නවතම පුවත්

දරුවන්ට එරෙහිව සිදුවන අපචාර අවම කිරීමේ දී පාසල් පද්ධතිය මගින් දරුවන් දැනුවත් කිරීමටත් නීතිය මගින් දරුවන් ආරක්ෂා කිරීමටත් සක්‍රීය දායකත්වයක් අවශ්‍ය වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මෙවර ලෝක ළමාදින ජාතික වැඩසටහනට සමගාමීව බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති වැඩසටහන් කිහිපයකට එක්වෙමිනුයි ඹහු මේ බව පැවසුවේය.

මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණේ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ මග පෙන්වීම යටතේය. බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා ඒකකයක් විවෘත කිරීම, පාසල් සඳහා ස්වයංක්‍රීය අත් පිරිසිදු කිරීමේ උපකරණ සහ උෂ්ණත්වය මැනීමේ යන්ත්‍ර ප්‍රදානය කිරීම, පෙර පාසල් සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම ඇතුළු වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක වුණි. දිවයින පුරා ළමා සංවර්ධන මධ්‍යස්ථාන වෙත පරිගණක 700 ක් ලබාදීමේ ජාතික වැඩසටහන යටතේ බේරුවල ජයන්ති ළමා නිවාසයේ පරිගණක මධ්‍යස්ථානය විවෘත කිරීම ද මෙහිදී සිදුවිය. මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, රෝහිත අබේගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සංජීව එදිරිමාන්න, ලලිත් එල්ලාවල හා මර්ජාන් ෆලීල් යන මහත්වරුන් ද එක්ව සිටියහ.

 

මෙරට ජනගහනයෙන් කෝටියක් පිරිස කොවිඩ් මර්දන සයිනොෆාම් එන්නත පූර්ණ වශයෙන් ලබාගෙන අවසන් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. සයිනොෆාම් දෙවැනි මාත්‍රාව 10,069,486ක් පිරිස පෙරේදා (16) වන විට ලබාගෙන අවසන්ව ඇත.
පුද්ගලයන් 40,776කට දෙවැනි මාත්‍රාව ද, පුද්ගලයන් 4760කට පළමු මාත්‍රාව ද එදින (16) ලබාදී තිබේ.
පළමු මාත්‍රාව ගත් පිරිස 11,845,098ක් බව වසංගත රෝග විද්‍යා අංශය වාර්තා කරයි. සමස්තයක් ලෙස මේ වන විට මෙරට ජනගහනයෙන් 14,777,220ක් පළමු මාත්‍රාව ද, 12,768,759ක් දෙවැනි මාත්‍රාව ද ලබාගෙන අවසන් බව එම අංශය දැනුම් දෙයි.

 

ශ්‍රි ලංකාව විසින් මිළ දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000 ක් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ලැබී ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව විසින් මිලදිගැනීම සඳහා ඇණවුම් කර ඇති ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 50න් ලක්ෂ 10ක් මීට පෙර ලැබී තිබු අතර ඉතිරි එන්නත් ලක්ෂ හතළිහේ පළමු තොගය මෙලෙස අද දිනයේ ශ්‍රි ලංකාව ලැබුණු බව ඖෂධ නීතිගත සංස්ථාව සඳහන් කළේය.

කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම අඩු වීමත් සමඟ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 30ක් ප්‍රතිකාර කටයුතුවලින් ඉවත් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් ප්‍රධාන සම්බන්ධීකාරක, වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ඊයේ (17) ප්‍රකාශ කළේය.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 278ක් ක්‍රියාත්මක වූ අතර එම සංඛ්‍යාව මේ වන විට 248ක් දක්වා අඩු කර ඇතැයි ද ඒ මහතා පැවසුවේය.

මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ඇඳන් 34,007න් ඇඳන් 19,660ක් මේ වන විට හිස්ව ඇතැයි ද, කොවිඩ් ප්‍රතිකාර සඳහා වෙන් කළ දැඩි සත්කාර ඒකක ඇඳන්වලින් සියයට 40ක් පමණ හිස්ව ඇතැයි ද හෙතෙම කීය.

කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවේ අඩු වීමත් සමඟ එම අඩු වීම විශ්ලේෂණය කර සෙසු මධ්‍යස්ථාන ද ඉදිරියේදී ක්‍රමානුකූලව ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේය.

කොවිඩ් රෝගීන්ගේ වාර්තා වීම මේ වන විට 1000කට අඩු වීමත් සමඟ ශ්‍රී ලංකාව රතු කලාපයෙන් කොළ කලාපයට පැමිණ ඇති අතර එය ආරක්ෂා කර ගැනීමට ජනතාවගේ වගකීමක් බවත් කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් නිසි ලෙස පිළිපැදීමෙන් ආසාදිතයන්ගේ වාර්තා වීම තවදුරටත් අඩු කර ගත හැකි බවත් ඒ මහතා කීය.

කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තා වීම අඩු කර ගැනීම අභියෝගයක් බවත් එම අභියෝගය මේ වන විට ළඟා කර ගෙන ඇති අතර පුද්ගල වගකීම පෙරදැරි කරගෙන මෙම ඉලක්කය ආරක්ෂා කර ගැනීමට සියලුදෙනා කටයුතු කළ යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

 

ලබන වසරේ සිට සෑම ගමකින්ම නව ව්‍යවසායකයෙකු බිහි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි. 
 
තිරුක්කෝවිල් උදයසූරියම් ක්‍රීඩා සමාජයේ වොලිබෝල් ක්‍රීඩාංගණය විවෘත කිරීමට එක්වෙමින් ඊයේ (13) අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
 
නැගෙනහිර පළාතේ පොතුවිල්, විස්කි පොයින්ට් හි නිවාස අහිමි පිරිස් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීම සදහා නිවාස සංවර්ධන අධිකාරියෙන් රුපියල් ලක්ෂ දහය බැගින් පිරිනැමීම  අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
 
එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
 
“කොවිඩ් 19 වසංගත තත්ත්වය සමග ඉතාමත් අපහසු කාලසීමාවක් අපි ගත කරන්නේ. එය ක්‍රීඩාවටත්, රැකියාවටත්, ආර්ථිකයටත් බලපා තිබෙනවා. 
 
රටක් විදියට තරුණ පිරිස එකතුවී ගම ගොඩනගන වැඩපිළිවෙලට දායකත්වය ලබා දීමෙන් අපිට මේ තත්ත්වයෙන් ඉතා ඉක්මනින් මිදෙන්න පුලුවන්.
 
ලබන වසරේ සිට තරුණ තරුණියන්ගේ ව්‍යවසායකත්වය දියුණු කරන්න සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න සැළසුම් කර තිබෙනවා.
 
සෑම ගමකම හොද ව්‍යවසායකයෙක් බිහි කරන කටයුත්ත අපි කරනවා. එම ව්‍යවසායකයාගේ නිෂ්පාදන ජාතික හා ජාත්‍යන්තර වෙළද පොළට අන්තර්ජාලය හරහා බෙදා හරින වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා.
 
ගම්වල අලුතින් ව්‍යාපාරිකයින් බිහි කරන්න, රැකී රක්ෂා අවස්ථා ඇති කරන වැඩසටහන සදහා ඔබගේ සහයෝගය ලබා දෙන්න. අපේ අමාත්‍යාංශයේ බලාපොරොත්තුව එයයි.
 
ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් ක්‍රීඩකයින් මේ ගම්වලින් බිහි කරන්න අවශ්‍යයි. නැගෙනහිර පළාත කේන්ද්‍ර කරගෙන වෙරළ වොලිබෝල්, වෙරළ පා පන්දු නගා සිටුවන්න විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා.
 
ඉදිරි කාලයේදී දක්ෂයින් හදුනාගන්න අවශ්‍ය වැඩසටහන් අරගෙන මේ ගම්මානවලට අපේ අමාත්‍යාංශයේ නිළධාරීන් පැමිණෙනවා. ඒ සදහා ඉදිරිපත් වන්න.  ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් ක්‍රීඩකයින් මේ පළාතෙනුත් බිහි කරන්න අවශ්‍යය ගමන අපි ආරම්භ කරමු” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 
 
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය සදාසිවම් විලෙයාන්ද්රන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා ඇතුලු ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගි වූහ.

කොවිඩ්-19 වසංගතයෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(13) පස්වරුවේ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති සහ ඒකාබද්ධ වෘත්තිය සමිති නියෝජිතයන් සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාව අතරතුර අග්‍රාමාත්‍යතුමා මේ බව දැනුම් දුන්නේය.
 
මෙයට පෙර රාජ්‍ය සේවකයන් කොවිඩ්-19 වැළඳී ජීවිත අහිමිවීම හා රෝහල්ගතව ප්‍රතිකාර ගැනීමේ දී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය 2021 අය-වැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා පියවර ගෙන තිබිණි. 
 
වෘත්තිය සමිති මෙහි දී රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යතුමා හමුවේ කරුණු ඉදිරිපත් කළේය.
 
රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරීත්වයට ආයතන මට්ටමෙන් උසස් නිලධාරින් සහ සේවකයන් අතර  පවතින ගැටලු බලපා ඇති අකාරය ද මෙහි දී පැහැදිලි කෙරිණි.
 
රාජ්‍ය සේවාව තුළ කාර්යක්‍ෂමතාව සහ ඵලදායිතාව වර්ධනය කළ යුතු බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යතුමා, ඒ සඳහා වගකිව යුතු නිලධාරින්ගේ ක්‍රියාත්මක වීම අවශ්‍ය බව පෙන්වා දුන්නේය.
 
ඒ සඳහා රාජ්‍ය සේවකයන්ගේ දේශීය සහ විදේශීය පුහුණු අවස්ථා ඉහළ දැමිය යුතු බව ද අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේය.
2016 වර්ෂයෙන් පසු රාජ්‍ය සේවයට එක්වූ සේවකයන්ට පසුගිය යහපාලන රජය අහිමි කළ විශ්‍රාම වැටුප යළි ලබා ගැනීම සම්බන්ධයෙන් වෘත්තිය සමිති නියෝජිතයෝ මෙහි දී අදහස් පළ කළහ. 
 
මේ පිළිබඳව සොයා බලන්නැයි අග්‍රාමාත්‍යතුමා ඒ මොහොතේ දී ම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දුන්නේය. ජිවන වියදම ඉහළ යෑමට සාපේක්ෂව විශ්‍රාම වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් ද මෙහි දී සාකච්ඡා කෙරිණි. 
 
දුම්රිය දෙපාර්තමේන්තුවේ මිලදී ගැනීම්වල පවතින ඇතැම් අකටයුතුකම් සම්බන්ධයෙන් ද මෙහි දී වෘත්තිය සමිති නියෝජිතයෝ අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.
 
කොවිඩ් වසංගතය හේතුවෙන් රටේ ආර්ථිකයට බලපෑම් එල්ල වී ඇති මෙවැනි කාලවකවානුවක රාජ්‍ය ආයතන තුළ වියදම් සීමා කර ගැනීම සම්බන්ධයෙන් දැනටමත් දැනුවත් කර ඇතැයි සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින අකටයුතුකම් පිළිබඳ සොයා බලන බව සඳහන් කළේය.
 
මෙම අවස්ථාවට අමාත්‍යවරුන්වන ගාමිණී ලොකුගේ, නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි, කම්කරු අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.ඩී.යූ.කේ මාපා පතිරණ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කුමාරි අත්තනායක, ජාතික අය වැය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජූඩ් නිලුක්ෂාන්, මහත්ම මහත්මීහු සහ ප්‍රගතිශීලී වෘත්තිය සමිති ජාතික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සංගම් හා වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ නියෝජිතයෝ පිරිසක් එක්වූහ

ශ්‍රී ලංකාව කොවිඩ් -19 වසංගත පාලනයේ සාර්ථක අදියරකට මේ වන විට  පැමිණ ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සදහන් කරයි.
 
ඒ සඳහා ජාතික මෙන්ම ජාත්‍යන්තරව අනගි සහයක් ලැබුණු බව අමාත්‍යවරයා පැවසීය.
 
යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා ඊයේ(14) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා දී හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
 
ගෝලීය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඇතැම් දියුණු රටවල් වයස්ගත පුරවැසියන්ට සඳහා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ෂේප කළ පසුබිමක මෙරට වයස්ගත පුරවැසියන් සඳහා ඉහළ අවධානයක් ලබාදුන් බව අමාත්‍යවරයා එහිදි පෙන්වා දුන්නේය.
 
මෙරට ක්‍රියාත්මක කළ ගෘහස්ථ කොවිඩ් ප්‍රතිකාර වැඩපිළිවෙල රටෙහි කොවිඩ් පාලනයට වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබාදුන් බවද එමගින් රෝහල්හි අනවශ්‍ය තදබදය වැළකී රෝගීන් අපහසුතාවයෙන් මුදා ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා කීය. ගෘහස්ථ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන්ගෙන් 1.4% පමණ අවම පිරිසක් පමණක් රෝහල් කරා යොමු කළ බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
 
මේ වන විට කොවිඩ් පාලනයේ සාර්ථක අදියරකට ශ්‍රී ලංකාව පැමිණ ඇතැයිද ඒ සඳහා ජාතික හා ජාත්‍යන්තරික වශයෙන් බොහෝ සහයෝගයක් ලැබුණු බවද හෙතෙම කීය.
 
කොවිඩ් පාලනය කෙරෙන අතරතුර රෝගීන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍යද වඩාත් ඉහළ නැංවීමට හැකිවූ බවත් ඒ සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ සිට පහළ දක්වා සැමගේ කැප කිරීම අගය කරන බවත් කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීය.
 
ලෝක ආර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වූ කොවිඩ් වසංගතය තුළ කුඩා ආර්ථිකයක් පවතින ශ්‍රී  ලංකාවට එල්ල වූ බලපෑම ප්‍රබල යැයිද ඒ හැර අනෙකුත් බලපෑම් වලට සාර්ථකව මුහුණ දීමට රටට හැකි වී ඇතැයිද අමාත්‍යවරයා කීය.
මෙහිදී අදහස් දැක්වූ යුනිසෙෆ් සංවිධානයේ මෙරට නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග් මහතා,ඉතා ඉහළ සංවිධානයකින් මෙන්ම කළමණාකරණයකින් යුතුව ශ්‍රී ලංකාවේ කොවිඩ් පාලනය මේ වන විට සිදු කර ඇතැයිද එම සාර්ථකත්වයට ප්‍රසාදය හිමි වන බවද පැවසීය. එමෙන්ම එන්නත්කරණයේ සාර්ථකත්වය මේ වන විට ශ්‍රී ලංකාව ඔප්පු කර ඇතැයිද ඒ වෙනුවෙන් බොහෝ කැප කිරීම් කර ඇතැයිද ස්කූග් මහතා කීය.
 
සාර්ථක කොවිඩ් පාලනය සේම ඉදිරියේදී මෙරට දරුවන්ගේ පෝෂණ තත්ත්වයන් පිළබඳව තවදුරටත් අවධානය යොමු කිරීම වැදගත් වනු ඇතැයිද යුනිසෙෆ්  නියෝජිතවරයා වැඩිදුරටත් පැවසීය.

තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගියදා හම්බන්තොට වරායේ සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමට එක්විය. එහිදී එතුමා විසින් ප්‍රකාශ කර සිටියේ වරාය තුළ සෘජු විදේශ ආයෝජන සඳහා සුදුසු පරිසරය සකස් කිරීමට රජයේ සහාය ලබාදෙන බවයි.

වරාය තුළ ඇති කර්මාන්ත කලාපයට ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ සැලැස්ම ලෙස ‘HIP Speed’ දැන් යොදා ගැනීමත් සමඟ විදේශ ආයෝඡන මෙරටට ආකර්ෂණය කරගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හා වරාය මෙහෙයුම් හා සංවර්ධනයේ වැදගත් කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

සැප්තැම්බර් මාසය වන විට හම්බන්තොට වරායේ සමස්ත ප්‍රතිදානය (Throughput) ටොන් මිලියන 1.7 ක් වූ අතර එය 2020 වසරේ සමස්ත ප්‍රතිදානයට ආසන්න වේ. එසේම මෙම සාකච්ඡාවේ දී වරාය සංවර්ධන ක්‍රියාවලියේ ඉදිරි පියවරයන් ලෙස 2021 වර්ෂයේදී HIP සාර්ථකව ‘plug and play’ (පිරිනිමි), ‘Park in Park’ (කලාපයක් තුළ කලාපයක්) නිෂ්පාදන කම්හල් ජාලයක් සහ නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් වරාය තුළ පිහිටුවීමට ගිවිසුම් ගත වීම, HIPGහි වරාය ආයෝජන සේවා කණ්ඩායම දැනට අනාගත ව්‍යාපෘති සඳහා චීනයේ ආයෝජකයින් සමඟ සාකච්ඡා පැවැත්වීම යන සාධනීය පියවර අනුගමනය කරන බවත් හෙළිවිය.


මෙම සාකච්ඡාවේ දී වරාය තුළ සෘජු විදේශ ආයෝජන සඳහා සුදුසු පරිසරය සකස් කිරීම සඳහා රජයේ සහාය ලබා දෙන බව පැවසූ අමාත්‍යවරයා, නිලධාරීන් සමග වරාය මෙහෙයුම් හා සංවර්ධනයේ වැදගත් කරුණු පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළේය.
මෙම අවස්ථාවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPG) ප්‍රධාන විධායක නිලධාරි ජොන්සන් ලියු සහ HIPGහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු නිලධාරි පිරිසක් සහභාගී වූහ.

සියල්ලටම පෙර දරුවන්’ යන තේමාව යටතේ පැවැත්වුනු මෙවර ලෝක ළමා දිනයට සමගාමීව උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විය.

කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාන්තා හා ළමා සංවර්ධන,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ශේස්ත්‍ර නිලධාරීන් සමඟ එක්කව අමාත්‍යංශය මගින් මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින වැඩසටහන් පිලිබඳ ප්‍රගති සමාලෝචනය කිරීමේ අවස්ථාවද මේ මොහොතේ සිදුවිය. සියළු ප්‍රාදේශිය සහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කමිටු රැස්විම් වලදී ප්‍රදේශයේ දරුවන් මුහුණ දෙන ගැටළු සම්බන්ධව සමාලෝචනය කොට ඒවාට විසඳුම් ලබාදීම ද දරුවන් සහ කාන්තාවන් ගෘහ සේවයට යොදා ගැනීමේ දී සිදුවන අකටයුතුකම් වළක්වාලීමේ අරමුණින් දේශීය ගෘහ සේවකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහන පිළිබඳව ද පුළුල්ව මෙහිදී සාකච්ඡා විය.

පැමිණසිටි රාජ්‍ය නිලධාරීන් හට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය විසින් කාන්තා හා ළමාරක්ෂණය පිළිබඳව විශේෂ වැඩසටහනක්ද මේ අවස්ථවේ සිදුකල අතර උතුරු පළාතේ පාසල් සඳහා ස්වයංක්‍රීය අත් පිරිසිදු කිරීමේ හා උෂ්ණත්ව මැනීමේ උපකරණ ප්‍රදානය, පෙරපාසල් සඳහා මුල්‍යමය ප්‍රතිපාදන ලබා දීම, නැගෙනහිර පළාතේ ළමා මිතුරු පාසල් වැඩසටහනේ ප්‍රතිපාදන ලිපි ප්‍රදානය, කාන්තාවන් සවිබලගැන්වීම සඳහා ස්වයං රැකියා උපකරණ ලබාදීම ඇතුළු වැඩසටහන් රාශියක් ක්‍රියාවට නැන්විය.

මෙම අවස්ථාවට උතුරු නැගෙනහිර පළාත් සම්බන්ධීකාරක බවධාරී රාජසිංහම් මහත්මිය, කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ රාජ්‍ය ලේකම් කුමාරි ජයසේකර මහත්මිය ඇතුළු රාජ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශිකා කුමාරි මහත්මිය, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් ආර්. කේදිෂ්වරන් මහත්මිය ඇතුළු ප්‍රදේශයේ පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.

ශ්‍රී ලංකාව කොරෝනා රතු අවදානම් කලාපයෙන් කොළ කලාපයට පිවිස ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ

වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු අන්තර්ජාතික සංවිධාන කිහිපයක් විසින් ශ්‍රී ලංකාව කොළ කලාපයට මෙලෙස නැවතත්

ඇතුළත් කරනු ලැබ ඇති බව පැවසූ හම්දානි මහතා දෛනිකව වාර්තා වන ආසාදිතයන් සංඛ්‍යාව සහ කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වීම සැලකිල්ලට ගෙන ඔවුන් එම තීරණයට පැමිණ ඇති බව කීවේය.

කොරෝනා සැලකිය යුතු ලෙස පාලනය වූ රටවල් ඇතුළත් කෙරෙන්නේ කොළ කලාපයට බවත් ජනතාව පරිස්සම්කාරි ලෙස කටයුතු නොකළහොත් යළි රතු කලාපයට ඇතුළු විය හැකි හෙයින් කොළ කලාපය රැක ගැනීම ජනතාවගේ යුතුකමක් බවත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 600ත් 700ත් අතර සංඛ්‍යාවක් දක්වාද රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවද 175ක් දක්වාද පහත බැස ඇති බවත් දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවද 50ට අඩු මට්ටමට පැමිණ ඇති බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේ‍ය.

කොරෝනා තෙවැනි රැල්ල ආරම්භ වීමෙන් පසු රෝහල්වල ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව 1100 දක්වා ඉහළ ගිය බවද අන්වර් හම්දානි මහතා පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු කලාපවල අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ට එළඹෙන සිකුරාදා, එනම් 15 දා ෆයිසර් එන්නත ලබා දීමට තීරණය කර තිබේ.

අනෙක් පාසල්වල වයස අවුරුදු 18 හා 19 වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව දීම එළඹෙන 21 දා පාසල්වලදී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

එහි නියමු ව්‍යාපෘතිය ලෙස මේ වැඩසටහන එළඹෙන 15 වැනි සිකුරාදා කොළඹ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට නියමිතය.

 

සියලුම සිසු දරුදැරියන් හැඳුනුම්පත සමඟ එන්නතකරණ වැඩසටහනට සහභාගි විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ අතිරේක ලේකම්, එල්. එම්. ඩී. ධර්මසේන මහතා ඊයේ (13) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

ඒ අනුව හෝමාගම,කොළඹ, ජයවර්ධනපුර හා පිළියන්දල කලාප කාර්යාලවලින් එන්නත ගත හැකි බව අතිරේක ලේකම්වරයා කීවේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ හා ඉන්දීය රාජ්‍ය සභාවේ සාමාජික සුබ්‍රමනියම් ස්වාමි මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් ඊයේ (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ඇමැතිධුර කීපයක් හොබවා ඇති සුබ්‍රමනියම් ස්වාමි මහතා ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර ශක්තිමත් මිත්‍ර සබඳතාවක් වෙනුවෙන් පෙනී සිටි සහ ශ්‍රී ලංකාවේ පැවති ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව සහාය විය යුතු බව අවධාරණය කළ අයෙකි.

 

ආර්ථික විද්‍යාඥයකු සහ සංඛ්‍යා ලේඛනඥයකු වන සුබ්‍රමනියම් මහතා, ජනාධිපතිවරයා ආරක්ෂක ලේකම්වරයාව සිටියදී සංවිධාන කළ සම්මන්ත්‍රණවල දේශකයෙක් ද විය.

සුබ්‍රමනියම් ස්වාමි මහතාගේ මෙවර සංචාරයේදී නැවතත් හමු වීමට ලැබීම පිළිබඳ ජනාධිපතිවරයා සිය සතුට පළ කළේය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter