නවතම පුවත්

 

ශ්‍රී ලංකාව වත්මන් ආර්ථික අභියෝගයෙන් මුදවාගෙන තරගකාරී ආර්ථිකයක් කරා ගෙන යාමට නම් රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතු බවත්, අභියෝග හමුවේ රට හැර යනවාද නැද්ද යන්න උපාධිධාරී බුද්ධිමත් මානව සම්පත තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි වසර පහ තුළ ලෝකයේ බොහෝ වෙනස්කම් සිදුවිය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන බව සඳහන් කළ ජනාධිපතිවරයා සංවර්ධිත රටවල් පවා ඉදිරියේ දී ආර්ථික අභියෝගවලට ලක්විය හැකි බවද පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (04) පැවති ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. ශ්‍රීමත් ජෙනරාල් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 246 දෙනෙකු මෙහිදී උපාධි ලබා ගත්හ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,

අද මෙම උපාධි ලබා ගන්නා පිරිස මේ රටේ සංවර්ධනයට දායක වනවා ද නැද්ද කියා තමන්ම තීරණය කළ යුතුයි. අවශ්‍ය නම් මෙම උපාධිය සමග විදේශ ගත වීමේ හැකියාව ඔබට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව මෙම ආර්ථික තත්ත්වයෙන් මුදවා ගැනීමට නම් තරගකාරී ආර්ථිකයක් කරා රට ගෙන යා යුතුයි. ඒ වගේම රටේ මානව සම්පත ඒ සඳහා පෙළගැස්විය යුතුයි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 450කට වඩා තිබෙනවා. එම පුහුණු මධ්‍යස්ථාන විශ්වවිද්‍යාල හා විද්‍යායතන බවට පත් කළයුතුයි. එමගින් වෘත්තීය නිපුනත්වයක් ඇති පුරවැසියන් රට තුළ නිර්මාණය කළ හැකියි. වෘත්තීය නිපුනත්වයක් ඇති පුරවැසියා සමග ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට හැකියාව තිබෙනවා. ඒ වගේම කෘත්‍රීම බුද්ධිය ඇතුළු නවීන තාක්ෂණ දැනුමින් සන්නද්ධ පිරිසක් ලෙස අනාගත පරපුර ගොඩනැගිය යුතුයි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වන විට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. ලබන වසර වන විට රට තුළ යහපත් ආර්ථික තත්ත්වයක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනු ඇති බව අප විශ්වාස කරනවා. එසේම ඉදිරි වසර 5 තුළදී ලෝකයේ ඕනෑම දෙයක් සිදුවිය හැකියි. ඇතැම් සංවර්ධිත රටවල ආර්ථික අර්බුද නිර්මාණය විය හැකි බව ගෝලීය තත්ත්වයන් නිරීක්ෂණය කිරීමේ දී අද පෙනී යනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවත් ශක්තිමත් විය හැකියි. එම නිසා උපාධිධාරී ඔබ නිවැරදි තීරණයක් ගනු ඇතැයි මම විශ්වාස කරනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ජනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලූතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ යන මහත්වරුන්ද, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති විශ්‍රාමික ජෙනරාල් එස්.එච්.එස් කෝට්ටේගොඩ , උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර යන මහත්වරුන් සහ පීඨාධිපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 
වසර 35 කට අධික කාලයක්, පරම්පරා 3ක්‌ පමණ ශ්‍රී ලංකාවේ පාපැදි නිෂ්පාදනයේ ප්‍රමුඛතම ආයතනයක් වන ලුමාලා පාපැදි නිෂ්පාදන සමාගමේ විශේෂ නිරීක්ෂණයක් සඳහා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එක් විය.
දේශීය සහ විදේශීය වෙළෙඳපොළ අරමුණු කර ගනිමින් වාර්ෂිකව පාපැදි ඒකක 500,000 කට අධික ප්‍රමාණයක් නිපදවන ලුමාලා සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන විදුලි පා පැදි (e-bike) පිලිබඳ මෙහි දී අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු විය.
ආයතනයේ විවිධ අංශ වල දායකත්වයෙන් දේශීය වශයෙන් නිපදවන මෙම පාපැදි කර්මාන්තශාලාවේ එක් එක් අංශ මගින් සිදුකරන කාර්ය මෙහි දී අමාත්යවරයා විසින් නිරීක්ෂණය කරන ලදී.
කිලෝමීටරයකට රුපියලකටත් වඩා අඩු පිරිවැයක් යටතේ එක් ආරෝපණ වාරයකින් කිලෝ මීටර් 100ක පමණ ධාවනය කළ හැකි විදුලි පාපැදි ඇතුලු මාදිලි රැසක් ලුමාලා ආයතන විසින් නිෂ්පාදනය කරනු ලබයි.
මෙම තාක්ෂණය යටතේ සාමාන්ය විදුලි පාපැදි, සංචාරකයින් සඳහා විශේෂයෙන් නිර්මාණය කරන ලද ද්විත්ව ආසන සහිත විදුලි පාපැදි, ඉවතලන ප්ලාස්ටික් බෝතල් ඇතුළු සැහැල්ලු කසළ එකතු කළ හැකි විශේෂ විදුලි පාපැදි, විදුලියෙන් ක්රියාත්මක වන රෝද පුටු, මගීන් ප්රවාහනය සඳහා ආසන සහිතව සකස් කළ විදුලි පාපැදි, අයිස් ක්රීම්, රස කැවිලි වැනි ජංගම අලෙවි කටයුතු සඳහා නිෂ්පාදනය කරන ලද විදුලි පාපැදි ඇතුළු නිෂ්පාදන මාදිලි රැසක් හදුන්වා දී ඇති අතර ඉල්ලුම අනුව මහා පරිමාණයෙන් එම පාපැදි නිෂ්පාදනය කිරීමේ හැකියාව ද ආයතනය සතු වේ.
මෙරට මෙන්ම එක්සත් රාජධානිය, යුරෝපය, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්යය, මැද පෙරදිග රාජ්යයන් ඇතුළු රටවල් රැසකට මෙම විදුලි පාපැදි සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව බව ද ආයතනයේ කළමනාකාරීත්වය විසින් අමාත්යවරයා දැනුවත් කරන ලදී.
මෙහි දී අදහස් දැක්වූ අමාත්යවරයා,
"රට වෙනුවෙන් විශාල නිෂ්පාදනයක් සිදු කරන මෙවැනි ආයතනවල කාර්යභාරය පිළිබඳව ජනතාව තවදුරටත් පුළුල් ලෙස දැනුවත් වීම අත්යවශ්යයි. කර්මාන්තයක් ලෙස මෙවැනි ආයතන සිදු කරන සේවය රට දැකිය යුතුයි. වේගා වැනි නවොත්පාදන ආයතන සිදු කරන සේවය පිළිබඳවත් විශාල ජනතා අවධානයක් ලබා දීමට අප කටයුතු කළා. මෙවැනි ආයතන පිළිබඳවත් එවැනි සැලසුම් සහගත වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්යයයි. ඒ වෙනුවෙන් මාධ්ය ආයතන වල ද දායකත්වය ලබා ගනිමින් කටයුතු කිරීම තුලින් වැඩි පිරිසක් මේ පිළිබඳව දැනුවත් වනු ඇති. විශේෂයෙන්ම විදුලි පාපැදි භාවිතය තුළින් ආයතනයේ නිලධාරීන් සිදු කරන මූල්ය සහ ඉන්ධන ඉතිරි කිරීම පිළිබඳව සහ එහි පවතින වාසිදායක ප්රතිලාභ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඉතාමත් ප්රයෝජනවත්. ෆොසිල ඉන්ධන වෙනුවට විදුලි බලය භාවිතා කරමින් අවම පිරිවැයක් යටතේ ප්රවාහන පහසුකම් සපයා ගැනීමට හැකිවීම පවතින මූල්ය අර්බුදය හමුවේ රටට ඉතාමත් ඵලදායි විකල්ප වැඩපිළිවෙළක් බවට පත්වනු ඇති. "
ලුමාලා ආයතනයේ අධ්යක්ෂ ප්රධාන විධායක නිලධාරි තාරික් මිෆ්ලාල්, කළමනාකාර අධ්යක්ෂ අසීම් මිෆ්ලාල්, සාමාන්යාධිකාරි රංජිත් සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා එක්ව සිටියහ.

ප්‍රශ්නය

ජනාධිපතිතුමනි Deutsche Welle වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අප සමඟ එක්වීම පිළිබඳ ඔබට ස්තූතියි. බර්ලින් සංවාදයෙන් දින දෙකකට පසු ඔබේ රටට යන විට රැගෙන යන්න හොඳ ආරංචියක් තිබෙනවාද?

පිළිතුර
මට මෙහි සිට ආපසු රැගෙන යාමට තිබෙන දෙය නම් අප අතර ඇති පරතරය අවම වීම තුළ ඉහළ යන අවබෝධයයි, විශේෂයෙන් යුරෝපීය පාර්ශවයත් සමග.
මට පැරිස් දේශගුණ සමුළුවට සහභාගී වීමට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම මම බර්ලින් නුවරට පැමිණ සිටින්නේ යුරෝපා සංගමය තුළ සිටින ප්‍රංශය සහ ජර්මනිය යන රාජ්‍යයන් දෙකම අපගේ චින්තනය දන්නා බවත්, අපගේ චින්තනයට අනුගත වන බවත් ඔවුන් සමග එක්ව මෙම පවතින ගැටළු කිහිපයක් විසඳීම සඳහා මගක් සෙවීමට උත්සාහ කරන බවත් පැවසීමටයි.

ප්‍රශ්නය
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ඔබේ චින්තනය සමඟ සම්පූර්ණයෙන්ම අනුගත වී නැති බව පෙනෙනවා නේද? පසුගිය දින කිහිපය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී ඇත්තේ අදාළ ඉලක්කයන්ගෙන් 15% ක් පමණ සපුරාලීමට අසමත්වීම හේතුවෙන් වැඩිදුරටත් සාකච්ඡා පවත්වන තුරු දෙවන වාරිකය අත්හිටුවා ඇති බවයි. එයින් අදහස් කරන්නේ ඔබට බදු අයකිරීම පිළිබඳ තවදුරටත් ගැටළුවක් පවතින බවයි. මෙම ගැටලුව ඉතා ප්‍රභල බව පෙනෙන්නට තිබෙනවා. එබැවින් මෙම ක්‍රියාවලිය වේගවත් කිරීමට සඳහා ඔබට විශේෂ සැලැස්මක් තිබෙනවාද?

පිළිතුර
අප එකඟතාවට පැමිණ තිබෙන්නේ දෙවැනි පැකේජය නවත්වනවා කියා නොවෙයි. අප විශ්වාස කරනවා අප මෙම වසර තුළ සිදු කර ඇති ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල ලබන වසරේ දැකගන්න ලැබෙන බව.

ඉලක්ක පිළිබඳ කතා කිරීමේ දී ඇතැම් ඉලක්ක ළඟා කර ගැනීම අසීරු බව අප පිළිගත යුතුයි. අප මේ පිළිබඳව ඔවුන්ව දැනුවත් කර තිබෙනවා. අප දැන් සාකච්ඡා කරමින් සිටින්නේ එම පරතරය පියවා ගන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ඒ වගේම ඒ සම්බන්ධයෙන් අප එකඟ නොවූ යෝජනා කිහිපයක් තිබෙනවා. මොකද එම යෝජනා සාමාන්‍ය ජනතාවට බරක් වන නිසා.

එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට කියා තිබෙනවා විකල්ප යෝජනා ඉදිරිපත් කරන්න කියලා.

ප්‍රශ්නය
නමුත් ඔබේ රටට බදු පිළිබඳ ඓතිහාසික ගැටලු තිබෙනවා. ඒ වගේම හය වතාවක් බලයේ සිටි ඔබට මේවා අලුත් දේවල් වන්නේ නැහැ නේද?

පිළිතුර
එය මුලින්ම පිළිගත්ත පුද්ගලයාත් මමයි. ඒ වගේම අපි කියනවා අපිට අලුත් ආදායම් පිළිබඳ අධිකාරියක් අවශ්‍ය බව. මම එය 2003 දීත් යෝජනා කළා. 2004 මැතිවරණයෙන් මම පරාජය වීමට එයත් හේතුවක් වුණා. නමුත් මෙතන පවතින්නේ ආදායම් පැහැර හැරීම පිළිබඳ ප්‍රශ්නය පමණක් නොවෙයි.

ආදායම් මගහැරීම පිළිබඳව ගැටලුව වසරකින් විසඳිය හැකි දෙයක් නොවෙයි. අප මේ පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා. ඔවුන් අපට යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අප ඉන් බොහොමයක් සමග එකඟවී තිබෙනවා. නමුත් දැන් තිබෙන ප්‍රශ්නය අප මේ මොහොතේ මුදල් හොයා ගන්නේ කොහෙන්ද යන්නයි. ඒ සමඟ මේ ප්‍රශ්නයත් විසඳේවි.

ප්‍රශ්නය
ඔබ හිතන ආකාරයට කොපමණ කාලයක් ඒ සඳහා ගතවෙයි ද?

පිළිතුර
මම හිතන්නේ ලබන සතිය වන විට විසඳේවි.

ප්‍රශ්නය
දරිද්‍රතාවය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් පිළිබඳව දරුවන් සුරකිමේ ජාත්‍යන්තර සංවිධානය අනතුරු අගවා තිබෙනවා.

පිළිතුර
අපට පසුගිය වසරේදී උග්‍ර ආහාර හිඟයකට මුහුණ දීමට සිදු වුණා. නමුත් අප එය බොහෝ දුරට අඩු කරගෙන තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන පැකේජයෙන් පසු අප ඊළග පියවර පිළිබඳව සිතා බලනවා.

රටේ ආර්ථිකය කඩා වැටුණු විට මෙවැනි තත්ත්වයන්ට මුහුණදීමට සිදු වෙනවා. මා රට භාරගන්නා අවස්ථාව වන විට ජනතාවට අවශ්‍ය ආහාර, ඉන්ධන තිබුණේ නැහැ. රැකියා නැති වුණා.කර්මාන්ත කඩා වැටුණා. නමුත් අප දැන් එයින් මිදෙමින් සිටිනවා. උදාහරණයක් ලෙස සංචාරක කර්මාන්තය ගත් විට අද එය ක්‍රමයෙන් දියුණු වෙමින් තිබෙනවා.

ප්‍රශ්නය
ළමයින් සුරැකීමේ ජාත්‍යන්තර සංවිධානයේ වාර්තාව නිකුත් කර සති කිහිපයයි ගතව තිබෙන්නේ.

පිළිතුර
ඔව්. මම එම වාර්තාව කියෙව්වා. මම එහෙම නැහැ කියන්නේ නැහැ. නමුත් අපට එහි ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යා, දත්ත සහ ප්‍රතිශත සම්බන්ධයෙන් එකඟ විය නොහැකියි.

කුසගින්න පිළිබඳ අර්බුදයක් තිබෙනවා. මම ඒක නැහැ කියන්නේ නැහැ. පැහැදිලිවම, ආර්ථිකය කඩා වැටෙන විට, එසේ සිදුවෙනවා. නමුත් අප එයින් ගොඩඒමට උත්සාහ දරමින් සිටිනවා.

අප ළමයින්ගේ සුරක්ෂිතතාව පිළිබඳව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. එය කුසගින්නට පමණක් සීමා කර නැහැ. නිසි ආරක්ෂාවක් නොලැබෙන දරුවන් විශාල පිරිසක් අපේ රටේ ඉන්නවා. ඒ පිළිබඳ වාර්තාව ඉදිරි සතියේ මට ලැබීමට නියමිතව තිබෙනවා.

ප්‍රශ්නය
අධ්‍යාපන ක්ෂේත්‍රයේත් අර්බුද තිබෙනවා.

පිළිතුර
අධ්‍යාපනය යම් දුරටකට පසුබෑමකට ලක්ව තිබෙනවා. 2024, 2025 වසර වන විට එය සාමාන්‍ය තත්ත්වයට ගැනීමටයි අප උත්සාහ කරමින් සිටින්නේ. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දීර්ඝකාලීන ප්‍රතිසංස්කරණ පිළිබඳ තීරණ ගත යුතුව තිබෙනවා. එවිට මේ චෝදනාව එල්ල වන්නේ නැහැ.

ප්‍රශ්නය
මෙය චෝදනාවක් නොවයි, මෙහි වෙනසක් තිබෙනවා. රාජ්‍යයක් තම ප්‍රශ්න විසඳා ගත යුතු කාලය සහ දෙමාපියන්ට දරුවෙකු පෝෂණය කිරීමට ඇති කාලය පිළිබඳව වෙනසක් තිබෙනවා.

පිළිතුර
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමකට ලක් වුණා. මේ වසරේ තමයි ආර්ථිකයේ යම් වර්ධනයක් සිදුවීමට පටන්ගෙන තිබෙන්නේ. තවම වසරක්වත් ගත වී නැහැ. මේ කාලය තුළ රටේ කුසගින්න පිළිබඳ ගැටලුව විසඳමින් සිටිනවා. ඒ වගේම දිළිදුකම අඩු වෙමින් පවතිනවා.

ඒ වගේම වැඩි පිරිසකට රැකියා ලැබෙමින් තිබෙනවා. මෙය රට තුළ පරිවර්තනයක් සිදු වෙමින් පවතින සමයක්.

රටේ කුසගිනි අර්බුදයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. කුසගිනි අර්බුදයක් තිබූ නිසයි එය විසඳීමේ වගකීම මම භාරගත්තේ. මම කුසගිනි අර්බුදය නිමා කරන බව ප්‍රකාශ කරනවා.

ප්‍රශ්නය
පසුගිය සති දෙක තුළ ශ්‍රී ලංකාව තුල විශාල වශයෙන් අවධානයට ලක්වූ මාතෘකාවක් ගැන අප දැන් කතා කරමු. රජයට සම්බන්ධ පිරිස් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් සමඟ කරන ලද කුමන්ත්‍රණයක් බවට අනුමාන කර ඇති, ශ්‍රී ලංකාවේ මෑත ඉතිහාසය තුළ සිදුවූ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ චැනල් 4 නාලිකාවේ වාර්තාමය චිත්‍රපට කථාංගය පිළිබද අවධානය යොමු කළහොත් ?

පිළිතුරු
ඇයි ඔබ චැනල් 4 නාලිකාව ඔය තරම් පූජනීය ලෙස සලකන්නේ? මම එහෙම කරන්නේ නැහැ.

ප්‍රශ්නය
නැහැ. මම එලෙස හිතන්නේ නැහැ.

පිළිතුර
බ්‍රිතාන්‍යයේ ද විශාල පිරිසක් ඒ විදිහට සළකන්නේ නැහැ කියා මම විශ්වාස කරනවා.

ප්‍රශ්නය
ඔබ එය එකහෙළා ප්‍රතික්ෂේප කිරිම සාධාරණද ?.

පිළිතුර
ඇයි ඔබ චැනල් 4 ගැන පමණක් ප්‍රශ්න කරන්නේ?‍

ප්‍රශ්නය
මම චැනල් 4 ගැන අහන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් චෝදනාවක් තිබෙනවා.‍

පිළිතුර
මාධ්‍ය විසින් එල්ල කරන චෝදනාව නිසාම ඇයි මම එහෙම කරන්නේ? හොඳයි, මම කියන්නේ… හිටපු නීතිපතිවරයා චෝදනාවක් එල්ල කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා චෝදනාවක් කර තිබෙනවා. ඇයි ඔබ එකක් ගැන විතරක් අහන්නේ. අනිත් ඒවා ගැනත් අහන්න.

ප්‍රශ්නය
ඇත්තටම චැනල් 4 නාලිකාව පමණක් නොවෙයි, කතෝලික පල්ලිය තමයි පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඇත්තටම ඔබතුමා සේවය කළ හිටපු ජනාධිපතිවරයෙකුත් පරික්ෂණයක් ඉල්ලා තිබෙනවා ?

පිළිතුර
මමත් අහන්නේ එයයි. ඔබ මගෙන් එහෙම ඇහුවේ නැහැ. මම ඔබට බල කළ විට පමණයි කිව්වේ හිටපු ජනාධිපතිතුමා පරීක්ෂණයක් ඉල්ලනවා කියලා. ඔබ කතා කළේ චැනල් 4 වාර්තාව පරම සත්‍යය ලෙස තබාගෙනයි.

ප්‍රශ්නය
මෙතන තිබෙන කාරණාව පරම සත්‍ය පිළිබඳ නොවයි ?

පිළිතුර
විශේෂයෙන්ම චැනල් 4 චෝදනා සම්බන්ධයෙන් මම කමිටුවක් පත් කර තිබෙනවා. හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනවා. ඒ වගේම හිටපු ගුවන් හමුදාපතිවරයෙකු සහ සුප්‍රසිද්ධ නීතිඥවරයෙකුගෙන් එම කමිටුව සමන්විත වෙනවා.

ප්‍රශ්නය
කොමිසමේ නිදහස හැර වෙනත් දෙයක් කිරීමට තරම් මෙම කොමිසමට හැකියාවක් තිබෙනවා කියා කිසිවෙකු විශ්වාස කරන්නේ නැහැ ?

පිළිතුර
එය ඔබේ මතය, මගේ මතය නොවෙයි.

ප්‍රශ්නය
නැහැ. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්.

පිළිතුර
නැහැ. මට කතා කර අවසන් කරන්න දෙන්න

ප්‍රශ්නය
ඔබට උත්තර දෙන්න අවශ්‍ය නැත්නම් උත්තර අවශ්‍ය නෑ. නමුත් මට අහන්න පුළුවන්.

පිළිතුර
නැහැ. මම කියන්නේ එය ඔබේ මතය පමණයි. මගේ මතය නොවෙයි කියලා.

ප්‍රශ්නය
කතෝලික පල්ලිය තමයි මේ පිළිබඳව කතා කරන්නේ ?

පිළිතුර
එය අමතක කරන්න. මම කතා කරන්නේ කතෝලික පල්ලිය ගැන නොවයි. මම ඔබ ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබාදීම පමණයි සිදු කරන්නේ. ඒ වගේම මම ගනුදෙනු කරන්නේ රදගුරු සම්මේලනය සමග මිස කාදිනල්තුමා සමග නෙවෙයි. කතෝලික සභාවට කොමිසමේ සියලු වාර්තා අවශ්‍ය බව දැනුම් දුන්නා. මම ඒ සියල්ල දුන්නා.

ප්‍රශ්නය
ඔවුන් බලාපොරොත්තු වෙන්නේ විනිවිදභාවයෙන් යුතු ස්වාධීන විමර්ශනයක් ?

පිළිතුර
ඔවුන් එකඟ වූ ස්වාධීන කොමිෂන් සභාව එයයි.

ඔබ රදගුරු සම්මේලනය සමඟ ගනුදෙනු කරන්නේ නැහැ. නමුත් මම කරනවා. ඒ වගේම ඔවුන් පැමිණ මාව මුණගැසෙනවා. ඔවුන් හමුවෙන්නේ මම මිස ඔබ නොවෙයි. ඔබ මෙතන වාඩි වී කඩදාසියක් අතට අරගෙන කියවනවා. නමුත් මම කතෝලික සභාව සමග සාකච්ඡා කළා. මම නැවත මගේ රටට ගියවිටත් ඔවුන් සමඟ සාකච්ඡා කරනවා.

දෙවැන්න තමයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව. ඉතින් යම් අතපසුවීමක් සිදුවුවහොත් නැවත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඒ පිළිබඳ කටයුතු කරයි. අවසාන වශයෙන් කරන්නේ මොකක්ද කියා තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුවයි.

හිටපු ජනාධිපති සිරිසේන මහතාගේ කාරණය සම්බන්ධයෙන් කථා කළහොත්, මම ආපසු ගිය පසුව ඔහු හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔහුද මේ සම්බන්ධව කොමිසමක් පත් කළා, ඔහුට තවදුරටත් මේ පිළිබඳ විමර්ශනයක් අවශ්‍යයි ද කියා මම සාකච්ඡා කරනවා. මම මේකට සම්බන්ධත් නැහැ. මම උත්සාහ කරන්නේ මෙයට විසඳුමක් ලබාදීමටයි.

ඔබ කාදිනල්තුමා ලබා දුන් කඩදාසියක් අරගෙන ඔහුට පේන්න එය කියවනවා. ඔබ කතෝලික සභාවත් සමඟ කතා කර තිබෙනවාද? ඔබ කතෝලික පූජකවරුන් සමඟ කතා කර තිබෙනවද?

ප්‍රශ්නය
නැහැ. මම කතා කර නැහැ.

පිළිතුර
එසේනම් ඔබට මගෙන් මේ ප්‍රශ්නය ඇසීමට කිසිඳු අයිතියක් නැහැ. එය සම්පූර්ණයෙන්ම වැරදියි කිසිම ගැටළුවක් සම්බන්ධයෙන් අපට ජාත්‍යන්තර විමර්ශන අවශ්‍ය නැහැ.

එක්සත් රාජධානියට එහෙම වෙලා නැහැ. ජර්මනියට එහෙම වෙලා නැහැ. ඔබට මොනවද ලැබී තිබෙන්නේ? ඔබ සහභාගී වී තිබෙන ජාත්‍යන්තර පරීක්ෂණ මොනවාද? එක්සත් රාජධානිය සහභාගී වී තිබෙන ඒවා මොනවාද? ඇයි අසරණ ශ්‍රී ලංකාවේ අපට සහ ආසියාතිකයින්ට විතරක් මෙහෙම කරන්නේ? ඔබ හිතන්නේ අපි පහත් රටවල් කියාද?

නිවේදක
නැහැ

ජනාධිපතිතුමා
එහෙනම් ඇයි එහෙම අහන්නේ?

නිවේදක
මොකද කිසිවක් සිදු නොවු කොමිෂන් සභා සම්බන්ධයෙන් ඔබට 2008 සිට අද දක්වාම දිවෙන දිගු ඉතිහාසයක් තිබෙනවා. මට ඒ පිළිබඳ ලයිස්තුවක් කිව හැකියි. උදුලාගම, උගත් පාඩම්….

ජනාධිපතිතුමා
පාස්කු ප්‍රහාරය සම්බන්ධ කොමිසම තමයි මේ. ඒ හැමදෙයක් සඳහාම අප අවශ්‍ය පියවර ගෙන තිබෙනවා

ප්‍රශ්නය
ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ අවසාන වාර්තාවේ තත්ත්වය කෙතරම් අශෝභන වී තිබෙනවාද කිවහොත්, මේ වන විට ඇමරිකානු කොංග්‍රසයේ සිටින 12 දෙනෙකු විසින් ඔබේ රජයට බලපෑම් කරන ලෙස බයිඩ්න් පාලනයෙන් ඉල්ලා සිටිනවා.

ඇත්තටම සිදුවී ඇති අපයෝජන මොනවාද යන්න සහ ඒවා මැඩපවත්වන්නේ කෙසේද සොයා බැලීමට ඔබ මීට මාස කිහිපයකට පෙර සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් ප්‍රකාශයට පත් කළා. මම පෙන්වා දුන් ඒවාට මෙන්ම මෙම කොමිසමටත් බලයක් නැහැ

පිළිතුර
ඔබ එය වැරදියටයි වටහාගෙන තිබෙන්නේ. එය සාමාන්‍ය ජනාධිපති කොමිෂන් සභාවක් නොවෙයි.

අපි සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවා ඇති බවට මේ රටවල් සමඟ එකඟතාවයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. මේ වන විට පක්ෂ සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින අතර අපි බටහිර රටවල් සමගත් සාකච්ඡා කරනවා. සෙනෙට් සභිකයින්ට මෙයට මැදිහත් විය හැකිය

සත්‍ය සහ ප්‍රතිසන්ධාන පනත මේ වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මම ජනාධිපති ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසුව බරපතල ප්‍රශ්න ඇති වී නැහැ

ප්‍රශ්නය
මම විශ්වාස කරනවා ඔබ මිට මාසයකට පමණ පෙර නිකුත් වු එක්සත් ජාතීන්ගේ වාර්තාව දකින්න ඇති කියලා ?

පිළිතුර
එක්සත් ජාතීන්ගේ වාර්තාව ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ප්‍රශ්නය
කවුද ඒක ප්‍රතික්ෂේප කළේ ?

පිළිතුර
ශ්‍රී ලංකා රජය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කවුද එය ලබා දුන්නේ? මම එක්සත් ජාතීන්ගේ වාර්තාව අනුමත කරන්නේ නැහැ.

ප්‍රශ්නය
මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැරදී කියලද ඔබ කියන්නේ?

පිළිතුර
එක්සත් ජාතීන්ගේ සංවිධානය නොවෙයි. මානව හිමිකම් කොමිෂම වැරදියි.‍

ප්‍රශ්නය
මානව හිමිකම් කොමිෂම වැරදියි වගේම Amnesty සහ human rights watch ද වැරදියි ද?

පිළිතුර
මානව හිමිකම් කොමිෂම වැරදියි.

නිවේදක
අපරාධ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා ඔබ කටයුතු කරනවා ද? ඔබේම ආණ්ඩුවේ සමහර ඇමතිවරුන් එය ඉල්ලා සිටිනවා…

ජනාධිපතිතුමා
කවුද ඇමතිවරුන්?

නිවේදක
මම හිතන්නේ ප්‍රනාන්දු මහත්මයා.

ජනාධිපතිතුමා
කොයි ප්‍රනාන්දු ද?

නිවේදක
ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණ සිදු කිරීමට එකඟයිද?

ජනාධිපතිතුමා
ප්‍රනාන්දු නම තිබෙන ඇමතිවරු දෙන්නෙක් ඉන්නවා. වෙළඳ හා වාණිජ කටයුතු ඇමතිවරයා ප්‍රනාන්දු කෙනෙක්. සංචාරක ඇමතිවරයාත් ප්‍රනාන්දු කෙනෙක්.
ඒ අයගෙන් කිසිම කෙනෙක් මගෙන් මෙවැනි ඉල්ලීමක් කර නැහැ. ඔබ බරපතළ චෝදනාවක් කර තිබෙන්නේ. ඒ නිසා එය පැහැදිළිව සඳහන් කරන්න.

නිවේදක
බරපතළ චෝදනාව මොකද්ද?

ජනාධිපතිතුමා
විමර්ශනයක් අවශ්‍ය බව පැවසූ මගේ ඇමති මණ්ඩලයේ සිටින ඇමතිවරු දෙදෙනා කවුද කියලා?

නිවේදක
එය චෝදනාවක් නොවෙයි. ඇත්තටම එය ප්‍රසිද්ධ කරුණක්.

ජනාධිපතිතුමා
නැහැ, ඔබ වැරදියි. මට තේරෙන විදියට නම් ඉන්නේ එක් අයෙකු පමණයි.

නිවේදක
මේ පිළිබඳ සොයා බලන ලෙස මට ඉල්ලීමක් කළ හැකිද ?

ජනාධිපතිතුමා
නීතියට අනුව, ඔබේ රටේ වගේම මගේ රටෙත් යම් විමර්ශනයක් සිදු කළ හැක්කේ පොලිසියට පමණයි. ඉන්පසුව, පොලිසිය මහේස්ත්‍රාත්වරයාට කරුණු වාර්තා කළහොත්, මහේස්ත්‍රාත්වරයාට වැඩිදුර විමර්ශනයක් සිදු කිරීමට නියෝග කළ හැකියි.

නිවේදක
ඔබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා විමර්ශනය සිදු කරනවාද? ඔබ ඊට කැමතිද?
ජනාධිපතිතුමා

ඇත්තවශයෙන්ම, ඔවුන් විමර්ශනයක් සිදු කරනවා.

නිවේදක
ඒ වගේම විනිවිදභාවය සහතික කිරීම සඳහා ජාත්‍යන්තර නිරීක්ෂකයින් හෝ ඔවුන්ගේ සහයෝගීතාව ලබා ගැනීම පිළිබඳ ඔබට කිසිදු ප්‍රශ්නයක් නැද්ද?
ජනාධිපතිතුමා

නැහැ. ඔබගේ රටේ පවතින නඩු සම්බන්ධයෙන් ජාත්‍යන්තර නිරීක්ෂකයින් සිටිනවාද?

නිවේදක
60,000ත් 100,000ත් අතර ශ්‍රී ලාංකික ජනතාවක් අතුරුදන් වී තිබෙනවා. ඔබ තවමත් නැහැ කියනවා…

ජනාධිපතිතුමා
නැහැ. අවසානය දක්වා අපට තවදුරටත් වැඩ කිරීමට තිබෙනවා. මම හිතන්නේ එම සංඛ්‍යාව මීට වඩා අඩු බවයි.

නිවේදක
ඉතින්, ඒ පිළිබඳ ක්‍රියාත්මක විය යුතුයි නේද ?

ජනාධිපති
අතුරුදන් වූවන් පිළිබඳ කොමිසම මේ පිළිබඳව කටයුතු කරනවා. එහි කටයුතු කාලයක සිට සිදුවෙමින් පවතිනවා. මම ජනාධිපති ධූරයට පත් වුණේ මීට වසරකට පෙරයි.

නිවේදක
හොඳයි, නමුත් ඔබ අගමැති ලෙස හය වතාවක් බලයට පත් වී තිබෙනවා. ඉතින්, මෙය ඔබේ වගකීමක් ?

ජනාධිපතිතුමා
මෙහි පළමු පියවර තැබුවේ මම අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන අවධියේ බව සිහිපත් කළයුතුයි

නිවේදක
මම ඔබෙන් අවසාන වශයෙන් ප්‍රශ්නයක් අසන්නම්. ඇතැම්විට ඔබට මේ සමඟ සම්පූර්ණයෙන්ම එකඟ විය නොහැකි වෙයි. නමුත් සැබවින්ම ඔබ හමුවේ දැන් තිබෙන මෙම ප්‍රශ්නය ඉතා බරපතල ප්‍රශ්නයක් කියා මම විශ්වාස කරනවා.

සත්‍ය වශයෙන්ම ශ්‍රී ලංකාව වගවීම සහ යුක්තිය ඉටු කර නොමැති බව සිතන්න. ඒ පිළිබඳව ඔබ මෙහිදී දක්වන අදහස පිළිබඳව බොහෝ දෙනෙක් බලා සිටිනවා.

ජනාධිපතිතුමා
මම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ මෙය නිවැරදි කිරීමට කටයුතු කරනවා. අපි ඔවුන් සමඟ එක්ව කටයුතු කරනවා. ඔවුන් දන්නවා අප එය කරනවා කියලා. අපි සෑම දෙයක් සම්බන්ධයෙන්ම සාකච්ඡා කරනවා.

මගේ විදේශ ඇමතිවරයා ඔවුන් සමඟ නිතරම සාකච්ඡා කරනවා වගේම තත්ත්වය පිළිබඳව ඔවුන් සියලුදෙනාට අවබෝධයක් තිබෙනවා.

නිවේදක
එය ඉතා හොඳ තත්ත්වයක්

ජනාධිපතිතුමා
දැන් ඔබ ප්‍රශ්නය ඇසුවා. මම පිළිතුරක් ලබා දුන්නා. මෙය කිසිසේත්ම කනස්සල්ලට කරුණක් නොවෙයි. මම මානව හිමිකම්වලට ගරු කරනවා. ඒ පිළිබඳව හොඳම වාර්තාව තිබෙන්නේ මටයි.

නිවේදක
බොහොම ස්තූතියි ජනාධිපතිතුමනි,

ජනාධිපතිතුමා
ස්තූතියි

ජර්මනියේ පැවැත්වෙන බර්ලින් ග්ලෝබල් සාකච්ඡාවට සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම 26දා ජර්මනිය බලා පිටත්ව යයි. බර්ලින් ග්ලෝබල් සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා වන ඉහළ මට්ටමේ ගෝලීය මුලපිරීමකි.

ජනාධිපතිවරයා ‘බර්ලින් ග්ලෝබල්’ සාකච්ඡාවේ පළමු දිනයේ නායකයින්ගේ සංවාද සැසියේ ආරම්භයේ අදහස් දැක්වීමට නියමිතය. ජනාධිපතිවරයා මෙම සංචාරයේදී ජර්මනියේ චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් සහ අනෙකුත් දේශපාලන සහ ව්‍යාපාරික නායකයින් හමුවී සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

මෙම සංවාදයට ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, යුරෝපීය කවුන්සිලයේ සභාපති චාල්ස් මයිකල් සහ බෙල්ජියම් අගමැති ඇලෙක්සැන්ඩර් ඩි ක්‍රෝ සහභාගී වීමට නියමිතය.

ජනාධිපති වික්‍රමසිංහ මහතා විස්තීරණ අරමුදල් පහසුකම (EFF) වෙතින් ශ්‍රී ලංකාවට ලබා දෙන දෙවන වාරිකය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙරටට පැමිණ සිටින IMF නියෝජිත පිරිස හමුවීමට ද නියමිතය

දුම්රිය එන්ජින් රියැදුරෙකු වන ඉන්දික දොඩන්ගොඩ නමැත්තා ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට එරෙහිව විදත් හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශවලට අදාළ වීඩියෝ දර්ශන හා හඬපට ඇතුළත් සංයුක්ත තැටි පෙරේදා (19) දිනයේ අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ෂෙරොන් සමරනායක මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ. ඒ අනුව හිරු ටීවී නාලිකාවේ නෙත් එෆ්.එම්. ගුවන් විදුලියේ හා සමාජ මාධ්‍ය මඟින් දොඩන්ගොඩ නමැත්තා සිදුකළ අපහාසාත්මක අසත්‍ය ප්‍රකාශ ඇතුළත් දර්ශන හා හඬපට මේ අයුරින් සීඅයිඩීය වෙත භාරදී ඇත.

පසුගියදා අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳව සීඅයිඩීය වෙත සිදුකළ මීට අදාළ පැමිණිල්ල පිළිබඳ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් අරඹා ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.

කියුබාවේ පැවති “G77 සහ චීනය” රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා වේලාවෙන්  (17) අළුයම නිව්යෝර්ක් නුවරට ළඟා විය.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා මෙවර සැසිවාරය පැවත්වෙයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වනදා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය සිදු කිරීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සමගාමීව සැප්තැම්බර් 18 වනදා පැවැත්වෙන, 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව සඳහා ද ජනාධිපතිවරයා සහභාගි වීමට නියමිතය.

එසේම එදින ජනාධිපතිවරයා සමුළුවට එක්ව සිටින රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර සමුද්‍රීය ජාතීන් සඳහා වන ඉන්දු – පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදය සඳහා ද එක්වීමට නියමිතව තිබේ.

 
 

ජනප්‍රිය ලේඛිකා සහ පුවත්පත් කලාවේදිනී සුරේකා නිල්මිණි ඉලංගකෝන් විසින් රචිත නවතම කෘතිය වන ‘දිය සිත්තම්’ හි මුල් පිටපත ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ඉකුත්දා (14) පිරිනැමිණි.
මෙය කතුවරිය විසින් රචිත 17 වැනි නවකතාවයි. අනුන් වෙනුවෙන් කැපවෙන පරාර්ථකාමී මිනිසුන් දුක, වේදනාව සහ අභියෝග අතරෙන් ජීවිතයට මුහුණ දෙන දිරිමත් යුවතියක පිළිබඳ මේ නවකතාවෙන් කියැවේ.
මෙම අවස්ථාවට ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් සහ අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලු සාමාජිකවරුන් සමඟ ලේක්හවුස් ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් එක්ව සිටියහ

ජාතික අධ්‍යාපනය නඟාසිටුවීමට තම දහඩිය, ශ්‍රමය, ධනය කැප කරමින් මහා අධ්‍යාපනික විප්ලවයක් කළ ජාතික අධ්‍යාපනයේ පියා අනගාරික ධර්මපාල තුමා යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. ඊයේට (17) යෙදුණු ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 159 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාල පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති ශ්‍රීමත් අනගාරික ධර්මපාල පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීමේ සමරු වැඩසටහනට එක් වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීවේය:

“පාසල් අධ්‍යාපනය නිම කර අනාගත ලොවට පා තබන සුවහසක් දරුවන් තුළ ධර්මපාල චින්තනය පිළිබඳ නිවැරදි දැක්මක් ඇති කළ යුතුයි. රට බේරාගැනීමට චින්තනය සැපයූ, ඉන්දියාව තුළද නැවත බුද්ධාගම ස්ථාපනය කර සුරකිමින්, බුදු සසුනේ චිරස්ථිතිය වෙනුවෙන් ජීවිත කැප කිරීමෙන් කටයුතු කළ මහා යතිවරයාණන් වහන්සේ කෙනකු ලෙස සිරි දේවමිත්ත ධර්මපාල තුමා ඉතිහාසයට එක් වනවා. මේ වෙනුවෙන් පළ කළ ලිපියක මේ රටේ ජාතික අධ්‍යාපනයේ පියා අනගාරික ධර්මපාල තුමා බව මා සඳහන් කළා. නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමා, ජාතික අධ්‍යාපනයේ පියා අනගාරික ධර්මපාලතුමා යන්න පිළිබඳ දිගු කාලීන පරීක්ෂණයක මා නිරත වුණා.

පල්ලිය පදනම් කරගනිමින් එවකට පැවති මිෂනාරි අධ්‍යාපන ක්‍රමය අවජාතක අධ්‍යාපන ක්‍රමයක් ලෙස අනගාරික ධර්මපාලතුමන් හැඳින්වූවා. එම නිසා රටේ දක්ෂ තරුණයින් තෝරා ගෙන ඇමරිකාව,එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ජපානය වැනි රටවලට ශිෂ්‍යත්ව ලබා දී යොමු කර මේ රටේ දරුවන් දක්ෂතා, කුසලතා, නිර්මාණශීලී හැකියාවෙන් පිරිපුන් පරපුරක් බවට පත් කිරීමට එතුමා උපදෙස් දුන්නා. ‘අපේ ජාතිය ගලවාගැනීමේ ඒකායන මාර්ගය අධ්‍යාපනයයි. ලංකාවේ ඇත්තේ අවජාතක අධ්‍යාපන ක්‍රමයකි. සිංහල තරුණයන් ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ජපානය, හොංකොං වැනි රටවලට ශිෂ්‍යත්ව දී යවා තාක්ෂණය, විද්‍යාත්මක කෘෂිකර්මය, වාරිමාර්ග ආදි නව විෂයයන් පිළිබඳ දැනුම දී ආපසු ලංකාවට ගෙන්වාගෙන ජාතිය ගොඩනැඟීමේ කාර්යය ආරම්භ කළ යුතුය. දියුණු වී ස්වයංපෝෂිත වීමට නම් විදේශීය භාණ්ඩ පරිභෝජනයෙන් වැළකිය යුතුය. රට තුළ නිෂ්පාදනය කළ හැකි සෑම භාණ්ඩයක්ම නිපදවිය යුතුය. පරිහරණයට ගත යුතුය. රට තුළ නැවත කර්මාන්ත ආරම්භ කිරීම තුළින් ධනය හා රැකියා උත්පාදනය වැඩි කළ හැකිය. ධනය උත්පාදනය, සංසරණය හා හුවමාරු කිරීම පිළිබඳව මූලික සිද්ධාන්ත ගැන අවබෝධයක් ලබා දිය යුතුය. දක්ෂ විශේෂඥ දැනුම ඇති පරිපාලන නිලධාරීන් පමණක් වගකිවයුතු උසස් තනතුරු වලට පත් කළ යුතුය. විදේශීය භාෂා ඥානය ලබාගැනීම ජාතික අවශ්‍යතාවක් වන බැවින් එම භාෂා පිළිබඳව දැනුම ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් යුතුය.’ මා විසින් ලියන ලද ‘අභිරහස් ආයෝජනය සහ මුදල් විශුද්ධිකරණය’ කෘතියේ පිදුම එතුමාගේම ප්‍රකාශය යොදාගනිමින් අනගාරික ධර්මපාල උතුමන් වෙත සිදු කර තිබුණේ ඒ ආකාරයෙන්.

“මෑත ඉතිහාසය තුළ අනගාරික ධර්මපාලතුමන්ගේ ජාතික අධ්‍යාපන චින්තනයට ඉහළම ගරුත්වය දුන් අධ්‍යාපන ඇමැතිවරයා මා බව මම විශ්වාස කරනවා. ඊට හේතුව වන්නේ විද්‍යා කලා වාණිජ විෂයයන් පමණක් උසස් පෙළට නියමිතව තිබූ මේ රටේ අධ්‍යාපන ක්‍රමයට අපමණ බාධා අපහාස උපහාස විඳිමින් තාක්ෂණ විෂය ධාරාව මා හඳුන්වා දුන්නා. එය සිදු කරන අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ විසින් ‘අධ්‍යාපනය වනසන බන්දුල ගෙදර පල!’ යනුවෙන් පෝස්ටරයක් රට පුරා ඇලවීම සිදු කළා. මෑත ඉතිහාසය තුළ මගේ නිවෙසද ගිනිබත් කරනු ලැබුවා. එවක මගේ මුළු කාලයම කැප කරමින් ඉදි කළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර තුළ පරිගණක 40කින් යුතු පරිගණක විද්‍යාගාරයක්, විදේශ භාෂා දැනුම ලබා ගැනීම සඳහා පරිගණක 20කින් යුතු භාෂාගාරයක්, ගණිතාගාරයක්, දූරස්ථ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා පන්ති කාමරයක් ඇතුළත් කර තිබෙනවා.

තාක්ෂණික අධ්‍යාපනය වෙනුවෙන් ඇති කළ මහින්දෝදය තාක්ෂණ පීඨ 251 තුළ එහි පහත මහල ඉංජිනේරු තාක්ෂණය සඳහා අවශ්‍ය යන්ත්‍රසූත්‍ර උපකරණ සහිතව නිර්මාණය කර තිබෙනවා. නවීන කෘෂිකර්මය හා වාරිමාර්ග පිළිබඳ තාක්ෂණය ලබාදීමට දෙවන මහල ජෛව පද්ධති තාක්ෂණය සඳහා වෙන් කරනු ලැබුවා. තුන්වන මහල දරුවන්ගේ පන්ති කාමර. එලෙස බිහි කළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර දහස තුළත් ශ්‍රී ලංකාව පුරා ඇති කළ මහින්දෝදය තාක්ෂණික විද්‍යාපීඨ 251 තුළත්, තාක්ෂණවේදය විෂය ධාරාව තුළත් ජීවත් වන්නේ අනගාරික ධර්මපාල තුමාගේ චින්තනයයි. මේ වන විට විශ්වවිද්‍යාලවල තාක්ෂණික පීඨ 13ක් ඇති වී තිබෙනවා. වසරකට සිසුන් 5,000කට වැඩි පිරිසක් ඒ පීඨවලට ඇතුළත් වී හෙට ලොවට අවශ්‍ය නවෝත්පාදන සිදු කිරීමට දැනුම ලබමින් සිටිනවා. එවකට ජීවත් වූ බොහෝ විද්වතුන් සමඟ එක්ව රටේ ජාතික අධ්‍යාපනය නගාසිටුවීම උදෙසා තම දහඩිය, ශ්‍රමය, ධනය කැප කරමින් මහා අධ්‍යාපනික විප්ලවයක් කළ ජාතික අධ්‍යාපනයේ පියා අනගාරික ධර්මපාල තුමායි. ඒ අනුව යමින් වත්මන් දරු පරපුරද සිතනවාට වඩා යමක් සිතමින්, දකිනවට වඩා යමක් දකිමින්, සුවහසක් අහිංසක මිනිසුන්ගේ යහපත පිණිස රටට සේවය කරන්නට අධිෂ්ඨාන කරගත යුතුයි.”

හෝමාගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අංශයේ සහකාර අධ්‍යක්ෂ මාදෝවිට වජිරබුද්ධි, පිටිපන උත්තරාරාමාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත මාදුළුවාවේ ධම්මික නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නය, ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්, මහජන නියෝජිතයන්, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති සරත් බන්දු කුමාර මහතා, නියෝජ්‍ය විදුහල්පති ඇතුළු විද්‍යාලයේ ගුරු මණ්ඩලය, මවුපියන් සහ සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වීමට නියමිතය.

“2030 න්‍යාය පත්‍රය වෙනුවෙන් සාමය, සෞභාග්‍යය, ප්‍රගතිය සහ තිරසාරභාවය මත පදනම්ව තිරසර සංවර්ධන ඉලක්ක ජයගැනීමේ ක්‍රියාමාර්ග වේගවත් කිරීම සඳහා විශ්වාසය යළි ගොඩනැංවීම සහ ගෝලීය සහයෝගීතාව යළි ඇති කිරීම” යන තේමාව යටතේ සැප්තැම්බර් 18 වන දා සිට 21 දක්වා සමුළුව පැවත්වෙයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 21 වනදා සමුළුව ඇමතීමට නියමිතය.

එසේම ජනාධිපතිවරයා 2030 වෙනුවෙන් පරිවර්තනීය සහ වේගවත් ක්‍රියාදාමයන් සඳහා ලෝක නායකයින් විසින් මාර්ගෝපදේශ සපයනු ලබන 2023 තිරසාර සංවර්ධන ඉලක්ක සමුළුවේ රාජ්‍ය නායක හමුව අමතා විශේෂ දේශනයක් සිදු කිරීමට ද නියමිතය.

මීට සමගාමීව වඩාත් සාධාරණ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මත පදනම් වූ, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන ගෝලීය ආර්ථිකයක් සඳහා වඩාත් සාධාරණ හා වේගවත් පරිවර්තනය වීමක් සඳහා ගෝලීය සාමූහික කැමැත්ත ප්‍රදර්ශනය කිරීමේ වැදගත් දේශපාලනික සන්ධිස්ථානයක් අපේක්ෂා කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් කැඳවා ඇති “දේශගුණික අභිලාෂ පිළිබඳ සමුළුව” ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඇමතීමට නියමිතව තිබේ.

සංවර්ධනය සඳහා වන මූල්‍යකරණය පිළිබඳ ‘ණය තිරසරභාවය ඇති කිරීම සහ ගෝලීය මූල්‍ය ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම’ යන මැයෙන් පැවැත්වෙන ඉහළ පෙළේ රැස්වීමේ ප්‍රධාන දේශනය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ඇත.

සිය නිව්යෝර්ක් සංචාරය අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මහතා සහ අනෙකුත් සාමාජික රටවල රාජ්‍ය නායකයන් හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ පෞද්ගලික ව්‍යාපාර සමාගම් 40ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වෙන ශ්‍රී ලංකාව සඳහා පවතින ආර්ථික අවස්ථා පිළිබඳ වට මේස සාකච්ඡාවක් සඳහා ද සහභාගීවීමට ද නියමිතව ඇත.
එසේම සමුද්‍රීය ජාතීන් සඳහා වන තුන්වන ආසියනු පැසිෆික් දූපත් රාජ්‍යයන් අතර සංවාදයේ ප්‍රධාන දේශනය පැවැත්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කරනු ඇත.

ජනාධිපතිවරයා සමග මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වීමට නියමිත ය.

කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලියා කුලිෂෙන්කෝ මහත්මිය විසින් රචනා කරන ලද කෘතියක් ඇමැති බන්දුල ගුණවර්ධන මහතා වෙත පිරිනැමේ.
කොළඹ රුසියානු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලියා කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය රුසියානු භාෂාවෙන් රචනා කරන ලද An English Queen and Starling red කෘතිය සහ එහි ඉංග්‍රීසි පරිවර්තනයේ පිටපතක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පිරිනමන ලදි.
බත්තරමුල්ලේ පිහිටි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ කාර්යාලයේදී ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ රුසියානු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී නටාලියා කුලිෂෙන්කෝ (Natalia Kulishenko) මහත්මිය අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව කෘතිය පිරිනැමීම සිදු විය.

ශ්‍රී ලාංකේය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ‘‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන“ මෙවරද ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් ආරම්භ කර ඇත.

ඒ අනුව, “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2023“ වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර අයදුම්පත් යොමු කළ හැකි අවසන් දිනය 2023 ඔක්තෝබර් මස 11 වන දින වේ.

වසර 03ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති, දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයේ නියැලී සිටින වයස අවුරුදු 18-55 ත් අතර මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් හා මාධ්‍ය තාක්ෂණික ශිල්පීන්ට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා අයදුම් කළ හැකිය. තවද, ඉල්ලුම් කරනු ලබන පාඨමාලාව සෘජුවම මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලාවක් විය යුතු අතර, අයදුම්කරුවන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂය සඳහා ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් නිකුත් කළ මාධ්‍යවේදී හැඳුනුම්පත ලබා තිබිය යුතුය.

මාධ්‍යවේදීන් ට මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් දෙවරක් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු ශිෂ්‍යත්ව ප්‍රදානයෙන් වසර 05 ක් ඉක්මගිය පසුව දෙවන අවස්ථාව සඳහා අයදුම්කළ හැකිය.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන මඟින් උපාධි හා පශ්චාත් උපාධි වෙනුවෙන් උපරිමය රුපියල් ලක්ෂ දෙකක මුදලක් (200,000) හා දිගුකාලීන හා කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා උපරිම රුපියල් ලක්ෂයක (100,000) මුදලක් ගෙවනු ලැබේ. ශිෂ්‍යත්ව සඳහා හිමිකම් ලැබූ මාධ්‍යවේදීන් ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50% ක් පාඨමාලාව ආරම්භයේ දී පළමුවැනි වාරිකය ලෙසත්, ඉතිරි 50% න් 25% ක් පාඨමාලාවේ දෙවන වාරිකය ලෙසත්, ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතිකපත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදුකරයි.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විසින් පත්කරනු ලබන තේරීම් කමිටුවක් මඟින් අයදුම්කරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කර ශිෂ්‍යත්වලාභීන් තෝරාගනු ලැබේ.

මේ සඳහා යොමුකරන සියලුම අයදුම්පත් 2023.10.11 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), ජනමාධ්‍ය අමාත්‍යංශය, අංක 163, "ඇසිදිසි මැඳුර", කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 දරන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ.

‘‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන - 2023“ පිළිබඳ වැඩි විස්තර 0112513645 / 0112514632 ඇමතීමෙන් හෝ ආදර්ශ අයදුම්පත් www.media.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.

තැපැල් දෙපාර්තමේන්තුව 2025 වසරේදී ලාභ ලබන දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමට ඉලක්කගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ,  ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (5) පැවති, රට පුරා තැපැල් කර්යාල සඳහා විශ්ව තැපැල් සංගමය පිරිනැමූ පරිගණක හා යූඑස්බී 1000ක්, බාර්කොඩ් ස්කෑනර් 1000ක්, ප්‍රින්ටර්ස් 1000ක් පිරිනැමීමේ ආරම්භක වැඩ සටහනකට සහභාගි වෙමිනි.

සංකේතාත්මකව තැපැල් ස්ථාන ගණනාවක් සඳහා පරිගණක සහ අදාළ උපකරණ පිරිනැමූ මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට, ලේක්හවුස් ආයතනයේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, තැපැල්පති රුවන් සත්කුමාර, නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහත්වරු, මාධ්‍ය ආයතන ප්‍රධානීහු, තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීහු සහභාගි වූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා: අපේ තැපෑල මේ රටේ තිබෙන දීර්ඝ කාලීන සෑම ජනකොටසකටම විශාල සන්නිවේදන සේවාවක් ඉටු කරන ශ්‍රී ලංකාණ්ඩුවේ දෙපාර්තමේන්තුවක්. රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා මේ විෂයය සම්බන්ධයෙන් ක්‍රියාකරනවා. ඔහු තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු අංශ සමඟ ඉතා හොඳින් කටයුතු කරනවා. වර්තමානයේ ඇතිව තිබෙන ආර්ථික අර්බුදය තුළ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයක් කෙරෙනවා. අලාභ ලබන ආයතන පවත්වාගෙන යෑමට නොහැකියි. පසුගිය වර්ෂවල සාමාන්‍යයෙන් බිලියන 7ක 8ක අලාභයක් තැපැල් දෙපාර්තමේන්තුව ලබනවා. මේ වර්ෂයේදී එය බිලියන තුන දක්වා බිලියන පහකින් පමණ අඩු කරගැනීමට විශාල කැප කිරීමක් දායකත්වයක් තැපැල් දෙපාර්තමේන්තුවේ සියලු දෙනා දක්වා තිබෙනවා. අදාළ කැබිනට් ඇමැතිවරයා වශයෙන් මා ඒ පිළිබඳව රාජ්‍ය ඇමැතිවරයාටත්, තැපැල්පති ඇතුළු අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ සියලු දෙනාට ස්තුතිය පළ කරනවා. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව විශ්ව තැපැල් සංගමයේ සාමාජිකයෙක්. විශ්වය හා තැපැල් දෙපාර්තමේන්තුව සම්බන්ධ වීම සඳහා සන්නිවේදන ක්‍රියාවලියේදී දරන දායකත්වය මත, ඒ අරමුදලට අපේ ශක්තියෙන් ගොඩ නැගෙන දායකත්වය, අරමුදලේ කොටසකට හිමිකම තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙනවා. ඒ අනුව එම අරමුදලේ පවතින මුදල් භාවිත කරන්න, සෑම වර්ෂයකදීම අපට අයිති කොටස ලබාගන්න ව්‍යාපෘති වාර්තාවක් ඉදිරිපත් කරන්න ඕනෑ. මීට පෙර වර්ෂවල ව්‍යාපෘති වාර්තාව ඉදිරිපත් කර, ගිය වර්ෂයේදී තැපැල් දෙපාර්තමේන්තුවට තැපැල් ප්‍රවාහන කටයුතු සඳහා ලොරි තුනක් ලබාගෙන තිබෙනවා. මේ අවුරුද්දේ තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු වඩාත් කාර්යක්ෂම, ඵලදායී සහ නව්‍යකරණයට ලක් කිරීම අරමුණු කරගෙන ව්‍යාපෘති වාර්තාවක් සකස්කර දී තිබෙනවා වඩාත් දියුණු තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ තැපැල් සේවා සපයන්න. ඒ අනුව ඉල්ලා තිබෙනවා නවීන පරිගණක 1000ක්, යූපීඑස් 1000ක්, බාර් කෝඩ් ස්කෑනර් 1000ක්, ප්‍රින්ටර්ස් 1000ක්. මේවා විශාල වටිනාකමක් සහිත රුපියල් කෝටි 35ක උපකරණ තොගයක්. මේ උපකරණ තැපැල් කාර්යාල 653කට, උප තැපැල් කාර්යාල 300කට, තැපැල් තෝරන මධ්‍යෂ්ථාන වලට, මධ්‍ය තැපැල් හුවමරුවට ලබා දෙනවා. මේ තුළින් රට පුරා ක්‍රියාත්මක වන තැපැල් සේවාව වඩාත් මහජන හිතකාමී එකක් බවට පත් කිරීමට අවස්ථාව ලැබෙනවා. 2025 වන විට ලාභ ලබන දෙපාර්තමේන්තුවක් බවට මෙය පත් කරන්න ඉලක්ක කරගෙන කටයුතු කරනවා.

මෙහිදී අදහස් දක්වමින් ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ, තැපැල් කටයුතු සම්බන්ධයෙන් ගෙන ඒමට නියමිත නව පනතේ වැඩ කටයුතු සියයට අසූවකින් පමණ අවසන් බවයි. කිසිසේත්ම තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය නොකරන බවද ඔහු පැවසීය. රාජ්‍ය හා පෞද්ගලික අංශය ඒකාබද්ධව තැපෑල ඉදිරියට ගෙන යන බවද සඳහන් කළ ශාන්ත බණ්ඩාර මහතා මේ වර්ෂයේ තැපැල් කාර්යාල ගණනාවක් සොරුන් විසින් බිඳ දමා ඇති බවත්, තැපැල් කාර්යාලවල ආරක්ෂාව කෙරෙහි කැබිනට් මණ්ඩලයේද අවධානය යොමු විය යුතු බවත් රාජ්‍ය ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter