නවතම පුවත්

අතිගරු ජනාධිපතතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව දියත් කරනු ලබන යුද්ධ හමුදාවේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය විසින් නිෂ්පාදනය කළ කාබනික පොහොර ටොන් 50 ක් යාපනයේ පලාලි පිහිටි යුද්ධ හමුදා ගොවිපලේ පැවැති උත්සවයක් අතරතුරදී, යාපනය ප්‍රදේශයේ ගොවීන් 30 දෙනෙකු අතර බෙදාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතාගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙම අවස්ථාවට සහභාගී වූ අතර තවද, මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යුද්ධ හමුදාව විසින් එම ප්‍රදේශවල ගොවීන්ගේ ප්‍රයෝජනයට මෙන්ම එළවලු හා වී ඇතුළු විවිධ බෝග වගාකරන යුද්ධ හමුදා සාමාජිකයින්ගේ භාවිතය සඳහා කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවු ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව ක්‍රියාවට නැංවිණි.

ආරක්‍ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර භටපිරිස් විසින් නිෂ්පාදනය කරන ලද කාබනික පොහොර ටොන් 86.9 ක තොගයක්ද මේ ආකාරයෙන්ම එම ආරක්‍ෂක සේනා ආඥාපතිගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී ‘ලක් පොහොර’ ආයතනය වෙත පසුගිය දා භාරදීමට කටයුතු කරන ලදී.

පලාලි යුද්ධ හමුදා ගොවිපළ තුළ ස්ථාපිත කාබනික පොහොර නිෂ්පාදන ඒකකය නිල වශයෙන් විවෘත කළ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම පොහොර ප්‍රතිලාභීන් 30 දෙනෙකු වෙත සංකේතාත්මකව එහිදි භාරදුන්නේය. මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ් රාජපක්‍ෂ ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ. එම පරිශ්‍රයේ නිරික්‍ෂණ සංචාරයක නිරත යුද්ධ හමුදාධිපතිතුමන් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදාගනු ලබන කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ ද නිරීක්‍ෂණය කළේය.

යුද්ධ හමුදාව මෙම ජාතික කර්තව්‍යයට සිය දායකත්වය ලබාදෙමින් මේ වනවිටත් පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කර ඇති අතර නැගෙනහිර පළාත් භටපිරිස් විසින් එය මේ වනවිටත් සාර්ථක ලෙස දියත් කර ඇති බව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එහිදි අදහස් දක්වමින් පැවසීය. “පලාලි පිහිටි පොහොර නිෂ්පාදන ඒකකය ස්ථාපිත කර එහි පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ කල පසු අර්ධද්වීපයේ ගොවීන්ට දියර පොහොර ලීටර් 4000 ක් පමණ නිෂ්පාදනය කිරීමට යුද්ධ හමුදාවට හැකියාව පවතී” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.

යාපනය අර්ධද්වීපයේ කාබනික පොහොර තොගයක් ප්‍රදේශයේ ගොවීන් අතර බෙදාහැරීම සිදු කළ පළමු අවස්ථාව මෙය වන අතර මෙම අවස්ථාවට තවත් සුවීශේෂිත්වයක් එක් කරමින් යුද්ධ හමුදා ගොවිපළ තුළ පිහිටි කාබනික පොහොර කර්මාන්තශාලාවක් ද විවෘත කරන ලදී.

  • කොවිඩ් නිසා පොරොන්දු ඉටු කිරීමට නොහැකි වූවත් ජනතා විශ්වාසය සුරකිනවා
  • ඇතැමුන් මිලිටරීකරණය ඉල්ලුවත් මා ප්‍රජාතන්ත්‍රවාදය සුරැකුවා
  • කාබනික වගාව-පුනර්ජනනීය බලශක්තිය ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තියයි
  • චිත්‍ර ඇන්ද වගා කළ තරුණයන්ට රට හදන්න යළි ආරාධනා කරනවා

ජනපති

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කළ විප්ලවීය වෙනස නියත වශයෙන්ම කරන බවත් අභියෝගය ජය ගැනීමට කැප වීමෙන් ක්‍රියා කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ඒ මහතා මෙසේ පැවසුවේ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් මණ්ඩාඩුව මහජන ක්‍රීඩාංගණයේ පෙරේදා (6) පැවති උත්සවය අමතමිනි.

ජනතාව ඉල්ලා සිටියේ විප්ලවීය වෙනසක් හෙයින් එය සිදු කිරීමේ දී අපහසුතා සහ බාධකවලට මුහුණදීමට සිදු වූවත් එය නොඅඩුව ඉටු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ලෝකයේ සෙසු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද කොවිඩ් වසංගතයට මුහුණ දීමට සිදු වූ බවත් වැටී තිබූ ආර්ථිකයක් හමුවේ හඳුනා නොගත් වසංගතයක් සමඟ දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් ජනතාවගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් සැලසුම් රැසක් ක්‍රියාත්මක කළ බවත් රාජපක්ෂ මහතා කීවේය.

එහිදී තමා දුන් පොරොන්දු එලෙසින්ම ඉටු කිරීමට නොහැකි වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එහෙත් එහි කිසිඳු අඩුවක් නොතබා ජනතාව තමා කෙරෙහි තැබූ විශ්වාසය ආරක්ෂා කරන බව පැවසීය.

සමහර අය කියනවා අප බලාපොරොත්තු වුණේ මිලටරිකරණය වුණු මිනිහෙක්, ගෝඨාභය කෙනෙක් කියා. මට පුළුවන්. හැබැයි ඒ කියන්නේ ගොවි මහත්මයට කාබනික පොහොර භාවිත කරන්න කිව්වම මට පුළුවන් බෙල්ලෙන් අල්ලලා පාවිච්චි කරපන් කියන්න. මට එහෙම අවශ්‍යතාවක් නැහැ. සමහර අය කිව්වා මා ආවොත් ප්‍රජාතන්ත්‍රවාදය නැති වේවි කියා. ඒ අයම කියනවා අයියෝ ඔහොම කෙනෙක් නෙවෙයි හමුදාවේ වගේ එක්කෙනෙක් ඕනේ කියා. මට ඕන්නම් ඒක කරන්න පුළුවන්. නමුත් මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක් යැයිද ජනාධිපතිවරයා කීවේය.

මා අභයාරාමයේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවන්ට කොළඹ විශ්විද්‍යාලයේ කුළපතිකම දුන්නා. උන්වහන්සේ අපව බලයට ගෙන්න වැඩ කළා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයගේ කාලයේ සිට උන්වහන්සේ වැඩ කළා. ඒක ඇත්ත. පසුගිය කාලයේ යම් යම් හේතු හින්දා උන්වහන්සේ අපට විරුද්ධව කතා කළා. විජේදාස රාජපක්ෂ මහත්මය ගියා උපදෙස් ගන්න. සජිත් ප්‍රේමදාස මහත්මයා ගියා උපදෙස් ගන්න, රනිල් වික්‍රමසිංහ මහත්මය ගියා උපදෙස් ගන්න.ස්ටාර්ලිංන්ද කවුද කියන කෙනා ගියා උපදෙස් ගන්න. මහින්ද ජායසිංහ කියන පුද්ගලයත් උපදෙස් ගන්න ගියා. ඔය සියලුදෙනා උපදෙස් ගන්න ගියේ උන්වහන්සේ ළගට. හැබැයි උන්වහන්සේව කුළපති කළාම ඒකට සුදුසු නැහැ. ඔක්කොම රැළ පිටින් ගිහින් උපදෙස් ගත්තේ එතනින් යැයිද රාජපක්ෂ මහතා කියා සිටියේය.

ඥානසාර හාමුදුරුවෝ පත් කළ කියලා විවේචනය කරනවා. මා දන්නවා අවුරුදු පහක් තිස්සේ උන්වහන්සේ තමයි එක රටක්, එක් නීතියක් කියන සංකල්පය ගැන කතා කළේ. මා උන්වහන්සේට කතා කර ඔබ වහන්සේ මෙක ගැන අවුරුදු පහක් කතා කළා නේ. ඔබ වහන්සේ හදලා දෙන්න ඒ සංකල්පය. ඔබ වහන්සේ ඒක හදලා දුන්නම මා ඒක දෙන්නම් අධිකරණ ඇමැතිවරයට එහි යම් යම් අඩුපාඩු තිබෙනව නම් හදලා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඒකයි අවශ්‍යතාව. ඒකයි මට ඕනෑ. ඒකටත් විපක්ෂය දොෂාරෝපණය කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

කොවිඩ් වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටිණා. ඉන් අහිමි වූ ඝෘජු සහ වක්‍ර රැකියා සංඛ්‍යාව මිලියන 3කට ආසන්න වෙනවා. ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට විදේශ රැකියා අවස්ථා අහිමි වූ අතර ඉහළම සිට පහළම ව්‍යාපාරිකයා දක්වා සියලුදෙනාගේ ආර්ථිකයට බාධා එල්ල වුණා. මේ සමඟ ඇති වූ දැවැන්ත ආර්ථික බිඳ වැටීම මත වූවද සංවර්ධන වැඩකටයුතු අඛණ්ඩව සිදු කළා. සියලුම රාජ්‍ය සේවකයන්ට නියමිත දිනට වැටුප් ගෙවනු ලැබුවා. ඩොලර් මිලියන 4ක් වූ විදේශ ණය වාරික නියමිත පරිදි ගෙවීමට පියවර ගත්තා. කොවිඩ් රෝගී පවුල් වෙනුවෙන් සහ නිරෝධායනයට ලක් වූ සියලුදෙනා වෙනුවෙන් ආධාර මුදල් ලබාදුන්නා. වී වලට සහතික මිලක් ලබාදීමට කටයුතු කළා. මේ සියල්ල සිදු කිරීමට වූයේ දැවැන්ත ආර්ථික අර්බුද හමුවේ බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කාබනික වගාව මෙන්ම පුනර්ජනනීය බලශක්ති උත්පාදනය සඳහා වූ වෙනස ඉටු කිරීමට කිසි විටෙකත් පසුනොබසින බවද ජනාධිපතිවරයා පැවසීය. 

මුං, කව්පි, උදු, කහ ඇතුළු බෝග 16 ආනයනය කිරීම සම්පූර්ණයෙන් නතර කළා. අද එහි ප්‍රතිඵල ගොවීහු භූක්තිවිඳිමින් සිටිනවා. කුරුඳු, ගම්මිරිස්, කහ සඳහා ඉහළ මිලක් ගොවියාට ලැබෙමින් පවතිනවා. ගොවියාගේ අතට ලැබෙන එම ආදායම අඩු නොකිරීමටත්, පාරිභෝගිකයාව ආරක්ෂා කිරිමටත් පියවර ගන්නා බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙම තත්ත්වය අවබෝධ කරගෙන හරිත කෘෂි අභියෝගය ජය ගැනීමට එක්වන්නැයි සියලු ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටී ජනාධිපතිවරයා ගොවීන්ට හෝ ජනතාවට බලපෑම් කර එම වෙනස සිදු කිරීමට තමා අපේක්ෂා නොකරන බව ද කීවේය.

තමා බලයට පත්වීමත් සමග තරුණයන් තාප්පවල චිත්‍ර ඇඳ වෙනසට මුලපිරුවා. තවත් පිරිසක් පුරන් කුඹුරු අස්වැද්දුවා. එදා තැබූ විශ්වාසය සමග විප්ලවීය වෙනස වෙනුවෙන් යළි ඉදිරියට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා මේ සියලුදෙනාට ආරාධනා කළේය.

“සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව දිවයින පුරා මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් අතුරා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කෙරුණු අතර ඒ යටතේ වැඩ නිමකළ මාර්ග 1500ක් එකම දිනකදී ජනතා අයිතියට පත්කිරීම සනිටුහන් කරමින් මීගස්ආර, කුඩාබුබුල, කපුවත්ත මාර්ගය ඇමැති චමල් රාජපක්ෂ මහතා අතින් ජනතා අයිතියට පත් කළේය.

කොවිඩ් වසංගතය හමුවේ සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ නවතා දැමුවේනම් අද මෙලෙස මාර්ග 1500ක් විවෘත කිරීමට නොහැකි වන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මාර්ග කි.මි. ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහනේ දී ග්‍රාමීය හා වතු මාර්ග සඳහා ප්‍රමුඛතාව ලබාදී ඇතැයි පෙන්වා දුන් අගමැතිවරයා රට ගොඩනැගීමට ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය විය යුතු බව පැවසීය.

මාර්ග සංවර්ධනයට සමගාමීව ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය නගාසිටුවිය හැකි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබෙන බව ද අගමැතිවරයා සිහිපත් කළේය.

කුලුණු මතින් ඉදිවන කැලණිය නව ගුවන් පාලම සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර මේ වසර අවසන් වන විට ජනතා අයිතියට පත් කරන බව මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කළේය.

මෙ රට සංවර්ධන කටයුතු වෙනුවෙන් ලෝක බැංකුව ඩොලර් මිලියන 500ක සහනදායී මුදලක් ලබාදීමට පියවර ගන්නා බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපීය උප සභාපති, හාට්ව්ග් ෂෙෆර් මහතා විසින් සඳහන් කළේය

කැබිනට් සහ රාජ්‍ය ඇමැතිවරු, දකුණු පළාත් ආණ්ඩුකාරවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ජනතා නියෝජිතයෝ, ලෝක බැංකුවේ විදේශ නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

  • අවශ්‍ය ටොන්-11,374යි
  • ටොන් 20,377ක් නිපදවයි

දිසාපති කියයි

පුත්තලම දිස්ත්‍රික්කයේ මහකන්නයට අවශ්‍ය කාබනික පොහාර අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 11374 ඉක්මවා පොහොර මෙට්‍රික් ටොන් 20377ක් නිෂ්පානදය කර ඇතැයි පුත්තලම දිසාපති කේ. ජී. විජේසිරි මහතා  පැවැසීය.

සාර්ථකව කාබනික පොහොර නිෂ්පාදනයට එක්ව එහි ජයග්‍රහණ භුක්ති විදින පුත්තලම් දිස්ත්‍රික්කයේ කිසිදු ගොවි මහතෙක් උද්ඝෝෂන සඳහා එකු නොවූ බවත් කිසිදු උද්ඝෝෂණයක් නොපැවැත්වූ බවත් දිසාපතිවරයා අවධාරණය කළේය.

පොල් පලතුරු එළවළු, ඇතුළු සියලු වගාවන්වලට මහ කන්නය සඳහා අව්‍ශ්‍ය වන්නේ ටොන් 134,694ක් බව කියා සිටි දිසාපතිවරයා එම ඉලක්කය ඉක්මවා ඝන පොහොර නිෂ්පානය කර ඇති බවද කියා සිටියේය.

දියර පෙහොර ලීටර හාරලක්ෂ අනුනම දහස් හාරසිය තිස් එකක් (499431) නිෂ්පාදනය කර ඇති බව කියා සිටි දිසාපතිවරයා අවශ්‍ය වන්නේ ලීටර දෙලක්ෂ විසිහත් දහස් හාරසිය හැත්තෑවක් (227470) බවද කියා සිටියේය.

රජයෙන් ලබා දෙන නැනෝ පොහොර ලැබීමටද නියමත බව කියා සිටි විජේසිරි මහතා ගොවීන් තම වගාවට අවශ්‍ය ඝන පොහොර මෙට්‍රික් ටොන් 2745ක් නිෂ්පාදනය කර ඇති බවත් කියා සිටියේය.

එක් මහාපරිමාණ නිෂ්පාදකයකු දිනකට ටොන් 35ක් නිෂෟපාදනය කරනවා. මෙවැනි මහාපරිමාණ නිෂෟපාදකයන් 16ක් පමණ දිස්ත්‍රික්කයට සිටිනවා. මාලු අපද්‍රව්‍යවලින් (ෆිෂ් ටොනික් ) ලීටර ලක්ෂ 8ක් නිෂ්පාදනය කරනවා. මේ ක්‍රියාමාර්ගය සාර්ථක වුණේ කණාඩ්යම් හැඟීමෙන් කළ සාමුහික ක්‍රියාවලියක් හේතුවෙන් යැයිද හෙතෙම කියා සිටියේය.

 

නිදහස් ශ්‍රී ලංකාවේ 73 වෙනි අයවැය ලබන 12 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. ස්පාඤ්ඤ උණ වංසගතයෙන් සියවසකට පමණ පසු සමස්ත ලෝකයම මුහුණ දෙන දරුණුතම වසංගතය වන්නේ කොවිඩ් 19 උවදුරයි. සමස්ත ලෝක ප්‍රජාවම කොවිඩ් 19 වසංගතයට ගොදුරුව ඇත. දුප්පත්, පොහොසත් භේදයෙන් තොර ව සමස්ත ලෝකයම කොවිඩ් 19 වසංගතයෙන් බැටකා ඇත. සමස්ත ලෝකයම මේ වසංගතය නිසා දැඩි සමාජ, ආර්ථික ගැටලුවලට සහ අර්බුදවලට මුහුණ දී තිබේ. ලෝකයේ ඉතා ඉහළ ආර්ථික ශක්තීන් ඇති රටවල් ද බරපතළ ආර්ථික අර්බුදවලට මුහුණ පා තිබෙන අතර භාණ්ඩ නිෂ්පාදනය, හුවමාරුව හා බෙදා හැරීම යන කටයුතු කොවිඩ් 19 උවදුර හේතුවෙන් ව්‍යාකූලත්වයට පත් වී ඇත.

කුඩා ආර්ථිකයක් සහිත ශ්‍රී ලංකාවේ ආර්ථිකය කොවිඩ් උවඳුර හේතුවෙන් විශාල අර්බුදයකට තල්ලු වී තිබෙන වටපිටාවක 2022 වර්ෂය සඳහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ඒ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසිනි.

නිදහසින් පසු වැඩිම අයවැය ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුදල් අමාත්‍යවරයා වන්නේ රොනී ද මෙල් මහතා යි. ඔහු විසින් තබා ඇති එම වාර්තාව සම කර ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසිනි. රොනී ද මෙල් මහතා අයවැය ලේඛන 11 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර 2005 සිට 2015 දක්වා ජනාධිපති වශයෙන් කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතා ද මුදල් අමාත්‍යවරයා ලෙස අයවැය ලේඛන 11ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

අයවැය ආශ්චර්යයක් නොවේ

මෙවර පාර්ලිමේන්තුවට අයවැය ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යවර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ කනිටු සොයුරු, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා යි. 2022 අයවැය යනු ආශ්චර්යයක් නොවන බව තේරුම් ගත යුතුය. නිදහසින් පසු ශ්‍රී ලාංකේය ඉතිහාසයේ බරපතළම ආර්ථික අර්බුදකාරි වාතාවරණයක් හමුවේ 2022 අයවැය ඉදිරිපත් කිරීමට නියමිත ය. ගෝලීය කොවිඩ් අර්බුදය, ගෝලීය ආර්ථික අර්බුදය සහ ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වී තිබෙන පසුගාමී තත්ත්වය යන උපද්‍රව 03 ක් පෙරටුව 2022 අයවැය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

මතු සඳහන් ත්‍රිවිධ අර්බුද හමුවේ 2022 අයවැය යනු ප්‍රතිහාර්යයක් නොවන සමස්ත ආර්ථික දේහයම පරිවර්තනය කිරීමට අවශ්‍ය ශක්තිමත් යටිතලයන් නිර්මාණය කරන පාදක ව්‍යුහමය පහසුකම් වලින් සපිරි අයවැයක් වනු ඇතැයි පුරෝකතනය කළ හැකිය. ඒ වනා හී දිගු කාලීනව ශක්තිමත් ආර්ථික දේහයක් ගොඩනැඟීමට අවශ්‍ය පදනම සකස් කරන අයවැයක් ලෙස මෙවර අයවැය හඳුනා ගැනීමට හැකි නම් වඩා යහපත් ය.

2020 වසරේ ආර්ථික වර්ධන වේගය 3.6%කින් පසුබෑමකට ලක් වී තිබේ. කොව්ඩ 19 වසංගත ව්‍යාප්තිය වැළැක්වීම අරමුණු කොට 2020 මාර්තු 17 වෙනිදා සිට මේ දක්වා විටින් විට සංචරණ සීමාවන් ක්‍රියාත්මක විය. දේශීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද සංචරණය සීමා විය. එය ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලියට ප්‍රබල බලපෑමක් එල්ල කළ බව නෙකියමනාය. 2009 පෙර 5%කට අඩුවෙන් පැවති ශ්‍රී ලංකාවේ සේවා වියුක්තිය මේ වන විට ඉහළ ගොස් තිබේ. කොවිඩ් 19 වසංගතය ස්වයං රැකියා අවස්ථා සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් අහිමි කර ඇත.

කොවිඩ් උවදුරේ සෘජු බලපෑම

2021 වර්ෂය සදහා 5%ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂා කළත් මෙම වසරේ ද වැඩි කාලයක් සංචරණ සීමා පැනවීම හා රට අගුළු දෑමීම ආදී ක්‍රියාමාර්ග හේතුවෙන් අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය ළඟා කර ගත නොහැකිව තිබේ. 2019 දී ඒකපුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අමෙරිකානු ඩොලර් 3852 ක් වුව ද එය 2020 දී අමෙරිකානු ඩොලර් 3682ක් දක්වා පහළ ගොස් ඇත්තේ කොවිඩ් උවදුරේ සෘජු බලපෑම නිසා බව ඉතා පැහැදිලිය.

 

2019 ජනාධිපතිවරණයේ දී ගෝඨභය රාජපක්ෂ ජනාධිපතිවරයා රට හමුවේ තැබු ප්‍රකාශනය රට හදන සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ දැන් රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇත. ඊට හැටනව ලක්ෂයකගේ ජනවරමක් හිමි විය. කොවිඩ් 19 ගෝලීය අර්බුදය නිර්මාණය වීමට ප්‍රථම ජනාධිපතිවරයා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය රට හමුවේ තැබුවත්, අද එය යථාර්ථයක් කිරීමට ජනාධිපතිවරයා ප්‍රධාන ආණ්ඩුවට සිදු වී ඇත්තේ ගෝලීය කොවිඩ් අර්බුදය, ගෝලීය ආර්ථික අර්බුදය හා ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වී තිබෙන අර්බුදකාරී වාතාවරණය යන ප්‍රධාන අභියෝග 3 ක් හමුවේය. ඒ අනුව 2022 වර්ෂය සඳහා ඉදිරිපත් කරන අයවැය කෙටි කාලීන ප්‍රතිලාභවලින් ඔබ්බට ගියා වූ රටේ ආර්ථිකය යළි සකස් කරන නිවැරැදි ආර්ථික විද්‍යාත්මක ලේඛනයක් විය යුතුම ය.

අයවැය යනු හුදු සහන විජ්ජාවන්ගෙන් පිරුණු ලේඛනයකට වඩා රටේ ආර්ථික ගමන්මඟෙ නිවැරැදි දිශානතිය පෙන්නුම් කරන විද්‍යාත්මක හා තාර්කික පදනමක් සහිත ඉදිරිපත් කිරීමක් වන්නේ නම් වඩා වැදගත් ය. දේශීය නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් ශක්තිමත් කිරීම අත්‍යාවශ්‍ය වන අතරම හැකි තාක් නිෂ්පාදනය දිරිගන්වන වැඩපිළිවෙළක් ඒ තුළ අන්තර්ගත වීම සාධනීය ගුණාංගයකි. වාර්ෂික ව රටින් පිටතට අනවශ්‍ය ආනයන සඳහා ඇදී යන ඩොලර් සංචිත රට තුළ රඳවා ගැනීමටත් එම ආනයන වෙනුවට රට තුළම අදේශන නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීමත් අත්‍යවශ්‍ය කාරණයකි. ආහාරපාන සහ වෙනත් අවශ්‍යතා සඳහා සිදු කරන අත්‍යාවශ්‍ය නොවන ආනයන අධෛර්යවත් කරන්නා සේම, දේශීය නිෂ්පාදන අපනයනය සඳහා දිරිගැන්වීම ද අත්‍යවශ්‍ය වී තිබේ.

සාපේක්ෂතා වාසි න්‍යාය

අන්තර්ජාතික වෙළෙඳ කටයුතුවලදී සාපේක්ෂතා වාසි න්‍යාය උපයෝගි කර ගැනීමත් රටට වාසිදායක වන ආයෝජන දිරිගැන්වීමත් කළ යුතු කාරණයකි. හුදු ජාතිකවාදී සටන් පාඨ දේශපාලන චින්තාවන් මහජන ගැලරිය පිනවීමට ඉවහල් වුවත්, රටක තිරසර ආර්ථක වර්ධනයක් සඳහා අවශ්‍ය වන්නේ සටන් පාඨ දේශපාලනය නොව ආයෝජන රට වෙත අද්දා ගැනීමට ඉවහල් වන්නා වූ සාමකාමී ආයෝජන සඳහා හිතකර දේශපාලන වටපිටාවකි. ජාතික සම්පත් විකුණා දැමීම හෝ ජාතික සම්පත් විජාතිකකරණය කළ යුතුය යනු මෙහි අදහස නොවේ. රටක ආර්ථිකය වර්ධනයට ඉවහල් වන අන්තර්ජාතික ආයෝජන අධෛර්ය නොකිරීමත් අවාසි සහගත අන්තර්ජාතික ආයෝජන ක්‍රියාවලි රටට වාසිදායක වන පරිදි උපායමාර්ගිකව කළමනාකරණය කර ගැනීමත් අවශ්‍ය වන්නේ ය.

රාජ්‍ය මුල්‍ය කළමනාකරණය පිළිබඳව ද අවධානය යොමු කිරීම වැදගත් ය. අපේ රටේ නාස්තිය, වංචාව සහ දුෂණය යනු සාමාන්‍යකරණය වූ පොදු සංසිද්ධීන් වී තිබේ. සංවර්ධනය සඳහා ලැබෙන ප්‍රදාන, ආධාර හා සහන ආදියෙන් ගසා කන දූෂිත නිල තන්ත්‍රවාදය හා සබැඳි ක්‍රියාවලීන් පිළිබඳ ව බොහෝ අවස්ථාවල දී අසන්නට දකින්නට ලැබේ. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල රාජ්‍ය මුල්‍ය ක්‍රියාවලියේ පාරදෘශ්‍යභාවය පිළිබඳ ව ඇත්තේ යහපත් චිත්‍රයක් නොවේ. එබැවින් නීතියේ ආධිපත්‍යය ශක්තිමක් කරමින් රාජ්‍ය මුල්‍ය සම්බන්ධයෙන් වන වංචා, දූෂණ හා අක්‍රමිකතා පිටුදැකීමට අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණය කඩිනම් කිරීම කෙරෙහි ද අවධානය යොමු කිරීම වැදගත් ය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය

රාජ්‍ය මුල්‍ය කළමනාකරණය යනු රාජ්‍ය සේවය කුඩා කිරීම හෝ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් හා අනෙකුත් මූල්‍යමය ප්‍රතිපාදන කප්පාදු කිරීමක් නොවිය යුතුය. එහෙත් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ජාතික සංවර්ධනයෙහි ගාමක බලවේගය ලෙස මෙහෙයවීම සඳහා වන යන්ත්‍රණය ශක්තිමත් කළ යුතුය. එනිසා රාජ්‍ය සේවය යනු මහජනතාව මත යැපෙන නිලධාරී පන්තියක් නොව ජනතා සේවයට කැප වූ වැඩ කරන ශ්‍රම හමුදාවක් බවට පත් කිරීමට අවශ්‍ය රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු කිරීම ඉතාම වැදගත් ය. තවද රටේ ජනතාවට දේශපාලකයන් පිළිබඳ ව ඇති ප්‍රසාදජනක නොවන තත්ත්වය ද තේරුම් ගත යුතුය. මහජන නියෝජිතයන් ජනතාව මත යැපෙන පිරිසක්‍ ය යනු පොදුජන ආකල්පය යි. ජනතාව පීඩාවට පත්ව සිටිය දී දේශපාලකයන් සැප සම්පත් භුක්ති විඳිනවා යනු මහජන ආකල්පය යි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දී දේශපාලකයන් සඳහා වන මූල්‍ය වියදම් කළමනාකරණය කිරීමට අවධානය යොමු කරන්නේ නම් ආණ්ඩුවට ජනතා ප්‍රසාදය ලැබිය හැකි ය.

ස්වයංරැකියාලාභීන්, නිෂ්පාදකයන්, ව්‍යවසායකයන් සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ පාර්ශ්වවලට ඇති වී තිබෙන පසුගාමී ආර්ථික තත්ත්වය යටපත් කරමින් එම ක්ෂේත්‍රවල පිබිදීමකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීම අවශ්‍යය. ශ්‍රම හමුදාවෙන් විශාල පිරිසක් ස්වයං රැකියාකරුවන් වන අතර, නිෂ්පාදකයන් ව්‍යවසායකයන් හා ඉදිකිරීම් ක්ෂේත්‍රය ද සේවා නියුක්තිය සඳහා වැඩි කොටසකට දායකත්වය සපයනු ලබයි. කොවිඩ් 19 වසංගතය යනු අවම වශයෙන් තවත් වසර කීපයක් සමස්ත ලෝකය පුරාම පැවතිය හැකි වසංගත තත්ත්වයකි. දැන් කැමැති වුවත්, අකමැත්තෙන් වුවත් කොවිඩ් වසංගතය සමඟ නව සාමාන්‍යකරණය වූ ජන ජීවිතයකට අපට පුරුදු පුහුණු වීමට සිදු වී තිබේ. ඒ නිසා කොවිඩ් අර්බුදය හමුවේ පසුගාමී නොවන ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට ඉවහල් වන ප්‍රතිසංස්කරණ සහිත අයවැයක් 2022 වර්ෂය සඳහා අවශ්‍ය වී තිබේ. එම අවශ්‍යතාවය සපුරාලීම මුදල් අමාත්‍යවරයාගේ ද, මුදල් අමාත්‍යංශයේ ද සමස්ත ආණ්ඩුවේ ද කාර්යයභාරය වී තිබේ.

පවතින දුර්වල ආර්ථික ශක්තිය 2019 ජනාධිපතිවරණයෙන් සහ 2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු බලයට පත් ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ පිළිවෙත නිසා ඇති වූවක් නොවන බව ඇත්ත ඇති සැටියෙන් දකින සියල්ලෝ දන්නා කාරණයකි. මේ වූ කලී කාලාන්තරයක් මුළුල්ලේ නිසි ලෙස කළමනාකරණය නොවූ ආර්ථික ක්‍රියාවලියක පාලනය කළ නොහැකි දුර්විපාකයන් ය. එම තත්ත්වයන් නිවැරැදි කිරීම පවතින ආණ්ඩුවේ වගකීම වන්නේ ය. එම වගකීමෙන් නිදහස් වීමට වත්මන් ආණ්ඩුවට නොහැකිය. මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ වඩා නිවැරැදි හා ශක්තිමත් ආකාරයේ ආර්ථිකය කළමනාකරණය කරන විද්‍යාත්මක ක්‍රමවේදයකි. 2022 අයවැය යනු ව්‍යාකූලත්වයට පත් වී ඇති ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ප්‍රකෘතිමත් කරන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක පළමු පියවර ලෙස සඳහන් කළ හැකිය. රටේ පොදු මහජනතාවගේ අපේක්ෂාව සහන බෙදන විජ්ජාවන්ගෙන් සමන්විත ඇස් බැන්දුම් අයවැයක් නොවේ. ඔවුන් අපේක්ෂා කරන්නේ රටේ ආර්ථිකය නිවැරැදි දිශාවකට යොමු කළ හැකි ප්‍රතිසංස්කරණවාදී අයවැයකි. ආණ්ඩුව ඒ වගකීම නිවැරැදිව ඉටු කරන තුරු අපි අනිමිස ලෝචනයෙන් ඒ දෙස බලා සිටිමු.

ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවී සිටින ජනාධිපතිතුමා ඊයේ (02) වෙළෙඳ, සංචාරක, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රවර්ධනය සඳහා රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරීම සිදුවිය.
 
ශ්‍රී ලංකාව සහ බහරේන් රාජ්‍ය අතර දිගුකාලීන මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ ජනාධිපතිතුමා සහ බහරේන් රාජකීය කුමරු වන අග්‍රාමාත්‍ය සලමන් බීන් හමාඩ් අල්කලීෆා (Salman Bin Hamad Alkhalifa) මහතා සාකච්ඡා පැවැත්වීය. 
 
ගෘහ සේවය වෙනුවට වෘත්තීය නිපුණතාවන්ගෙන් යුත් ශ්‍රී ලාංකිකයන්ට බහරේන් රාජ්‍ය තුල රැකියා අවස්ථා උදාකර ගැනීම ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.
 
ශ්‍රී ලංකන් ගුවන් සේවය නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සතියකට ගුවන් ගමන් 04ක් සිදු කරයි. එම ගුවන් වාර සංඛ්‍යාව වැඩි කිරීම, දෙරට අතර සංචාරක සහ අධ්‍යාපන ක්ෂේත්‍රවල ප්‍රවර්ධනය පිළිබඳ ජනාධිපතිතුමා සහ නේපාල අග්‍රාමාත්‍ය ෂා බහදුර් දෙව්බා මහතා (Sher Bahadur Deuba) අතර සාකච්ඡා කෙරිණ.
 
පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්ට්‍රිෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland) මහත්මිය සහ ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මැතිතුමා අතර හමුව ග්ලාස්ගොහි මර්චන්ට් මන්දිරයේ දී සිදු විය.
 
පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර ගැනීමට සහාය වන බව පැට්ට්‍රිෂියා මහත්මිය ජනාධිපතිතුමා සමග පැවසුවාය.
 
වේල්සයෙහි ඔටුන්න හිමි චාල්ස් කුමරු, යුක්රේන ජනාධිපති බ්ලැඩ්මීර් සෙලෙන්ස්කි මැතිතුමා (Veldymyr Zelensky), ලෝක වෙළෙඳ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් නගෝසි ඔකොන්ජෝ මහත්මිය (Ngozi Okonjo) මෙන්ම මැදපෙරදිග සහ බටහිර රටවල රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නියෝජිතයන් හමු වූ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ සංචාරක, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක නව අවස්ථා උදා කර ගැනීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.
 
විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීහු ද මෙම සාකච්ඡාවන්ට එක්ව සිටියහ.

වෘත්තීය ක්‍රියාමාර්ගයක් මගින් අදත් හෙටත් රටම අදුරේ තබන බවට ඇතැම් වෘත්තීය සමිති පැවසුවද එවැනි විදුලිය විසන්ධිවීමක් කිසිසේත් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති එම්. එම්. සී. ෆර්ඩිනැන්ඩු මහතා අවධාරණය කරයි. හදිසි විදුලි විසන්ධීවීමක් පිළීබඳව කිසිසේත් අනියත බියක් ඇතිකර නොගන්නැයි ඔහු ජනතාවෙගන් ඉල්ලීමක් කරයි. කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසුවේ ස්වභාවික ආපදාවක් හේතුවෙන් විදුලිය බිද වැටුණද එය නිරකරණය සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බවයි.

වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවට නිල වශයෙන් කිසිදු දැනුම්දීමක් කර නැති පසුබිමක හදිසි වර්ජනයක නිරතවීම ආයතන සංග්‍රහයට අනුව විනය විරෝධී ක්‍රියාවකි. නොදන්වා සේවයට වාර්තා නොකර සිටින පුද්ගලයන් සේවය හැරගියා සේ සැලකීමට හැකියාව පවතින බව සභාපතිවරයා කියයි.

COP සම්මන්ත්‍රණයකදී ජනපති පවසයි

සොබාදහමට එරෙහි නොවන නව කෘෂිකාර්මික විප්ලයක් ලොවට අවශ්‍ය කරන බව ස්කොට්ලන්තයේ ග්ලාසගෝහි පැවැත්වෙන සම්මන්ත්‍රණයකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ස්කොට්ලන්තයේ ග්ලාසගෝහි දී පෙරේදා (31) පැවසීය.

ස්කොට්ලන්තයේ ග්ලාසගෝහි දී පැවැත්වෙන COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සමගාමීව “නයිට්‍රජන් නැවත සොයා ගැනීම: දේශගුණික විපර්යාස, සෞඛ්‍ය, ජෛව විවිධත්වය සහ චක්‍රීය ආර්ථිකය සඳහා විසඳුම් සහ ක්‍රියාකාරීත්වය” තේමාව යටතේ ශ්‍රී ලංකාව මේ සම්මන්ත්‍රණය සංවිධාන කර තිබිණි.

මිනිසුන් ස්වභාවධර්මයට එරෙහිව ක්‍රියා කරනවාට වඩා ඒ සමඟ සමපාත විය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේය. තම රජයේ ප්‍රතිපත්ති රාමුව තිරසර සංවර්ධනයයි. දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ යාවත්කාලීන කළ ජාතික නිර්ණායන් සහ අභිලාෂයන්ගෙන් ඒ බව මනාව පිළිබිඹු වන බවද ජනාධිපතිවරයා කීවේය. නවීන විද්‍යාත්මක ශිල්පීය ක්‍රමවේද සහ හුරුපුරුදු භාවිතයන් තුළින් පරිසරය විනාශ නොකොට කෘෂිකාර්මික නිෂ්පාදන ඉහළ නැංවීම අප හමුවේ ඇති අභියෝගයකි. දශක ගණනාවක් පුරා නිදන්ගත වකුගඩු රෝගය ශ්‍රී ලංකාවේ ගොවි ජනතාව අතර බරපතළ ගැටලුවක් වී ඇත. රසායනික පොහොර අධික ලෙස භාවිත කිරීම මීට ප්‍රමුඛ හේතුවකි. රසායනික පොහොර ආනයනය අවම කිරීමටත්, කාබනික කෘෂිකර්මාන්තය දැඩි ලෙස දිරිමත් කිරීමටත් තම රජය පියවර ගත්තේ මෙම සන්දර්භය තුළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කීවේය. මෙම ක්‍රියාව පුළුල් ඇගයීමට ලක්ව ඇතත්, ඊට විවේචන සහ විරෝධතා එල්ල වී තිබේ. රසායනික පොහොර සඳහා සහාය දක්වන කණ්ඩායම්වලට අමතරව, අස්වැන්න වැඩි කර ගැනීමේ පහසු මාධ්‍යයක් ලෙස පොහොර අධික ලෙස භාවිතා කිරීමට පුරුදු වී ඇති ගොවීන්ගෙන් මෙම විරෝධතා පැමිණ තිබේ. ශ්‍රී ලාංකීය පොහොසත් කෘෂිකර්මය උරුමය සලකා බැලීමේ දී මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ජනාධිපතිවරයා සඳහන් කළේය. පරිසරය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රගිතිශීලි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වන්නේ, සංවර්ධනය වෙමින් පවතින ජාතියක් ලෙස එයට මුහුණ දෙන සම්පත් බාධක මාධ්‍යයේ බව පැවසූ ජනාධිපතිවරයා සංවර්ධන වැඩසටහන් සමඟින් එවැනි න්‍යාය පත්‍රයක් පවත්වාගෙන යෑම විශේෂයෙන් කොවිඩි වසංගතයෙන් පසුව, සංවර්ධනය වෙමින් පවතින සියලුම ජාතීන්ට අභියෝගාත්මක බව ද පෙන්වා දුන්නේය. සංවර්ධිත රටවල් මගින් එවැනි ජාතීන්ට සංවර්ධන ආධාර, තාක්ෂණ හුවමාරු කිරීම්, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය සහාය හරහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙනු ඇති බවට විශ්වාසය පළ කළ ජනාධිපති රාජපක්ෂ මහතා මෙහිදී ව්‍යාපාර සඳහා සැලකිය යුතු කාර් ය භාරයක් පවතින අතර තිරසර සංවර් ධනය සඳහා ආයෝජන කිරීමේ දී සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබිය යුතු බව ද කියා සිටියේය. අද ජීවත්ව සිටින අප සියලුදෙනා මේ මිහිතලයේ භාරකරුවෝ වන්නේ අනාගත පරපුර වෙනුවෙන් බව පැවසූ ජනාධිපතිවරයා හැකි අයුරින් ඊට දායක වෙමින් සෞඛ්‍ය යහපත තහවුරු කිරීමට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බවද කියා සිටියේය. සියලු දෙනා සාමුහිකත්වයෙන් සහ සයෝගයෙන් මෙය ඉටුකරන්නේ නම් ජනතාවට සහ පෘථිවියට ධනාත්මක වෙනසක් උදාකර දිය හැකි බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය. “දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව සහ අනුවර්තනය පිළිබඳ ශ්‍රී ලංකාවේ අපේක්ෂාව COP :26 සහ ඉන් ඔබ්බට” යන මාතෘකාව ඔස්සේ පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා අදහස් දැක්වූ අතර එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන මහත්මිය ද අදහස් දැක්වූවාය

ශ්‍රමයට අභිමන් අගමැති බුහුමන් සමරු කලාපයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ
සුභාශිංසන පණිවුඩය

සුවහසක් වැඩකරන ජනතාවගේ සුබසාධනය ඉහළ නංවමින් තෘප්තිමත් ශ්‍රී ලාංකික ශ්‍රම බලකායක් වෙනුවෙන් “ශ්‍රම වාසනා අරමුදල”පුරෝගාමී මෙහෙවරක් ඉටුකරයි.
රටේ සංවර්ධනය උදෙසා සිය ශ්‍රමය කැපකරන කම්කරු ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් කම්කරු හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයාව සිටිය දී මාගේ සංකල්පයක් අනුව බිහි වූ “ශ්‍රම වාසනා අරමුදල”මේ වනවිට බොහෝ දුරක් පැමිණ තිබේ.

කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකළ වෘත්තීය සමිති නායකයින් සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් ඇගයීම සඳහා සම්මාන බුහුමන් දැක්වීම ඒ අතර අගය කළ යුතු කාර්යයකි.
වැඩකරන ජනතාවගේ සැබෑ වෘත්තීය අයිතිවාසිකම් දිනා දීමට බොහෝ කම්කරු නායකයෝ ජීවිත කාලය පුරාවට කැපවෙති. එවැනි නායකයින් මෙන්ම කම්කරු ප්‍රජාවේ සිතුම් පැතුම් සහ අවශ්‍යතා හඳුනාගෙන ඔවුන් සමග ඉතා සමීපව කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් ද නිසි ඇඟයීමකට ලක් කළ යුතුය. එය හුදෙක් කම්කරු සුබසාධනය සඳහා දිරිගැන්වීමකි.
රටේ ආර්ථිකයේ ගාමක බලවේගය වන කම්කරු ජනතාව විපතට පත්වූ විටෙක ඒ අයට යම් සහනයක් සැළසීමට රජයේ මුදල් වියදම් කළ හැකි ක්‍රමවේදයක් නොමැතිවීමෙන් මෙවැනි අරමුදලක අවශ්‍යතාව 1995 දී තදින් දැනුන හැටි අදටත් මාගේ මතකයේ රැදී තිබේ.
ඊට පිළියමක් ලෙස 1998 වසරේදී යථාර්ථයක් බවට පත්වූ “ශ්‍රම වාසනා අරමුදල”අඛණ්ඩව විසිතුන් වසරක් තිස්සේ කම්කරු ජනතාවට සහ කම්කරු පවුල්වලට රැකවරණයක් වීම අප ලැබූ ජයග්‍රහණයකි.
ශ්‍රී ලංකාවේ කම්කරු ප්‍රජාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකිරීම වෙනුවෙන් “ශ්‍රමයට අභිමන් අගමැති බුහුමන් “ ලබන කම්කරු නායකයින් සහ රාජ්‍ය නිලධාරීන්ට මාගේ ප්‍රණාමය හිමි වේ.
කම්කරු ජනතාවගේ සුබසාධනය සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නංවන “ශ්‍රම වාසනා අරමුදල” තව තවත් ශක්තිමත් වේවා! යැයි ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

 

ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් වාර්ෂිකව ක්‍රියාවට නංවනු ලබන ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන මෙවරද ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාවට නංවා ඇත.

ඒ අනුව “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2021“ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති අතර අයදුම්පත් යොමුකළ හැකි අවසාන දිනය 2021‍ නොවැම්බර් මස 30 වන දින වේ.‍

21 වන සියවසේ අභියෝගයට මුහුණදෙනු වස් මාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා මඟින් තම වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට ඉඩ ප්‍රස්ථා සලසාදීම හා උනන්දු කරවීම මෙම ව්‍යාපෘතියේ අරමුණකි.

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18 – 55 ත් අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන මාධ්‍යවේදි හැඳුනුම්පත ලබා ඇති මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය තාක්ෂණික ශිල්පීන් හට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව පිරිනමනු ඇත.

උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (රු. 200,000.00)  මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතිකපත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (රු.100,000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබා දේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව  පාඨමාලා හැදෑරිය හැක.

කිසිදු මුදලක් අය නොකර නොමිලේ ලබාදෙන මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් මාධ්‍යවේදීන්ට දෙවරක් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ සුදුසුකම් ලබා වසර 5ක් ඉක්ම ගිය පසු මුල් පාඨමාලාව සාර්ථකව අවසන් කළ ජනමාධ්‍යවේදීන්ට දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.

ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන මාධ්‍යවේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50%ක් පාඨමාලාව ආරම්භයේදී පළමු වාරිකය ලෙසත්, ඉතිරි 50% න් 25% ක් පාඨමාලාවේ දෙවන වාරිකය ලෙසත් ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදුකරනු ලබයි.

මේ සඳහා යොමුකරන සියලුම අයදුම්පත් 2021.11.30 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 දරණ ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය. ආදර්ශ අයදුම්පත් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ https://www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකි අතර මේ පිළිබඳව වැඩි විස්තර 0112 513 645 / 0112 513 459 / 0112 513 460 ඇමතීමෙන් ලබාගත හැකිය.

 

ලොව දියුණුතම යුරෝපීය තාක්ෂණය භාවිතා කෙරෙන මෙරට විශාලතම සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාව ලංවා සන්නාමය යටතේ ලබන වසරේ ජනවාරි මාසයේදී හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේ අරම්භාකිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ සදහා එකගතා ගිවිසුම අත්සන් කිරීම පසුගියදා වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය වෙනුවෙන් චීනයේ HIPG සමාගමත්, ලංවා සංස්ථා සිමෙන්ති සමාගමත් අතර සිදු කෙරිණි .

ඇමරිකානු ඩොලර් මිලියන 80ක ආයෝජනයක් මෙහි මුල් අදියරේ ආයෝජනය වන අතර, මෙමගින් වසරකට මෙට්‍රික් ටොන් මිලියන 2.4 ක් පමණ නිෂ්පාදන ධාරිතාවක් ඇස්තමේන්තුගත කර තිබෙනවා.

එසේම මෙම ව්‍යාපෘතියේ දෙවනි අදියර යටතේ තවත් ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජනයක් මගින් නිෂ්පාදන ධාරිතාව තවත් මෙට්‍රික් ටොන් මිලියන 1.2 කින් ඉහළ නැංවීමට බලාපොරොත්තුවන බව සදහන්.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ කීර්තිමත්ම ව්‍යවසායකයෙකු වන ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති නන්දන ලොකුවිතාන මැතිතුමන්ගේ ආයෝජනයක් ලෙසින් ඇරඹෙන මෙය මෙරට ප්‍රථම පරිසර හිතකාමී සහ අති නවීන තාක්ෂණයෙන් හෙබි සිමෙන්ති කර්මාන්ත ශාලාව වන අතර අපේ රට තුලම නිපදවෙන සිමෙන්ති හරහා කොළඹ වරාය නගරය, අධිවේගී මාර්ග ඇතුළුව සියලුම ප්‍රධාන පෙළේ ඉදකිරීම් ව්‍යාපෘති සඳහාද, පාරිභෝගිකයින්ටද අවශ්‍ය සිමෙන්ති සැපයීමට ලංවා සංස්ථා සිමෙන්ති කර්මාන්ත ශාලාව ඉදිරියේදී සමත් වනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙම අවස්ථාවට ලංවා සංස්ථා සිමෙන්ති සමාගමේ සභාපති හා හම්බන්තොට වරාය HIPG සමාගමේ ප්‍රධානීන් හා නාවික අමාත්‍යාංශයේ ලේකම් යූ.ඩී.සී.ජයලාල් මහතා හා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති ආචාර්ය ප්‍රසාන්ත ජයමාන්න මහතා ඇතුළු නිළධාරීන් මෙන්ම මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටියහ.

දිගු කලක් පුරා පැවති පළාත් අතර සංචරණ සීමා ඊයේ අලුයම 4.00 ට ඉවත් කිරීමත් සමග රටේ ජනජිවිතය සාමාන්‍ය අතට පත්වෙමින් පවති. පළාත් සංචරණ සීමා ඉවත් කිරීමට රජය පියවර ගත්තේ අත්‍යවශ්‍ය සේවා නිසිලෙස පවත්වාගෙන යාම සදහා පමණක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටි.

වසංගත අවධානම තවමත් පහව ගොස් නැත. එබැවින් සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු විනෝද ගමන් යාම හා වෙනත් ගමන්බිමන් වලින් වැළකි සිටින ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter