නවතම පුවත්

පවතින ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත වෙනුවට සකස් කෙරුණු භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සහ නිර්මාණ අයිතිය ආරක්‍ෂා කරලීම පදනම් කර ගත් ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ පනත් කෙටුම්පත ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කළ කමිටු සාමාජිකයන් විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත භාරදෙනු ලැබීය.

මේ වන විට ක්‍රියාත්මක වන 1912දී සම්මත කෙරුණු ප්‍රසිද්ධ රැඟුම් පාලන ආඥා පනත පරිච්ඡින්න කොට මෙම නව පනත ක්‍රියාත්මක කරලීමට අපේක්‍ෂිතය. මෙම නව කෙටුම්පත සැකසීම සඳහා රැඟුම් පාලක මණ්ඩලයේ හිටපු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතාගේ සභාපතිත්වයෙන් පත් කරන ලද කමිටුවට සිනමාවේදී අශෝක හඳගම, නාට්‍යවේදී රාජිත දිසානායක, නිර්මාණවේදිනී අනෝමා රාජකරුණා සහ ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. චිත්‍රපට, වේදිකා නාට්‍ය හා ප්‍රසංග කලාවට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර, ජාත්‍යන්තර නව ප්‍රවණතාවන් සහ ප්‍රමිතීන්ට අනුකූලව මෙම කෙටුම්පත සකස් කර තිබේ. වර්තමානයේ කලා නිර්මාණයන් සම්බන්ධයෙන් මතුවන බොහෝ ගැටලු සඳහා මෙම පනත ඔස්සේ විසඳුම් දී ඇති බවත් මෙය ක්‍රියාත්මක කරලීම සමඟම නිර්මාණ නිදහස පූර්ණ ලෙසම ආරක්‍ෂා වන බවත් කමිටු සභාපති සමන් අතාවුදහෙට්ටි මහතා පැවසීය.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව සහ G77 සහ චීනය කණ්ඩායමේ 3 වැනි දකුණු සමුළුවට (3rd South Summit of the Group of 77 & China) සහභාගි වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18) පස්වරුවේ උගන්ඩාවේ කම්පාලා නුවර එන්ටෙබේ (Entebbe) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා විය.

එහිදී එරට ඉඩම් හා නාගරික සංවර්ධන අමාත්‍ය රුත් නන්කැබෙයර්වා (Ruth Nankabeirwa) මහත්මිය ඇතුළු පිරිස විසින් ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.

උගන්ඩා ජනරජයේ ජනාධිපති යොවේරි මුසෙවිනි මහතාගේ ආරාධනය අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක් වෙයි.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගිතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ ජනවාරි 19 සිට 20 දක්වා උගන්ඩාවේ කම්පාලා නුවරදී පැවැත්වේ.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව ජනවාරි 21 සිට 22 වැනිදා දක්වා කම්පාලා නුවරදී පැවැත්වෙන අතර, මෙවර එහි තේමාව වී ඇත්තේ ‘කිසිවකු අත් නොහරිමු’ යන්නයි.

මෙම සංචාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සමුළු ද්විත්වයම ඇමතීමට නියමිත අතර, අප්‍රිකානු කලාපයේ සිටින ගෝලීය දකුණේ රටවල නායකයන් සහ නියෝජිතයන් සමඟ ද සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.

නොබැඳි ජාතීන්ගේ සංවිධානය මේ වන විට සාමාජික රටවල් 120කින් සමන්විත වන අතර, බැන්ඩුන්ග් මූලධර්ම මත පදනම් වෙමින් සංවර්ධනය වෙමින් පවතින රටවල අවශ්‍යතා ඉටු කිරීම අරමුණු කර ගනිමින් එය ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයකු වන අතර, 1976 සිට 1979 දක්වා එහි සභාපතිත්වය හෙබවීය. 1976 වසරේදී ශ්‍රී ලංකාව නොබැඳි ජාතීන්ගේ 5 වැනි රජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරකත්වය ද ලබා දුන්නේය.

G77 සහ චීනය 3 වැනි දකුණු සමුළුව එහි සාමාජික රටවල් 134 අතර වෙළෙඳාම, ආයෝජන, තිරසර සංවර්ධනය, දේශගුණික විපර්යාස, දරිද්‍රතාව තුරන් කිරීම සහ ඩිජිටල් ආර්ථිකය ඇතුළු ක්ෂෙත්‍රයන්හි සහයෝගිතාව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින් පැවැත්වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය දරන සංවර්ධනය වෙමින් පවතින රටවල විශාලතම සන්ධානය ලෙස ගෝලීය දකුණේ රටවලට සිය සාමූහික ආර්ථික අවශ්‍යතා ප්‍රකාශ කිරීමට, ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර අන්තර් සහයෝගිතාව ඇතුළුව එක්සත් ජාතීන්ගේ පද්ධතිය තුළ පවතින ජාත්‍යන්තර ආර්ථික ගැටලු පිළිබඳ එක්ව සාකච්ඡා කිරීම වෙනුවෙන් ඉඩකඩ සලසා දීම මෙම සමුළුවේදී සිදු කෙරේ.

G77 සහ චීනය සමුළුවේ සභාපති ධුරය මෙතෙක් කියුබානු ජනරජය මඟින් ද නොබැඳි ජාතීන්ගේ සමුළුවේ සභාපති ධුරය අසර්බයිජාන ජනරජය මඟින් ද දැරූ අතර, මෙම සමුළු ද්විත්වයෙහිම සභාපති ධුරය මෙවර උගන්ඩා ජනරජය විසින් භාර ගැනීමට නියමිතය.

ජනාධිපතිවරයා සමඟ මෙම සංචාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන යන මහත්වරු ද එක්වෙති.

කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැති බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (17) රාත්‍රී 10ට ජාතික රූපවාහිනියේ ‘මහජන දිනය’ වැඩසටහනින් විකාශය කෙරේ. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම විශේෂ මහජන දිනය වැඩසටහන මෙහෙයවනු ලබන්නේ රංගන සෙනෙවිරත්න, විජය මාපා ජයසිංහ, නිලංග මල්ෂාන් මහත්වරුය.

මහ බැංකු අධිපතිවරයාගේ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශයට අමතරව, මුදල් සම්බන්ධ සම්පූර්ණ බලය පාර්ලිමේන්තුව සතුයි සහ කවුරු ආවත් අයි.එම්.එෆ්. හැර වෙන විකල්පයක් නැද්ද යන්න සම්බන්ධයෙන් ද අද (17) රාත්‍රියේ මහජන දිනයෙන් සාකච්ඡා කිරීමට නියමිතය. ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා අනුව වත්මන් රජය නොව කවුරු රට පාලනය කළ ද එම එකඟතා සමඟ කටයුතු කිරීමට සිදු වන බවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉකුත් 10 වැනිදා ප්‍රකාශයක් කළේ මේ වසරට අදාළ මූල්‍ය ප්‍රතිපත්ති පෙරදැක්ම ඉදිරිපත් කරමිනි.

මෙලෙස ඇති කරගත් එකඟතා කෙටිකාලීන ඒවා නොව වසර දහය සහ ඊටත් එහා ගිය ඒවා විය හැකි බව මෙහිදී මහ බැංකු අධිපතිවරයා කීවේය. මහ බැංකු අධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් දින තුනක විවාදයක් ලබා දෙන ලෙස ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් පාර්ලිමේන්තුවේදී පසුගියදා (11) ඉල්ලා සිටියේය.

මේ ප්‍රකාශය සම්බන්ධයෙන් පුළුල් ජාතික සංවාදයක් ගොඩනැඟීම අතිශය වැදගත් බවත් සියලු මන්ත්‍රීවරුන්ගේ එකඟතාවෙන් මෙම ප්‍රකාශය සම්බන්ධව දින තුනක විවාදයක් පැවැත්විය යුතු බවටත් මෙහිදී ඇමැතිවරයා ඉල්ලීමක් කළේය. එම ඉල්ලීම සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කරන බව ද කථානායකවරයා ඊට පිළිතුරු දෙමින් පැවසීය

ඇසිදිසි ශිෂ්‍යත්ව දුන්නේ ඉතාම සාධාරණව තෝරාගත් පිරිසකට

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට

මාධ්‍යවේදීන් සඳහා වන වරලත් ජනමාධ්‍යවේදීන්ගේ ආයතනය ස්ථාපිත කිරීමේ කාර්යයෙහි නීතිමය කටයුතු සියයට අනූවකින් අවසන් බව ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

මාධ්‍යවේදීන්ට ලබා දිය යුතු වෘත්තීයමයභාවය එමඟින් ලබා දෙන බවත් පිළිගත් මාධ්‍යවේදියෙක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවක් බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානයට එක්වෙමින් ඇමැතිවරයා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී මේ බව ඊයේ (16) ප්‍රකාශ කළේය.

ඉලෙක්ට්‍රොනික් හා මුද්‍රිත මාධ්‍යයේ සේවයේ නියුතු මාධ්‍යවේදීන් 39 කට මෙහිදී ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණි.

එම උත්සවයේදී රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙසේද පැවසුවේය.

“අද මේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතව සිටියේ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතායි. විශේෂයෙන්ම මාධ්‍යයට අද යම් යම් පරිවර්තනයන් විවිධ දේවල් සමාජගත වීම් දේශීයවත් විදේශීයවත් කරන්න පුළුවන් වෙලා තිබෙනවා. මාධ්‍ය ඉතිහාසයේ රටකට එක පුවත්පතක්, එක ගුවන්විදුලි නාලිකාවක්, එක රූපවාහිනී නාළිකාවක් දෙකක් පැවතියා. අද මේ වන විට ගුවන් විදුලි නාලිකා විශාල ප්‍රමාණයක් ඒ වගේම රූපවාහිනී නාලිකා විශාල ප්‍රමාණයක් බිහිවෙලා තිබෙනවා, ඉදිරියට ඇවිත් තිබෙනවා. තාක්ෂණයත් එක්ක අද විශාල වශයෙන් විශාල පිරිසක් ඉන්න ඒ වගේම විශාල වශයෙන් අවධානයට ලක් වූ ක්ෂේත්‍රයක් බවට මාධ්‍ය ක්ෂේත්‍රය පත් වෙලා තිබෙනවා. ඒ නිසා විශාල තරගකාරීත්වයක් තිබෙනවා. ඒ තරගකාරීත්වය තුළ සමහර දේවල් සමාජගත වීම් රටට යහපත් ජනතාවට යහපත් වගේම අයහපත් දේවලුත් සිදු වෙනවා.

ඒ වගේම මේ මාධ්‍යවේදීන් දන්නවා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා යම් අධ්‍යාපනයක් ලබාගෙන යම් අත්දැකීමක් ලබාගෙන යම්කිසි රාමුවක් තුළ මාධ්‍ය හැසිරීම කරන්න.

නමුත් අද විවිධ අය ස්මාට් ෆෝන් එකක් අතට ගත්තාම ඔවුන් ක්ෂණික මාධ්‍යවේදියෙක් වෙන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. ඒ නිසා සමහර අවස්ථාවලදී ඉතා හොඳින් යහපත් විදියට කටයුතු කරන මාධ්‍යවේදියාගේ ගෞරවයත් යම් යම් අවස්ථාවලදී ප්‍රශ්නගත වෙන කෙලෙසෙන තත්ත්වයට පත්වෙනවා. හතු පිපෙන්නා වගේ මාධ්‍යවේදීන් මේ ක්ෂේත්‍රයට එකතු වීම ගැටලුවක්.

නමුත් එය නවත්වන්න අපිට අයිතියක් නැහැ. ඒ අවස්ථාව අපිට කිසි වෙලාවක නවත්වන්න, වැට බඳින්න විදියක් නැහැ. අද තිබෙන තාක්ෂණ දියුණුවත් එක්ක විවිධ අය මාධ්‍ය ක්ෂේත්‍රයට සන්නිවේදන ක්ෂේත්‍රයට සම්බන්ධ වෙලා තිබෙනවා.

ඉතින් ඒ නිසා අපි විවිධාකාරයෙන් යම් යම් අණපනත් ගෙනෙමින් මාධ්‍ය ක්ෂේත්‍රයට ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියට කිසිදු හානියක් නොවන ආකාරයේ යම් යම් තීන්දු තීරණ ටිකක් වගේම නීති රීති රැසක් සම්පාදනය කරන්නත් ජනමාධ්‍ය අමාත්‍යාංශය විදියට කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ උපදෙස් මඟ පෙන්වීමත් යටතේ බන්දුල ගුණවර්ධන මැතිතුමාත් අපේ අමාත්‍යාංශයත් ඒ වගේම තවත් අමාත්‍යාංශ රාශියක් ඒකාබද්ධවත් කටයුතු කරගෙන යනවා. ඒ තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයේ අයට කිසිදු කටයුත්තක් එහෙම නැත්නම් යම් කිසි බලපෑමක් ඇතිවන ආකාරයට නෙමෙයි ඒ නීති සම්පාදනය වෙන්නේ.

තවදුරටත් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින අයගේ ගෞරවය ආරක්ෂා වෙන ආකාරයටයි ඒ කටයුතු වෙන්නෙ. ඒ වගේම මාධ්‍ය ආයතනවල ශක්තිය තවදුරටත් වැඩි කරන්නත් ඒ වගේම අයහපත් දෙයක් රටට ජනතාවට ඒ වගේම පෞද්ගලික ජීවිතයට අසාධාරණයත් අවාසියත් වෙනවා නම් ඒ පැත්තෙන් රටේ නීතිය පැත්තෙන් නීතිය තියෙන්න ඕන. ඒ නිසා සකස් කරනවා මිසක් නැතිව කවදාවත් මාධ්‍ය භාවිතයට ජනතාවට තොරතුරු දැන ගැනීමේ අයිතියට හානියක් වෙන කිසිදු කාරණයකට රජය අවධානය යොමුකර නැති බව මතක් කරනවා.

ඒ නිසා තමයි අපි ජනමාධ්‍යවේදීන්ගේ අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීමට අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ගවලින් සියයට අනූවක් මේ වන විට අවසන් කර තිබෙනවා. ඉතුරු ක්‍රියාමාර්ගයන් ක්‍රියාවට නංවලා අපේ රට තුළ ඒ ආයතනය බිහි කිරීමෙන් පස්සේ ඉතා ස්වාධීනව මාධ්‍යවේදියෙක් හැටියට ඒ ආයතනයට ඇතුළු වෙලා උපාධියක් ලබාගෙන මාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයෙක් විදියට පත්වෙන්න අවශ්‍ය ඒ ක්‍රියාදාමය ඒ වැඩපිළිවෙළ ඒ ආයතනය තුළින් ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සම්පූර්ණ කටයුත්ත මේ වර්ෂය තුළදී අපි ආරම්භ කරන්න විශේෂයෙන් බලාපොරොත්තුවෙන් සිටිනවා.

මාධ්‍යවේදීන්ට රජයක් මඟින් ලැබෙන දේ අපේ රටේ ප්‍රමාණවත් නැහැ කියලා කවුරුත් පිළිගන්නවා. විශේෂයෙන්ම රක්ෂණාවරණයන් ලබා දීමට අවශ්‍ය උත්සාහය දරමින් සිටිනවා. නමුත් පැවති සහ පවතින මේ ආර්ථික අර්බුදකාරී තත්ත්වයන් හමුවේ අපට යම් බාධාවන් තිබෙනවා. නමුත් ඒ උත්සාහය අතහැර නැහැ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා

මේ ශිෂ්‍යත්ව ලබා දීම 2006 වසරේදී ආරම්භ කළා. මේ දක්වා ශිෂ්‍යත්ව 1062ක් දීලා තිබෙනවා. අද ශිෂ්‍යත්ව 39ක් දෙනවා. ඉතාම සාධාරණව තෝරාගත් පිරිසකට මේ ශිෂ්‍යත්ව ලබා දීම සිදු කරනවා. මාධ්‍ය ක්ෂේත්‍රයේ ඩිප්ලෝමාවක් හදාරන අයෙකුට ලක්ෂයක ශිෂ්‍යත්වයකුත්, උපාධියක් හදාරන අයෙකුට ලක්ෂ දෙකක මුදලකුත් ලබා දෙනවා. මාධ්‍යවේදීන්ගේ වෘත්තීයමයභාවය වැඩි කිරීම සඳහා අපි මෙසේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම් සිදු කරනවා.

  • ඉදිරි දශක කිහිපය තුළ ආයෝජනවල ප්‍රතිලාභ සියලු දෙනාට නිසැකවම හිමි වෙනවා.
  • දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා.
  • කැපවීම්වලට වඩා ක්‍රියාමාර්ග අවම මට්ටමක පැවතීම කණගාටුවට කරුණක් – ජනපති ස්විස්ටර්ලන්ත හරිත තාක්ෂණ සංසදය අමතමින් අවධාරණය කරයි

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට සුදුසුම කාලය මෙය වන බවත්, ඉදිරි දශක කිහිපය තුළ එම පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලාංකීය පාරිභෝගික ජනතාවට ද එමගින් සැලකිය යුතු ප්‍රතිලාභ අත්වන බවට කිසිදු සැකයක් නොමැති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ඒ සඳහා ඉදිරිපත්වන ආයෝජකයන්ට පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකා රජය සහතික කරන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර ඊයේ (15) පැවති “හරිත තාක්ෂණ සංසදය” (Green Tech Forum) අමතමිනි. ස්විස් – ආසියානු වාණිජ මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබිණි.

“බලශක්තියෙන් සුරක්‍ෂිත ශ්‍රී ලංකාවක් කරා මාවත සැකසීම” යන තේමාව යටතේ සිය දේශනය සිදු කළ ජනාධිපතිවරයා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාව තුළ ඇති ඉහළ විභවය මෙන්ම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම වෙනුවෙන් පසුගිය වසර 2 තුළ රජය විසින් ගත් පියවර ද අනාවරණය කළේය.

දේශගුණික විපර්යාස අවම කර ගැනීමේ දී ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි පැවති COP28 සමුළුවට ඉදිරිපත් කළ “නිවර්තන කලාපීය මුලපිරීම” ඇතුළු අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳව ද පැහැදිළි කළේය.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් තිබෙන බවත් 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ කථාව මෙසේය,

මෙම දේශනය සිදු කිරීම සඳහා මා වෙත ආරාධනා කිරීම පිළිබඳව ස්විට්සර්ලන්ත – ආසියානු වාණිජ මණ්ඩලයට සහ මෙම උත්සවය සංවිධානය කළ සියලුදෙනාට ස්තූතිවන්ත වෙනවා.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා ගෝලීය ක්‍රියාමාර්ග වේගවත් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් මතුව තිබෙනවා. මේ සඳහා විවිධ අයුරින් කැපවීම් සිදු කර ඇති ගෝලීය සංසද කිහිපයක් තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳ කැපවීම්වලට වඩා ක්‍රියාමාර්ග ගැනීම අවම මට්ටමක පවතින බව කිවයුතුයි.

ගෝලීය නායකත්වය තුළ පවතින මෙම අසාර්ථකත්වය හේතුවෙන් ඇතිවන ප්‍රතිවිපාක බොහෝ දුරට ගෝලීය දකුණේ සංවර්ධනය වෙමින් පවතින රටවලට දැරීමට සිදුවී තිබෙනවා.

කෘෂිකාර්මික නිෂ්පාදනය අඩාල කරමින් නියං කාලසීමාව සාමාන්‍ය කාලසීමාවට වඩා දීර්ඝ වන විට අපගේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ වැටෙනවා. එසේම මෝසම් වැසි ප්‍රමාද වීම නිසා ජල විදුලි ජනනයට බාධා ඇතිවන විට අපේ බලශක්ති සුරක්ෂිතතාව අවදානමට ලක්වනවා.

බොහෝවිට නියඟය අවසානයේ ගංවතුර තත්ත්වයන් ඇතිවෙනවා. විශේෂයෙන්ම එය සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම ඔවුන්ගේ ජීවනෝපායන් ද කඩාකප්පල් කරනවා.සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම දේශගුණික විපර්යාස හේතුවෙන් ඇතිවන අහිතකර ප්‍රතිඵල මඟින් සිදුවන බලපෑම අසමානුපාතික බව මෙයින් ඉතා පැහැදිලියි.

මෙමගින් දේශගුණික යුක්තිය පිළිබඳ ප්‍රශ්නය සඳහා මෙන්ම ගෝලීය දකුණේ රටවලට දේශගුණික විපර්යාස සඳහා අනුවර්තනය වීමේ සහ ඒවා අවම කිරීමේ ප්‍රයත්නයන් වෙනුවෙන් දියුණු ආර්ථිකයන්ගෙන් සිදු විය යුතු වඩාත් ප්‍රබල දායකත්වයක අවශ්‍යතාවය පෙන්නුම් කරනවා.

ශ්‍රී ලංකාව දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කැපවී සිටින බව අවධාරණය කළ යුතුයි. ඩුබායි හි පැවති COP28 සමුළුවේදී අප “නිවර්තන කලාපීය මුලපිරීම” ද ආරම්භ කළා. මෙමඟින් නිවර්තන කලාපයේ රටවල වනාන්තර, බලශක්තිය, සාගර, කඩොලාන පරිසර පද්ධතින් තුළ පෞද්ගලික ආයෝජන සඳහා උත්ප්‍රේරණයක් ඇති කිරීම සඳහා වැඩපිළිවෙලක් නිර්මාණය කරනවා.

එවැනි ප්‍රයත්නයන්හි එක් ප්‍රධාන අංගයක් වන පුනර්ජනනීය බලශක්තිය සඳහා අපගේ ඇති උත්සාහය පිළිබඳව මම ඔබගේ අවධානයට යොමු කිරීමට කැමතියි.

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ඇති රටක් බව ඔබ දන්නවා. නිදහසින් පසු ශ්‍රී ලංකාව ජල විදුලි බලය සඳහා පුළුල් ජාලයක් නිර්මාණය කළ අතර 1950 වර්ෂයේදී එහි පළමු ප්‍රධාන ජල විදුලි බලාගාරය ආරම්භ කළා. එය ජලාශ හතරකින් සමන්විත වෙනවා.

රටේ බලශක්ති අවශ්‍යතාවන් සඳහා ඉන් පසුව අපි මහවැලි සංවර්ධන ව්‍යපෘතිය ආරම්භ කළා. එමඟින් ප්‍රධාන ජලාශ පහක් නිර්මාණය කෙරුණු අතර වලවේ ගඟ ව්‍යාපෘතිය හයවන ජලාශය ලෙස එක් කෙරුණා.

මහවැලි ගඟ ව්‍යාපෘතියේ අවසන් අදියර සම්පූර්ණ වුණේ මීට වසර හතකට පෙරයි. මේ අනුව ජල විදුලිය සඳහා අප සතුව ප්‍රවතින ප්‍රභවයන් භාවිතාවට ගෙන තිබෙනවා.

අදටත්, ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදන ධාරිතාවෙන් 40% ක් පමණ පවතින්නේ ජල විදුලියයි. ජල විදුලිය බොහෝ දුරට ප්‍රශස්ත මට්ටමින් යෙදා ගෙන ඇති නිසා සුළං සහ සූර්ය බලශක්ති උත්පාදනය ජාතික විදුලි බල පද්ධතියට එක් කර ගැනීම සඳහා වැඩි උත්සාහයක් ගෙන තිබෙනවා.

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම සහතික කිරීම වෙනුවෙන් රජය මේ වන විට මෙම ක්‍රියාවලිය වේගවත් කරමින් සිටිනවා.

මෙම ඉලක්කය සපුරා ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 11.5ක් දක්වා විශාල ආයෝජනයක් අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත්, මෑතක් වන තුරුම පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා පැවති රාමුව එතරම් හිතකර තත්ත්වයක පැවතියේ නැහැ.

පසුගිය වසර 2 තුළ රජය විසින් මෙම අඩුපාඩු නිවැරදි කිරීමට සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රශස්ත ආයෝජන සහිත වාතාවරණයක් ඇතිකිරීම සඳහා පියවර කිහිපයක් ගෙන තිබෙනවා.

මූල්‍ය ප්‍රතිසංස්කරණ,

එහි පළමු පියවර පිරිවැය පිළිබිඹු කරන ගාස්තු ක්‍රමයක් ඇති කිරීමයි. 2014 වසරේ සිට 2022 වසර දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු සංශෝධනයක් සිදු කර නැහැ. මෙය ලංකා විදුලි බල මණ්ඩලයට මුදල් ගලා ඒම පිළිබඳ ගැටළු ඇති කිරීමට හේතු වූ අතර ඇතැම් අවස්ථාවන්හිදී විදුලි සැපයුම්කරුවන්ට සිදු කළ යුතු ගෙවීම් ප්‍රමාද වීමටද හේතු වුණා.

කෙසේ වෙතත් 2022 අගෝස්තු මාසයේ සිට පිරිවැය පිළිබිඹු කරන මිල සුත්‍රයකට මාරු වුණා. ඒ අනුව, අනාගතයේ විදුලි උත්පාදනය සඳහා පවතින පිරිවැය පිළිබිඹු කරමින් සෑම කාර්තුවකටම වරක් විදුලි ගාස්තු සංශෝධනය කෙරෙනවා.

දිගු කලක් පාඩු ලබන ආයතනයක් වූ ලංකා විදුලිබල මණ්ඩලය, 2023 වසරේ දී ලාභ ලබන ආයතනයක් බවට පත් වූ අතර, එමඟින් අතීතයේ සිට පවතින ණය සැලකිය යුතු මට්ටමකින් පියවා ගැනීමට ද හැකි වුණා.

මෙම ආයතනයට දැන් ශක්තිමත් ශේෂ පත්‍රයක් මෙන්ම වඩා ශක්තිමත් මුදල් ප්‍රවාහ තත්වයක් සහ මූල්‍ය ද්‍රවශීලතාවය සහතික කරනු ලබන ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා. සමවර්ත ගාස්තුව නම්‍යශීලී නොවීම ආයෝජකයින්ගේ කනස්සල්ලට හේතු වී තිබෙනවා. අභ්‍යන්තර ප්‍රතිසංස්කරණවලට අමතරව හරිත මූල්‍යකරණය ආකර්ෂණය කර ගැනීමේ රාමුව ද අපි සකස් කරමින් සිටිනවා.

ශ්‍රී ලංකාව තිරසාර මූල්‍යකරණය සඳහා වන මාර්ග සිතියම, හරිත මූල්‍ය වර්ගීකරණය, තිරසර සංවර්ධන ඉලක්ක (SDG) සඳහා වන ආයෝජක සිතියම සකස් කර ඇති අතර දැනට සකස් කරමින් පවතින හරිත බැඳුම්කර රාමුව සඳහා වන මාර්ග සිතියම යන පියවර මඟින් ශ්‍රී ලංකාවට දේශගුණික මූල්‍යකරණයේ ශක්තිමත් නියැලීමක් සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් පවතිනවා. තිරසර මූල්‍ය පහසුකම් සැපයීම, ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන සඳහා අමතර ශක්තියක් වනු ඇතියි.

නෛතික ප්‍රතිසංස්කරණ,

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පෞද්ගලික අංශයේ මහා පරිමාණ ආයෝජන සඳහා නීතිමය බාධක තිබෙනවා. 2022 වසරේදී හඳුන්වා දුන් විදුලිබල පනතේ සංශෝධන මඟින් එම නීතිමය බාධා ද ඉවත් කිරීමට කටයුතු කිරීම එහි දෙවන පියවරයි.

ආයතනික ප්‍රතිසංස්කරණ,

තුන්වැන්න, රජය ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිවුහගතකිරීමේ අවසන් අදියරේ සිටීමයි. මෙමගින් විදුලිබල මණ්ඩලයේ බෙදා හැරීම, උත්පාදනය සහ සම්ප්‍රේෂණය සඳහා වැඩි මූල්‍ය සහ මෙහෙයුම් ස්වාධිපත්‍යයක් ඇති වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරගකාරීත්වය සහ විනිවිදභාවය ඇති වෙනවා.

විදුලිය උත්පාදනය සඳහා පුද්ගලික අංශයේ සහභාගීත්වය ලබාගැනීම දැනටමත් සිදුවන අතර, මෙම ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන හරහා පුද්ගලික අංශයේ සහභාගීත්වය සඳහා වැඩි අවස්ථාවක් සැලසෙනවා.

ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කරන ලද මෙම ප්‍රධාන ප්‍රතිසංස්කරණ මගින් පාරිභෝගිකයින්ට මෙන්ම වඩාත්ම තරගකාරී හා කාර්යක්ෂම විදුලි නිෂ්පාදකයින්ට වඩා ඵලදායී අවස්ථා නිර්මාණය වෙනවා. එමෙන්ම විදුලිබල මණ්ඩලය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බව එමගින් සහතික කෙරෙනවා. මෙම ප්‍රතිසංස්කරණ සඳහා වන නීති කෙටුම්පත් පසුගිය මාසයේදී ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම,

විශේෂයෙන් 2026 වන විට මෙරට ජාතික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීමේ අභිලාෂය වෙනුවෙන් පද්ධතියේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය ඒකාබද්ධ කිරීම සඳහා වැඩි දියුණු කිරීම් අවශ්‍ය වෙනවා. එසේම ගබඩා කිරීම, සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම සඳහා ආයෝජන අවශ්‍යයි. 2030 දක්වා මෙම ඒකාබද්ධ කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීම මේ වන විට ආරම්භ කර තිබෙනවා.

අනාගත දැක්ම,

පසුගිය වසර දෙක තුළ බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක කරන ලද ප්‍රධාන ප්‍රතිසංස්කරණ හේතුවෙන් මෙම ක්ෂේත්‍රය කෙරෙහි නව උනන්දුවක් ඇති වී තිබෙනවා. දැනටමත් මහා පරිමාණයේ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබෙනවා.
ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරයක් මෙගාවොට් 350 ක සුළං විදුලි බලාගාරයක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත්ව සිටින අතර එය 2025දී ආරම්භ කිරීමට අපේක්ෂිතයි. මෙම සමාගම තවත් ඩොලර් මිලියන 750ක් සුළං බලශක්තිය සඳහා ආයෝජනය කිරීමට ද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව සුළං බලය මඟින් ශ්‍රී ලංකාවට විශාල අවස්ථාවක් සැලසෙනවා.

විශේෂයෙන් වෙරළාසන්න සුළං බලයට ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයට වඩා වැඩි බලයක් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව ලෝක බැංකුවේ මෑතකාලීන වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර බලශක්ති අන්තර් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් වන සාකච්ඡා ප්‍රගතිශීලී අදියරක තිබෙන බව කිව යුතුයි. විශේෂයෙන් ඉන්දියාවේ දකුණු කොටසෙහි වේගයෙන් වර්ධනය වන කාර්මික කලාපය වෙත ශ්‍රී ලංකාවේ අතිරික්ත විදුලිය අපනයනය කිරීමට එමගින් අවස්ථාව සැලසෙනවා.

සූර්ය බලශක්තිය සඳහා ද ඉහළ විභවයක් පවතිනවා. එය ගිගාවොට් 40ක් පමණ වන බවට ගණන් බලා තිබෙනවා. වහලය මත රඳවන සූර්ය පැනල මඟින් උත්පාදනය කරන බලශක්තිය හැරුණු කොට සූර්ය බලශක්තියේ විභවය ගිගාවොට් 200 ක් පමණ වෙනවා. ඒ අනුව මුළු ප්‍රමාණය තවත් වැඩි විය යුතුයි. මෙය ශ්‍රී ලංකාවේ සුළං බලයට වඩා වැඩි ප්‍රමාණයක්. ශ්‍රී ලංකාවේ හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා සතුව පවතින විභවය පිළිබඳව ද අප සොයා බලනවා.

ශ්‍රී ලංකාවට සිය තිරසර, හරිත සංවර්ධන න්‍යාය පත්‍රය ඉටු කර ගැනීම සඳහා බලාපොරොත්තු සහගත සැලසුම් පවතිනවා. 2050 වන විට ශුද්ධ ශුන්‍ය විමෝචන තත්ත්වය ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටිනවා.

කඩිනම් පුනර්ජනනීය බලශක්ති සැලැස්ම මෙම සමස්ත ප්‍රයත්නයේ ප්‍රධාන අංගයක් වන අතර එය බලශක්ති සුරක්ෂිතභාවය කරා යන මාවතේ ද අත්‍යවශ්‍ය පියවරක් වෙනවා.

වර්තමානයේ වියළි කාලවලදී ශ්‍රී ලංකාවට අධික මිල සහිත ඉන්ධන මත යැපීමට සිදු වී ඇති නිසා, මෙම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මඟින් ජනන පිරිවැය අඩු කර ගැනීමේ හැකියාව පවතිනවා.

ශ්‍රී ලංකාව දේශගුණ විපර්යාස අවම කිරීමේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයක් පිහිටුවීමේ කටයුතු සඳහා මේ වන විට මුලපුරා තිබෙන අතර එමඟින් හරිත බලශක්තිය සඳහා පවතින අවස්ථා තවදුරටත් විවෘත වනු ඇතියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ප්‍රතිපත්තියේ දිශානතිය සඳහා විවිධ අභිප්‍රේරණයන් හා පාර්ශ්වකරුවන් විසින් සහාය දක්වන බව පැහැදිලියි.

එබැවින් ආයෝජකයින්ට මෙම ක්ෂේත්‍රය තුළ ඉහළ මට්ටමේ සහ වෙනස් නොවන ප්‍රතිපත්තියක් අපේක්ෂා කළ හැකියි.

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට හොඳම කාලය මෙය වන අතර, එවැනි ආයෝජන ඉදිරි දශක කිහිපය තුළ එහි පාර්ශ්වකරුවන්ට මෙන්ම ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයින්ට ද සැලකිය යුතු ප්‍රතිලාභයක් ලබා දෙන බවට මට කිසිදු සැකයක් නැහැ.

 

සශ්‍රිකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව නව ආරම්භයක් පිළිබඳව ද අපේක්ෂා පෙරදැරි කරගත් සැමරුමකි.

වසර දෙකක් පුරා සිදු කළ අසීමිත කැපවීම් හමුවේ රට ජයග්‍රහණයේ මාවතට අවතීරණ වෙමින් තිබෙන අවස්ථාවක මෙවර තෛපොංගල් සැමරීමට ලැබීම සතුටට කරුණකි.

මීට වසර දහසකට පමණ පෙරාතුව චෝල රජ සමයේදී වසරේ පළමු අස්‌වනු මංගල්‍යය සැමරීම උදෙසා මෙම උත්සවය ඇරඹුණු බව පැවසෙයි.
අස්‌වනු සරිකර ගැනීමට ඇප උපකාර කළ සියලු දෙනා වෙත එක හා සමාන මෙත් සිතින් තුති පිදීම මෙම උත්සවයේ අරමුණයි.

බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය නැවත නගා සිටුවමින් සශ්‍රීක රටක් ගොඩනැගීමේ දී අප කෘෂිකර්මාන්තය කෙරෙහි දැඩි විශ්වාසයක් තබා ඇත්තෙමු.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ රට පුරා කෘෂිකර්මාන්තයේ නව පරිවර්තනයක් වෙනුවෙන් අවශ්‍ය සැලසුම් දැනටමත් රජය ක්‍රියාවට නංවා තිබෙන අතර එම කටයුතු සාර්ථක කර ගැනීමට මෙවර තෛපොංගල් සැමරුම ආශිර්වාදයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

එසේම තෛපොංගල් උත්සවයෙන් අපට පෙන්වා දෙන්නේ සමානාත්මතාවයේ ගරුත්වයයි.

එහෙයින් හෙට දවසේ රට වෙනුවෙන් වූ අලුත් බලාපොරොත්තු සඵල කර ගැනීමට එක මවකගේ දරුවන් මෙන් අධිෂ්ඨානයෙන් පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමින් සියලුම ද්‍රවිඩ ජනතාවට සෞභාග්‍යවත් හා ප්‍රීතිමත් තෛපොංගල් සැමරුමකට ශුභාශිංසන එක් කරමි.

රනිල් වික්‍රමසිංහ,
ජනාධිපති,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය.

රටේ ආර්ථිකය නිවැරදි මඟට යොමු කිරීමට ජනප්‍රිය නොවන ඕනෑම තීරණයක් ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපතිවරයා සහ යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් එක්සත් ජාතික පාක්ෂිකයන් අතර හමුවක් යාපනය, වාලම්පුරි හෝටලයේදී ඊයේ (7) පැවැත්වුණු අවස්ථාවේදීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෙසේද පැවසීය:

“උතුරු පළාතේ ගැටලු අතුරින් ඉඩම් ප්‍රශ්නය හා අතුරුදන් වූවන් පිළිබඳ ප්‍රශ්නය ප්‍රමුඛතාවක් ගෙන තිබුණා. ආණ්ඩුවක් ලෙස ඒ ගැටලුවලට කඩිනම් විසඳුම් දීමට මේ වන විටත් සැලසුම් කර තිබෙනවා. උතුරේ ඉඩම් ප්‍රශ්නය සහ අතුරුදහන් වූවන් පිළිබඳ ගැටලුවට 2025 අවසන් වීමට පෙර විසඳුම් දීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම අවතැන් වූවන්ට නිවාස දීමේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරනවා. උතුරු පළාතේ සුළං සහ සූර්ය බලය යන බලශක්ති සඳහා තිබෙන අවස්ථා ප්‍රයෝජනයට ගනිමින් අපනයන බලශක්තියක් කරා බලශක්ති නිෂ්පාදනය වැඩි කිරීමට සැලසුම් කර තිබෙනවා. හරිත හයිඩ්‍රජන් හරිත ඇමෝනියා නිෂ්පාදනය කෙරෙහිද අවධානය යොමු කර තිබෙනවා.

“උතුරු පළාතේ තිබෙන සරු ගොවිබිම්වලට නවීන තාක්ෂණය එකතු කර අපනයන කෘෂිකර්මාන්තයක් ඇති කිරීමටත් සැලසුම් කර තිබෙනවා. ඉදිරි දශකයේ ලෝකයේ ජනගහනය දෙගුණයක් බවට පත් වීමත් සමඟ ඔවුන්ටද අවශ්‍ය ආහාර නිපදවීමෙන් අපනයන කෘෂිකර්මාන්තය ඉහළ නැංවීමටත් අවධානය යොමු කර තිබෙනවා. ඒ වගේම යාපනය දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. යාපනයේ පවත්වන වේල් පෙරහර ලෝකයේ හින්දු බැතිමතුන්ට නැරඹීමට අවස්ථාව සලසා දීමට අවශ්‍ය පහසුකම් සකසමින් තිබෙනවා. අගෝස්තු මාසයේ ඇසළ පෙරහර, කතරගම පෙරහර වගේම යාපනයේ වේල් පෙරහරත් සංචාරක ආකර්ෂණයට ලක් කිරීමට ඒ අනුව සැලසුම් සහගතව කටයුතු කරනවා.

“උතුරේ සෞඛ්‍යය සහ අධ්‍යාපනය දියුණු කිරීමේ නව ආයෝජන අවස්ථා වෙනුවෙන් ඩයස්පෝරාවට අවස්ථාව දීමටත් කටයුතු කරනවා. මෙවැනි නව ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ උතුරු පළාතේ නව රැකියා අවස්ථා මෙන්ම ආයෝජන අවස්ථාද ඇති වනවා. මේ අනුව උතුරේ තරුණ තරුණියන්ට නව රැකියා අවස්ථා උදා වන අතර, එමඟින් ඔවුන්ගේ ජීවන තත්ත්වයද උසස් කිරීමට හැකියාව ලැබෙනවා.

“රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේදී ගැනීමට සිදු වන තීරණ ජනප්‍රිය නොවන්න පුළුවන්. එහෙත් රටේ ආර්ථිකය නිවැරදි ම‍ඟට යොමු කිරීම සඳහා ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට මම කටයුතු කරනවා. අපි සියලු දෙනා එකතුව උතුරු පළාත සංවර්ධනය කර රටම දියුණු කරමු.”

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් රජිත කීර්ති තෙන්නකෝන්, චුන්නාකම් හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුරේෂ් කුමාර් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයා සහ උතුරු පළාතේ තල් කර්මාන්තකරුවන් අතර හමුවක්ද යාපනය, තන්දෙයි චෙලවා ශ්‍රවණාගාරයේ පෙරේදා (7) පැවැත්වුණු අතර,

උතුරේ ඇති සමාජ ප්‍රශ්න හා තල් කර්මාන්තයේ ප්‍රශ්න සොයා බැලීමට කමිටු දෙකක් පත් කරන බවද, අදාළ කමිටු වාර්තාව ලැබීමෙන් පසු උතුරේ තල් කර්මාන්තය නවීකරණය කිරීමට අවශ්‍ය තීන්දු ගැනීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය. ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහත්වරු සහ තල් ආශ්‍රිත කර්මාන්තකරුවෝ විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර ජනාධිපතිවරයා සහ උතුරු පළාතේ නීතිඥ සංගමය හා ව්‍යාපාරිකයන් අතර හමුවක් උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවෙසේදී පෙරේදා (6) රාත්‍රියේ පැවැත්විණි. නීති ක්ෂේත්‍රයට අදාළව උතුරු පළාතේ පවතින ගැටලු රැසක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

 

පිලිපීනයේ පසුගියදා පැවති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේදී මීටර් 5000 සහ මීටර් 1500 යන ඉසව්වලදී රන් පදක්කම් දෙකක්, මීටර් 800 ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත් මුලතිව්, මුල්ලියාවලෙයිහි පදිංචි අකිලා තිරුනායක මහත්මිය උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී පෙරේදා (6) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූවාය.

72 වියෙහි පසුවන විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක වන ඇය පාසල් වියේ සිටම මලල ක්‍රීඩාවට දක්ෂතා දක්වා ඇති අතර, මෙරට නියෝජනය කරමින් තායිලන්තය, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව සහ ඉන්දියාව යන රටවල පැවති ප්‍රවීණයන්ගේ තරගාවලි කිහිපයකදී රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගෙන ඇත. අකිලා තිරුනායක මහත්මියගේ ක්‍රීඩා කටයුතු පිළිබඳ විමසමින් සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඇය දිරිගැන්වීමක් ලෙස තිළිණපතක් ද ප්‍රදානය කළේය. එසේම ඇගේ ධෛර්යවන්ත ක්‍රීඩා දිවිය අගය කළ ජනාධිපතිවරයා ඉදිරි කටයුතු වෙනුවෙන් සුබපැතුම් පිරිනැමීය.

ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ සර්ව ආගමික නායකයන්ගේ ආශීර්වාදය පළ කෙරිණි. උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පෙරේදා (06) පැවැත්වුණු අවස්ථාවේදී අදහස් දක්වමින් ආගමික නායකයින් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට ආශීර්වාද කළහ. මෙහිදී අදහස් දැක්වූ යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල නායක හිමිපාණන් වහන්සේ සඳහන් කළේ රට ගොඩනැඟීමේ අභියෝගය භාරගත් ජනාධිපතිතුමා අද එය නිසි අයුරින්ම ඉටු කරමින් සිටින බවයි. එම වැඩපිළිවෙළේදී යාපනයට පැමිණ එහි සියලු ආගමික නායකයන් හමුවී අවවාද අනුශාසනා ලබා ගැනීමට ගත් පියවර අගය කළ උන්වහන්සේ ජනාධිපතිවරයාගේ රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළට සියලු දෙනාගේ ආශිර්වාදය හිමිවන බව ද පැවසූහ. පී.ජේ. ජෙබරද්නම් පියතුමා ද මෙහිදී අනුශාසනාවක් සිදු කළ අතර, උන්වහන්සේ පෙන්වා දුන්නේ අතීතයේ සශ්‍රික පළාතක් වූ උතුරට අවශ්‍ය සංවර්ධනය නොව ප්‍රති සංවර්ධනයක් බවයි. යුද්ධයට සහ සංවර්ධනයට වඩා අසීරු කාර්යයක් වන්නේ සහජීවනය ගොඩනැඟීම බව පෙන්වා දුන් උන්වහන්සේ ඒ උදෙසා ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අතර‍, ඉදිරි කටයුතු වෙනුවෙන් ආශිර්වාදය පිරිනැමීය.

ශිවා ශ්‍රී කන්දයියා කුරුක්කල්තුමා ද ජනාධිපතිවරයා වෙත ආශිර්වාද පළ කරමින් සඳහන් කළේ සියලු ජනතාව අතර සහජීවනය ඇති කරමින් රටට සමෘද්ධිය උදාකර දීමට දේශපාලන අධිෂ්ඨානයක් අවශ්‍ය බවයි. එම අධිෂ්ඨානය සහ ශක්තිය ජනාධිපතිතුමා සතු බව පෙන්වා දුන් ශිවා ශ්‍රී කන්දයියා කුරුක්කල්තුමා හින්දු ජනතාවගේ අවශ්‍යතා ඉටු කර දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවද සඳහන් කළේය.

එහිදී අදහස් දක්වමින් ආර්ථික සංවර්ධනයට, ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදු කළ හැකි කාර්යභාරය අති මහත් බවද පෙන්වා දුන්නේය. උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමැති නම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදිකිරීමට කටයුතු කළ හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාතිවාදී සහ ආගම්වාදී ලෙස බෙදි වෙන්වීමට අවශ්‍ය නොවන බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා සියලුම ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කරමින් රටක් ලෙස ඉදිරියට යා යුතු බවද කියා සිටියේය. සෑම ආගමක් පිළිබඳවම කටයුතු කිරීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ උපදේශන කමිටු පත් කිරීම පිළිබඳ සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය. ආර්. ඒ. රලීම් මවුලවිතුමා ඇතුළු සර්ව ආගමික පූජකවරු, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, යාපනය දිස්ත්‍රික් ලේකම් එස්. ශිවබාලසුන්දරන්, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය, ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජනරාල් රජිත් කීර්ති තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උතුරු පළාතේ සිව් දින සංචාරක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක් පෙරේදා (6) පස්වරුවේ යාපනයේදී සිදු විය.

කුල ප්‍රශ්නය ඇතුළු උතුරේ සිවිල් සමාජයේ පවතින ගැටලු මෙහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කෙරුණු අතර, ඒ ගැටලු නිරාකරණය කිරීමට කඩිනමින් කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. උතුරේ කුමන දේශපාලන පක්ෂයක්, කුමන අයුරින් කටයුතු කළද කුල ප්‍රශ්නය නිසා ජනතාව පිඩාවට පත් වී සිටින බවත්, යාපනය මඟහැර කොළඹ ජීවත් වන දේශපාලනඥයන් ඒ ගැටලුව පිළිබඳ හඬක් අවදි නොකිරීම කනගාටුවට කරුණක් බවත් අරුන් සිධාර්ථ් මහතා මෙහිදී පෙන්වා දුන්නේය. උතුරු පළාතේ කුල පාසල් රැසක් පවතින නමුත් ඒවායේ අවම පහසුකම් පවා නැති බැවින් ගැටලු මතු වී ඇති බවද පැවසූ අරුන් සිද්ධාර්ථ් මහතා ඒවා සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

එවැනි පාසල් 100ක් නම් කරන ලෙස පැවසූ ජනාධිපතිවරයා ඒ පාසල් 100 ඉදිරි මාස 6 තුළ සංවර්ධනයට පියවර ගන්නා බව මෙහිදී යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයට පොරොන්දු විය. කුල ප්‍රශ්න ඉදිරියට දමමින් මහජන ප්‍රශ්නවලට විසඳුම් නොදෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධයෙන් සොයා බලන බවද ජනාධිපතිවරයාැ සඳහන් කළේය.

යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ අතුරුදන් වූවන්ගේ පවුල් බව පවසමින් සංගම් නිර්මාණය කරගෙන සිටින බහුතරයකගේ අතුරුදන් වූවන් සිටින්නේ විදේශ රටවල බවයි. ඒ සම්බන්ධයෙන් අතුරුදන් වූවන්ගේ සංගමයේ ඕනෑම අයකු සමඟ විවාදයකටද තමා සූදානම් බවත්, ඔවුන් අතුරුදන් වූවන්යැයි පවසමින් විදේශගතව සුඛෝපභෝගි ජීවිත ගත කරමින් සිටින බවත් සිද්ධාර්ථ් මහතා වැඩිදුරටත් සඳහන් කළේය. යාපනය ජනතාව මුහුණ දී සිටින එහෙත් කතා බහට ලක් නොවන ගැටලු කිහිපයක් ඇතුළත් ලිපියක්ද යාපනය සිවිල් සමාජ කේන්ද්‍රය මෙහිදී ජනාධිපතිවරයා වෙත භාර දුන්නේය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ ක්‍රියාකාරීහු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.

 
 
 
 

ගෙවී ගිය වසරේ ළඟා වීමට නොහැකි වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීමට වැඩිපුර වැඩ කරන වසරක් බවට නව වසර පත් කර ගත යුතු යැයි ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

නව වසරේ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ නිල රාජකාරි කටයුතු ආරම්භ කරමින් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනවල ප්‍රධානීන් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා ලෙස පත් කරන ලද ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා සිය රාජකාරි නිල වශයෙන් ආරම්භ කිරීම අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී සිදු විය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද පැවසීය.

පසුගිය වසර තුළ සැලසුම් කළ ඇතැම් ව්‍යාපෘතිවල සපුරා ගත නොහැකි වූ ඉලක්කයන් සම්පූර්ණ කර ගැනීම සඳහා අමාත්‍යාංශය සහ ඒ යටතේ ක්‍රියාත්මක සියලුම ආයතනවල නිලධාරීන්ගේ විශේෂ අවධානය යොමු විය යුතුයි. ඒ සඳහා නව ශක්තියක් ලබාදීමට හැකි ඉංජිනේරුමය කාර්යයන් සහ පරිපාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද බොහෝ අත්දැකීම් සහ මනා පළපුරුද්දක්‌ සහිත නිලධාරියකු වන ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා නව අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත්ව තිබෙනවා.

ඒ අනුව නව වසරේ වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීම සඳහා කඩිනම් තීරණ ගැනීම ඉතාමත් අවශ්‍යයි. එසේ නොවුවහොත් මෙම අමාත්‍යාංශයට අනෙකුත් අමාත්‍යාංශ ඉක්මවා යා හැකි ආකාරයේ අලුත් දෙයක් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. අපේ සේවා කාලය අවසන් වන විට රටට ඉතිරි කර ඇත්තේ මොනවාද යන්න පිළිබඳව කල්පනා කිරීමට මෙය අවස්ථාවක් කර ගත යුතුයි. අමාත්‍යාංශ රාශියක කටයුතු කිරීමේදී බොහෝ නව සංකල්පයන් ක්‍රියාත්මක කිරීමට අපට හැකියාව ලැබුණා. වෙළෙඳ ඇමැතිවරයා ලෙස ආරම්භ කරන ලද සතොස වෙළෙඳ සල්,කෝප් සිටි, දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථාන අප එම ඇමැති ධුරවලින් ඉවත් වීමෙන් අනතුරුවත් රටට සේවය කරමින් පවතිනවා. ඒ අනුව යමින් අනුරාධපුරයේ මිහින්තලය දුම්රිය ස්ථානය කේන්ද්‍ර කර ගනිමින් භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම ඇතුළු ව්‍යාපෘති රැසක් මේ වන විට කටයුතු සැලසුම් කර තිබෙනවා.

ඉතාමත් අභියෝගාත්මකව ගෙවුණු පසුගිය වසර තුළ අප සැලසුම් කළ සියලු ඉලක්කයන්ට ළඟා වීමට නොහැකි වුවත් මේ වසර ඊට වඩා වැඩිපුර වැඩ කොටසක් රට වෙනුවෙන් ඉටු කරන වසරක් බවට පත් කර ගැනීමට සියලු දෙනා අදිටන් කර ගත යුතුයි.

ඉතිහාසයේ අප මුහුණදුන් දරුණුතම ආර්ථික අභියෝගයන් පසු කරමින් සිටින මේ අවස්ථාවේ රටට ලැබීමට නියමිත විදේශීය ණය ආධාර නිවැරැදි ආකාරයෙන්, ඵලදායි ලෙස භාවිත කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කර ගත යුතුයි. අප මෙම අමාත්‍යාංශයේ වගකීම භාරගන්නා අවස්ථාවේ පැවති තත්ත්වයට වඩා බොහෝ ආයතනවල ආදායම් මේ වන විට වර්ධනය වී තිබීම සතුටට කරුණක්. තවදුරටත් කාර්යක්ෂමව කටයුතු කරමින් මේ වසර අවසාන වන විට සියලු ආයතන ලාභ ලබන තත්ත්වයට පත්කර ගැනීම සියලු දෙනාගේම ඉලක්කය විය යුතුයි. ඒ වෙනුවෙන් සිදුවන සොරකම්, වංචාව, දූෂණ, අක්‍රමිකතා මැඬ පැවැත්විය යුතුයි. ආයතන ප්‍රධානීන්, කාර්ය මණ්ඩල, වෘත්තීය සමිතිය ඇතුළු සියලුම පාර්ශ්වයන්ගේ ඵලදායි යෝජනාවලට සහ අදහස්වලට අවස්ථාව ලබා දෙමින් කටයුතු කිරීම තුළින් මෙම වර්ෂය වඩාත් සාර්ථක වර්ෂයක් බවට පත් කර ගැනීමට සියලු දෙනාට හැකියාව ලැබෙනු ඇති.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශ ලේකම් ඉංජිනේරු රංජිත් රූබසිංහ මහතා, අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරුන්, අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක සියලුම ආයතනවල ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනපති කියයි

අභියෝග නිවැරැදිව අවබෝධ කර ගනිමින් 2024 රට ජයග්‍රහණයේ මාවතේ ගෙන යෑමට සුබවාදී ආකල්පයන්ගෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව සියලු දෙනා එක්ව කැපවිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

උදා වූ 2024 නව වසරේ රාජකාරි ආරම්භ කරමින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (01) පෙරවරුවේ මැති ඇමැතිවරුන් සහ සිය කාර්ය මණ්ඩලය හමුවේ මේ බව සඳහන් කෙළේය.

නව වසරේ රාජකාරි ආරම්භ කිරීම සනිටුහන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ජාතික ධජය එසවීමෙන් පසු රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහි කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්ද පැවැත්විණි.

අනතුරුව ජනාධිපති කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලය එක්ව රාජ්‍ය සේවා ප්‍රතිඥාව ලබා දුන්හ.

නව වසර වෙනුවෙන් සිය කාර්ය මණ්ඩලයට සුබ පැතූ ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහද කතා බහකටද එක් විය.

මින් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැති ඇමැතිවරු සහ කාර්ය මණ්ඩලය සමඟ තේ පැන් සංග්‍රහයකටද එක් විය.

ඇමැති බන්දුල ගුණවර්ධන, රාජ්‍ය ඇමැතිවරුන් වන රංජිත් සියඹලාපිටිය, ශෙහාන් සේමසිංහ, කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන්ද, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශු මාරසිංහ, ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරුන් ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු ද, රජයේ ඉහළ නිලධාරී පිරිසක් සහ ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter