ රජයේ සමස්ත වියදම රුපියල් කෝටි දෙලක්ෂ 50 දහස් 500 ක් ලෙස එහි සදහන් විය. එම වසරේ වියදම වන රුපියල් කෝටි දෙලක්ෂ 53 දහස් 800 ට සාපේක්ෂ්ව එම වසරේ රජයේ වියදම රුපියල් කෝටි 3300 කින් අඩුකර තිබිම විශේෂත්වයකි. රාජ්‍ය සේවයේ වැටුප්, සහනාධාර, සුබසාධන, ණයපොලී ආපසු ගෙවීම් සංවර්ධන යෝජනා සඳහා වන වියදම් ඊට ඇතුලත්ය.

අයවැය දෙවනවර කියවීමේ විවාදය හෙට ඇරඹෙයි. විවාදය පුරා දින හතක් පැවැත්වෙන අතර දෙවනවර කියවීමේ ඡන්ද විමසිම පැවැත්වෙන්නේ ලබන 22 වැනිදාය. කාරක සභා අවස්ථාවේ විවාදය ලබන 23 වැනිදා ඇරඹෙය්. සෙනසුරාදා දින ද ඇතුඵව ලබන මස 10 වැනිදා දක්වා දින 16 ක් එම විවාදය පැවැත්වෙයි. අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසිම පැවැත්වෙන්නේ ලබන මස 10 වැනිදා පස්වරු 5.00 ටයි.

ශ්‍රව්‍යාබාධිත ප්‍රජාව වෙනුවෙන් මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙන් ඉදිරිපත් කිරීමට විධිවිධාන යොදා තිබේ. අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ පාර්ලිමේන්තුවේ මහජන ගැලරිය ජනතාවට විවෘත නොවේ. රාජ්‍ය නිලධරින් සිමිත පිරිසකට පමණක් අයවැය කාරක සභා අවස්ථාවට සහභාගිවීමේ අවස්ථාව ලැබෙයි. ආරාධිත විදේශිය තානාපතිවරුන් හා මහ කොමසාරිස්වරුන් පමණක් අද පාර්ලිමේන්තුවේ විශේෂ ආරාධිතයන්ට ගැලරිය විවෘත කෙරේ.

පුද්ගල ඒකරාශිවීම් ක්‍රියාකාරකම් සහ රැස්වීම් සදහා පුර්ව අවසර ලබාගත යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාණය කරයි. ඊට අදාල ගැසට් නිවේදනය මේ වනවිට නිකුත් කර තිබේ. සංචරණ සීමා ඉවත් කිරිමෙන් පසුව ජනතාවගේ හැසිරිම නිරික්ෂණය කිරිමෙන් අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තීරණයට එලැඹ ඇතැයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ජනතාවගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය ඊට හේතුවයි. සංචරණ සීමා ඉවත් කිරිමෙන් පසුව ඇතැම් පිරිස් විනෝද චාරිකාවලට එක්වන බවට ද තොරතුරු ලැබි තිබේ. එය සැබැවින්ම බරපතල ගැටලුවකි.

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මසකට පසුව යලිත් 700 සීමාව පසුකර තිබේ. වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුනද කොරෝනා අවදානම මුඵමනින්ම පහව ගොස් නැත. ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව තවදුරටත් පහතට ගෙනඒම අවශ්‍යය. ඒ සදහා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස අනුගමනය කරමින් වගකිමෙන් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ ජනතාවගේ නොසැලකිලිමත් හැසිරිීම ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට හේතුවුවහොත් යළි සීමා පැනවීමට සිදුවන බවයි.

සංවර්ධන කටයුතු සඳහා දේපළ අත්පත් කර ගැනීමේදී නියම වටිනාකම ගෙවීම සඳහා අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදු කරනවා - අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක
සභාවේදි පවසයි.

සංවර්ධන කටයුතු සඳහා දේපළ අත්පත් කර ගැනීමේදී නියම වටිනාකම ඉඩම් හිමිකරුවන්ට ගෙවීම සඳහා අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් සිදු කෙරෙන බව ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන මහතා පැවසීය.

දේපළ අත්පත් කර ගැනීමේදී ලැබෙන වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවට විවිධ පාර්ශ්වයන්ගෙන් චෝදනා එල්ල වන බවද අමාත්‍යවරයා (09) පැවැති එම කාරක සභා රැස්වීමේදී සඳහන් කළේය.

ගිංතොට තුනි ලෑලි සංස්ථාව පැවති භූමිය රජයට පවරා ගැනීම සඳහා කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා කාරක සභාවේදී ඉල්ලීමක් කළේය. සංචාරක ව්‍යාපාරයට ලබා ගත හැකි ඉඩම් සංවර්ධනය කිරීම සඳහා අවධානය යොමු කළ යුතු බවත්, ඊට අදාළ අනුමැතීන් ලබා ගැනීමේ ක්‍රමවේදය වඩාත් පහසු කළ යුතු බවත් ඔහු එහිදී පෙන්වා දුන්නේය.

මන්නාරම අලකට්ටුකර ප්‍රදේශයේ අටසිය දෙනෙකුට ඉඩම් ඔප්පු ලබාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන්ද කාරක සභාවේ විශේෂ අවධානයක් යොමු විය. ඉඩම් අහිමි ජනතාවට රජයේ ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙල කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මන්දගාමි ස්වභාවයක් ගත් බවත්, වර්තමානය වන විට එය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවත් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා මෙහිදී කීවේය.

රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ වැඩපිළිවෙලක් වර්තමානය වන විට ක්‍රියාත්මක අතර, එය නැවැත්වීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවද කාරක සභාවේදී සාකච්ජා විය.

මිනින්දෝරු සහයක තනතුරු සඳහා බඳවා ගැනීමේ විභාගය ලබන සතියේ පැවැත්වෙන බවද මෙම කාරක සභාවේදී අනාවරණය විය. එම තනතුරු සඳහා 1500 දෙනෙකු බඳවා ගැනීමට අපේක්ෂිතය.

මෙම කාරක සභා රැස්වීමට රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශාන්ත බංඩාර,උදයන කිරිඳිගොඩ, එස් නෝහරාතලිංගම්, චින්තක අමල් මායාදුන්න, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, සුදත් මංජුල, අජිත් රාජපක්ෂ, ගුණතිලක රාජපක්ෂ, කේ.කාදර් මස්තාන්,වීරසුමන වීරසිංහ, සුදර්ශන දෙනිපිටිය යන මහත්වරුද සභභාගි වූහ.

 “National Innovation Mission - හීන වලට පණ දෙන වර්තමානය” මැයෙන් 2021 විද්‍යා දිනය සැමරේ...

විපක්ෂයෙන් තමා අපේක්ෂා කළේ සෑම දෙයකටම විරුද්ධ වීම නොව රටේ අනාගතය වෙනුවෙන් නිවැරදි දෙයට සහාය වීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙයි.

රට විවෘත කර නව සාමාන්‍යකරණය යටතේ සියලු ක්‍රියාකාරකම් ආරම්භ කර තිබේ. එහෙත් උද්ඝෝෂණ සහ පෙළපාලි ඇතුළු විවිධ ක්‍රියාකාරකම් හේතුවෙන් නැවතත් කොවිඩ් පැතිර යාමේ අවදානමක් පවතී. එමගින් නැවතත් රට වසා දැමීමට සිදු විය හැකිය. ඉන් ජනතාවට සහ ආර්ථිකයට සිදුවන බරපතළ හානිය විරුද්ධ පක්ෂය අවබෝධ කරගත යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ලෝක විද්‍යා දිනයට සමගාමීව ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා දිනය හා විද්‍යා සතිය සැමරීම වෙනුවෙන් (10) පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේ පැවති උත්සවය අමතමින් ජනාධිපතිතුමා මේ බව පැවසීය.

තම ධුර කාලයෙන් වසර දෙකක් ගත වී තිබේ. එම කාලය තුළ කොවිඩ් වසංගතයෙන් ජනතාව බේරා ගැනීමට දැවැන්ත කාර්යභාරයක් ඉටු කිරීමට සිදු විය. එදා ආණ්ඩු කළ විරුද්ධ පක්ෂය මෙම තත්ත්වය අවබෝධ කරගත යුතුය. වසර පහක පාලන කාලයක වූ දුර්වලතා හා අසාර්ථකත්වය හේතුවෙන් ඔවුන් වෙනුවට තමා ජනාධිපතිවරයා වශයෙන් ජනතාව තෝරා පත් කරගනු ලැබීය. එහෙත් අද විපක්ෂය කිසිඳු බලයක් නොතිබූ කණ්ඩායමක් ලෙස හැසිරීම කණගාටුවට කරුණකි. මෙම ක්‍රමය වෙනසකට ලක් කිරීම රටේ අනාගතය වෙනුවෙන් වර්තමාන අවශ්‍යතාවයක් බව ජනාධිපතිතුමා පැවසීය.

වර්තමාන ලෝකයේ සෑම ක්ෂේත්‍රයකටම විද්‍යාව හා තාක්ෂණය බලපායි. නව තාක්ෂණ දැනුමෙන් තොරව අනාගත දරු පරපුරට ලෝකය සමග ඉදිරියට යා නොහැකිය. එය හඳුනාගෙන නව තාක්ෂණයෙන් පිරිපුන් අනාගත පරපුරක් වෙනුවෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ කඩිනම් අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

වර්ෂ 2001දී යුනෙස්කෝ සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් 10 වැනි දින සාමය හා සංවර්ධනය සඳහා වූ ලෝක විද්‍යා දිනය ලෙස ප්‍රකාශයට පත් කෙරිණ. ශ්‍රී ලංකාව 2004 වර්ෂයේ සිට සෑම වසරකදීම එම දිනය සමරයි. මෙවර විද්‍යා දිනය සැමරීමට සමගාමීව විද්‍යා සතියක් ප්‍රකාශයට පත් කර ඇත.
“National Innovation Mission - හීන වලට පණ දෙන වර්තමානය” මැයෙන් මෙවර විද්‍යා දින සැමරුම සංවිධාන කර තිබිණ.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනය අනුව තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ඉලක්ක කොට වත්මන් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිසා රට තුළ තාක්ෂණය හා නවෝත්පාදනයේ පිබිදීමක් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස 2020 වර්ෂයේ ගෝලීය නවෝත්පාදන දර්ශකයේ (Global Innovation Index) 101වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව රටවල් 132ක් අතරින් 2021 වන විට 95වන ස්ථානයට පත්ව ඇත.

ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම වාර්ෂිකව සංවිධාන කරන නව නිර්මාණ තරඟාවලියේ ජයග්‍රාහකයින්ට “දසිස් සම්මාන” පිරිනැමීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදු විය.

ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය නිෂ්පාදිත “ඔක්සිජන් සාන්ද්‍රණ” යන්ත්‍රය පිළිබඳ දැනුවත් කිරීම සම්මාන ප්‍රදානයට සමගාමීව සිදු විය.

අධ්‍යාපන අමාත්‍යාංශය හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය ඒකාබද්ධව දිවයින පුරා පාසල් 1500ක නවෝත්පාදන විද්‍යාගාර පිහිටුවීමට සැලසුම් කර තිබේ. එය සංකේතවත් කරමින් පළාත් මට්ටමින් තෝරාගත් පාසල් නවයකට චෙක් පත් සහ පාසල් උපකරණ ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

විද්‍යාව මත පදනම්ව නැඟී සිටින රටක් ලෙස විද්‍යාව සෑම පුරවැසියෙකුට අයිතියක් බවට පත්කළ යුතු බවත් එසේ නොවුනහොත් මිත්‍යාව රජ කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.

නව නිපැයුම්කරුවන් දිරිමත් කිරීමෙන් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හා නව තාක්ෂණය යොදා ගැනීමෙන් රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඇති හැකියාව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිය දේශනයෙන් පෙන්වා දුන්නේය. ඊ ග්‍රාමසේවා ක්‍රමය, ඩිජිටල් හැඳුනුම්පත වැනි රාජ්‍ය සේවා කාර්යක්ෂම කිරීමේ ඉදිරි වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යවරයා කරුණු දැක්වීය.

රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, තානාපතිවරු හා විදේශ නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

අයහපත් කාලගුණය නිසා ජීවිත හානි වූ පවුල්වලට ශෝකය පළ කරන අතර පීඩාවට පත් ජනතාවට අවශ්ය සහන ලබා දීමට රජය කටයුතු කරමින් සිටින බව මම අද (10) දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළෙමි.
රටේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය ගැන අවධානය යොමු කරමින් මා පාර්ලිමේන්තුවේ දී කළ සම්පූර්ණ ප්රකාශය මෙසේය.
ගරු කථානායකතුමනි,
ප්රථමයෙන් ම කියන්න ඕනේ මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය නිසා අපේ රටේ ජනතාවට දැඩි බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. ඒ වගේ ම විශාල පිරිසක් පීඩාවට පත්වෙලා ඉන්න බවත් කියන්න ඕනේ.
පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට අවශ්ය සහන දෙන්න රජය කටයුතු කරමින් ඉන්නවා. ඒ වගේ ම ඒ කටයුතු සඳහා ඔබ තමුන්නාන්සේලාගේ සහයත් බලාපොරොත්තු වෙනවා.
අයහපත් කාලගුණය නිසා ජීවිත හානි වූ පවුල්වලට ශෝකය පළ කරන්නත් මම මෙය අවස්ථාවක් කර ගන්නවා.
ගරු කථානායකතුමනි,
අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳවත්, පීඩාවට පත්වූවන්ට සහන සැලසීම පිළිබඳවත් ආපදා කළමනාකරණ රාජ්ය අමාත්ය ගරු චමල් රාජපක්ෂ මැතිතුමා විසින් මේ සභාවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත බවත් ප්රකාශ කරන්න ඕන.

විසි පස් වසරකට ආසන්න කාලයක් පැවැති ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම දැනුම් දීම සඳහා අද (10) දින පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 01 හි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සමග හමුවක් පැවැත්විණි. දිගු කලක් පැවැති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා මැදිහත් වීම පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයෝ මා වෙත සිය ස්තුතිය ප්රකාශ කළහ.
දරුවන්ගේ සහ රටේ අනාගතය වෙනුවෙන් ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සඳහා ලබන අයවැයෙන් අමතර රුපියල් මිලියන 30, 000ක් වැය කරන බවත් ඒ අනුව ඉතිහාසයේ පළමු වතාවට මෙරට අධ්යාපනය සඳහා වැය කරන මුදල සමස්ත අයවැයෙන් සියයට 7.51ක් වනු ඇතැයි මෙම හමුවේ දී මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතා ගුරු-විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයින්ට දැනුම් දුන්නේය.
වෘත්තිය සමිති ඉල්ලීම ඉටු කිරීමට කටයුතු කිරීම පිළිබඳ මම මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාට ස්තුති කළෙමි.

- සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ කියති

පොදු මහජනතාව වෙනුවෙන් ලේක්හවුස් ආයතනයෙන් දෙන සේවා තවදුරටත් පුළුල් කරමින් "දිනමිණ - කතරගම ශීඝ්‍රගාමී බස් සේවය" යළි ආරම්භ කිරීම රටේ ජනතාව වෙනුවෙන් ගත් ප්‍රශංසනීය ඉදිරි පියවරක් බව කොටුව සම්බුද්ධාලෝක විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ ප්‍රකාශ කරති.

මෙය ලේක්හවුස් නිර්මාතෘවරයාගේ අරමුණු හා පරමාර්ථ ඉටුකිරීමක් බව පෙන්වා දෙන උන් වහන්සේ ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර් විජයවර්ධන මහතා මේ ආයතනය ආරම්භ කළේ විවිධ අංශවලින් රටේ ජනතාවට සේවයක් සැලසීමේ අරමුණ ඇතිව බව ද සිහිපත් කළහ.

"දිනමිණ - කතරගම ශීඝ්‍රගාමී බස් සේවය" යළි ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයේ දී අනුශාසනාවක් කරමින් උන් වහන්සේ මේ බව සඳහන් කළහ. ආරක්ෂිත හා සුවපහසු ගමනාන්තයක් කරා මගී ජනතාව රැගෙන යාමේ අරමුණින් "දිනමිණ - කතරගම ශීඝ්‍රගාමී බස් සේවය" පෙරේදා (08) රාත්‍රියේ සිට යළි ආරම්භ කෙරිණි. ඊට සමගාමීව බස් මගී ආසන වෙන් කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීම ද සිදුවිය.

මහා සංඝරත්නයේ පිරිත් දේශනා මැද මේ බස් රථය කතරගම බලා ගමන් ආරම්භ කළේය.

කොටුව සම්බුද්ධාලෝක විහාරයේ විහාරාධිපති මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ ඇතුළු මහා සංඝරත්නය පිරිත් දේශනාවට එක්වූහ.

එහිදී වැඩිදුරටත් මහාචාර්ය ඉත්තදෙමලියේ ඉන්දසර නාහිමියෝ මෙසේ ද පැවසූහ.

ලේක්හවුස් නිර්මාතෘවරයාගේ අරමුණු හා පරමාර්ථ ඉටුකිරීමක් ලෙස මෙය සඳහන් කළ හැකියි. ලේක්හවුස් ආයතනයේ නිර්මාතෘ ඩී.ආර් විජයවර්ධන මහතා මේ ආයතනය ආරම්භ කළේ විවිධ අංශවලින් මේ රටේ ජනතාවට සේවයක් සැලසීමේ අරමුණ ඇතිවයි. ඒ අරමුණ පෙරදැරි කරගෙන ආරම්භ කළ මේ ආයතනයේ එක සද්ක්‍රියාවක් වුණේ දිනමිණ ශීඝ්‍රගාමී බස් සේවයයි. එදා ඊබට් සිල්වා සමාගමේ බස්රථ පාවිච්චි කර දිනමිණ ප්‍රවාහනය කරද්දී 1932 වසරේ කතරගමට මගී ප්‍රවාහන සේවාව ආරම්භ වුණා. එය ටික කලක් පවත්වාගෙන ගොස් නතරවුණු අවස්ථාවේ මේ ආයතනයේ සිටි සභාපතිවරයකු වූ ධනපාල බෝධිනාගොඩ මහතා මේ ආයතනය වෙනුවෙන් විශාල සේවයක් කළා.

ඒ මහතා මේ ආයතනයට ළෙන්ගතුව ආයතනයේ සේවා විවිධ අංශවලින් පුළුල් ලෙස කරගෙන යන අවස්ථාවේ 1984 වසරේ දී දිනමිණ ශීඝ්‍රගාමී බස් සේවය කතරගමට, මහනුවරට ආදී වශයෙන් ආරම්භ කළා. ඒ ආරම්භ කළ බස් සේවය 2015 දක්වාම පවත්වාගෙන ගියා. එයින් කතරගමට යන බැතිමතුන්ට ඉමහත් වූ ප්‍රයෝජනවත් ගමනාන්තයක් බවට දිනමිණ - කතරගම ශීඝ්‍රගාමී බස් සේවය පත්වුණා. ඒ අනුව 2015 වසරේ දී නතරවුණු එම සේවාව වත්මන් සභාපති ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. මෙය වැදගත් සේවාවක්. මෙය ජනතාවට කරන ඉමහත් වූ සහන සේවයක් වෙනවා.

ඒ අනුව අද දිනයේ දිනමිණ - කතරගම ශීඝ්‍රගාමී බස් සේවය ආරම්භ කරන අවස්ථාවේ ආගමික වශයෙන් ආශීර්වාද ලබාගත්තා. මෙය සැලසුම් සහගතව, සාර්ථක ලෙස පවත්වාගෙන යන්න ආශීර්වාද කරනවා. මේ පියවර ප්‍රශංසනීය පියවරක්. මේ කටයුතු සාර්ථක වේවා කියා ආශීර්වාද කරනවා.

 

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති, ජනාධිපති නීතිඥ ඩබ්ලිව්. දයාරත්න මහතා-

අද ලේක්හවුස් ආයතනයට ඉතාම සතුටු දවසක්. ලේක්හවුස් ආයතනයට මේ වනවිට අවුරුදු 130ක පමණ ඉතිහාසයක් තිබෙනවා. මේ බස්රථ සේවාවටත් දිගු ඉතිහාසයක් හිමියි. ලේක්හවුස් අධ්‍යක්ෂ මණ්ඩලය පත්වී මේ වනවිට වැඩි කාලයක් ගතවී නැහැ. නමුත් ඉතාම අබලන් තත්ත්වයේ පැවැති කතරගම ලේක්හවුස් නිවාඩු නිකේතනය නවීකරණය කිරීම සම්බන්ධයෙන් අපට ප්‍රශ්නයක් තිබුණා. අපේ නීති අධ්‍යක්ෂ රඛිත අබේගුණවර්ධන මහතා ඒ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමෙන් පසු නවීකරණය සම්බන්ධයෙන් අපි සාකච්ඡා කළා. ඒ අනුව ඉතා ඉක්මණින් නවීකරණ කටයුතු අපි ආරම්භ කළා. ඊළඟට මෙතරම් කාලයක් ගමන් කළ බස් සේවය ඇයි ආරම්භ කරන්නේ නැත්තේ කියා යම් යම් අය අපෙන් ප්‍රශ්න කළා. එක් දිනකට රුපියල් 30,000ක් පමණ ගෙවා පැල්මඩුල්ලේ සිට බස්රථයක් කතරගමට රැගෙන යාම ප්‍රශ්නයක් වෙනවා. ඒ අවස්ථාවේ අපේ අධ්‍යක්ෂ මණ්ඩලය මේ කටයුතු ආරම්භ කළා. අපි බස් රථයක් ගතයුතු තැනට ආවා. ඊට අමතරව පුවත්පත් නිසි වේලාවට රැගෙන යාමට ද අවශ්‍ය වුණා. මේ බස් රථයෙන් මමත් කුඩා කාලයේ කතරගම ගිහින් තිබෙනවා. මගේ පවුලේ වැඩි දෙනෙක් මේ බස් රථයෙන් කතරගමට ගොස් තිබෙනවා. ඒ බස් රථයෙන් කතරගමට ගියේ බැතිමතුන් පමණක් නොවෙයි. ඕනෑම අයෙකුට ගමන් පහසුකම් සලසා ගන්න පුළුවන්. රාත්‍රී 10.00ට මේ බස් රිය යනවා. මුල් කාලයේ වැඩි වශයෙන් බස් තිබුණේ නැහැ. මේ බස් රිය තමයි තිබුණේ.

විශාල පිරිසක් තමන්ගේ ගමන් අවශ්‍යතාව වෙනුවෙන් දිනමිණ - කතරගම ශීඝ්‍රගාමී බස් සේවය ප්‍රයෝජනයට ගත්තා. යළිත් වරක් මේ බස් සේවය ආරම්භ කිරීම වෙනුවෙන් සහාය දුන් සියලු දෙනාටම මගේ ස්තුතිය පිරිනමනවා. විශාල පිරිසක් මේ වෙනුවෙන් සහාය දුන්නා. මේ බස් සේවය අපේ ආයතනයට ඉතාම වැදගත්. ඒය සාර්ථක වේවා කියා පතනවා. මෙය අපේ ආරම්භයයි. ඉතාම වැදගත් ස්ථානයකට බස් රථය ගමන් කරන්නේ. කඳසුරිඳුන්ගේ ආශීර්වාදය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර මහතා-

1932 වසරේ දී ඊබට් සිල්වා සමාගමේ බස්රථ මගින් අපේ ආයතනය කතරගම, අනුරාධපුර සහ යාපනය ප්‍රදේශවලට බස්රථ සේවාව ආරම්භ කර තිබුණා. 1984 වසරේ දී අපේ ආයතනයේම බස්රථ යොදා ගනිමින් මේ කටයුත්ත කර තිබුණා. දිනමිණ - කතරගම ශීඝ්‍රගාමී බස් සේවයට වසර 90ක් පමණ සම්පූර්ණ වෙනවා. එය ඵෙතිහාසිකයි. කෙසේ හෝ 2015 වසරේ දී මේ බස්රථ සේවය නතර වුණා. ඊට පස්සේ පෞද්ගලික ආයතනවල බස්රථ යොදා ගනිමින් ෙම් බස් සේවය පවත්වාගෙන ගොස් තිබෙනවා. ඒ අනුව දිනකට රුපියල් 31,000ක පමණ විශාල මුදලක් මේ වෙනුවෙන් ගෙවා තිබෙනවා. එවැනි වාතාවරණයක් යටතේ නව සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය පැමිණි පසුව මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා.

ඉතා ඕනෑකමින් මේ බස්රථ සේවාව යළි ආරම්භ කරන්න පියවර ගත්තා. නමුත් මෙතරම් හෝ ප්‍රමාද වුණේ රටේ කොවිඩ්-19 වසංගත තත්ත්වය නිසයි. මේ බස්රථ සේවය යළි පටන් ගන්න යාමේ දී විවිධ බාධක පැමිණියා. එහිදී මූල්‍ය අධ්‍යක්ෂවරයා නව බස්රථ දෙකක් ගතයුතුයි කියන තැන සිට කටයුතු කළා. මේ සියලු කටයුතු අපේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙහෙයවා තිබෙනවා. මේ කාර්යය වෙනුවෙන් අපි සියලු දෙනාටම ස්තුතිය පිරිනමනවා. මගීන් පිරුණු බස්රථයක් අපිට ඉදිරියේ දී දැකගන්න පුළුවන් වෙයි. කොළඹ සිට කතරගම දක්වා සහ කතරගම සිට කොළඹ දක්වා ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව, සුව පහසුව මෙන්ම විශ්වාසයෙන් යුතුව ප්‍රවාහන පහසුකම් සැලසීම දිනමිණ - කතරගම ශීඝ්‍රගාමී බස් සේවය යළි ආරම්භ කිරීමේ අරමුණ වී තිබෙන අතර එය මගී ජනතාවට නවමු අත්දැකීමක් වනු ඇති. ලේක්හවුස් මන්දිරයෙන් රාත්‍රී 10.00ට ගමන් ආරම්භ කරන මේ බස් රථය අලුයම 5.30 කතරගමට ළඟාවීමට නියමිත අතර අනතුරුව කතරගම බස් නැවතුමෙන් පෙරවරු 9.15ට යළි කොළඹ බලා ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්, මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ කණිෂ්ක විතාරණ, නීති අධ්‍යක්ෂ නීතිඥ රඛිත අබේගුණවර්ධන, මූල්‍ය අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් වන නාරද සුමනරත්න, ප්‍රසන්න ජයසුන්දර, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත්, ජ්‍යෙෂ්ඨ ප්‍රවාහන කළමනාකාර තිස්ස ධම්මික මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

වර්ෂා කාලවලදී මතු විය හැකි රෝග ද බොහෝය. ඉන් ඩෙංගු ප්‍රධාන ස්ථානයක් ගනී. කොරෝනා වසංගතය පිළිබඳ පමණක් සිතා මාරාන්තික ඩෙංගු රෝගය අමතක කළ යුතු නොවේ. පසුගිය කාලයේදී ඩෙංගු මදුරුවා ද මිනිස් ජීවිත බොහොමයක්ම බිලි ගත් බව මතක තබා ගත යුතුය. තව ද ගංවතුර තත්ත්වයක දී ඇති විය හැකි තවත් රෝග ගණනාවක් තිබේ. එනම් ගංගා, ඇළ, දොළවල පිටාර ජලය හා අපද්‍රව්‍ය, මඩ ස්පර්ශ වීම නිසා සමේ විවිධ ආසාදන තත්ත්ව ඇති වීමය.

කොරෝනා වසංගතය හේතුවෙන් විටින් විට රට වසා දැමීමට සිදු වූයේ මෙරට ජනයා ඉන් බේරා ගැනීම සඳහා ය. වසා දැමුුණු රට යළි සම්පූර්ණයෙන් විවෘත කෙරුණේ රටේ ආර්ථිකය නංවාලීම සඳහාත් ජනතාවගේ ජීවිතවලට සහනයක් සැලසීම සඳහාත්ය . දැන් රටේ පාසල්වල ඉහළ ශ්‍රේණිවල දරුවන්ට ද යළි පාසල් යෑමට වරම් ලැබිණි. එහෙත් ජනතාව මේ ආකාරයෙන් සිය ජන ජීවිත ආරම්භ කිරීමට සැරසුණ ද මේ දිනවල පවතින වර්ෂාව ඊට හරස් වී තිබේ. නිරිත දිග මෝසම් වර්ෂාවේ අවසාන අදියර වන ඔක්තෝබර් නොවැම්බර් මාස දක්වා පවතින වර්ෂාව තදින් ක්‍රියාත්මක වෙමින් තිබේ.

නිරිතදිග හා ඊසානදිග මෝසම්

ශ්‍රී ලංකාවට වර්ෂාව ලැබෙන්නේ සංවහන, මෝසම් සහ වාසුළි මඟිනි. ඒ අතර ප්‍රධාන මෝසම් වැසි වර්ග 2කි. එනම් නිරිත දිග මෝසම් වැසි සහ ඊසාන දිග මෝසම් වැසි ලෙසිනි. ඉන් ශ්‍රී ලංකාවට වැඩි වර්ෂාපතනයක් ලැබෙනුයේ නිරිතදිග මෝසම් වැසි මඟිනි. මෝසමක් ආරම්භයේ දී හා අවසානයේ දී වැසි තත්ත්වයේ වැඩි වීමක් දක්නට ලැබේ. මේ දිනවල පවතිනුයේ එවන් තත්ත්වයකි.

මෙම කාලයේ දී සුළඟේ වේගය වැඩි වීමක් දක්නට ලැබේ. වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල මෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ලෙස දැක්වෙන කෑගල්ල, රත්නපුර, අවිස්සාවේල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ද තද වැසි, තද සුළං තත්ත්වයන් ඇති වේ. සාමාන්‍යයෙන් සුළඟේ වේගය පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වුව ද ඇතැම් අවස්ථාවන්වල දී වැස්ස සමඟ එය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යයි. සුළඟේ වේගය වැඩි අවස්ථාවන්හි දී ගස්වල අතු කඩා වැටීම, වහල ගැලවී යෑම් ඇති විය හැකි බැවින් ජනතාව ඒ පිළිබඳ ව සුපරික්ෂාකාරී ලෙස සිටිය යුතුය. මෙම මෝසම් තත්ත්වය යටතේ ක්ෂණිකව ඉතා සීමිත ස්ථානයකට හෝ සීමිත ප්‍රදේශයකට හෝ තද සුළං ඇති විය හැකිය. එමෙන්ම වැසි සමඟ අකුණු සර ඇති වීම ද වැසි වැඩි වීමෙන් නායයෑම් වැනි අනතුරු ද සිදු විය හැකිය. විශේෂයෙන් කඳු ආශ්‍රිතව ජීවත් වන ජනතාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් සිටිය යුතුය. නායයෑම් අනතුරු සංඥා පිළිබඳ මනා අවධානයෙන් සිට එම අනතුරු ඇඟවීම්වලට සවන් දී ඒ පිළිබඳ නිසි පියවර ගත යුතු වේ. තාවකාලිකව තම නිවෙස්වලින් පිට වී ආරක්ෂිත ස්ථාන කරා යෑම කළ යුතු වේ. වර්ෂාව පවතින ප්‍රදේශවලට ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කරනුයේ දින ගණනක් තිස්සේ පොළොව යට ඇති තෙත් ගතිය පැවතීමෙන් පොළොව යට දිය උල්පත් මතු වී, ගස්වල මුල් දිය වීමෙන් නායයෑම් ඇති විය හැකි බැවිනි.

ආපදා කළමනාකරණ කමිටු

සියලුම ආපදා කළමනාකරණ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා ඊට අදාළ සම්බන්ධීකරණ කටයුතු සඳහා පහසුකම් සැපයීම සඳහා දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමින් රට පුරා ආපදා කළමනාකරණ කමිටු පිහිටුවා තිබේ. එමෙන්ම, උප ජාතික මට්ටමෙන් ආපදා අවදානම් අවම කිරීමේ ක්‍රියාකාරකම් පවත්වාගෙන යෑම සඳහා සියලුම දිස්ත්‍රික්කවල, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකක ද (DDMCU) පිහිටුවා තිබේ. එම නිසා ගංගා ආශ්‍රිතව ජීවත් වන ජනතාව මෙන්ම නායයෑම් අනතුරු සිදු විය හැකි ප්‍රදේශවල ජීවත් වන ජනතාව පූර්ව ආපදා කළමනාකරණ අනතුරු ඇඟවීම්වලට හොඳින් කන් දිය යුතුය. පෙර වසරවල දී ද නායයෑම් අනතුරු මෙන්ම ගංවතුර අනතුරු ද මෙරට තුළ වාර්තා වූ බැවින් මෙම වසරේ දී එම අනතුරු වළක්වා ගැනීම සඳහා පූර්ව සූදානමකින් සිටිය යුතු වේ. වේලාසන කරනු ලබන දැනුම් දීම්වලට කන් දී ඊට අනුකූලව කටයුතු කළ යුතුය.

ඩෙංගු රෝගය

එමෙන්ම මෙවැනි වර්ෂා කාලවල දී මතු විය හැකි රෝග ද බොහෝය. ඉන් ඩෙංගු රෝගය ප්‍රධාන ස්ථානයක් ගනී. කොරෝනා වසංගතය පිළිබඳ පමණක් සිතා මාරාන්තික ඩෙංගු රෝගය අමතක කළ යුතු නොවේ. පසුගිය කාලයේ දී ඩෙංගු මදුරුවා ද මිනිස් ජීවිත බොහොමයක්ම බිලි ගත් බව මතක තබා ගත යුතුය. තවද ගංවතුර තත්ත්වයක දී ඇති විය හැකි තවත් රෝග ගණනාවක් තිබේ. එනම් ගංගා, ඇළ, දොළවල පිටාර ජලය හා අපද්‍රව්‍ය, මඩ ස්පර්ශ වීම නිසා සමේ විවිධ ආසාදන තත්ත්ව ඇති වීමය. එමෙන්ම තුවාල, සීරීම්, සමේ පළුදු වීම් ඇති වූ විට මෙම තත්ත්වය භයානක විය හැකිය. මන්ද, මාරාන්තික විෂබීජ ශරීර ගතවීමට ඇති හැකියාව වැඩි බැවිනි. මී උණ, පිටගැස්ම වැනි රෝගයන්ට ගොදුරු වීමේ අවකාශ ද මෙවැනි කාලසීමාවන්හි දී ඇති විය හැකිය. එබැවින් ඒවා ද නොසලකා හැරිය යුතු නොවේ. මෙවැනි ස්ථානවල ගැවසීම, අපරික්ෂාකාරී ලෙස වතුරට බැසීමෙන් වැළකිය යුතුය.

 

මදුරු උවදුර

ගං වතුර තත්ත්වය ක්‍රමයෙන් පහව යෑමත් සමඟ මදුරු උවදුර වැඩි විය හැකි බැවින් පහත් බිම්වල ජලය එක්රැස් වී ඇති ස්ථානවල ගොඩ ගැසී තිබෙන කැළි කසළ අපද්‍රව්‍ය, බෝතල්, ටින් කැබලි, ටයර් ආදිය විනාශ කිරීම වඩාත් සුදුසු ය.

මෙම සියලු දේ පිළිබඳ සැලකිලිමත් වීමෙන් හා පෙර සූදානම අනුගමනය කිරීමෙන් මෙවැනි ව්‍යසනයන් බොහොමයකින් ම වැළකී සිටීමට මෙරට ජනතාවට හැකි වනු ඇත. තමා අවට පරිසරයේ පැතිරී යන රෝග පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබිය යුතු අතර රෝග උපද්‍රවවලින් ආරක්ෂා වීමට, පෙර සූදානම අත්‍යවශ්‍ය ය. අවබෝධය තුළින් රෝග පැතිරී යෑම වැළැක්වීම සඳහා පුද්ගල මට්ටමින් ගත හැකි පියවර ගැනීමෙන් මෙම ආපදා හානි වළක්වා ගැනීමට සියල්ලටම දායක විය හැකිය.

එමෙන්ම මේ දිනවල ගංගා, ඇළ, දොළවල ස්නානය කිරීම ද නොකළ යුත්තකි. එලෙස ස්නානය කිරීමට යෑමෙන් පසුගිය දින කිහිපයේම ජීවිත කිහිපයක්ම අකාලයේ නැති විණි.

කාලගුණ අනාවැකිකරණයේ ප්‍රගතිය

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ වන විට කාලගුණ අනාවැකිකරණයේ ප්‍රගතියක් අත් කර ගෙන ඇති බව දක්නට ලැබේ. පසුගිය කාලය තුළ නිසි වේලාවට, නිවැරැදි අනාවැකි නිකුත් කිරීමට හැකි වූ ආකාරයක් පෙනෙන්නට තිබිණි. උදාහරණයක් ලෙස මුහුදේ කැළඹිලි තත්ත්වයන් පිළිබඳ නිවැරැදි අනාවැකි කල් ඇතිව නිකුත් කිරීම නිසා අනතුරට පත්වීමට ඉඩ තිබූ බොහෝ ධීවර ජනතාවක් එම අවදානමෙන් මුදා ගැනීමට හැකි වීම පෙන්වා දිය හැකිය. ගැඹුරු මුහුදේ අවදානම් කලාපවල ධීවර කටයුතු කරමින් සිටි පිරිස් ආරක්ෂිත ප්‍රදේශ වෙත යොමු කර ඔවුන්ට ආරක්ෂාව සපයා දීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිවලට හැකියාව ලැබිණි. දිනෙන් දින දියුණු වන තාක්ෂණය හේතුවෙන් අනාවැකි වේගවත්ව සහ විස්තරාත්මකව නිකුත් කිරීමට හැකියාව ලැබේ. වත්මන් රජය, ලෝක බැංකුව සමඟ එක් වී කාලගුණ අනාවැකි තවත් පුළුල් ආකාරයට ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය පහසුකම් නැංවීමේ ගිවිසුමකට එළැඹී තිබේ. ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ආශ්‍රිතව සිදු කෙරෙන ක්‍රියාකාරකම් සඳහා කාලගුණ අනාවැකි විස්තරාත්මක දත්ත සහ විශ්ලේෂණාත්මක තොරතුරු සහිතව නිකුත් කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් වැඩි දියුණු කිරීම නව වැඩපිළිවෙළ මඟින් සිදු කෙරේ.

වායුපීඩන තත්ත්වය

ගෝලීය වශයෙන් ලබා ගන්නා දත්ත, දේශීය වශයෙන් ලබා ගන්නා කාලගුණික දත්ත, චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගන්නා දත්ත සියල්ල ඒකරාශි කර, ඉතාමත් පුළුල් විස්තරාත්මක අනාවැකියක් ලබාදීමේ ක්‍රමවේදයක් (Integrating system) ඇති කිරීමට කටයුතු මේ වන විට යොදා තිබේ. එමෙන්ම ජපානයේ ජයිකා ආයතනයේ ආධාර ඇතිව පුත්තලම හා පොතුවිල් ප්‍රදේශවල ඩොප්ලර් (Dopler) දෙකක් ස්ථාපනය කිරීමට ද කටයුතු යොදා තිබේ. මේ නිසා බෙංගාල බොක්ක සහ අරාබි මුහුද ආශ්‍රිතව ඇති වන වායු පීඩන තත්ත්වයන්, සුළි කුණාටු තත්ත්වයන් වර්ධනය වෙන්නේ ඉතාමත් කෙටි කාලයක් තුළ බව සඳහන් වේ.

මේ නිසා රටේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙන්ම ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය පිළිබඳව ද විශ්වාසය ඇති කර ගත යුතු අතර ඉන් නිකුත් කරනු ලබන නිවේදනයන්ට යහපත් ප්‍රතිචාර දැක්විය යුතු ය. මේ නිසා ගංවතුර ආපදා, නායයෑම් අනතුරු මෙන්ම වසංගත රෝගවලින් ද ආරක්ෂා වීමට ජනතාවට හැකි වනු ඇත.

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වර්ධනයක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි. ජනතාවගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය ඊට හේතුවයි. ඉදිරි දෙසතිය තුල එහි ප්‍රතිඵල දැක ගැනීමට හැකිවනු ඇත.

දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාවේ අඩුවක් දක්නට ලැබුනද කොරෝනා අවදානම මුඵමනින්ම පහව ගොස් නැත. ආසාදිතයන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව තවදුරටත් පහතට ගෙනඒම අවශ්‍යය. ඒ සදහා ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසිලෙස අනුගමනය කරමින් වගකිමෙන් ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසන්නේ ජනතාවගේ නොසැලකිලිමත් හැසිරිීම ඉදිරියේදී කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාමට හේතුවුවහොත් යළි සීමා පැනවීමට සිදුවන බවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ බලපෑමට ලක් වු ව්‍යාපාර හා පුද්ගලයන්ට සැපයු ණය සහනවල වටිනාකම රුපියල් කෝටි හාර ලක්‍ෂය ඉක්මවන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වෙයි. සෞභාග්‍යයා ණය පමණක් රුපියල් කෝටි 17 දහස් 900 ඉක්මවයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ බලපෑමට ලක් වු ගනුදෙණුකරුවන්ට සහායදීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුව තමන් අධීක්‍ෂණය කරන මුල්‍ය ආයතන මගින් යෝජනා ක්‍රම කිහිපයක් ක්‍රියාත්මක කරයි. ණය ආපසු ගෙවීමේ කාලය දීර්ග කිරීම, සහනදායි පොලී අනුපාතික, කාරක ප්‍රාග්ධන ණය, ණය සහන සහ ණය පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීම හා ප්‍රතිලේඛණගත කිරීම ඒ අතර වෙයි.

කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් ව්‍යාපාර යළි නංවාලීම සදහා අදියර 3 ක් යටතේ සෞභාග්‍යයා කොවිඩ් 19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වෙයි. මාස 6 ක සහන කාලයක් ඇතුලුව මාස 24 ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලයක් සහිතව ක්‍රියාත්මක වන එම ණය යෝජනා ක්‍රමයෙන් අය කරන පොලිය සියයට හතරකි.

ණය ගැනීමේ සීමාව වැඩි කිරීමට සංශෝධනයක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට ඉදිරිපත් කෙරේ.

ණය ගැනුම් සීමාව වැඩි කිරීම සඳහා ඉදිරිපත් කරන ලද 2020 අංක 07 දරන විසර්ජන පනත සඳහා වූ සං‍‍ශෝධනයට පසුගියදා සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් හෙබි රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.

එමඟින් අදාළ පනතේ 02 වන වගන්තිය සංශෝධනය කෙරෙන අතර එයින් මෙතෙක් රු.බි. 2997ක් ව පැවති ණය ගැනුම් සීමාව රු.බි. 3397 දක්වා ඉහළ දැමීම සිදු කෙරෙනු ඇතැයි පසුගියදා මාර්ගගත ක්‍රමයට පැවති පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය විණි.

මේ සම්බන්ධව පැහැදිලි කරමින් මුදල් අමාත්‍යංශ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා පෙන්වා දුන්නේ, ණය ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා විසර්ජන පනතට සංශෝධනයක් අවශ්‍ය වූයේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා රටේ උද්ගත වූ ආර්ථික පසුබෑමෙන් 2021 වසර සඳහා අපේක්ෂිත ආදායම ලබාගැනීමට නොහැකි වීම, පරිපූරක වියදම් ඉහළ යාම, විදේශ මුදලින් සිදු කළ යුතු ණය සේවා ගෙවීම් වලට මුදල් සැපයීමේදී රුපියල අවප්‍රමාණය වීම නිසා වූ බලපෑම ආදී හේතු මත බවයි.

එසේම, පරිපූරක වියදම් ඉහළ යාමට කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා ඉහළ ගිය සුබසාධන වියදම් හේතුවූ බව පෙන්වා දුන් ආටිගල මහතා එම වියදම් සඳහා පාර්ලිමේන්තුව විසින් රු. බි. 200 ක මුදලක් පසුගිය කාල සීමාව තුළ අනුමත කළ බව පැවසීය.

මෙම පනත් සංශෝධනයට අමතරව 2021.09.27 දින ගත් කබිනට් තීරණයට අනුව, 1969 අංක 01 දරන ආනයන අපනයන (පාලන) පනත යටතේ 2020 ඔක්තෝම්බර් 29 වන දින පටන් ක්‍රියාත්මක වූ  සුදු සීනි සඳහා වූ බලපත්‍ර ක්‍රමය ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ගැසට් පත්‍රයටද මෙම රජයේ මුදල් පිලිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවිණි.

මෙහිදී සීනි සම්බන්ධව රට තුළ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය පැහැදිලි කර ගැනීම පිණිස ඒ් සම්බන්ධව වෝහාරික වාර්තාවක අවශ්‍යතාව මෙම කාරක සභාව හමුවේ තමන් කිහිපවරක් අවධාරණය කළ බව  ආචාර්ය හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයා පැවසීය.

මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ, නුදුරේදීම රාජ්‍ය ගිණුම් කාරක සභාව විසින් එය ඉදිරිපත් කළ පසු ඒ සම්බන්ධව දීර්ඝ ලෙස සංවාදය‍ක නිරත වීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට හැකියාවක් ඇති බවයි.

පසුගියදා මාර්ගගත ක්‍රමයට පැවති පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ගරු සුසිල් ප්‍රෙම්ජයන්ත,ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුන් මෙන්ම රජයේ උසස් නිලධාරීහු පිරිසක්ද සහභාගී වූහ.

දිවයිනට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වය හමුවේ ඉදිරියේ දී ගංවතුර අවධානමක් ඇති වුවහොත් ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා බටහිර සහ දකුණු නාවික විධානයන් තුළ නාවික හමුදා සහන කණ්ඩායම් 35ක් සූදානමින් තැබීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.

ඒ අනුව ඇති විය හැකි ගං වතුර අවධානමට පෙර සුදානමක් වශයෙන් බටහිර නාවික විධානය මගින් ආපදා සහන කණ්ඩායම් තුනක් (03) රත්නපුර දිස්ත්‍රික්කයේ ස්ථානගත කර ඇති අතර, ක්ෂණිකව ස්ථානගත කිරීම සඳහා තවත් අමතර සහන කණ්ඩායම් 24ක් බටහිර නාවික විධානයෙහි සූදානමින් තබා ඇත.

එමෙන්ම, දකුණු නාවික විධානය මගින් ද සහන කණ්ඩායමක් (01) උඩුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ උඩලමත්ත ප්‍රදේශයේ ස්ථානගත කර ඇති අතර, ක්ෂණිකව ස්ථාන ගත කිරීම සඳහා තවත් අමතර ගංවතුර ආපදා සහන කණ්ඩායම් 07ක් දකුණු නාවික විධානයෙහි සූදානමින් තබා ඇත.

තවද, දිවයිනට බලපා ඇති මෙම අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍යතාවය මත සහන කණ්ඩායම් කඩිනමින් යෙදවීමට නාවික හමුදාව නිරන්තර සූදානමින් සිටී.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter