නවතම පුවත්

මුහුදු මාර්ග ඔස්සේ ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ සිදුවීම් නිරන්තරව වාර්තා වන බවත් මේ සම්බන්ධව විශේෂ අවධානයක් යොමුකර ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ඒකාබද්ධව වැටලීම් සිදු කිරීම වැදගත් බවත් මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පවසති.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඊයේ (23) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහා විහාරවලට ගොස් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මේ බව පැවසූහ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට බොහෝ විට භාවිත කරන්නේ මුහුදු මාර්ගය බවත් මේ නිසා එම මාර්ග අවහිර කිරීම අතිශයින් වැදගත් බවත් උන්වහන්සේලා ප්‍රකාශ කරති.

මෙහි දී අදහස් දැක්වූ එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ගුවන් හමුදාව නිරන්තරව ගුවනේ සිට අවේක්ෂණ කටයුතු සිදු කරමින් නාවික හමුදාවට වැටලීම් සඳහා අවශ්‍යය තොරතුරු ලබා දෙන්නේ යැයි පැවසුවේය.

රජවරුන් මහා සංඝරත්නයට පූජා කළ ඉඩම්, ශාසනය, රටවැසියා හා උතුම් ශිෂ්ටාචාරය පෝෂණය කිරීමට දායක වූ බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවැසීය.

මීරිගම මල්ලැහැවදී පැවති කල්එළිය, වෑබඩමුල්ල ශ්‍රී සුධර්මාරාමාධිපති, සද්ධම්ම කීර්ති, ජිනශාසන සෝභන සද්ධානන්ද, ශාසන සිරි වංශාලංකාර, විචිත්ත භාණක, ශාසන කීර්ති, ශ්‍රී සද්ධර්ම වාගීශ්වර, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත, ත්‍රිපිටකාචාර්ය, රූපහා සෝරතාභිධාන නාහිමියන් වහන්සේ වෙත උඩරට අමරපුර මහා නිකායේ බස්නාහිර පළාතේ අනුනායක ධුරය පදවිය පිරිනැමීම පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය ප්‍රදානය කිරීමේ මහෝත්සවයට පෙරේදා (22) එක් වෙමින් අගමැතිවරයා මේ බව සඳහන් කළේය.
අගමැතිවරයා එහිදී වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම සහ ආරක්ෂාව පිණිස උඩරට අමරපුර මහා නිකාය දායාද කොට ඇති අඛණ්ඩ ගංගාවක් මෙන් නොනවතින ශාසනික දායාදය මේ අවස්ථාවේදී සිහිපත් කරනවා. විදුරවි පරම්පරාව ලක් ඉතිහාසයේ සම්බුද්ධ ශාසනය පමණක් නොව සාහිත්‍යයට, භාෂාවට අමරණීය දායාදයක් ඉටුකළ පරම්පරාවක් බව සිහිපත් කළ යුතුයි. දුෂ්කර කාල පරිච්ඡේදයක් අධිෂ්ඨානයෙන් ගමන් කළ එම පරම්පරාවේ මහා සංඝ පීතෘවරුන් අප ඉතා ගෞරවයෙන් යළි සිහිපත් කරනවා.

උඩරට කියන්නේ අපේ රට පිටරැටියන් විසින් අල්ලාගෙන පොළොවට සමතලා කළ භූමියයි. අවුරුදු 200කට මෙහා අපට ඔප්පු තිබුණෙ නැහැ. ඔප්පු හැදුවේ සුදු පාලකයන් ඇවිල්ලා අපේ ගම් නියම් ගම් අල්ලගෙන. රජවරුන් මහා සංඝරත්නයට පූජා කළ පෙනෙන තෙක් මානයේ භූමි භාගයන් ශාසනය පෝෂණය කරන්නටත්, රටවැසියා පෝෂණය කරන්නටත් ඒ වගේම උතුම් ශිෂ්ටාචාරයක් බිහිකරන්නටත් දායාද වුණා.

අද දින අනුනායක ධුරය ලබා මේ ප්‍රධාන වගකීම භාර ගන්නා අපේ සෝරත හාමුදුරුවො ශාසනයේ පැවැත්මට සහ ආරක්ෂාවට විශාල සේවයක් ඉටු කර ඇත. මේ ගමන සුවිශේෂ බාධාවන් මැද නමුත් බොහොම කැපවීමෙන්, ගැඹුරු අවබෝධයකින් ජනතාව සමඟ කටයුතු කරන්නට පුළුවන් වීම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරනවා.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක, මහෝපාධ්‍යාය, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අභිධාන මහානායක මාහිමියන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගයන්ත කරුණාතිලක, හර්ෂණ රාජකරුණා, හිටපු කථානායක කරු ජයසූරිය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ මහත්වරුන් ඇතුළු ආරාධිතයන් සහ දායක දායිකාවන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

  • කැබිනට් නොවන රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ අමාත්‍ය ධුරයක්.

කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු අද (23) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ඒ අනුව පරිසර අමාත්‍යවරයා ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස මහින්ද අමරවීර මහතා ද, සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ද පත් කර තිබේ.

මහින්ද අමරවීර මහතා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඔහු හොඹවන කෘෂිකර්ම අමාත්‍ය ධුරයට අමතරවය.

එසේම වෛද්‍ය රමේෂ් පතිරණ මහතා හොඹවන කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරව ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබේ.

දැනට මුදල් රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් සියඹලාපිටිය මහතා රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස පත් කර ඇත.

චීනයේ මුල්ම බෞද්ධ සිද්ධස්ථානය ලෙස සැලකෙන හිනන් පළාතේ “සුදු තුරඟ” විහාරස්ථාන පරිශ්‍රයේ ශ්‍රී ලාංකේය පාරම්පරික ගෘහ නිර්මාණ ලක්ෂණ පිළිඹිඹු කෙරෙන විහාර මන්දිරයක් සහ ස්ථූපයක් ඉදිකිරීමේ කාර්ය කඩිනමින් ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
“සුදු තුරඟ” විහාරස්ථානයේ විහාරාධිපති යින් ලී හිමිපාණන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර බීජිං නුවරදී  (19) පැවති සාකච්ඡාවේදී මේ තීරණයට එළැඹිණ.
“සුදු තුරඟ” විහාර සංකීර්ණයේ ලාංකේය විහාර මන්දිරයේ ඉදිකිරීම් සංකල්පය රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය දරන සමයේ ක්‍රියාවට නැංවීම උදෙසා එවකට කථානායක කරු ජයසූරිය මහතා විසින් මුල්ගල් තැබීය.
නමුත් පසුකාලීනව එහි වැඩකටයුතු ක්‍රියාත්මක නොවූ අතර, එම කටයුතු යළි ආරම්භ කරන ලෙසත්, විහාර මන්දිර සැලසුම් අලුතින් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය. ෆාහියන් භික්ෂුව ලංකාවේ සිට චීනයට රැගෙන ආ බෞද්ධාගමික පාලි ග්‍රන්ථයන්හි පිටපත් මේ විහාර මන්දිරයේ තැන්පත් කිරීමට ශ්‍රී ලංකාවෙන් ලබාදීමට ක්‍රියා කරන බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 2024 වර්ෂයට නිකුත් කරන වාර්ෂික දින දර්ශනය නියෝජ්‍ය මහා ලේඛකාධිකාරී අකරැල්ලේ ඥානවංස නාහිමියන් විසින් මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියන් වෙත භාර දීම පසුගියදා මීරිගම හල්පේ මුනින්දාරාමයේ දී සිදුකෙරිණි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ විශේෂාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම නව දින දර්ශනය එළි දැක්වුණු අතර මේ අවස්ථාවට මහා ලේඛකාධිකාරී අත්තංගනේ සාසනරතන, නියෝජ්‍ය පරියත්ති සංවර්ධන ලේඛකාධිකාරී මාඋස්සාවේ අග්ගධම්ම යන නාහිමිවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ .

 

චීනයේ පැවැත්වෙන ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන 03 වන “එක් තීරයක් – එක් මාවතක්” සමුළුව සඳහා සහභාගි වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  (15) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.

මේ අනුව ජනාධිපතිවරයා ඔක්තෝබර් 16 වනදා සිට 20 වනදා දක්වා චීනයේ සිව් දින නිල සංචාරයකට එක් වනු ඇත.

ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර එම කාලසීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

ඒ අනුව හෙට (16) සිට ක්‍රියාත්මක වන පරිදි රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙසත්, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වැඩබලන පරිසර අමාත්‍යවරිය ලෙසත් පත් කර ඇත.

කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළ කලා ශිල්පීන් ඇගයීමට ලක් කෙරෙන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ 2022, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පෙරවරුවේ මහරගම තරුණ සේවා සභාවේ දී පැවැත්විණි.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උලෙළ මෙවර පවත්වනු ලැබුවේ 38 වැනි වරටය.

කලාභූෂණ සම්මානය මෙරට කලාකරුවකු ලබන ඉහළම සම්මානය වන අතර දිවයින පුරා විසිරී සිටින පරිණත කලාකරුවන් 200 දෙනෙක් මෙවර කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංකේතාත්මකව සම්මාන පිළිගැන්වීමට එක් වූ අතර සම්මානලාභී කලාකරුවන් සඳහා කලාභූෂණ ගෞරව නාමය, උපහාර සම්මානය, සහතික පත්‍රය සමඟ රුපියල් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද පිරිනැමිණ. සංගීතය, නර්තන, චිත්‍ර, සාහිත්‍ය, නාට්‍ය, චිත්‍ර හා මූර්ති, අධ්‍යක්ෂණය හා රංගනය ආදී වෙනත් ක්ෂේත්‍ර ගණනාවක් සඳහා කලාභූෂණ සම්මාන මෙහිදී පිරිනැමිණ.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන මහත්මිය මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වූවාය. කලාකරුවන් පිළිබඳ සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වන ලදී.

සම්මාන උලෙළ ආරම්භ කිරීමට පෙර, අභාවප්‍රාප්ත කලා ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා ඇතුළු කලාකරුවන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්දතාවයක් පවත්වා උපහාර පුද කිරීම ද සිදු විය.

රඹුකන සිද්ධාර්ථ හිමි ප්‍රමුඛ සර්ව ආගමික පූජකවරුන් ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමැති ශාන්ත බණඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන, සී. බී. රත්නායක, මහාචාර්ය තිස්ස විතාරණ මහත්වරු ඇතුළු මැති ඇමැතිවරුන් ද, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, මහාචාර්ය ජේ. බී. දිසානායක, මහ භාරකාර ගිහාන් පිලපිටිය යන මහත්ම මහත්මීන් සහ විද්වතුන්, කලාකරුවන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ටී. එන්. ඩී. එස්. වීරමුණි (නාමෙල් වීරමුණි), ආනන්ද වික්‍රමගේ, ටී. එම්. ජයරත්න, ඉන්ද්‍රානි පෙරේරා, පර්සි ජයමාන්න, මානෙල් වානගුරු, නිරංජලා සරෝජනී, රූපා ගෝමස්, සෝමසිරි ඉලේසිංහ, ඒ. එස්. වික්‍රමසිංහ, සුනිල් සරත් පෙරේරා, වී. සුබ්‍රමනියම්, වී. රාමචන්ද්‍රන්, හිනටිගල ප්‍රේමදාස, ශ්‍රියානි මහවත්ත කලාකරුවන් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් කලාභූෂණ රාජ්‍ය සම්මාන ලබා ගත්හ.

මෙහිදී අදහස් දක්වමින් සංස්කෘතික අධ්‍යක්ෂ යසින්නා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ, 1984 වර්ෂයේ මෙම කටයුත්ත ආරම්භ කළ බවයි. කොවිඩ් වසංගතය හේතුවෙන් මෙම කලා භූෂණ සම්මාන උලෙළ පසුගිය කාලයේ පැවැත්වීමට නොහැකි වූ බව පැවසූ අධ්‍යක්ෂකවරිය 2022 වසරට අදාළව මෙවර මෙම සම්මාන උලෙළ පැවැත්වෙන බව ද සඳහන් කළාය.

කලාකරුවකුගේ සේවය මැනිය නොහැකි බව ද සඳහන් කළ සංස්කෘතික අධ්‍යක්ෂකවරිය ඔවුන් සතු දැනුම නව පරපුරට පැවරීම වැදගත් බව ද පැවසුවාය. සම්මානයට පාත්‍රවන කලාකරුවන් දශක ගණනාවක් පුරා ක්ෂේත්‍රයේ රැඳී සිටින්නේ දක්ෂයින් නිසා යයි ද ඇය සඳහන් කළාය. වයස අවුරුදු 60 ඉක්මවූ කලාකරුවන් සඳහා කලා භූෂණ සම්මානය ලබාදෙන බවද කී අධ්‍යක්ෂවරිය, මෙම සම්මාන උලෙළ යථාර්ථයක් බවට පත්කර ගැනීම සඳහා විදුර වික්‍රමනායක ඇමැතිවරයා, බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සහ හින්දු, මුස්ලිම්, ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තු ලබාදුන් සහාය අගය කරන බව ද සඳහන් කළාය.

ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත යන කියමන අභියෝගයට ලක් කළ අසහාය රංගධර ජැක්සන් ඇන්තනි මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දේවස්ථානයේදී අද (12) සවස 3ට සිදු කෙරේ.

බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබූ දේහය කඩවත රාගම පාරේ අංක 90/A,58 නිවෙසට ඊයේ (11) පෙරවරුවේ රැගෙන ආ අතර අද දිනයේ අවසන් ගෞරවය සඳහා එහි තැන්පත් කර තිබේ.

ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනකායක් පෙරේදා සහ ඊයේ දිනවල පැමිණි අතර කලාකරුවන්, දේශපාලනඥයන්, ආගමික නායකයන් ඇතුළු රසික රසිකාවියෝ ඒ අතර වෙති. මිය යන විට 65 වැනි වියෙහි පසු වූ ඒ මහතා අනුරාධපුර තලාව පාරේ මොරගොඩදී අනතුරකට ලක්ව අවුරුද්දකුත් මාස දෙකක කාලයක් (මාස 14ක්) කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගියේය.

අනුරාධපුර තලාවේ මොරගොඩ ප්‍රදේශයේදී ඔහු සහ තවත් දෙදෙනකු ගමන් ගත් කැබ් රථය වන අලියකුගේ ගැටී 2022 වසරේ ජුලි 22 වැනිදා අනතුරට ලක්ව ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරිණි. වැඩිදුර ප්‍රතිකාර සඳහා ජැක්සන් ඇන්තනි මහතා ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙන එනු ලැබූ අතර ඉන් අනතුරුව මාස 14ක කාලයක් එහි දැඩි සත්කාර ඒකකයේ ඒ මහතා ප්‍රතිකාර ලැබීය.

ජැක්සන් ඇන්තනී මහතා භාෂාව, සාහිත්‍යය, ඉතිහාසය, කලාව ආදි විෂයන් පිළිබඳ ගැඹුරු පරිචයක් මෙන්ම ශ්‍රී ලංකාවේ සිනමාව, වේදිකාව සහ රූපවාහිනිය දිග්විජය කළ රංගධරයෙකි. ඔහු රංගනයට අමතරව අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, තිර රචනය, ගායනය, නවකතා රචනය, තීරු ලිපි රචනය, ගීත රචනයට ද දක්ෂතා දැක්වීය. විචාරකයෙක්, ගවේෂකයෙක්, ඉතිහාසඥයෙක්, නිවේදකයෙක් ලෙස ඔහු ඉමහත් ප්‍රසිද්ධියට පත්ව සිටියේය. ශ්‍රී ලංකාවේ හොඳම නළුවාට හිමි සම්මානයට 16 වතාවක් උරුමකම් කියමින් ජැක්සන් කලා ලොව වාර්තාවක් පිහිටුවන්නට සමත් විය.

කුඩා කාලයේදී මල්සි යනුවෙන් මවුපියන් ඔහු හැඳින්වූ අතර හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් සහ බණ්ඩාරවෙල ශාන්ත මරියා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය. ගණේමුල්ල ගලහිටියාව මධ්‍ය මහා විදුහලට ඇතුළත්ව උසස් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයට තේරී පත් විය. එහිදී ප්‍රථමයෙන් සිංහල භාෂාව සහ සාහිත්‍ය පිළිබඳ ගෞරව උපාධියක් ලබා ගත් ජැක්සන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.

ජැක්සන් අන්තනී මහතා වාරුවෙන් යන මිනිසුන්, මානවයෝ, මෙතනින් මාරුවෙනු, මරාසාද්, මධුර ජවනිකා, ලෝම හංස, ධවල භීෂණ, ඇත්, මෝරා, තාරාවෝ ඉගිලෙති වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වූවේය.

ගුරු ගෙදර, අයෝමා, ලොකු දුව, භවදුක, භව කර්ම, ගිනි අවි සහ ගිනි කෙළි, අස්වැසුම, අග්නිදාහය, සූරිය අරණ, මිල්ලෙ සොයා, රන්දිය දහර වැනි චිත්‍රපට ඔස්සේ තම භාවප්‍රතිභාව විදහා දැක්වූ ජැක්සන් පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, වෙද හාමිනේ, කඩුල්ල, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ වැනි රූපවාහිනි නිර්මාණ රැසකට ද දායක විය. නර්තන විෂයද ප්‍රගුණ කළ ජැක්සන් ඇන්තනී මහතා පසුකාලීනව ඇසළ කළුවර නාට්‍ය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයට ද පිවිසි අතර ජුලියට්ගේ භූමිකාව, පාරාදීසය, අබා ඇඩ්‍රස් නෑ වැනි චිත්‍රපට ද අධ්‍යක්ෂණය කළේය. ඔහුගේ නිර්මාණ බොහොමයක් දේශීය මෙන්ම විදේශීය වශයෙන් සම්මානයට පාත්‍ර විය.

 

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා පැවැත්වුණු අතර දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන නව ද්විපාර්ශවික ගිවිසුම් තුනකට එළැඹීම ද සිදු කෙරිණි.

එසේම ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙරට ක්‍රියාත්මක කරන ලද නිවාස ව්‍යාපෘතියේ තුන්වන අදියර මාර්ගගත ක්‍රමය ඔස්සේ විවෘත කිරීම ද මෙහිදී සිදු විය.

නිවාස දස දහසකින් යුත් මෙහි හතරවන අදියරේ එක් නිවාස ඒකකයක් සඳහා රුපියල් මිලියන 1.026ක මුදලක් වෙන් කර තිබුණද නිවාස ඒකකයක් සඳහා වන පිරිවැය ඉහළ යාම හේතුවෙන් එය රුපියල් මිලියන 2.8ක් දක්වා සංශෝධනය කිරීමට අදාළ ගිවිසුමට එළැඹීම සිදු විය.

ශ්‍රී ලංකාවේ ජන ජීවිත යළි නගා සිටුවීම වෙනුවෙන් ඉන්දීය රජයේ සහාය ඇතිව මෙරට ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති නවයක් කඩිනමින් අවසන් කිරීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැපයීමට ඉන්දීය රජය කටයුතු කර තිබෙන අතර ඊට අදාළ ගිවිසුමට ද මෙහිදී එළැඹිණි.

මේ යටතේ උතුරු පලාතේ පාසල් 27ක් නවීකරණය කිරීම, මන්නාරම සහ අනුරාධපුර නිවාස ව්‍යාපෘති, හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය විද්‍යලය වැඩිදියුණු කිරීම, පොළොන්නරුවේ බහු – වාර්ගික ත්‍රෛයි භාෂා පාසලක් ඉදිකිරීම, යාපනය ප්‍රදේශයේ වර්ෂා ජලය රැස් කිරීමේ ව්‍යාපෘති 2889 ක් ඉදිකිරීම, දඹුල්ල ප්‍රදේශයේ එලවලූ සහ පළතුරු කල් තබා ගැනීම සදහා මෙට්‍රේක් ටොන් 5000 ක ධාරිතාවයෙන් යුත් ශිතාගාර පහසුකම් ඉදිකිරීම, මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා නව ශල්‍ය වෛද්‍ය ඒකකයක් ඉදිකිරීම යන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීම සඳහා ඉන්දියාවේ ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනය (අමුල් ව්‍යාපාරය) සහ ශ්‍රී ලංකාවේ කාගිල්ස් සමූහ ව්‍යාපාරය, ඉන්දීය ජාතික කිරි සංවර්ධන මණ්ඩලය සමග එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිත ඒකාබද්ධ ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට ද මෙහිදී එළැඹිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස ඇතිකරගත් මෙම ගිවිසුම මගින් මෙරට පශු සම්පත් ක්ෂේත්‍රය නවීකරණය සඳහා අරමුදල් සැපයේ. ඒ අනුව, පළමු වසර 5 තුළ කිරි නිෂ්පාදනය 53% කින් ඉහළ නංවමින් වසර 15ක් තුළ ශ්‍රි ලංකාව කිරිවලින් ස්වයංපෝෂිත කිරීම මෙම නව ව්‍යාපෘතියේ ප්‍රමුඛ අරමුණයි.

ඒ යටතේ සතුන් සඳහා අවශ්‍ය උසස් තත්ත්වයේ ඖෂධ, ආහාර සහ තාක්ෂණික සහයෝගය ඇතුලු පහසුකම් සපයමින් දේශිය කිරි ගොවීන් ලක්ෂ 2ක් සවිබල ගැන්වීම අපේක්ෂා කෙරේ.

ඊට අමතරව පශු සම්පත් ක්ෂේත්‍රය ඩිජිටල්කරණය , කිරි ආශ්‍රිත අතුරු නිෂ්පාදනවල ගුණාත්මක භාවය වැඩි කිරීම වෙනුවෙන් නව තාක්ෂණය සඳහා ආයෝජනය සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන පහසු මිලට ලබා ගැනීමට අවස්ථාව හිමිවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් උදා වේ.

එසේම ඉන්දු – ශ්‍රී ලංකා සබඳතාවලට වසර 75ක් සැපිරීම නිමිත්තෙන් විශේෂ සමරු ලාංඡනයක් එළිදැක්වීමද අද සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන ලේකම්වරුන් වන පුනීත් අග්‍රවාල්, ජේ. පී. සිං, ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාන්ඩේ, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම් රඝූ පුරි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටී අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රාමේෂ්වරන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, ජනාධිපති ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

සමාජ මාධ්‍ය වාරණය කිරීමක් බලාපොරොත්තු නොවන බවද මේ තුළින් අසත්‍ය අපහාසාත්මක, උපහාසාත්මක ආගමික, වාර්ගික වෛරයන් ඇතිවන, ළමා අපයෝජන සිදුවන ඒවාට අනුබල දෙන අසත්‍ය පතුරවා හැර ඒ තුළින් සමාජයේ යහපැවැත්මට අවහිර වන දේ නියාමනය කිරීම වැළැක්වීම සඳහා අධිකාරියක් ඇති කිරීම මෙම පනතේ අරමුණ බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

සමාජ මාධ්‍ය මගින් නිරායුධ අවිහිංසක විශාල පිරිසකට විවිධ ආකාරයේ අඩන්තේට්ටම් අවහිරයන් අපහාස උපහාස හා වෛරය ක්‍රෝධය පැතිරවීම් තුළ මනුෂ්‍ය ජීවිත විශාල ප්‍රමාණයක් විනාශය කරා ඇදගෙන යන කටයුතු සිදුවන බව පැවසූ කැබිනට් ප්‍රකාශකවරයා හොඳ මෙන්ම යහපත් දේද සිදුවන බව සඳහන් කළේය.

ලෝකයේ ඇතැම් දියුණු රටවල කිසිදු සමාජ මාධ්‍යයක් භාවිත නොවන බවද එවැනි රටවල සමාජ මාධ්‍ය භාවිත කිරීම තහනම් බවද කියාසිටි ජනමාධ්‍ය අමාත්‍යවරයා එවැනි කිසිදු වාරණයක් පැනවීමට රජය අපේක්ෂා නොකරන බවද ඉතාම හොද සංවාද ප්‍රබුද්ධ විචාර ඒ තුළ ඇතිවිය හැකි බවද නමුත් සම්පූර්ණ අසත්‍ය, වෛරය පැතිරවෙන, ආගමික හා වාර්ගික ගැටුම් ඇතිකරන, ජාතික ආරක්ෂාවට තර්ජනය වන දේ සදහා කිසියම් නියාමනයක් ඇතිකිරීම මෙම පනතේ අරමුණ බව මෙය ඉදිරිපත් කළ යුත්තේ කවර ඇමතිතුමාද යන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිවක් සදහන් නැතැයිද කැබිනට් ඇමතිවරයෙකුට යෝජනා ඉදිරිපත් කළ හැකි යැයිද අවධාරණය කළේය.

 
 

චීනයේ හන්ජෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේ ඊයේ පැවති කාන්තා මීටර් 800 ඉසව්වේදී රන් පදක්කම දිනා ගැනීමට සමත් වූ තරුෂි කරුණාරත්න ඉන් විනාඩි 50කට පසුව කාන්තා මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම සමඟ එක්ව ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.55ට මීටර් 800 ඉසව්වට එක් වූ තරුෂි විනාඩි 2:02.20ක කාලයකින් රන් පදක්කම දිනාගත් අතර, අනතුරුව මෙරට වේලාවෙන් පස්වරු 5.45ට මීටර් 400 සහාය දිවීමේ කාන්තා ඉසව්වට එක් වෙමින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

තරුෂි මීටර් 800න් දිනාගත් රන් පදක්කම ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මීටර් 800 කාන්තා ඉසව්වෙන් ශ්‍රී ලංකාව දිනාගත් පළමු රන් පදක්කම වීමද විශේෂත්වයකි.

එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා රන් පදක්කමක් දිනාගත්තේ වසර 21කට පසුව වීමද කැපී පෙනේ. අවසන් වරට 2002 වසරේ දකුණු කොරියාවේ බූෂාන්හිදී ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශා රන් පදක්කම් දිනා ගෙන තිබිණි. මෙය ආසියානු ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ ශ්‍රී ලංකාව දිනාගත් 12 වැනි රන් පදක්කමයි.

ඊයේ මේ ඉසව්වට එක් වූ ක්‍රීඩිකාවන් 8 දෙනා අතුරින් 18 හැවිරිදි තරුෂි ළබාලතම ක්‍රීඩිකාව ද වූවාය. මේ ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කියන ඇය වලල ඒ. රත්නායක විදුහලෙන් ක්‍රීඩාවට පිවිසි අතර, ඇයගේ පුහුණුකරු ලෙස සුසන්ත ප්‍රනාන්දු මහතා කටයුතු කරයි.

මේ ඉසව්වට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක් වූ ගයන්තිකා අබේරත්නට හිමි වූයේ අවසන් ස්ථානයයි. ඇය වාර්තා කළ කාලය විනාඩි 2:05.87කි. මෙහි රිදී පදක්කම ඉන්දියාවේ බයින්ස් හර්මිලාන් (2:03.75) දිනාගත් අතර, ලෝකඩ පදක්කම චීනයේ වැන්ග් චුන්යූට (2:03.90)ට හිමි වූවාය.

මීටර් 400 කාන්තා ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3:30.88ක කාලයක් ගත කළ අතර, මේ කණ්ඩායමට තරුෂි සමඟින් නදීෂා රාමනායක, ජයේෂි උත්තරා සහ සයුරි මෙන්ඩිස් එක්වූහ. මේ කාලය නව ශ්‍රී ලංකා වාර්තාවක් බවට ද පත්වූ අතර, පැරණි වාර්තාව පසුගිය ජූලි මස පැවති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී පිහිටුවා තිබුණේ විනාඩි 3:33.27කිනි. එම තරගයට නදීෂා රාමනායක, සයුරි මෙන්ඩිස්, නිශේන්ද්‍රා ප්‍රනාන්දු සහ තරුෂි කරුණාරත්න එක්වූහ. ආසියානු ක්‍රීඩා උලෙළේදී මේ ඉසව්වෙන් හිමි වූ පළමු පදක්කම මෙයයි.

මේ ඉසව්වේ රන් පදක්කම බහරේනය විනාඩි 3:27.65 කාලයකින් දිනා ගත්තේ නව තරගාවලි වාර්තාවක් ද තබමිණි. එහි පැරණි වාර්තාවට (3:28.68) හිමිකම් කී ඉන්දියාවට (3:27.85) ඊයේ හිමි වූයේ රිදී පදක්කමයි.

මේ ඉසව්වේ පිරිමි ලෝකඩ පදක්කමත් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, එහිදී ඔවුන් ගත කළ කාලය විනාඩි 3:02.55කි. මේ ඉසව්වේ මූලික වටයේ තරගය පෙරේදා පැවති අතර එහිදී ශ්‍රී ලංකා පිල විනාඩි 3:06.60ක කාලයක් වාර්තා කර තිබිණි. එම තරගයට එක් වූ දිනුක දේශාන් සහ පසිඳු කොඩිකාර ඊයේ තරගයට එක් නොවූ අතර, රාජිත රාජකරුණා සහ පබසර නිකූ සමඟින් අරුණ දර්ශන සමඟ කාලිංග කුමාරගේ එක්ව සිටියහ.

මෙය ආසියානු ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා මීටර් 400 සහාය දිවීමේ කණ්ඩායම වාර්තා කළ හොඳම කාලය වුවද මින් පෙර මේ ඉසව්වේ හොඳම කාලය වාර්තා කර තිබුණේ වසර 1974දීය. එහිදී ශ්‍රී ලංකාවට විනාඩි 3:07.40කින් රන් පදක්කම හිමිව තිබිණි. මීටර් 400 පිරිමි සහාය දිවීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව පදක්කමක් දිනා ගත්තේ වසර 2006න් පසුවය.

ඊයේ මේ තරගයේ රන් පදක්කම විනාඩි 3:01.58 කින් තරගය නිමා කළ ඉන්දියාව දිනාගත් අතර, රිදී පදක්කම කටාරය (3:02.05) සතු විය.

ශ්‍රී ලංකා ඊයේ දිනාගත් රන් පදක්කම සහ ලෝකඩ පදක්කම් දෙක සමඟින් ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 23 වැනි ස්ථානයට පත් වූයේ රන් පදක්කමක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟිනි.

ක්‍රිකට් පිල පළමු තරගයෙන්ම එළියට විසි වෙයි

මේ අතර පිතිකරුවන්ගේ වගකීම් විරහිත ක්‍රීඩා විලාශය හේතුවෙන් ක්‍රිකට් තරගාවලියේ පිරිමි ඉසව්වේ ශ්‍රී ලංකා පදක්කම් බලාපොරොත්තු ඊයේ බිඳ වැටිණි.

මේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට ඍජුවම සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය එම වටයේ තෙවැනි තරගයට එක් වූ අතර, එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 8ක පරාජයක් අත්විය.

බැඩ්මින්ටන්

ඊයේ බැඩ්මින්ටන් කේවල ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයට එක් වූ විරේන් නෙත්තසිංහට ඉදිරියට යෑමේ අවස්ථාව අහිමි විය. ඒ චීන තායිපේ ක්‍රීඩක ටියෙන් චෙන් හමුවේ වට 2-0කින් පරාජය වීම හේතුවෙනි. එහි ලකුණු තත්ත්වය 21-16ක් සහ 21-10ක් ලෙස සටහන් විය.

රෙස්ලිං

මෙවර ක්‍රීඩා උලෙළේ රෙස්ලිං ඉසව්වේ එකම නියෝජනය වන නෙත්මි අහිංසා අද (5)කිලෝග්‍රෑම් 53 නිදහස් වෙළුම ඉසව්වෙන් තරග බිමට පිවිසීමට නියමිතය. ඇයගේ පළමු ප්‍රතිවාදියා වී ඇත්තේ කසකස්තානයේ සෙඩ්නෙවා මරීනාය. එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 7.30ට පැවැත්වේ.

කරාටේ

ආසියානු ක්‍රීඩා උලෙළේ කරාටේ ඉසව් අද ආරම්භ වන අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙනෙත් අවිහිංස ප්‍රනාන්දු සහ හේෂානි හෙට්ටිආච්චි තරගාවලියට එක් වීමට නියමිතය.

එඩ්මන්ඩ් රණසිංහ මහතා, ජනපති, අගමැති, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන සමඟ

අගමැතිතුමන්ගෙන් එඩ්මන්ඩ් රණසිංහ මහතාට උණුසුම් සුබ පැතුම්

දිවයින හා රිවිර පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා ප්‍රධාන දේශනය පවත්වමින්…

මෙරට පුවත්පත් කලාව වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට ජාතියේ උපහාර පිදීමේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයට අනුව දියත් කෙරෙන වැඩසටහනේ සමාරම්භය සලකුණු කරමින් මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වන එඩ්මන්ඩ් රණසිංහ සූරීන්ට උපහාර පිදීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පෙරේදා (3) පැවැත්විණි.

එඩ්මන්ඩ් රණසිංහ මහතා ලේක් හවුස් ආයතනයේ ‘දිනමිණ’ සහ ‘සිළුමිණ’ පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ධුරයන් දැරූ අතර, ‘දිවයින’ පුවත්පතේ සමාරම්භක කර්තෘ සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයාද විය. මේ වන විට 93 වැනි වියේ පසු වන රණසිංහ මහතාගේ දශක හතක මාධ්‍ය මෙහෙවර අගයමින් සම්පාදිත ‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය’ කෘතිය දොරට වැඩීමද මේ හා සමගාමිව සිදු කෙරිණි. මේ කෘතිය ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර මහතාගේ උපදේශකත්වයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ඩබ්.එම්.කේ. විජයබණ්ඩාර මහතා සහ නියෝජ්‍ය මාධ්‍ය අධ්‍යක්ෂ දීප්ති ප්‍රමිතා අධිකාරි මහත්මිය විසින් සංස්කරණය කර ඇත.

මේ උපහාර උලෙළේ ප්‍රධාන දේශනය දැනට ඇමෙරිකාවේ වෙසෙන දිවයින හා රිවිර පුවත්පත්වල හිටපු ප්‍රධාන කර්තෘ උපාලි තෙන්නකෝන් මහතා පැවැත්වීය. නාමල් උයනේ වනවාසි රාහුල හිමි, අගමැති දිනේෂ් ගුණවර්ධන, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter