නවතම පුවත්

සිනමා කර්මාන්තය ඉහළ නැංවීම සඳහා වන ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභා පනත ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී  (07) පැවසුවේය.

මෙරට සිනමා ශාලාවන් 143ක් පවතින අතර සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා වෙනත් චිත්‍රපට ඉදිරිපත් කළ හැකි ඩී. සිනමා ශාලාවන් සංඛ්‍යාව 71ක් බවත් සිනමාහල් 71න් සිනමාහල් 25ක් ක්‍රියාත්මක වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාවට අයත්ව වන අතර, එම සිනමාහල්වලින් 2022 වර්ෂය සඳහා රුපියල් මිලියන 804.6ක මුදලක් උපයා ඇති බවත් ඇමැතිවරයා කීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

වොක්ෂලයිට් සිනමාහල් 2023 වර්ෂයේ ආරම්භ කළ බව ද ඇමැතිවරයා පැවසුවේය.

සිනමාහල් 46ක් ක්‍රියාත්මක වනුයේ වෙනත් ප්‍රදර්ශන මණ්ඩල 4ක් යටතේ වන අතර, මූවී ප්‍රඩියුෂින් හා ඉම්පෝර්ටන්ස් පෞද්ගලික සමාගම, ලංකා ෆිල්ම්ස් ඩිස්ට්‍රිබියුෂන් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්, සිනමා එන්ටටේන්මන්ට් පෞද්ගලික සමාගම, ඊ. ඒ. පී. ෆිල්ම්ස් හා තියටර්ස් පෞද්ගලික සමාගම, එම සිනමාහල්වල ආදායම ජාතික චිත්‍රපට සංස්ථාවේ ලේඛනගත නොකරන අතර, ප්‍රේක්ෂක සංඛ්‍යාව පමණක් ලේඛනයට ඇතුළත් කර ඇතැයි ද ඇමැතිවරයා පැවසීය.

2022 වර්ෂයේ දී එම සිනමා ශාලාවලින් ප්‍රේක්ෂකයන් මිලියන 2ක් පමණ චිත්‍රපට නරඹා ඇතැයි ද ඇමැතිවරයා පැවසුවේය.

මෙරට සිනමා කර්මාන්තයෙන් උපයන මුදල වැඩි කර ගැනීමට සැලසුමක් සකසා ඇති බවත් ජාතික චිත්‍රපට සංවර්ධන පනත් කෙටුම්පත ඒ සඳහා උපයෝගී වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය. කැබිනට් මණ්ඩලය තුළින් සිනමාව පමණක් නොව රූපවාහිනියත් ඊට ඇතුළත් කර ඒ සැලැස්ම නැවත විද්වත් මණ්ඩලයකට ඉදිරිපත් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය නියෝග කළ බව ද ඇමැතිවරයා පැවසුවේය.

රූපවාහිනිය සහ වෙනත් මාධ්‍යයන් පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කරන බවට අදාළ විද්වත් මණ්ඩලය දැනුම් දී ඇතැයි ද, ඒ පිළිබඳ කමිටු වාර්තාව කැඳවීමෙන් පසුව ඉතාම ඉක්මනින් ජාතික චිත්‍රපට සංවර්ධන කොමිෂන් සභා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය

ණය ප්‍රතිව්‍යූහගතකරණය සිදු නොකර සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට විදේශ ණය ආධාර නොලැබෙන බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  (08) පැවසීය.

ශ්‍රී ලංකාව ලබාගෙන තිබෙන ණය මෙතෙක් ප්‍රතිව්‍යූහගතකරණය කර නොමැති බවත් ඉදිරි සති දෙක තුළ ණය ප්‍රතිව්‍යූහගතකරණයට රජය කටයුතු කරන අතර එසේ නොවුණහොත් කිසිදු මුදලක් ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් හෝ වෙනත් අරමුදලකින් නොලැබෙන බවත් ඇමැතිවරයා පැවසුවේය.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

විදේශ ණය ආධාර අනුව මෙරට සංවර්ධන ව්‍යාපෘති සිදු කරන බවත් විදේශාධාර නොලැබුණහොත් කුමන ආකාරයේ සැලසුම් ක්‍රියාත්මක කළ ද සංවර්ධන ව්‍යාපෘති ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය නොහැකි බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

දුම්රිය මාර්ග හා මහාමාර්ග නාය යාමේ අවධානමක් තිබුණත් ඒවා සකස් කිරීමට කොතරම් සැලසුම් කළත් විදේශ ණය ආධාර නොලැබුණහොත් ඒවාද සිදු කළ නොහැකි යැයි ද ඇමැතිවරයා පැවසීය.

කඩුගන්නාව නගරයේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් ඉදිරි අයවැයෙන් ලැබෙන ප්‍රතිපාදන අනුව තීරණය කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.

එළැඹෙන 2024 වර්ෂය ශ්‍රී ලාංකීය අධ්‍යාපනයේ දැවන්තම හැරවුම් ලක්ෂය වනු ඇතැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ පැවැති විශේෂ රැස්වීමකදී ඇමැතිවරයා මේ බව පැවසීය.

රුසියානු රජය හා එහි අධ්‍යාපන අමාත්‍යංශය මඟින් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සිසු දරු දැරියන් 7 දෙනකු, ගුරුවරුන් දෙදෙනෙකු සහ මාපියන්ගෙන් නියෝජිතයකුට රුසියාවේ තෙමසක අධ්‍යාපන චාරිකාවක් සඳහා සුවිශේෂී අවස්ථාවක් හිමි කර දී තිබේ.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නිර්මාතෘ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීම පරිදි, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියගේ සම්බන්ධීකරණය තුළින් මෙම සංචාරය සඳහා අවස්ථාව ලැබී ඇත.

ඒ පිළිබඳ විද්‍යාලයේ සිසු සිසුවියන්, ගුරුවරුන් සහ මාපියන් දැනුවත් කිරීම සඳහා පැවැති මේ රැස්වීම පැවැත්විණි. මීට සමගාමීව රුසියානු අධ්‍යාපනික ග්‍රන්ථ එකතුවක් විද්‍යාලයේ පුස්තකාලය වෙත පරිත්‍යාග කිරීමද එහිදී සිදු විය.

එමෙන්ම මෙතෙක් අඩුපාඩුවක් පැවති විද්‍යාලයේ විදුහල්පති නිල නිවෙසක් ඉදිකිරීම උදෙසා මුල්ගල තැබීමද උත්සවය සඳහා එක්වූ ආරාධිත අමුත්තන්ගේ සුරතින් සිදු විය.

එහිදී අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

එළඹෙන වසර මහින්ද රාජපක්ෂ විද්‍යාලයටත්, රටේම ජාතික අධ්‍යාපනයටත් පුළුල් වෙනසක් සිදුවන වසරක් බවට පත් වෙනවා. ශ්‍රී ලාංකීය අධ්‍යාපනය පූර්ණ වශයෙන් අද්‍යතන ලෝකයට ගැළපෙන අයුරින් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් බවට පත් කිරීමේ දස අවුරුදු සැලසුම සඳහා පසුගිය සතියේ කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව මෙතෙක් පැවති විභාග කේන්ද්‍රීය, සුපුරුදු අධ්‍යාපන රටාව වෙනුවට ලෝකයේ නවීන තාක්ෂණික ක්‍රමවේද හා දියුණු රටවල අධ්‍යාපන පද්ධතීන්ට සමගාමී අයුරින් ගුණ, නැණ, බල සපිරි විශ්වයට සම්පතක් වන දරු පරපුරක් බිහි කිරීමේ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලය අනුමත කරනු ලැබුවා. ඒ සඳහා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් ද පත් කර තිබූ අතර, මා ද එහි සාමාජිකයෙකු ලෙස කටයුතු කළා. ඉන් අනතුරුව මේ ක්ෂේත්‍රය පිළිබඳව විශේෂඥ දැනුමකින් යුතු සාමාජිකයන් 25 දෙනකුගෙන් සමන්විත කමිටුවක් ඉදිරිපත් කළ යෝජනා ද සැලකිල්ලට ගනිමින් 2024 වසර අධ්‍යාපන ක්‍රමයේ දැවැන්තම හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරන වසරක් බවට පත්වනවා.

දකුණු ආසියාවේ විශාලතම ද්විතීක පාසල වශයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ද එළැඹෙන වසර අතිශයින් සුවිශේෂි වසරක් බවට පත්වනවා. එළඹෙන වසරේදී නව විදුහල්පතිතුමාගේ පරිපාලනය යටතේ විද්‍යාලයේ දෙවැනි සංවර්ධන යුගය ඇරඹීමට බලාපොරොත්තු වනවා. විද්‍යාලයේ සේවය කළ හිටපු විදුහල්පතිවරුන් සහ ආචාර්ය මණ්ඩලයේ සාමාජිකයන් විශාල කැප කිරීමක් සිදු කරමින් අපොස සාමාන්‍ය පෙළ දක්වා විද්‍යාලය ඉතාමත් ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ ලංකාවේ ඉහළම ශිෂ්‍ය සංඛ්‍යාව වන 763 දෙනෙකු අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට කිසිදු ශිෂ්‍යයෙකු අසමත් නොවී උසස් පෙළට සුදුසුකම් ලබමින් ශ්‍රී ලංකා ඉතිහාසයේ කිසිදු පාසලක් බිහි නොකළ වාර්තාවක් බිහිකිරීමට මහින්ද රාජපක්ෂ විද්‍යාලය සමත් වුණා.

2011 ජනවාරි මස 20 වැනිදා සිසු අයිතියට පත් කළ මෙම විද්‍යාලය බිහිකළේ අභියෝග රැසකට මුහුණ දෙමිනුයි. එවකට කිසිදු ජාතික පාසලක් නොපැවති මෙම ප්‍රදේශයේ මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් සිදු කිරීම එවකට බොහෝදෙනාගේ විවේචනයන්ට පවා ලක් වුණා. නමුත් එම අභියෝග සියල්ල ජයගනිමින් මේ වන විට අනාගතය උදෙසා දැනුමින් පිරිපුන් සුහුරු සිසු පරපුරක් බිහිකිරීමේ අඛණ්ඩ වෑයම මේ වන විට යථාර්ථයක් බවට පත් වෙමින් පවතිනවා. ලංකාවේ පළමුවැනි ස්මාර්ට් පන්ති කාමරය ලෙස කොරියානු රජයේ ආධාර යටතේ ස්ථාපිත පළමු සුහුරු පන්ති කාමරය ඇතුළු සුවිශේෂී අංග රැසක් මේ පාසලට එක්ව තිබෙනවා.

එවකට උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස මා කටයුතු කරන සමයේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපතිනිය ලෙස කටයුතු කළේ මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මියයි. එවකට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ මහාචාර්යවරියක් ලෙස ද කටයුතු කළ ඇය ගම්පහ ආයුර්වේද විද්‍යාලය, ශ්‍රී ලංකාවේ පළමු ආයුර්වේද විශ්වවිද්‍යාලය බවට පරිවර්තනය කිරීමට විශාල දායකත්වයක් ලබා දුන්නා. රුසියානු විශ්වවිද්‍යාල කීපයක සහයෝගයෙන් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ රුසියානු භාෂාව ඉගෙනීම සඳහා අවශ්‍ය කටයුතු සම්බන්ධීකරණය කර දීමට ඇය අපට පොරොන්දු වී තිබෙනවා.

එහි ප්‍රථම අදියර ලෙස පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7ක් සමඟ ගුරුභවතුන් දෙදෙනෙකු සහ මව්පියන් අතරින් කෙනෙකුට මාස 3ක කාලයක් සඳහා රුසියාවේ අධ්‍යාපන චාරිකාවකට අවස්ථාව හිමිවීම මෙම විද්‍යාලයේ දරුවන්ට හිමි වූ සුවිශාල භාග්‍යයක් ලෙස මා සලකනවා. ලෝකයේ අති දැවැන්ත රටක් ලෙසත්, ශ්‍රී ලංකාවට වාර්ෂිකව විශාල සංචාරකයින් පිරිසක් පැමිණෙන රටක් ලෙසත් රුසියාවේ විශ්වවිද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ලබා ගැනීම සඳහාත් මේ ඇතිවන සම්බන්ධය ඉදිරියේදී තවදුරටත් ශක්තිමත් වනු ඇති බව මා විශ්වාස කරනවා.

එමෙන්ම චීන රජයේ කොන්පියුසස් ආයතනය විසින් චීන භාෂාව ඉගැන්වීම සඳහා ගුරුභවතුන් දෙදෙනෙකු ලබාදීමටද පොරොන්දු වී තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සිට චීන භාෂාව හැදෑරීමට ද මෙම විද්‍යාලයේ සිසුන්ට අවස්ථාව හිමිවනවා. අද්‍යතන ලෝකයට ගැළපෙන ආකාරයෙන් සිසුන්ගේ හෙට දවස සාර්ථක කිරීම සඳහා සිංහල භාෂාව හෝ ඉංග්‍රීසි භාෂාව පමණක් හැදෑරීම ප්‍රමාණවත් වන්නේ නැහැ. ජපාන, චීන, කොරියානු, ප්‍රංශ, රුසියානු ඇතුළු භාෂාවන් වැඩිම ප්‍රමාණයක් උගන්වන පාසල බවට මෙම පාසල පත් කිරීමට එළඹෙන වසරේදී කටයුතු කරනවා.

ආරම්භයේ සිට මේ දක්වා මෙම විද්‍යාලයේ සේවය කළ විදුහල්පතිවරුන්, නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් රැසක් මේ වන විට මෙම ප්‍රදේශයේම සහ ඉන් බැහැර පාසල් රැසක විදුහල්පතිවරුන් සහ නියෝජ්‍ය විදුහල්පතිවරුන් ලෙස කැපී පෙනෙන සේවයක නිරත වෙමින් සිටිනවා.

ප්‍රඥාව හා බැඳුණු පුරවරයක් ලෙස සංවර්ධනය වන හෝමාගම පිටිපන ප්‍රදේශය තුළ මේ වන විට ශ්‍රී ලංකාවේ එකම හරිත විශ්වවිද්‍යාලය වන NSBM සරසවිය තුළ අති විශාල සිසුන් පිරිසක් උසස් අධ්‍යාපනය හදාරනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය ඇතුළු විශ්වවිද්‍යාල රැසක පීඨ, ලංකාවේ ප්‍රථම විද්‍යා උද්‍යානය, නැනෝ තාක්ෂණ ආයතනය, ටෙලිකොම් දත්ත ගබඩා සංකීර්ණය, පෙළපොත් ගබඩා සංකීර්ණය ඇතුළු අධ්‍යාපනික, තාක්ෂණික ආයතන රැසක් කේන්ද්‍ර කරගත් එකම ප්‍රදේශය වශයෙන් හෝමාගම පුරවරයට සුවිශේෂී ගෞරවයක් ලබා දීමට අපට හැකියාව ලැබුණා.

හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ විදුහල්පති සරත් බන්දු ගුණසේකර මහතා මෙහිදී අදහස් දැකවීය. රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ , හෝමාගම රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර , රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාවේ සභාපති කුෂාන් දේවින්ද මහත්ම මහත්මීන් ඇතුළු විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය, සිසු දරු දැරියන් සහ මාපියන් මෙම අවස්ථා සඳහා එක්ව සිටියහ.

 

මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත හෝ එහි විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැතැයි, ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

මෙම පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා අද (07) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මේ අතර අභියෝගයට ලක්කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය තවදුරටත් සඳහන් කර ඇත්තේ වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයේ යෝජිත සංශෝධනයන්ට යටත්ව කාරක සභා අවස්ථාවේදී සංශෝධනය කරන්නේ නම් මෙම පනත පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් සම්මත කළ හැකි බවයි.

ශ්‍රී ලාංකේයීය ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පුළුල් ප්‍රවර්ධනයක් හා ජනහිතකාමී සේවාවක් බවට පත් කිරීමට කටයුතු කළ ප්‍රවීණ, ප්‍රකට ජනමාධ්‍යවේදීන් දසදෙනකුට ජාතියේ උපහාර පිදීම හා ජාතියේ හරසර ප්‍රණාම පිදීමේ මහෝත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) සැඳෑභාගයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වැනි අභිමානවත් ත්‍රිත්ව මංගල මහෝත්සවය ලෙස පැවැති මේ අවස්ථාවට ඉන්දුනීසියාවේ මෙරට සිටින තානාපතිනිය, ඉන්දියාව, බංග්ලාදේශය, නේපාලය ඇතුළු සාර්ක් කලාපීය ජනමාධ්‍ය සංගම්වල ජනමාධ්‍යවේදීහු ද එක්ව සිටියහ.

චිරාගත සම්ප්‍රදායානුකූල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උලෙළ ඇරඹි අතර, සංගමයේ නිර්මාතෘ ඩී.එෆ්. කාරියකරවනයන්ගේ ඡායාරූපයකට මල්මාලා පැලඳවූහ.

ඉන්දියානු වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සම්මේලනයේ සභාපති හේමන්ත තිවාරි මහතා ඇතුළු නියෝජිත පිරිස ඉන්දියානු සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාව පිළිගැනීමක්ද මෙහිදී සිදුවිය.

මෙහිදී විශේෂයෙන් ප්‍රවීණයන් දසදෙනකු අගය කිරීම, මාධ්‍යකරණයට පිවිසෙන ආධුනිකයන්ට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා “අන්ද්‍රා චන්ද්‍රපාල ලේඛකත්වය හා සන්නිවේදන ශිෂ්‍යත්ව අරමුදල” රුපියල් ලක්ෂ 10කින් ආරම්භ කිරීම, සිසිර විජේසිංහ සුබසරණ භාරය රුපියල් ලක්ෂ 10ක පරිත්‍යාගයක් තුළින් ආරම්භ කිරීම, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ පූර්වගාමී ක්‍රියාකාරීන් 14 දෙනකුට සම්මාන ප්‍රදානය කිරීම සම්භාවනීය අමුත්තන් අතින් සිදු විය.

මහාචාර්ය සඳගෝමී කෝපරහේවා මහතා විශේෂ දේශනයක් පැවැත්වූහ.

මෙම සම්මානනීය අභිමානවත් උලෙළ අවස්ථාවේදී ප්‍රවීණ මාධ්‍යවේදිනී දිනමිණ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ පුෂ්පා රොවෙල් මහත්මිය ඇතුළු දසදෙනකු ඇගැයීමට පාත්‍ර විය. ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සභාපති සිසිර විජේසිංහ, එහි උත්තරීතර අනුශාසක මුදිත කාරියකරවන, මහලේකම් මාධ්‍යවේදී කුරුළු කෝජන කාරියකරවන, භාණ්ඩාගාරික ඩබ්ලිව්. ඒ. චාමින්ද කරුණාරත්න, හිටපු යුද හමුදාපති ‍ජෙනරාල් දයා රත්නායක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව යන මහත්වරු ද එක්ව සිටියහ.

මෙම විචිත්‍ර හා ජාතියේ කළගුණ සැලැකීමේ අගය කියාපෑ උත්සව අවස්ථාවට ආගමික, ජනමාධ්‍ය, ආරක්ෂක හා සාමාජික ක්ෂේත්‍රවල නම රැන්දූ කීර්තිමත් පිරිස් හා ප්‍රණාමයට පාත්‍රවූ ප්‍රවීණයන්ගේ ඥාතීහු, ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ සාමාජික සාමාජිකාවෝ විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

සිනමා කලාකරුවන්ට පිදෙන ගෞරවනීයම උපහාරය වන ජනාධිපති සම්මාන උලෙළ පිරිමැසුම්දායකව සංවිධාන කළ යුතු යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

“2023 – ජනාධිපති සිනමා සම්මාන උලෙළ“ එළඹෙන 14 වැනිදා සවස 6:30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙන අතර එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී සම්මාන උලෙළේ සංවිධායක කමිටුවේ නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් උපදෙස් දුන්නේ සිනමා ක්ෂේත්‍රයට සම්බන්ධ කලාකරුවන් වෙනුවෙන් පැවැත්වෙන ඉහළම සම්මාන උලෙළ වන ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී සම්මානයට පාත්‍රවන සහ ඊට සහභාගි වන කලා ශිල්පීන්ට ඉහළම ගෞරවය හිමිවන ආකාරයට සම්මාන උලෙළේ සංවිධාන කටයුතු කළ යුතු බවයි. එමෙන්ම වසර හතරකට පසුව මේ වසරේ පැවැත්වෙන ජනාධිපති සිනමා සම්මාන උලෙළේදී මෙරට සිනමා කලා ශිල්පියකුට ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ස්වර්ණසිංහ සම්මානය සමඟ මීට පෙර සම්මාන උලෙළවලදී පිරිනැමූ මූල්‍ය ත්‍යාගයට වඩා වැඩි මුදලක් පිරිනැමීමට පියවර ගන්නා ලෙසද අමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

එමෙන්ම රටේ පවතින ආර්ථික අර්බුදය හා මූල්‍ය දුෂ්කරතා වාතාවරණය යටතේ හැකිතාක් පිරිමැසුම්දායී ආකාරයට, අත්‍යවශ්‍ය දේ සඳහා පමණක් වියදම් කරමින් සම්මාන උලෙළේ කටයුතු සංවිධාන කරන ලෙසත් අමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දෙන ලදි.

මෙවර සම්මාන උලෙළේදී සමස්ත සම්මාන 53 ක් සඳහා රුපියල් මිලියන 7.1ක මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය. 2019 සහ 2020 වසරවල තිරගත වූ චිත්‍රපට 42 ක් අතරින් තෝරාගන්නා චිත්‍රපට වෙත මේ සම්මාන පිරිනමනු ඇත.

පසුගිය සමයේ රට මුහුණ දුන් කොවිඩ් වසංගත තත්ත්වය ඇතුළු ආර්ථික අර්බුදය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ ජනාධිපති සිනමා සම්මාන උලෙළ මේ වසරේදී පවත්වමින් සිනමා ක්ෂේත්‍රයේ නිරත ශිල්පීන්ට දිය හැකි ඉහළම ගෞරවය, උපරිම ආකාරයෙන් ලබාදීම මෙවර සම්මාන උලෙළේ අරමුණයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට, ජාතික චිත්‍රපටි සංස්ථාවේ සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහත්වරුන්ද, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ජනාධිපති කාර්යාලයේ උසස් නිලධාරීන් ඇතුළු සංවිධායක කමිටුවේ නිලධාරීන් පිරිසක් මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

සිනමා නිර්මාණවලට සම්මාන පිරිනමන “ජනාධිපති සිනමා සම්මාන උලෙළ – 2023“ නොවැම්බර් මස 14 වැනිදා සවස 6:30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. සම්මාන 53 ක් ප්‍රදානය සඳහා රුපියල් මිලියන 7 කට ආසන්න මුදලක් වැය කරන බවත් චිත්‍රපට 42 ක් ඇසුරෙන් මෙම සම්මාන පිරිනමන බවත් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ

තරංගනී ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා ඊයේ (31) පැවසීය.

වසර 5 කින් පසුව පැවැත්වෙන මෙම සිනමා සම්මාන උලෙළ ගොඩකන්ද හර්බල් සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවිධානයෙන් අති උත්කර්ෂවත් ලෙස මෙවර පවත්වන බව ඒ මහතා පැවසුවේය.

වසර 2019, 2020 කාලයේ තිරගත කළ චිත්‍රපට 42 ක් ඇසුරෙන් මෙම චිත්‍රපට උළෙල පැවැත්වේ.

වසර 2019 දී තිරගත කළ චිත්‍රපට 30 ක් සහ 2020 වසරේ තිරගත කළ චිත්‍රපට 12 ක් මුල් කර ගනිමින් සම්මානලාභීන් තෝරා ගත් බවත් කතා කරන හීනය, ෆේස් ටු ෆේස්, ද ෆෝන් යනාදී චිත්‍රපට හතක් මෙම සම්මාන උළෙලට අයදුම් නොකළ බවත් හෙතෙම පැවසීය.

හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම තිර රචක ඇතුළු ප්‍රධාන සම්මාන 22 ක් සහ පුරෝගාමී සම්මානය, ස්වර්ණ සිංහ සම්මානය, විශ්ව කීර්ති සම්මානය ලෙස සෙසු සම්මාන 3 ක් ද මෙහිදී ප්‍රදානය කිරීමට නියමිතය.

කොවිඩ් ඇතුළු ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමට නොහැකි වූ බවත් චිත්‍රපට ශිල්පීන් ඇගැයීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් ඒ මහතා පැවසුවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රවීන චිත්‍රපට විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ, ප්‍රවීන රංගන ශිල්පිනී නදීකා ගුණසේකර, මහාචාර්ය සමන්ත හේරත්, ගොඩකන්ද හර්බල් සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල ජී. ගොඩකන්ද මහත්ම මහත්මීහු සහභාගී වූහ.

ලේක්හවුස් ආයතනයේ සේවක සේවිකාවන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීමේ ක්‍රමය යටතේ විශ්‍රාම ලැබූවන්ට අදාළ චෙක්පත් පිරිනැමීම ආයතන පරිශ්‍රයේදී ඊයේ (31) පෙවරුවේ සිදු කෙරිණි. එහිදී ලේක්හවුස් සභාපති, මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා අතින් ආයතනයේ විශ්‍රාම ලත් සේවක මහත්ම මහත්මීහු තමන්ට අදාළ චෙක්පත් ලබා ගත්හ.

එසේ විශ්‍රාම ලත් සේවිකාවක් සභාපතිවරයා අතින් තමන්ගේ චෙක්පත ලබා ගත් අන්දම. නීති හා පරිපාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, සාමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල, අතිරේක සාමාන්‍යාධිකාරී විරාජිත් බොයිස්, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (දැන්වීම්) චින්තක යාපා, නියෝජ්‍ය සමාන්‍යාධිකාරී චන්දන බණ්ඩාර හා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) ප්‍රමිතා ජයමහ මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක් වූහ

වසර දහයකට වරක් සිදුකරනු ලබන ජන හා නිවාස සංගණනය මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේදී ආරම්භ විය

මෙම  සංගණනයේ සටහන් වූ පළමු ගොඩනැගිල්ල ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ලැයිස්තුගත විය.

දත්ත රැස් කිරීම සඳහා සම්ප්‍රදායික මුද්‍රිත ලේඛන සමඟ ටැබ්ලට් පරිගණක ද භාවිත කිරීම මෙවර සංගණනයේ දී සිදුවෙයි

  • වැඩිවන බඩු මිල ගැන සලකා වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීම මේ රජයේ ප්‍රතිපත්තියයි
  • පෞද්ගලික අංශයේත් වැඩි කරන්න ඉල්ලීමක්
  • විවිධ දේශපාලන කණ්ඩායම්වල ඉල්ලීම්වලට අනුව පඩි වැඩි කරන බවට කියන කතාවල කිසිදු පදනමක් නෑ

මෙවර අය-වැය මඟින් සියලුම රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලය අමතා ඊයේ (30) පැවැසීය.

රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වීමට සමගාමීව පෞද්ගලික අංශයේ වැටුප ද වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බව ද ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ දී අමාත්‍ය මණ්ඩල හමුව ඊයේ පැවැත්වුණු අවස්ථාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය. ආණ්ඩුව රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව දැනගෙන ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් කණ්ඩායම් එය ඔවුන්ගේ බලපෑම අනුව සිදු වූ බවට පැවසීමට උත්සාහ දරන බව කීම කිසිදු පදනමක් නැති කතාවක් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

දිනෙන් දිනම බඩු මිල වැඩි වීම මිස අඩු නොවන තත්ත්වය යටතේ වැඩ කරන ජනතාවගේ වැටුප් ඉහළ දැමීමට අදහස් කළ බව ද රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තුන්වැනි අය-වැය යෝජනාවලිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙවර අය-වැය යෝජනාවලිය මගින් වැටුප් වැඩි කිරීමක් කරන බවට ප්‍රථමවරට නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුයේ ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීය. වැටුප් වැඩිවන ප්‍රමාණය එහි දී ප්‍රකාශ නොවිණි.

දැන් ලෝක බලවතා ලෙස ඉදිරියට පැමිණ ඇත්තේ චීනයයි.

සංචාරකයන්ගේ පැමිණීම අඩු වීම අපේ ආර්ථිකයට හානිකරයි.

‘මැදපෙරදිග අර්බුදය’ යනුවෙන් ප්‍රකට ඊශ්‍රායල් – පලස්තීන ගැටුමේ වර්තමානය ඊට බලපෑ පසුබිම ඔස්සේ දකිමින් සහ උද්ගතව ඇති තත්ත්වය සෙසු ලෝකයටත් විශේෂයෙන් අප වැනි රටවලටත් බලපාන ආකාරය පිළිබඳ ප්‍රවීණ විදෙස් විත්ති විචාරක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සමඟ කළ සංවාදයකි මේ.

• මැදපෙරදිග අර්බුදයේ වර්තමාන ස්වභාවය හඳුනාගැනීම සඳහා ඊට හේතු වූ පසුබිම සැකෙවින් පැහැදිලි කළ හැකිද?

මැදපෙරදිග අර්බුදය වශයෙන් හඳුන්වන ඊශ්‍රායල් – පලස්තීන යුද ගැටුමේ වර්තමාන ස්වභාවය ගැන අපට කතා කරන්න වෙන්නෙ වත්මන් ලෝක රටාව තුළ දැකිය හැකි බෙදීමත් සමඟමයි. අධිපතිවාදී රටවල් මේ ගැටුමේදී සිටි‍න්නෙ ඊශ්‍රායලය සමඟ‍යි. අමෙරිකාවේ වඩා ප්‍රගතිශීලි නායකයෙක් ලෙස ප්‍රතිරූපයක් ඇති බර්නි සැන්ඩර්ස් පවා හමාස් ප්‍රහාරය හෙළා දකින තරම්ම ප්‍රබලව ඊශ්‍රායලයේ ප්‍රහාර ගැන කතා කරන්නේ නෑ. අපේ රටෙත් තිස් අවුරුද්දක් තිස්සේ පැවැති බෙදුම්වාදී යුද්ධයේදී LTTE මරාගෙන මැරෙන ප්‍රහාරවලින් නිරායුධ සිවිල් වැසියන් 50 – 60 ඇතැම් විට සිය ගණනින් මිය යද්දී අද හමාස් ත්‍රස්තවාදී ප්‍රහාරවලට විරෝධය පළ කරන අමෙරිකාව සහ බටහිර රටවල් LTTEය සුරතල් කළ බව අපට මතකයි. LTTE ත්‍රස්තවාදීන් විමුක්තිකාමීන් හැටියටයි හැඳින්වූවේ. හමුදාව සිදු කළ ප්‍රහාර ඉහළින්ම හෙළා දකින ගමන් ත්‍රස්තවාදීන් සිවිල් වැසියන් ඉලක්ක කර සැලසුම් සහගතව සිදුකළ ප්‍රහාර ගැන ඔවුන් නිහඬ වුණා. කතා කළා නම්, ඒ බොහෝ පහත් හඬකින්. මේ දෙබිඩි පිළිවෙත, බෙදීම ඒ නිසා අපට පැහැදිලියි.

මේ අර්බුදයේ වර්තමානය දකිමින් මේ ගැන අදහස් දක්වන අපේ රටෙත් බොහෝ අය, මෙය සිදුවුණේ ඔක්තෝබර් 07 වැනිදා සිදු වූ හමාස් ප්‍රහාරයත් සමඟ වැනි දෘෂ්ටියක සිටින බව පෙනෙනවා. ඒ කියන්නෙ ඊශ්‍රායලය නිවැරදි කියන්න වගේ හමාස් සංවිධානය රොකට් 5000ක් විතර ඊශ්‍රායලයට එල්ල කරලා, ආරක්ෂක වැට කපාගෙන රටට ඇතුළු වෙලා කුරිරු ලෙස මිනිසුන් මරා දැම්මා. සිය ගණනක් ප්‍රාණ ඇපයට ගත්තා. එසේ කිරීමෙන් වුණේ, මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබීම නොවෙයි. එය තවත් අවුලට පත්වීමයි. මේ අන්දමින් ඔක්තෝබර් 07 වැනිදා ප්‍රකාශයට පත්වුණේ අවුරුදු 75කට වැඩි කාලයක් තිස්සේ නොවිසඳී ඇති ඉතා බරපතළ මානුෂීය ඛේදවාචකයක්.

• මේ ප්‍රශ්නය තරමක් යටපත් වී තිබී හමාස් ප්‍රහාරයත් සමඟ යළි ඉහළට එසැවුණා කියන්න පුළුවන්ද?

21 වැනි සියවස ආරම්භය දක්වාම ලෝකය මේ ප්‍රශ්නය ගැන ඉහළින් කතා කළා. අවධානයෙන් සිටියා. ඒත්, එයින් පසුව එය යට ගියා. ඇත්තටම සිදු වුණේ එය යටපත්වීම නොවෙයි, යටපත් කිරීම. එ.ජාතීන්ගේ න්‍යාය පත්‍රයේ පවා එවක්පටන් ඊට ලැබුණෙ පහළ ස්ථානයක්. අමෙරිකාවට සහ බටහිර බලවතුන්ට එසේ කළ හැකි වුණේ ඒ වන විට සමාජවාදී කඳවුර, නොබැඳි රටවල් දුර්වල වී සිටි නිසා. පළමු ලෝක සංග්‍රාමය වන විට පලස්තීනය ඔටෝමන් අධිරාජ්‍ය යටතේ තිබුණෙ. ආතර් බැල්ෆර් සාමිවරයා 1917.11.02 දාතමින් යුද නායකයෙක් වූ රොක්සඩයිල්ඩ්

වෙත ලිපියක් ලිව්වා. මේක වචන 67ක ලිපියක්. ඔහු ඉන් දැනුම්දුන්නේ පලස්තීනයේ යුදෙව්වන් වෙනුවෙන් “ඔවුන්ගේම දේශයක්” (National Home) තනා දෙන බවයි. බ්‍රිතාන්‍ය තමන්ට අයිති නැති රටක අන්‍ය ජාතියක් වෙනුවෙන් එහෙම දේශයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය මතු වුණේ නෑ. පළමු ලෝක සංග්‍රාමයට පසුව බිහි වූ ජාතීන්ගේ සංගමයෙන් (League of Nations) බ්‍රිතාන්‍ය පලස්තීන පාලනය කරන්න අවසර පත්‍රයක් (Mandate) ඉල්ලා සිටියා. අද මේ ප්‍රශ්නය ගැන කතා කරන අය කියනවා බ්‍රිතාන්‍ය පලස්තීනය පාලනය කළේ මේ බලපත්‍රය යටතේ කියලා. ඒත්, ඔවුන් එය ලබා ගත්තෙ ලොව සියලු රටවල් එක්වී බිහි කර ගත් සංවිධානයකින් නොවේ. තමන්ගේ වැරැදි සුජාතභාවයට පත් කිරීම සඳහා නිර්මාණය කරගත් ජාතීන්ගේ සංගමයෙන් (League of Nations) මේ කාලයේදී යුරෝපය හා තවත් රටවල සිටින යුදෙව්වො විශාල වශයෙන් පලස්තීනයට පැමිණියා. හිට්ලර් විසින් සිදු කළ මහා පරිමාණ යුදෙව් ඝාතන වගේම යුදෙව් විරෝධයත් ඊට පිටුබලයක් වුණා. සයොන්වාදයේ ප්‍රධාන චරිතයක් වන ‘පියදෝර් හර්ස්වෙල්ට්’ 1987 දී ‘යුදෙව් රාජ්‍ය’ කියලා පොතක් ලිව්වා. යුදෙව් සංක්‍රමණය සිදු වූ ආකාරය එයිනුත් පැහැදිලියි. 1920 ගණන්වල මුලදී 10%ක් වූ පලස්තීනයේ යුදෙව් ජනගහනය දෙවන ලෝක සංග්‍රාම අවදිය නිමා වන විට 25%ක් පමණ වී තිබුණා. මේ පිළිබඳ සොයා බලමින් 1936දී බ්‍රිතාන්‍ය‍ෙය් ‘p’ කොමිෂම නිර්දේශ කළේ පලස්තීනයට සිදු වන යුදෙව් සංක්‍රමණ සීමා කළ යුතු බව. ඒත්, මේ තීරණයට එරෙහිව යුදෙව්වන් කෝලාහල ඇති කළා. ඔවුන් මේ වන විට මාන බලමින් සිටියේ අලුත් රාජ්‍යයක් තැනීමටයි.

1947දී මේ ප්‍රශ්නය එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමුකළ විට 1.8, 1 –(181) යෝජනා සම්මුතිය මඟින් පලස්තීනය බෙදා වෙන්කර ඊශ්‍රායලය හා පලස්තීනය යනුවෙන් රාජ්‍ය 2ක් බිහිකිරීමේ විසඳුම ලබා දුන්නා. එහෙත් මෙහිදී සිදු වූයේ පලස්තීනය ඉතා අසාධාරණ ලෙස බෙදීයාම එහිදී 35%ක් වූ යුදෙව්වන්ට භූමියෙන් 56%ක් හිමි වූ අතර, පලස්තීන, අරාබි ආදී සෙසු සියලු දෙනාට හිමිවූයේ 42%ක් පමණයි. 3%ක් ජෙරුසෙලමට ලබා දෙමින් එය අන්තර්ජාතික අධීක්ෂණය යටතේ තැබුවා. බ්‍රිතාන්‍ය පලස්තීන පාලනය සඳහා වූ මැන්ඩේට් එක අත්හැරියේ මෙයින් පසුව තමයි. මේ තමයි අර්බුදයේ මුල. මැදපෙරදිග ගැටුම නිසා පලස්තීනුවන් 750,000ක් සරණාගතයන් ලෙස බටහිර ඉවුර, ගාසා තීරය මෙන්ම ලෙබනනය, සිරියාව වැනි රටවල ද කොටු වුණා. 1967 සුප්‍රකට “සයදින යුද්ධයේදි” ඊශ්‍රායලය අරාබි ප්‍රදේශ රැසක් යටත්කර ගත්තා. නැගෙනහිර ජෙරුසෙලම, සිනායි කතර, සිරියාවේ ගෝලාන් කඳුකරය වැනි තැන්. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අංක 242 යෝජනාව සම්මත කරමින් එලෙස අල්ලා ගත් ප්‍රදේශවලින් ඉවත්වන ලෙසට ඊශ්‍රායලයට දැනුම් දුන්නත් එය සිදු වූයේ නෑ. පළමු ඊශ්‍රායල් – අරාබි යුද්ධයෙන් ජය ගත් ඊශ්‍රායලය සිය ජනපද තවත් පුළුල් කිරීමයි කළේ. ඒ නීතිවිරෝධී ව්‍යාප්තිය තවමත් සිදු වෙනවා.

මෙවැනි පසුබිමක පලස්තීනයේ සටන්කාමී කණ්ඩායම් බිහිවුණා. “ෆාටා” ඉන් එකක්. මේ සියලු කණ්ඩායම් එක්කර ගනිමින් තමයි, යසර් අර්ෆත්ගේ නායකත්වයෙන් පලස්තීන විමුක්ති සංවිධානය (PLO) බිහි කළේ. මුලදී ඊශ්‍රායලය විනාශ කළ යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කළත් පසුව ඔවුන් ඉන් ඉවත් වුණා. 1987දී ‘හමාස් සංවිධානය’ බිහි කළේම යුදෙව් රාජ්‍ය විනාශ කිරීමේ අරමුණින්.

කෑම්ප් ඩේවිඩ් සම්මුතියට එළඹුණේ 1978දී. 1993දී ඔස්ලෝහිදී බිල් ක්ලින්ටන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇති කර ගත් සම්මුතිය යටතේ “පලස්තීන ස්වයං පාලන අධිකාරිය” බිහිවීම සිදු වුණා. පලස්තීනය යනුවෙන් අප හඳුන්වන්නේ එම පාලනයයි. මේ වන විට පලස්තීනුවන් මිලියන 2.3ක් දිගින් කි.මී. 41ක් සහ පළලින් කි.මී. 10ක් සහිත ගාසා තීරයේ ජීවත්වනවා. එය ලොව දුප්පත්කම වැඩිම භූමි ප්‍රදේශයක්. විරැකියාව 75%ක් පමණ. මන්දපෝෂණය, දරිද්‍රතාවය ප්‍රබල ගැටලු ලෙස තිබෙනවා.

• නොබැඳි, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටක් හැටියට ශ්‍රී ලංකාව මුල පටන්ම පලස්තීනය වෙනුවෙන් පෙනී සිටියා. මේ ස්ථාවරය ඔබ පැහැදිලි කරන්නේ කෙසේද?

පලස්තීනුවන්ට ද තමන්ගේම රාජ්‍යයක් තිබිය යුතුය යන්න සිරිමා බණ්ඩාරනායක අගමැතිනියගේ පාලන සමයේ පටන්ම ශ්‍රී ලංකාවේ ස්ථාවරය වුණා. මේ වන විට උද්ගතව ඇති තත්ත්වය දෙස බැලුවත් එය තමයි කල්පවත්නා විසඳුම. කෙසේ නමුත්, ඊශ්‍රායලයේ ස්ථාවරය වෙලා තියෙන්නේ අන්තිම හමාස් ත්‍රස්තවාදියත් මැරුම් කෑ යුතු බවයි. අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටියා සෑම හමාස් සාමාජිකයෙක්ම මිය යා යුතුයි කියලා. 1967 සය දින යුද්ධයේ දී වගේම අදත් අමෙරිකාව ඊශ්‍රායලයට උදවු කරනවා. පසුගියදා සිදු වූ හමාස් ප්‍රහාරයත් සමඟ ජනාධිපති බයිඩන් කියා සිටියේ අ‍ෙමරිකාව පර්වතයක් මෙන් නොසැලී සිටින බවයි. අපි මේ ප්‍රශ්නේ දිහා බලන්න ඕන පලස්තීන මිනිස්සුන්ගෙ සපත්තුවට බැහැලා කියලා හිටපු අ‍ෙමරිකානු ජනාධිපති බැරැක් ඔබාමා කියා තිබුණා. ලිබියාව විනාශ කළේ ඔබාමා පාලනය යටතේයි. ඒත්, ඔහු බයිඩන්ට වඩා වෙනස් කෝණයකින් මේ දෙස බලන බවක් තමයි පෙනෙන්නේ.

• ශිෂ්ට සම්පන්න ලෝකයට හමාස් ප්‍රහාරය අනුමත කළ නොහැකියි, වගේම ඊශ්‍රායලයේ ප්‍රතිචාර හමුවේ දෑස වසා සිටිය නොහැකියි. කෙසේ වුවත් අධිපතිවාදී රටවල් මෙයින් එක් පාර්ශ්වයක ප්‍රහාර අනුමත කරන බවක් පෙනෙනවා නේද?

සටනක දී දෙපාර්ශ්වයේ සටන්කරුවන් මිය යාමට වඩා මේ තත්ත්වය වෙනස්. හමාස් ප්‍රහාරය ශිෂ්ට සම්පන්න ලෝකය විසින් හෙළා දකිනවා. සංගීත සාදයකට සහභාගි වී සිටි තරුණ තරුණියන් මෙන්ම කුඩා දරුවන් පවා ඔවුන් මරා දැම්මා. මේ ප්‍රහාරයේ ම්ලේච්ඡත්වය, අශිෂ්ටත්වය ඒකක 10ක් නම්, ඊශ්‍රායල් ප්‍රතිචාරයේ කුරිරු බව ඒකක 1000ක් තරම්.

ඔක්තෝබර් 13 වැනිදා උතුරු ගාසා තීරයේ ලක්ෂ 11ක් පමණ පලස්තීනුවන්ට පැය විසි හතරක් තුළ දකුණ බලා යන ලෙසට ඊශ්‍රායලය දැනුම් දුන්නා. එසේ පිටව යන අයටත් ගුවනින් සහ බිමෙන් පහර දුන්නා.

• ශ්‍රී ලංකා රජය LTTE යට එරෙහිව සටන් කරද්දී LTTE මෙන් නොව රජය සංයමයෙන් ක්‍රියා කළ යුතු යැයි එදා කී අය අද ඊශ්‍රායල් රජය ද එසේ සංයමයෙන් ක්‍රියා කළ යුතු යැයි නොකියන්නේ ඇයි?

2009 දී මානුෂීය මෙහෙයුමේ අවසන් හරියේ දී ශ්‍රී ලංකාවට පැමිණි ඩේවිඩ් මිලිබෑන්ඩ් හා බර්නාඩ් කුෂ්නර් දෙපළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කිව්වෙ දෙමළ ජනයා මිය යන නිසා යුද්ධය නතර කළ යුතු බවයි. පලස්තීනයේ අහිංසක දරුවන්, කාන්තාවන් ඇතුළු සිවිල් වැසියන් මිය යන නිසා ප්‍රහාර නැවැත්විය යුතු යැයි අද ඔවුන් ඊශ්‍රායල් අගමැති නෙතන්යාහුට නොකියන්නෙ ඇයි? මේවායින් පෙනෙන්නේ අධිපතිවාදී රටවල දෙබිඩි පිළිවෙතයි. මේ ප්‍රශ්නයේ මූලය ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් බිහි වීම බව පැහැදිලියි. අද ඔවුන් ක්‍රියා කරමින් සිටින්නේ මූලය නොතකා හරිමින්. අ‍ෙමරිකාව මේ අර්බුදය ගැන කතා කරද්දී රුසියානු යුක්රේන ගැටුම ඈඳාගන්නේ ඇයි කියන එකත් මේ අනුව අපට තේරුම් ගන්න පුළුවන්.

• ශ්‍රී ලංකාව යුද්ධය අවසන් කර වසර දාහතරකට පසුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී තවමත් අපට එරෙහිව චෝදනා නැ‍ඟෙනවා. ඇතැම් බටහිර නාළිකා අසත්‍ය ප්‍රචාර පවා කළා. නමුත් ඊශ්‍රායලය සම්බන්ධයෙන් ඔවුන් ඒ තීව්‍රතාවයෙන්ම හඬ නොනඟන්නේ ඇයි?

බටහිර මාධ්‍ය මේ ගැටුම වාර්තා කරන ස්වරූපය දෙස බැලුවාම එය ඉතා පැහැදිලියි. ඔවුන්ගේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ පලස්තීනයට පක්ෂ ප්‍රවෘත්ති 5% නම් ඊශ්‍රායලයට පක්ෂව එය 25%ක්. ලෝකයේ ව්‍යාපාරික මාධ්‍ය ඒකාධිකාරිය ප්‍රබලයි. සත්‍ය වාර්තා නොකරනවා පමණක් නෙවෙයි. අසත්‍ය ප්‍රචාර කිරීමත් ඔවුන්ගෙන් සිදු වෙනවා.

• මේ හේතුවෙන් සංචාරක කර්මාන්තයට හා අපේ අපනයනවලටත් යම් බලපෑමක් ඇති විය හැකිද?

මෙවැනි යුදමය වාතාවරණයක් යටතේ සංචාරකයන් සංචරණයට බියක් දැක්වීම ඊට හේතුවයි. සංචාරකයන් පැමිණීම අඩු වීමට එය බලපානවා. අපේ ආර්ථිකයට සංචාරක කර්මාන්තය විශාල ශක්තියක්. මේ වෙද්දී සංචාරක පැමිණීම් වැඩි වෙලා තියෙන්නේ. එසේ තිබියදී එහි විශාල අඩු වීමක් සිදු වුණොත් ඒකත් අපේ ආර්ථිකයට හානිකර අන්දමින් බලපානවා.

අපනයන වෙළෙඳපොළට ඇති විය හැකි බලපෑම ගැනත් අපි සිතිය යුතුයි. මේ රටවල් ආනයන සීමා කිරීමක් කළොත් හරි අපේ අපනයනවලට බාධා ඇති වුණොත් හරි ලැබෙන විනිමය අඩු වීම සිදු වෙනවා. ඒක අපේ ආර්ථිකයට බලපාන කාරණයක්. නිල වශයෙන් ප්‍රකාශ නොකළත් ඊශ්‍රායලයත් න්‍යෂ්ටික බලවතෙක්. යම් හෙයකින් ඔවුන් ඉරානය ඉලක්ක කළහොත් එය ලෝක සාමයට බලවත් තර්ජනයක් වනු ඇති.

• මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකාව කුමක් කළ යුතු යැයි ඔබ අදහස් කරනවාද?

ශ්‍රී ලංකාව කුඩා රටක්. අපේ ආර්ථිකයත් බොහොම කුඩා එකක්. හැකිතාක් දුරට අපි අපේ සම්පත් උපයෝගී කරගනිමින් නැඟී සිටීම තමයි, කළ යුතු හොඳම දේ. නව ලිබරල් ආර්ථික මොඩලය යටතේ අර්බුදයට ගිය අපි දැන්වත් නිෂ්පාදන ආර්ථිකයකට යොමුවිය යුතුයි. සියල්ල රටින් ගෙන්වීම වෙනුවට ඒ ඒ ක්ෂේත්‍රවල තමන්ට හැකි අයුරින් කාර්යක්ෂම ලෙස නිෂ්පාදන ක්‍රියාවලියට දායක වීම විය යුතුයි.

ආදායම් බෙදී යාමේ විශාල පරතරයක් ඇති බවත් අප පිළිගත යුතු වෙනවා. එය ඉතා අසාධාරණ තත්ත්වයක්. ඇති – නැති පරතරය විශාලයි. එසේම දීර්ඝ කාලයක් තිස්සේ අප හුරු වී සිටින්නේ බටහිර පරිභෝජන රටාවටයි. බටහිර රටවල් එවැනි පරිභෝජන රටාවකට යොමු වුණේ සෙසු රටවල සම්පත් කොල්ලකෑමෙන්. රෝහල්වල බෙහෙත් හිඟයක් ගැනත් ඖෂධ මිල ඉහළ යාම ගැනත් කතා කරන අතර අපි V8 ගෙන්විය යුතු ද කියලා යථාර්ථවාදීව හිතන්න අවශ්‍යයි. බාහිර සාධක පාලනය කරන්න අපට පුළුවන්කමක් නෑ. ඒත්, මේ කියපු දේවල් ගැන නම් අපට කටයුතු කළ හැකියි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter