ජනපති වැඩපිළිවෙළින් අපේ ජනතාවට ඉඩම් අයිතිය ලැබෙනවා – ඇමැති ජීවන් තොණ්ඩමන් කොටගල කම්කරු කොංග්‍රස් මැයි රැලියේදී කියයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ අනුව මේ මාසය අවසන් වන විට අපේ ජනතාවට අනිවාර්යයෙන්ම ඉඩම් අයිතිය ලැබෙනවා. – ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්
වතු කම්කරුවකුගේ දෛනික වැටුප රු. 1,700 දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගලදී ඊයේ (01) ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ලංකා කම්කරු කොංග්‍රසය කොටගල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මැයි රැලියට එක් වෙමිනි. වතුකරයේ ජනතා ගැටලු තමා කිසි විටෙකත් අමතක කර නැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ රැලියට එක් වූ අතර ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ ඇමැති ජීවන් තොණ්ඩමන් මහත්වරුන් ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය. අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මැයි දින රැලිය සහ පෙළපාළිය පැවැත්වුණු අතර, කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් සිදු කරන මෙහෙවරට මෙහිදී කඳුකර ජනතාවගෙන් හිමි වූයේ ඉහළ ප්‍රතිචාරයකි.

වතු කම්කරුවකුගේ දෛනික වැටුප රු. 1,700 දක්වා ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොටගලදී ඊයේ (01) ප්‍රකාශ කළේය. ඔහු මේ බව පැවසුවේ ලංකා කම්කරු කොංග්‍රසය කොටගල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වූ මැයි රැලියට එක් වෙමිනි. වතුකරයේ ජනතා ගැටලු තමා කිසි විටෙකත් අමතක කර නැති බවත්, ජනාධිපතිවරයා ලෙස තමා යටතේ ඉදිරියේදී ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා දෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ලංකා කම්කරු කොංග්‍රසයේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා මේ රැලියට එක් වූ අතර ක්‍රීඩාංගණය වෙත පැමිණි ජනාධිපතිවරයා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සෙන්දිල් තොණ්ඩමන් සහ ඇමැති ජීවන් තොණ්ඩමන් මහත්වරුන් ඇතුළු පිරිස විසින් පිළිගනු ලැබීය. අතිවිශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මැයි දින රැලිය සහ පෙළපාළිය පැවැත්වුණු අතර, කඳුකර ප්‍රජාව නියෝජනය කරන විශාලතම වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වනුයේද ‍ලංකා කම්කරු කොංග්‍රසයයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ කරන ජනතාව වෙනුවෙන් සිදු කරන මෙහෙවරට මෙහිදී කඳුකර ජනතාවගෙන් හිමි වූයේ ඉහළ ප්‍රතිචාරයකි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

“අප සියලු දෙනා පසු කළේ ඉතා අසීරු කාලයක්. එහිදී වැඩි වශයෙන් දුක් වින්දේ වතුකරයේ ජනතාව බව අප දන්නවා. ඒත් ඔවුන් දුෂ්කරතා හමුවේ වුවද තේ අස්වැන්නෙන් රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය දුන්නා. තේ අපනයනයෙන් අපට 2023 වසරේ වගේම 2024 වසරේද විදේශ විනිමය ලැබුණා. ඒ වෙනුවෙන් ජනාධිපතිවරයා ලෙස මම ඔබට ස්තුතිවන්ත වෙනවා. රටේ ආර්ථිකය ස්ථාවර කරගැනීමට හැකි වූයේ ඔබේ දහඩිය මහන්සියෙන් බව පැවසිය යුතුයි. මෙහි සිටින කිසිවකුට නැවත 2022දී රට පැවති තත්ත්වයට යෑමට අවශ්‍යයි කියා මා සිතන්නේ නැහැ. අප කිසිවකුත් ඊට සූදානම් නැහැ. අප ඉතා දුක්ඛිත තත්ත්වයක් පසු කළා. දැන් මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වයක් ඇති වෙමින් තිබෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. දැන් සියලු දෙනාට සහන සැලසීමට අප කටයුතු කරනවා.

“අප රජයේ සේවකයන් වෙනුවෙන් රුපියල් 10,000ක වැටුප් වැඩි කිරීමක් සිදු කළා. ඒ වගේම අස්වැසුම මඟින් පිරිනමන ප්‍රතිපාදන ඉහළ නංවා තිබෙනවා. ඒ සමගම පෞද්ගලික අංශයද වැටුප් වැඩි කිරීම් සිදු කර තිබෙනවා. සංචාරකයන්ගේ පැමිණීම වර්ධනය වීම නිසා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායමද මේ වන විට ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම වතුකම්කරුවකුගේ දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීමට අප කටයුතු කරනවා. වතුකරයේ ජනතාවගේ ප්‍රශ්න අප අමතක කර නැහැ. මේ ලයින් කාමර තිබෙන ස්ථාන නීතියෙන් ගම්මාන ලෙස හඳුන්වා දීමට මම සහ අගමැතිතුමා සාකච්ඡා කර තිබෙනවා. එවිට මේ ස්ථානවලට ගම්මානවලට ඇති පහසුකම් ලැබෙනවා. ජීවන් තොණ්ඩමන් ඇමැතිතුමා සමඟ ඒ කටයුතු ඉදිරියට ගෙන යෑමට අප බලාපොරොත්තු වනවා.

“ඒ වගේම වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන අප විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඔවුන්ට විද්‍යා විෂයයන් ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් බඳවාගැනීමට අප කටයුතු කරනවා. මා අගමැතිව සිටියදී වතුකරයේ පාසල් ගණනාවක විද්‍යාගාර ආරම්භ කිරීමට කටයුතු කළා. ඉන් ඇතැම් පාසල්වල පවතින ගුරු හිඟය සම්පූර්ණ කර ඒවා දියුණු කිරීමටද කටයුතු කරනවා. ඒ වගේම වතුකරයේ වෘත්තිය අධ්‍යාපනය දියුණු කිරීමටද අප පියවර ගෙන තිබෙනවා. අප රජයක් ලෙස කිසි විටෙක වතු කම්කරු ජනතාව අමතක කර නැහැ. ඔවුන්ගේ ගැටලු පිළිබඳ මට අවබෝධයක් තිබෙනවා. ඒ නිසා ජනාධිපති ලෙස මා යටතේ වතුකම්කරුවන්ගේ අයිතිවාසිකම් තහවුරු කරන බව ප්‍රකාශ කිරීමට කැමතියි. 1982 වසරේදී සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ ඉල්ලීම අනුව වතු පාසල් දියුණු කිරීමේ වගකීම එවකට අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා විසින් භාර ගත්තා. ඉන් පසුව 1986දී ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පුරවැසිකම නැති පිරිසට පුරවැසිකම දෙන ලෙස ප්‍රකාශ කළ විට ඒ සඳහාද මා සහයෝගය දුන්නා. 2003දී මා ආරුමුගම් තොණ්ඩමන් මහතා සමඟ එක්ව ඉන්දියාවේ පුරවැසිභාවය තිබෙන නමුත් ලංකාවේ සිට ඉන්දියාවට යෑමට අකැමැති වූ පිරිසට මෙරට පුරවැසිභාවය හිමි කර දුන්නා. දැන් ඒ ප්‍රශ්න සියල්ල විසඳී තිබෙනවා. දැන් තිබෙන්නේ මේ ප්‍රදේශ දියුණු කිරීමයි. ඒ වෙනුවෙන් තමයි වැටුප් වැඩි කිරීම් සිදු කරමින් මේ ප්‍රදේශවල යටිතල පහසුකම් සංවර්ධනයට අප කටයුතු කරන්නේ. ඒ වගේම කෘෂිකර්ම නවීකරණ වැඩසටහන වතුකරයටත් ගෙන එන බවද මම ප්‍රකාශ කිරීමට කැමතියි.”

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා:

“මේ වැටුප් වැඩි කිරීම සඳහා අවුරුද්දක් පුරා දැඩි පරිශ්‍රමයක් දැරුවා; අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කළා. මැයි 1ට පෙර මේ වැටුප් වැඩි වීම කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන්නා. ඒ සඳහා ජනාධිපතිතුමා විසින් ‍මීට මාස ගණනාවකට පෙර වතු සමාගම් ගෙන්වා දැනුම් දෙනු ලැබුවා. වතු අයිතිය තිබෙන්නේ රජයටයි. ඔබට අවශ්‍ය පහසුකම් සපයන්න ඔවුන්ට නොහැකි නම් ආණ්ඩුවට තීරණ ගැනීමට සිදු වනවා. මේ වැටුප් වැඩි වීම සිදු වන්නේ ඒ අනුවයි. එතැනින් නොනැවතී වැඩිපුර නෙළන දළු කිලෝවක් සඳහා රු. 80ක් ගෙවන්නත් අප තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරලා තමයි අද ඔබ ඉදිරියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එය ප්‍රකාශයට පත් කළේ. එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ඔබ වෙනුවෙන් ඉඩම් අයිතිය ඇතුළු සියලු අයතීන් හිමි කර දීම වත්මන් ජනාධිපතිතුමාගේ දැක්මයි. වසර දෙකක් ඇතුළත මේ රට ස්ථාවරත්වයට පත් කළ ආකාරයෙන්ම ඔබ සියලු දෙනාගේ ජීවිත ගොඩනැඟීමට ප්‍රායෝගික සැලැස්මක් මේ වන විටත් ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක බව ද ඔබ හමුවේ ප්‍රකාශ කිරීමට කැමතියි.”

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක සහ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා:

“දැඩි අරගලයකින් පසු වතු කම්කරුවන්ට රුපියල් 1700ක වැටුප් වැඩි වීමක් පිරිනමා තිබෙනවා. කෙටි කාලයක් තුළ මේ කටයුත්ත සාර්ථක කරගැනීමට සහයෝගය දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහත්වරුන්ට මාගේ කෘතඥතාව පළ කිරීමට කැමැතියි. බොහෝ වෘත්තීය සමිති සහ බොහෝ ප්‍රජා සංවිධාන මේ වැටුප් වැඩි වීම පිළිබඳ සාකච්ඡා කිරීමට අපට සහය දුන්නා. කම්කරු කොංග්‍රසය වෙනුවෙන් අප ඔවුන්ට ස්තුතිවන්ත වනවා. කම්කරුවන්ගේ අරගලයෙන් සහ වෘත්තීය සමිතිවල ශක්තියෙන් කඳුකර ජනතාවටද, මේ රටේ අනෙකුත් ජන කොටස්වලට ලැබෙන අයිතිවාසිකම් හිමි කර දීමට කටයුතු කළේ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතායි.”

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා:

“ආරුමුගම් තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වීමෙන් පසු අපට මැයි දින රැලියක් පැවැත්වීමට නොහැකි වුණා. ඒ වගේම කොරෝනා වසංගතයට සහ දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදු වුණා. එහෙත් දැන් අවුරුදු 4කට පස්සේ අපි දැවැන්ත රැලියක් පවත්වනවා. පසුගිය වසර 4ක කාලය තුළ අප විවිධ අවලාදවලට හා ප්‍රශ්නවලට මුහුණ දුන්නා. ඒ වගේම අපේ ජනතාවද ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. අ‍පි ඉඩම් නැති සමාජයක්. ඒත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ අනුව මේ මාසය අවසන් වන විට අපේ ජනතාවට අනිවාර්යයෙන්ම ඉඩම් අයිතිය ලැබෙනවා. ඒ වගේම වතු ජනතාවට දී තිබෙන පොරොන්දු ඉටු වෙමින් තිබෙනවා. මේ ජනතාවගේ සියලු අයිතිවාසිකම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තහවුරු වනු ඇතැයි විශ්වාස කරනවා.”

මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්, ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේශ්වරන්, ජාතික සංවිධායක ඒ.පී. ශක්තිවේල්, උප සභාපති ගණපති කනගරාජ්, උප සභාපති අනුසුයා සිවරාජා, වැවිලි මානව සංවර්ධන අරමුදලේ සභාපති භාරත් අරුල්සාමි යන මහත්ම මහත්මීන් ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු සහ පාක්ෂිකයෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.